ජාතිවාදී ව්‍යාපාර හා ශ්‍රී ලාංකීය බුද්ධිමත් ජනතාව

2

මෑතක පටන් අප රට තුල ජාතීන් අතර සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන අවාසනාවන්ත තත්වයක් පිලිබදව ‘යහමඟ’ අනාවැකි පවසන්නට පටන් ගත්තේ අද ඊයේ පටන් නොවේ. මීට වසර කිහිපයකට පෙර ‘යහමඟ’ නම් මෙම අඩවිය ආරම්භ කොට ඒ තුලින් ජාතියේ අවදානයට ප්‍රධාන වශයෙන් ගෙන ආවේ ඉහතින් සදහන් අවාසනාවන්ත තත්වයයි. රටේ එල්ටීටීඊ ත්‍රස්ථවාදයේ නිමාවත් සමඟ හිස ඔසවන්නට පටන්ගත් මේ ජාතිවාදය හා ජාතීන් අතර විරසකය යම්කාත් දුරකට හෝ අවම කිරීම පිණිස එදා මෙම අඩවිය ආරම්භ කරන ලදී. මේ තුලින් ජාතීන් අතර පවතින අනවබෝධය හැකිතාක් දුරකට අවම කොට ජාතීන් අතර අවබෝධයෙන් ගොඩනැඟෙන සමඟියක් නිර්මාණය කිරීම මෙම අඩවියේ ප්‍රධාන අරමුණක් විය. නමුත් මෙවැනි අඩවීන් තුලින් ගන්නා පුංචි උත්සායන්ට වඩා ක්‍රමණ්ත්‍රනකාරී පිරිසගේ ව්‍යාපාරයන් අති ප්‍රබල වූ නිසා ‘යහමඟ’ අඩවියේ අරමුණූ දිනා ගැනීම අදටත් එතරම් පහසු කටයුත්තක් නොවීය. කෙසේ වෙතත් ‘යහමඟ’ අඛණ්ඩව තම මෙහෙවර ඉදිරියට ගෙනයන බව සතුටින් ප්‍රකාශ කරමින් අද මා ඔබේ අවදානයට ගෙන එන්නේ අද අප රටේ උණුසුම් තත්වයක් නිර්මාණය කරමින් සිටින ව්‍යාපාරයක් පිලිබදවයි.

පසුගිය දිනවල අප රටේ උණුසුම් මාතෘකාවක් වී තිබෙන ‘බොදු බළ සේනා’ නම් ව්‍යාපාරය ඉස්ලාම් දහමටත්, මුස්ලීම් සමාජයටත් එල්ල කරන අභියෝගය කිසිසේත් නොසලකා හැරිය හැකි මට්ටමේ එකක් නම් නොවේ. මේ ව්‍යාපාරය හමුවේ රටේ නීතියත්, මුස්ලීම් දේශපාලඥයින් නිහඬව බලා සිටීම රටේ සුළුතරය වන අපට ඇති ඉමහත් කුතුහලයකි. මුසාව එකම පදනම කරගෙන බොරු බියක් සමාජය තුල නිර්මාණය කරමින් අමු අමුවේ ජාතීන් අතර වෛරයක් ගොඩනැ‍ෙඟෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් ජනතා රුලි සංවිධානය කිරීමන් දැක දැක මේ පාර්ශවයන් නිහඬව බලා සිටින්නේ ඇයිද? යන්න මුස්ලීම් සමාජයට පැවතී ප්‍රබල ගැටළුවකි. කෙසේ වෙතත් මේ ‘බොදු බළ සේනා’ ජාතිවාදී ව්‍යාපාරයට එරෙහිව හඩ නැඟූ  බෞද්ධ ප්‍රජාවක් ද නැතුවා නොවේ. විශේෂයෙන් ගරුතර ස්වාමින් වහන්සේලා, රටේ බුදුධිමත් ප්‍රජාවක්, දේශපාලඥයින් ද ඒ අතර නොසිටියා නොවේ. එපමණක් නොවේ රට තුල ජාතිවාදී ව්‍යාපාරයන් නිර්මාණය කිරීමට මඟ බලමින් සිටින මාධ්‍යයන් හමුවේ සාධාර්ණ ලෙස කටයුතු කල (නෙත් fm – ‘බැලුම්ගල’ වැනි) මාධ්‍යයන් ද නැතුවා නොවේ. මේ ආකාරයට සමස්ථ ශ්‍රී ලාංකීය සමාජයම ඒකීය ජාතියක් ලෙස කටයුතු කිරීමට කැමැත දක්වන පිරිසක් අප රට තුල සිටින නිසාදෝ මේ වර්ථමාන තත්වය ජනාධිපති තුමාගේ අවදානයට යොමුවීමට හේතුවක් විය. ඒ අනුව මෙම තත්වය කෙරෙහි ජනාධිපති තුමාගේ දැඩි අවදානය අද යොමු වී තිබීම රටේ සුළුතරය වන මුස්ලීම් ප්‍රජාවට සතුටට කාරණයකි.

ඊයේ දිනයේ ජනාධීපති සාකච්චාව…

ඉහත ආකාරයට ජනාධිපති තුමා මෙම ගැටළුවට මැදිහත් වීම පිලිබදව හා මෙම තත්වය පිලිබදව සාධාර්ණ වූ විනිශ්චයක් සිදු කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට නියෝග කිරීම සාමය, සමඟිය හා සාධාර්ණය අගයන සියළු ප්‍රජාවට සතුට ට කාරණයකි. විශේෂයෙන් රටේ සුළුතරය වන මුස්ලීම් සමාජයට හෙට දවස පිලිබදව බලාපොරොත්තු ඇති කරවන්නකි. එපමණක් නොව මා ඉහතින් සදහන් කලාසේ මේ රටේ ජාතීන් අතර සාමූහිකත්වය ප්‍රිය කරන මැති ඇමතිවරුන් මෙම උණුසුම් තත්වයට දැක්වූ ප්‍රතිචාර රටේ සුළුතරය වන අපට හෙට දවස ගැන බලාපොරොත්තු ඇති කරවන තවත් ප්‍රබල කාරණයක් විය. නිදසුනක් ලෙස අද (2013/01/28) ‘මව්බිම’ පුවත්පතේ රාජිත සේනාරත්න ආමාත්‍යවරයා පලකල පහත අදහස් දැකවීම ඊට සමීපතම නිදසුනක් ලෙස සදහන් කල හැක.

එසේම මා ඉහතින් සදහන් කල රටේ යහපත් සමාජ තත්වයක් නිර්මාණය කිරීම උදෙසා නෙත් FM කල ‘බැලුම්ගල’ වැඩසටහනත් මෙහි සදහන් කලයුතුම වැඩසටහනකි.

මේ ආකාරයට මුස්ලීම් නොවන ශ්‍රී ලාංකීය සහෝදර ජනතාව මුස්ලීම්වරුන්ගේ අයිතිය හා නිදහස වෙනුවෙන් හඬ නඟන විට මුස්ලීම් ජනතාවගේ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් වූ මුස්ලීම් ජනතා නියෝජිතයන් කොහිද? යන්න මුස්ලීම් සමාජයට පැවති තවත් ප්‍රබල ගැටළුවකි. කවදත් පක්ෂ දේශපාලනය පිලිබදව උදාසීන පිලිවෙතක් අනුගමනය කරන ‘යහමඟ’ කිසිදු අවස්ථාවක පක්ෂ දේශපාලනය පිලිබදව නම් කථා කරන්නේ නැත. මා එසේ පවසන්නට හේතුව මෙතැන දී ඉදිරිපත් කරන කරුණූ පක්ෂ පාට කණ්ණාඩි තුලින් නොබැලිය යුතු යන්න පාඨක ඔබට අවදාරණය කිරීම පිණිසය. කෙසේ වෙතත් අද වනවිට නිහඩව සිටී මුස්ලීම් දේශපාලඥයින් ද කිසියම් හඬක් නඟන තැනට ජනතාව තල්ලු කොට තිබීම සතුට ට කාරණයකි. නමුත් මෙහි දී විශේෂයෙන් සදහන් කලයුත් මුස්ලීම් ජනතා ‍නියෝජිතයෙකු සිටී. ඒ අසාද් සාලී (හිටපු කොළඹ නගරාධිපති) මහතාය. ‘TNL එලිච්චි’ නම් වැඩසටහන ට සහභාගි වී ‘වර්ථමාන රටේ තත්වය හා ඉස්ලාම් දහමේ ස්ථාවරය’ පිලිබදව දැක්වූ කරුණු දැක්වීම අප රටේ මුස්ලීම් දේශපාලඥයින් ට හොද පූර්වාදර්ශයකි. එහි කථා කළ කරුණූ සම්බන්ධයෙන් ‘යහමඟ’ අඩවියට 100% එකඟතාවයක් නොවුවත් එතුමාගේ ඉදිරිපත් වීම පිලිබදව ‘යහමඟ’ ට ඇත්තේ එතුමා පිලිබදව ගෞරවයකි.

අවසාන වශයෙන් නැවතත් පවසන්නට ඇත්තේ වසර 30 කුරිරු යුද්ධයක අමිහිරි මතකයන් තවම මැකී නොගොස් ඇති අප ජීවිතවලට එවන් කෲර මතකයන් යලි අවශ්‍ය නොවේ. එපමණක් නොවේ අතීතයේ පටන් සාමූහිකව අන්තර් අවබෝධයෙන් ජීවත් වූ සියළු ජාතීන් අතර ජාතිවාදී වියරුවක් කිසිසේත් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ජාතීන් අතර අවබෝධයන් හා ඒ තුල ගොඩනැඟුණූ ගෞරවයන් මූලික කරගත් සමගිය පමණි. ඒ සදහා සියළු පාර්ශවයන් තමන් නියෝජනය කරන සියළු ක්ෂේත්‍ර තුලින් මැදිහත් වීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා! යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මේ ලිපියට විරාමය තබමි.
අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. Allah & Akbar 2013-01-29 at 16:07

    නවතම කැබිනට් සංශෝදනයේ සීනි කර්මාන්තය සඳහා වෙනම අමාත්‍ය තනතුරක් ඇතිකර තිබේ. එමෙන්ම උද්භිද උද්‍යාන සඳහාද ඇමතිවරයෙක් සිටී. මේ අනුව පෙනීයන්නේ සීනි කර්මාන්තයට ඇති පිලි ගැනීම්වත් බුද්ධසාසනට ලබාදිය නොමැති බවයි. මුස්ලිම් ආගමිකයනට ඇති ගැටළු සෙවීමට කමිටු පත්කර තිබේ. දහසකුත් අසාධාරණ කම් සිදුවුවද ඒවා සෙවීමට බුද්ධ ආගමිකයනට කමිටුවක්වත් නොමැත.

    දශක ගණනාවක් පුරා මෙවන් ගැටළු ඉතා ඉවසීමෙන් බලාසිටි ජනතාව දැන් බොහෝ සෙයින් කලකිරීමට පත්ව සිටියි. ඒ හේතුවෙන් සාධාරණත්වය ළඟා කරගනු වස් ජනතාව නීතිය අතට ගෙන් විදියට බැස සිටියි. එම තත්වයට ජනතාව ඇද දැමු රජය , රට තුල බෞද්ධ අන්ත්ගමින් සිටින බවට චෝදනා කරයි. රජයක් වශයෙන් මේවා දැන්වත් නිවැරදි කරගත් යුතුව ඇත.

    මෙම තත්වයන් තවදුරුටත් පැවතිය හොත් ශ්‍රී ලංකාව ආගම් වාදී ගැටුම් සසිත මහත් අභාග්‍ය තත්වයකට පත්වනු නැවත් විය නොහැක.එවිට මෙය නිවැරදි කිරීමට ප්‍රමාද වැඩිවනු ඇත.

  2. Kasun 2013-01-29 at 08:24

    අප රාජිතගේ කෙරුවාවල් හොදින් දනී . ඔහු කොටි ත්‍රස්තවාදය යුද්දයෙන් අවසන් කල නොහෙකි යෙයි පාරම් බැ පුද්ගලයෙකි . මුස්ලිම් සහෝදරයන්ට හලාල් කෑමට අවශ්‍ය නම් එයට වෙනම ක්‍රියා පටිපාටියක් සකසා ගත යුතුයි . අනෙක් කරුණ මුස්ලිම් අය උරු මස් නොකන බෙවින් එය පාර්ලිමේන්තු බෝජනගාරයෙන් ඉවත් කරන ලදී . නමුත් ඒවා අනුබව කරන අයටත් විකල්පයක් තිබිය යුතු නොවේද ? කෝ සමානාත්මතාව ?

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *