අනුරාධපුර පුදබිමේ කඩා ඉවත්කලේ පල්ලියක්ද?

0

පසුගිය දින කිහිපය මුළුල්ලේ අන්තර්ජාලය තුල දැඩි කථාබහට ලක්වූ නමුත් ජනමාධ්‍යයන් (වන ගුවන්විදුලි හෝ රූපවාහිනි) හි ප්‍රචාරය නොවූ මාතෘකාවක් පිලිබදව යහමඟ පාඨක ඔබගේ අවධානය යොමු කිරීමට මෙහිදී අදහස් කරමි. ඒ “අනුරාධපුර පුදබිමේ අනවසර පල්ලිය කඩා ඉවත් කරයි” යන මැයෙන් සාකච්චා වූ විෂය පිලිබදවයි. මෙම සිද්ධිය සිදුවූ දිනයේදීම යහමඟ වෙත එය වාර්ථා වුවත් එහි සැබෑ තත්වය පිලිබදව පැහැදිලි තොරතුරු ලබාගැනීමට නොහැකි වූ නිසා ඒ පිලිබදව ලිවීම මදකට ප්‍රමාද විය. නමුත් අද වනවිට එම සිදුවීමට සම්බන්ධ පිරිස් ඒ පිලිබදව කරුණූ දැක්වීම් සිදුකොට ඇති නිසා එය පදනම් කරගෙන මෙම ලිපිය පාඨක අවධානයට ඉදිරිපත් කරමි.

ඊට මත්තෙන් පැවසිය යුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම්, ඉස්ලාම් දහමේ ඉගෙන්වීමට අනුව තවත් ආගමික සිද්ධස්ථානයක් බලෙන් අත්පත් කරගැනීම අනුමත නොකරන කාරණයකි. ඉස්ලාම් මෙම කාරණයේ දී කොතරම් පැහැදිලි ස්ථාවරයක සිටිනවාද? යන්න පවසනවා නම් එලෙස අත්පත් කරගැනීම කෙසේ වෙතත් “තවත් ආගමික විශ්වාසයක් පහත් අන්ධමින් විවේචනය කිරීම පවා ශුද්ධ වූ කුර්ආනය තුලින් හෙලා දකී”. මේ අනුව තවත් ආගමික මතවාදයකට එරෙහිව ක්‍රියා කිරීමට ඉස්ලාම් දහම තුල කිසිදු ඉඩක් නොමැති බව පැහැදිලිව අවබෝධ කරගත යුතුය. එසේනම් එවැනි පිරිසට අයත් ඉඩම් බලෙන් හෝ හොර රහසේ අත්පත් කර ගැනීම පිලිබදව පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇත. එසේම ශුද්ධ වූ කුර්ආනය මඟින් තවත් කාරණයක් මිනිස් සමාජය වෙත අවධාරණය කරයි. ඒ “කිසියම් සමාජයක් කෙරෙහි පවතින නොසතුට ඔවුනට අසාධාරණයක් සිදුකිරීමට හේතුවක් නොකරගත යුතුය” යන්නයි. මෙම කාරණය හොදින් මතකයේ රදවාගෙන මාතෘකාව වෙත දැන් යොමු වෙමු.

මෙහිදී ප්‍රථමයෙන් සදහන් කලයුතු කාරණය නම් මෙම සිදුවීම සම්බන්ධයෙන් පලවන පරස්පර විරෝධි ප්‍රකාශන යයි. එනම් පිරිසක් “දුටුගැමුණු රජුගේ සොහොන මත තිබූ මුස්ලිම් පල්ලිය කඩා දමයි” (එය කියවන්න) යයි පවසන විට තවත් පිරිසක් “දුටු ගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ, දක්ෂිණ සෑය අසල පිහිටි අනවසර මුස්ලිම් පල්ලිය කඩා බිද දමා විනාශ කරන ලදී” (එය කියවන්න) යයි පවසයි. මෙහිදී පරස්පර විරෝධි මත දෙක තුල පැහැදිලි වන කාරණය නම් පලමු පාර්ශවය තම ක්‍රියාව සාධාරණීකරණය කිරීම සදහා කිසියම් වෑයමක් කරන බවයි. නමුත් සිදුධියට මැදිහත් වූ දෙවන පාර්ශවය සදහන් කරුණූ අනුව (පහතින් එම ලිපිය ඉදිරිපත් කොට ඇත) පලමු පාර්ශවය හිතාමතා මුසාවක් ගොතා ඇති බවත්, එය කුමණ්ත්‍රනයක් යන්නත් පැහැදිලිය. දැන් ඉහත සිද්ධියට මැදිහත් වුවා යයි පවසන එම පාර්ශවය ඉදිරිපත් කර තිබූ ලිපිය වෙත අවධානය යොමු කරමු.

අනුරාධපුර පුදබිමේ අනවසර පල්ලිය කඩා ඉවත් කරයි

සිංහල රාවය ජාතික සංවිධානය හා ඊට අනුබද්ධ බෞද්ධ ආරක්ෂක පදනම, ධර්මවිජය සමාජය ඇතුළු ජාතිමාමක, ශාසන මාමක බෞද්ධ සංවිධාන හා බෞද්ධ ජනතාව විසින් අනුරාධපුර ජය ශ්‍රීමහා පුදබිමේ දුටු ගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ, දක්ෂිණ සෑය අසල පිහිටි අනවසර මුස්ලිම් පල්ලිය කඩා බිද දමා විනාශ කරන ලදී. මුලින් නීත්යානුකූලව, සාමකාමී ක්‍රියාමාර්ග තුලින් එය ඉවත් කිරීමට අප කොතෙකුත් උත්සාහ දැරුවත් නොයෙක් බළපෑම් නිසා එම අනවසර මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට අදාල බළධාරීන් පසුබට විය. එහෙත් ඊයේ දින(2011-09-10) තුල මේ පිළිබදව කෙසේ හෝ අවසාන ක්‍රියාමාර්ගයක් ගත යුතුයි යන දැඩි අදිටනින් එම ස්ථානය වෙත පැමිණි සිංහල රාවය ජාතික සංවිධානය ඇතුළු අනෙකුත් ජාති මාමක බළවේග හා සංවිධාන විසින් මුස්ලිම් අන්තවාදීන් විසින් සිය අනසකට නතු කරගෙන තිබුනු, අප රටේ බිහි වූ ශ්‍රේෂ්ඨ නරපතියෙකු වූ ගැමුණු රජතුමාගේ සොහොන් ගැබ ආසන්නයේ ඉදි කර තිබූ මුස්ලිම් පූජකයෙකුගේ යැයි හැදින්වු සොහොන් කොතක් සහිත මුස්ලිම් පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළෝය. ඔවුන් මෙම සොහොන්කොත ඉදිකර තිබී ඇත්තේ ද පුරාවිද්‍යා නටඹුන් මත ය. අපගේ සිංහල බෞද්ධ අනන්යතාවය විනාශ කර දැමීමට මොවුන්ට ඇති අවශතාවය මේ තුලින් මොනවට පැහැදිලි වේ. මෙහිදී එම ස්ථානය වෙත ප්‍රාදේශීය ලේකම් තුමා, අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති තුමා ආදී පිරිස් ද රැස් වූ අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් නියෝග කළ පරිදිමෙම ස්ථානය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීම් කළ අතර අවසානයේදී ප්‍රාදේශීය ලේකම් තුමාගෙන් ලද නියෝගය මත මෙම ස්ථානය විනාශ කර දමා බෞද්ධයින්ගේ හදවත වන් අනුරපුර මහමෙව්නා උයන යළි පිරිසිදු භූමියක් බවට පත් කිරීමට කටයුතු සිදුවීම බෞද්ධ ලෝකයාම ලද ජයග්‍රහණයකි.

එම ස්ථානයට පැමිණි අනුරාධපුර මහ දිසාපති තුමන් ප්රකාශ කර සිටියේ ඉදිරි දින කිහිපය තුලදී එම අපවිත්ර භූමිය ඩෝසර් යන්ත්‍රයක් යොදා සම්පූර්ණයෙන්ම පිරිසිදු කර දෙන බවටයි. මේ අවස්ථාවට ගරුතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ විශාල පිරිසක් සහභාගී විය. එම ස්ථානයේ 200කට අධික පොලිස් නිලධාරීන් පිරිසක්ද යොදවා තිබින. මෙහිදී සදහන් කළ යුතු තවත් වැදගත්ම කාරණයක් නම් මුස්ලිම් ත්‍රස්තවාදයේ බිහිසුණු කම යලිත් පසක් කරමින් ජාතියේ නාමයෙන් මෙම උතුම් සත් කාර්යය නිමා කොට යළි කොළඹ බලා පිටත් වෙමින් තිබූ වාහන පෙළ සදහා ප්‍රහාරයක් එළ්ල කිරීමට මුස්ලිම් අන්තවාදීන් සූදානම් වූ අතර එය පොලීසියේ මැදිහත් වීමෙන් වැළකී ගියේය.

ඉහත ලිපිය අරම්භ කරන්නේ “…ධර්මවිජය සමාජය ඇතුළු ජාතිමාමක, ශාසන මාමක බෞද්ධ සංවිධාන…” යනුවෙනි. වර්ථමානය වනවිට වෙන කවරදාකවත් නොදුටු නොඇසු ආකාරයේ “ජාතිමාමක” හා “දේශමාමක” පිරිස් “හතු පිපෙනවා සේ” බිහි වී ඇති බව ශ්‍රී ලාංකීය බොහෝ දෙනෙකු හොදින් දන්නා කාරණයකි. එම පිරිස් අතරට එක් වන නවතම පිරිස තමා “ශාසන මාමක” පිරිස. “ශාසන මාමකත්වය” යනු සැබැවින්ම අගය කලයුත්තක් යන්නෙහි කිසිවකුට විවාදයක් පැවතිය නොහැක. නමුත් එය “ජාති මාමක” කියමින් ජාතිය විනාශ කරනවා සේ හෝ “දේශමාමක” කියමින් දේශය කා දමනවා සේ “ශාසන මාමක” යයි පවසමින් ශාසනය කා දැමීමක් නොවිය යුතුය. ඉහත ලිපියට මාගේ අදහස් දැක්වීම ඉදිරිපත් කිරීමට පෙර ගෞතම බුදුන් වහන්සේ විසින් දේශනා කලා යයි පැවසෙන බුදුදහම පිලිබදව කිසියම් අවබෝධයක් ඇති බුද්ධිමත් බෞද්ධ ප්‍රජාවගෙන් ප්‍රශ්න කිහිපයක් අසන්නට කැමැත්තෙමි. ඒ,

  • “ශාසන මාමක” පිරිස් සිදුකල ඉහත ක්‍රියාව පිවිතුරු බුදුදහමට අනුකූලද?
  • අනුකූල නම් ඒ සදහා ඇති බුදුන්ගේ ආදර්ශය කුමක්ද?
  • මෙවැනි වියරුවාදී ක්‍රියාවන් සදහා බුදුදහම අනුබල දෙනවාද?
  • ශාසන මාමකත්වය මේ තුල පිළිඹිබු වනවාද?

මා අවබෝධ කොට සිටින බුදුදහමට අනුව නම්, විරුද්ධ මතවාද සදහා ප්‍රතිචාර දක්වන ආකාරය මේ “ශාසන මාමක” පිරිස ප්‍රතිචාර දක්වන ආකාරයට වඩා බොහෝ සේ වෙනස්ය. එහි වෛරය, පලිගැනීම… යනාදීය වියරුවන් දක්නට නොලැබේ. මෙය ඉහත “ශාසන මාමක” පිරිස් වඩාත් හොදින් අවබෝධ කරගැනීමට ත්‍රපිටකයේ සදහන් “කාලාම සූත්‍රය” වරක් හෝ කියවා බලන්නේ නම් වටී යන්න සදහන් කරමින් ඔවුන්ගේ එම ඉහත ලිපිය තුල දෙවනුව සදහන් කරන කාරණය වෙත අවධානය යොමු කලේනම්,

…බෞද්ධ ජනතාව විසින් අනුරාධපුර ජය ශ්‍රීමහා පුදබිමේ දුටු ගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ, දක්ෂිණ සෑය අසල මෙන්ම…” මෙහිදී සදහන් කාරණය එනම් බෞද්ධ ජනතාවගේ පුදබිම එසේත් නැත්නම් පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමත් ඇති ස්ථානයක අනවසර ඉදිකිරීමක් සිදුකොට ඇති බවට කරන චෝදනාවයි. එය සැබෑවක් නම් එය පැහැදිලි ලෙසම ඉස්ලාම් අනුමත නොකරන වැරදි සහගත ක්‍රියාවක් යන්නත් එයට එරෙහිව නීතිමය පියවර ගතයුතු යන්නත් පිලිබදව සැබෑ මුස්ලීම්වරයෙකුට විරුද්ධ මතයක් පැවතිය නොහැක. නමුත් මෙම සිද්ධිය පිලිබදව කථා කරන වෙනත් වෙබ් අඩවියක “…පූජාභූමි නවීකරණ සංකල්පය යටතේ මෑතකදී ඉදිකෙරුනු කුඩා පරිමාණයේ පන්සල් පවා ජූජාභූමි සිමාවෙන් ඉවත් කල යුතු බවට ගෙන ආ යෝජනාව ඉහලින් පිළිගත් අටමස්ථානාධිපති හිමියන්ට මෙම මුස්ලිම් පල්ලිය නොපෙණුනේ කෙසේද?…” (කියවන්න…) වැනි කාරණයක් මතුකිරීම තුල මෙම ඉදිකිරීම අටමස්ථානාධිපති හිමියන්ගේ දැනුවත්වීම මත සිදුවී ඇති බවට සැකයක් මතුවේ. එය එලෙස සිදුවූ එකක් නම් එහි වරද මෙම ඉදිකිරීමට සම්බන්ධ මුස්ලීම් ප්‍රජාවට පමණක් යොමු කිරීම සාධාරණ වූ ක්‍රියාවක් නොවේ. මන්ද ශ්‍රී ලාංකීය ඉතිහාසය හොදින් විමාස බැලුවේ නම් පන්සල සතු ඉඩම් මුස්ලීම් දේවස්ථාන ඉදිකිරීම සදහා ලබාදුන් ශ්‍රේෂ්ඨ මහානාහිමිවරුන් පිලිබදව පවා සදහන් වේ. නිදසුනක් ලෙස කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රිදි විහාරයේ භක්‍ෂුන් වහන්සේලා මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සඳහා විහාර ගමේ කොටසක් පවරා දීම සදහන් කලහැක. මීට අමතරව මහනුවර අස්ගිරිය අලුත් විහාරය සතු ඉඩමක කොටසක තමා අකුරණ උඩරට පැරනිතම මුස්ලිම් ජනවාසය බිහි වූ බව ඉතිහාසයේ සදහන් වේ. මෙවැනි අලංකාර වූ පූර්වාදර්ශ පවතින අප රට තුල ඉහත සිදුවීම බරපතල වරදක් ලෙස එකවර චෝදනා නැඟිය නොහැක. එනම් නිසි අවසරයක් ඇති විදිමත් ලෙස ලබාගෙන ඇති ඉඩමක් තුල ඉදිකිරීමක් සිදුකර ඇත්නම් එයට සම්බන්ධ පුද්ගලයාගේ ආගම, ජාතිය හෝ වෙනත් කරුණු පදනම් කරගෙන විවචෙනය කිරීම හෝ එයට එරෙහිව ක්‍රියා කිරීම ශිෂ්ඨසම්පන්න පිරිස් කිසිවිටෙකත් අනුමත නොකරනු ඇත.

ඉහත ලිපියෙහි මතු කරන ඊලඟ කාරණය ඉතා වැදගත්ය. එනම් “…අනවසර මුස්ලිම් පල්ලිය කඩා බිද දමා විනාශ කරන ලදී…” යන්නයි. මෙය සමහරක් වෙබ් ලිපිවල මාතෘකාව සදහා ද යොදා තිබුණි. “සැබැවින්ම මෙය පල්ලියක්ද?” යන්න මොහොතක් විමසා බැලුවේ නම් මෙය “පැහැදිලිවම පල්ලියක් නොවේ” පල්ලියක් නම් එහි දෙවියන් උදෙසා පමණක්ම යාඥාවන් සිදුවිය යුතුය. එහි පිළිම හෝ සොහොන් ගෙවල් පැවතිය නොහැක. සැබැවින්ම මෙම ස්ථානයේ ඉදිකර තිබූ එම ඉදිකිරීම ඉස්ලාම් දැඩිව හෙලාදකින ඉස්ලාම් විරෝධි ඉදිකිරීමකි. (මේ පිලිබදව වැඩි විස්තර කියවන්න) ඒ අනුව මෙය පල්ලියක් නොවන බවත්, මෙම ස්ථානයේ පැවතී එම ඉදිකිරීම සදහා මුස්ලීම්වරුන් සම්බන්ධ වූ නිසා එයට “පල්ලියක්” යයි වැරදි අර්ථකථන ලබාදීම බරපතල වරදක් බවත් මුස්ලීම් මෙන්ම මුස්ලීම් නොවන සමාජය ද පැහැදිලිව අවබෝධකර ගතයුතුය.

ඉහත ලිපියේ සදහන් මීලඟ කරණය නම් “…මුලින් නීත්යානුකූලව, සාමකාමී ක්‍රියාමාර්ග තුලින් එය ඉවත් කිරීමට අප කොතෙකුත් උත්සාහ දැරුවත් නොයෙක් බළපෑම් නිසා එම අනවසර මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට අදාල බළධාරීන් පසුබට විය…” හා “…මෙහිදී එම ස්ථානය වෙත ප්‍රාදේශීය ලේකම් තුමා, අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති තුමා ආදී පිරිස් ද රැස් වූ අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් නියෝග කළ පරිදිමෙම ස්ථානය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීම් කළ අතර අවසානයේදී ප්‍රාදේශීය ලේකම් තුමාගෙන් ලද නියෝගය මත මෙම ස්ථානය විනාශ කර දමා බෞද්ධයින්ගේ හදවත වන් අනුරපුර මහමෙව්නා උයන යළි පිරිසිදු භූමියක් බවට පත් කිරීමට කටයුතු සිදුවීම බෞද්ධ ලෝකයාම ලද ජයග්‍රහණයකි…” යන්නයි. මේ වෙත අවධානය යොමු කලේනම් එහි හාස්‍ය ජනත පුවතක් පවති. එනම් නීතිය මගින් මෙම ඉදිකිරීම ඉවත් කිරීමට නොහැකි වූ නිසා ප්‍රාදේශිය ලේකම් තුමාගේ නියෝගය මත පොදු ජනතාව මෙය ඉටුකල බවයි. මෙහි ගැටළු රාශියක් මතුවේ. මුලින්ම විමසන්නට ඇත්තේ “මේ රටේ ක්‍රියාත්මක වන්නේ කැලෑ නීතියද?” යන්නයි. ප්‍රාදේශීය ලේකම් යනු පොලිස් බලතල පවා ක්‍රියාත්මක කලහැකි බලධාරියෙකි. එසේ තිබියදී පොලිසිය අත්වැල් බැදන් බලා සිටිද්දී වියරු වැටුනු පිරිසක් සේ නීතිය අතට ගෙන ක්‍රියාකලේ “ශාසන මාමකත්වයෙන්ද? නොඑසේ නම් ආගමික වියරුවෙන්ද?” මෙහිදී තවත් ගැටළුවක් ද මා තුල මතුවේ. එනම් “අනුරාධපුර පොලිස් බලප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරන්නේ පොදු ජනතාවද?” යන්නයි. ඉහත පරස්පර විරෝධි මත ප්‍රකාශයන් තුල (ඉහල නිළධාරීන් ඇතුළු) සංවිධානාත්මක පිරිසක් අන්තවාදී ලෙස මෙහිදී ක්‍රියාකොට ඇති බව බුද්ධිමත්ව හා අන්තවාදී නොවී විමසා බැලුවේ නම් ඔබට ම පැහැදිලි වනු ඇත. මෙහි තවත් හාස්‍ය ජනක ප්‍රකාශය වන්නේ “…ජාති මාමක බළවේග හා සංවිධාන විසින් මුස්ලිම් අන්තවාදීන් විසින් සිය අනසකට නතු කරගෙන තිබුනු, අප රටේ බිහි වූ ශ්රේෂ්ඨ නරපතියෙකු වූ ගැමුණු රජතුමාගේ සොහොන් ගැබ ආසන්නයේ ඉදි කර තිබූ මුස්ලිම් පූජකයෙකුගේ යැයි හැදින්වු සොහොන් කොතක් සහිත මුස්ලිම් පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළෝය” යන්නයි. ඉහත ලිපිය හොදින් විමසා බැලුවේ නම් එහි “මුස්ලීම් ප්‍රජාවද?” එසෙත් නැත්නම් ඉහත “ශාසන මාමක ප්‍රජාවද?” අන්තවාදී වී තිබෙන්නේ යන්න ඔබට සරල ව පැහැදිලි කරගත හැක. “අන්තවාදීන්”, “ත්‍රස්ථවාදීන්” යයි පැවසූ පමණින් එය සිදුවෙනවාද? නොඑසේ නම් කරණ ක්‍රියාව අනුව එය තීරණය වනවාද? තීරණය අන්තවාදී නොවී බලන ඔබට භාරයි.

මෙහිදී ඉහත ලිපිය තුලින් ඔබගේ අවධානයට යොමු කිරීමට තවත් කාරණයක් ඇත. එනම් “…මේ අවස්ථාවට ගරුතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ විශාල පිරිසක් සහභාගී විය…” මෙහි විනාශ කලේ කිසියම් පිරිසකගේ විශ්වාසයට හෝ ඇදහීමකට පාත්‍ර වූ පූජනීය ස්ථානයකි. එහිදී නීතිය (කැලෑ නීතිය නොව රටේ උත්තරීතිර නීතිය) ක්‍රියාත්මක වුවා නම් ඒ පිලිබදව මෙපමණ කරුණු සදහන් කිරීමට අවශ්‍ය නොවේ. අඩුම තරමින් එහි රුස්ව සිටි භික්ෂූන්වහන්සේලා බෞද්ධ ඉගෙන්වීමන්ට අනුව “සැබෑ ශාසන මාමකත්වයෙන්” (බුදුදහම අනුව) ක්‍රියා කලානම් එවිට ද මෙහි මෙපමණ ලිවීමට කිසිවක් ඉතිරි නොවනු ඇත. නමුත් එතැන සැබෑවටම ක්‍රියාත්මක වී ඇත්තේ කැලෑ නීතිය බව මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත. ඉහත ලිපියෙහි තවත් වැදගත් කාරණයක් වෙත ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඒ “…එම ස්ථානයේ 200කට අධික පොලිස් නිලධාරීන් පිරිසක්ද යොදවා තිබින…” මෙපමණ පොලිස් ආරක්ෂාවක් ලබාදුන්නේ කාටද? මෙපමණ විශාල පොලිස් නිළධාරීන් පිරිසකට නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිව පොදු ජනතාවගේ සහය පැතුවාද?. නොඑසේ නම් සියල්ල සැලැස්මකට අනුව ක්‍රියාත්මක වූයේද?. මා මෙසේ ප්‍රශ්න නගන විට කිසිවකු හට එය පදනම් විරහිත චෝදනාවක් ලෙස පෙනෙනු ඇත. සැබැවින්ම එය පදනම් විරහිත චොදනාවක්ද? යන්න තීරණය කිරීමට ඉහත ලිපියේ පහත පාඨය බුද්ධිමත් ව කියවන්න

…මෙහිදී සදහන් කළ යුතු තවත් වැදගත්ම කාරණයක් නම් මුස්ලිම් ත්‍රස්තවාදයේ බිහිසුණු කම යලිත් පසක් කරමින් ජාතියේ නාමයෙන් මෙම උතුම් සත් කාර්යය නිමා කොට යළි කොළඹ බලා පිටත් වෙමින් තිබූ වාහන පෙළ සදහා ප්‍රහාරයක් එළ්ල කිරීමට මුස්ලිම් අන්තවාදීන් සූදානම් වූ අතර එය පොලීසියේ මැදිහත් වීමෙන් වැළකී ගියේය…” යන්නයි. මා ඉහතින් සදහන් කලාසේ “ත්‍රස්ථවාදී”, “අන්තවාදී” යන වදන් උපයෝගි කරගත් පමණින් එය එසේම නොවේ. කොළඹින් අනුරාධපුරයට ගොස් ඉහත ක්‍රියාවල නියලුණු පිරිස ත්‍රස්ථවාදී ද? නොඑසේ නම් මේ ක්‍රියාවලිය තුල අසරණ වූ ජනතාව ත්‍රස්ථවාදීද?. එපමණක් නොව අනුරාධපුර ඇති නිති විරෝධී ඉදිකිරීමක් එහි පොලිසියට ඉවත් කරන්න බැහැ නමුත් කොළොඹින් ආ පොදු ජනතාවට පුළුවන් ඒ පිලිබදව බුද්ධිමත්ව විමසා බලන්න. දිස්ත්‍රික් ලේකම් තුමාත්, ප්‍රාදේශිය ලේකම් තුමාත් රාජකාරි අවශ්‍යතාවයන් ඉටුකිරීම සදහා පොදු ජනතාව කැදවන්නේ කොළොඹින්ද?, ඒ සමග මතුවන තවත් පැනයක් ද ඇත. එනම් “ශාසන මාමක” පිරිස් සියල්ල සිටින්නේ කොළොඹද? එවැනි පිරිස් අනුරාධපුරයේ නැතුවාද?. අවසාන වශයෙන් ඉහත “ශාසන මාමක” සැදැහැවතුන්ගෙන් පැහැදිලි එක් කාරණයක් විමසන්නට කැමැත්තෙමි. ඒ බුද්ධශාසනය කෙලසමින් “ස්ත්‍රී දූෂණවලත්, ළමා අපචාරවලත්, වංචාවන්වලත්… පමණක් නොව වෙද මැදුරු හා ශාස්ත්‍ර කඩවල්” පවත්වාගෙන යන බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එරෙහිව මේ ආකාරයට ම ශාසන මාමකත්වයෙන් නැගී සිටින්නේ කවදාද?

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *