අල්ලාහ්ගේ දූතයාණන් හා සම්මුඛ සාකච්චා

0

සම්මුඛ සාකච්චාවක් යයි කියූ සැනින් බොහෝ විට ඔබේ මතකයට එන්නේ පුවත්පත්, රූපවාහිනි, ගුවන්විදුලි… යනාදී මාධ්‍යයන් තුල නිතර සිදු කරනු ලබන සංවාද හමු සහා සාකච්චා අවස්ථාවන්ය. විශේෂයෙන් අප සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් එනම්, දේශපාලඥයින්, කලාකරුවන්, ක්‍රීඩකයින්… යනාදී පිරිස් සම්බන්ධ කරගෙන කරනු ලබන සම්මුඛ සාකච්චා දුලභ අවස්ථාවක් නම් නොවේ. එසේ වුවද මෙවැනි සම්මුඛ සාකච්චා තුල ඔවුන් කනබොන දෑ, යනඑන හා ප්‍රියමනාප තැන්, පාවිච්චි කරන දෑ… යනාදි නිශ්පල විෂයන් සාකච්චා වනවා මිස විද්වත් සාකච්චා හෝ සාමාජයට ආදර්ශමත් සාකච්චාවන් ඒ තුල සිදුවීමඉතා දුලභ කාරණයකි. මෙවැනි සමාජ පසුබිමක මෙම ලිපිය හරහා අද ‘යහමඟ’ අඩවිය තුලින් ඉදිරිපත් කරන්නට උත්සාහ කරන්නේ කරන්නේ කාලීන වශයෙන් සමාජයට ඉතා අගනා මඟපෙන්වීමක් හා ආදර්ශයක් ලබාදෙමින් ලෝක ඉතිහාසයේ ඉමහත් පෙරලියක් ඇති කල උතුම් ශාස්තෘවරයෙකු මෙන්ම දේව වක්තෘවරයෙකු ද වන මුහම්මද් (සල්) තුමාණන්වතම සමකාලීන අනුගාමික මිතුරන් වන ‘සහාභාවරුන්’ සම්මුඛ සාකච්චාවන්ට භාජනය කල ආකාරයත් ඒ තුල සාකච්චාවට බඳුන් කල විෂයන් කාරණාවන් මොනවාද? යන්නත් පිලිබදවයි.

කිසිදා සිප්හලකට පා නොතැබූ කිසි දිනෙක කිසිදු ආකාරයේ ශිල්ප ශාස්ත්‍රයක් නොහැදෑරූ ‘උම්මි’ (ලියන්න කියවන්න (සාක්ෂරතා ඥානය ශූන්‍ය) නබි (හෙවත් දේව වක්තෘවරයාණන්) වන මුහම්මද් (සල්) තුමාණන් මීට වසර 1400 කට පෙර ලෝකයාට ‘ඉස්ලාම්’ තුලින් ලබාදුන් ආදර්ශය අසමසමය. එතුමාණන්ගේ ඉගෙන්වීමන් සමාජයට කල බලපෑම කොතරම්ද? යන්න පවසනවා නම්, කිසි දිනෙක සිප්හලක පය නොතැබූ එතුමාණන් අද විද්වත් ගවේෂණ කෘතිවල හා විශ්ව විද්‍යාලවල ප්‍රධාන මාතෘකාවකි. එදා එතුමාණන් නිර්මාණය කල සමාජය සාරධර්ම, සංස්කෘතිය, දේශපාලනය… යනාදී ලෙස සියළු ක්ෂේත්‍රයන්හිම ලෝක ඉතිහාසය තුල කිසිවකුටත් කිසිවිට ආයාසයෙන් වුවද මඟහැර යා නොහැකි තරම් අති ප්‍රබලය. එයට ‘මයික් එච් හාට්’ නම් ඉතිහාස ගවේෂකයාගේ ‘ද 100’ නම් කෘතියෙන් ලබාදෙන සහතිකය සමීපතම නිදසුනකි. ඊට අමතරව පහත විද්වත් මතද එයට හොදින් සාක්ෂි දරයි. එනම්,

  • ලොවට ප්‍රබල බලපෑම් ඇතිකළ පුද්ගලයන් සියක් දෙනාගේ ලයිස්තුවෙහි මුහම්මද්ටප්‍රමුඛ තැන ලබාදීමේ මාගේ තේරීම සමහරුන්ව පුදුමයට පත් කරන්නට ඉඩ ඇති අතරතවත් සමහරු ප්‍රශ්ණ කිරීමට ද ඉඩ ඇත. නමුත් ඉතිහාසයේ ලෞකික හා ආගමික යන අංශදෙකෙහිම සුපිරී සාර්ථකත්වක් අත්කරගත් එකම පුද්ගලයා ඔහු පමණි.- Michael H. Hart, The 100: A Ranking of the Most Influential Persons in History, New York: Hart Publishing Company, Inc. 1978, p. 33′
  • මානව ඉතිහාසයේ ඉස්ලාම් දහම තරම් වේගයෙන් වෙන කිසිඳු දහමක් පැතිරුනේ නැත. මෙලෙස විය හැක්කේ අසිපතින් බව බටහිර රටවල් පුළුල්ව විශ්වාස කිරති. නමුත් කිසිඳු නූතන උගතේක් එය පිළි‍නොගනී.පෞද්ගලික නිදහස කෙරෙහි කුර්ආනය මූලික තැනක් දෙන බව එහි වැකි වලින් පැහැදිලි වේ M.K.Gandhi, YOUNG INDIA, 1924
  • ඔහු සීසර්ගේ හා පාප් වහන්සේගේ චරිතයන් ඒක පුද්ගලව නිරූපණය කරයි.එහෙත් ඔහු පාප වහන්සේගේ මෙන් ව්‍යාජ සමාර්ථයන් නොමැති පාප් වහන්සේ කෙනෙකි. සීසර් සතු මෙන් විශාල සේනාවක් නොමැති සීසර් කෙනෙකි. හමුදාවක් ආරක්ෂක පොලිස් නිලධාරීන් හා ස්ථිර වැටුපක් ද ඔහුට නොවීය. කිසිවෙකු දේව වරමකින් ලොව පාලනය කළේ නම් ඒ මුහම්මද් ය. කිසිවෙකුගේ සහයක් නොමැතිවම ඔහු බලවත් විය.එමෙන්ම බලය තහවුරු කර ගැනීමට උත්සාහ දැරුවේද නැත. – Rev. Bosworth Smith, Mohammed and Mohammadanism, London 1874
  • ඉස්ලාම් පුජක භාවය වෙනුවට මනුෂ්ත්භාවය ස්ථාපන කලේය. මේ මගින් මානව සංහතියට සහෝදරත්වයත්, මනුෂ්‍ය ස්වභාවයේ මුලිකාංග පිලිගැනීමක්ද සිදුකෙරේ.- Arnold”.
  • මිතුරන්ට ආධුනිකයින්ටත් දනවතුන්ට මෙන්ම දුගී අයටත්, බලවතුන්ට මෙන්ම දුර්වල අයටත් එක‍ සේ සැලකූ අතර පොදුජනතාව පිළිගෙන ඔවුන්ගේ පැමිණිලි වලට ප්‍රියමනාපව සවන්දීමෙන් පොදුජනතාවගේ ආදරය ඉහලින්ම දිනා සිටියේය. ඔහුගේ හමුදා ජයග්‍රහණ තම ආත්මාර්ථකාමී ඉලක්කයන් සපුරාගැනීමට කළ ඒවා නොවන අතර, ඒවා කිසිඳු ආඩම්බරයකට හෝ අනව්‍ය පැසසුමකට තුඩු දුන්නේ නැත. ඔහු ඉතා බලවත් වූ අවස්ථාවේදීත් ආරම්භයේදී පීඩාකාරී තත්ත්වයේ සිටියදී ඔහු සතු වූ සරල බව නොවෙනස්ව තිබිණි. කුමන උත්කෘෂ්ඨ ස්ථානයකදී වුවත් එහි ඇතුල් වන විට අනව්‍ය හරසර හා ගරුබුහුමන් පෙන්වීම ඔහු ප්‍රිය කළේ නැත. – වොෂින්ටන් ආර්විං – Muhammad and his success
  • රාජකීය පණ්ඩිත තල්ගම්පල පදුම හිමියන් මෙසේ පවසයි – මුහම්මත් තුමා හට දේවදූත මෙහෙවර ලැබුණාට පසු ආගම ප්‍රචාරය කිරීමේ දී එයට විරුද්ධව කුරෛෂි ගෝත්‍රිකයෝ නැගී සිටියහ. මුහම්මත්තුමා සහ අනුගාමිකයන්ට විවිධ වධහිංසා පමුණුවන්නට පෙළඹුණේය. ඒ අවස්ථාවේ දී මුහම්මත්තුමාගේ අනුගාමකයන් විරුද්ධවාදින් සමඟ සටන් කිරීමට මුහම්මත්තුමාගෙන් අවසර ඉල්ලූවේය. නමුත් මුහම්මත්තුමා එයට එකඟ වුයේ නැත. තමන්ගේ ප්‍රචාරක කටයුතු අවිහිංසාවෙන් ම කලේය !,
  • ඉස්ලාමය ඉස්තරම්ම දායාදයකි. වත්මන් ලොවේ සිදුවෙමින් පවත්නා සිද්ධින් ගැන සැලකීමේදී ඉස්ලාමීය ශීලය දැවෙන අවශ්‍යතාවයක් වී ඇත!A.J Toynbee

දියුණුවේ ඉනිපෙත්තෙහි සිටිනා බව වහසිබස් දොඩන නූතන සමාජය මෙහිදී අවංක ලෙස විමසා බැලිය යුතු කාරණයක් ඇත. එනම්, මීට වසර 1400 කට පෙර නොදියුණු යුගයක, කාන්තාරයක් මධ්‍යයේ ජීවත් වූ සාක්ෂරතා ඥානය පවා ශුන්‍ය වූ මුහම්මද්ගේ ඉගෙන්වීමන් හා ආදර්ශයන්ඉහත ආකාරයට නූතන විද්වත් අවදානය දිනාගැනීමට තරම් ප්‍රබල වූයේ කෙසේද? යන්නයි. විශේෂයෙන් වර්ථමානයේ ‘පාළුගෙදර වලං බිඳින‘ ඉස්ලාම් විරෝධි ඊනියා විද්වතුන් දැන්වත් විමසා බැලිය යුතුනොවේද?. මේ විෂය හොදින්, ගැඹූරින්, සාධාර්ණවහා සමබරව කිසිවකු ගවේෂණය කරන්නේ නම්, ඒ තුල අණාවර්ණය වන බොහෝ සත්‍යයන් දකිනු ඇත. මෙම ‘යහමඟ’ අඩවිය තුල මීට ඉහත සාකච්චා කල  එවැනි ලිපි මෙන්ම මෙතැන් සිට සාකච්චා ඇරඹෙන ‘අල්ලාහ් (දෙවි)ගේ දූතයා මුහම්මද් (සල්) තුමාණන්සමඟ කල සම්මුඛ සාකච්චා’ නම් මෙම ලිපි මාලාව ද ඒ සදහා ඔබට ඉමහත් පිටුවහලක් වනු ඇත.

ඒ සදහා සියළුදෙනාට නුවණැස පෑදේවා! යන ප්‍රාර්ථනාව අල්ලාහ් (දෙවි) හමුවේ තබමින් මෙම ලිපිමාලාව සදහා මුලපුරන්නේ අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් (දේවදූතයාණන්) වන ‘ජිබ්රීල්’ (හෙවත් බයිබලේ සදහන් ආකාරයට ‘ගේබ්‍රියෙල්’) තුමා මුහම්මද් (සල්) තුමාණන් සමඟ කල සම්මුඛ සාකච්චාවක් ‘යහමඟ’ පාඨක ඔබේ ප්‍රථම අවදානයට තබමිනි.

එය මෙසේය…

  • ප්‍රශ්නය – මුහම්මද් !, මා හට ඉස්ලාම් ගැන පවසන්න?
  • පිලිතුර – ‘අල්ලාහ් හැර ‍නැමදුමට සුදුසු අන් කිසිවකු නැත. මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන්ය’ යනුවෙන් සාක්ෂි දැරීම ඉස්ලාම් වේ. තවද ‘සලාතය‘ අඛණ්ඩව ඉටු කිරීමත්, ‘සකාත්‘ නම් දුප්පතුන් සදහා වූ බද්ධ නිසි ආකාරව ගෙවීමත්, රමලාන් (උපවාස) මාසයේ උපවාසයේ නිරතවීමත්, වත්කමක් තිබුණේ නම් ශුද්ධ වූ දෙව්මැදුර වන කව්බාව වෙත ගොස් හජ් වන්දනය ඉටුකිරීමත් ඉස්ලාම් වේ.
  • ප්‍රශ්නය – ඔබ සත්‍යය ම පැවසුවා, මීළඟට ‘ඊමාන් යනු කුමක්ද?’ යන්න මට පැහැදිලි කරන්න ?.
  • පිලිතුර – අල්ලාහ්, ඔහුගේ දූතයන් (මලැක්වරුන් හෙවත් දේවදූතයන්), ඔහුගේ දහමන්, ඔහුගේ දූතයන් (වන වක්තෘ හෙවත් නබිවරුන්), (මරණින් මතු උදාවන) විනිශ්චය දිනය, (අල්ලාහ් (දෙවි)) ඔහු විසින් නිර්ණය කොට ඇති පෙර නියමයන් (හෙවත් ‘කද්ර්’) කෙරෙහි පූර්ණ ලෙස විශ්වාසය තැබීම ‘ඊමාන්’ වේ.
  • ප්‍රශ්නය – ඔබ සත්‍යය ම පැවසුවා, මීළඟට ‘ඉස්ලාම්’ ගැන මට ටිකක් පැහැදිලි කරන්න?.
  • පිලිතුර – අල්ලාහ් (දෙවි) නැමදුම් කලයුතුයි. ඔබ, ඔහුව නොදුටුව ද ඔහු, ඔබව නිරීක්ෂණය කරනවා යන සිතුවිල්ලෙන් නැමදුම් ඉටුකල යුතුවේ. මෙය තමා ‘ඉස්ලාම්’ යන්නෙහි විවරණයඉ වන්නේ.
  • ප්‍රශ්නය – (‍යුග අවසන් දිනය හෙවත්) ‘කියාමත්’ දිනය පිලිබදව මා හට කෙටියෙන් පවසන්න?
  • පිලිතුර – මේ සම්බන්ධයෙන් විමසන්නාට වඩා පිලිතුරු සපයන්න අධික නුවණැත්තෙකු නොවේ.
  • ප්‍රශ්නය – හරි එසේනම්, එම ‘කියාමත්’දිනයේ සලකුණු කිහිපයක් මට පවසන්න?
  • පිලිතුරු – (එම වකවානුවේ) වහල් කාන්තාවක් තම හාම්පුතාව පිලිසිඳ ගනීවි. තවද පාවහන් නොපලදින,එසේම අර්ධව වස්ත්‍ර ඇදි ගොපළු පිරිස් විශාල මාලිගාවල හිඳ ආඩම්බර ලීලාවෙන් දොඩමළු වනවා ඔබ දකිනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

මුහම්මද් (සල්) තුමාණන් තම පරිවාරක හිතමිතුරන් පිරිවරා සිටින අවස්ථාවක එතැනට මිනිස් වෙසින් පැමිණි ජිබ්රීල් (අලෛ) තුමා එතැන සිටී පිරිසට ඉස්ලාම් හා ඊමාන් පිලිබදව පාඩම කියාදීම පිණිස මුහම්මද් (සල්) තුමාගෙන් ප්‍රශ්න කල ආකාරයත් එයට මුහම්මද් (සල්) තුමාණන් පිලිතුරු ලබාදුන් ආකාරයත් තමා ඉහතින් සම්මුඛ සාකච්චාවක් ලෙස ඔබ දුටුවේ. මෙලෙස දේවදූතයෙකු විසින් දේව වක්තෘවරයෙකු සම්මුඛ සාකච්චාවට බඳුන් කල ඉතිහාසයක් ලෝක ඉතිහාසයේ ඉස්ලාම් දහම තුල මිස අන් කිසිදු තැනක මා දන්නා තරමින් දැක නැත. ‘අල්ලාහ්ගේ දූතයාණන් සමඟ සම්මුඛ සාකච්චාවක්‘ යන මෙම මාතෘකාවට පිවිසුමක් ලෙස ‘හදීස් ජ්බ්රීල්’ ලෙස හදුන්වන මෙම හදීසය ඉහතින් ඉදිරිපත් කොට ඇතත් මෙහි ඉදිරිපත් කොට ඇත්තේ එහි කොටසක් පමණි. මෙහි සම්පූර්ණ හදීසය මුස්ලීම් නම් හදීස් ග්‍රන්ථයේ ‘ඊමාන්’ නම් පරිච්චේදය යටතේපූර්ණ වශයෙන් ඔබට කියවීමට පුළුවන් බව මෙහි අමතර  කාරණයක් ලෙස සටහන් කරමි.

මෙලෙස ඇරඹෙන මෙම ලිපි මාලාව තුලින් අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් සමඟ තම හිතමිතුරු මෙන්ම අනුගාමික ‘සහාභාවරු‘ විවිධ අවස්ථාවල කල සම්මුඛ සාකච්චාවන් මෙලෙස ඔබේ විමසුමට ගෙන එන්නට අදහස් කරන්නේ හුදෙක් එය රසවිඳීමට හෝ කියවා විශ්මයට පත්ව කථා කිරීමට නොව එවකට පැවති ඒ නොදියුණු සමාජය ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව කොතරම් උනන්දුවෙන් හා සැලකිල්ලෙන් කටයුතු කලාද එය තම ජීවිතවලට ගලපාගන්න කොතරම් උනන්දු වුවාද යන්න නූතන සමාජයට අවදාරණය කිරීම පිණිස හා වර්ථමාන ලොව තුල සිදුවන නිෂ්පල සම්මුඛ සාකච්චා හමුවේ එදා මුස්ලීම්වරුන් නබිතුමාණන් සමඟ කල සම්මුඛ සාකච්චාවන් කොතරම් ආදර්ශමත් ද යන්න සමාජයට හේතු ගැන්වීම පිණිසය. ඒ සදහා වූ මේ ඇරඹුම යහ ඇරඹුමක්ම වේවා! යන ප්‍රාර්ථනය ඔබෙන් පතමින් මේ ලිපියට කෙටි විරාමයක් තබමි.

මෙවැනි සාකච්චාවන් ඉදිරිරියේ දී කියවන්න පහත link එක Click කරන්න.

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් සමඟ කල සම්මුඛ සාකච්චා පෙලගැසීම !

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *