අබූ තාලිබ් මඟ ද? යහමඟ ද?

5

පසුගිය කාලවල ‘යහමඟ’ අඩවිය තුල වැඩි වශයෙන් ආගමික නීතිරීති සම්බන්ධ ලිපි ගණනාවක් ඉදිරිපත් වීමත්, ඉදිරියේදී උදාවන රමලාන් මාසය සමඟ මුස්ලීම් සමාජය තුල ආගමිකව වැදගත් උණූසුම් මාතෘකාවන්, වාද විවාදයන් ගණනාවක් මතු වීමත් ඉලක්ක කරගෙන මුස්ලීම්වරයෙකු ‘යහමඟ’ එසේත් නැත්නම් ‘සත්‍ය මඟ’ අවබෝධකර ගතයුත්තේ කෙසේද? ඒ කුමණ රාමුවක් තුල හිඳ ද?… යනාදීය පිලිබදව මුස්ලීම්වරුන්ගේ අවධානයට ලිපියක් ලියන්නට අදහස් කලෙමි. ඒ අනුව මීට ඉහත ‘යහමඟ සොයන ඔබටයි !’ යන මාතෘකාව ඔස්සේ ‘අබූතාලිෆ්’ මුල්කරගෙන ලිපියක් ඉදිරිපත් කල අතර එහි දෙවන කොටස ලෙස ‘අබූතාලිෆ්ට යහමඟ නොලැබීමට හේතුව කුමක්ද?’ යන කාරණය ‘අබූතාලිෆ් මඟ ද? යහමඟ ද?‘ යන මෙම ලිපිය තුලින් විමසා බලීමට අදහස් කරමි. ඒ සදහා පිවිසුමක් ලෙස ශුද්ධ වූ කුර්ආන් පාඨයක් ප්‍රථමයෙන් ඔබේ බුද්ධිමත් අවදානයට තබමි.

කවුරුන් අපගේ මාර්ගයෙහි (යාමට) උත්සාහ දරන්නෝ ද, ඔවුන්ව නියත වශයෙන්ම අපි අපගේ යහමඟ ට ඇතුළු කරන්නෙමු. පින් කරන අය සමඟ අල්ලාහ් (දෙවි) සිටින්නේය

ශුද්ධ වූ කුර්ආනය 29-69

ඉහත වාක්‍යය වෙත අවදානය යොමු කිරීමට ප්‍රථම මෙහි මාතෘකාව සම්බන්ධයෙන් වචන කිහිපයක් හෝ කිවයුතුව ඇත. ඒ ‘එදා අබූතාලිෆ්ට යහමඟ නොලැබෙන්න හේතු වූ ගුණාංගය එදා පටන් මේ දක්වාත්, ලෝක විනාශය දක්වාත් කවරෙකු තුල පවතින්නේ ද ඔවුනට නියත වශයෙන්ම මේ සත්‍ය මාර්ගය නොඑසේ නම් යහමඟ අවබෝධ කරගන්නට නොහැකිවනවා යන්නෙහි සැක නැත’ යන්නයි. මා මෙසේ පවසන විට ඔබට මතු වන ප්‍රධාන ගැටළුව ‘මේ තරම් නරක නපුරු ඒ ගුණාංගය කුමක්ද?’ යන්නයි. මෙය ඉහතින් සදහන් 29-69 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලින් ද මනාව විස්තර කර ඇත. එනම්, සත්‍ය මාර්ගය, යහමඟ අවබෝධ කර ගැනීමට නම් ප්‍රථමයෙන් අප තුල වර්ධනය වියයුතු නොඑසේනම් ගොඩනඟා ගතයුතු අත්‍යඅවශ්‍ය ගුණාංගයක් ඇත. ඒ ‘සත්‍ය මාර්ගය කුමක්ද?’ යන්න අවබෝධ කර ගැනීමට උනන්දුව උත්සාහය අප තුල ගොඩනඟා ගැනීමයි. එය තමා අල්ලාහ් (දෙවි) ඉහත වාක්‍යයෙන් ‘කවුරුන් අපගේ මාර්ගයෙහි (යාමට) උත්සාහ දරන්නෝ ද, ඔවුන්ව නියත වශයෙන්ම අපි අපගේ යහමඟ ට ඇතුළු කරන්නෙමු…’ යනුවෙන් අවදාරණය කරන්නේ. එදා  උමර් (රලි) තුමා, අබූ සුෆියාන්, වග්ෂි, හින්දා, සුමාමා, ඉක්රිමා, හාලිද් ඉබුනු වලීද්… වැනි පිරිස් ඉස්ලාම් දහම පිලිබදව අනවබෝධයෙන් එයට එරෙහිව එදිරිවාදීකම් කලත් ඔවුන් තුල සත්‍ය මාර්ගය දැනගැනීමේ උනන්දුව හා උවමනාව පැවතුණි. එය උමර් (රලි) තුමා හා සුමාමා (රලි) තුමා ඉස්ලාමය වැලද ගැනීමට පසුබිම් වූ සිද්ධින් අධ්‍යනය කර බලන්නෙකු හට මනාව පැහැදිලි වේ.

දැන් අපට ඇති ගැටළුව ‘ඉස්ලාමයට එදිරිවාදිකම් කල මුස්ලීම්වරුන් ඝාතනය කල ඉහත පිරිසට ඉස්ලාම් තුලින් යහමඟ ලැබෙද්දී, මුහම්මද් (සල්) තුමාණන්ට දැඩිව ආදරය කල එතුමාණන්ගේ දහම් ප්‍රචාරයට වක්‍ර ආකාරයෙන් සහය දැක්වූ අබූතාලිෆ් ට යහමඟ නොලැබුණේ ඇයි ද?’ යන්නයි. මේ පැනයට පිලිතුරු සෙවීම එතරම් අපහසු කාර්‍යයක් නොවේ. මීට පෙර ඉදිරිපත් කල ‘යහමඟ සොයන ඔබටයි !’ යන ලිපියේ ඉදිරිපත් කල එක් හදීසයක් තුලින් එය පැහැදිලිව විස්තර කෙරේ. එම හදීසයෙන් කොටසක් වෙත ඔබේ අවදානය නැවත යොමු කරන්නේ නම්,

‘…අබූජහ්ල් (මොහු අබූතාලිෆ්ගේ එක් සහෝදරයෙකි) හා අබ්දුල්ලාහ් බින් අබී උමයියා යන දෙදෙනා ‘අබූතාලිෆ් !, ඔබ අපගේ පියවරුන් (පැරණ්නන්) වන අබ්දුල් මුත්තලිෆ්ගේ මාර්ගය ප්‍රතික්ෂේප කොට යන්නට සැරසේන්නේද?’ යනුවෙන් විමසන ලදී…අවසානයේ දී අබූතාලිෆ් ‘මගේ මරණය (අපගේ පැරණ්නන් වන) අබ්දුල් මුත්තලිෆ්ගේ දහමේ තමා’ යනුවෙන් පවසන ලදී…’

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසය තුලින් අබූතාලිෆ්ගේ අවසානය මොහොතේ දී පවා ඔහුගේ ස්ථාවරය කුමක් වූයේද? යන්න අවබෝධ කරගැනීම ඔබට අපහසු නොවනු ඇත. අපගේ පැරණ්නන්ගේ, පියවරුන්ගේ, අතීතයේ සිට පිලිපැද ආ සම්ප්‍රදායන්… යනාදී කාරණයන් තුල ඔහු දැඩිව සිටියා මිස සත්‍ය මාර්ගය අවබෝධ කරගැනීමේ උනන්දුව උවමනාව ඔහු තුල නොවූ බව ඒ තුලින් පැහැදිලි වේ. මෙය එවකට පැවතී සමාජය තුල පැවතී දැඩි මිත්‍යා විශ්වාසයක් යන්න ද මෙතැනදී ඔබේ අවදානයට ගෙන ආයුතුය. එයට ඉහතින් ඉදිරිපත් කල හදීසය මෙන්ම පහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය ද පැහැදිලි සාක්ෂියකි. එනම්,

‘අල්ලාහ් (දෙවි) පහල කල දෑ අනුගමනය කරන්න!’ යයි ඔවුන් හමුවේ පැවසූ විට ‘අපගේ පැරණ්නන් (පෙර විසූ ජනයා)ගේ මාර්ගයේ කුමක් වුයේ ද එය ම අප ද අදහන්නෙමු’ යයි පවසනු ඇත. ඔවුන්ගේ පැරණ්නන් කිසිවක් පිලිබදව ඥානයක් නොමැතිව එය (මිත්‍යා දෘෂ්ඨිකව) ඇදහූවත් ද?

ශුද්ධ වූ කුර්ආනය 2-170

මෙතැන දී කෙටියෙන් හෝ සදහන් කලයුතු තවත් කාරණයක් ද ඇත. එනම්, ලොවපුරා ප්‍රකාශ වූ සියළුම දහමන් දර්ශනයන් ආරම්භයේ ප්‍රබල විවේචනයට හා එදිරිවාදිකම්වලට ගොදුරු වීමට බලපෑම එකම හා ප්‍රබලම සාධකය මේ විශ්වාසය යන්නයි. එනම්, දහමක් දර්ශනයක් සමාජය තුල ප්‍රකාශ වනවිට එහි විසූ අති බහුතර ජනයා ‘අපගේ පෙරවිසූ ජනයා (පැරණ්නන්) පැවසූ මාර්ගය වැරදි ද?, අපගේ පියවරුන් පෙන්වාදුන් මාර්ගය වැරදි ද?, මෙතෙක් කරගෙන ආ සම්ප්‍රදායන් වැරදි ද?…’ යයි වාද කරමින් ඒවාට එරෙහි වීම අළුත් කාරණයක් නොවේ. මේ අවාසනාවන්ත තත්වයෙන් ඉස්ලාම් දහමට ද එදා මිදීමට හැකි වූයේ නැත. මෙය අබූතාලිෆ්ගේ සිදුවීම තුලින් මෙන්ම ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය තුලින් ද ඔබට මනාව පැහැදිලි වනු ඇත. අප කාලයක් මුළුල්ලේ යමක් විශ්වාසයෙන් පිලිපදින විට එය අපගේ සිත් තුල දැඩිව සටහන් වීමත්, ඒ නිසාම එම විශ්වාසයන් ජීවිතයේ අංගයක්ම තරමට ම අප එයට වහල් වීමත්, එවැනි විශ්වාසයෙන් මිදීම පවුල තුලත්, මිතුරන් තුලත්, සමාජය තුලත් ලොකු අර්බුදයන් ඇති කරන තරම් ව්‍යාකූල වීමත් ස්වභාවිකය. නමුත් මේ කිසිවක් තමන් පිලිපදින මතවාදය නිවරුදි යයි තීන්දු කිරීමට පදනම කරගත නොහැක. විශේෂයෙන් දිව්‍යමය මඟපෙන්වීමක් තුල ගොඩනැඟුණූ ඉස්ලාම් දහම තුල මේ සදහා කිසිදු ඉඩක් නැත. මෙයයි විනිශ්චය දිනයේ දී අබූතාලිෆ්ගේ ඉරණම තුලින් ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට කියාපාන්නේ. එසේනම් අබූතාලිෆ්ගේ අවාසනාවන්ත ඉරණමට බලපෑ කාරණය දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. එය තවත් සරලව පෙලගස්සනවා නම්,

අබූතාලිෆ් සම්බන්ධයෙන් මෙතෙක් සාකච්චා කල කරුණූ කාරණා අනුව ස්ථිර නිගමන දෙකකට එළඹිය හැක. එනම්,

  • සත්‍ය මාර්ගය අවබෝධ කර ගැනීමේ උවමනාව උනන්දුව ඔහු තුල නොවීය,
  • ඔහුගේ පැරණ්නන් (අන්ධ භක්තිකව) පිලිපැදීම ප්‍රතිත්තිය ඔහු තුල දැඩිව සිටියේය,

යමක් බුද්ධියෙන් විමසා තීන්දු තීරණවලට නොඑළඹී අබූතාලිෆ් මෙන් තීන්දු තීරණවලට එළඹීමට යාම තුල ඔහුට අත්වූ ඉරණම අපට ද අත්වෙනවා නොඅනුමානය. එවැනි පිරිසට අල්ලාහ් (දෙවි) කිසිදු විටෙක යහමඟ නොපෙන්වනවා යන්නත් නොඅනුමානය. එසේනම් දැන් මෙහිදී සමස්ථ මුස්ලීම් සමාජය විමසා බැලිය යුතු කාරණය වන්නේ එදා අබූතාලිෆ් තුල පැවතී එම දුර්ගුණාංගය අද අප තුල කොතරම් දුරකට පවතිනවා ද? යන්නයි. එම දුර්වලතාවය නිසිලෙස හදුනාගෙන එයින් මිදීමට අප කටයුතු කලයුතව ඇත. එසේ වුවානම් අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනය 29-69 වාක්‍යය මඟින් පවසන පහත පොරොන්දුව අප වෙනුවෙන් ඉටු කරනු ඇත.

‘කවුරුන් අපගේ මාර්ගයෙහි (යාමට) උත්සාහ දරන්නෝ ද, ඔවුන්ව නියත වශයෙන්ම අපි අපගේ යහමඟ ට ඇතුළු කරන්නෙමු. පින් කරන අය සමඟ අල්ලාහ් (දෙවි) සිටින්නේය’

එසේ නොමැතිව පැරණ්නන් පියවරුන්… යනාදී ලෙස හෝ සම්ප්‍රදායන් යයි පවසමින් ඒ ඔස්සේ ගියේ නම්, යහමඟ වෙනුව‍ට අබූතාලිෆ්ට අත්වූ ඉරණම අපට ද උදාවනවා යන්න දැන් පැහැදිලිය. මෙය ශුද්ධ වූ කුර්ආනයේ එක් තැනක මෙසේ අවවාද කරයි.

අල්ලාහ් (දෙවි) ද, ඔහුගේ දූතයා (වන වක්තෘවරයා) ද යම්කිසි කාරණාවක් ගැන නියෝග කිරීමෙන් අනතුරුව, එම කාරණාවෙහි (එයට වෙනස් අන්දමින්) අභිප්‍රායන් දැරීමට විශ්වාස වන්ත පිරිමියෙකුට හෝ ගැහැනියකට කිසිදු අවසරයක් නැත. (එහි) අල්ලාහ් (දෙවි)ටද, ඔහුගේ දුතයාටද කවුරුන් හෝ වෙනස්කමක් කළහොත් නියත වශයෙන්ම ඔවුන් ප්‍රකට දුර් මාර්ගයෙහි ම සිටින්නේය.

ශුද්ධ වූ කුර්ආනය 33-36

ඉහත ශුද්ධ වූ වාක්‍යය තුලින් මුස්ලීම්වරයෙකු ඉස්ලාම් දහම අවබෝධ කරගත යුත්තේ කුමන ආකාරයටද? යන්න සරලව පැහැදිලි කරයි. ඒ තුල පැරණ්නන්, පියවරුන්… යනාදී වශයෙන් මැදිහත්කරුවන් යොදා ගැනීමට හෝ සමාජ සම්ප්‍රදායන් දහම ලෙස අනුගමනය කිරීමට ඉඩක් නොමැති බව පැහැදිලි කරයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ තවත් තැනක මෙසේ විස්තර කරයි. එනම්,

(මිනිසුනේ!) ඔබ වෙනුවෙන් ඔබගේ දෙවියන් විසින් පහල කරනු ලැබූ දැය අනුගමනය කරන්න. ඔහු මිස (වෙන කිසිවකු ආරක්ෂකයන් (වශයෙන් පත් කරගෙන ඔවුන්ව) අනුගමනය නොකරන්න. එහෙත් ඔබ අවවාද ලබන්නේ අල්ප වශයෙනි!

ශුද්ධ වූ කුර්ආනය 7-3

ඉහත දිව්‍යමය වාක්‍යයන් තුලින් අල්ලාහ් (දෙවි) කුමක් පවසනවා ද? යන්න මෙහි විග්‍රාහ කිරීමට අවශ්‍ය යැයි මා නොසිතමි. මන්ද ඉතා සරල බසින් විස්තර කරන මෙම වාක්‍යයන් අවබෝධ කරගැනීමට අවශ්‍ය වන්නේ පටු සීමාවන් හි කොටු නොවූ විවෘත මනසක් හා සත්‍ය දහම අවබෝධ කරගැනීමට වූ උනන්දුව හා උවමනාව පමණි. අල්ලාහ් (දෙවි) යමක් පවසනවා, ඔහුගේ රසුල්වරයා (වන මුහම්මද් (සල්) තුමාණන්) යමක් පවසනවා යයි අවබෝධ වූ විට එයට තමා කැමතිද? අකමැතිද?  එය තමා ප්‍රිය කරනවාද? නැද්ද්? යන්න අදාල නොවේ. මන්ද මේ මඟපෙන්වීම අප වෙත එන්නේ මනුෂ්‍ය බුද්ධිය ඉක්ම වූ සර්වඥානි අල්ලාහ් (දෙවි) හමුවේ සිටය. එය අපගේ සීමිත බුද්ධියෙන් තීන්දු කිරීම කිසිසේත් සාධාර්ණ නොවේ. නමුත් මෙහිදී අමතක නොකලයුතු කාරණයක් ද ඇත. ඒ මනුෂ්‍යයා ස්වභාවයෙන්ම බොහෝ විට තීන්දු තීරණ ගන්නේ යහපතට වඩා අවස්ථාවාදීව හෝ හැඟීමන්ට වහල්වය. ඒ සදහා ශෙයිතාන්ගෙන් ලැබෙන සහය හා බලපෑම ද මෙහිදී කිසිසේත් අමතක කල නොහැක. යමක් ‘මේ විදියට තමා කරන්න ඕන’ යයි දැන දැනත් වැරදි ආකාරයට ඒ තුල ක්‍රියා කරන බොහෝ අවස්ථා අප ජීවිතය තුල අත්විදින්නෙමු. මේවා ශෙයිතාන්ගේ කුමන්ත්‍රණවල ප්‍රතිපලයන්ය. ‘කියාමත් (ලෝක අවසාන) දිනය දක්වා මිනිසුන් නොමඟ යවමි’ යයි දෙවියන් ඉදිරියේ අභියෝග කල ශෙයිතාන්ගෙන් මිදීම එතරම් පහසු කාර්‍යයක් නොවේ. අල්ලාහ් (දෙවි) විසින් මවන ලද මුල්ම මිනිසා මෙන්ම නබිවරයා වන ආදම් (අලෛ) තුමාත් මේ ශෙයිතාන්ගේ කුමණ්ත්‍රනවලට හසු වූවා නම්, ඒ ශෙයිතාන්ගේ කුමන්ත්‍රණ හමුවේ ඔබත් මාත් කොතරම් සැලකිලීමත් වියයුතුද?. මේ ශෙයිතාන්ගේ කුමන්ත්‍රණ හමුවේ මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපය කෙසේ වියයුතු ද යන්න පිලිබදව ද අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ එක්තරා තැනක පැවසීමේ දී

කවුරුන් ‘තාඋද්’ (නම් දුර්මාර්ගයේ) නැමදුමෙන් ඈත් වී සම්පූර්ණයෙන් අල්ලාහ් (දෙවි) දෙසට හැරී සිටින්නෝ ද ඔවුනට යහපතක් වන්නේය. එබැවින් (නබි!) ඔබ (අපගේ එම යහපත්) වහලුන් හට සුභාරංචි පවසන්න. ඔවුන් (කෙබදු අයදයත්) වදන්වලට සවන් දී එහි ඇති හොද දැය අනුගමනය කරන්න කටයුතු කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් (දෙවි) සෘජු මාර්ගයයෙහි ඇතුළු කරන්නේ මෙවැන්නන්ය. මොවුන්ම (ඇත්තෙන්ම) බුද්ධිමත් අයද වන්නේය.

ශුද්ධ වූ කුර්ආනය 39-17,18

ඔබ සැබැවින්ම යහමඟ සොයන්නෙකු නම්, ප්‍රථමයෙන් අබූතාලිෆ් මෙන් පාරම්පරික විශ්වාස, අපගේ පැරණ්නන් පෙන්වාදුන් මාර්ග, සමාජ සම්ප්‍රදාය යන පටු සීමාවලට කොටු නොවී ඉන් බැහැර වියයුතුය. ඊලඟට ශුද්ධ වූ කුර්ආනයේ 29-69 වාක්‍යයේ පවසන ආකාරයට සත්‍ය මාර්ගය සෙවීමට උනන්දු වියයුතුය. එහිදී දිව්‍යමය මඟපෙන්වීම අනුව තීන්දු තීරණවලට එළඹෙනවා මිස ශුද්ධ වූ කුර්ආනයේ 33-36 හා 7-3 හි සදහන් ආකාරයට ස්වමත හෝ මැදිහත්කරුවන් තුලින් තීන්දු තීරණවලට එළඹිමට ක්‍රියා නොකල යුතුය. මේ ආකාරයට ඔබ කටයුතු කිරීමට යාමේදී අවාසනාවන්ත ලෙස සාමාන්‍ය මුස්ලීම් ජන සමාජය තුල ඔබට ප්‍රබල ගැටළු දෙකකට මුහුණපෑමට සිදුවේ. එනම්,

  • ශුද්ධ වූ කුර්ආනය, හදීසය පිලිබදව පූර්ණ ඥානයක් නොමැති, අරාබි භාෂාව පිලිබදව ද කිසිදු දැනුමක් නොමැති අප තනිවම මේ දහම අවබෝධ කරගන්නේ කෙසේද?,
  • මුස්ලීම් ලෝකය තුල අගමික කල්ලි, සංවිධාන, නිකායන්… යනාදී වශයෙන් පිරීගොස් තිබිය දී, ඒ සියල්ල පාර්ශවයන් ‘අප තමා යහමඟ පෙන්වන්නේ’ යයි පවසද්දී, මේ සියල්ල අතුරින් නිවරුදි මඟ තොරා ගන්නේ කෙසේද?’

බැලූ බැල්මට මේවා සංකීර්ණ තත්වයන් ලෙස පෙනුනත් මේ ගැටළුවට විසදුම් සෙවීම එතරම් අපහසු කාර්‍යයක් නොවේ. ශුද්ධ වූ මඟපෙන්වීම තුල හිඳ පහසුවෙන් මේ සියළු පැනයන්ට පැහැදිලි පිලිතුරු ලබාගත හැක. (ඉන්ෂාඅල්ලාහ්) මෙම ලිපි පෙලේ අවාසන කොටස ලෙස ‘යහමඟ ඉන්නේ කවුද?’ යන මාතෘකාව යටතේ මීළඟ ලිපිය තුලින් ඒ පිලිබදව සාකච්චා කිරීමට අදහස් කොට මේ ලිපියට විරාමය තබමි.

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 5 යි.

  1. amaan 2013-07-11 at 16:42

    අන් ආගම් ගැරහීමට පෙර තමන් කොතැනද ඉන්නේ කියා වටහා ගැනීම වැදගත්.

    අන් ආගම් ගැරහීමට පෙර තමන් කොතැනද ඉන්නේ කියා වටහා ගැනීම වැදගත්.

    අල්ලාහ් දෙවියන් මේ සියල්ල ඉවසීමේ ශක්තිය දෙත්වා සහ සැමදෙනාටම යහමග පෙන්වත්වා

  2. akbar.k 2013-07-06 at 03:23

    පකිස්‌තාන සම්ප්‍රදායික මුස්‌ලිම් සමාජයේ පවුලේ ගෞරවය රැකගැනීම වෙනුවෙන් වසරකට කාන්තාවන් 900 ක්‌ පමණ ඝාතනය වන බව එරට මානව හිමිකම් ක්‍රියාධරයෝද පවසති. මීට පෙර මංගලෝත්සවයක ගීත කියූ වරදට කාන්තාවන් සිව්දෙනකු පිරිමි දෙදෙනකු මරා දැමුණේද උතුරු පකිස්‌තානයේදීය.

    සාමයේ ආගම යැයි කියන ඉස්ලාමයේ නිවැරදි ස්වරෑපය වන්නේ මෙයයි. නිදහස පිළිබදවවත් නොදන්නා ඉස්ලාමය වැඩි ආගමක් පසු පස යන්නේ එක්කෝ මොඩයෝය. නැතිනමි අන්ථවාදියෝය

    • අබූ අර්ශද් 2013-07-06 at 15:09

      කාලයකට පසුව ‘අක්බර්’ නමින් පෙනීසිටින මේ සහෝදරයා නැවතත් යහමඟ තුල ප්‍රතිචාරයක් ඉදිරිපත් කොට ඇත. මේ ප්‍රතිචාරය සදහා මා පිලිතුරක් දීමට අවශ්‍ය නැත. මන්ද ඔබම එය බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, එය කොතරම් අනවබෝධයෙන් ඉදිරිපත් කල තර්කයක්ද? යන්න ඔබට පැහැදිලි වනු ඇත. කෙසේ වෙතත් මේ ප්‍රතිචාරය බලන පිරිසගේ බුද්ධිමත් අවදානයට කරුණූ කිහිපයක් ගෙනආයුතුව ඇත. එනම්,

        ඉස්ලාම් ප්‍රකාශ වන මුල් යුගයේ (ජාහිලායා සමාජයේ) පැවතී නරක පුරුද්දක් තමා ගැහැණු දරුවන් ඝාතනය කිරීම. එයට එරෙහිව ඉස්ලාම් දැඩිව සටන් කොට ඒ මහා පාපයෙන් එදා සමාජය මුදවා ගන්නා ලදී. නමුත් ඒ මහා පාපයේ අද කවුරුන් හෝ නිරතවන්නේ නම් එය ජාහිලා සමාජයට එහා ගිය මහා පාපයක් මිස ඉස්ලාම් නොවේ.
        සිංදු කීම ඉස්ලාම් තහනම් කල කාරණයක් නොවේ. නබිතුමාණන් ජීවමානව සිටී වකවානුවේ එතුමාණන් වර්නනාකරමින් ගීත ගැයූ අවස්ථාවන් හා එය නබිතුමාණන් අනුමත කල ආකාරයන් ආගමික මූලාශ්‍රයන් හි දක්නට ලැබේ. නමුත් සංගීතය සම්බන්ධයෙන් ඉස්ලාම් දහම තුල තහනමක් ඇත. නමුත් එය පුද්ගලයෙකු ඝාතනය කරන්න තරම් වරදක් නොවේ. එමනිසා ගීත ගායනයට කිසියම් රටක මරණ දඬුවම ලබාදී ඇත්නම් එය එම රටේ අරාජික තත්වය මතුකොට පෙන්වනවා මිස ඉස්ලාම් නොවේ.

      සියල්ල සාරාංශ කොට තවත් සරලව පවසනවා නම් පකිස්තානය යනු ඉස්ලාමීය නිතීයක් ක්‍රියාත්මක වන හෝ ඉස්ලාමීය විනයක් ගොඩනැඟුණූ රටක් නොවේ. මේ නිසා මෙම රට පදනම් කරගෙන ඉස්ලාම් දහම අවබෝධ කරගන්නට යාම වැරදි ක්‍රමවේදයකි.
      මෙය තවත් සරල උදාහර්ණයකින් පැහැදිලි කරනවා නම්, අද අප රටේ ජාතිවාදී ව්‍යාපාරවල නියලෙස සමහරක් භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස කරන ක්‍රියාවන් (සියදිවි හානිකරගැනීම, පුද්ගලයන්ට පහරදීම, ව්‍යාපාරික ස්ථානවලට පහරදීම, ආගමික විශ්වාසයන් අපහසයට හා උපහසයට ලක් කිරීම, ඒවාට එරෙහිවීම…) පදනම් කරගෙන බුදුදහම නම් මෙහෙමයි. විශේෂයෙන් නිර්මල බුදුදහම පවතිනවා යයි පවසන ශ්‍රී ලංකාව පදනම් කරගෙන මේකද බුදුදහම යයි විවේචනය කිරීම හෝ මෙය තමා බුදුදහමේ නිවරුදි ස්වරෑපය යයි පැවසීම කොතරම් සාධාර්ණ වූ විවේචනයක්ද? යන්න බුද්ධිමත් ඔබ විමසා බලන්න.
      දහමක දර්ශනයක දර්ශනයක වලංගු අවලංගුභාවය තීරණය කලයුත්තේ එහි අනුගාමිකයන් පදනම් කරගෙන නොව එහි ඉගෙන්වීමන් පදනම් කරගෙනය. ඒ සදහා මෙවැනි විවේචකයන්ට නුවණැස පෑදේවා! යයි අල්ලාහ් (දෙවි)ගෙන් අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමි.

  3. Mr.Who 2013-07-05 at 21:53

    අබූතාලිෆ් or අබූ තාලිබ් ?

    ابو طالب بن عبدالمطلب
    Abū Ṭālib ibn ʿAbd al-Muṭṭalib

    • අබූ අර්ශද් 2013-07-06 at 14:39

      අල්හම්දුලිල්ලාහ්!, ඔබේ නිවරුදි කිරීමට බොහෝමත්ම ස්තූති. ඉහත ලිපියේ ‘අබූතාලිෆ්’ ලෙස සදහන් වන සියළු තැන් ‘අබූ තාලිබ්’ ලෙස නිවරුදි වියයුතුය.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *