අන්තවාදී නොවී බුද්ධියෙන් විමසුමට…

0

වර්ථමානය සැලකූවිට ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනතාව මුහුණපාමින් සිටින්නේ ඉතාම අවසනාවන්ත ඉරණමයන්ටය. ඔවුන්ට එරෙහිව යුධ ප්‍රහාර දියත්වීම්, කුමණ්ත්‍රනයන් ක්‍රියාත්මක වීම්, මූලික අයිතීන් හා ආගමික අයීතීන් උදුරාගැනීම්, පුද්ගල හා ආගමික අපහස කිරීම්, වධහිංසනයන්ට පමුණූවාලීම්… යනාදී එවැනි කිහිපයකි. මෙවැනි අවාසනාවන්ත ඉරණමක් මුස්ලීම් සමාජයට උදාවීමට බලපෑ හේතු කාරණා ද බොහෝමයක් පවතින මුත් (එවැනි කාරණා බොහෝමයක් මෙම අඩවිය තුල මීට ඉහත දී ද සාක්ච්චා කොට ඇත.) ඒවා සියල්ල එකින් එක යලි මෙහිදී සාකච්චා කිරීමට අදහස් නොකරමි. නමුත් මෙවැනි ඉරණමක් මුස්ලීම් සමාජයට උදාවීම සම්බන්ධයෙන් මුස්ලීම් නොවන පිරිස් චෝදනාත්මක ලෙස මතුකරන කාරණා කිහිපයක් ඇත. ඔවුන්ගේ දෘෂ්ඨිකෝණයෙන් දකින එම කාරණා පිලිබදව මෙහිදී අවධානය යොමු කිරීමට අදහස් කරමි. එවැනි චෝදනා බොහෝමයක් විටින් විට මෙම යහමඟ අඩවියට ද යොමු කෙරෙන නිසා ඒවා සියල්ල සාරාංශ කොට ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. එනම්,

ඉස්ලාම් විශිෂ්ඨ මඟපෙන්වීමක් යනුවෙන් පැවසීම,

  • මුස්ලීම්වරුන් ලොව විශිෂ්ඨතම මඟපෙන්වීම ඇත්තේ තම දහම තුල පමණක් යයි පවසමින් අනිකුත් ආගම් හා ආගමිකයන් අපහසයට ලක් කරයි. නමුත් සෑම දහමක් දර්ශනයක් තුලම එවැනි මඟපෙන්වීම් දක්නට ඇති බව ඔවුන් අවබෝධකර නොගනී.

හඳවතට එකඟව ක්‍රියා කලේනම් ප්‍රමාණවත් නොවේද?,

  • මුස්ලීම්වරුන් ඉස්ලාම් දහමට පමණක් සීමා වී අනිකුත් ආගමිකයන්ගෙන් දුරස්ව ජීවත්වීමට උනන්දුවක් දක්වයි. එවැනි සීමාවන් ඇතිකරගත් ආගමක් දර්ශනයක් අවශ්‍ය නොවේ. තම හඳවතට එකඟව කටයුතු කලානම්, යහපත් ජීවිතයක් ගතකලා නම් එය ප්‍රමාණවත්,

තම දහම කෙරෙහි පමණක් ඇති පක්ෂපාතීන්වය,

  • සියළු ආගම් දර්ශන මිනිස් සමාජයට යහපත තමා දේශනා කරන්නේ එසේ තිබිය දී මුස්ලීම්වරුන් තම දහම පමණක් අනුගමනය කලයුතු බවට අවධාරන කිරීම මෙම තත්වයට තවත් එක් හේතුවක්.

මුස්ලීම්වරුන් හොද අය නොවේ,

  • ඉස්ලාම් නිවරුදි හා යහපත් ආගමක් නම් මුස්ලීම්වරුන්ගෙන් බහුතරයක් යහපත් නොවන්නේ ඇයි? ඔවුන් අතර යහපත් සාරධර්ම ගුණාංග දක්නට නොලැබෙන්නේ ඇයි?

ඉහත කරුණු පිලිබදව විමසුමක් සිදුකිරීමට මත්තෙන් මෙවැනි තර්ක ඉදිරිපත් කරන බොහෝ පිරිස් සිදුකරන මූලික වැරදි කිහිපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. එනම් බොහෝ පිරිස් සැමවිටම ලොව අනිකුත් ආගමික මතවාද දෙස බලන්නේ තමන් දරණ මතවාදයට සාපේක්ෂව හිඳය. මෙය වරදක් යයි පවසනවාට වඩා එය දුර්වලතාවයක් නොඑසේ නම් අනවබෝධයක් යයි පැවසිය හැක. ලොව පවතින සමහරක් ආගම් හොදින් අධ්‍යනය කලේනම් එම ආගම් සංසන්ධනාත්මක හෝ සාපේක්ෂ ලෙස බැලීම බුද්ධිමත් හෝ සාධාර්ණ ක්‍රියාවක්ද? යන්න සිතන්නට හැඟේ. උදාහර්ණයකට ඉස්ලාම් දහම හා කිතුණූ දහම සැලකූවිට ඉස්ලාම් දහම එක්දේව සංකල්පය ඉදිරිපත් කරමින් පිලිම වන්දනය ප්‍රතික්ෂේප කරන විට කිතුණු දහම (එහි සමහරක් නිකායන්) බහුදේව වාදය ප්‍රකාශ කරමින් (ක්‍රිස්තුස් වහන්සේ මෙන්ම මරියම් තුමියත් දේවත්වයෙන් සලකා) පිලිම වන්දනයෙහි නිරත වේ. මෙවන් අවස්ථාවක කෙනෙකු අනික් ආගම දෙස සාපේක්ෂව හෝ සංසන්ධනාත්මකව බලනවාට වඩා බැලිය යුත්තේ එහි ප්‍රතිපත්තීන් හා ඉගෙන්වීමන් කොතරම් ප්‍රායෝගිකද?, සාධාර්ණද?, බුද්ධිගෝචරද? යනාදී වශයෙනි. එනම් එක් දහමක තිබෙන එක් එක් ඉගෙන්වීමන් වෙන වෙනම බලනවාට වඩා කල යුත්තේ එහි සමස්ථ ඉගෙන්වීම ගෙන විමසා බැලීමයි. උදාහර්ණයකට ඉස්ලාම් දහම මිනිස් සමාජයේ යහපත් පැවැත්ම උදෙසා දණ්ඩනීති මාලාවක් යෝජනා කරයි. නමුත් කිසියම් ආගමික පාර්ශවයක් තමන්ගේ දහම තුල එවැනි නීති පිලිබදව කිසිදු සදහනක් දක්නට නොලැබේ. මේ නිසා ඉස්ලාමීය නීති වැරදි යනුවෙන් තර්ක කිරීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ.

අද ලොව පවතින බොහෝ ආගම් හා දර්ශනයන් හොදින් අධ්‍යනය කලේනම්, එහි ඉගෙන්වීමන් බුද්ධිමත් ලෙස විමසා බැලුවේ නම්, එය කේෂත්‍ර කිහිපයකට පමණක් සීමා වී ඇති ආකාරය දැකගත හැක. නමුත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් අධ්‍යනය කලේනම් එය ඊට වඩා බොහෝ සෙයින් වෙනස්ය. ඉස්ලාම් යනු දහමකට වඩා එය ජීවන සැලැස්මකි. එය මිනිස් දිවියට අවශ්‍ය වන සියළු කේෂත්‍රයන් පරිපූර්ණ ලෙස ආවර්ණය කොට ඇත. ඒ අනුව ලොව අනිකුත් දහමන් හා දර්ශනයන් හි දක්නට නොලැබෙන කරුණු කාරණා බොහෝමයක් ඉස්ලාම් දහම තුල දක්නට ඇත. මෙසේ මා පැවසීම අන්‍ය ආගමික සහෝදර සමහරක් පිරිසගේ කොපයට මෙන්ම නොසතුටට හේතුවක් වන්නට පුළුවන. නමුත් මා ඔවුනට ආරාධනා කරන්නේ මෙම ලිපිය හොදින් අධ්‍යනය කරන්න. ඔබ මෙතෙක් දැරූ මතවාදයන් කොතරම් සාධාර්ණ හා නිවරුදි වූ එකක්ද? යන්න නැවත විමසා බලන්න. තමන් දරණ මතවාදයට සාපේක්ෂව ඉස්ලාම් හෝ වෙනයම් දහමක් දර්ශනයක් විවේචනය කිරීමට මත්තෙන් ඒ දෙක අතර ඇති සමාන හා අසමානකම් හොදින් හදුනා ගන්න. එසේ හදුනා ගැනීමෙන් අනතුරුව පමණක් එම කරුණූ බුද්ධිමත් ලෙස විමසා බලන්න. මෙහිදී අවබෝධ කර ගතයුතු කාරණයක් ඇත. මුස්ලීම්වරුන් වන අපට ඉස්ලාම් දහමට සාපේකෂව බෞද්ධ ප්‍රතිපත්ති, හින්දු ප්‍රතිපත්ති හෝ කිතුණු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බොහෝ ගැටළු ඇත. එලෙසම ඒ ඒ ආගම්වලට ද අනික්තු ආගම් සම්බන්ධයෙන් ගැටළු හා විවේචන පැවතිය හැක. නමුත් ඒවා සාපේක්ෂව බැලීම හා විවේචනය කිරීම කොතරම් දුරකට සාධාර්ණ ද යන්න බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුය.

මෙහිදී සදහන් කලයුතු (මීට පෙර ද ‘යහමඟ‘ අවධාරණය කල) තවත් කාරණයක් ඇත. ඒ ඉස්ලාමීය ඉගෙන්වීම නොව මුස්ලීම් සමාජයේ ක්‍රියාකලාපය පදනම් කරගෙන ඉස්ලාම් දහම විවේචනය කිරීම යන කාරණය පිලිබදවයි. අද ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ ක්‍රියාත්මක වන ඉස්ලාම් විරෝධි බොහෝ ව්‍යාපාරයන් සදහා පදනම් වී ඇත්තේ ඉස්ලාමීය ඉගෙන්වීම නොව මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන්ය. මෙය කිසිසේත් සාධාර්ණ වූ හා බුද්ධිමත් විමසුමක් නොවේ. උදාහර්ණයකට ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ ක්‍රියාකලාපයන් පදනම් කරගෙන කිසිවකු බුදුදහම විවේචනය කරන්නේ නම් එය බුද්ධියක් ඇති කිසිවකු අනුමත කරන්නේ නැත. නමුත් ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ ඉස්ලාම් දහමට අද උදාකර දී ඇත්තේ එවන් ඉරණමයි.

  • ලිබියාව තුල දේශපාලන කැරලිගැසීමක් සිදුවී එහි විවිධ ගැටුම්කාරී තත්වයන් හා ඝාතනයන් සිදුවන විට (එයට මැදීවී සිටින පිරිස් මුස්ලීම්වරුන් නිසා) එයට ඉස්ලාමීය මුහුණුවරක් ලබාදෙමින් ඉස්ලාම් විවේචනය කරයි. නමුත් අප රට තුල එවැනි දේශපාලන කැරලිගැසීම් දේශපාලන පලිගැනීම් වදහිංසා පමුණුවීම (බෞද්ධයන් අතරම සිදුවන විට) එය මිලෙච්ඡ ක්‍රියාවක් ලෙස හෙළාදකිමින් පත්තර පිටුගනන් බ්ලොග් ගණන් ලියයි. නමුත් එයට ආගමික මුහුණූවරක් ලබානොදෙයි. (මීට වඩා මෙය විග්‍රාහ නොකරන්නේ එය රටේ දේශපාලන මාතෘකාවක් වන නිසාත් ‘යහමඟ‘ එවන් මාතෘකාවලින් ආයාසයෙන් ම වැලකී සිටින නිසාත්ය. නමුත් රටේ දේශපාලන රටාව පිලිබදව දළ අවබෝධයක් හෝ ඔබට තිබේ නම් මා පවසන කාරණය ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත) මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ‘යහමඟ‘ ට විරුද්ධ මතවාදයක් නැත. නමුත් මුස්ලීම්වරුන් සම්බන්ධ වී සිදු‍ෙකරෙන ක්‍රියාවන් සම්බන්ධයෙන් ද කුහක නොවී මේ දෘෂ්ඨිකෝණයෙන් දකින්නට නොපෙලඹෙන්නේ ඇයි?

 

  • ඉන්දුනීසියාවේ එක්තරා පුද්ගලයෙකුව කිසියම් පිරිසක් විසින් ඝාතනය කිරීම සම්බන්ධ වීඩියෝ දර්ශනයක් පසුගිය දිනවල අන්තර්ජාලයට නිකුත් කර තිබුණි. මෙම සිද්ධියට සම්බන්ධ වී සිටින්නේ මුස්ලීම්වරුන් යයි අවබෝධ කරගත් අපරටේ ඉස්ලාම් විරෝධි බ්ලොග්කරුවන් සිදුකලේ කුමක්ද? ඉස්ලාම් විවේචනය සදහා එම සිදුවීම පදනමක් කර ගැනීමයි. මා දැන් යෝජනා කරනවා ඉන්දුනීසියාවේ නොව අප රටේ පසුගිය දිනක මැතිවර්ණ සමයේ කොළඹ දී මහා දහවල ඉතා මිලෙච්ඡ ලෙස මිනිස් ඝාතනයක් සිදුවූවා (රටම කම්පා වූ ඒ සිදුවීම) සදහා ඇයි ආගමික මුහුණූවරක් ලබා නොදුන්නේ (එය එසේ කලයුතුයි යන ස්ථාවරයේ ‘යහමඟ‘ කිසිසේත් නැත) නමුත් ජාත්‍යන්තරයේ මුස්ලීම්වරුන් අතර සිදුවන සිදුවීම් සියල්ලට ඉස්ලාමීය මුහුණූවර ලබාදීමට ඉක්මන් වන ඉහත බ්ලොග් ඔස්තාර්ලාට මෙවැනි සිදුවීමන් එවන් දෘෂ්ඨිකෝණයෙන් බලන්නට නොහැකි වීම තුල “කෙසේ හෝ ඉස්ලාම් විවේචනය කලයුතුයි“ යන පහත් මානසිකත්වය මනාව පිලිඹිබු කරනවා නොවේද?.

 

  • අෆ්ගනිස්ථානයේ තිබූ “බාමීන්“ බුදුපිලිමය අෆ්ගන්වරුන් විසින් විනාශ කල මොහොතේ ඉහතින් සදහන් ඔස්තාර්ලා ඉස්ලාම් දහම විවේචනය කල ආකාරය කිසිදු මුස්ලීම්වරයෙකුට අමතක වී ඇතැයි මා නොසිතමි. (මෙම සිදුවීම අප රටේ මුස්ලීම්වරුන් පවා හෙළාදකිමින් විවිධ ප්‍රතිචාර දැක් වූ බව එම පිරිසට අමතකය) අෆ්ගන්වරුන් ඉස්ලාම් දහමට ආදර්ශයක් ලෙස මුස්ලීම්වරුන් සලකන බවත්, එම ක්‍රියාව මුස්ලීම්වරුන් අනුමත කරන බවත්, ඉස්ලාම් එය අනුමත කරන බවත් හේත්තුගන්වන ආකාරයට විවිධ ප්‍රචාරයන් එදා පටන් අද දක්වා ඉහත විවේචකයන් ගෙනහැර දක්වමින් ඉස්ලාම් දහමත් මුස්ලීම් සමාජයත් විවේචනය කරයි. සීමිත අන්තවාදී පිරිසක් සිදුකල එම ක්‍රියාවට ඉස්ලාම් ආගමික මුහුණුවරක් ලබාදුන් ඉහත පිරිසට නීතිය තම අතට ගෙන අනුරාධපුර සොහොන් කොත කැඩීම (මෙය මුස්ලීම් පල්ලියක් නොවේ), මැජස්ටික් සිටි හා පැවතී “ලොටස් බුද්ධා“ මධ්‍යස්ථානය විනාශ කිරීම, පිටිදුව සිරිධම්ම හිමි අසපුව කඩබිද දැමීම පමණක් නොව රටේ විවිධ ප්‍රදේශවල සිදුවන මෙවැනිම සිදුවීමන් අන්තවාදී බෞද්ධ ආගමික වියරුවක් ලෙස දකින්නට නොහැකි වන්නේ ඇයිද? යන කුතුහලය මතුවේ. (එය එසේ කලයුතුයි යන ස්ථාවරයේ ‘යහමඟ‘ කිසිසේත් නැත) නමුත් මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් පමණක් එසේ ක්‍රියාත්මක වන්නේ කුමක් නිසාද? යන්න බුද්ධිමත් සමාජය විමසා බැලිය යුතුය.

ඉහත නිදසුන් මගින් ගෙනහැර දක්වන ලද්දේ සිද්ධීන් කිහිපයක් පමණි. රටේ බහුතරය වන බෞද්ධයන් අතර මෙන්ම සමහරක් අන්තවාදී බෞද්ධ ප්‍රජාව අතින් මේ රට තුල සිදුකරන විවිධ වූ අසාධාර්ණයන් දීර්ඝ ලෙස පෙලගැසිය හැක. සතිඅන්ත පුවත්පතක් ගෙන බැලුවේ නම් එවැනි පහත් ක්‍රියාවන් ඕනෑතරම් කියවිය හැක. ඒවා සංවිධානාත්මක හා තනිපුද්ගල වශයෙන් පැවතුනත් ඒ සියල්ලටම ඔවුන් නියෝජනය කරන ආගම මූලික කරගෙන ආගමික මුහුණුවරයන් ලබානොදේ. සමහරක් සිදුවීමන් ආගමික පූජකවරුන් අතින් සිදුවන වැරදි වුවත් එයට කිසිවිටෙක් ආගමික මුහුණූවරක් ලබානොදේ. නමුත් එවැනි සිදුවීමක් මුස්ලීම්වරයෙකු අතින් සිදුවන විට එයට ආගමික මුහුණුවරක් ආරූඩ කොට ලබාදෙන ප්‍රසිද්ධියත් එයට පිටුගනන් ලියවෙන comments තුලත් මා පවසන්නට උත්සාහ කරන කාරණය මනාව පිළිඹිබු වනවා නොවේද?. ‘යහමඟ‘ මෙම කාරණය මෙතරම් දුරකට අවධාරණය කරන්නට හේතුවක් ඇත. එනම් කිසියම් මාතෘකාවක් පිලිබදව ‘යහමඟ‘ කථා කරන විට එයට එරෙහිව මතු කරන පලමු විවේචනය ලොව කොහේ හෝ තැනක මුස්ලීම්වරයෙකුගේ ක්‍රියා කලාපයයි. මෙහිදී අවබෝධ කර ගතයුතු කාරණක් ඇත එනම්, “මුස්ලීම්වරුන් 100% නිවරුදි විය යුතුයි” යන කාරණයේ ‘යහමඟ‘ ට දෙවැනි මතයක් නැත. නමුත් මුස්ලීම්වරුන් 100% නිවරුදි යන්නෙහි හෝ ‘යහමඟ‘ මුස්ලීම් සමාජය වෙනුවෙන් පෙනී සිටිනවා යන්නෙහි එකඟතාවයක් නැත. ‘යහමඟ‘ සැමවිටම අවධාරණය කරන කාරණය නම්, “යහමඟ පෙනී සිටින්නේ මුස්ලීම් සමාජය සදහා නොව ඉස්ලාම් දහම සදහාය“ යන්නයි.

මේ නිසා ‘යහමඟ‘ සැමවිටම කරුණූ ඉදිරිපත් කරන්නේ ආගමික ඉගෙන්වීමන් පදනම් කරගෙන මිස සමාජ සිද්ධීන් පදනම් කරගෙන නොවේ. මෙය ඉස්ලාම් දහම සම්බන්ධයෙන් පමණක් නොව අනිකුත් ආගමික ඉගෙන්වීම් පිලිබදව කථා කලද “යහමඟ“ අනුගමනය කරන්නේ එවැනි ප්‍රතිපත්තියකි. ශ්‍රී ලාංකීය සමහරක් අන්තවාදී බෞද්ධ පිරිස් මුස්ලීම් සමාජයේ ක්‍රියාකලාපයන් පදනම් කරගෙන ඉස්ලාම් විවේචනය කරනවා සේ ඔවුන් පූර්වාදර්ශය ලෙස ගෙන බෞද්ධ සමාජයේ ක්‍රියා කලාපයන් හා සමාජ සිද්ධීන් මුස්ලීම්වරුන්ට ද විවේචනය කිරීමට නොහැකි වා නොවේ. නමුත් ඒ සදහා ඉස්ලාම් දහම තුලත් අවසරයක් නැති අතර එය බුද්ධිමත් ක්‍රියාවක්ද? නොවේ. ඔබ අන්තර්ජාලයේ විශේෂයෙන් සිංහල භාෂාමය ආගමික බ්ලොග් අතර සැරිසරන කෙනෙකු නම්, ඉස්ලාම් දහමත්, මුස්ලීම් සමාජයත් අපහසයට ලක් කරන බ්ලොග් කොතරම් නම් තිබෙනවාද? ඒවා තුල ලියවෙන කාරණයන් මොනවාද? නමුත් මුස්ලීම්වරුන් විසින් පවත්වාගෙන යන බුදුදහම හෝ බෞද්ධ සමාජය විවේචනය කරන එවැනි බ්ලොග් හෝ ලිපි ඔබට කියවන්නට හැකි වී තිබෙනවාද?. (‘යහමඟ‘ ට තවම එවැනි අඩවීන් හසු වී නැත. එවැනි අඩවීන් පවතින්නේ නම් එය ‘යහමඟ‘ ට පෙන්වාදෙන්නේ නම් එයට එරෙහිව මුස්ලීම් සමාජය පෙලගස්සන්න ‘යහමඟ‘ පසුබට වන්නේත් නැත.) යහමඟ වසර ගණනාවක් මුළුල්ලේ විවිධ මාතෘකා ඔස්සේ ලිපි ගණනාවක්ම මෙම අඩවිය තුල ඉදිරිපත් කර ඇත. නමුත් දැනුවත්ව තවත් සමාජයක ක්‍රියාකලාපය පදනම් කරගෙන ආගමක් විවේචනය කොට නැත. (එවැනි ලිපි ඇත්නම් එය පෙන්වාදෙන්නේ නම් නිවරදි කරගැනීමට ද පසුබට වන්නේ නැත) තරමක් දුරකට හෝ “ධර්ම ද්වීපයේ ඉරණම“ යන ලිපිය තුලින් එවැනි කරුණු සාකච්චාවට ගැනුණද ඒ තුලින් ද අපේක්ෂා කලේ “ධර්ම දීපයේ ඉරණම“ යනුවෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට එරෙහිව පවත්වාගෙන යන බ්ලොග් අඩවියේ දෘෂ්ඨිකොණ්ය සම්පූර්ණ වැරදි බව පෙන්වා දෙමින් එය වඩාත් හොදින් තහවුරු කිරීම සදහා ඔවුන්ගේ අවධානයට කරුණු කිහිපයක් එම ලිපියෙන් ගෙනහැර දැක්වීම හා ඒ සදහා comments ද භාවිතා කලා මිස එහි ඉදිරිපත් කල කරුණු සම්බන්ධයෙන් ‘යහමඟ‘ ට ද එකඟතාවයක් නැත.

මෙම කාරණයන් මතකයේ හොදින් රදවාගෙන ඉහතින් මතු කල කාරණයන් වෙත දැන් කෙටි අවධානයක් යොමු කරමු. එනම්,

  • ඉස්ලාම් විශිෂ්ඨ වූ මඟපෙන්වීමක්,
  • හඳවතට එකඟව ක්‍රියා කලේනම් ඇති,
  • තම දහම කෙරෙහි පමණක් ඇති පක්ෂපාතීන්වය,
  • මුස්ලීම්වරුන් හොද අය නොවේ,

ඉස්ලාම් විශිෂ්ඨ වූ මඟපෙන්වීමක්

ලොව සෑම ජන සමාජයක්ම තමන් සතුව එසේත් නැත්නම් තමන් පිලිගෙන අදහන දහම හෝ දර්ශනය ලොව විශිෂ්ඨතම මඟපෙන්වීම පැවසීම සුළභ කාරණයකි. මෙය තවත් දහමකට කරන අපහසයක් ලෙස ගැනීම සාධාර්ණ වූ ක්‍රියාවක් නොවේ. එය සාමාන්‍ය පොදු ජනතාවේ සිට ඒ ඒ ආගමික විද්වතුන් දක්වා සියළු පාර්ශවයන් විවිධ තලයන් හි හිඳ එය ප්‍රකාශ කරනවා ඔබ අසා ඇති. මෙසේ ප්‍රකාශ කරන බොහෝ පිරිස් එය කිසිදු පදනමකින් තොරව සිදුකල ද සුළු පිරිසක් තමන්ගේ මතවාදය තහවුරු කිරීම සදහා නොයෙක් කරුණූ කාරණා අනිකුත් මතවාදයන් හා සංසන්ධනාත්මක ලෙස ඉදිරිපත් කරයි. ඒ අ‍ාකාරයටම “ඉස්ලාම් දහම විශිෂ්ඨ වූ මඟපෙන්වීමක්“ යන්න සෑම මුස්ලීම්වරයෙකුම පිලිගන්නා බව සත්‍යයකි. ඒ සදහා මුස්ලීම්වරුන් ද විවිධ කරුණු පදනම් කරගන්නා අතර ඒ පිලිබදව කෙටියෙන් විමසා බලන්නේ නම්,

සර්ව බලධාරී ‘අල්ලාහ්‘ (නම් වූ දෙවියන්) විසින් වක්තෘවරුන් මාර්ගයෙන් මිනිස් සමාජයට ඉස්ලාම් දහම දේශනා කොට ඇත. මෙහි මිනිස් චින්තන හෝ මඟපෙන්වීම් අන්තරග නොමැති මුත් වක්තෘවරුන් (නම් නබිවරුන්)ගේ ආදර්ශ අන්තර්ගතය. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 59-7 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි.

අප දූතයන් (නබිවරුන්) නුඹලා වෙත කුමක් ගෙන එන්නේද එය පිලිගන්න. තවද කුමකින් නුඹලා (දුරස්කොට) වලකන්නේද එයින් වැලකෙන්න

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව වක්තෘවරුන්ගේ ආදර්ශය තමා ඉස්ලාම් යන්න පැහැදිලිය. දෙවියන් විසින් මිනිස් සමාජය උදෙස මාර්ගයක් නිර්මාණය කර දුන්න ද එය ප්‍රායෝගික ලෙස මේ මිහිමත ක්‍රියාවට නැංවීමේ වගකීම මනුෂ්‍යයන් අතර විෂිශ්ඨයන් වූ නබිවරුන්ට (වක්තෘවරුන්ට) පැවරී තිබීම තුල මෙය ප්‍රායොගික දහමක් බව ක්‍රියාවෙන් පෙන්වා දී ඇත. ලොව බොහෝ දහමන් දර්ශනයන් තුල සුන්දර වූ ඉගෙන්වීමන් දක්නට ඇත. නමුත් එය ක්‍රියාවට නැංවීමට පුළුවන්ද? එය ප්‍රායෝගිකව කලහැක්කක්ද? යන කුතුහලය අන්‍ය ආගමිකයන්ට නොව එහි අනුගාමිකයන් තුල පවා සමහරක් අවස්ථාවල දක්නට ඇත. මේ නිසා එම ඉගෙන්වීමන් සදහා විවිධ වූ විග්‍රහයන් ද ඉදිරිපත් කරනවා අප දැක ඇත. තවත් සමහරක් ආගම් සැලකූවිට එහි ඉගෙන්වීමන් ආදර්ශමත්ය නමුත් එහි ආදර්ශ නොඑසේ නම් මඟපෙන්වීමන් එම ඉගෙන්වීමන්ට පරස්පරය. නිදසුනක් පවසනවා නම්, කිතුණුවන් ශුද්ධත්වයෙන් සලකන බයිබලයෙහි බොහෝ තැන්වල මත්පැන්, අනියම් සම්බන්ධතාවයන් පිලිබදව දැඩි ලෙස හෙළාදැක මිනිස් සමාජයට අවවාද කරයි. නමුත් එම බයිබලය තුලම දේව වක්තෘවරුන් තම දූවරුන් සමඟත්, ලේලිවරුන් සමඟත් අනියම් (ලිංගික) සම්බන්ධතාවයන් පැවැත්වූ බවටත් මත්පැන් පානය කොට වෙරිවී සිටී බවටත් පවසයි. දැන් ජනතාව ආදර්ශයට ගතයුත්තේ ඉගෙන්වීමද? නොඑසේ නම් වක්තෘවරුන්ගේ ආදර්ශයද? මේ දෙකින් කුමක් වුවත් එහි පරස්පරතාවයන් පවතින බව පැහැදිලිය. නමුත් ඉස්ලාම් පැහැදිලි ලෙස ශුද්ධ වූ කුර්ආනයේ 61-2,3 වාකයෙන් මෙසේ පවසයි.

විශ්වාසවන්තයෙනි!, නුඹලා නොකරන දෑ ඇයි ජනයාට අණ කරන්නේ?. නුඹලා නොකරන දෑ ජනතාවට අණ කිරීම අල්ලාහ් (දෙවියන්) හමුවේ ඉතා පිලිකුල් සහගත කාරණයක් වන්නේය.

ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව එහි පැවසෙන සියල්ල හැකි පමණින් ක්‍රියාවට නැංවියයුතුය. එහි තහනම් කරන සියල්ලෙන්ම වැලකිය යුතුය. මෙසේ මා පවසන විට සමහරක් පිරිස් පවසන තර්කයක් තමා ඉස්ලාම් එහි අනුගාමිකයන්ට අන්ධ භක්තියෙන් ක්‍රියාකරන්න අනකරනවා යන්න. මෙය සම්පූර්ණ වැරදි වැටහීමකි. එය පහත ශුද්ධ වූ කුර්ආනයේ 25-73 වාක්‍යය මඟින් වටහා ගත හැක.

තවද ඔවුන් (මුස්ලීම්වරුන්) හමුවේ තම දෙවියන්ගේ වාක්‍යයන් (කුර්ආන් වාක්‍යයන් ගෙනහැර) පැවසූ විට එය බිහිරන් ලෙසත් අන්ධයන් ලෙසත් (පිලිගෙන) එහි කටයුතු නොකරයි (එය බුද්ධිමත්ව ලෙස සිතා බලා කටයුතු කරයි)

මෙවන් වූ පරිපූර්ණ හා බුද්ධිමත් සැලසුම් කරණයක් ඉස්ලාම් දහම තුල හැර ලොව වෙන කිසිදු දහමක දක්නට නැත යන්න මුස්ලීම්වරුන් වන අපගේ විශ්වාසයයි. ඒ අනුව ඉස්ලාම් විශිෂ්ඨ වූ මඟපෙන්වීමක් යන්නේ හි හා මුස්ලීම්වරුන්ට පමණක් නොව ලෝකවාසී සියළු ජනයාට ප්‍රායෝගික මෙන්ම ආදර්ශමත් එකම මාර්ගය ඉස්ලාම් යන්නෙහි දෙවැනි මතයක් නැත.

හඳවතට එකඟව ක්‍රියා කලේනම් ඇති,

මෙය බොහෝ පිරිස් මතුකරන වාදයකට අලංකාර වූ යොජනාවකි. “හඳවතට එකඟවීම“ යන කාරණය සැලකූවිට එය තරමක් බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුය. එනම්,

  • කෙනෙකු හඳවතට එකඟව ගනු ලබන තීරණ සෑම විටම සෑම කෙනෙකුටම එකඟවිය හැකි ආකාරයෙන් පවතිනවාද?
  • එහි කිසිදු විටෙක අඩුපාඩුකම් දුර්වලතාවයන් සිදු නොවනවාද?
  • කෙනෙකු තම හඳවතට එකඟව ගනු ලබන තීන්දුවකට පවුල් පසුබිම, සමාජ පසුබිම, ආගමික පසුබිම…. යනාදියෙන් බලපෑමක් සිදු නොවනවාද?
  • කෙනෙකුගේ ආසාවන් හා දුර්වලතාවයන් එකින් එකට වෙනස්ය. බුද්ධිමත් කෙනෙකුගේ මානසික හැඟීමත් දුර්වලයෙකුගේ මානසික හැඟීමත් සැමවිට සමාන නොවේ. එසේනම් මේ සියළු දෙනා හඳවතට එකඟව ගනුලබන තීන්දුවල පරස්පරතාවයන් පැවතිය නොහැකිද?
  • කෙනෙකුගේ සිතට අලංකාර, ප්‍රියමනාප, සුන්දර… යයි සිතෙන බොහෝ දෑ තවත් කෙනෙකුට අලංකාර නොවන අවස්ථාවන් කොතෙක් නම් තිබෙනවාද?

මෙලෙස කරුණූ බොහෝමයක් ඔබගේ බුද්ධිමත් විමසුමට පෙලගැසිය හැක. මේ අනුව හඳවතට එකඟව තීන්දු තීරණ ගන්නවා යන්න සෑමවිටම එය සාපේක්ෂ කරාණයක් මිස නිවරුදි ක්‍රමවේදයක් නොවේ. උදාහර්ණයකට අදේවවාදියෙක් හා කිසියම් ආගමක් දර්ශනයක් පිලිපදින කෙනෙකු සංසද්ධනය කර බලන්න අදේවවාදියා මරණයත් සමඟ සියල්ල අවසන් වන බව විශ්වාස කරයි. නම් දහමක් දර්ශනයක් පිලිගන්නා පිරිස් ස්වර්ගය, අපාය, පුනර්භවය, පුනරුත්පත්තිය…. යනාදී වශයෙන් විවිධ දෑ පිලිබදව විශ්වාසය තබයි. මේ දෙපාර්ශවය හඳවතට එකඟව තීන්දු තීරණ ගන්නේ කෙසේද?. වාදයකට මේ මිහිපිට ජීවත් වන සියළු මිනිසුන් එකම ආකාරයට සිතන බවත් එකම ආකාරයට හඳවතට එකඟව ක්‍රියාකරන බවත් උපකල්පනය කර බලන්න. සමාජයක පවතින විවිධත්වය තමා එම සමාජය ඉදිරියට රුගෙන යන්නේ ඒ විවිධත්වය නොමැති තැන මේ සමාජයට පැවැත්මක් පැවතිය නොහැක. එසේ තිබිය දී ආගම සම්බන්ධයෙන් පමණක් “හඳවතට එකඟව“ යනුවෙන් තර්ක විතර්ක පැවසීම වාදයකට අලංකාර වුවත් එය කිසිසේත් ප්‍රායෝගික වාදයක් නොවේ. අල්ලාහ් (දෙවියන්) විසින් දේව දූතයන් මඟින් මිනිස් සමාජයට ආදර්ශ ලබාදුන් ඉස්ලාම් දහම තනිපුද්ගලයාටත්, පවුලටත්, සමාජයටත්, රටටත්, ලෝකයටත් එකසේ ප්‍රායෝගිකය ආදර්ශමත්ය. මේ නිසා සියළු මිනිසුන් එම ඉස්ලාමීය ආදර්ශයට අවනත වියයුතු බව දැඩිව ඉස්ලාම් පවසයි. ඒ මිනිසාගේ ලෞකික හා ලෝකොත්තර දිවියේ විමුක්තිය ඒ තුල රුදී තිබෙන බැවිණි.

තම දහම කෙරෙහි පමණක් ඇති පක්ෂපාතීන්වය

මෙය මුස්ලීම් සමාජයට එරෙහිව මතුකරන ප්‍රබල චෝදනාවකි. එනම් මුස්ලීම්වරුන් අනිකුත් ආගම් හා දර්ශනයන්ට සාපේක්ෂව දැඩි ආගමික බැදීමකින් ජීවත් වනවා යන්න එම චෝදනාවේ හරයයි. මෙය කිසිදු මුස්ලීම්වරයෙකුට ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයක්. නිදසුනක් ලෙස කිතුණු හා බෞද්ධ පවුල් අතර විවාහයන් සිදුවීම අප රටේ සුලභ දසුනක්. එවැනි පවුල් පොහෝ දිනයේ පන්සල් යන අතර නත්තලට හෝ ඉරිදා දිනයන් හි පල්ලියාම සාමාන්‍ය දසුනක්. මේ සහයෝගිතාවය මුස්ලීම් සමාජයේ දක්නට නොලැබීම ඉහත චෝදනාවට එක් ප්‍රබල හේතුවක්. මෙහි ආශ්චර්‍යමත් කාරණය නම් බුදුදහම හා කිතුණු දහම යන ආගම් දෙක සැලකූවිට ඒ ඉගෙන්වීමන් දෙක අහසට පොළොව මෙන් පරස්පරය. එසේ තිබිය දී මේ දෙපාර්ශවය ආගමික ලෙස එකට පෑහෙන්නේ කෙසේද? යන්නයි. බුදුදහමට දේවවාදය පිලිබදව ඇත්තේ දුර්වල විශ්වාසයකි. නමුත් කිතුණූ දහමට ඇත්තේ දෙවියන් පිලිබදව ප්‍රබල මතවාදයකි. එසේම බුදුදහම කිතුණුදහමේ පැවසෙන දේව වාදය කිසිවිටෙක අනුමත කරන්නේ නැත. එසේම කිතුණුදහම බුදුදහමේ පැවසෙන දේවවාදය කිසිදු විටෙක අනුමත කරන්නේත් නැත. එසේනම් නම් මේ දෙපාර්ශවය පෑහුණේ කෙසේද? එය බුද්ධිමත් ලෙස විමසා බැලියයුතු කාරණයකි. එනම් මේ දෙපාර්ශවයම තම ආගමික මතවාදයන් ආරක්ෂා කරගෙනද?. නොඑසේ නම් සංකේතාත්මක ලෙස ලෝකයාට තම අනන්‍යතාවය ප්‍රදර්ශනය කරනවාද?. මෙවන් තත්වයකට ඉස්ලාම් දහම යොමු නොවන්නේ ඇයිද? යන ප්‍රශ්නය ‘යහමඟ‘ පාඨකයන් විසින් විවිධ අවස්ථාවල යොමු කොට ඇත. එය කොතරම් ප්‍රායොගික ක්‍රියා මාර්ගයක්ද? යන්න ඔබම විමසා බැලිය යුතු සරල කාරණයකි. විවාහය පදනම් කරගෙන ඉහත කාරණය මා පැහැදිලි කලද “ඉස්ලාම් දහම කෙරෙහි මුස්ලීම් සමාජය දැඩි පක්ෂපාතීත්වයක්“ දක්වන්න එකම සාධකය එය පමණක් නොවේ. බලන්න ශ්‍රී ලංකීය බහුතරය පිලිපදින බුදුදහම ථේරවාදී බෞද්ධයන් බුදුන් වහන්සේ ශාස්තෘවරයෙකු බවට අවධාරණය කරන විට මහායාන බෞද්ධයන් බුදුන්වහන්සේ දේවත්වයෙන් සලකයි. එපමණක් නොව කිතුණු සමාජයේ බහුතර පාර්ශවය ක්‍රිස්තුස්වහන්සේ හා මරියම් තුමිය දේවත්වයෙන් සලකන විට “යෙහෝවා විට්නස්“ පාර්ශවය “ක්‍රිස්තුස් වහන්සේ වක්තාවරයෙකු පමණයි යෙහෝවා තමා සර්ව බලධාරී දෙවියා“ යනුවෙන් තර්ක කරයි. මෙවැනි එකින් එකට පරස්පර හා ව්‍යාකූල තත්වයන් හමුවේ. සියළු මාර්ගයන් නිවරුදි යන තැනට මුස්ලීම්වරුන් පැමිණිය යුතුයයි අපේක්ෂා කිරීම අනවබෝධයකි. මෙය ශූද්ධ වූ කුර්ආනය 39-9 මෙසේ විමසයි.

දැනුවත් අය හා නොදැනුවත් අය එක සමාන වේද? කවුරුන් (මෙම කුර්ආනය මඟින්) හොද ඔවදන් ලබන්නේද ඔවුන් බුද්ධිමතුන් වන්නේය.

බුද්ධිය මූලික කරගෙන තීන්දු තීරණ නොගෙන “සෑම දහමක්ම එකයි. සෑම දහමක්ම පවසන්නේ හොද දෑ තමයි“ යනුවෙන් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් තින්දු තීරණ ගැනීම කොතරම් අනුවනක්කාර ක්‍රියාවක්ද යන්න ඉහත නිදසුනෙන් පැහැදිලි වියයුතුය. දැනුමත්, අවංකත්වයත්, සාධාර්ණභාවයත් නොමැති අන්ධ භක්තිකයන්ගේ ගුණාංගය තමා සත්‍යය ප්‍රතික්ෂේප කිරීම. තම දහම හෝ දර්ශනය පුර්ණ ලෙස අවබෝධ කර ගැනීමෙන් අනතුරුව තමා කෙනෙකුහට එහි සැබෑ භක්තිකයෙකු විය හැක්කේ. එසේ නොමැතිව පාරම්පරිකව හා සමාජ සම්ප්‍රදායන් තවදුරටත් ඉදිරියට ගෙනයමින් “තමන් සැබෑ භක්තිකයෙකු“ යයි පැවසූ පමණින් එය එසේ නොවේ. ඉහත සියළු කාරණයන් නොසලකා හැර ක්‍රියාකරන සමාජයක් මුස්ලීම් සමාජය දෙස බලා මුස්ලීම්වරුන් දැඩි ආගමික පක්ෂපාතීත්වයක් දක්වයි. යනුවෙන් පැවසීම හාස්‍ය ජනක කාරණයකි. අල්ලාහ් (දෙවියන්) විසින් මනුෂයා සදහා ම වූ පරිපූර්ණ ජීවන සැලැස්මක් හදුන්වා දී එය ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නංවා තිබිය දී එය ප්‍රතික්ෂේප කොට අපැහැදිලි ව්‍යාකූල මාර්ගයන් තොරා ගැනීම හෝ සියළු “මාර්ගයන් එකයි“ යනුවෙන් උපකල්පනයන් මත ක්‍රියා කිරීම සිදුකලයුතු යයි කිසිවකු තර්ක කරන්නේ නම් එය අනවබෝධයක් මිස අන් කිසිවක් නොවේ.

මුස්ලීම්වරුන් සියල්ල හොද අය නොවේ

මෙම කාරණය ‘යහමඟ‘ අඩවිය තුල  බොහෝ අවස්ථාවල කථා කොට ඇති නිසාත් මෙම ලිපිය ආරම්භයේ දී ද මා තරමක් දුරකට ඒ පිලිබදව සාක්ච්චා කල නිසාත් මෙතැන දී මුහම්මද් (සල්) තුමාණන් පැවසූ ‘හදීසයන්‘ (නබිවදන්) දෙකකට ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. එනම්,

  • යහපත් ගුණාංග (මේ මිහිමත) පරිපූර්ණය කිරීම පිණිස තමා මා (ව දෙවියන් විසින්) එවා ඇත්තේ

මූලාශ්‍ර ග්‍රන්ථය – මුඅත්තා

  • එක් විශ්වාසවන්තයෙකුගේ යහපත් ගුණාංගය තමා ඔහුගේ භක්තිය. ‘ඉවසීම‘ තමා ඔහුගේ බුද්ධිය. ‘පරිත්‍යාගශීලීත්වය‘ තමා ගුණාංගයන් අතුරින් විශිෂ්ඨතම ගුණාංගය

මූලාශ්‍ර ග්‍රන්ථය – හාකිම්

මෙලෙස යහපත් ගුණාංගයන් අවධාරණය කරන දහම තුල සිටින සෑම මුස්ලිම්වරයෙකුම එසේ නොවේ යයි පැවසීම එම දහමේ දුර්වලතාවයක්ද? නොඑසේනම් එම පිරිසගේ දුර්වලතාවයක්ද? ලොව ඕනෑම සමාජයක් ගෙන බැලුවේ නම් එම සමාජය කිසිදු විටෙක 100% නිවැරදි ජනතාව සිටී යයි පැවසිය නොහැක. එලෙසම මුස්ලීම් සමාජයේ ද සැලකියයුතු පිරිසක් ආගමික ඉගෙන්වීමන්ගෙන් බැහැරව පුද්ගල වාසි හා වැරදි මඟපෙන්වීම් ඔස්සේ ක්‍රියාකරන බව සැබෑවකි. මුහම්මද්, අබුබක්කර්, ෆාතිමා, ආයිෂා…. යනාදි වශයෙන් බෝඩ් ලෑල්ල නමට යෙදූ පමණින් කිසිවකුත් මුස්ලීම් නොවේ. ඔහුගේ ජීවිතය තුල කොතරම් දුරකට ඉස්ලාමීය ඉගෙන්වීමන් අන්තර්ගතද? ඔහු තුලින් ඉස්ලාම් කොතරම් දුරකට පිලිඹිබු වෙනවාද? යන්න විමසා බැලිය යුතුය. මෙම කාරණය පිලිබදව මුස්ලිම් සමාජයේ දැඩි අවධානය ද යොමු වියයුතුමය. දිව්‍යමය මඟපෙන්වීමක් තුලින් පරිපූර්ණ ජිවන සැලැස්මකට උරුමකම් කියන මුස්ලීම් සමාජය සැබෑ මුස්ලීම්වරුන් නොවීම අවාසනාවකි. ඔවුන් සැබෑ මුස්ලීම්වරුන් වීම දැඩි අවශ්‍යතාවයකි.

 

අබූ අර්ශද්

 

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp