අරුම පුදුම නෙත් ‍එෆ්. එම්. මත විමසුම – බුද්ධිමත් විමසුමට

4

‘…අද අප රටේ ඉස්ලාම් දහමට හා මුස්ලිම් සමාජයට එරෙහිව විවිධ වූ මඩ ව්‍යාපාරයන් දියත් වෙමින් පවතින තත්වයක, ඒවාට සෘජුවම හා වක්‍ර ආකාරයට බොහෝ මාධ්‍යයන් සහයෝගය දක්වන වකවානුවක, මෙයත් එවැනි ව්‍යාපාරයේම එක් අංගයක්ද? නොඑසේ නම් වැරදීමක්ද? යන කුතුහලය දිගින් දිගටම පැවතීම නිසා මේ සම්බන්ධයෙන් ‘නෙත් එෆ් එම්’ දක්වන ප්‍රතිචාරය යහමඟ බලාපොරොත්තුවෙන් සිටිමි…’

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ 2011/09/12 දින ‘නෙත් එෆ් එම්’ ගුවන්විදුලි මාධ්‍යය තුල ඉදිරිපත් කල ‘බැලුම්ගල’ වැඩසටහන වීඩියෝවක් ලෙස සකසා තම වෙබ් අඩවිය තුල ඉදිරිපත් කිරීමේ දී ඉස්ලාම් දහමට අපහස වන ආකාරයට එහි රූපරාමු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ‘යහමඟ’ අඩවිය කරුණු ඉදිරිපත් කල ‘නෙත් එෆ් එම් ට වැරදුනාද? වැරැද්දුවාද?’ යන ලිපිය තුලින් උපුටාගත් ඡේදයකි. එදා එවැනි ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට තරම් ‘නෙත් එෆ් එම්’ ගුවන්විදුලි නාලිකාව පිලිබදව ‘යහමඟ’ අඩවියට හොද ආකල්පයක් තිබුණි. නමුත් වර්ථමානයේ මෙම නාලිකාව තුල ඉදිරිපත් කරන සමහරක් වැඩසටහන් දෙස බලන විට එදා ‘යහමඟ’ අනුමානය කල සැකය නිවරුදි දෝ? යනුවෙන් හා මේ නාලිකාව තුල අප රටේ ජාතිවාදී මෙන්ම අන්තවාදී පිරිසකගේ සැඟවුණු න්‍යායපත්‍රයන් ක්‍රියාවට නැංවෙනවා දෝ? යනුවෙන් සැකයන් මතු වෙමින් ඇත.

මෙම කාරණය වෙත යොමු වීමට පෙර මෙහි ප්‍රථමයෙන් ‘නෙත් එෆ් එම්’ මාධ්‍යයට ස්තූතියක් කලයුතුව ඇත. ඒ 2013/02/20 දින රාත්‍රී 7.30 ට ‘බැලුම්ගලින් නොකී කථා’ නම් වැඩසටහන තුල වර්ථමානයේ අප රටේ උණූසුම් මාතෘකාවක් වී තිබෙන ‘හලාල්’ ඇතුළු අනිකුත් ඉස්ලාමීය ආගමික නීති පිලිබදව සංවාදයක් සදහා අවස්ථාව එම මාධ්‍යය තුල අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙනි. එම සංවාදය පහතින් ඉදිරිපත් කර ඇත.

  • 2013/02/20 දින නෙත් Fm හි සිදුකල සාකච්චාව
[audio:http://www.yahamaga.com/wp-content/uploads/TNL MP3/20130220 Neth FM.mp3]

 

දැන් මෙම ලිපියේ මාතෘකාව තුලින් පවසන එසේම ඉහතින් සැකයන් මතු කල කාරණය වෙත සෘජුවම යොමු වන්නේ නම්, පසුගිය දිනක ‘නෙත් එෆ් එම්’ ගුවන්විදුලි නාලිකාව තම වෙබ් අඩවියේ මුස්ලීම් සමාජය කම්පා කරවන මත විමසුමක් ඉදිරිපත් ‍කොට තිබුණි. එය මෙසේය

අද අප රටේ සමහරක් අන්තවාදී පිරිස් මුස්ලීම් සමාජයට පමණක් නොව ඔවුන්ගේ ආගමික අයිතීන්ටද අභියෝග කරන තැනකට කටයුතු කරමින් ඇත. විශේෂයෙන් ‘හලාල්’ විෂය සම්බන්ධයෙන් ‘යහමඟ’ ස්ථාවරය පැහැදිලි කරමින් ‘2013 මුස්ලීම්වරුන්ට තීරණාත්මක වර්ෂයක්‘ යන ලිපිය ඉදිරිපත් කරන විට එක්තරා සහෝදරයෙකු මගෙන් විමසූ මුල්ම ප්‍රශ්නය වුයේ මෙහෙම අපි ‘හලාල් සහතිකය ඉවත් කරගත්තේ නම් හෙට අපේ ඉස්ලාමීය ඇදුම් විලාසයටත් අත නොතියාවිද?’ යන්නයි. එහිදී මා ඔහුට පැවසුවේ ‘නැහැ එහෙම වෙන්නේ නැහැ ඒක අපේ ආගමික අයිතියක්’ යනුවෙනි. නමුත් දැන් අප සමාජයේ අන්තවාදී පිරිසගේ මීළඟ කුරුමානම මේ ඉස්ලාමීය ඇදුම් විලසය දෝ යන සැකය මතුවෙමින් ඇත. එයට ඉහත මත විමසුමද එක් නිදසුනකි.

මේ රටේ සුළුතරය වන මුස්ලීම්වරුන්ගේ ආගමික අයිතියක් රටේ බහුතරයකගේ මත විමසුමට ඉදිරිපත් කිරීම සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවේ. විශේෂයෙන් රටපුරා ඉස්ලාම් විරෝධි ව්‍යාපාරයන් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින අවධීයක මෙවැනි මත විමසුමක් සිදුකිරීම ඒ අන්තවාදී පිරිසට ඉනිමං බැදීමක් මෙන්ම අනුබලදීමක් මිස අන්කිසිවක් නොවේ. ඉස්ලාමීය කාන්තාව තම මුහුණ වැසිය යුතු යන්න ඇයගේ ආගමික අයිතියක්. එම අයිතිය මත විමසුමට ලක්කිරීමට කිසිවකුටත් අයිතියක් නැත. විශේෂයෙන් ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව මූලික අවබෝධයක් පවා නොමැති රටේ බහුතර‍යගෙන් මේ පිලිබදව මත විමසීම කිසිසේත් සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවේ. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස සරල නිදසුනක් ඉදිරිපත් කරන්නේ නම්, බෞද්ධ ‘භික්ෂූන් වහන්සේලා සිවුරු ඇදීම තහනම් කලයුතු ද? නැද්ද?’ යනුවෙන් මත විමසුමක් මේ සමාජය තුල කිසිවකු කරන්නේ නම්, එය සැබෑ බෞද්ධයෙකු ලෙස  කොතෙක් දුරකට ඔබ අනුමත කරන්නේද? එපමණක් නොවේ එම මත විමසුම බෞද්ධයන් ඉතා සුළුතරයක් වූ සමාජයක් මධ්‍යයේ විමසුවේ නම් එය කොතරම් සදාචාරසම්පන්න ලෙස ඔබ දකින්නේද?. සමහර විට මේ නිදසුන කියවන විටත් ඔබට මා කෙරෙහි නොසතුටක් ඇතිවීමට පුළුවන. එසේනම් රටේ වගකිවයුතු මාධ්‍ය ආයතනයක් කරනු ලබන ඉහත ක්‍රියාව බුද්ධිමත් සමාජයක් අනුමත කරන්නේ කොහොමද?

මෙහිදී සදහන් කලයුතු තවත් සුවිශේෂි කාරණයක් ඇත. ඒ වර්ථමානයේ අන්තර්ජාලය තුල කොතරම් බුද්ධිමත් සංවාදයන් හා මතවාදයන් ප්‍රකාශ වෙනවාද? යන්න මෙවැනි මත විමසුම් ඉදිරිපත් කරන පිරිස් හොදින් විමසා බැලිය යුතුය. අන්තර්ජාල භාවිතාව පිලිබදව සාමාන්‍ය බුද්ධියක් ‍හෝ තිබේ නම්, අද මඩ ව්‍යාපාරවලට හා ඕපාදුපවලට ඉදිරිපත් වන ප්‍රතිචාර හා විද්වත් ලිපිවලට ඉදිරිපත් වන ප්‍රතිචාර සංඛ්‍යාත්මක ලෙස විමසා බලන විට මෙවැනි මත විමසුමක් කොතරම් සාධාර්ණද? යන්න තීන්දු කිරීම දුෂ්කර එකක් නොවේ. එපමණක් නොවේ සිංහල මාධ්‍යය පිලිබදව මෙන්ම සිංහල මාධ්‍ය ගුවන්විදුලි වැඩසටහන් පිලිබදව අල්ප දැන්මක් හෝ නොමැති මේ රටේ බහුතර මුස්ලීම් ප්‍රජාව මේ මත විමසුමට හවුල් නොවන බව සාමාන්‍ය බුද්ධීයක් ඇති කෙනෙකු පවා හොදින් දන්නා කාරණකි. එසේ තිබිය දී මෙවැනි මත විමසුම් තුලින් ‘නෙත් එෆ් එම්’ වැනි මාධ්‍ය ආයතනයන් අපේක්ෂා කරන්නේ කුමක්ද?. සැබෑවටම මෙවැනි මත විමසුමක උවමනාව කාගෙද?

අවසාන වශයෙන් ඉහත කාරණයේ බරපතලකම හොදින් අවබෝධ කරගැනීම පිණිසත්, අප රටේ අන්තර්ජාල භාවිතය පිලිබදව ‘නෙත් එෆ් එම්’ මාධ්‍ය ආයතනය අවබෝධයක් ලබාගැනීම පිණිසත්, විශේෂයෙන් අන්තර්ජාලය තුල කොතරම් බුද්ධිමත් මතවාද ඉදිරිපත් වෙනවාද? යන්න දැන ගැනීම පිණිසත් තවත් මත විමසුම් දෙකක් ඉහත නාලිකාව සදහා ‘යහමඟ’ යෝජනාවක් කරන්නට කැමැත්තෙමි. එනම්,

  • මේ රටින් මුස්ලීම් ජනයා පිටුවහල් කලයුතුද? නැද්ද?
  • මේ රට තුල මුස්ලීම් ජනයා ඉස්ලාම් දහම ඇදහීම තහනම් කලයුතුද? නැද්ද?

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 4 යි.

  1. සුදේශ් ජයන්ත (ජෙද්ද සිට) 2013-03-04 at 11:25

    මෙවැනි මත විමසුම් වලින් ලැබෙන ප්‍රතිපල බොහෝවිට අසාර්ථක වන බව අත්දකිම් වලින් ම බොහෝ අය තේරුම් අරගෙනය් ඉන්නේ. මෙවැනි මත විමසුම් වලින් බොහෝ වගකිව යුතු ආයතන ටික කලක සිට සමාජයට බිහි කර දෙන කාඩ් බෝඩ් වීරයන් ටිකම එයට හොදම උදාහරණ ලෙස පෙන්වා දිය හැක. අනික විවිධ හේතු නිසා ගුවන් විදුලි සහ රුපවාහිනී මාද්‍යයන් ගෙන් ඈත් වී සිටින පිරිසකුත් සමාජයේ ඉන්න බව ද සිහිපත් කරනු කැමැත්තෙමි.

  2. Sudesh Jayantha 2013-03-02 at 18:04

    මෙවැනි මත විමසුම් මතින් ලබාගන්න ප්‍රතිපල වැඩි වශයෙන් අසාර්තකය්. උදාහරණ කියන්නට උවමනා නැහැ. විශේෂයෙන් ම ගුවන් විදුලි සහ රුපවාහිනී නාලිකා මගින් මෑතකදී සමාජයට දායාද කරලා දුන්න කාඩ් බෝඩ් වීරයන් රොත්ත ගැන සිහිකරලා බැලුවම සත්‍ය ඉතා පහසුවෙන් වටහා ගත හැක . එවැනි ප්‍රතිපල වල නාමයෙන්ම ගුවන් විදුලි සහ රුපවාහිනී භාවිතය අතහැරලා දාපු මම වැනි අයගේ මත වලට ඇති ඉඩ පහසුව කුමක්ද ?

  3. Akbar 2013-02-25 at 05:04

    මොහොමඩ් සබ්ප්‍රාස් නම් මුස්ලිම් ජාතික දරුවකු තලංගම නාභීත නමින් සසුන්ගත වී තිබේ. කොස්වත්ත දුටුගැමුණු මාවතේ පදිංචි මේ දරුවා මොහොමඩ් අනිසා සෙනුල් මහතාගේ තෙවන දරුවා වන අතර ඔහුගේ පූර්ණ ආශිර්වාදයෙන් මේ සසුන්ගත කිරීම සිදු කර තිබේ.

    කොස්වත්ත අටේ කණුව ලුම්බිණි විවේක සේනාසනයේදී අමරපුර දමලි සිරිසුමන පාර්ශ්වයේ අනුනායක ශ්‍රී දෙව්රම් විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ අනුශාසකත්වයෙන් එහි විහාරාධිපති තලවතුගොඩ ශ්‍රී සද්ධා මංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේ 24 වැනි සාමනේර හිමි වශයෙන් සසුනට එක්වූහ.

    • අබූ අර්ශද් 2013-02-25 at 17:08

      මෙහි වැදගත් වන්නේ මුස්ලීම් ජාතිකයෙකු බුදුදහම වැලද ගැනීම හෝ බෞද්ධයෙකු ඉස්ලාම් දහම වැලද ගැනීම නොව එය කොතරම් අවබෝධයෙන් සිදුකරනවා ද? යන්නයි. බුද්ධිමත් තීන්දුව ඔබට බාරයි.!!!

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *