අපරාධ සදහා වූ නීති හා දඬුවම් – ඉස්ලාමීය විමසුමක්

15

ලොව පුරා වෙසෙන සියළු ජන සමාජයන් යහපත් සමාජයක් පිලිබදව සිහින මවනවා යන්නත්, එවැනි සමාජයක් ගොඩනැඟීම සදහා විවිධ වූ උත්සාහයන් හි තමන්ට හැකි පමණින් නියලෙනවා යන්නත් සියළුදෙනා හොදින් දන්නා සත්‍යයකි. විශේෂයෙන් ලෝකය තුල වර්ධනය වෙමින් තිබෙන අපරාධ රැල්ල හමුවේ යහ සමාජයක් උදෙසා සිහින මවන මේ සියළු පාර්ශවයන්ට ඇත්තේ ඉමහ් අභියෝගයකි. එවන් සමාජ පසුබිමක මෙම විෂය ‘අපරාධ සදහා වූ නීති හා දඬුවම් ඉස්ලාමීය විමසුමක් යන මාතෘකාව ඔස්සේ තරමක් ගැඹුරින් විමසා බැලීමට අදහස් කරමි.

රටක, සමාජයක යහ පැවැත්මකට හානි පමුණූවන ඝාතන, හොරකම්, වංචා, දූෂණ… වැනි අපරාධ සමාජයක් තුල වර්ධනය වීමට මූලික වශයෙන් බලපාන හේතූ පිලිබදව කිසියම් අවබෝධයක් ලබාගැනීම මෙම විෂය වඩාත් හොදින් අව‍බෝධ කර ගැනීමට හේතුවක් වේ. ඒ අනුව එම විෂය පිලිබදව අවධානය යොමු කිරීමේ දී එවැනි හේතූන් සියල්ල ප්‍රධාන වශයෙන් කොටස් තුනකට පෙලගැසීමට පුළුවන. එනම්,

  • ආගම දහමින් දුරස් වී එමෙන්ම මරණින් මතු උදාවන ඉරණම පිලිබදව නොතැකීමෙන් ක්‍රියා කිරීම,
  • කුමන ආකාරයටකට හෝ වස්තූන් හා සැපසම්පත් රුස්කොට ලෞකික දිවිය උපරිමයෙන් භුක්ති වීදිමට ඇති අසීමිත ආශාව,
  • වරදක් දී ලබාදෙන දඬුවම් හා නීති පිලිබදව බිය නොවීම හා ඒවා තම දෛනික දිවියට ප්‍රබල බලපෑම් ඇති නොකරන සාමාන්‍ය කාරණයක් ලෙස සැලකීම,

යහපත් රටක් ගොඩනැඟීමට නම් එම රට තුල  නිදහස් ජන සමාජයක් මෙන්ම යහපත් විනයක් ගොඩනැඟීම අත්‍යඅවශ්‍යය. ඒ නිදහස හා විනය ගොඩනැඟීමට නම් ඉහතින් සදහන් කාරණා තුනෙන් එකක් හෝ කිහිපයක් සමාජය තුල විදිමත් ලෙස ගොඩනැඟීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. එනමුත් එය 100% ක් මිනිස් සමාජය තුල ක්‍රියාවට නැංවීම එතරම් පහසු හා ප්‍රායෝගික කාරණයක් නම් නොවේ. විශේෂයෙන් එහි පලමු හා දෙවන කාරණය සැලකූවිට එය ඒ ඒ පුද්ගලයා තුල ගොඩනැඟිය යුතු තත්වයක් මිස පිටස්තර පාර්ශවයකට හෝ නීතිරීති තුලින් පාලනය කලහැකි තත්වයක් නම් නොවේ‍. නමුත් තුන්වන කාරණය වන ‘දණ්ඩ නීති තුලින් ආරක්ෂා කිරීම’ යන්න සැලකූවිට එය පිටස්තර පාර්ශවයකින් හෝ නීතිරීති තුලින් පාලනය කලහැකි තත්වයකි. ඒ අනුව රටක ‘දණ්ඩ නීති’ යන්න යහ සමාජ පැවැත්මක් උදෙසා දැඩි අවශ්‍යතාවයක් යන්නෙහි කිසිවකුටත් විවාදයක් පැවතිය නොහැක. අනික් කාරණය නම්, ආගම දහම සමඟ සෘජුවම බැදී පවතින ඉහත තත්වයන් දෙක ආගම දහමින් දුරස්ව ජීවත් වන පිරිසට නම් වලංගු නොවේ. එවන් තත්වයක මේ සියළු පාර්ශවයන් පාලනය කල හැකි එකම හා නිවරුදි ම ක්‍රමවේදය වන්නේ ඉහතින් සදහන් තෙවන කාරණ යයි. ඒ අනුව මෙම විෂය පිලිබදව මෙතැන් සිට ඉදිරියට අවදානය යොමු කිරීමට අදහස් කරන අතර එය ඉස්ලාමීය දඬුවම් නීති හා සංසන්ධනාත්මක ලෙස ද විමසා බැලීමට අදහස් කරමි. මෙහි දී මෙම විෂය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම පිණිස පහත ආකාරයට අනුමාතෘකා කිහිපයක් ඔස්සේ අවදානය යොමු කරමි. එනම්,

ලිපි පෙලගැසීම…

01. රටක් නීති තුලින් අපේක්ෂා කරන්නේ කුමක්ද?.

02. අපේක්ෂිත ඉලක්ක අද දිනාගෙන තිබෙනවාද?.

03. ඉස්ලාම් පවසන නීති ඇයි මෙතෙරම් කුරිරු?.

04. ඉස්ලාම් පවසන මරණ දඩුවම ?

05. නඩු තීන්දුව හා මරණ දඩුවමට අතර සමාව නම් විකල්පය,

06. රිසානා රෆීක් ව ඇයි නිදහස් කරගන්න බැරි වුණේ?

07. ඉස්ලාම් පවසන තවත් දණ්ඩ නීති කිහිපයක් පිලිබදව විමසුමක්

08. අවසාන වශයෙන් ඔබේ අවධානයට

01

රටක් නීති තුලින් අපේක්ෂා කරන්නේ කුමක්ද?

වර්ථමාන ලෝකය සැලකූ විට ඒ ඒ රටට ආවේනික දණ්ඩ නීති ක්‍රමයන් ක්‍රියාත්මක වෙනවා යන්නත්, එම දණ්ඩ නීති තවදුරටත් දැඩි කලයුතු යනුවෙන් හා සරල කලයුතු යනුවෙන් සංශෝධන පිලිබදව වාද විවාද පවතිනවා යන්නත් සියළුදෙනා හොදින් දන්නා සත්‍යයකි. අප රටේ පවා මේ පිලිබදව දැඩිව කථාබහට ලක්වෙනවා යන්න අලුත් කාරණයක් නොවේ. ඒ සදහා නිදසුනක් ලෙස පසුගිය දිනක එක්සත් ජනතා නිදහස් සන්දාන පක්ෂ මහා ලේකම් මෙන්ම අමාත්‍යවරයෙකු වන මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාගේ පහත ප්‍රකාශය සදහන් කලහැක. එනම්,

වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල මැඩපැවැත්වීම සදහා රජ කාලේ දඩුවම් දිය යුතු බවත් රජකාලේ රජවරුන් නිසිදඩුවම් දුන් බැවින් අපරාධ අඩුවූ බවත් ඒ සදහා එල්ලුම්ගස යළිත් ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඇමැතිවරයා, අපරාධ චෝදනා එල්ල වී ඇති ආණ්ඩුවට සම්බන්ධ පළාත් සභා. ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා බවත් මේ වන විට ලංකාවේම මෙවැනි තොරතුරු ඒකරාශි කරමින් සිටින බවත් පැවැසිය

ඉහත ප්‍රකාශය අනුව ද යහපත් සමාජයක් නිර්මාණය කිරීම සදහා දැඩි නීති පද්ධතියක් පැවතීම අත්‍යඅවශ්‍ය සාධකයක් යන්න පැහැදිලිය. විශේෂයෙන් අපරාධ සදහා දඬුවම් ලබාදීමේ දී විදිමත් හා දැඩි ක්‍රමවේදයක් ඒ තුල නිර්මාණය විය යුතුය. එසේ වුවානම් පමණයි එම දඬුවම් තුලින් අපේක්ෂිත ප්‍රථිපලය දිනාගත හැකි වන්නේ. මෙහි දී සමහර විට ඔබට ‘ඒ අපේක්ෂිත ඉලක්ක මොනවාද?’ යනුවෙන් පැනයක් ඇතිවීමට ද පුළුවන.  රටක දඬුවම් නීතියක් නිර්මාණය කිරීමේ දී ඒ තුලින් අපේක්ෂිත අරමුණු දෙකක් ඇත. එනම්,

  • අපරාධයක් සිදු කල තැනැත්තා තවදුරටත් එවැනි අපරාධයකට යොමු නොවන ආකාරයේ වූ දඬුවමක් ලබාදීම,
  • අපරාධකරුවකුට ලබාදෙන දඬුවම තුලින් සමාජය අනිකුත් පිරිස් එවැනි අපරාධවලට යොමු වීමෙන් වැලක්වීම,

ඕනෑම රටක් ඉහත අරමුණූ පෙරදැරිව නීති පද්ධතියක් නිර්මාණය කොට ඒ තුලින් සමාජයක යහ පැවැත්ම උදෙසා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට හා ආරක්ෂා කිරීමට ආරක්ෂක නිලධාරීන්, අධිකර්ණ හා සිර කඳවුරු පිහිටුවා ඒවා පරිපාලනය කරන්න නොයෙක් ආයතන පිහිටුවා ඒ තුලින් ‍යහපත් රටක් ගොඩනැඟීම සදහා විවිධ උත්සාහයන් ගනී. නමුත් අද ඇති ප්‍රබලම ගැටළුව මේ සියල්ල  තුලින් ලොව කොතැනක හෝ රටක් අවශ්‍ය ඉලක්ක වෙත ලඟා වී තිබෙනවාද? යන්නයි.

නැවතත් අනුමාතෘකා වෙත…

02

අපේක්ෂිත ඉලක්ක දිනාගෙන තිබෙනවාද?

අද ලොව සෑම රටක් ම තමන් නිසි ආකාරව රට තුල දණ්ඩ නීති ක්‍රියාවට නංවන බව පවසයි. නමුත් එම රටවල් දණ්ඩ නීති තුලින් අපේක්ෂිත ඉලක්ක දිනාගෙන තිබේද? යන්න විමසුවේ නම් එම ප්‍රශ්නය හමුවේ ඔවුන් සියල්ල නිරුත්තරය. එපමණක් නොව තමන් ක්‍රියාවට නංවන නීතිය සමස්ථ ලෝකයටම ආදර්ශයක් යැයි පැවසීමටත් ඔවුන් ධෛර්‍යවන්තද? යයි බැලුවේ නම් එසේද නැත. නීති සංශෝධනය පිලිබදව කථා කරමින්ම කල්ගෙවයි. ජාත්‍යන්තරය මොහොතකට අමතක කොට ජාතික මට්ටමින් මෙය විමසා බැලුවේ නම් මෙහි තත්වයේද වෙනසක් නැත. නීතිය සාමය ආරක්ෂා කරන්න අප රටේ ද නීති පද්ධතියක් සකස් වී ක්‍රියාවට නැංවෙමින් ඇත. මෙහිද අනිකුත් රටවල මෙන් ආරක්ෂක නිලධාරීන්, අධිකර්ණ හා සිර කඳවුරු යනදීය ඉදිකොට ඒවා තුලින් විවිධ මෙහෙවරයන් සිදු කරමින් ඇත. නමුත් මේවා තුලින් රටේ අපරාධවල අඩවීමක් දක්නට තිබෙනවා ද?, රටක දණ්ඩ නීති තුලින් අපේක්ෂිත ඉලක්ක අප ලඟා කරගෙන තිබෙනවාද? යන්න විමසා බලන්නේ නම් එය ප්‍රශ්නාර්ථයකි (?). එයට සමීපතම නිදසුන් කිහිපයක් පවසන්නේ නම්,

  1. පසුගිය දිනවල අප රටේ සිරකරුවන් කල වික්‍රමයන් (තවත් පිංතූර නරඹන්න මෙහි click කරන්න)
  2. මෙවැනි ස්ත්‍රී දූෂකයන්ට රටේ නීතියෙන් පලක් වී ඇත්ද?
  3. ළමා දූෂකයන් දිනෙන් දින වර්ධනය වනා නීතිය මරණ නින්දේ ද?
  4. අවුරුද 06 හිරේ ගියාම ඔක්කොම හරි යයිද?

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ අප රට තුල ක්‍රියාත්මක නීතිය හමුවේ දඬුවම් ලබන පිරිසගෙන් කිහිප දෙනෙකුගේ ක්‍රියා කලාපයන්ය. මේච්චර තමයි කියා ඔබට කිව හැකිද?. මේ තත්වය වෙනස් විය යුතු යන්නෙහි ඔබට විරුද්ධ මතයක් තිබේද?. අප දඬුවම් තුලින් අපේක්ෂීත අරමුණූ ඉටුකරගෙනද?. මේ පිලිබදව මීට ඉහත ද මෙවැනි ලිපි ගණනාවකින් (කියවන්න – ජාතික සිරකරු දිනය  ඉස්ලාම් අසමසම දහමක්?) කරුණූ සාකච්චා කොට ඇත. එම නිසා එම කාරණය වෙත නැවත යොමු නොවී මෙම ලිපියේ ප්‍රධාන අදියර වන ඉස්ලාමීය නීති හා සංසන්දනාත්මක බැලීම වෙත දැන් යොමු වෙමි. ඒ ලොව දඬුවම් නීති අතුරින් ප්‍රබල විවේචනයන්ට ලක්වන නීති පද්ධතිය ‘ඉස්ලාමීය දඬුවම් නීතිය’ වන නිසාය.

නැවතත් අනුමාතෘකා වෙත…

03

ඉස්ලාම් පවසන නීති ඇයි මෙතෙරම් කුරිරු?

ඉස්ලාමීය ලෝකය තුල ක්‍රියාත්මක දණ්ඩ නීති පිලිබදව ලොවපුරා වෙසනෙ මුස්ලීම් නොවන ප්‍රජාවට බොහෝ විට ඇත්තේ ප්‍රබල විවේචනයන්ය. අප රට තුල ද එම තත්වයේ වෙනසක් නැත. පසුගිය දිනවල අප රටේ ආන්දෝලනාත්මක පුවතක් වූ ‘රිසානා රෆීක්ගේ මරණ දඬුවමත්‘ නිසා මේ විෂය වඩ වඩාත් උණූසුම් වී ඇත. ඔවුන් ඉදිරිපත් කරන විවේචන අතර සමහරක් නම්, ඉස්ලාමීය දණ්ඩ නීති සාධාර්ණ ද? විශේෂයෙන් ඉස්ලාම් පවසන නීති ශිෂ්ඨ යුගයක අනුමත කරන්නේ කොහොමද? යන්නයි. එනම් සමහරක් නීති අමානුෂීක නොවේද?, ඝාතකයෙකුට මරණ දඬුවම් ලබාදීම තුලින් මියගිය කෙනාට නැවත ජීවය ලැබෙනවාද?, ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම් ලබාදීම මඟින් එම කාන්තාවට හිමිවන සෙතේ කුමක්ද?, සොරකමකට අත කැපීම ඒ පුද්ගලයාට කරන හානියක් නොවේද?… යනාදීය එවැනි විවේචන තුල මතු කරන ප්‍රබල  තර්ක කිහිපයකි.

ඉහත ආකාරයේ තර්කයන් සියල්ල පොදුවේ එමෙන්ම පිටස්තරව හිඳ බලන විට ඒවා සාධාර්ණ මෙන්ම මානුෂීය තර්ක ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් මා ඉහතින් සදහන් කල  යහපත් සමාජයක් ගොඩනැඟීමේ ක්‍රියාවලිය තුල  මෙම තර්ක වලංගු තර්කයන් නම් නොවේ. සියල්ලට සුන්දර විසදුම් සෙවීම යන්න ලොව තුල ප්‍රායෝගිකව කලහැකි එකක් නම් නොවේ. එයට සරල හා සමීපතම නිදසුනක් අප රට තුලින් ම ගෙනහැර දැක්විය හැක. එනම්, ඒ වසර 30ක් මුළුල්ලේ පැවතී කුරිරු ත්‍රස්ථවාදය අවසන් කල ආකාරයයි. මිනිස් ඝාතනය ‍ශ්‍රී ලාංකීය බහුතර බෞද්ධ ප්‍රජාව අනුමත නොකලත් ඒ සියළුදෙනාට ප්‍රභාකරන් ඇතුළු එම කණෟඩායමේ ඝාතනය අසීමිත සතුටක් ‍ගෙනදුන් එකක් විය. මේ තුලින් ද පැහැදිලි වන්නේ සමාජ යහ පැවැත්මක් උදෙසා ගනු ලබන සියළු තීන්දු සුන්දර නොවන නමුත් එය දැඩි අවශ්‍යතාවයක් යන්න නොවේද?. තවත් සරලව පවසනවා නම්, සමාජයක යහ පැවැත්මට කිසිවකු එරෙහි වන්නේ නම්, එම (අපරාධකාර) පුද්ගලයාට දඬුවම් ලබාදීමේ දී ලිහිල් ක්‍රමවේදයන් කිසිසේත් අනුගමනය කිරීමට අවශ්‍ය නොවන බව නොවේද?.

‘ඉස්ලාම් පවසන දණ්ඩ නීති තමා කුරිරු ආකාරයට තිබෙන්නේ අප රටේ නීති ඉතා සුන්දර ආකාරයට අප සකසා තිබෙන්නේ’ යනුවෙන් කිසිවකු තම රටේ නීතිය පිලිබදව වර්ණනා කරයි නම් බුද්ධිමත් ඔබ එලෙස පවසන ඔහුගේ බුද්ධිය පිලිබදව හෝ රටේ සමාජ තත්වය පිලිබදව තීන්දු කරන්නේ කෙසේ ද?. රටින් රටට නීතිවල දැඩි බව අඩුවැඩි වන්න‍ට පුළුවන නමුත් කිසිදු දණ්ඩ නීතියක් සුන්දර නම් විය නොහැක. අනික මෙලෙස ඉස්ලාමීය දණ්ඩ නීති විවේචනය කරන පාර්ශවයන්ගේ වාදයන් හොදින් විමසා බලන්නේ නම්, මොවුන් පෙනී සිටින්නේ අපරාධයට ලක් වූ තැනැත්තා වෙනුවෙන් ද? නොඑසේ නම් අපරාධකරුවා වෙනුවෙන් ද? යන්න කුතුහලයක් ඇති වේ. කෙසේ වෙතත් විවේචනය කරන්නන් වාලේ විවේචනය නොකොට ඉස්ලාමීය දණ්ඩ නීතිය පිලිබදව ද බුද්ධීමත් ලෙස විමසා බලා විවේචනය කරන්නේ නම්, නොඑසේ නම් මීට වඩා යහපත් නීති පද්ධතියක් යෝජනා කරන්නේ නම්, එය බුද්ධිමත් ක්‍රියාවක් වන්නේය. එම කාරණය ඔබේ බුද්ධිමත් අවදානයට තබමින් ඉස්ලාම් පවසන දඬුවම් නීති කෙරෙහි දැන් අවදානය යොමු වෙමි.

නැවතත් අනුමාතෘකා වෙත…

04

ඉස්ලාම් පවසන මරණ දඩුවම ?

ඉස්ලාම් පවසන දඬුවම් නීති පිලිබදව කථා කරන විට ප්‍රබල විවේචනයන් එල්ල වන දඬුවම වන්නේ මරණ දඬුවමයි. ඉහතින් සදහන් කලාසේ රිසානා රෆීක් සහෝදරියගේ මරණ දඬුවම ක්‍රියාත්මක වීමත්, එය මූලික කරගෙන අප රජය සවුදි තානාපතිවරයා නැවත කැඳවා ගැනීමත්, රජයේ එම තීරණය බොහෝ පිරිස් ඇගයීමට ලක් කොට කථා කිරීමත්, මෙම මරණ දඬුවම පිලිබදව මාධ්‍යයන් විවිධ පුවත් මැවීමත් එහි ඇති විරුද්ධත්වය මනාව පිළිඹිබු කරයි. මේ හේතුව නිසා ‘ඉස්ලාම් පවසන මරණ දඬුවම’ පිලිබදව කරුණූ කිහිපයක් ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එයට තවත් ප්‍රධාන හේතුවක් ද ඇත. ඒ ඉහත තත්වයන් තුල ඉස්ලාම් පවසන ‘ශරීයා නීතිය’ පිලිබදව මේ පිරිසට තිබෙන අනවබෝධය ද මනාව පිළිඹිබු වන නිසාය.

අද අප රටේ පුරවැසියන් ලක්ෂ ගණනින් සේවය කරන මිලියන ගණනින් විදේශ විනිමය උපයාදෙන මේ වෘතිකයන් සම්බන්ධයෙන් රජය හෝ ඒ සම්බන්ධ ආයතන මෙන්ම බලධාරීන් කොතරම් අනවබෝධයෙන් ක්‍රියා කොට තිබෙනවා ද? යන්නට රිසානා රෆීක් සහෝදරි‍යගේ මරණය මෙන්ම ඒ වඩා ගොඩනැටඟෙන කතිකාව හොදම සාක්ෂියකි. එය මොහොතකට පසෙක තැබුව ද, ඉදිරියේ දී මෙවැනි තත්වයන් නිර්මාණය නොවීමට විෂය පිලිබදව කොතරම් අවබෝධයෙන් අප සිටිය යුතු ද යන්න ඉතා වැදගත් කාරණයකි. මන්ද අප රටේ සහෝදර සහෝදරියන් විශාල සංඛ්‍යාවක් සේවය කරන සවුදි රටේ නීති පිලිබදව අනවබෝධයෙන් එහි සේවය කරනවා යන්න රටක් ලෙස එය ඉතා අවදානම් තත්වයකි. ඒ අනුව  අප රටේ බලධාරීන්ට, නිලධාරීන්ට මෙන්ම පොදු ජනතාවට ද රිසානා සහෝදරියගේ මරණය ලබා දෙන්නේ රතු  එලියකි. මා මෙසේ පවසන විට ඔබට ‘එසේනම් මොකක් ද? ඒ රටේ ක්‍රියාත්මක නීතිය’ යනුවෙන් ගැටළුවක් මතුවීමට පුළුවන. මේ හේතුව නිසා මෙම ලිපියේ ඉදිරියට ඉස්ලාම් පවසන මරණ දඩුවම පිලිබදව වැඩි ඉඩක් ලබාදී ඉස්ලාමීය දණ්ඩ නීතිය පිලිබදව ඔබට කිසියම් අවබෝධයක් ලබාදීමට උත්සාහ කරමි.

ඒ සදහා පිවිසුමක් ලෙස ප්‍රථමයෙන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

‘පණට පණ, ඇසට ඇස, නහයට නහය, කණට කණ, දතට දත වශයෙන් ද තුවාලවලට ද ඒ තරමින් තුවාල කිරීම වශයෙන් (‘තව්රාත්’ හිමි) ඔවුනට නියම කර තිබුණෙමු.  එහෙත් කවුරුන් හෝ පළි ගැනීම (වෙනුවට සමාව දී පිනක් අපේක්ෂාවෙන්) දානමනායක් වශයෙන් අත්හැර දැමුවහොත් එය ඔහුට (ඔහුගේ නපුරු ක්‍රියාවන්ට) වන්දි වශයෙන් වනු ඇත. කවුරුන් අල්ලාහ් (දෙවි) පහළ කල (ධර්ම නියමයන්ට) අනුව විනිශ්චය නොකළේ ද ඔවුන් නියත වශයෙන්ම අපරාධකරුවන් වන්නේය!,

ශුද්ධ වූ කුර්ආනය 5-45

අදාල මාතෘකාවට යොමුවීමට පෙර ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයේ සදහන් එක් කාරණයක් ඔබේ බුද්ධිමත් අවධානයට ගෙන එන්න අදහස් කරමි. එනම් එම වාක්‍යය තුල ‘තව්රාත් හිමි’ පිරිසක් පිලිබදව සදහන් වේ. ඔවුන් කවුරුන් ද? යන්න පිලිබදව අවබෝධයක් ලබා ගැනීම මෙම විෂය තවත් හොදින් අවබෝධ කරගැනීමට හේතුවක් වනු ඇත. තව්රාත් හිමි පිරිස් යනුවෙන් හදුන් වන්නේ මුහම්මද් (සල්) තුමාණන්ට වසර 1500 කට පමණ පෙර විසූ දේව වක්තෘවරයෙකු වන මූසා ((අලෛ)හෙවත් බයිබලයේ සදහන් මෝසස්) තුමාණ්ගේ ජන සමූහ යයි. එම සමාජයට පවා එදා අල්ලාහ් (දෙවි) ඉහත ආකාරයට දඬුවම් නීති පනවා තිබූ බව 5-45 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් අපට අනාවර්ණය කරයි. තවද මූසා ((අලෛ) හෙවත් බයිබලයේ සදහන් මෝසස්) තුමාට වසර ගණනාවකට පසු පැමිණි ඊසා ((අලෛ) හෙවත් යේසූස්) තුමාගේ කාලයේත් කුරුසයක ගසා මරණ දඬුවම ලබාදීමේ ක්‍රමයක් ලොව පැවතී  බව බයිබලය තුලින් ද පැහැදිලි වේ. මීට අමතරව මරණ දඬුවම යන්න ඈත අතීතයේ පටන් වර්ථමානය දක්වාම ලොව ක්‍රියාත්මක මුස්ලම් සමාජයට හෝ ඉස්ලාම් දහමට පමණක් අවේනික ක්‍රමයක් නෙවන බව ඉතිහාසය හොදින් අධ්‍යනය කලේනම් පැහැදිලි වේ. එයට සදාම් හුසෙයින්ගේ හා උසාමා බින්ලාඩන්ගේ මරණය ද තවදුරටත් ලෝකයා හමුවේ සාක්ෂී දරයි.

ඉහත කාරණය ද ඔබේ අවදානයට තබමින් ඉහත 5-45 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට යොමු වුයේ නම්, එහි කිසියම් අපරාධයක් සදහා දඬුවම් ලබාදීමේ දී බොහෝ විට එම අපරාධයට සමාන ආකාරයට එම අපරාධකරුවාට ද දඩුවම් කලයුතු යන්න ඉස්ලාමීය ඉ‍ගෙන්වීම යන්න පැහැදිලි වේ. (සොරකම්, ස්ත්‍රී දූෂණ, අනියම් සම්බන්ධතා… යනාදී වැරදිවල දී දඬුවම් ක්‍රමය තරමක් මීට වෙනස් වේ) ඒ අනුව කිසිවකු විසින් තවත් කෙනෙකු ඝාතනය කලේනම්, ඔහුට ඉස්ලාම් යෝජනා කරන තීන්දුව මරණ දඬුවමයි. නමුත් ඉස්ලාම් දහම මෙලෙස එය යෝජනා කිරීමේ දී එය සරල අවසරයක් ලෙස නොපනවා කොන්දේසි කිහිපයකට යටත්ව එය පැන වූ බව බොහෝ දෙනෙකු නොදනී. විශේෂයෙන් අද මුස්ලීම් සමාජයේ පවා සැලකිය යුතු පිරිසක් මෙන්ම මුස්ලීම් නොවන සමාජයේ ද බොහෝ පිරිසක් මේ පිලිබදව කරුණු නොදනී. මේ හේතුව නිසා එවන් කොන්දේසි කිහිපයකට ඔබේ අවධානය යොමු කරන්නේ නම්,

  • ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් හෝ මෙම නීති ක්‍රියාත්මක කිරීමට අධිකාරී බලය තිබිම අවශ්‍ය,
  • ඉස්ලාමීය රජ්‍ය පාලනයක් නොමැති විටෙක මෙම නීති ක්‍රියාත්මක කිරීම අනිවාර්‍ය නොවේ,
  • ඉස්ලාමීය පාලනයක් තුල මෙම නීති ක්‍රියාත්මක කිරීම අනිවාර්‍ය වේ,
  • දඬුවම තීන්දු කලයුත්තේ ඉස්ලාමීය ආගමික විද්වතුන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසිනි,
  • තීන්දු ලබාදීම ඉස්ලාමීය මූලාශ්‍රයන්ට අනුකූල වියයුතුය,
  • ඒ සදහා සියළු පාර්ශවයන්ගෙන් කරුණු විමසීමක් අවශ්‍ය වේ,
  • වරද ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි,
  • දඬුවම් කිරීම අත්හිටුවීමේ බලය රටේ පාලකයන්ට හෝ විනිශ්චය මණ්ඩලයට නැත,
  • (ඝාතකයෙකුට) මරණ දඬුවම ලබාදීම අත්හිටුවීමේ බලය ඇත්තේ ඔහුගෙන් ඝාතනයට ලක්වූ පවුලේ ඥාතීන් පමණි,
  • මරණ දඬුවම ලබාදීමට පෙර ඝාතනයට ලක් වූ පවුලේ පාර්ශවයන්ට ඝාතකයාගෙන් වන්දි මුදලක් ලබාගෙන ඔහුව නිදහස් කිරීමේ අයිතිය ඇත,
  • මරණ දඬුවම ලබාදීමට පෙර ඝාතනයට ලක් වූ පවුලේ පාර්ශවයන්ට සමාවදීම‍ට උනන්දු කරවීය යුතුය,
  • එසේ සමාව නොලැබූණු විටෙක ඔහුට මරණ දඬුවම ලබාදිය යුතු අතර එහිදී ඔහු කෙරෙහි අනුකම්පාවක් නොදැක්විය යුතුය,
  • මරණ දඬුවම ලබාදීමෙන් පසු ඔහු හෝ ඇය පවුකාරයෙකු ලෙස හෝ පාපතරයෙකු ලෙස කිසිවිටෙකත් නොසැලකිය යුතුය,

මා ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ ස්ලාම් පවසන ආකාරයට මරණ දඬුවමක් ක්‍රියාත්මක කිරීමේ දී එහි අනුගමනය කලයුතු කොන්දේසි කිහිපයකි. ඒ අනුව කිසියම් වරදකරුවකුට දඬුවම් ලබාදීමේ දී ඉහත කරුණු පිලිබදව ද සැලකිලීමත් වීම අත්‍යඅවශ්‍ය වේ. විශේෂයෙන් අපරාධකරුවාට සමාව ලබාදීම හා වන්දි මුදලකට යටත්ව නිදහස් කිරීම යන්න මෙහි දැඩිව අවදානය යොමු කලයුතු කාරණයකි.

නැවතත් අනුමාතෘකා වෙත…

05

නඩු තීන්දුව හා මරණ දඩුවමට අතර සමාව නම් විකල්පය,

මනුෂ්‍ය ඝාතනයක දී එම ඝාතකයාට (ඉහත කොන්දේසිවලට යටත්ව) ඉස්ලාම් මරණ දඬුවම යෝජනා කල ද එම දඬුවම ක්‍රියාත්මක කරන මොහොත දක්වා එම දඬුවමින් නිදහස් වීමට ඉස්ලාම් අවස්ථා දෙකක් ඔහුට හෝ ඇයට සලසා දී ඇත. එය ඉහත 5-45 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුල ද ‘…එහෙත් කවුරුන් හෝ පළි ගැනීම (වෙනුවට සමාව දී පිනක් අපේක්ෂාවෙන්) දානමනායක් වශයෙන් අත්හැර දැමුවහොත් එය ඔහුට (ඔහුගේ නපුරු ක්‍රියාවන්ට) වන්දි වශයෙන් වනු ඇත…’ යනුවෙන් අවදාරණය කරයි. ඒ අනුව මරණ දඬුවමකින් කිසියම් පුද්ගලයෙකු නිදහස ලැබීමට ඇති විකල්පයන් දෙක වන්නේ,

  • තමන් ඝාතනය කල කෙනාගේ පවුලේ උදවියගෙන් හිමිවන සමා‍ව,
  • තමන් ඝාතනය කල කෙනාගේ පවුලේ උදවිය තීන්දු කරන වන්දි මුදල ගෙවීම,

මෙහි පලමු කාරණය වන ‘සමාව’ පිලිබදව ඉස්ලාම් දැඩිව අවදාරණය කරන අතර මේ දෙකින් එකක් තෝරා ගැනීම හෝ තොරා නොගැනීම පිලිබදව පූර්ණ අයිතිය එම අපරාධයට ගොදුරු වූ පවුලේ පාර්ශවයන්ට ඇත. මේ පිලිබදව පැවසෙන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

විශ්වාසවන්තයනි!, ඝාතනයක් සිදුකල ඝාතකයෙකු වෙනුවෙන් (දඬුවම ලෙස ඔහුව ද) ඝාතනය කිරීම නුඹලා කෙරෙහි අනිවාර්‍ය කොට ඇත. නමුත් එම ඝාතකයාට, ඝාතනයට ලක් වූ පවුල් පාර්ශවයෙන් සමාව දී නිදහස් කරන්නේ නම් එය ඉතා ගෞරවණීය ලෙස සිදු කලයුතුය. එසේම (පළි නොගෙන නිදහස් කිරීම වෙනුවෙන් ඝාතකයා කිසියම් වන්දියක් ගෙවීමට පොරොන්දු වුයේ නම්) ඉතාමත් ස්තූති පූර්වකව ගෙවාදැමියි යුතුය. මෙය දෙවියන් නුඹලා කෙරෙහි දක්වන පහසුව හා දයාව වන්නේය. මෙයින් පසුව ද (දෙපාර්ශවයෙන්) කිසිවකු සීමාව ඉක්මවා ක්‍රියා කරන්නේ නම් ඔහුට (පරලොව දී) දැඩි වේදනාව ගෙනදෙන දඬුවම් ඇත.

ශුද්ධ වූ කුර්ආනය 2-178

මිනිස් ඝාතනයක් සදහා දඬුවම ලෙස ඉස්ලාම් දහම මරණ දඬුවම යෝජනා කලත්, එම දඬුවම ක්‍රියාත්මක කිරීමට මත්තෙන් ඔහු වෙනුවෙන් සමාව ලබාදීම කෙරෙහි උනන්දු කරවන බව ඉහත 2-178 මෙන්ම 5-45 වාක්‍යයෙන් ද ඔබට අවබෝධ විය යුතුය. ඉහත වාක්‍යයට අමතරව සමාවදීමේ වැදගත්කම හා එහි මහිමය අවදාරනය කරමින් පැවසෙන බොහෝ ඉගෙන්වීමන් ඉස්ලාමීය මූලාශ්‍රවල දක්නට තිබෙන බව ද මෙහි සදහන් කලයුතුම කාරණයකි. මෙලෙස මා පවසන විට රිසානා රෆීක් සහෝදරියට සමාව නොලැබුණේ ඇයි ද? යන පැනය තවදුරටත් ඔබේ සිත් තුල වද දෙනු ඇත. එම නිසා ඒ පිලිබදව ද මෙහි දී කෙටි විමසුමක් කරන්නේ නම්,

නැවතත් අනුමාතෘකා වෙත…

06

රිසානා රෆීක් ව ඇයි නිදහස් කරගන්න බැරි වුණේ?

මා ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ ඉස්ලාමීය දඬුවම් නීතිවල දී විශේෂයෙන් මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීමේ දී අනිවාර්‍යයෙන් අනුගමනය කලයුතු ක්‍රමවේදයන්ය. මේ තත්වයන් හොදින් මතකයේ රඳවාගෙන මීට දින කිහිපයකට පෙර මරණ දණ්ඩයට ලක් වූ රිසානා සහෝදරියගේ මරණ දඬුවම ක්‍රියාත්මක වූ ආකාරය පිලිබදව විමසා බලන්නේ නම්,

  • ඇයගේ අතින් සිදුවූ එම ඝාතනය සම්බන්ධ නඩුව වසර 05 ක් මුළුල්ලේ විනිශ්චය මණ්ඩලයක් ඉදිරි පිට විභාග වුණි,
  • නඩු විභාගයේ දී ඉදිරිපත් වූ සාක්ෂි අනුව ඇය වරදකාරිය ලෙස ඔප්පු වුණි,
  • ඒ අනුව ඉස්ලාමීය නීතිය යටත්ව ඇයට මරණ දණ්ඩුවම තීන්දු වුණි,
  • එම තීන්දුවෙන් අනතුරුව ඇයගේ අතින් ඝාතනයට ලක් දරුවාගේ දෙමාපියන්ගෙන් ඇයට සමාව ලබාදීමට වසර 03 ක කාලයක් මුළුල්ලේ විවිධ පාර්ශවයන් උත්සාහ කරන ලදී. (ඇයි වෙනුවෙන් එම රටේ රජතුමා පවා අදාල පාර්ශවයන්ගෙන් ඉල්ලීම් කල බවට තොරතුරු වාර්ථා වුණි)
  • සියල්ල අසාර්ථක වූ කල අවසානයේ ඉතිරි වන එකම විකල්පය මරණ දඬුවම ලබාදීම පමණි.
  • ඒ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක වුණි,

මෙතැන දී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, රිසානා සහෝදරියගේ මරණ දඬුවම පදනම් කරගෙන අද ඉස්ලාම් දහමට එරෙහිව ජාත්‍යන්තරය තුල විවිධ මතවාදයන් ප්‍රකාශ වෙමින් ඇත. ඊට දෙවැනි නොවී අප රටේ ද එවැනිම ව්‍යාපාරයන් දියත් වෙමින් ඇත. ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍යයන් ද සත්‍යයන් තමන්ට අවශ්‍ය ආකාරයට විකෘති කරමින් සමාජය තුල විවිධ විකෘති මතවාදයන් නිර්මාණය කරමින් ඇත. අවාසනාවකට එම මතවාදයන්ට සමහරක් මුස්ලීම්වරන් පවා බිලිවෙමින් ඇත. ඒ තුල ඔවුන් ද ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව අනවබෝධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් ඇත. විශේෂයෙන් ‘සවුදි රජය උදාසීන පිලිවෙතක් අනුගමනය කලා, අපේ රටේ ජනාධිපති තුමාගේ ඉල්ලීම පවා නොසලකා හැරියා… යනාදී වශයෙන් ප්‍රකාශ නිකුත් කරමින් ඇත. මෙවැනි ප්‍රකාශ නිකුත් කරන සියළුදෙනාගේ අවධානයට ශුද්ධ වූ නබිවදනක් ගෙන එන්නට කැමැත්තෙමි. එනම්,

මුහම්මද් (සල්) තුමාණන් ජීවත් සමාජයේ එහි උතුම් ගෝත්‍රයක් ලෙස සැලකූ ‘මක්සූමි’ නම් ගොත්‍රයේ ‘ෆාතිමා’ නම් වූ කාන්තාවක් සොරකම් සිදුකරන ලදී. මෙම සිදුවීම එම සමාජයේ තමන් ඉහල කුලයක් ලෙස හදුන්වාගත් කුරෙයිෂිවරුන්ට ඉමහත් අවනම්බුවක් විය. මෙවන් තත්වය ඇයට ඉස්ලාමීය දඬුවම ලබාදීම (එනම් ඇයගේ අතේ මැණීක්කටුවෙන් කැපීම සිදු කිරීම) තම කුලයට ම අවනම්බුවක් යයි සිතූ කුරෙයිෂීවරුන් ‍මේ අවස්ථාවේ දී මෙම දඬුවමින් සහනයක් ලබා ගැනීම පිණිස උපක්‍රමයක් කල්පනා කරන ලදී. එහිදී මුහම්මද් (සල්) තුමාණන්ට ඉතා ප්‍රියමනාප දරුවකු වන උසාමා (රලි) තුමා මඟින් ඇයට සහනයක් ඉල්ලා යැවීමට ඔවුන් තීරණය කොට උසාමා (රලි) තුමා නබිතුමාණන් හමුවට යවන ලදී. ඒ අනුව උසාමා (රලි) නබිතුමාණන් හමුවට පැමිණි එම ෆාතිමා නම් කාන්තාව වෙනුවෙන් සහනයක් ඉල්ලා සිටින ලදී. එහිදී දැඩිව කෝපයට පත් නබිතුමාණන් සිටී තැනින් නැඟීසිට ‘නුඹලාට පෙර විසූ ජනතාව සමාජයේ පහත් යැයි සැලකෙන පිරිස් වරදක් කලවිට ඒ සදහා දැඩිව දඬුවම් ඉටු කිරීමටත්, ඉහල පැලැන්තියේ යැයි සැලකෙන පිරිස් වරදක් සිදුකලේ නම් එය නොසලකා හැරීමටත් කටයුතු කල නිසා තමා ඔවුන් විනාශ වී ගියේ’ යයි පවසා තවදුරටත් ‘මාගේ ප්‍රාණය කවුරුන් අත තිබෙන්නේ ඒ (අල්ලාහ්) දෙවි මත දිවුරා කියමි!, ‘මාගේ දුව ෆාතිමා සොරකම් කලත් ඇයගේ අතත් මම කපනවාමය!’ යනුවෙන් පවසන ලදී

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසය මුස්ලීම් සමාජයේ සෑම කෙනෙකුම පාහේ නිතර අසා පුරුදු හදීසයකි. මේ හදීසය මෙතැන දී ඔ‍බේ අවදානයට ගෙන එන්නට ‍ප්‍රධාන හේතුවක් ඇත. ඒ  අල්ලාහ් (දෙවි) විසින් සම්පාදනය කොට දුන් නීති පසෙකලා ඊට පිටින් කිසිදු තීන්දුවක් ගැනීමට මුහම්මද් (සල්) තුමාණන්ට එදා අවසර නොතිබුණා පමණක් නොව එවැනි තීරණ ගැනීම පවා ඉස්ලාම් දහමට අනුව වරදක් ලෙස පෙන්වාදීමටය. ඒ අනුව එදා නබිතුමාණන්ට පවා නොතිබූ අයිතිය අද සවුදි රජයට හෝ එහි රටේ රජතුමාට හිමිවිය හැකිද? අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ රට තුල ක්‍රියාත්මකව පවතින නීතිවලට සාපේක්ෂව සවුදි රජයේ ක්‍රියාත්මක නීති දෙස බැලීම නිසා ඉහත ආකාරයේ ගැටළු ඔබට මතු වුවත් එය සාධාර්ණ වූ හෝ නුවණක්කාර තීන්දුවක් නොවන බව දැන් ඔබට පැහැදිලි වියයුතුය. තවත් එක් කාරණයක් මෙහිදී අවදාරනය කලයුතුව ඇත. එනම් එදා රිසානා රෆීක් සහෝදරිය සම්බන්ධයෙන් සවුදි රජය හෝ රටේ රජතුමා ඉහත නීති පද්ධතියට පිටින් කිසියම් තීන්දුවක් ගෙන තිබුණේ නම් එය ඉස්ලාම් විරෝධි තීන්දුවක් වන අතර එය ඉස්ලාමීය ලෝකයේ කිසිවකුත් අනුමත නොකරන අර්බුදකාරී තත්වයන් නිර්මාණය වීමට හේතුවක් වන්නට ද තිබුණි.

නැවතත් අනුමාතෘකා වෙත…

07
ඉස්ලාම් පවසන තවත් දණ්ඩ නීති කිහිපයක් පිලිබදව විමසුමක්
ඉහතින් රිසානා‍ සහෝදරියගේ මරණය මූලික කරගෙන කෙනෙකු තවත් කෙනෙකු ඝාතනය කලේනම් එයට ඉස්ලාම් යෝජනා කරන තීන්දුව අප තරමක් දුරකට විමසා බැලුවෙමු. ඊට අමතරව ඉස්ලාමීය දණ්ඩ නීති පිලිබදව කථා කරන විට නිතර කථාවෙන තවත් දඬුවම් නීති කිහිපයක් ඇත. ඒ පිලිබදව ද කෙටි අවදානයක් මෙහිදී යොමු කරන්නේ නම්,

  • දූෂණ, දුරාචාරය හා අනියම් සම්බන්ධතා සම්බන්ධයෙන් ඉස්ලාමීය නීතිය

ඉහත අපරාධය සදහා ලබාදිය යුතු දඬුවම් පිලිබදව ඉස්ලාම් කථා කිරීමේ දී එය කොටස් දෙකකට වෙන් කොට කථා කරයි. එනම්,

  • අවිවාහක කෙනෙකු අපචාරයේ නිරත වී එය සාක්ෂි සහිතව ඔප්පු වුයේ නම් ඇයට හෝ ඔහුට ‘කස පහරවල් 100 ක් ගැසිය යුතුයි’ යන්න
  • එම වරදේ නිරත වුයේ විවාහකයෙකු නම්, ඔහුට හෝ ඇයට ‘මරණ දඩුවම ලබාදිය යුතු’ යන්න

ඉහත දඬුවම් ක්‍රියාත්මක කිරීමේ දී ඔවුන් කෙරෙහි අනුකම්පාවක් ඇති කර නොගෙන දඬුවම් කලයුතු  බව ඉස්ලාම් පවසයි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා ශුද්ධ වූ කුර්ආනයේ 4-15, 4-25, 24-2 යන වාක්‍යයන් බලන්න). මේ ඉස්ලාම් යෝජනා කරන තීන්දුව කොතරම් නිවරුදි  තීන්දුවක් ද යන්නට වර්ථමාන සමාජය හා ඒ තුල  සිදුවන සිදුවීමන් හොද නිදසුනකි. විශේෂයෙන් පසුගිය දිනවල මුළු ඉන්දියාවම කැලඹු වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය කොට මරා දැමීම මෙන්ම අප රටේ පසුගිය දිනක ‘ළමා හිංසනයට එරෙහිව ජාතික දිනය සමරමින් කල පහත ප්‍රකාශය එයට හොඳම නිදසුන් දෙකකි.

පසුගිය වසර හතරක කාලය තුලදී ලංකාවේ වාර්තාවූ ළමා ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව මෙසේය.

  • 2009 වසරේ 1,228කි
  • 2010 වසරේ 1,446කි
  • 2011 වසරේ 1,463කි
  • 2012 මුල් මාස 11 තුළ 1,464 කි.

මේ සිදුවීම් සියල්ල තුල විමසා බැලිය යුතු කාරණය වන්නේ. වර්ථමාන රටේ පවතින නීතියෙන් කරන්නට හැකි වී ඇත්තේ කුමක්ද?. යන්නයි. වරදකරුවන් සිරගත කොට අපේම බදු මුදලින් ඔවුන් පෝෂණය කොට නැවත සමාජයට මුදාහැරීම මිස අන් කිසිවක් නොවේ. ඊට වඩා යමක් ඔවුන් ලබාගෙන තිබේ ද? ඒ පිලිබදව බුද්ධිමත් විමසුමකට ඉහතින් ඉදිරිපත් කල පිංතූරය පහතින් නැවතත් ඉදිරිපත් කරමි.

  • සොරකම් සම්බන්ධයෙන් ඉස්ලාමීය නීතිය

‍කිසියම් කෙනෙකු (ස්ත්‍රී හෝ පුරුෂයෙකු) සොරකමක් කොට එය සාක්ෂි සහිතව ඔප්පු වුයේ නම්, ඔහුගේ අතේ මැණික්කටුවෙන් සිදලීම ඉස්ලාමීය නියෝග යයි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා ශුද්ධ වූ කුර්ආනයේ 5-38 වාක්‍යය බලන්න) මෙසේ ඉස්ලාමීය නීතිය පවසන විට සමහරක් පිරිස් ඉදිරිපත් කරන ජනප්‍රිය තර්කයක් ද ඇත. එනම්, ‘කාලයක් යන කොට රටේ ජනතාව අත් නැතුව තමා ඉන්න වෙන්නේ’ යන්නයි. මෙය සැබෑවටම බුද්ධිමත් තර්කයක් නොවේ. වෙනත් ආකාරයකට පවසනවා නම් ඉහත තර්කය තුලින් වක්‍ර ආකාරයට අවධාරණය කරන්නේ රටේ සියළුදෙනා සොරුන් යන්නයි. ඒ අනුව මෙය කිසිදු පදනමක් නැති ඊනියා වාදයක් පමණි. අනික සොරකමේ නිරත වන එක් සොරෙකුට ප්‍රසිද්ධියේ ඉස්ලාම් පවසන දඬුවම ලබාදෙන විට ඒ දෙස බලන බොහෝ පිරිස් එම වරදට යොමු විමට බියවෙයි. එම නිසා එම වරද සමාජයෙන් ඈත්වෙයි. මෙය අද ප්‍රා‍යෝගිකව සවුදි ආරාබිය ලෝකයට ඔප්පු කොට පෙන්වා ඇත. ලෝකයේ අනිකුත් රටවල් හා සවුදි අරාබියේ සිදුවන අපරාධ සංඛ්‍යාත්මක ලෙස සංසන්ධනය කර බැලුවේ නම් මා පවසන මෙම තත්වය වඩාත් හොදින් ඔබට අවබෝධ කරගත හැකි වනු ඇත.

  • රටකට එරෙහිව කුමණ්ත්‍රන කිරීම

රටක් රාජ්‍යයක් අස්ථාවර කරන්න විවිධ කුමන්ත්‍රණ කරන පිරිස් ලොව සෑම රටකම වාගේ දක්නට ඇත. මෙවැනි පිරිස් සම්බන්ධයෙන් ද ඉස්ලාම් දැඩි නීතියක් පනවා ඇත. එනම්, එවැනි කුමණ්ත්‍රන කරන පිරිස් ඝාතනය කලයුතු බවටත්, නොඑසේ නම් අත් පා මාරුකොට කපා හැරිය යුතු බවටත්, නොඑසේනම් ඔවුන් සිරගත කොට තැබිය යුතු බවටත්, එසේත් නැත්නම් රටින් පිටුවහල් කලයුතු බවටත් අවදාරණය කරයි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා ශුද්ධ වූ කුර්ආනයේ 5-33 වාක්‍යය බලන්න) මෙවැනි තත්වයක් තුල සවුදි අරාබිය අනිකුත් රටවලට සාපේක්ෂව සාමාකාමී රටක් ලෙස පැවතීම මෙයට හොද නිදසුනකි.

  • මුසාවන් හා අපවාද ගෙතීම, දෝෂරෝපණ කිරීම හා බොරු ප්‍රචාරයන් කිරීම

ඉස්ලාම් මෙවැනි දෑ පවා දැඩි දඬුවම් ලබාදිය යුතු අපරාධයක් ලෙස දකී. අපවාද පවසන්නන් සදහා කස පහරවල් 80ක් ලබාදිය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා ශුද්ධ වූ කුර්ආනයේ 24-4 හා 24-13, 5-2 වාක්‍යයන් බලන්න) එසේම තමන් කිසියම් වරදක් සිදුකොට එය වෙනත් කෙනෙකු පිට පැටවීම ද බරපතල වරදක් යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා ශුද්ධ වූ කුර්ආනයේ 4-112 වාක්‍යය බලන්න). පොදු ජනයා කැළඹිල්ලකට ලක් වන ආකාරයේ පුවත් ප්‍රචාරය කිරීම ද ඉස්ලාම් දහමට අනුව වරදක් ලෙස ශුද්ධ වූ කුර්ආනය 4-83 වාක්‍යය මඟින් අවදාරණය කරයි.

නැවතත් අනුමාතෘකා වෙත…

08

අවසාන වශයෙන් ඔබේ අවධානයට

මෙතෙක් සාකච්චා කල කරුණූවලින් ඉස්ලාමීය දඬුවම් නීති පිලිබදව ඔබට කිසියම් අවබෝධයක් ලබා ගැනීමට හැකි වී ඇතැයි මා විශ්වාස කරමි. මෙය ඉස්ලාම් දහම තුල ඉතා පුඵල් විෂයක් මෙවැනි කෙටි ලිපියක් තුලින් පැහැදිලි කිරීම ප්‍රායෝගික නොවුනත් හැකි පමණීන් සාරාංශ කොට මෙහි පෙලගස්වා ඇත. විශේෂයෙන් ‘ඉස්ලාමීය දඬුවම් නීති’ යන මාතෘකාව ඔස්සේ බුහාරී හදිස් ග්‍රන්ථයේ සදහන් නබිවදන් සියල්ල කියවන්නේ නම් මේ පිලිබදව තරමක ගැඹූරු අවබෝධයක් ඔබට ලබාගත හැකි වනු ඇත.  මේ ලිපිය තුලින් මේ විෂය පිලිබදව උනන්දුවක් දක්වන පිරිසට කිසියම් ඉඟියක් ලබාදීමට හෝ හැකි වුවා යන්න මාගේ විශ්වාස යයි. එසේ නම් පාට කණ්නඩි තුලින් හෝ පූර්ව නිගමනවල හිඳ ඉස්ලාමීය දඬුවම් නීති පිලිබදව තවදුරටත් කථා නොකොට අවබෝධයෙන් කථා කිරීමට ශක්තිය ලැබේවා ! මනස විවෘත වේවා! යනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා කරමින් මෙම ලිපියට විරාමය තබමි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 15 යි.

  1. ibnujemeel 2013-01-17 at 12:39

    @ subodha
    සුබෝදාගේ කාරුණික අවධානයට!

    ඔබ ෂරීආ නීතිය බලන්නේ කලු කන්නාඩියක් දමාගෙනය. අබූ අර්ශද්ගේ විග්‍රහය විවෘත මනසකින් නැවත වරක් කියවන මෙන් ඔබගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ කියවීමෙන් පසු ලොව ඇති අනිකුත් දඬුවම් ක්‍රම සමග ෂරීයා නීතිය හොඳින් සසඳා බලා නිගමනයකට පැමිණෙන මෙන් ද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
    උදාහරණයක් ලෙස ඔබගේ පියාව යමෙක් ඔබගේ දෑස් ඉදිරිපිටම ගෙල කපා මරා දැමුවා යැයි සිතමු. අප රටේ දැනට ක්‍රියාත්මක නීතියට අනුව ඝාතකයාව පොලිසිය විසින් අල්ලා අධිකරණය හමුවට ඉදිරිපත් කළ පසු මාස හතරක් වැනි කෙටි කාලයක දී ඔහු ඇප මත මුදාහරිනු ලැබේ. ඉන් පසු අවුරුදු ගනනාවකට නඩුව ද දිග් ගසනු ඇත. මෙවැනි අවස්ථාවක ඝාතකයා ඔබ ඉදිරයට පැමිණෙන විට ඔබගේ හැඟීම මදකට උපකල්පනය කර බලන්න.
    නඩුව අවසන් වී අධිකරණය ඔහු වැරදිකරු බව තීරණය කළා යැයි සිතන්න. එවිට ඔහුට ලැබෙන උපරිම දඩුවම වන්නේ අවුරුදු 20ක සිර දඩුවමයි. ඝාතකයා අවුරුදු විස්සක්වත් හිරගත වන්නේ නැත. නිදහස් දින වැනි විශේෂ දිනයන්ට ඔහුගේ කාලය අඩුකරනු ලැබේ. අවසානයේදී ඔහු අවුදු 7ක් 8ක් වැනි කාලයක දී හිරෙන් නිදහස් වෙන අතර ඔහුට දෙවැන ඝාතනයට මෙය දිරි දීමකි. මෙහිදී සැලකිල්ලට ගත යුතු තවත් කරුණක් නම්, ඔබගේ පියාව ඝාතනය කළ එම ඝාතකයාට දිය යුතු දඬුවම කුමක් දැයි ඔබගෙන් විමසූ විට “ මම සල්ලි දෙන්නම්, මාගේ සල්ලිවලට ඔහුට අවුරුදු විස්සක් තුන්වේලට කෑම සහ අනිකුත් අවශ්‍යතා ඉටුකර දෙන්න ” කියා ඔබ පවසනවා ද? හිරදඬුවම යනු ඔබගේ මුදල්වලින් ඔහුව යැපීමට සැලැස්වීමකි.
    ගෙල කපනවා ඔබට සිරුර හිරි වැටෙන්නේ නැතිව බලා සිටිය හැකි දැයි ප්‍රශ්ණ කර ඔබට ඔබගේ පියාගේ ගෙල එම ඝාතකයා විසින් කපන විටත් හා එම සිද්ධිය ඔබගේ මතකයට එනවිටත් ඔබගේ හැඟීම කෙබඳු දැයි සිතා බලන්න. ඉස්ලාමීය නීතිය පදනම් වී ඇත්තේ අගතියට පත් වූ තැනත්තාට සාධාරණය ඉටුකිරීම පිණිස ය.
    සමාව දීමේ බලය අගතියට පත් පාර්ශවයට පැවරීම වරදක් ලෙස දකින ඔබ එය වැරදි යැයි පැවසීමට බොළඳ තරකයක් ද ඉදිරිපත් කර ඇති. එනම් සියලු දෙනා සමාව දුන්නොත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වනවා යන්නයි. ඝාතකයෙකුට අගතියට පත් පාර්ශවය විසින්ම සමාව දුන් විට ඔහුගේ මනස පිවිතුරු වී ඔහු තුලින්ම යහපත් පුද්ගලයෙක් බිහි වීමට මෙය කදිම අවස්ථාවකි. මක්නිසාද යත් ඔහු කල්පනා කරන්නට පටන්ගනී. මම මොහුගේ පියාව ඝාතනය කර, අධිකරණයේ වැරදි කරු වී මාහටද මරණ දඬුවම හිමිවී මාගේ ජීවිතයේ ඉරණම මොහුගේ අතෙහි රැඳුනු විටත්, මොහු මාහට සමාව පිරිනමා ඇත. මින්පසු මෙවැනි වැරදි ක්‍රියාවලින් මා ද ඈත් වී මොහු මෙන් යහපත් පුරවැසියක් ලෙස ජීවත් විය යුයැයි අධිෂ්ටානය කරගෙන යහපත් පුරවැසියෙක් වීමට මීට වඩා හොඳ වෙනත් මගක් නොමැත.
    මෙතැනදී ලොව දරුණුම ත්‍රස්තවාදියා වන වේලුපිල්ලේ ප්‍රභාකරන් ගැන සිතා බැලීම වටී .ජීවිත ලක්ෂ ගණනකට වගකිවයුතු ඔහු යම් හෙයකින් පනපිටින්ම අත්අඩංගුවට පත්වී නීතියේ රැහැනට හසු වුනා යැයි සිතමු. ඔහු විසින් සිදුකර ඇති ත්‍රස්ත පහාර සියල්ල සිහි කරනවා නම් අඩුම තරමින් පිටු දස ලක්ෂයක්වත් ටයිප් කිරීමට සිදුවනවා නො අනුමානය. එතරම්ම මිලේච්ච ප්‍රහාර රැසක් ඔහු විසින් සිදුකර තිබීම ඊට හේතුවයි. එය මා කියා ඔබ දැනගැනීමට අවශ්‍ය නැත. ඔහුගේ එම ත්‍රස්ත ප්‍රහාර අතුරින් මාව දැඩි‍ ලෙස කම්පනයට පත් කළේ ඔහු 2006/06/15 දින කැපැටිගොල්ලේව මගී බස් රථයට එල්ල කළ, ජීවිත 65 බිලිගත් ප්‍රහාර යයි. මිය ගිය අයගෙන් බොහෝ දෙනෙක් පාසල් දුවා දරුවන් හා තම ගමේ සිට‍ යාබද ගමේ වෛද්‍ය සායනයට යන ගැබිණි මාතාවන් වූහ.
    මෙම කැපැටිගොල්ලේව සිද්ධියට ඔහු වැරදි කරු වූ බවට උපකල්පනය කරමු. ඔබ පවසන විදියට ඔහුට දිය යුතු දඬුවම හිරගෙදර යවා ඔහු තුලින්ම යහපත් පුරවැසියෙක් බිහි කිරීමයි. ලංකාවේ දැනට ක්‍රියාත්ම නීතියට අනුව ඔහුට සමාව දී මන්ත්‍රී කමක්, ඇමැති කමක් පිරිනැමීමටත් ජනාධිපති තුමාට බලය ඇත. ස්ත්‍රී දූෂණ නඩු 42ක විත්තිකරුවෙකු අවුරුදු 15වක බාල වයස් කාර දැරියක දූෂණය කිරීමේ වරදට අධිකරණයෙන් වැරදි කරු වූ විට එවකට අප රටේ සිටී ජනාධිපතිවරයා ඔහුට ජනාධිපත් සමාව පිරිනමා, සාමදාන විනිශ්චකාර පදවියක් පිරිනැමූ එක් අවස්ථාවක් ද අප රටේ ඉතිහාසයට ඇතුලත් ය.
    ඉස්ලාමීය ෂරීආ නීතියට අනුව ඔහු (ප්‍රභාකරන්)ට දඩුවම ද, සමාව ද යන්න තීරණය කිරීමේ බලය තිබෙන්නේ එදා සිට අද දක්වාම තම දුවාදරවන් ගැන සිතමින් විලාප නගන දෙමාපියන් ‍ගේ අතේය. තම ගර්බණි බිරිය ගැන කඳුලු සලන ස්වාමී පුරුෂයන් අතේය. මීටත් වඩා අගතියට පත් පාර්ශවයන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටුකල හැකි තවත් නීතියක් තිබේන්නට පුඵුවන් ද?
    “ඔවැනි මරණ දඬුවමක් දීමට තවත් මිනිසෙකු සුදුසු වන්නේ නැත. මන්ද යත් ඒ මිනිසා ද වැරදි කරන නිසාය. එසේ නම් දෙවියන් කල යුතුව තිබුනේ ෂරියා නීතිය පනවා එය ක්‍රියාත්මක කිරීමට ශුද්ධවන්තයෙකු පත් කිරීම හෝ ඔහුම පැමිණීමය. එසේ කර නැති නිසා ෂරිය නීතිය ගැන කීමට ඇත්තේ එකිනෙකා මරා ගන්න බලු රැලක් ඇති කිරීමට හේතු වූ නීතියක් ලෙස ය” ‍මෙය ඔබගේ තවත් චෝදනාවකි. මෙම චෝදනාවද සිහි බුද්ධියෙන් සිටින කෙනෙක් කරන චෝදනාවක් නොවේ. එකෙනෙකා මරාගන්නා බලු රැලක් ඇති කරීමට හේතුවන නීති ඇත්තේ මරණ දන්ඩනය ක්‍රියක්මක නොවන රටවලය. කෙනෙකු තවත් කෙනෙකුගේ පියාව ඔහුගේ දෑස් ඉදිරිපිටම මරා දැමුවා යැයි සිතමු. ෂරීආ නීතිය ක්‍රියක්මක වූවා නම් අදාල ඝාතකයාටද මරණ දඩුවම ලබා දී මරාගැනීම නැමැති පරිච්චේදයම එතනින් ඉවර කළ හැකිය.
    නමුත් මරණ දඬුවම ක්‍රියාත්මක නොවන රටක නම් අගතියට ලක් වූ තැනත්තා ඔහු‍ගේ සිත් වේදනාවට නීතිය ඉදිරියේදී සාධාරණත්වය ඉටුනොවන නිසා නීතියේ සරණ නොපතාම නීතිය තම අතට ගෙන ඝාතකයාව ඔහුම ඝාතනය කිරීමට ඉදිරිපත් වනු ඇත. නොඑසේ නම් පාතාල ලෝකයේ වැනි කොන්ත්‍රාත් පදනම මත මිනී මරන මිනමරුවන්ගේ සහාය ලබාගැනීමට ඉදිරිපත් වෙයි. මෙසේ තම පියාගේ ඝාතකයාව පුතා මරාදැමීමෙන් පසු ඔහුගේ නෑයන් මෙම පුතාව ඝාතනය කිරීමට සැරසෙති. මේ ආකාරයට එකිනෙකා මරාගෙන බලු රැලක් ඇති වීමට හේතුව මරණ දන්ඩනය ක්‍රියාත්මක නොවීමයි. අද ලොව දක්නට ලැබෙන ප්‍රායෝගික තත්වය නම් ෂරිආ නීතිය ක්‍රියාත්මක වන රටවල ලංකාව මෙන් පාතාල ලෝක හෝ කොන්තරාත් පදනමට මිනීමරන මිනීමරවන් නොමැති වීමයි. ලංකාව සමග සංසන්දනය කර බැලූ විට එවැනි රටවල මිනීමැරීම් සිදුවන්නේ ඉතාම අල්ප වශයෙනි.
    “තලේබාන් , ජිහාඩ් වැනි සංවිධාන අනේකවිධ මිනිස් ඝාතන කරන්නෙත් ඉන් පසුව යහතින් වැජබේන්නේත් ඔබේ ඔය දෙවියන් ඔවුන්ට දඬුවම් දීමට මලි වන නිසාද” යන්න ඔබගේ තවත් ප්රනශ්ණයකි. මෙම ප්රබශ්ණය ඔබ නගන්ගේ මිනිස් ජීවිතයකට ඉස්ලාම් දහම දී ඇති අමිල වටිනාකම ඔබ නොදන්නා නිසා ය. අල් කුර්ආනයේ 5 වන පරිච්චේදයේ 32 වාක්යී ඔබ කියවන්නේ නම් මෙම ප්රසශ්ණයට උත්තරයත් ඔබට ලැබෙනු නිසැකය. එම වාක්යචයෙනහි සඳහන් වන්නේ මිනීමැරමකට දඬුවමක් වශයෙන් හැර කෙනකේ මිනිස් ජීවතයක් මරණයට පත් කරන්නේ නම් එය මුලු මිනිස් සංහතියම සමුලු ඝාතනය කළාට සමානයි කියාය. මිනීමැරුම ඉස්ලාම් දහමට අනුව දරණුම පාපයන්ගෙන් එකකි. මිනීමරුවාට මෙතරම් දරුණු දඬුවමක් නියම කර තිබෙන්නේත් එනිසාය.
    ජිහාඩ් යනු කුමක් ද ? ඉහත ඔබ සඳහන් කරන සංවිධාන ඉස්ලාමීය සංවිධාන ද යන වග යහමග වෙබ් අඩවිය මීට කලින් කිහිපවිටකම සකච්චා කර ඇත. එම ලිපි පෙළ කියවීමෙන් ඔබට එය පහසුවෙන්ම වටහාගත හකිය. මෙම ලිපිය දීර්ඝ වන නිසා ඒ ගැන තවදුරටත් කථා කිරීමට අදහස් නොකරමි. කෙටියෙන්ම කීමට ඇත්තේ මීනීමැරුමක් සිදුකරන නොඑසේනම් මිනීමැරමකට වක්රාරකාරයෙන් හෝ සම්බන්ධ වන කිසිවෙක් මුස්ලිම් නොවන බවයි.

  2. අබු ඉහ්සාන් 2013-01-16 at 16:44

    රිසානා නෆීක්ගේ අවසාන මොහොතේ විස්තරයක් පහත අඩවියේ දුටුවෙමි. අවසාන මොහොතේත් ඇයව බේරා දෙන මෙන් ඉල්ලීමත් ඉතුරු කරගත් රියාල් 500 සදකා දෙන දෙසත් පවසා ඇති බවත් ඇසීම දෑසට කඳුළු උනවයි.

    http://www.islamkalvi.com/portal/?p=7858

    රිසානා නෆීක්ට උසස්ම ස්වර්ගය ලබා දෙත්වා. ඇය සම්බන්දයෙන් සත්‍යය ජනතාවට ගෙන යාමට උත්සාහ ගත් සියලු දෙනාට අල්ලාහ් රහ්මත් කරත්වා!

  3. ITN 2013-01-16 at 07:31

    ඊයේ (10) රාත්‍රී 9:30 ITN පුවත් විකාශනයේ ඉන්දුනීසියානු කාන්තවක් ඝාතනය කිරීම රිසානා නෆීක්ගේ ගෙල කපා දමන වීඩියෝවක් ලෙස අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ප‍්‍රකාශ කොට ගෙල කපන අවස්ථාවෙ දර්ශනය ද රටටම පෙන්වුයේය.නමුත් එය ඉන්දුනීසියානු කාන්තාවක් සම්බන්ධ වීඩියෝවකි. ඔවුන්ට දශමයක හෝ දැනුමක් තිබුනේනම් අඩුම තරමෙ අදාල වීඩියෝව Upload කල දිනය බලන්නට තිබුණි.

    ITN NEWS telecast Fake Video of RIZANA

    • අබූ අර්ශද් 2013-01-16 at 14:42

      මෙවැනි ප්‍රවෘත්ති අනාවර්ණය කිරීමට අප රටේ මාධ්‍යයන් හරි උනන්දුයි. ඒ නිසා එවැනි දෑ පිලිබදව සොයා බැලීමට ඔවුනට කාලයක් නැත.

  4. ibnujemeel 2013-01-16 at 07:22

    මනුෂ්යල ඝාතන, ස්ත්රීු දූෂණ, ළමා අපචාර වැන අපරාධ අවම කිරීමට ඇති එකම මග මරණ දණ්ඩනය ක්රි්යාත්මක කිරීමයි. ඉස්ලාමීය නීති ක්ර මයේ ඇති තවත් සුවිශේෂත්වයක් නම් සමාව දීමේ අයිතිය ද රවේ නායකයාට , පාර්මේන්තුවට අධිකරනයට හෝ වෙනත් ආයතනයකට හෝ කෙනෙකුට නොපවරා අපරාධයට ලක්වූ තැනත්තාටම ( ඔහු මළා නම් ඔහුගේ ලඟම ඥාතියාට ) පවරා‍ තිබීමය. මෙවැනි අපරාධයට ලක් වූ තැනත්තාට 100% ක් ම සාධාරනය ඉටුවන නීතිය ඉස්ලාමීය දණ්ඩ නීතිය වේ. මෙය විචාර බුද්ධියක් ඇති කිසිවෙකුටවත් විවේචනයට ලක් කිරීමට හෝ දෝෂ දර්ශනයට ලක් කිරීමට ඉටකඩ ඇති නීතියක් නොවේ.
    දඩුවම සේම නඩුව විභාගයද ෂරීයා නීතිය තුල ඉතාම පැහැදිලිය. වරදක් ඔප්පු කිරීමට එක්කො වරදි කරු තම වරද පිළිගත යුතුය. නැත්නම් ඇසින් දුටූ සාක්ෂි තිබිය යුතුය. ඇසින් දුටූ සා‍ක්ෂි නොමැතිව කිසිවෙකුටවත් දඩුවම් කළ නොහැකිය.
    රිසානා නෆීක් ගේ දඩුවම සලකා බැලීමේදී පැනනගින ප්රිශ්ණය නම් මනුෂ්යත ඝාතනයට මරණ දඬුවම යන නීතිය එහිදී ක්රි යාත් වුවත්, නඩු විභාගය කොතරම් දුරට ෂරීයා‍ නීතියට අනුකූලව පැවැතුනාද යන්න යි. ඇය එම බිළින්දාව මැරීම කිසිවෙක් දැක නැත. එම නඩු විභාගයේ දී ඇයගේ කට උත්තරය නිවැරදිව අධිකරණයට ඉදිරිපත් කිරීමට දෙමළ – අරාබි භාෂා පරිවර්ථකයෙක් ලබා නොදීම බරපතල වරදකි. අදාල නඩුවේ භාෂා පරිවර්ථකයා මලයාලි කාරයෙකි. දෙමළ හා මලයාලි යනු භාෂා දෙකකි. ඇය තම මවට ලියා තිබූ ලිපියෙහි පවසා ඇතිතේ එරට පොලීසිය බලහත්කාරයෙන් වරද පිළිගත් බවට ලියන ලද ලිපියකට අත්සන් ගත් බවයි. මේ අනුව පැහැදිලිවන්නේ මෙම නඩුව විනිවිදභාවයෙන් යුතු නඩුවිභාගයක් නොවන බවයි. ඉස්ලාමීය දඬුවමක් ලබාදීමට ඉස්ලාම් විරෝදී නඩුවිභාගයක් පැවැත්වීම කණගාටුවට කරුණකි.
    ඉස්ලාමීය දණ්ඩ නීතිය ගැන මෙසේ ජනතාව දැනුවත් කර ඇති යහමගට ස්තුති. රිසානා නෆීක්ගේ ප්රලශ්ණයෙහි ඇත්තේ පණට පණ යන නීතිය ගැන ප්රනශ්ණයක් නොව නඩු විභාගය ගැන ප්රගශ්ණයකි. ඉස්ලාමීය දණ්ඩ නීතිය ගැන මෙසේ බුද්ධිමත් සංවාදයක යෙදී අති යහමග ඉස්ලාමීය නඩු විභාගයක් කෙසේ විය යුතුද? නඩු විභාගයක දී සාක්ෂිය සඳහා ඇති නීති මාලාවන් කුමක් ද? චූදිතයාට තමාගේ සාධාරණත්ව අධිකරණය ඉදිරියේ ප්ර කාශ කිරීමට ඇති ඉඩප්රදස්ථාව කෙසේ ද? සවුදි අරාබිය ඇතුලු අරාබි රටවල දැනට ක්රිටයාත්මක අධිකරණ පද්ධතිය ඉස්ලාමීය අධිකරණ ක්රරමයත් සමග කොතරම් දුරට එකඟද? යන කරුණු පදනම් කරගෙන ඉස්ලාමීය අධිකරණය හා නඩු විභාගය ගැනද ජනතාව දැනුවත් කරන්නේ නම් මැනවි.

  5. හෙළයා 2013-01-16 at 03:40

    රිසානාගේ වයස අවුරුදු 18 ට අඩු බව සවුදියට පවසන්න ඇයි ඔබලා ඉදිරිපත් නොවුනේ පාවාදුන්නේ ඔබලාම නේ…

    • අබූ අර්ශද් 2013-01-16 at 14:39

      මෙය සම්පූර්ණයෙන් වැරදි ප්‍රකාශයකි. ඇයි වයස අවුරුදු 18 අඩු (වයස අවුරුදු 17 මාස 11 දවස් 30 ක්)බව උපකල්පනය කලත් එවිට ඇයගේ අතින් ඉහත වරද (2005 අවුරුද්දේ) සිදුවන විට ඇයගේ වයස අවුරුදු 11 යි. මේ අනුව ඇය දඬුවම් ලබන විට වයස අවුරුදු 18 අඩු ‍‍කෙනෙක් යන්න වැරදි ප්‍රචාරයකි.
      මෙහිදී තව ‍කාරණයක්ද ශ්‍රී ලාංකීය සමාජයේ අවධානයට ගෙන ආයුතුව ඇත. එනම් ඇයගේ උපැන්නයේ වයස වෙනස් කොට ජාතික හැදුනුම්පත් හා පාස්පෝට් සකස් කලේ කොහොමද? යන්නයි. මේවා පිලිබදව සිතා බැලිය යුතුය. එසේම මෙලෙස බොරු තොරතුරු ඇතුලත් කොට විදේශගතව සේවය කල එකම දැරිය රිසානා සහෝදරිය පමණක් ද යන්නත් දැන්වත් සොයා බැලිය යුතුය.

  6. subodha 2013-01-16 at 02:33

    ඔබ සියල්ල පවසන්නේ යම් ග්‍රන්තයක තිබෙන දේවල් මිස ඔබේ බුද්ධියෙන් තීරණය කල දේවල් නොවේ.ඔබේ ඔය කුරිරු ම්ලේච්ච දඬුවම් සාර්ථක නම් ලොව දරුණුතම ත්‍රස්තවාදීන් මුස්ලිමුන් අතරින් බිහි වන්නේ නැත. තලේබාන් , ජිහාඩ් වැනි සංවිධාන අනේකවිධ මිනිස් ඝාතන කරන්නෙත් ඉන් පසුව යහතින් වැජබේන්නේත් ඔබේ ඔය දෙවියන් ඔවුන්ට දඬුවම් දීමට මලි වන නිසාද. අනික් කාරණය නම්, ඔවැනි මරණ දඬුවමක් දීමට තවත් මිනිසෙකු සුදුසු වන්නේ නැත. මන්ද යත් ඒ මිනිසා ද වැරදි කරන නිසාය. එසේ නම් දෙවියන් කල යුතුව තිබුනේ ෂරියා නීතිය පනවා එය ක්‍රියාත්මක කිරීමට ශුද්ධවන්තයෙකු පත් කිරීම හෝ ඔහුම පැමිණීමය. එසේ කර නැති නිසා ෂරිය නීතිය ගැන කීමට ඇත්තේ එකිනෙකා මරා ගන්න බලු රැලක් ඇති කිරීමට හේතු වූ නීතියක් ලෙස ය. මතක තබා ගන්න. මිනිසාගේ මනස පිවිතුරු කර ඔහු තුලින්ම යහපත් පුද්ගලයෙකු බිහි කිරීම මිස ඔවැනි කුරිරු දඬුවම් කිසිසීත්ම සාර්ථක ඒවා නොවේ, රිසානා ගේ මව විසින් කල යුතුව තිබුනේ දඬුවම නියම වූ වහාම එය අල්ලාහ්ගේ කැමැත්ත යි පවසා දියණිය මරණයට පත් කරන ලෙස ඉල්ලා සිටීමය. නමුත් එසේ නොකර දියණිය බෙර දෙන ලෙස කන්නලව් කලේ රටේ ජනාධිපතිතුමාගේ පටන් සියලු දෙනාටම ය.

    අනිකුත් බරපතලම කාරණය නම් මරණ දඬුවම නැවැත්විය හැක්කේ දරුවාගේ දෙමාපියන්ට පමණක් බව කියා සිටීමය. ෂරිය නීතියේ දුර්වලත්වය එයයි .එය දෙවියන් විසින් පැනවූ එකක් නම් ක්‍රියාත්මක කිරීමට හෝ නොකිරීමට බලය අගතියට පත් වූ පාර්ශවයට පවරන්නේ නැත.මන්ද යත් ඔබ ඔය කියන ලෙස සියලු දෙනා සමාව දීමට පටන් ගතහොත් මරණ දඬුවමක් දිය හැකි වන්නේ නැත.ජීවිතයක් නැති කිරීමට දඬුවම මරණය නම් එය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කිරීම මිස සමාව දීමට අවස්ථාවක් දිය යුතු නැත. ඔබේ හදවතට එකඟව සිතා බලන්න .ඔබ වඩා කැමති සමාව දීමටද ලේ වන්දිය ගැනීමටද? කෙනෙකුගේ ගෙල කපනවා ඔබට සිරුර හිරි වැටෙන්නේ නැතිව බලා සිටිය හැකි ද.? වැඩි දෙනෙකුට නොහැක. එසේ බලා සිටිය හැකි, හදවතක් නැත්තවුන් පමණක් ලේ වන්දිය ඉල්ලති . ඔබ ගරු කරන්නේ ලේ වන්දිය ඉල්ලු කෙනාටද සමාව දුන් කෙනාටද? සමාව දීම උතුම් යි අල්ලාහ් ම පවසා තිබෙනවා නේද? එසේ නම් ෂරියා නීතියේ අඩුපාඩුව නම් , කුරිරු හදවතක් ඇත්තන්ට තවකෙකුට මරණ දඬුවම දෙනු බලා සතුටු වීමට නොවේ ද?

  7. mohamed 2013-01-14 at 21:00

    ඔබගේ තර්කය එය නම් ඔබ කල යුතුව තිබුනේ මේ ආකාරයටය.

    ‘රිසානා රෆීක් සහෝදරියට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සදහා ඇය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනා නිවරුදි ද? සැබෑවටම ඇය වරදකාරිය ද? එම දඬුවම ක්‍රියාත්මක කල ආකාරය සාධාර්ණ ද? වැනි කාරණා සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයට වාද විවාද පැවතිය හැක. මා ‍එසේ පවසන්නට හේතුව අප රටේ සමහරක් මාධ්‍යයන් අද ඉහත සිද්ධිය වාර්ථා කිරීමේ දී එම නඩු තීන්දුව නිවරුදි නොවන බවත්, ඇය නිර්දෝෂි බවත් ප්‍රකාශ කරමින් කරුණූ ඉදිරිපත් කර තිබීමය. නමුත් ඇය සැබෑවටම වරදකාරියක් නම්………..’ යැයි පවසා,

    ‘රිසානා සහෝදරිය අතින් වරදක් සැබෑවින්ම සිදු වී නැත්නම් සෞදි අරාබියාවේ දඬුවම අපි හෙලා දකින අතර එය හා ඉස්ලාමය සමග කිසිඳු සම්බන්ධයක් හෝ නැත……..’ කියා අඩු තරමින් වාක්‍ය කිහිපයක් හෝ ලියා තැබීමයි. එවැනි වදනක් ඔබගේ ලිපිය තුල අන්තර්ගතද? ඔබට පෙන්වා දිය හැකිද? සහෝ. ඔබ සෞදි අරබියාව නියෝජනය නොකරන්නේ යැයි අපට පවසන්නේ මෙවන් සන්දර්භයක් තුල සිටය. මෙය අපි විශ්වාස කලයුත්තේ කෙසේද? ඔබගේ සමබරතාවය සම්පූර්ණයෙන්ම ගිලී ගොස් ඇත.

    • අබූ අර්ශද් 2013-01-15 at 12:19

      ඔබ කිසියම් මතවාදයක හිඳ එම මතවාදය මෙම අඩවිය තුලින් මතු කිරීමට අපේක්ෂා කිරීම නිවරුදි නොවේ. ඔබේ අදහස් කරන කාරණය මේ තුලින් මතු නොවීම නිසා මෙහි සමබරතාවය ගිලිහී ඇති බව පැවසීම ඔබේ සමබරතාවය පිලිබදව ගැටළු මතු කරන්නකි. එසේ වුවද ඔබ ඉහතින් සදහන් ආකාරයට මාගේ ලිපිය නිවරුදි වියයුතු යයි පවසන්නේ නම් ඒ පිලිබදව මට විරුද්ධ මතයක් නැත. මන්ද මා ඉහත ලිපිය තුලින් මතු කරන කාරණයට එම විග්‍රහයෙන් හානියක් නොවන නිසා. එනම් මා මෙහි දී අවදාරණය කරන්නේ ඉස්ලාම් දහමේ ස්ථාවරය මිස සවුදි රජයේ ක්‍රියා පටිපාටිය හෝ අප රටේ මුස්ලීම් ප්‍රජාවගේ ක්‍රියා පටිපාටිය නොවන නිසාය.
      අවසාන වශයෙන් නැවතත් මා පවසන්නේ ‘ඇයගේ නඩු තීන්දුව නිවරුදි නම්, එතැනින් එහාට සිදුවූ සියල්ල ඉස්ලාම් දහමට අනුකූලය’ යන්න පමණී. අනිත් කාරණය මෙම නඩුවේ නිවරුදි තොරතුරු දන්නේ අල්ලාහ් (දෙවි) හා මෙම නඩුවට සම්බන්ධ වූ පාරශවයන් පමණි. එම නිසා ඔබ අපේක්ෂා කරන ආකාරයට මෙම නඩුව පිලිබදව විවේචනයන්ට මැදි වීමට යහමඟ අදහස් නොකරමි. එසේම එය මාගේ විෂය පථයට අදාල ද නොවේ.

  8. Allah & Akbar (pvt) ltd 2013-01-14 at 17:34

    හොරුන් ත්‍රස්තවාදින් මිනිසුන් මාර සඟවනාසේ සවුදී රජයද, දීරිය දියණියක් වූ රිසානා අමානුෂික ලෙස ඝාතනය කොට දැන් ලොවෙන් සඟවා අවසානය.

    ඔවුන්ගේ ශිෂ්ඨත්වය කොතෙක්දයත් අවම වශයෙන් ඇගේ සිරුර ඇගේ මවුපියන් වෙත ලබාදීමටවත් කටයුතු නොකරන ලදී.

    කුමන ජාත්‍යන්තර සම්මුතීන්ට අත්සන්කර සිටියද ඇය ඝාතනය කිරීම පෙර අවම වශයෙන් ඇගේ වෛද්‍යවරයා වන කිෆයා මහත්මියවත් දැනුවත් කර නොමැති අතර භුමදානය කිරීමට පෙර මරණ පරීක්ෂණයවත් පවත්වා නොමැත.

    එහෙත් මේවා සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ උපදේශන කමිටු නැත. සම්බාධකද නැත. මක්නිසාදයත් සවුදි රජු යනු හුදෙක් ඇමරිකාව කුඩු කොට ඇතිකරණ වෘකයකු වන බැවිනි.
    ..

  9. අබු ඉහ්සාන් 2013-01-14 at 16:28

    නඩුව අවුරුදු 5 ක් ගිය බව සත්‍යයකි. 2005 සිදු සිදුවීමට 2007 තීන්දුව දෙන මුත්, 2010 දක්වා ඇපෑල විභාග විය.

    • අබූ අර්ශද් 2013-01-15 at 12:04

      අල්හම්දුලිල්ලාහ්, ඔබේ සහයෝගයට බොහෝමත්ම ස්තූති,

  10. mohamed 2013-01-14 at 10:37

    …..ඇයගේ අතින් සිදුවූ එම ඝාතනය සම්බන්ධ නඩුව වසර 05 ක් මුළුල්ලේ විනිශ්චය මණ්ඩලයක් ඉදිරි පිට විභාග වුණි…..,

    මෙය වැරදිය. සිද්ධිය ඇතිවන්නේ මැයි මස 22, 2005 දීය. ඇයට මරණ දඬුවම හිමිවන්නේ ජුනි මස 16, 2007 දීය. නඩු විභාගය වසර 2යි මාසයක් පමණි.

    ….නඩු විභාගයේ දී ඉදිරිපත් වූ සාක්ෂි අනුව ඇය වරදකාරිය ලෙස ඔප්පු වුණි….

    වරද ඔප්පුවුනා යැයි කියන්නේ සෞදිය හා ඔබ පමණි. ඇය පසුව කරන ලද පාපොච්චාරණය සැලකිල්ලට ගෙන නැත. මේ සම්බන්ධව ජාත්‍යන්තර සංවිධානයන් නොයෙකුත් ප්‍රබල සාක්ෂීන් ඉදිරිපත් කලද මේවන තාක් සෞදි රජය නිසි ප්‍රතිචාර දක්වා නැත.

    • අබූ අර්ශද් 2013-01-14 at 15:58

      මා හට ලැබුණු තොරතුරු පදනම් කරගෙන ඉහත කරුණූ ඉදිරිපත් කල අතර, ඔබේ නිවරුදි කිරීම පිලිබදව ද ස්තූති වන්ත වෙමි. (ඔබ මේ තොරතුරු ලබාගත් Link එක යහමඟ ට ලබාදෙන්නේ නම් එය මහත් උපකාරයක් වනු ඇත) එතෙක් ඉහත තොරතුර තවදුරටත් තහවුරු කරගැනීමට අවශ්‍ය නිසා එය වෙනස් නොකොට ඔබේ අදහස් දැක්වීම අනුමත කරමි.
      දෙවන කාරණය රිසානා සහෝදරිය ‘….නඩු විභාගයේ දී ඉදිරිපත් වූ සාක්ෂි අනුව ඇය වරදකාරිය ලෙස ඔප්පු වුණි…..’ යනුවෙන් මා අදහස් කලේ නඩුව සාධාර්ණ ලෙස විභාග කොට සාක්ෂි සහිතව ඔප්පු වුනා යන්න නොවේ. එසේ වුවා යනුවෙන් ඔවුන් ඉදිරිපත් කරන කාරණ යයි. මෙතැන දී ඔබත් මාත් අප සියළුදෙනා පිලිගන්නා සත්‍යයක් ඇත. එනම් නිවරුදි තොරතුරු අනාවර්ණය කර ගැනීම දුෂ්කර කාර්‍යයක් වී ඇත යන්නයි. එයට ඉහත නිවරුදි කිරීම ද හොද නිදසුනක්. එවන් තත්වයක රිසානා සහෝදරියගේ නඩු තීන්දුව නිවරුදි යයි පැවසීම කිසිසේත් වලංගු තර්කයක් නොවේ. මා ඉහත ලිපිය තුලින් හා මීට ඉහත ලිපිය තුලින් කථා කරන්නේ එය නිවරුදි නම් එතැනින් එහාට සිදුවූ සියල්ල නිවරුදි යන පදනමේ හිදය. මෙම කාරණය මා මීට පෙර ලිපියේ ද
      …රිසානා රෆීක් සහෝදරියට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සදහා ඇය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනා නිවරුදි ද? සැබෑවටම ඇය වරදකාරිය ද? එම දඬුවම ක්‍රියාත්මක කල ආකාරය සාධාර්ණ ද? වැනි කාරණා සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයට වාද විවාද පැවතිය හැක. මා ‍එසේ පවසන්නට හේතුව අප රටේ සමහරක් මාධ්‍යයන් අද ඉහත සිද්ධිය වාර්ථා කිරීමේ දී එම නඩු තීන්දුව නිවරුදි නොවන බවත්, ඇය නිර්දෝෂි බවත් ප්‍රකාශ කරමින් කරුණූ ඉදිරිපත් කර තිබීමය. නමුත් ඇය සැබෑවටම වරදකාරියක් නම්…
      යනුවෙන් පැවසූ කාරණය ඔබේ අවදානයට යොමු නොවීම කණගාටුවට කාරණයකි. දැන් හෝ ඔබ යහමඟ ස්ථාවරය අවබෝධ කරගනු ඇතැයි සිතමි. අවසාන වශයෙන් ඔබට පවසන්නට ඇත්තේ ඔබ වැනි පිරිස් යහමඟට ශක්තියක් යන්නයි.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *