අන්‍ය ආගමික රටක් තුල මුස්ලීම්වරුන් ක‍්‍රියාකරන්නේ කෙසේද?

0

අද ලොව සමහරක් ඉස්ලාම් ආගමික විද්වතුන් හා විවිධ සංවිධාන මුස්ලීම්වරුන් සදහා අනිවාර්‍යයෙන්ම ඉස්ලාමීය පාලනයක් අවශ්‍ය බවත්, එසේ නොමැති තත්වයක මුස්ලීම්වරුන් ජීවත්වීම නුසුදුසු බවත් විවිධ වූ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් මුස්ලීම් සමාජය නොමග යැවීමට උත්සාහ දරමින් සිටී. මෙහිදී පැහැදිලි ලෙස වටහා ගතයුතු සත්‍යයක් ඇත. එනම්, ඉස්ලාම් දහම යනු දහමකට වඩා ප‍්‍රායෝගික වූ ජීවන මාර්ගයක් යන්නයි. එය හුදෙක් දේශනයට පමණක් සීමා වූ තවත් දහමක් නොවේ. මීට වසර 1400 කට පෙර මේ මිහිතලය මත මුහම්මද් (සල්) තුමාණන් මඟින් ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නැගු අදටත් ඉතිහාසඥයින් මවිතයට පත්ව කථා කරන ජීවන මර්ගයකි. එවන් වූ මෙම දහම තුල මෙවැනි තත්වයන් එනම් ‘අන්‍ය ආගමික ඉස්ලාමීය පාලනය නොමැති රටක් තුල මුස්ලීම්වරුන් ජීවත්විම’ යන කාරණය සංවාදයට හා තර්ක විතර්ක සදහා යටත් කිරීමට ප‍්‍රථම කලයුතුව ඇත්තේ මෙවන් තත්වයන් සදහා ඉස්ලාම් දහම තුල ආදර්ශයන් කුමක්ද? යන්න සොයා බැලීමයි. එසේම ඉස්ලාම් ආගමික මූලාශ‍්‍රයන් මේ පිලිබද කුමක් පවසනවාද? යන්නත් සොයා බැලීම මේ පිලිබදව කථා කරන සෑම මුස්ලීම්වරයෙකුගේම අනිවාර්‍ය වගකීමක් ද වේ. එසේ විමර්ශනයක නිරත වුවා නම් මෙවන් වූ තත්වයන් හි මුස්ලීම්වරුන් ක‍්‍රියා කලයුතු ආකාරය පවසන අල්කුර්ආන් වාක්‍යයන් හා නබිවදන් හෙවත් අල්හදීසයන් බොහෝමයක් ඉස්ලාමීය මූලාශ‍්‍රයන් තුල දැකගත හැක. (එවැනි අල්කුර්ආන් වාක්‍යය හා අල්හදීස් බොහෝමයක් මීට ඉහත මා විසින් ඉදිරිපත් කොට ද ඇත) තවදුටත් මේ පිලිබදව කෙටි විමසුමක් කලේ නම්,

ඉස්ලාම් ශුද්ධ වූ අල්කුර්ආනයේ 4-59 වාක්‍ය මගින් මෙසේ පවසයි,

“නුඹලා අල්ලාහ්ටත්, ඔහුගේ රසූල්වරයාටත්, නුඹලාගේ අධිකාරීන්ටත් අවනත වන්න”

ඉහත අල්කුර්ආන් වාක්‍යයෙන් අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් මුස්ලීම්වරුන් අවනත වියයුතු බව පවසන ශුද්ධ වු කුර්ආනය ‘තම අධිකාරීන්ට’ ද කීකරුවීමේ අවශ්‍යතාවය අවධාරනය කරයි. මෙසේ පවසන අල්කුර්ආනය මෙම අධිකාරීන් මුස්ලීම්වරුන්ද එසේ නොවන පිරස් ද යන්න සදහන් නොකිරීම තුල මෙය පොදු වූ නියෝගයක් යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. සමහරක් පිරිස් මෙහි ‘අධිකාරීන්’ යනු ඉස්ලාමීය පාලනය තුල  යයි වැරදි අර්ථ කථන ලබාදීම දෙවියන්ගේ වචන විකෘති කිරීමක් මෙන්ම ඉස්ලාම් දහමේ මහා පාපයක්ද වේ. ඉහත 4-59 වාක්‍ය මෙම ප‍්‍රශ්නයට නිවරුදි පිලිතුර ලබාදුන්න ද එම අල්කුර්ආන් වාක්‍යයට විවිධ අර්ථකථනයන් ලබාදෙමින් සමහරක් පිරිස් මුස්ලීම් ප‍්‍රජාව නොමග යැවීමට උත්සාහ කරනු ලබයි. එම නිසා මෙම කාරනය වඩාත් හොදින් තහවුරු කරන විශේෂයෙන් 4-59 මගින් පවසන කාරණය තහවුරු කරන තවත් අල්කුර්ආන් වාක්‍ය දෙකක් මෙහි සදහන් කල හැක. ඒ  2-191, 22-40 යන වාක්‍ය දෙකයි. ඉන් අවධාරනය කරන්නේ

‘මූස්ලීම්වරුන්ගේ මූලික අයිතීන් හා ආගමික අයීතීන් රාජ්‍ය පාලකයන් විසින් ආරක්‍ෂා කර දෙනතාක් ඔවුනට අවනත විය යුතු බවයි’.

මේ අනුව ද ඉස්ලාමීය පාලනයක් නොමැති රටක මුස්ලීම්වරුන්ගේ ආගමික අයිතීන් හා පුද්ගල අයිතීන් රුකේ නම් ඔවුන් අනිවාර්‍යයෙන්ම එම පාලකයාට අවනත විය යුතු යන්න තවදුරටත් පැහැදිලිය. මෙය තවදුරටත් අවබෝධය සදහා ඉස්ලාමීය ඉතිහාසය තුලින් ද බොහෝ කරුණූ ඉදිරිපත් කලහැක. එනම්, ඉස්ලාමීය ආරම්භ කාලයේ මක්කාවේ මුස්ලීම්වරුන් ඉස්ලාම් විරෝධීන්ගේ කුරිරු වදහිංසනයන්ට ගොදුරු විය. මෙය විදදරාගත නොහැකි තැන මක්කා නගරයේ විසූ මුස්ලීම් ජනයාට හිජ්රත් (උපන්බිම හැර යාම) සදහා නබිතුමාණන් අවසර ලබාදී ඔවුන් යායුතු රට වශයෙන් ඇබීශීනියාව (වර්ථමාන ඉතියොපියාව) නම් කරන ලදී. මෙසේ අවසර ලබාදුන් නබිතුමාණන් එසේ හිජ්රත් කරන ජනයාට මෙසේ ද පවසන ලදි.

‘එහි පාලකයා වන නජ්ජාෂි රජු මුස්ලීම් පාලකයෙකු නොවුවත් මුස්ලීම්වරුන්ගේ අයිතීන් ඔහු විසින් ලබාදෙනු ඇත යනුවෙනි’

මේ පිලිබදව බොහෝ හදීස් ග‍්‍රන්ථයන් හි විස්තරාත්මකව සදහන් වන අතර බුහාරි නම් ග‍්‍රන්ථයේ 2298, 3622, 3906, 3905, 3924, 3925 වැනි හදීසයන් ලෙස ද මෙය සදහන් වේ. ඒ අනුව ඉහතින් සදහන් ආකාරයට මුස්ලීම් සමාජය නොමඟ යවමින් පටු අරමුණූ මුදුන්පත් කරගැනීමට උත්සාහ කරන පිරිසට මෙම ප‍්‍රථම හිජ්රතය හොදම පිලිතුරකි.

ඒ අනුව අපට තහවුරු වන්නේ අන්‍ය ආගමික රටක ඉස්ලාම් අවධාරනය නොකරන පාලන ක‍්‍රමයක් යටතේ වුවද මුස්ලීම්වරුන්ගේ ආගමික අයිතීන් සුරකේනම් එම පාලකයන්ට අවනතව කටයුතු කිරීම අනිවාර්‍ය යන්නයි. නමුත් මිනිස් අයිතීන් හා අවශ්‍යතාවයන් නිසි අයුරින් ලබාදෙන සාර්ථක එමෙන්ම ප‍්‍රායෝගික වූ ඉස්ලාමීය පාලන ව්‍යූවහයක් පිලිබදව බලාපොරොත්තු තැබීමත් එහි සාර්ථකත්වය හා ප‍්‍රයෝගික බව සමාජයට පෙන්වාදීම තුලින් චින්තනමය වෙනසක් අපේක්ෂා කිරීම හෝ ඒ සදහා උත්සාහ කිරීම, ඒ සදහා  කිසිවකු හෝ කිසියම් සංවිධානයක් ක‍්‍රියා කිරීම වරදක් නොවේ. නමුත් කුමණ්ත‍්‍රණකාරිව, සමාජයක් බියගන්වා, බලපෑම් සිදුකරමින්, අවිආයුධ මගින්… සමාජය තුල යම් පෙරලියක් සිදුකරමින් කිසිවකු හො කිසිදු සංවිධානයක් ක‍්‍රියා කරයි නම් එය ඉස්ලාම් කිසිදු අවස්ථාවක අනුමත නොකරන එසේම ශුද්ධ වූ අල්කුර්ආනයේ හෝ නබිතුමාගේ ආදර්ශය වන හදීසය තුලින් අවධාරනය නොකරන බරපතල වරදක් යන්න පැහැදිලිව අවබෝධ කර ගතයුතු අතර එවන් පිරිසට එරෙහිව මුස්ලීම් ප‍්‍රජාව නැගීසිටීම ද ඉස්ලාම් වේ.

 

අබු අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *