අලූත්ගම අලූත්වෙයිද?

0

මෙහි පහතින් ඉදිරිපත් කර ඇති ලිපිය 2014/06/29 දින අප රටේ ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පතේ පලකර තිබූ අළුත්ගම සිද්ධිය පිලිබදව ගවේෂණාත්මක ලිපියකි

අළුත්ගමඅලූත්ගම, බේරුවල ප‍්‍රදේශයන්හී ඝන අන්ධකාරය පහව ගොස් ආලෝකය මතුව ඇතැ’යි බෙන්තරගඟින් මෙපිට හා හූවය. එහෙත් ඒ පැත්තෙහි තවමත් මීයට පිම්බාක් මෙනි. දහවලේවුව එහි වෙසෙනවුන්ගේ ජීවිත කට්ට කරුවලේමය. බුර බුරා නැගුණු කළු දුමාරයටහසුවූවන්ගේ ඇස් තවමත් නිලංකාර වූ සේමය.

“දැන් මොනවා කතා කළත් වැඩක් නැහැ. අපිට ඉතිරි වුණේ මේ පිච්චිච්ච බිත්ති විතරයි.මේවා දකිනකොට පපුව පිච් චෙනවා. අපිවත් මේවට දාලා පිච්චුව නම් ඉවරයි.’’ මුස්ලිම් මිත්තනිය වැඩිපුර දෙඩන්නේ ඇයගේ බසිනි. මගේ මුස්ලිම් මිතුරා සිංහලටපෙරළුෑ දේ මම වටහා ගත් අයුරු එබඳුය. මන්ද අවසානයේ මේ ප‍්‍රශ්නය අප අප වටහාගන්නා ප‍්‍රමාණයට අලගු තැබෙන බවද ස්ථිරය.

යුද්ධයටපසු උතුර බලන්නට දකුණෙන් ඇදුණු සිංහල ජනයාට අලූත්ගම දර්ගා නගරයත් දැකබලාගැනීමේ දොළක් නැතිවාම නොවන බව දකුණට, කොළඹට ඇදෙන බස්වල හිස්ගෙඩි අලූත්ගමබේරුවලදී නළියන නැලවිල්ලම කියාපාති. උතුරේ මෙන්ම දර්ගා නගරයේත් අමුතුවෙන්බලන්නට දෙයක් නැත. බැලූවද නොබැලූවද ඇත්තේ විනාශයමය. බිඳුණු, පෑරුණු සිත්මය.අවිශ්වාසයේ ගිලෙන සිරුරුමය.

‘‘අපේපැත්තෙන් කෙනෙක් වරදක් කළා කියමු. ඒත් අපි ඒකට පලිද? අපිට දුක උදේ හවා මූණබලාගෙන අපිත් එක්ක එකා වගේ හිටපු අයම (සිංහල* තමයි අපිව පාවා දුන්නේ. අදඅපිට අඳින්න ඇඳුමක් නැහැ. අපි අපේ අවුරුද්දට විකුණන්න ලක්ෂ ගාණක ඇඳුම්ගෙනල්ලා තිබුණා. ලක්ෂ පහක් ගියා ඒවට. ඒ සේරම ඉවරයි. ගෙදර තිබුණ ජුවලරිහැමදේම අතුරුදන්. ළමයින්ගේ පාපැදි පවා ගිනි තියලා. අපිට ගෙවල් නැති වුණාවගේම දුකයි ඒ අයට ඒ අයගේ දේවල් ගිනි තිබ්බම. පිච්චුණ සයිකල් අල්ලගෙන ළමයිඇඬුවා. අපේ හිත් හදන්න ආයේ බෑ. අපි ලක්ෂ ගණන් වියදම් කරලා අවුරුදු ගාණක්දුක් විඳලා හොයපු සල්ලිවලින් මේ ගෙවල් හදා ගත්තේ. ඔක්කොම අළු. ඇයගේඇස්වලින් කඳුළු කඩා හැලූණි. සිංහල, දෙමළ ඇස්වලින් මෙන්ම මුස්ලිම් ඇස්වලින්කඩා හැලෙන කඳුළුද අපි දැන් දැක ඇත්තෙමු. කෙළවරක් නැත. අවසානයක් නැත. හැමදෙයක්ම සටහන් කරනුයේ මේ ආරම්භයම පමණක් බවය.

‘‘හැමසිංහල මිනිහම මේ වගේ නැහැ කියලා අපි දන්නවා. ඒත් අපිට දැන් සිංහල මිනිස්සුදකින කොට බයක් දැනෙනවා. හැංගෙන්න හිතෙනවා. මේ විදිහට තව ගොඩක් කල් ඉන්නවෙයි. අපේ පැත්තේ සීන වත්තේම වී.සී. හවුස් ව්‍යාපෘතිය කියලා සිංහල මුස්ලිම්නිවාස 16ක් තියනවා. ඒවට උඩින් පල්ලෙන් පොඩි ඩැමේජ් කළා. මොකද සිංහල ගෙවල්තියෙන හින්දා. මේක හොඳටම දැනගෙන ප්ලෑන් කරලා කළේ. සිංහල ගෙවල්වල අය කල්තියාගෙවල් ඉස්සරහා බෞද්ධ කොඩි දැම්මා. අපි ඒත් හිතුවා පොසොන් හින්දා කියලා.පොසොන් ඉවරනේ. දැන් තමයි තේරෙන්නේ. ඒ අය එන අයට කිව්වා අපි සිංහල කියලා. එකළඟ තියෙන සිිංහල මුස්ලිම් ගෙවල් අතුරින් මුස්ලිම් අයගේ ගෙවල් විතරක්බේරගෙන ගිනි තිබ්බා. අපි අසරණ වෙලා ඉන්න තරම කියන්න බෑ. අපිට සාධාරණයක්වෙයි කියලත් හිතන්න බෑ. අනේ අපේ ගෙවල්.’’ මේ අයගේ නම් ගම් සඳහන් නොකළයුත්තේ ඇයිද යන්න කිව යුතුය. අලූත්ගම දර්ගා නගරයේ මේ මොහොතේ වැඩිපුරමසිටිනුයේ රහස් පරීක්ෂක යෝය. අප ඇතැම්විට ගමේ සිද්ධි අහන ගමේ උන්දෑ ලෙස පෙනීසිටිනුයේ රජයේ ආරක්ෂක නිලධාරියෙකි. කොටින්ම ඔවුන්ව අපට පැටලෙන අතර අපිවඔවුන්ට පැටලේ. විටෙක අපි දෙස ගම්මු බලනුයේ අප රහස් ඔත්තුකරුවන් ලෙසය. ඒනිසා බොහෝවුන් අප දුටුවනම සැඟවෙති. සමහරු මූලිච්චාවට දොඩති. සිංහල පවුල්බොහෝවිට ගොළුවන්ය.
‘‘අපිට දැන් බයක් තියෙනවා කොයි වේලේ හරි මුස්ලිම් අය අපිට ගහයි කියලා.’’ මේ දර්ගා නගරයේ සිංහල වැසියෙකි.

තත්ත්වයඑලෙසමය. ගිනි තබා විනාශ කළවුන් අතුරුදන්ය. එහෙත් දැවුණු වුන් මෙන්ම දැවූඅයටද එකට විසීමට සිදුව ඇත. ගමේ අය ගමේම දිගටම සිටිය යුතුය. එහෙත් දැනටසියල්ල නිහඬව ගිලෙනුයේ ගමේ මිනිසුන්ට වඩා ආරක්ෂක නිලධාරීන් ගම පුරා විහිදීපැතිරී සිටින බැවිනි. එහාට මෙහාට යන විට ප‍්‍රශ්න කෝටියකි. කවුද? කින්ද? මන්ද? යන්නේ කොහිද? මල්ලේ පොල් ප‍්‍රශ්න උත්තර එමටය. හැම එකාම වැරදිකරුවන්කොට ඇසෙන උස් හඬවල්ය. මේ නිවෙස්වල පිරිමි අතුරුදන්ය.

‘‘රෑටරෑට ඇවිත් අපේ මහත්තයලව අරගෙන යනවා. ප‍්‍රශ්න කරන්න කියලා. ඒ අය වීඩියෝකැමරා බල බල මිනිස්සුන්ව අරගෙන යනවා. දැන් අපිට ඉන්න හිටින්න තැන් නැහැ.අපේ මහත්තයලා හැංගිලා ඉන්නේ. ඇයි මේ අය අරගෙන ගිහිල්ලා මොනා කරයිද අපිටබයයි. ගමේ හැම තැනම සී.අයි.ඞී. අපිට අඬන්න වුණත් බයයි.’’ ඇය අල්ලාසිහිකෙරුවාය.

‘‘එදාපල්ලියේදී වෙඩි වැදිලා මියගියේ මගේ ඥාති සහෝදරයෙක්. එයාගේ ඔළුවටමයි වෙඩිවැදිලා තිබුණේ. ඒ වුණාට මරණ වාර්තාවේ තිබුණේ කඩුවෙන් කොටලා කියලා. මීටර් 50ක් දුර ඉඳලා කඩුවෙන් කොටන්නේ කොහොමද? එදා හතට විතර ඇති අපි සීනවත්තපල්ලියේ හිටියේ. අපිට ඇවිත් ගැහැව්වා. අපිත් ගැහැව්වා. කොහොම හරි ? 12.30ටවිතර ආයේ වටකරලා ගැහැව්වා. අපිත් ගැහැව්වා. ඒත් එකපාර ප්ලෑෂ් ලයිට් එකක්මූණට ඇල්ලූවා. ඒ වගේ ලයිට් සාමාන්‍ය මිනිස්සු ළඟ නෑ. කැලේ ගෙනියන ඒවා. අපිටමුකුත් පේන්නේ නැතිවුණා. එතකොට උඩට වෙඩි තිබ්බා. ඒ තියාගෙන යන ගමන් අපේපැත්තට හරවලා වෙඩි තිබ්බා. අපේ අය වැටුණා. දෙන්නෙක් එතනමයි. අපිට කාවවත්හොස්පිට්ල් ගෙනියන්නවත් ඉඩක් නෑ. මෙතන මැරුණු දෙන්නටම පොඩි ළමයි ඉන්නවා.එක්කෙනෙකුට ගෑනු ළමයි තුන් දෙනෙක්. අනෙක් කෙනාට ගෑනු ළමයි දෙන්නෙක්. අද ඒඅය අතරමං. අධිකාරිගොඩ කඩවල් ගිනි තිබ්බා. සමහර ඒවා අළුවෙලාම ගියා.’’ ඔහුකීව සෑම දේ සටහන් කළ නොහැකි තරම්ය.

‘‘රෝයල්මෝටර් කාර් කඬේට ගැහැව්වා. එදා විකුණන්න දාලා කාර් හතයි මෝටර් සයිකල්තුනකුයි තිබ්බා. ඒවා ඔක්කොටම ගිනි තියලා. සමහරු කඩවල්වල ගෙවල්වල බඩුලොරිවලින් ඇද්දා. අපි පල්ලියේ හිටියා. අපේ ගෑනු අය කුකුල් කූඩුවල රිංගලාබේරුණේ. අපේ පල්ලි ගණනාවක් විනාශම කරලා. අපිට හරිම දුකයි. මෙහෙම කළාට.’’ ඔහු මරික්කාර් වීදියේ අයෙකි.

මෙහිවෙසෙන සිංහලයෝ තවමත් හාමුදුරුවන්ට කළ අසාධාරණයට දෙස් දෙති. අලූත්ගම කඩයකදීසිංහල පොඩි එකකු අපයෝජනය කිරීම ගැන පරල වෙති. ඒවාට තවමත් නිසි අයුරින්නීතිය ක‍්‍රියාත්මක නොවුණු බවට චෝදනා කරති. අවසානයේ තවමත් මේ හදවත්ද දෙකටදෙගිඩියාවෙන්ම පෙළෙති. දෙපිරිසම සැකයෙන් එකිනෙකා දෙස බලති. ඇතැමුන් අපඅහවලාගේ පැත්ත ගනිතැ’යි චෝදනා කරති. අපට කිසිවකුගේ පැත්තක් අවශ්‍ය නැතිය.එහෙත් අලූත්ගම දර්ගා නගරයේ මුස්ලිම්වරු අන්ත අසරණ වී ඇති බව අලූත්ගමටපැමිණෙන ඕනෑම අයකුට වටහාගත හැකිය. මුස්ලිම්වරුන්ට සිදුවී ඇති අලාභය හානියසුළුපටු නැති බව දෑසින් දැක අවබෝධ කරගත් පසු බේගල් ඇදබානු හැක්කේ ජාතිවාදීඋමතුවෙන්ම පෙළෙන වුන්ට පමණමය. එය කළවුන්ට මේවා සාමාන්‍ය සිද්ධි විය හැකිය.එහෙත් එකී සාමාන්‍ය තත්ත්වය බේරුවල, අලූත්ගම, දර්ගා නගරය හැමතැනම අසාමාන්‍යතත්ත්වයක් ඇති කොට ඇත්තේය. මේ සාමකාමී පරිසරයක්යැ’යි මොරදෙන කාට වුව මෙහිනිදහසේ සැරිය හැකිද? මුස්ලිම් ඇඳුනුමක් නැතිව මුස්ලිම් අය ළඟ සිටගත හැකිද? සිංහලකමේ උරුමය ඇති පක්ෂවල දැන හැඳුනුමක් නැතිව සිංහලූන් ළඟ සිටගත හැකිද? මේ කිසිවකුට හෙට දවසේ තනිව වසනු හැකිද? හැමදෙනාටම හැම දෙනාවම සැකය. අවශ්‍යදේ අවශ්‍ය ආකාරයටම ඉටුකොට හමාරය. බේරුවල, අලූත්ගම, දර්ගා නගරයේ පමණක් නොවලංකාව තුළම සිිංහල, මුස්ලිම් බෙදුම් රේඛාව අලූත්ගමින් ඇඳ ඇති බව මොනවටපැහැදිලිය.

සිද්ධියවූ පසු බියෙන් ගැහුණු කෝපයෙන් වෙව්ලූ වුන් එදා හැසුරුණු විදිහට සාපේක්ෂවඅද යනවිට අපට අත්විඳින්නට ඇත්තේ අවබෝධයෙන් පිරුණු සියල්ල වටහාගත් පසුහිස්කමෙන් පෙළෙන මිනිසුන්ය. එය සිංහල මුස්ලිම් දෙකටම පොදුය. අද ඔවුහුකල්පනා කරනුයේ එදා ගැන නොව හෙට ගැනය. වඩා විමසිලිමත් අද ගැනය. කිවයුත්තේකුමක්ද කළයුත්තේ කුමක්ද? කිසිවක් එළිපිට නොකියති. සැවොම සතරකන්මන්ත‍්‍රණවලය. වඩා අවදානම ජීවිතය බේරාගැනීමය. මන්ද ප‍්‍රශ්නය අහවරමුත්පිළිතුරු සොයන්නේ දැන්ය. එකී පිළිතුරට අවශ්‍ය සාධක සොයමින් මේ මොහොතේමෙහෙයුම් ගණනාවක්ම අලූත්ගම, බේරුවල, දර්ගා නගරයේ ව්‍යාප්තය. කොටින්ම ගමේ අයකවුද පිට අය කවුද වටහා ගැනීමට නොහැකි තරමට ආරක්ෂක මෙහෙයුම්ය. ඊට අදාළපුද්ගලයන්ය. එබැවින් සැවොම කට අරිනුයේ බියෙනි. ඒ වචනයක් ගිලිහුණද සීඅයිඩියේපැය ගණනක ප‍්‍රශ්න කිරීමට ලක්වන බැවිනි. බොහෝ අය පැහැර ගැනීමට ප‍්‍රශ්නකිරීමට නියමිතය. එහිද දෙපාර්ශ්වයම සිටී.

අලූත්ගමප‍්‍රශ්නයට කඩිනමින් විසඳුම් දෙන බව කීවද? එය කිරීම පහසු නැත්තේප‍්‍රශ්නයට පිළිතුර අගකින් තබා අලූත්ම පිළිතුරක් නිර්මාණය කිරීමට වෙහෙසෙනනිසාය. ප‍්‍රශ්නයට ඍජුවම වගකිවයුත්තන් ගලවනු වස් ගල් මුගුරු ගත්තවුන්බුරුතු පිටින් හෙළිදරව් කිරීම මේ මෙහෙයුම්වල අරමුණ බව පැහැදිලිය. ගල්මුල්ගෙන පහර දෙන්නට හිස් ශරීරවලට බැරිය. ඒ සඳහා උත්තේජනයක්, ලේ වල කුපිතකමක්ඇති කළ යුතුය. ඒ ලේ කෝප කළවුන් අද නැතිය. දැන් සොයනුයේ කුපිත වූවන්ය.

‘‘ගාමන්්ට්එකකට ගිනි තිබ්බා. ඒකේ සිංහල අය හයසීයක් වැඩ කළා. මොනාද එතකොට ඒකට ගිනිතියලා බලාපොරොත්තු වුණේ.’’ මේ අසන පැනයට දෙපැත්ත බෙදී වාද කළ හැකිවුන් ඇත.එය වැදගත් නැත්තේ ෆැක්ටරිය මෙන්ම එහි රස්සාව කළ වුන්ද විශාල ප‍්‍රමාණයක්අතරමංවූ බැවිනි. පාඩුව කාටත් එකය. අලාභය කාටත් පොදුය. කාගේ ශරීරය තුළත්ඇවිළෙන වෛරයද එකම හැඩය.

අලූත්ගම, බේරුවල, දර්ගා නගරයෙහි මේ සිද්ධියෙන් හෙම්බත්වූවන් හතිඇර කියන දේබෙහෙවින්ම භයානකය. එහෙත් ඒ කිසිවක් අකුරු කළ නොහැකිය. මන්ද මේ සියල්ලෝවේදනා දෙන හදවත් ඇත්තවුන් නිසාය. එකී වේදනාවෙන්ම පිටකරන අඳෝනාව දුක්බරනිසාය. අළු මතින් නැගිටින ෆීනික්ස් කුරුල්ලන් අලූත්ගම නැත. සියල්ල දැවුණුපසු ඉතිරි අළු පමණක් බව එහි ගිය අපට දෙස් දුන්නේය. දැවී ඇත්තේ නිවාස නොවමුස්ලිම් හදවත්ම බවද නිට්ටාවටම පසක් වූවේය. මේ කිසිවකට සෑම සිංහලයාම වගකිවනැතිමුත් සෑම බෞද්ධයාම වගකිවයුතු නැතිමුත් වගකිව යුත්තෙක් අවසානයේ නැති කලසැවොම වගකිවයුත්තන් ලෙස සිතීම වරදක් වේද? නිවැරදි කළයුත්තේ ඒ වරද නොවේද? පළමුවර මුණ ගැසුණු අය නිවී හැනහිල්ලේ ගිය කල මගහරිති. ඒ දිනෙන් දිනදළුලන්නේ අවිශ්වාසයම නිසාය. විසඳුම් ගව් ගාණක් දුරස්වන නිසාය. තුවාලයේවේදනාව දන්නේ තුවාලය ඇති එකාමය. ජීවිත, නිවාස, දේපළ අහිමිවූවන්ට තාවකාලිකවහෝ ඇති පිළියම එලෙස ඔවුන් පත් කළවුන්ට දෙන දඬුවමය. එහෙත් සති දෙකක් ගෙවෙනතැන එවැන්නක් සිදු නොවූ ගාණය. සියල්ල සාමකාමියි කියමින් සතුටුවනු හැරසාමකාමී කරන්නට ගන්නා උත්සාහය බොහෝ දුරය. තෝරු මෝරුන් අධිෂ්ඨාන පූජා කරද්දීහාල්මැස්සෝ බිල්ලට දක්වන කල මේ ඇමට හෙට අහුවනුයේ කවුද?

දර්ගානගරය හුදෙක් සුසානයක් බඳුය. එහි වැළපෙන හඬන මිනිසුන් ඇරුණු කොට ඇත්තේ දැවීඅළු වූ ගොඩනැගිලිය. මේ තුළ හෙටක් ගොඩනැගීමට අවංකවම විසඳුම් සෙවිය යුතුය.අලූත්ගම කලබලකාරී දිනයන්ට වඩා බියකරුකමක් මේ නිහඬකම තුළ ගිලගෙන ඇතැ’යි පසක්කරගත යුතුනම් ඒ පෙදෙසට ගොස්ම පසක් කරගැනීම වටිනේය. මන්ද ඛේදවාචකයක කෙළවරමෙන්ම ඇරඹුමද දර්ගා නගරයෙන් හමුවන බැවිනි. මේ එකිනෙකා අතර නිහඬකම බිඳ දැමියයුතුය. තැලූණුවුන් තවත් තැලිය යුතුද? රහසිගත මෙහෙයුම් අවසානයේ සිදුකරනුයේතැලෙන තලයම උඩ පැන පැන තැලීමම නොවේද? අලූත්ගම අලූත් කිරීම ලේසි පහසු නැත.අපහසු වුවද කළයුතුවද ඇත.

 

ඉදිරිපත් කිරීම – අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *