අන්‍ය ආගමීකරණය හා ආගම් ප‍්‍රචාරය කිරීම

1

අද අප රටේ ජනප‍්‍රිය මාතෘකාවක් බවට “වෙනත් ආගම්වලට හැරවීම” යන්න පත්ව ඇත. මෙය ලාංකීය සමාජයේ සුළු ආගම් වෙත, රටේ බහුතරයක් වන බෞද්ධයන්ගෙන් එල්ලවන ප‍්‍රබල චෝදනාවකි. මෙලෙස චෝදනා එල්ල වූ අවස්ථාවන් බොහෝමයක් ගෙන හැර හැක. ඒවා විටින් විට අප අගහ්ය්ප්ට්ගජදප ඔස්සේ ද කථා කොට ඇත. මෙහි දී අප අවධානය යොමු කරන්නේ එවැනිම තවත් සිදුවීමක් සම්බන්ධවයි. එනම් පසුගිය දිනවල පොල්ගස් ඕවිට සිදුවු මනුෂ්‍ය ඝාතනය හා එහි පසුබිම් වූ කාරණයන් පිලිබදවයි. මෙම සිදුවීමෙන් ද ලාංකීය සුළු ආගම් වෙත චෝදනාත්මක ඇගිලි දිගුවුණි. මේ ආකාරයට දිගින් දිගටම චෝදනාවන් සුළු ආගම් කෙරෙහි එල්ල වන නිසා ලාංකීය සමාජය තුල සුළු ආගමක් වන ඉස්ලාම් දහම මෙම කාරණය සම්බන්ධයෙන් කුමක් පවසනවාද? යන්න සමාජය දැනුවත් කිරීමේ අනිවාර්‍ය වගකීමකට මැදිහත් ව සිටී. ඒ අනුව මෙම කාරණය පිලිබදව අවධානය යොමු කලේ නම්,

ඉස්ලාම් දහම දේව නියෝගයන් පදනම් කරගත් දහමකි. ඒ අනුව ඉහත කාරණය සම්බන්ධයෙන් දෙවියන් කුමක් පවසනවාද? එයයි ඉස්ලාම් දහමේ ස්ථාවරය.

ඉස්ලාම් පැහැදිලිවම, මෙම දහම මුළු මහත් මනුෂ්‍ය සමාජයටම ප‍්‍රචාරය කලයුතු බවට අවධාරනය කරයි. එය දෙවියන් ශුද්ධ වූ අල්කුර්ආන් 34-28 වක්‍ය මගින් මෙසේ පවසයි.

“අප ඔබව (මුහම්මද් (සල්) තුමාව) සකල ලෝකවාසීන්ටම සුභාරංචි දෙන්නෙකු ලෙසත් (සමාජයට) අවවාද කරන්නේකු ලෙසත් එවා ඇත්තෙමු.”

මෙසේ දහම මුළුමහත් ලෝකවාසීන්ටම දේශනා කරන ලෙස පවසන ඉස්ලාම් එය දේශනා කල යුතු ආකාරයද පැහැදිලිවම සදහන් කරයි. එය පියවරින් පියවර පහත ආකාරයට වේ.

මෙම දහම ප‍්‍රචාරය කිරීමේ දී අසත්‍ය කාරණයන් පවසමින් ඉස්ලාම් දහම වෙත් ජනතාව නොකැදවන ලෙස ඉස්ලාම් අවධාරනය කරයි.

“ඔවුන් ඉස්ලාම් දහම වෙත අඩගසන කල් හි අල්ලාහ් ගැන බොරුවක් ගෙතූ කෙනෙකුට වඩා අපරාධකරුවන් කවුරුන්ද?”
ශුද්ධ වූ අල්කුර්ආන් 60-7

කිසිදු අවස්ථාවක බලකිරීමක් මගින් ඉස්ලාම් දහම වෙත නොකැදවන ලෙසත් ඉස්ලාම් පැහැදිලිවම අවධාරණය කරයි.

“ඉස්ලාම් හි බල කිරීමක් නොමැත. ඇත්තෙන්ම දුර්මාර්ගයෙන් සන්මාර්ගය පැහැදිලිය.”
ශුද්ධ වූ අල්කුර්ආන් 2-256

තවදුරටත් ශුද්ධ වූ අල්කුර්ආන් 2-286, 88-22, 10-99, 11-28

ඔවුන් ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කල ද ඒ හේතුව මත කිසිදු අවස්ථාවක ඔවුනට අසාධාරනයන් සිදු නොකරන ලෙස ඉස්ලාම් අවධාරනය කරයි.

“එක් සමාජයක් කෙරෙහි නුඹලාට තිබෙන නොසතුට එම සමාජයට අසාධාරණයන් සිදුකරන තැනට නුඹලා පත් නොකෙරේවා”
ශුද්ධ වූ අල්කුර්ආන් 5-02

තවදුරටත් ශුද්ධ වූ අල්කුර්ආන් 60-8

ඉහතින් ගෙනහැර දක්වා ඇත්තේ ඉස්ලාම් දහම ප‍්‍රචාරය කිරීමේ මුස්ලීම්වරයෙකු ක‍්‍රියා කලයුතු ආකාරයයි. කිසිවකු ඉහත නියෝගයන්ට පරස්පර ආකාරයට හෝ ඉස්ලාම් අවධාරනය කරන ආකාරයට වඩා වෙනස් ආකාරයට මෙම දහම සමාජය තුල ප‍්‍රචාරය කරයි නම් පැහැදිලිවම එය තුලින් ඔහුට හෝ ඇයට අත්වන්නේ අයහපත් ඉරණමක් පමණි. එම ක‍්‍රියාව මුස්ලීම්වරයෙකු කල ද එය ඉස්ලාම් නොවේ. එවැනි ආකාරයේ ක‍්‍රියාවන්වල කිසිවකු සමාජය තුල නියලේ නම් සැබෑ මුස්ලීම්වරුන් ඔවුන්ව ප‍්‍රතිත්‍ක්‍ෂ්ප කලයුතු අතර ඔවුන් නිවරැදි කිරීමට ද කටයුතු කලයුතුය.

මේ අනුව කිසිවකු ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හදවතින්ම පිලිගෙන ඉස්ලාම් දහම වැලද ගනී නම් එය උතුම් ක‍්‍රියාවක් ලෙස ඉස්ලාම් පැහැදිලිවම පවසයි. මෙය ඉස්ලාම් පමණක් නොවේ සෑම දහමක්ම අවධාරනය කරන කාරණයක් බව මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබටම පැහැදිලි වනු ඇත.

ඉස්ලාමීය ස්ථාවරය එසේ තිබිය දී අද සමාජය මෙම කාරණය සම්බන්ධයෙන් ක‍්‍රියා කරන ආකාරයත් දහමක් හෝ දර්ශනයක් සම්බන්ධයෙන් සමාජය සිටින ස්ථාවරයත් පිලිබදව අවධානය යොමු කිරීමේ දී කරුණු කිහිපයක් කෙරෙහි සමාජයේ අවධානය යොමු කලයුතු බව පෙනීයයි. එනම්,

දහමක් හෝ දර්ශනයක් මිනිසෙකු විසින් පිලිපදිනවා යනු ඔහු තම සිත හා කරන ගනුදෙනුවකි. එය මුදලකින් හෝ වෙනයම් සන්තෝසමක් මගින් නතුකර ගන්නවා යනු කිසිවිටෙක සිදුවිය නොහැක්කකි. එසේ කිසිවකු කරන්නේ නම් එය රඟපෑමක් මිස සැබෑවක් නොවේ. එසේ තිබිය දී කිසිවකු තම පිලිගෙන සිටින දහමකින් වෙනත් දහමකට හෝ දර්ශනයකට සැබෑවටම මාරු වන්නේ නම් එයට ප‍්‍රධාන හේතු දෙකක් තිබිය යුතුය. එනම්,

  • තමා පිලිගෙන සිටින ආගම පිලිබදව තිබෙන දුර්වල වූ විශ්වාසය හෝ අනවබෝධය

මෙහි දී එනම් කිසියම් පුද්ගලයකු හට තමා පිලිගෙන සිටී දහම හෝ දර්ශනය පිලිබදව නිවරැදි අවබෝධයක් ලබාගැනීමට නම් එම ආගමික හෝ දාර්ශනික ඉගෙන්වීම් පිලිබදව ඔහුට දැනුමක් ලබාගැනීමේ අවස්ථාව එම දහම හෝ දර්ශනය ලබාදී තිබිය යුතුය. එම අවස්ථාවන් සැලසී නොතිබේ නම් එය එම ආගමික පූජකවරුන්ගේ හා විද්වතුන්ගේ දුර්වලතාවයකි. මේ හේතුව මත කිසිවතු තමා පිලිපදින දහම අතහැර යයි නම් එහි වගකීම ඉහත පාර්ශවකරුවන් අනිවාර්‍යයෙන්ම භාරගත යුතුය.

  • තමා පිලිපදින දහමට හෝ දර්ශනයට වඩා නිවරැදි මාර්ගයක් අවබෝධ කර ගැනීම.

මෙම කාරණය එනම් කිසියම් පුද්ගලයකු තමා පිලිපදින දහමට වඩා නිවරැදි මාර්ගයක් අවබෝධ කරගෙන තම දහම අතහැර වෙනත් මාර්ගයකට යොමු වේ නම් එහි දී ඔහුට තවදුරටත් තමන් උපන් දහමේ රැදීසිටින ලෙස බලකිරීම සදාචාරාත්මක නොවන අමානුෂික ක‍්‍රියාවකි. එසේම ඒ සදහා ඔහුට බල කරන්නේ නම් එය අසාර්ථක වෑයමක් වන්නේ මෙය සිතත් සමඟ කරන ගනුදෙනුවක් වන බැවිණි. එසේම කිසිවකු සත්‍ය මාර්ගයක් අවබෝධ කරගෙන ඒ හේතුව මත තම ආගම වෙනස් කරන්නේ නම් ඔහුගේ කෝණයෙන් තමන් එතුවක් පිලිපදින ලද මාර්ගය මිත්‍යාවක් වන අතර තමන් පිලිගත් මාර්ගය සත්‍ය මාර්ගය බවට පත්වේ. ඒ අනුව සැලකුව ද ඒ පුද්ගලයාට සාපේක්‍ෂව මිත්‍යාවක් තුල තවදුරටත් රැදී සිටින ලෙස බලකිරීම ද සදාචාරාත්මක නොවන ක‍්‍රියාවකි. මෙහි දී ද තම අනුගාමිකයන් හට දහම පිලිබදව අවබෝධයක් ලබාදීම හා ඔවුන් පිලිගෙන සිටින දහමෙහි ඇති දුර්වලතාවයන් පෙන්වා දී තවදුරටත් තම දහම තුල ඔවුන් රදවා ගැනීමේ හැකියාව ඇත්තේ ඉහතින් මා සදහන් පූජකවරුන්ට හා විද්වතුන්ට පමණි. එසේ කිරීමට ඔවුනට නොහැකි වනවා යන්න ඔවුන් පිලිගෙන සිටින දහමෙහි, දර්ශනයෙහි හෝ එහි විද්වතුන්ගේ දුර්වලතාවකි.

ඉහත කාරණයන් අනුව කිසිවකු තමා පිලිගෙන සිටී දහමක් හැරයයි නම්. එය එම ආගමේ හෝ එම ආගමික විද්වතුන්ගේ දුර්වලතාවයක් යන්න පැහැදිලිය. එසේම සෑම ආගමික අනුගාමිකයන්ම මනුෂ්‍යයන් වශයෙන් පිලිගත යුතු සත්‍යයක් ඇත. ඒ තමා පිලිපදින මාර්ගය නිවරැදි යයි අවබෝධ කරගත්තා නම් එය මුළුමහත් මිනිස් සමාජයටම ප‍්‍රකාශ කිරීමේ වගකීම එහි විද්වතුන් හට පමණක් නොවේ එහි අනුගාමිකයන් හට ද පැවරේ. එය හැම දහමක්ම දර්ශනයක්ම අවධාරණය කරන කාරණයකි. ආරම්භ කාලයේ ආගමික ශාස්තෘවරුන් හා දර්ශනිකයන් ඒ ආකාරයට ක‍්‍රියා කිරීම නිසයි අද ලොව ජනතාව ප‍්‍රධාන ආගම් කිහිපයක් වටා එක්රොක් වී සිටින්නේ. ආගමික ප‍්‍රචාරයන් සිදුනොවුවා නම් එදා ගෞතම බුදුන්ගෙන් බුදුදහමත්, මෝසස් තුමාගෙන් යුදෙව් ආගමත්, යේසුස් තුමාගෙන් කිතුදහමත්, මුහම්මද් තුමාගෙන් ඉස්ලාම් දහමත් අවසන් වන්නට තිබුණි. එසේ නොවී වසර දහස් ගනන් ලක්‍ෂ ගනන් අනුගාමික පිරිසක් සමඟ අදත් ලොව පවතින්නේ නම් එයින් පැහැදිලි වන්නේ ඒ ඒ ආගම් වෙනුවෙන් යම් ප‍්‍රචාරයක් සිදුවෙනවා යන්න නොවේද? මෙය සෑම ආගමක්ම අවධාරණය කරන කාරණයක් යන්න ඒ ඒ ආගමික මූලාශ‍්‍ර අධ්‍යනය කිරීමෙන් ද පැහැදිලි වේ. උදාහරණ වශයෙන්,

බුදු දහම

“භාග්‍යවතුන් වහන්සේ සත්‍ය අවබෝධ කර ගැනීමෙන් අනතුරුව උන්වහන්සේට මෙබදු කල්පනාවක් ඇතිවිය ‘මා අවබෝධ කළ මේ දහම ගැඹුරුය, දුකසේ අවබෝධ කරගත යුතුය එහෙත් මේ සත්ව සමූහයා ආලයෙන් බැදීසිටින්නේය. එම නිසා මෙය දැක්ම දුෂ්කරය. මෙසේ ඇතිකල මමත් ඔවුන්ට දහම් දෙසන්නෙ නම් මා දෙසන දේ තේරුම් නොගන්නෝ නම් එය මට මහන්සිය පමණෙකි. එය මා කය වෙහෙසීම පමණෙකි’. එසේ සිතන විට සහම්පති බ‍්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ‘ස්වාමිනී භාග්‍යවත්හු දහම් දෙසත්වා සුගතයෝ දහම් දෙසත්වා. නුවණ ඇස ඇති සත්ත්‍වයෝ ඇත්තෝහ. දහම් නොඅසනු හෙයින් ඔහු පිරිහෙන්නාහ. දහම් අවබෝධ කරන්නෝ ඇති වන්නාහ.’ ”
ආයාචන සූත‍්‍රය.- ත‍්‍රිපිටකය

කිතු දහම

“උන්වහන්සේ ඔවුනට කියන සේක් නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුභාරංචි ප‍්‍රකාශ කරපල්ලා.”
බයිබලයේ ශුද්ධවර මාක් 16-15

ඉස්ලාම් දහම

“අප ඔබව (මුහම්මද් (සල්) තුමාව) සකල ලෝකවාසීන්ටම සුභාරංචි දෙන්නෙකු ලෙසත් (සමාජයට) අවවාද කරන්නකු ලෙසත් එවා ඇත්තෙමු.”
ශුද්ධ වූ අල්කුර්ආනය 34-28

මේ අනුව මිනිස් සමාජය තුල තමන් අවබෝධ කරගත් දහම ප‍්‍රචාරය කිරීම වරදක් නොවන බව ප‍්‍රථමයෙන් අවබෝධ කරගත යුතුය. එය බෞද්ධයකු කල ද ක‍්‍රිස්තු භක්තිකයෙකු කල ද, හින්දු භක්තිකයකු කල ද, ඉස්ලාම් භක්තිකයකු කල ද එහි වරදක් නැත. නමුත් එහි දී ආගම්වාදී ආවේගයන් හෝ වියරුවන් නොතිබිය යුතුය. එසේම එම ප‍්‍රචාරයන්ට එරෙහිව ජනතාව ආවේශ කිරීම ද සිදු නොවිය යුතුය. ආගමක් යනු දේශසීමාවන්ට යටත් වූ හෝ ජාතියකට ජන කොට්ඨාශයකට සීමා වූ කාරණයක් නොවේ. එසේ වුවානම් අද බුදුදහම නේපාලය ප‍්‍රදේශයට පමණක් සීමා වී පැවතිය යුතුය. ඉස්ලාම් අරාබි දේශයට පමණක් සීමා වී පැවතිය යුතුය. එය එසේ වියුයතු නොවේ. මෙය මිනිසාගේ ලෞකික හා ලෝකෝත්තර දිවිය හා බැදි කාරණයකි. මා මෙහි දී මෙම කාරණය අවධාරණය කරන්නේ පසුගිය කාලවල ලාංකීය සමාජයේ ආගමික විද්වතුන් යයි තමාව හදුන්වා දෙමින් කටයුතු කරන සමහරක් විද්වතුන් ආගමට දේශසීමාවන් ඉදිරිපත් කරමින් මෝඩ තර්කයන් ඉදිරිපත් කල ආකාරය අප මාධ්‍යන් මගින් දුටුවෙමු. මෙය ඔවුන්ගේ අනවබෝධය හා ආගමික වියරුව ප‍්‍රදර්ශනය කලා මිස කිසිදු පදනමක් නැති තර්කයකි.

මේ අනුව ඕනෑම රටක ඕනෑම ජාතියක් ඉදිරියේ සංයමයකින් හා අලංකාර ආකාරයට තමන් අවබෝධ කරගෙන සිටින දහම සමාජයට ප‍්‍රචාරය කිරීම වරදක් නොවන බව පැහැදිලිය. එසේම එය පිලිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ද එම කාරණයන් පිලිබදව සංයමයක් ඇතුව තර්ක විතර්ක කිරීමේ අයිතිය ද විද්වතුන්ට මෙන්ම අනුගාමිකයන්ට ද තිබිය යුතුය. කිසිදු මොහොතක අනුගාමිකයන් අන්ධ භක්තිකයන් බවට පත් නොවිය යුතුය. මෙය සෑම දහමක්ම අවධාරනය කරන කාරණයකි.

කරුණු එසේ තිබිය දී ලාංකීය සමාජයේ සිදුවන්නේ කුමක්ද? රටේ බහුතරයක් වන බෞද්ධයන්ගේ ක‍්‍රියා කලාපය දෙස බලන විට ඔවුන් “බෞද්ධයකු කිසිවිටෙක වෙනත් ආගමක් නොවැලද ගත යුතුයි අන්‍ය ආගමිකයන් තම දහම වැලද ගත්තාට වරදක් නොවේ” යන්න සිතනවාද? යන ප‍්‍රශ්නය අපට මතුවේ. මේ නිසයි ලාංකීය සමාජයේ අන්‍ය ආගමික (බෞද්ධය් නොවන) පිරිස කුමක් කලත් එහි වරදක් දකින්නත් එය විකෘති කොට සමාජය ඉදිරියට ගෙන ගොස් එයට එරෙහිව එම ආගම්වලට විරුද්ධව විශාල මතවාදයක් ගොඩනගන්නත් පෙළෙඹෙන්නේ. මෙය සදාචාරාත්මක් නොවන තිරිසන් ක‍්‍රියාවකි. නමුත් අප සමාජයේ විවටින් විට දකින සුලභ වූ දසුනකි. මෙම සදාචාර විරෝධි කාර්‍යය සදහා ලාංකීය සමහරක් මාධ්‍යයන් විශාල දායකත්වයක් ලබාදීම කණගාටුවට කාරණයකි. එවැනි මැදිහත්වීමක් තමා ඉහත මා පැවසු පොල්ගස් ඕවිට සිදුවීම. එම සිදුවීම අප පසුගිය දින ස්වර්ණවාහිණි මාධ්‍ය කරන හෙලිදරව්ව තුල දුටුවෙමු.

එය මෙසේය,

මෙම වීඩියෝ හෙලිදරව්ව තුල පවසන කරුණු කිහිපයක් පිලිබදව ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

මෙම වීඩියෝ දර්ශනය පිලිබදව කථා කිරීමට පෙර මීට මාස කිහිපයකට පෙර විහාරමහාදේවී උද්‍යානයේ යාඥා මෙහෙයක දී සිදුවූ මරණය හා එය පදනම් කරගෙන මාධ්‍යයන් හරහා ගොඩ නැගූ වියරුමතවාදය මොහොතක් නැවත අවධානයට ගැනීම මෙහි දී වැදගත් වේ යයි සිතමි.

මෙහි දී ඝාතනය වූ පිරිස අහිංසකයන් බවත් ඔවුන් රවටා ඝාතනයට ලක්කල බවත් එම ආගමික පිරිසට නොකියා කියන ලද චෝදනාවයි. මෙහි දී මරණයට පත්වුවන් බෞද්ධයන් යන්න සැලකිය යුතුය. නමුත් එහි දී ඔවුන් හිතාමතා ඝාතනයට ලක් නොකල බව මෙම චෝදනාවන් ඉදිරිපත් කරන පිරිස පවා හොදින් දන්නා සත්‍යයකි. මෙහි දී එම යාඥා මෙහෙය නිවරැදි යන්න හෝ ඔවුනට චෝදනා කිරීම වැරදි යන්න මාගේ තර්කය නොවේ. මෙවැනි විටෙක මීටත් වඩා අමානුෂික මිත්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයන් ලාංකීය සමාජයේ සුලභ වූ කාරණයකි. එදා බෞද්ධ සමාජය ඝාතනය වූ තම අනුගාමික බෞද්ධ පිරිස වෙනුවෙන් පෙනී සිට (ඔවුන්ගේ විශ්වාසයට අනුව) ඝාතකයන්ට එරෙහිව බෞද්ධ සමාජය ආවේශ කොට ක‍්‍රියාත්මක වන ලදී. අද ඝාතනය වූ ඒ අසරණ දරුවන් හා තුවාල ලබා සිටින මව පිලිගෙන සිටින දහමට එරෙහිව මෙන්ම හිතා මතා ඝාතනය සිදුකල ඝාතකයාට පක්‍ෂව සමාජය පෙලගස්සවා ස්වාමින් වහන්සේලා ක‍්‍රියා කිරීම සමාජයට දෙන භයානක මෙන්ම වැරදි ආදර්ශයකි. වරද කවුරුන් කලත් එය වැරදි යන සංකල්පය පිලිගන්නට තරම්වත් සිත සංවේදී නොවීම කණගාටුවට කාරණයකි. එසේම ඉහත ඝාතකයා මානසික වියරුවකින් හෝ ආතතියකින් පෙළුනේ නම් ඒ වෙනුවෙන් ක‍්‍රියාකාරී මැදිහත්වීමක් කිරීමේ අවස්ථාව ලැබිලත් එසේ නොකොට ඔහු තවත් වියරුවට කිසිවකු පත්කරන්නේ නම් එය සමාජය බුද්ධිමත් ලෙස අවධානය යොමු කලයුතු කාරණයකි. එසේම කිසියම් කෙනෙකු මානසික ආතතියක් හෝ වියරුවක් නිසා තවත් කෙනකෙු හෝ පිරිසක් ඝාතනය කරයි නම් එම ඝාතකයා වෙනුවෙන් පෙනීසිටීමත් මානසික දුර්වලතාවයක් මෙන්ම වැරදි ආදර්ශයකි. මෙම සිදුවීමේ දී වෙනත් ආගමක් වැලද ගත් එම කාන්තාව හෝ දරුවන් කිසිදු අවස්ථාවක තම ස්වාමියාට එසේත් නැත්නම් පියාට පහර දී නැත පියාගේ හිංසනය හමුවේ මීට පෙර පවා පොලිසියේ සරණ අපේක්‍ෂා කොට ඇත්තේ මෙම දරුවන් හා මවයි. මෙවන් තත්වයක “අන්‍යආගමීකරන” නැමැති ලාංකීය බෞද්ධ සමාජයට සංවේදී බෝඞ් ලෑල්ල භාවිතා කරමින් බුදුදහමට ආකර්ෂනයක් හෝ අනිකුත් ආගම් කෙරෙහි පිලිකුලක් ඇති කිරීමේ අරමුණින් කිසිවකු ක‍්‍රියා කරන්නේ නම් එය මුළුමහත් සමාජයම මනුෂ්‍යයන් වශයෙන් ප්‍රතික්ෂේප කලයුතුය.

මෙම කාරණයේ දී මාධ්‍යයක් පක්‍ෂ ග‍්‍රාහිව ක‍්‍රියා කරනවා යන්න බහු ආගමිකයන් ජීවත් වන ලංකාව වැනි රටක අවාසනාවන්ත තත්වයකි. මාධ්‍යයක් යම් ප‍්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමේ දී එහි සමබරතාවයක් තිබිය යුතුය. එසේ නොමැතිව “අඹ ගසට පොලූ ගහන ආකාරයට” එක් සිදුවීමක් ගෙන සමස්ථ සමාජය විවේචනය කිරීම හෝ චෝදනා කිරීම මාධ්‍ය සදාචාරයක් නොවේ. මෙම පොල්ගස් ඕවිට සිදුවීමේදීත් මේ ආකාරයේ වූ මීට පෙර සිදුවීමන්වලදීත් ස්වර්ණවාහිණිය ක‍්‍රියා කලේ රටේ බහුතර දහම වෙනුවෙන් පෙනීසිටීමයි. සාධාරණය වෙනුවෙන් පෙනී සිටීම පිලිබදව අපේ කිසිදු විරුද්ධත්වයක් නැත. එය මාධ්‍ය වගකීමක් ලෙස අප ද සිතමු. නමුත් ඒ වගකීම හොදින් හදුනාගෙන අපක්‍ෂපාතීව පෙනී සිටිනවාද? යන්න ගැටළු අපට ඇත.

එදා එම ප‍්‍රවෘතියෙන් සමාජයට අවධාරනය කලේ “අන්‍යආගමීකරණය” යන්න ගම, නගරය විනාශ කරන්න පැමිණී මහා යක්‍ෂයකු ලෙයසි. එසේම රටේ සුළු ආගම්වලට එරෙහිව සමාජයේ යම් මතයක් ඇති කිරීමට මේ මගින් උත්සාහ කලා යන්න පැහැදිලිවම පෙනුණි. ඒ මෙම සිදුවීමට සම්බන්ධ පාර්ශවකරුවන් අතුරින් බෞද්ධයන් පමණක් අසරණ පාර්ශවය වශයෙන් හදුන්වා දෙමින් අනිත් පාර්ශවය හදුන්වා නොදීම තුල ලාංකීය සමාජයේ තුල තිබෙන අනිකුත් සුළු ආගම් සියල්ල අවධානමකට ලක්කරමින් ක‍්‍රියා කිරීම ම`ගිනි. මෙය ඔවුනට සුළු ආගමිකයන් කෙරෙහි තිබෙන නොසතුට හා පිලිකුල මනාව ප‍්‍රදර්ශනය කිරීමකි. එසේම මෙය “දඹුළු යන ගමන් තලගොයි මැරීමකි” මන්ද සිද්ධියට සම්බන්ධ පාර්ශවකරුවන් එලි කරනවා වෙනුවට එය හිතා මතා වසන් කිරීම තුල ලාංකීය සමාජයේ සියළුම සුළු ආගම් අවධානමකට හා චූදිතයන් බවට පත්කරන ලදී.

කෙසේ වෙතත් මෙම ප‍්‍රවෘත්තිය තුල අදහස් දක්වන ගරුතර ස්වාමිණ්වහන්සේගේ ප‍්‍රකාශනයක් නැවතත් අවධාරණය කිරීම කාලීන් යයි සිතමි.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මේ අප දකින්නේ නැවතත් ලාංකීය සමහරක් බෞද්යන්ගේ වියරුවක් හා සූක්‍ෂම ආකාරයට ඒ සදහා පෙළඹවීමකි. මෙය භයානක තත්වයකි. ආගමික නිදහස යනු මෙය නොවේ. ආගමික නිදහස තුල අනිකුත් ආගම් පදනම් විරහිතව විවේචනය නොකිරීම මෙන්ම එහි අනුගාමිකයන් හට බලකිරීම නොකිරීම, අසාධාරණයන් මෙන්ම අපහසයන් සිදු නොකිරීම ද අන්තර්ගතය. එවන් සමාජයක් වෙනුවෙන් ක‍්‍රියා කිරීම රටේ සෑම පුරවැසියෙකුගේම අනිවාර්‍ය වගකීමකි. වගකීමකි.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. Rosimeire 2012-06-28 at 08:57

    That’s a sbtule way of thinking about it.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp