අරාබි භාෂා – පාඩම් මාලාව 01

0

භාෂාවක් යනු තමා සිතන පතන දේ අනුන් හට ප්‍රකාශ කරන ආකාරයයි. මෙසේ ප්‍රකාශ කිරීමේදී ඕනෑම භාෂාවක වාක්‍ය ඉතා වැදගත් සාධකයකි. වාක්‍යක් යනු යම් රීති මාලාවකට යටත් වූ වචන සමූහයකි. ඒ අනුව අද පටන් මෙහි කථා කරන අරාබි භාෂාව හා එහි වචනයන් සැලකුව ද එම තත්වයෙහි වෙනසක් නැත. විශේෂයෙන් ඉස්ලාම් දහම පිලිබදව කථා කරන මෙම අඩවිය තුල අරාබි භාෂාව පිලිබදව කථා කිරීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් ද වේ. මෙම අවශ්‍යතාවය අවබෝධ කරගත් ‘යහමඟ‘ අඩවිය අරාබි භාෂා දැනුම ශ්‍රී ලාංකීය සමාජය තුල වර්ධනය කිරීම සදහා ‘අරාබි අකුරු හොඩිය‘ නම් ලිපියක් මීට ඉහත ඉදිරපත් කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. එය නැවතත් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙතැන් සිට අදාල විෂය කෙරෙහි අවදානය යොමු කරමි.

ලොව ඕනෑම භාෂාවක් ප්‍රධාන වර්ග තුනකට බෙදා කථා කලහැක. එනම්,

  1. නාම පද ألإسم
  2. ක්‍රියා පද ألفعل
  3. නිපාද පද ألخرف

වේ. ඕනෑම වචනයක් මෙම වර්ගීකරන තුනෙක් එකකට අයත් විය යුතුය.

 

නාමපද ألإسم

නාම පදයක් යනු මිනියෙකුගේ නමක්, පණ ඇති  හා පණ නැති වස්තූන්, ස්ථානයක නමක්, රැකියාවක් වේලාවක් කාලයක්, ගතිගුණයක් ආදී ඕනෑම දෙයක් හැඟවීම සඳහා යොදනු ලබන වචනය වේ. දැන් නාමපද කිහිපයක් සලකා බලමු.

أََبٌ         (අබුන්) පියා

أُمٌّ           (උම්මුන්) මව

أَخٌ         (අහුන්) සහෝදරයා

أُخْتٌ      (උහ්තුන්) සහෝදරිය

اِبْنٌ        (ඉබ්නුන්) පුතා

بِنْتٌ       (බින්තුන්) දුව

وَلَدٌ        (වලදුන්) ළමයා

مُحَمَّدٌ      (මුහම්මදුන්) මුහම්මද්

أَحْمَدُ      (අහ්මදු)            අහ්මද්

قِِِطٌّ         (කිත්තුන්) පූසා

حِصَانٌ   (හිසානුන්) අශ්ෆයා

كَلْبٌ       (කල්බුන්) බල්ලා

جَمَلٌ      (ජමලුන්) ඔටුවා

حِمَارٌ     (හිමාරුන්) බූරුවා

دِيْكٌ       (දීකුන්) කුකුළා

سِرِيْلَنْكَا   (සිරීලන්කා) ලංකාව

كُوْلُمْبُو    (කූලුන්බූ) කොළඔ

الهند       (අල් හින්ද්) ඉන්දියාව

අරාබි භාෂාවේ නාමපදය කොටස් දෙකකට බෙදිය හැකිය. එනම්

  1. පොදු නාම اسم النكرة
  2. සංඥා නාම اسم المعرفة

 

පොදු නාම  : اسم النكرة

වචනයක් තනි පුද්ගලයෙක්ව හෝ තනි වස්තුවක් සඳහන් නොකර පොදුවේ එම වර්ගයම අදහස් කිරීමට යොදනු ලබන විට එය පොදු නාම යැයි කියනු ලැබේ.

උදාහරණ – رَجُلٌ  මිනිසා

رَجُلٌ  (මිනිසා) නැමැති පදය මෙලොව සිටින සෑම මිනිසෙක්වම හැඳින්වීමට යෙදිය හැකිය. මෙම වචනය පොදුවේ සෑම මිනිසෙක්වම හඟවන පදයකි. මෙසේ අර්ථය පොදුවේ යෙදෙන නාම පදට අරාබි භාෂාවේ اِسْمُ النَّكِرَةِ  යැයි කියනු ලැබේ.

සංඥා නාම : اِسْمُ الْمَعْرِفَةِ

එක් පුද්ගලයෙකුට විශේෂ කර තබන ලද නමක් හෝ එකම වස්තුවක් පමණක් අඟවන පදයක් සංඥා නාම ලෙස හඳුන්වනු ලැබේ.

උදාහරණ – مُحَمَّدٌ (මුහම්මද්)

مٌحَمَّدٌ නැමැති පදය කෙනෙකුගේ නමකි. එමගින් හඳන්වනු ලබන්නේ එම නමට අදාල පුද්ගලයාව පමණකි. මුහම්මද් නැමැති පුද්ගලයා හැර වෙනකිසිවෙක් එමගින් අදහස් කරනු නො ලැබේ. මෙවැනි එක් පුද්ගලයෙක්ව හෝ එක් වස්තුවක් විශේෂ කර හඳුන්වනු ලබන පද اِسْمُ الْمَعْرِفَةِ (සංඥා නාම) යැයි හඳුන්වනු ලැබේ.

පොදු නාමයක් සංඥා නාමයක් බවට හරව ආකාරය :

اِسْمُ النَّكِرَةَ  එනම් පොදු නාමයකට اَلْ (අල්) නැමැති නිපාත පදය එක් කළ විට එම اِسْمُ النَّكِرَةِ (පොදු නාමය) اِسْمُ الْمَعْرِفَةِ (සංඥා නාමය)ක් බවට පත් වේ.

උදාහරණය – رَجُلٌ (රජුලුන්) මිනිසෙක් යන්න මෙහි තේරුමයි. එනම් ඔබ නොදන්නා කවුදෝ එක් මිනිසෙක් ගැන මෙම පදය කතා කරයි. එයට اَلْ (අල්) යන පදය එක්කර الرَّجُلُ (අර්රජුලු) යැයි පවසන විට ඔබ දන්නා (මෙම) මිනිසා යැයි විශේෂ කර පවසන වචනයක් බවට එය පත් වේ. තවත් උදාහරණ කිහිපයක් සලකා බලමු.

اِسْمِ النَّكِرَةِ

اِسْمُ المَعْرِفَةِ

كِتَابٌ ‍ – (කිතාබුන්) පොතක්

بَيْتٌ – (බයිතුන්) නිවසක්

طَبِيْبٌ – (තබීබුන්) වෛද්‍යවරයෙක්

اَلْكِتَابُ  -(අල් කිතාබු) පොත

اَلْبَيْتُ  – (අල් බයිතු) නිවස

اَلطَّبِيْبُ – (අත්තබීබු) වෛද්‍යවරයා

මෙම اَل (අල්) යන පදය ඉංග්‍රීසි භාෂාවේ THE (ද) යන පදයේ අර්ථයට බෙහෙවින් සමාන වේ. اِسْمِ النَّكِرَةِ (පොදු නාම) අවස්ථාවේ كِتَابٌ ‍ (කිතාබුන්), بَيْتٌ(බයිතුන්), طَبِيْبٌ(තබීබුන්) යැයි වචනය تنوين (තන්වීන් – එනම් උන් යැයි ශබ්ද කරන  ٌ සලකුනින)  සමග අවසන් වූ වචනය الْ (අල්) එකතුවීමත් සමග تنوين (තනවීන්) ඉවත් කර ضمّة (ලම්මු – එනම් ‘උ’ යැයි ශබ්ද කරන ُ  සලකුන) යොදා ශබ්ද කළ යුතුය.

උදාහරණ – رَجُلٌ – الْ + رَجُلٌ = اَلرَّجُلُ

නාමපදයකට اَل  (අල්) එකතු කරන අවස්ථා‍වේදී ඇතැම් වචන වල උච්චාරණයෙහි වෙනසක් දැකිය හැකිය. එනම් ඇතැම් වචන වල අල් කියා ال වල ඇති ලාම් (ل)  අක්ෂරය ශබ්ද වන අතර තවත් සමහර වචනවලට අල් එකතුවීමේදී ලාම් (ل) අක්ෂරය නිශ්ශබ්ද වී නාම පදයේ මුල් අක්ෂරය ශබ්ද වේ. මෙසේ ලාම් (ل) අක්ෂරය ශබ්ද නොවන අක්ෂරය الخروف الشّمسيّة (අල් හුරූෆුෂ් ෂම්සීය) ලෙසද, ලාම් (ل) අක්ෂරය ශබ්ද වන අක්ෂර الخروف القمريّة (අල් හුරූෆුල් කමරීයා) ලෙසද හඳුන් වනු ලැබේ. අරාබි භාෂාවේ අක්ෂර 28න් අක්ෂර 14ක් الخروف الشّمسيّة(අල් හුරූෆුෂ් ෂම්සීයා) වන අතර ඉතිර 14 الخروف القمريّة  (අල් හුරූෆුල් කමරීයා) වේ. අල් හුරූෆුෂ් ෂම්සීයා හා අල් හුරූෆුල් කමරීයා අක්ෂරවල උච්චාරණය දැනගැනීමට පහත වගුව බලන්න.

الخروف الشّمسيّة (අල් හුරූෆුෂ් ෂම්සීයා)

الخروف القمريّة (අල් හුරූෆුල් කමරීයා)

1)      ت : اَلتَّاجِرُ –  අත්තාජිරු

  1. أ: اَلأبُ  අල් අබු

2)      ث : اَلثَّوبُ  අස්සවුබු

  1. ب : اَلْبَابُ අල් බාබු

3)      د : الدَّيْكُ අද්දීක්කු

  1. ج : اَلْجَنَّةُ අල් ජන්නතු

4)      ذ : اَلذَّهَبُ අස්සහබු

  1. ح: اَلْحِمَارُ අල්හිමාරු

5)      ر : اَلرَّجُلُ  අර්රජුලු

  1. خ : اَلْخُبْزُ අල්හුබ්සු

6)      ز : اَلزَّهْرَةُ අස්සහ්රතු

  1. ع : اَلْعَيْنُ අල්අයිනු

7)      س: اَلسَّمَكُඅස්සමකු

  1. غ : اَلْغَدَاءُ අල් ගදාඋ

8)      ش: اَلشَّمْسُ අෂ්ෂම්සු

  1. ف : اَلْفََمُඅල් ෆමු

9)      ص: اَلصَّدْرُ අස්සද්රු

  1. ق : اَلْقَمَرُ අල් කමරු

10)  ض : اَلضَّيْفُ අල්ලයිෆු

  1. ك : اَلْكَلْبُ අල් කල්බු

11)  ط : اَلطَّالِبُඅත්තාලිබු

  1. م : اَلْمَاءُ අල් මාඋ

12)  ظ : اَلظَّهْرُඅල්ලහ්රු

  1. و : اَلْوَلَدُ අල් වලදු

13)  ل : اَلّلحْمُඅල්ලහ්මු

  1. ه : اَلْهَوَاءُ අල් හවාඋ

14)  ن : اَلنَّجْمُඅන්නජ්මු

  1. ي : اَلْيَدُ අල් යදු

 

නාම පදවල පුරුෂ ලිංග (مُذَكَّرٌ) හා ස්ත්‍රී ලිංග (مُؤَنَّثٌ)

සිංහල හා ඉංග්‍රීසි භාෂාව සැලකිල්ලට ගත් විට ස්ත්‍රී හා පුරුෂ ලිංග වචන පදනම් වන්නේ පණ ඇති නාම පද සඳහා පමණි. පණ නැති වස්තුන් විග්‍රහ කිරීමට නපුන්සක ලිංග නම් අවස්ථාවක් ඉංග්‍රීසි හා සිංහල ව්‍යාකරණවල තිබුණ ද, අරාබි ව්‍යාකරණය තුළ එවැනි තත්වයක් නොමැති වීම අරාබි ව්‍යාකරණයේ විශේෂත්වයකි. අරාබි ව්‍යාකරණය තුළ පණ ඇති හා පණ නැති සියළු වස්තූන් ස්ත්‍රී හා පුරුෂ යන ලිංගභේද වලින් එකකට අයත් වේ. එනම් පණ නැති ඇතැම් වස්තූන් ගැන කථා කරන විට පුරුෂ ලිංගයට අයත් ව්‍යාකරණ රීතිය වලංගු වන අතර, තවත් සමහර වස්තූන් ගැන කථා කරන විට ස්ත්‍රී ලිංගයට අයත් ව්‍යාකරණ රීතිය වලංගු වේ යන්න මෙහි අදහසයි. පුරුෂ ලිංගයට مُذَكَّرٌ (මුසක්කර්) කියාද ස්ත්‍රී ලිංගයට مُؤَنَّثٌ (මුඅන්නස්) කියා අරාබියෙන් කියනු ලැබේ.

අරාබි භාෂාව තුළ ආකාර හතරකට ස්ත්‍රී හා පුරුෂ ලෙස වචන වල ලිංග භේදය බෙදා වෙන්කර ඇත.

  1. ස්වභාවයෙන්ම ස්ත්‍රී හා පුරුෂ වන නාමපද

උදාහරණ –

පුරුෂ ලිංග (مُذَكَّرٌ)

ස්ත්‍රී ලිංග (مُؤَنَّثٌ)

أَبٌ – පියා (අබුන්)

أُمٌّ මව (උම්මුන්)

رَجُلٌ – මිනිසා (රජුලුන්)

اِمْرأَةٌ – ගැහැණිය(ඉම්රඅතුන්)

اِبْنٌ – පුතා (ඉබ්නුන්)

بِنْتٌ – දුව(බින්තුන්)

 

  1. ة  (ත) අක්ෂරයෙන් අවසන් වන නාමපද

නාම පදයයක අවසාන අක්ෂරය ة වේ නම් එම නාමපද ද අරාබි භාෂාවේ ස්‍ත්‍රී ලිංග නාම පද වේ.

උදාහරණ – مَدْرَسَةٌ (මද්රසතුන්) පාසැල              سَاعَةٌ (සාඅතුන්) ඔරලෝසුව

  1. අපගේ ශරීරයේ ජෝඩු වශයෙන් ඇති අවයවයන්

අරාබි ව්‍යාකරණය තුළ ශරීරයේ ජෝඩු වශයෙන් ඇති අවයවයන් ස්ත්‍රී ලිංග වන අතර අනිකුත් අවයවයන් පුරුෂ ලිංග වේ.

උදාහරණ – ස්ත්‍රී ලිංග

  • رِجْلٌ  (රිජ්ලුන්) කකුල
  •  يَدٌ (යදුන්) අත
  •  عَيْنٌ (අයිනුන්) ඇස
  • أُذْنٌ (උස්නුන්) කන

උදාහරණ – පුරුෂ ලිංග

  • رَأْسٌ (ර:සුන්) හිස
  • بَطْنٌ (බත්නුන්) බඩ
  1. ආදි කාලයේ සිට අරාබි ජාතිකයින් ස්ත්‍රී ලිංග පද හැටියට භාවිතා කළ වචන

ඉහත රීති තුනෙන් ස්ත්‍රී ලිංග නොව තවත් සමහර වචන අරාබි භාෂාවේ ස්ත්‍රී ලිංග පද ලෙස යෙදේ. ඒවා නම් ආදි කාලයේ සිට අරාබි ජාතිකයින් ස්ත්‍රී ලිංග වචන ලෙස යෙදූ නාම පද වේ. මෙම වචන හඳුනා ගැනීමට රීතියක් ඉදිරිපත් කළ නොහැකි අතර අරාබි භාෂා‍ව අධ්‍යනය කිරීම මගින් ඒවා වටහා ගත යුතු වේ. එවැනි ස්ත්‍රී ලිංග පද කිහිපයක් පහතින් උදාහරණ ලෙස දක්වා ඇත.

  • بِئْرٌ (බ:රුන්) ලිඳ
  • سَمَاءٌ (සමාඋන්) අහස
  • شَمْسٌ (ෂම්සුන්) ඉර
  • عَصَا (අසා) හැරමිටිය
  • أَرْضٌ (අර්ලුන්) පොළව
  • دَارٌ (දාරුන්) නිවස
  • نَارٌ (නාරුන්) ගින්දර
  • سَبِيْلٌ (සබීලුන්) පාර

ඉහත සඳහන් කළ ආකාර හතරට අරාබි භාෂාව තුළ නාමපදයක ලිංගභේදය ඇති වන අතර, ස්ත්‍රී ලිංග නොවන සෑම පදයක්ම පුරුෂ ලිංග වේ.

(සැ: යු – අරාබි භාෂාවේ වචනයක් අවසන් වන්නේ ‘අ’ ‘ඉ’ ‘උ’ ‘අන්’ ‘ඉන්’ හා ‘උන්’ ශබ්ද වලිනි. උදාහරණයක් ලෙස شَمْسٌ  (ෂම්සුන්) නැමැති වචනය ගනිමු. මෙය විවිධ ව්‍යාකරණ රීතිවලට යටත් වන විට ෂම්සුන්, ෂම්සන්, ෂම්සින්, ෂම්ස, ෂම්සු, ෂම්සි ලෙස උච්චාරණය වේ. එම වචනය ඒ ආකාරයට උච්චාරණය කළ යුතුතේ වාක්‍යයක් පටන්ගන්නා අවස්ථාවේදී යෙදූ විට හා වාක්‍යයක අවසානයට පෙර යෙදුනු විටය. වාක්‍ය අවසන් වන්නේ එම වචනයේ නම්, කුමණ ස්වර සංකේතය යෙදුනද, එය කිය විය යුත්තේ අල්ප කරය. එනම් ‘ෂම්ස්’ ලෙස ය. ව්‍යාකරණය වටහාගැනීමේ පහසුව තකා මෙම පාඩම් මාලාවෙදී සිංලෙන් උච්චාරණය ලබාදෙන විට අල්ප නොකර අදාල උච්චාරණයම ලබාදී ඇත.)

ඉබුනු ජෙමීල්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *