අල්ලාහ් දෙවි සිටින්නේ කොහිද? ඔහු මොන වගේද?

1

අල්ලාහ් දෙවි පිලිබදව වූ විශ්වාසයඉස්ලාම් දහම තුල සෑම මුස්ලිම්වරයෙකුම විශ්වාස කලයුතු කරුණූ 06ක් ඇත. ඒ අතුරින් පලමු හා ප්‍රධාන කාරණය වන්නේ දෙවියන් පිලිබදව වූ විශ්වාසයයි. මෙම විශ්වාසය අද මුස්ලිම් සමාජය “අල්ලාහ් නම් දෙවියෙක් සිටී, ඔහු තමා අපේ එකම දෙවියා” යන ඉතා සරල කාරණයකට කොටු කොට ඇත. මෙලෙස සරල ලෙස ඉස්ලාම් පවසන දේව සංකල්පය පිලිගැනීම සැබෑ වූ දේව විශ්වාසයක් නොවේ. මේ පවසන ආකාරයේ විශ්වාසය එදා මුහම්මද් (සල්) තුමාණන් ඉස්ලාම් ප්‍රකාශ කල (ජාහිලියා) අඥාන සමාජයේ ද ‍පැවතුණි. විටෙක වර්ථමානයට වඩා හොදින් පැවතුණි. නමුත් එම විශ්වාසය පැවතුණූ පමණින් ඔවුන් මුස්ලිම් වුයේ නැත. එය පහත සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් ඔබට හොදින් අවබෝධ කරගත හැකි වනු ඇත. එනම්,

“…(මුස්ලිම් නොවන) ඔවුන් නැවෙහි නැඟ සුළ‍ඟ හේතුවෙන් මුහුදෙහි වේගයෙන් ඇදී යන විට සතුටට පත්වන අතර චණ්ඩමාරුතයක් හමන්නට පටන‍්ගෙන විවිධ දිශවෙන් මුහුදු රළ ද ඔවුන් වෙත ඇදී එන විට ‘මෙයින් ගැලවීමට කිසිදු මඟක් නැතැයි’ සිතෙන කල්හි ‘අපේ හිමියනේ! මෙයින් අපව ආරක්ෂා කර ගතහොත් නියත වශයෙන්ම අපි ඔබට සදාකල් ස්තූති වන්තව සිටින්නෙමු’ යයි කැළඹුණූ සිතෙතිව අල්ලාහ් (දෙවියන්ට) ඉතා අවනතව ප්‍රාර්ථනා කරන්නෝය.”

ශුද්ධ වූ කුර්ආනය 10-22

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයෙන් පවසන්නේ අල්ලාහ් දෙවියන් පිලිගෙන ඔහුට අවනතව ජීවත් වූ මුස්ලිම් සමාජයේ ක්‍රියා කලාපයන් නොව ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කල අඥාන සමාජයේ ක්‍රියා කලාපයයි. මේ අනුව පැහැදිලි වන ප්‍රධාන කාරණය නම් ඉස්ලාම් ප්‍රතික්ෂේප කල ඒ අඥාන සමාජයේ පවා අල්ලාහ් (දෙවියන්) පිලිබදව දැඩි විශ්වාසයක් පැවතී බවයි. ඒ හේතුව නිසා තමා තීරණාත්මක අවස්ථාවන් හි ඔවුන් අල්ලාහ් (දෙවි) පිහිට පතන්නට උනන්දු වුයේ. එවන් වූ එදා ජාහිලියා සමාජය සමඟ වර්ථමාන මුස්ලිම් සමාජයේ ක්‍රියා කලාපයන් මොහොතක් බුද්ධිමත් ලෙස සංසන්දනය කර බලන්න. වර්ථමානයේ බොහෝ මුස්ලිම්වරුන් තීරණාත්මක අවස්ථාවල අල්ලාහ් (දෙවි) අමතක කොට විවිධ වූ මිත්‍යාවන් පිටුපස දිවයෑම සුලභ දසුනක් වී නොවේද?. මෙම තත්වයට හේතුව එදා ඒ ජාහිලියා සමාජය අල්ලාහ් (දෙවි) අවබෝධ කරගත් ආකාරයටවත් වර්ථමාන මුස්ලිම් සමාජය අල්ලාහ් (දෙවි) අවබෝධ කරගැනීම අතපසු කර තිබීම නොවේද?. මෙහි විපාකය අද වනවිට ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ අප සමාජයේ විහිදී පවතී. එනම්,

  • මුස්ලිම් සමාජයට අල්ලාහ් (දෙවි) පිලිබදව නිසි අවබෝධයක් නොමැති වීම තුල ඔවුන් විවිධ මිත්‍යා විශ්වාසයන් තුල කොටුවීම.
  • මුස්ලිම් සමාජය තුලින් ඉස්ලාම් දකින මුස්ලිම් නොවන සහෝදර ප්‍රජාවට අල්ලාහ් (දෙවි) පිලිබදව පූර්ණ අවබෝධයක් නැතිවීම මෙන්ම අල්ලාහ් (දෙවි) පිලිබදව විකෘති වූ මතවාදයන් ඇතිව ඉස්ලාමීය දේව සංකල්පය විවේචනය කිරීම.

ඒ අනුව අල්ලාහ් (දෙවියන්) නිවරුදි ලෙස හදුනා ගැනීම සෑම මුස්ලිම්වරයෙකු කෙරෙහිම අනිවාර්‍ය මෙන්ම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. මෙම තත්වය යහමඟ අඩවිය හොදින් අවබෝධ කරගත් නිසා තමා ඉස්ලාමීය දේව සංකල්පය පිලිබදව විවිධ පැතකඩ ඔස්සේ විවිධ අවස්ථාවල මෙම අඩවිය තුල සාකච්චාවට ගැනෙන්නේ. එවැනි ලිපි කිහිපයක් ඔබගේ අවධානයට නැවත ගෙන එන්නේ නම්,

මෙම විෂය ඉහත ආකාරයේ ලිපි කිහිපයකට සීමා කලහැකි සරල විෂයක් නොවේ. ඉස්ලාම් පවසන දේව සංකල්පය “අල්ලාහ් නම් දෙවියෙක් සිටී” යන සරල වූ විශ්වාසයක් තුල කොටු කලහැකි කාරණයක් ද නොවන බව ඉහතින් ද අවධාරණය කලෙමි. අල්ලාහ් (දෙවි) විශ්වාස කරනවා යනු ඔහුගේ බලය, හැකියාව, ශක්තීන්, ගුණාංග… යනාදී සියල්ල පරිපූර්ණ ලෙස විශ්වාස කිරීමයි. ඉස්ලාම් දහම ඒක දේව සංකල්පය මත පදනම් වූ එය දැඩිව අවධාරණය කරන දහමක් යන්නත්, (අල්ලාහ් (දෙවි)) ඔහුගේ ගුණාංග හා ශක්තීන් ඔහුගේ මැවීමන්ට ආරූඪ කොට හෝ සමාන කොට කථා කිරීම ඔහු දැඩිව ප්‍රතික්ෂේප කරන (ශිර්ක්) මහා පාපයක් යන්නත්, මීට ඉහත ලිපිවල සාකච්චා කලෙමු. ඒ සියල්ල ඒ ආකාරයට පිලිගැනීම හා විශ්වාස කිරීම සෑම මුස්ලිම්වරයෙකු කෙරෙහිම අනිවාර්‍ය වගකීමක් වන අතර එසේ අල්ලාහ් (දෙවි) පිලිබදව වූ විශ්වාසයන් ගොඩනැඟීමේ දී මුස්ලිම් මෙන්ම මුස්ලිම් නොවන සමාජයේ බහුතරයකට ඇති වන කුතුහලාත්මක කාරණයක් මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි. ඒ “අල්ලාහ් දෙවියන් සිටින්නේ කොහිද? ඔහු මොනවගේද?” යන්න එම කාරණයයි. මෙය මුස්ලිම් සමාජයේ බහුතරයක් පිරිස් කථා කිරීමට මැලිවන සංකීර්ණ විෂයක් වුවත්, ශ්‍රී ලංකාව වැනි බහු ආගමික හා බහු දේව විශ්වාසයන් පවතින රටක අනිවාර්‍යයෙන්ම කථා කලයුතු විෂයක් යන්න කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. එසේම මෙම විෂය මෙලෙස සාකච්චාවට ගැනීමට බලපෑ තවත් හේතූන් ද කිහිපයක් ඇත. ඒ පසුගිය කාලවල අප රට තුල ඉස්ලාම් පවසන අල්ලාහ් (දෙවි) සම්බන්ධයෙන් සමාජගත වූ විවිධ මතවාදයන් හේතුවෙනි. එනම්,

  • බහුතර මුස්ලිම් නොවන ප්‍රජාවට මෙන්ම මුස්ලිම්වරුන් අතුරින් සුළුතරයකට අල්ලාහ් (දෙවි) සිටින්නේ කොහිද? යනුවෙන් ඇති කුතුහලය. ඒ පිරිස සදහා ද මෙම කාරණය පැහැදිලි කලයුතුව ඇත.
  • “…හඳට මිනිසා ගොඩ බැසීමෙන් ඉස්ලාමීය දේවවාදය මුසාවක් වී ඇත…” යනුවෙන් හා …”මුස්ලිම්වරුන්ගේ දෙවියන් සිටින්නේ හඳ එමනිසා තම ඒ පිරිස හඳට මුල්තැන දෙන්නේ…” මේ පසුගිය කාලවල අප රටේ ජාතික පුවත්පත්වල හා යහමඟ අඩවියට යොමු වූ අභියෝගයන්ය. මෙවැනි මතවාද දරණ පිරිස සදහා පිලිතුරු ලබාදිය යුතුව ඇත.
  • “අල්ලාහ් (දෙවියන්) යනු ඔහු මායාවක් ඔහුට නිශ්චිත තැනක් හෝ ස්වරූපයක් නැත. ඔහු හැම තැනම සෑම ස්වරූපයකින් සිටී. අපි දකින සියල්ල අල්ලාහ් (දෙවි) තමා…” මේ මුස්ලිම් සමාජයේම එක්තරා පාර්ශවයක් “වහ්ජතුල් වුජූද්” නමින් දෙවියන් සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය තුල වපුරවන ඉතා භයානක මතවාදයකි. (මෙය ග්‍රීකවරුන් තම දෙවියන් සම්බන්ධයෙන් ඇති කරගත් මතවාදයක් වන අතර එය මුස්ලිම් සමාජය ද බිලිගෙන ඇත) මෙවැනි මතවාදීන් සදහා ද මෙම විෂය පිලිබදව කථා කලයුතුව ඇත.

මෙවැනි කාරණා රාශියක් හේතුකොටගෙන “අල්ලාහ් (දෙවි) සිටින්නේ කොහිද? ඔහු මොනවගේද?” යන කාරණය වෙත දැන් අවධානය යොමු කරන්නේ නම්,

මනුෂ්‍යා සදහා වූ ආහාර, නිවාස… වැනි මූලික අවශ්‍යතාවයන් පවතිනවා සේම ඉස්ලාම් පවසන දෙවියන් සදහා අවැනි අවශ්‍යතාවයන් ඇති නොවන බව පිලිගැනීම දේව විශ්වාසයේ මූලික අංගයකි. මන්ද අවශ්‍යතාවය යනු දුර්වලතාවයක් වන නිසාත්, ඉස්ලාම් පවසන දෙවියන් සියළුම ආකාරයේ දුර්වලතාවයන්ගෙන් සුවිශුද්ධ නිසාත් දෙවියන් හට අවශ්‍යතාවයන් ඇති නොවේ. (මේ පිලිබදව දීර්ඝ ලෙස මීට ඉහත ඉස්ලාම් පවසන දේව වාදය යන ලිපියෙන් සාකච්චා කොට ඇත) ඒ අනුව ඔහු සිටීමට නිෂ්චිත තැනක අවශ්‍යතාවය ඇති නොවන බව මෙහිදී පැහැදිලි ලෙස වටහා ගතහැකි වේ. එය එසේ වුවද ඉස්ලාම් දහම දෙවියන් සිටින ස්ථානය පිලිබදව නිෂ්චිත කර කරුණූ පවසයි. ඒ පිලිබදව ආගමික මූලාශ්‍රයන් වන ශුද්ධ වූ කුර්ආනය හා හදීසය තුලින් ඔබේ අවධානයට කරුණූ ගෙන එන්නේ නම්,

“අහසෙහි සිටින්නා, ඔබලාව පොළවෙහි ගිලෙන්නට නොසලස්වන්නෙහි යැයි ඔබලා නොබියව සිටින්නෙහුද?…”

ශුද්ධ වූ කුර්ආන් 67-16

” ‘අර්රහ්මාන්’ (මෙය දෙවියන් හදුන්වන නමක් වන අතර එහි අරුථ ‘පරමදයාලු’ යන්නයි) අර්ෂය මත අසුන්ගත්තේය.”

ශුද්ධ වූ කුර්ආනය 20-5

“මුහම්මද් (සල්) තුමාණන් වරක් එක්තරා වහල් ස්ත‍්‍රීයකගෙන් ‘අල්ලාහ් සිටින්නේ කොහිද?’ යනුවෙන් විමසන ලදී. එයට ඇය ‘අල්ලාහ් අහසේ සිටින්නේය‘ යැයි පැවසුවේය. ඉන්පසු නබිතුමාණන් ‘මම කවුද?’ යනුවෙන් ඇයගෙන් විමසුවේය. එයට ඇය ‘ඔබ අල්ලාහ්ගේ වක්තෘවරයාණන්’ යයි පැවසුවේය. එවිට නබිතුමාණන් ‘ඇය මූමීන් (සෑබෑ මුස්ලිම්) කාන්තාවක් ඇයව නිදහස් කරන්න’ යයි ඇයගේ ස්වාමියාට අණ කලේය.”

මූලාශ්‍ර ග‍්‍රන්ථය – මුස්ලිම්

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් හා හදීසයන් බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම් ඉහතින් සදහන් තුන් වන මතවාදය පදනම් විරහිත වාදයක් යන්නත්, දෙවියන් සදහා නිශ්චිත ඉසව්වක් තිබෙන බවත් පැහැදිලි වේ. එය 67-16 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් “අහස” යන්නත්, 20-5 ශුද්ධ වූ කුර්ආන් මඟින් “අර්ෂ්” යන්නත් පැවසේ. දැන් මෙහිදී කුතුහලයක් ඇති වීමට පුළුවන. ඒ “අහස” හා “අර්ෂ්” යන්න එකක්ද? නොඑසේ නම් දෙකක්? යන්නයි. ඒ දෙකම එකක් නම් ගැටළුවක් ඇති නොවන අතර ඒ දෙක දෙකක් නම් එහි තවත් ගැටළු රාශියක් මතුවේ. එහි මතුවන ප්‍රධාන ගැටළුව නම් ඉහත 67-16 හා 20-5 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් දෙක පරස්පර නොවේද? යන්නයි. ශුද්ධ වූ කුර්ආනයේ එවැනි පරස්පරතාවයන් පැවතිය නොහැක. මන්ද දෙවියන්ගේ වාක්‍යයන් තුල වැරදීම්, අතපසුවීම් හෝ නොගැලපීම් කිසිවිටෙක සිදුවිය නොහැකි බැවිණි. (මේ පිලිබදව දීර්ඝ ලෙස ශුද්ධ වූ ග්‍රන්ථ හා එහි වලංගුභාවය යන ලිපියෙන් මීට පෙර සාකච්චා කොට ඇත) එසේ සිදුවන්නේ නම් එය දිව්‍යමය වචනයක් නොවනවා යන්නෙහි කිසිදු මුස්ලීම්වරයෙකුට දෙවැනි මතයක්ද? නැත. එම කාරණය ද මතකයේ රදවාගෙන නැවතත් මාතෘකාවට යොමු වුයේ නම්, ඉහතින් සදහන් වචන දෙක “අහස” හා “අර්ෂ්” යන්නයි. මෙහි අහස යනු කුමක්ද? යන්න පිලිබදව අපට විග්‍රහයක් අවශ්‍ය නොවේ. මන්ද ඒ පිලිබදව පැහැදිලි අවබෝධයක් සෑම කෙනෙකුහටම තිබෙන බැවිණි. නමුත් “අර්ෂ්” යන වචනය සැලකූවිට මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයේ පවා බහුතරයකට පැහැදිලි අවබෝධයක් නැත. මේ හේතුව නිසා ප්‍රථමයෙන් “අර්ෂ්” යනු කුමක්ද? යන්න විමසා බලන්නේ නම්,

මෙය අරාබි භාෂාවේ එන වචනයක් වන අතර එහි වචනාරුථය “සිංහාසනය” යන්නයි. මේ පිලිබදව ඉස්ලාම් දහම එහි මූලාශ්‍රයන් තුලින් පවසන අර්ථය දැන් විමසා බලන්නේ නම්,

“සත් අහසට ද ශ්‍රේෂ්ඨ වූ අර්ෂයටද අධිපති කවුරුන්දැයි අසනු (මැනව)! (ඔවුන්) අල්ලාහ් යයි පවසනු ඇත.”

ශුද්ධ වූ කුර්ආන් 23-86, 87

“එදින (මුහම්මද්) ඔබගේ දෙවිගේ අර්ෂය (මලායිකාවරු) අටදෙනෙක් ඔවුන්ට ඉහලින් ඔසවාගෙන සිටින්නෝය.”

ශුද්ධ වූ කුර්ආන් 69-17

ඉහත 23-86 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව “අහස” හා “අර්ෂ” යන්න එකක් නොව දෙකක් යන්න පැහැදිලිය. එසේම එම “අර්ෂය” නම් තැන අහසෙහි තිබෙන බව ඉහත සදහන් 67-16 ශුද්ධ වූ කුර්ආන් මෙන්ම “මුස්ලීම්” ග්‍රන්ථයේ සදහන් “හදිසය” මඟින් ද පැහැදිලි වේ. එපමණක් නොව එම අර්ෂය මත තමා දෙවියන් වැඩ හිඳින බව ඉහත 20-5 හා 69-17 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් පැහැදිලි වේ. මෙහි දී තවත් කුතුහලයක් ඔබට ඇති වනු ඇත. ඒ “එසේනම් අල්ලාහ් (දෙවියන්) සදහා නිශ්චිත ස්ථානයක අවශ්‍යතාවය මෙයින් පිළිඹිබු කරනවා නොවේද?” යන්නයි. මෙවැනි වාදයක් මතු කිරීම බැලූ බැල්මට නිවරුදි ලෙස පෙනුනද සැබැවින්ම එය එසේ නොවේ. මෙය අවබෝධ කර ගැනීම සදහා සරල නිදසුනක් ගෙන හැර දක්වන්නේ නම්, අතීතයේ අප රටේ විසූ රජවරුන් අසුන් ගැනීම සදහා “සිංහාසනය” නම් ආසනයක් භාවිතා කොට ඇති බව ඉතිහාසයේ සදහන් වේ. මෙම සිංහාසනය එම රජවරුන් යන තැන්වලට පවා රුගෙන ගිය බවත් ඉතිහාසයේ සදහන් වේ. මෙය අප අවබෝධ කරගන්නේ කෙසේද?. රජවරුන් හට එම අසුනේ හැර වෙනත් අසුනක අසුන් ගැනීමට අපහසුතාවයක් පැවතුනා යනුවෙන්ද?, එසේත් නැත්නම් වෙනත් අසුනක අසුන් ගැනීම ඔවුන්ගේ තේජසභාවයට, ගෞරවයට කැලලක් යනුවෙන්ද?, මෙයින් පලමු කාරණය සැලකුවේ නම් එය අවශ්‍යතාවයක් එනම් ඔහුගේ දුර්වලතාවයක්. නමුත් දෙවන කාරණය සැලකුවේ නම් එය අවශ්‍යතාවයක් නොව එය තමන්ගේ තේජසභාව, ශ්‍රෙෂ්ඨත්වය, මහිමය හා බලය තම ජනතාවට කියාපෑමකි. මෙයද මනුෂ්‍යා සම්බන්ධයෙන් සැලකීමේ දී වක්‍ර ආකාරයට දුර්වලතාවයක් බවට පත්වේ. නමුත් දෙවියන් සම්බන්ධයෙන් සැලකීමේ දී එය එසේ නොවේ. මන්ද ආඩම්භරයට ප්‍රශංසාවට ගෞරවයට පාත්‍ර කිරීමට ඔහු තරම් සුදුස්සේක් වෙන නැති බැවිණි. ඒ අනුව අහසෙහි තිබෙන අර්ෂ් නම් සිංහාසනයේ තමා අල්ලාහ් (දෙවියන්) සිටින්නේ යනුවෙන් අවබෝධ කරගැනීම තමා ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව නිවරුදි අවබෝධ කරගැනීම වන අතර එය මේ ලිපිය ආරම්භයේ සදහන් කලාසේ “හඳේ” හෝ “මායාවක් ලෙස සෑම තැනකම” යනුවෙන් විශ්වාස කිරීම ඉස්ලාමීය ඉගෙන්වීමන්ට පරස්පර වූ කිසිදු පදනමක් නැති හුදෙක් තර්කයක් පමණක් බවද වටහාගත යුතු වේ.

මේ අනුව ඉස්ලාම් පවසන අල්ලාහ් (දෙවියන්) සදහා අහසෙහි “අර්ෂ්” නම් නිශ්චිත තැනක් තිබෙන බව පැහැදිලිය. ඒ සමඟ මතුවන මීලඟ පැනය තමා “එම සිංහාසනයේ හිඳින දෙවියන් සදහා නිශ්චිත ස්වරූපයක් තිබෙනවාද? ඔහු මොනවගේද?” යන්නයි. මේ පිලිබදව ද මීට ඉහත ඉස්ලාම් පවසන දේව වාදය යන ලිපිය තුලින් දීර්ඝ ලෙස මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ඇත. එනමුත් මුස්ලිම් නොවන බහුතර පිරිසට ඉස්ලාම් දහම සම්බන්ධයෙන් තිබෙන ප්‍රබල කුතුහලයක් වන “හින්දු, බෞද්ධ හා ලොව අනිකුත් ආගම්වල සදහන් දෙවියන්ගේ ස්වරූප පිලිබදව අවබෝධයක් ඇති අපට ඉස්ලාම් පවසන දෙවියන්ගේ ස්වරූපය කුමක්ද?” යන්නයි. මේ කාරණය සදහා මෙතැනදී ද සරල විග්‍රහයක් හා ආගමික ඉගෙන්වීමන් පදනම් කරගත් විග්‍රහයක් ලබා දෙන්නේ නම්,

ඉස්ලාම් දහම අල්ලාහ් (දෙවියන්) සදහා වූ නිශ්චිත ස්වරූපයක් පිලිබදව සදහන් කරන නමුත් එය අවබෝධ කර ගැනීමට තරම් මිනිස් බුද්ධිය ශක්ති සම්පන්න නොවන බව ප්‍රථමයෙන් වටහාගත යුතුවේ. මන්ද කිසිදු දිනෙක නොදුටු දෙවියන් පිලිබදව අවබෝධයක් ලබාගැනීමට නම් ඒ සදහා ආදර්ශයක් අවශ්‍ය වේ. අසමසම දෙවියන් සදහා ආදර්ශයක් පැවතිය නොහැකි යන්න ඉස්ලාමීය මූලික ඉගෙන්වීමයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 42-11 වාක්‍යයෙන් “ඔහු මෙන් කිසිවක් නොමැත. ඔහු අසන්නාය, බලන්නාය.” යනුවෙන් පැවසීම තුලද පැහැදිලි වේ. ඒ අනුව ඉස්ලාම් පවසන අල්ලාහ් (දෙවි) මොනවගේද? යන්න පිලිබදව නිශ්චිත ස්වරූපයක් පිලිබදව සදහන් කිරීමට කිසිදු මුස්ලිම්වරයෙකුට නොහැක. නමුත් එක් කාරණයක් පැහැදිලි ලෙසම පැවසිය හැක. ඒ නියත වශයෙන්ම මිනිස් සිත කිසිදු දිනෙක නොසිතූ, මිනිස් ඇස් කිසිදු දිනෙක නොදුටු හා මිනිස් කනින් කිසිදු දිනක නොඇසූ… අලංකාරයකින් අල්ලාහ් (දෙවියන්) පිරිපූන් වියයුතු යන්නයි. මන්ද මේ ලෝකය අලංකාර ලෙස මවා එහි අලංකාරම ජීවියා වන මිනිසා මැවූ දෙවියන් ඒ සියල්ලට වඩා අලංකාර වියයුතු යන්නෙහි කුතුහලයක් පැවතිය නොහැක. මේ හේතුව නිසා තමා මුහම්මද් (සල්) තුමාණන් පවා එක්තරා අවස්ථාවක පැවසුවේ. “කියාමත් (මරණින් මතු උදාවන) දිනයේ අල්ලාහ් දෙවියන් දැකීම ඉමහත් භාග්‍යයක්” යනුවෙන්. මේ තුලින් ද පැහැදිලි වන්නේ අල්ලාහ් (දෙවියන්) හට ඔහුටම ආවේනික අලංකාර ස්වරූපයක් පවතිනවා යන්න මිස ඉහතින් සදහන් කලාසේ ඔහු “මායාවක්” නොවන බව නොවේද?. එය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම පිණිස ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් තවත් කරුණූ කිහිපයක් ඔබගේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නේ නම්,

“(‘කියාමත්’ (මරණින් මතු උදාවන)) එදින සමහර මුහුණු දීපත්තිමත් වනු ඇත. ඔවුන්ගේ දෙවි (ඔවුන්) දකිනු ඇත.”

ශුද්ධ වූ කුර්ආනය 75-22,23

“(මරණින් මතු උදාවන) පරලොවේ දී අල්ලාහ් (දෙවි) විශ්වාසවන්තයන් හට ඔවුන් ඔහු ගැන උපකල්පනය කර තිබූ රුවෙන් නොව වෙනත් රුවකින් ප‍්‍රථම වතාවට පැමිණ ‘ඔබලාග් දෙවි මම ය’ යයි පවසනු ඇත.”

මූලාශ්‍ර ග‍්‍රන්ථය – බුහාරි

“නබිතුමණන් හමුවේ ඇතැම් පිරිස් ‘අල්ලාහ්ගේ වක්තෘවරයාණනි!, පරලොවේදී අපි අපගේ දෙවියන් දකින්නෙමුද?’ යැයි ඇසූ විට නබිතුමාණන් ‘ඔව්! දකින්නෙහු ය. කිසිදු වලාකුලක් නැති දහවලක ආලෝකමත් ඉර දැකීමට එකින් එකා පොරකන්නේ ද?’ යි ඇසූහ. එවිට ජනතාව ‘නැත’ යැයි පිළිතුරු දුන්නෝය. ‘කිසිදු වලාකුලක් නැති රාත්‍රියක පුන්සඳ හි ආලෝකය දැකීමට එකා අනිකාව පොරකන්නේ ද?’ යි ඇසූහ. ජනතාව (එවිටත්) ‘නැත’ යැයි පිළිතුරු දුන්නෝය. මේ දෙකින් එකක් දැකීමට ඔබලා පොර නොකන්නාසේම පරලොවේදී අති උතුම් ශ්‍රේෂ්ඨ අල්ලාහ්ව දැකීමට ද ඔබලා පොරකන්නේ නැත. යනුවෙන් ප‍්‍රකාශ කලේය.”

මූලාශ්‍ර ග‍්‍රන්ථය – බුහාරි

“පරලොවේදී ඉස්ලාම් ප්‍රතික්ෂේප කල පිරිස (කාෆිර්වරුන්)ට දෙවියන් දැකීමේ භාග්‍ය හිමි වන්නේ නැත. එදින ඔවුන් දෙවියන්ගෙන් ඈත් කරනු ඇත.”

ශුද්ධ වූ කුර්ආන් 8-15

ඉහත කරුණූ හොදින් විමසා බැලුවේ නම් දෙවියන් සදහා නිශ්චිත ස්වරූපයක් තිබෙනවා යන්නෙහි දෙවැනි මතයක් පැවතිය නොහැක. ඒ අනුව මෙතෙක් ඔබගේ අවධානය සදහා ගෙන ඉහත කාරණයන් බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම් ඉස්ලාම් පවසන දේව සංකල්පය තුල අල්ලාහ් (දෙවියන්) සදහා නිශ්චිත ස්ථානයක් හා නිශ්චිත ස්වරූපයක් තිබෙන බව පැහැදිලිය. එය එලෙස විශ්වාස කිරීමත් ඉස්ලාමීය මූලික ප්‍රතිපත්තිය වන අල්ලාහ් ‍(දෙවි) විශ්වාස කිරීමේ එක් අංගයක් වන බව අවසාන වශයෙන් සදහන් කරමි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. ෆර්හනා 2013-02-26 at 17:40

    අබු අර්ශද් සහෝදරයා, දිනක් මගේ නන්දා මෙසේ කීවා. දෙවියන්ට කල හැකි දී, නොකල හකිදී කියන්නට අපි නොදන්න නිසාත්, දෙවියන් අසීමිත හැකියාවන්ගෙන් හකි නිසාත්, ලෝකයේ විවිධ ආගම් මගින් දෙවියන්ව ඒ ඒ අය්ට තේරෙන ප්‍රමානවලින් අනාවරණය කරලා තිබෙ ඒ නිසා මුලු ලෝකයම එකම පවුලක් බව. ඒ නිසා අනෙක් ජාතීන් දිහා අවමන්ව නොබලන්න කියා. මේ කතාවට හේතු උනේ මගේ යහලුවෙක් බෞද්ධ තරුණයෙක් සමග සම්බන්ධයක් පවත්වාගෙන් යාම ගැන කටාවකදී. එය නිවැරදිද?

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *