ආගම් තුල “අනාගත වක්තෘවරුන්” පිළිබඳව අනාවැකි.

10

පසුගිය දිනක යහමඟ අඩවියට එක්තරා පැනයක් පාඨකයෙකු විසින් යොමු කොට තිබුණි. එම පැනය මෙසේ ය, “බුදු දහමෙහි සදහන් වන මෛත්‍රීය භාග්‍යවතුන් වහන්සේ යනුවෙන් හදුන්වන්නේ කවරෙක් ද? මෙය සාධක සහිතව දීර්ඝ ලිපියෙකින් පැහැදිලි කරන්න.” මේ ආකාරයට මෙම පැනය ඔහු විසින් ඉදිරිපත් කළත් මෙය සැබැවින්ම ශ්‍රී ලාංකීය මුස්ලීම් හා මුස්ලීම් නොවන සහෝදර ජනතාව අතර විටින් විට විවිධ පැතිකඩ ඔස්සේ ගැඹුරින් හා සරලව සංවාදයට බදුන් වන මාතෘකාවකි. මේ හේතුව නිසා එම පැනය තරමක් වෙනස් ආකාරයකට එනම් “අනාගත වක්තෘවරුන් (ශාස්කෘවරුන්) පිළිබඳව ආගම් (හා දර්ශනයන්) තුල අනාවැකි” යනුවෙන් සාකච්ඡා කිරීමට අදහස් කරමි. ඉහත මාතෘකාව මෙලෙස පුළුල් ක්ෂේත්‍රයක් පදනම් කරගෙන සාකච්ඡා කිරීමට ප්‍රධාන හේතුවක් ඇත. එනම්,

ඉහත පැනය බෞද්ධ සමාජයේ පවතින විශ්වාසයක් වන “මෛත්‍රි බුදුන්” පදනම් කරගත් එකක් වුවද අතීතය පටන් මේ දක්වා ලොව පවතින සෑම දහමක් තුලම මෙවැනි “අනාගත ශාස්තෘවරයෙක්” (වක්තෘවරයෙක්) එනම්, දහම ප්‍රකාශ වන කාලයේ නොව අනාගත කාලයේ ලොව පහල වන සුවිශේෂි (පුද්ගලයෙකු) ශාස්තෘවරයෙකු පිළිබඳව අනාවැකි පැවසීම දක්නට ලැබේ. මේ පිළිබඳව මීට ඉහත දී මෙම යහමඟ  අඩවිය තුල කිතුණු දහම හා ඉස්ලාම් දහම සංසන්දනය කරමින් “මුහම්මද් (සල්) තුමා අනාගත හා අවසාන වක්තෘ (නබි)වරයාද?” යන මාතෘකාව ඔස්සේ සාකච්ඡා කොට ඇත. මෙහිදී සිදු කරන්නේ එම විෂය තවදුරටත් බුදු දහම ද පදනම් කරගෙන විමසා බැලීමයි.

ඉස්ලාමීය ඉගෙන්වීම අනුව මිනිස් වර්ගයාගේ ආරම්භය පටන් මිනිස් සමාජය යහමඟ ගැන්වීම පිණිස වක්තෘවරුන් (දෙවියන්ගේ නියෝජිතයන්) පත් කළ බව සදහන් වේ. ආරම්භක මිනිසා වන ආදම් (අලෛ) තුමාණන් පටන් අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා ලක්ෂයකටත් අධික වක්තෘවරුන් ලොව දේව නියෝජිත මෙහෙවරේ නිරත වූ බව ඉස්ලාම් පවසයි. මෙම පිරිස ඉස්ලාම් දහම “නබි” ලෙස හදුන්වයි. වර්තමාන ලොව මුස්ලීම් නොවන පිරිස් පමණක් නොව මුස්ලීම් සමාජය පවා අවබෝධ කරගෙන සිටින්නේ “මුහම්මද් (සල්) තුමාණන් මඟින් තමා ඉස්ලාම් දහම ප්‍රථමයෙන් ලොව ප්‍රකාශ වුයේ” යනුවෙනි. නමුත් ඉස්ලාමීය ඉගැන්වීමට අනුව ලොව ආරම්භක මිනිසා වන ආදම් (අලෛ) තුමාණන් ලොවට ප්‍රකාශ කළේත් ‘ඉස්ලාම්’ දහම බව ශුද්ධ වූ කුර්ආනය පවසයි. මෙලෙස දේව නියෝජත මෙහෙවරේ විශාල සංඛ්‍යාවක් වක්තෘවරුන් නියැලුණ ද ඉස්ලාමීය මූලාශ්‍රයන් හි ඔවුන් අතුරින් නම් සදහන් වන්නේ 25 ක් තරම් සුළු පිරිසකගේ පමණි. (මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් මෙම අඩවිය තුල ඇති “ඉස්ලාම් පවසන නබිවරුන් හෙවත් වක්තෘවරුන්” යන ලිපිය තුලින් කියවීමට හැක) මෙය පහත නබි වදන (හදීසය) මඟින් හොදින් අවබෝධ වනු ඇත. එනම්,

“ජනතාව අලංකාරත්වයෙන් පරිපූර්ණ වූ මාලිගාවක් නරඹමින් එය රස විඳින එහි එක් ස්ථානයක බිත්තියේ ගඩොලක අඩුවක් දකී. එය දුටු එම පිරිස ‘කොතරම් අලංකාර වු මාලිගාවක්ද? එහී මේ ස්ථානයේ ගඩොලත් තිබුණේ නම් මේ නිර්මාණය සර්ව සම්පුර්ණ වෙනවා නොවේ ද?’ යනුවෙන් පවසනු ඇත, යැයි පැවසූ පැවසූ නබිතුමාණන් ‘ඒ ගඩොල තම මාගේ පැමිණීම මාගේ පැමිණීමත් සමඟ එම මාලිගාව සර්ව සම්පුර්ණ වුවා සේ, මාගේ පැමිණීමත් සමඟ ඉස්ලාම් දහම සම්පුර්ණ වී වක්තෘ මෙහෙවර අවසාන විය.'”

ඉහත නබිවදන අනුව ඉස්ලාම් නබිතුමාණන් විසින් ගෙන එන ලද නව දහමක් නොවන බවත්, ආරම්භයේ පටන් පැවත ආ විශාල මෙහෙවරක මුහම්මද් (සල්) තුමාණන්ද අවසාන කොටස්කරුවාණන් වන බවත්, මේ සමඟ එතුමාණන්ගේ ද මෙහෙවර අවසන් වන බවත් පැහැදිලි වේ. එතුමාණන් අවසාන වක්තෘවරයා යන්නත් එතුමාණන් සමඟ දේව නියෝජිත මෙහෙවර අවසන් වූ බවත් ශුද්ධ වූ කුර්ආනයේ 5-3 වාක්‍යය මඟින් මෙලෙස පැහැදිලිවම පවසයි. එනම්,

“අද දින නුඹලාගේ දහම නුඹලාම වෙනුවෙන් සම්පූර්ණ කළෙමු.”

මෙලෙස දූත මෙහෙවර නබිතුමාණන්ගෙන් අවසන් වූ නිසා ඉස්ලාම් දහම තුල අනාගත වක්තෘවරුන් පිළිබඳව වූ සංකල්පයක අවශ්‍යතාවය ඇති නොවූ අතර එම නිසා එහි අනාගත වක්තෘවරුන් පිළිබඳව සදහන් අනාවැකීන් දක්නට නොලැබේ. නමුත් නබිතුමාණන් මඟින් ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර කාලයේ ලොව ප්‍රකාශ වූ විවිධ ආගම් සැලකූ විට ඒ සියලු ආගම් එහි පරිපූර්ණත්වය ප්‍රකාශ නොකළ අතර ඒ වෙනුවට ඔවුන් පවසා සිටියේ “මා ප්‍රකාශ කලේ අල්පයක් පමණි” යනුවෙන් පමණි. එසේ පැවසීමෙන් නතර නොවූ සමහරක් ශාස්තෘවරුන් (වක්තෘවරුන්) “මේ දහම පරිපූර්ණ කිරීම සදහා අනාගතයේ පැමිණෙන වක්තෘවරුන්” පිළිබඳව ද සාක්ෂි පවසා ඇත. එය ඉහත සදහන් මුහම්මද් (සල්) තුමා අනාගත හා අවසාන වක්තෘ (නබි)වරයාද? යන ලිපිය තුලින් ද ඔබට පැහැදිලි වනු ඇත.

මෙම ලිපිය බුදු දහම පදනම් කරගත් එකක් වන නිසා එය පදනම් කරගෙන විමසා බලන විට එහි එක්තරා ස්ථානයක මෙසේ සදහන් වේ. එනම්, දිනක් බුදුන් වහන්සේ “ඇට්ටේරියා කොල ස්වල්පයක් අතේ තබාගෙන මා පැවසූ දහම මේ ඇට්ටේරියා කොල මෙනි නමුත් මා නොපැවසූ දහම මේ ඇට්ටේරියා වනය මෙනි” යනුවෙන් පැවසීය. මේ ප්‍රකාශය තුල සම්පූර්ණ දහම උන් වහන්සේ විසින් මිනිස් සමාජයට ප්‍රකාශ නොකළ බව පැහැදිලිය. මේ ආකාරයටම ශ්‍රී ලාංකීය ආගම් වන හින්දු, කිතුණු දහම සැලකූව ද ඒ සියල්ල තුල එම දහමේ අසම්පූර්ණ බව ප්‍රකාශ වන අතර සුවිශේෂි අනාගත ශාස්තෘවරුන් පිළිබඳව ද ප්‍රකාශ වේ. කෙසේ නමුත් මෙම ගැටළු සදහා පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් නොකළ හැකි ප්‍රබල වූ බාධකයක් ඇත. ඒ “ඒ ඒ ආගම් සදහා වූ ආරම්භයේ පටන් ආරක්ෂා වූ ආගමික මූලාශ්‍රයන් නොපැවතීම” යන්නයි. මෙම බාධාකය හමුවේ ආගමික විග්‍රහයන්ට වඩා ඉදිරිපත් වන්නේ ඒ ඒ පුද්ගල මතවාදයන් හා අදහස් දැක්වීම් පමණි. ඉස්ලාම් දහම හැර ලොව කිසිදු දහමකට මෙම දුර්වලතාවයෙන් මිදෙන්නට හැකි වී නැත. මෙම දුර්වලතාවය හමුවේ මෙම පැනයට පමණක් නොව මෙවන් පැන රාශියක් සදහා පැහැදිලි විග්‍රහයක් ලබාදීමට නොහැකිව බොහෝ ආගම්වලට මුනිවත රැකීමට හෝ ස්වමත දෙඩවීමට සිදු වී ඇත. ඒ අනුව මෙම විෂය පිළිබඳව ඉස්ලාම් දහමෙන් පරිභාහිරව මා කථා කරන්නේ නම් එය නිරවද්‍ය හා සාර්ථක විග්‍රහයක් නොවන බව පැහැදිලිවම වටහා ගත යුතු ය. කෙසේ වෙතත් පවතින මූලාශ්‍රයන් පදනම් කරගෙන ඔබට කිසියම් අවබෝධයක් ළඟා කිරීමට උත්සාහ කරමි.

මීට ඉහත මෙම විෂය තුල කිතුණු දහම පිළිබඳව කෙටි විග්‍රහයක් මුහම්මද් (සල්) තුමා අනාගත හා අවසාන වක්තෘ (නබි)වරයා ද? යන ලිපිය තුල සිදු කළ නිසාත්, මෙම විෂය හින්දු දහම පදනම් කරගෙන සිංහල භාෂාවින් සාකච්ඡා කිරීම යහමඟ පාඨක ඔබට එතරම් වැදගත් නොවනු ඇතැයි හැඟෙන නිසාත් ශ්‍රී ලාංකීය බුදු දහම පදනම් කරගෙන මෙම විෂය කෙටියෙන් විමසා බලමු.

බුදුන්ගේ දේශනය යැයි බෞද්ධයන් පිලිගන්නා “ත්‍රපිටකය” පදනම් කරගෙන මෙම විෂය විමසා බැලුවේ නම් එහි (මාගේ අවධානයට හසු වූ පමණින්) අවස්ථා දෙකක පමණ “මෛත්‍රි” නම් අනාගත බෝධිසත්වයකු පිළීබඳව සඳහන් වේ. එවැනි එක් අවස්ථාවක් තමා දීඝ නිකායේ චක්කවත්ති සිහනාද සූත්‍රයේ සඳහන් පහත පාඨය.

“…එකල මෛත්‍රිය නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපදින්නේ ය. ඒ බුදුන් වහන්සේ දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මණයන් සහිත මේ ලෝකය ද මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත ජනයාද තමන් වහන්සේ උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කරන්නේ ය…”

ඉහත ත්‍රපිටක ඉගෙන්වීම අනුව “මෛත්‍රි” නම් සුවිශේෂි චරිතයක් පිළිබඳව බුදුදහමේ සඳහන් වන බව පැහැදිලි ය. මෙම විෂය බුදුදහම තුල ඉතාම අල්ප වශයෙන් සදහන් වුවද මෙම විෂය පිළිබඳව බෞද්ධ සමාජයේ ගැඹුරු විග්‍රහයන් හා අප්‍රසිද්ධ වාද විවාදයන් පැවතීම බහුතර පිරිසක් නොදන්නා කාරණයකි. මේ ආකාරයේ වූ වාද විවාදයන් මෙම විෂය සම්බන්ධයෙන් පැවතීමට විශේෂ හේතුවක් ද ඇත. ඒ ලොවට බුදුන් මඟින් ප්‍රකාශ වුවා යැයි පැවසෙන දහම මේ වන විට ප්‍රධාන කොටස් දෙකකට බෙදී ගොස් පැවතී. ඒ “මහායාන” හා “ථේරවාද” යනුවෙනි. (මීට අමතරව තවත් අනු කොටස් ද පවතී) මේ දෙපාර්ශවය අතීතයේ දී ප්‍රබල ගැටුමන් පවා ඇති කරගෙන තම මතවාදය ඉදිරියට ගෙන යාම සදහා ඉහත දෙපාර්ශවය මහා අරඟලවල නිරත වෙමින් විටෙක ජීවිත පවා බිලිදෙමින් හා බිලිගනිමින් ගැටුණු බව ඉතිහාසගත සාක්ෂි තුල අනාවරණය වේ. මහායාන බුදුදහම සැලකූ විට එය ඇදහිලි හා විශ්වාසයන් පැත්තට දැඩි නැඹුරුවක් දක්වන අතර එහි ලොව පවතින බොහෝ ආගම්වල පවතින පොදු ලක්ෂණ අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ. නමුත් ථේරවාදී බුදුදහම (ශ්‍රී ලංකාව තුල පවතින බුදුදහම) සැලකූ විට එය දාර්ශනික පැත්තට හා බුද්ධීය මුල් කරගත් තර්ක විතර්කවලට දැඩි නැඹුරුවක් දක්වන අතර ඒ තුල (යටපත් කරගත්) ආගමික ලක්ෂණ නැතුවා නොවේ. අතීතයේ පටන් මේ දෙපිරිස අතර පවතින මතවාදී විරසකයන් නිසා වර්තමානයේ  “ථේරවාදීන්ට” සාපේක්ෂව  “මහායාන” පිලිපදින පිරිස් අතර “මෛත්‍රී බුදුන්” පිළිබඳව ප්‍රබල අදහස් පැවතුන ද ඒවා  ශ්‍රී ලාංකීය සමාජය තුල අනාවරණය වන්නේ ඉතා අවම වශයෙනි.

අතීතයේ පටන් මහායානික බෞද්ධයන් අතර බහු බෝධිසත්ව සංකල්පය පැවති ඇති අතර ථේරවාදය තුල එවැනි ලක්ෂණ දක්නට නොවීය. ආරම්භයේ ථෙරවාදීන්ගේ ක්‍රියා කලාපය තුල බුදුන් වහන්සේට වඩා ඉහළින් වැඳුම් පිඳුම් කිරීමක් දක්නට නොලැබුණි. නමුත් කාලයත් සමඟ මහායාන බුදුදහමේ ආභාෂයන් ථේරවාදී බුදුදහමට ද ලැබුණූ අතර ඒ මෙම බහු බෝධිසත්ව සංකල්ප ඔවුන් තුල ද ව්‍යාප්ත වන්නට විය. ථෙරවාදීන්ට මුලින් සිටියේ සිද්ධාර්ථ බෝධිසත්වයන් පමණි. පසුව බෝධිසත්ව සංකල්පය අතීතයට වර්ධනය වූ අතර අනාගතයට ද එක් බෝධි සත්වයකු (මෛත්‍රි බෝධිසත්වයකු) දක්වා වර්ධනය විය. කෙසේ නමුත් මෙම විෂය ලාංකීය බෞද්ධ සමාජයෙන් වසන් කිරීම සදහා විවිධ වූ උත්සාහයන් විවිධ කාලවල සිදු වූ බව පවසන බෞද්ධ විද්වතුන් එහි දී සමහරක් කරුණු පවා බෞද්ධ ග්‍රන්ථවලින් ඉවත් කර ඇති බව ඔවුන් පවසයි. මෙලෙස වසන් කිරීමන්ට ලක් වූ විෂයක් පිළිබඳව ගැඹුරු විග්‍රහයකට යාම මා ඉහතින් සඳහන් කළා සේ අසාර්ථක වෑයමකි. මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා සිටින්නේ මා වැනි පිරිස් පමණක් නොවේ. මෙම අවසනාවන්ත තත්වය තුල බහුතර බෞද්ධ සමාජයම සිර වී ඇත. එයට හොදම නිදසුනක් ලෙස වර්තමාන ශ්‍රි ලාංකීය සමාජය තුල පහල වී සිටින “මෛත්‍රී බුදුවරුන්” හොඳම නිදසුනකි. (මේ පිරිස් තමන් මෛත්‍රී බුදුන් බව පවසමින් විවිධ වෙබ් අඩවීන් පවා පවත්වාගෙන යන ආකාරය අන්තර්ජාලය තුල සැරිසරන ඔබට නම් අලුත් කරුණක් නොවනු ඇත.)

ඉහත කරුණු හොදින් විශ්ලේෂණය කරන විට ඉස්ලාම් දහමේ සඳහන් ආකාරයටම නොවුවත් “මෛත්‍රී බුදුන්” නම් අනාගත ශාස්තෘවරයෙකු (පණිවුඩකරුවකු) පිළිබඳව බුදුදහමේ ද සඳහන් වන බව පැහැදිලිය. එපමණක් නොව මා ඉහතින් සඳහන් කළා සේ ගෞතම බුදුන්ට පෙරද විවිධ බුදුවරුන් (ශාස්තෘවරුන්) ලොව පහල වූ බව බුද්ධ දේශනවල සඳහන් බව පැහැදිලිය. මීට අමතරව දෙවියන්, දේව දූතයන් (අරාබි භාෂාවෙන් මලාඉකාවරුන් පිළිබඳව), ස්වර්ගය, අපාය… යනාදීන් පිළිබඳව ද බොහෝ කරුණු කාරණා බුදුදහම තුල සඳහන් වන බව ද මෙම අඩවිය තුල (මීට පෙර විවිධ ලිපි ඔස්සේ මෙම අඩවිය තුල) සාකච්ඡා කොට ඇත. මෙලෙස සදහන් සියලු ඉගෙන්වීමන් ආරම්භයේ පටන් නිසි ලෙස ආරක්ෂා නොවී පැවතීම තුල ඒ විෂයන් පිළිබඳව පැහැදිලි විනිශ්චයකට එළැඹිය නොහැකි ව අනුමාන නිගමනයන්ට එළැඹීමට සිදු වී ඇත. කෙසේ වෙතත් මේ විෂය පිළිබඳව එනම් “මෛත්‍රී බුදුන් සංකල්ප” පිළිබඳව හරවත් හා පදනම් සහිත සංවාදයන් හා ලිපි ඉදිරිපත් කිරීම සදහා බෞද්ධ විද්වත්ට ආරාධනාවක් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා අතර ඒ සදහා යහමඟ අඩවිය විවෘත බවද සතුටින් ප්‍රකාශ කරමි.

අබූ අර්ෂද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 10 යි.

  1. Madhusha Mendis 2013-01-26 at 03:38

    ඔබ මේ ලිපි පෙළ ඉදිරිපත් කිරීමේදී භාෂාව බුදු දහමට නිගරු නොවන ආකාරයෙන් ඉදිරිපත් කිරීම පිලිබදව ප්‍රසාදය පල කරමි.

  2. අධීශ ජයනාත් 2012-09-29 at 01:14

    @ අබූ අර්ශද්
    ” ‘ඔබලාට සඳ දෙවියෙකු වනවිට අපට එය හුදෙක් තවත් එක ආකාශවස්තුවක්…’ යයි පැවසීම තුල ඉස්ලාම් මූලික කාරණයන් පිලිබදව පවා ඔබේ තිබෙන අනවබෝධය මනාව පිළිඹිබු වේ.” සඳ දෙවියකු වේම පිළිබඳව සඳහන් කලේ නිවහල් චින්තනය පෙන්වීමට පමණි (සඳ දෙවියකු වීම හෝ නොවීම ඉස්ලාමීය මූලික කරුණක් නම් මට කම් නැත මක්නිසාදයත් සඳේ ස්වභාවය මිනිසෙකුගේ මෝක්ෂයට බල නොපාන බැවිනි(එය ලෞකික දැනුමට අදාල කරුණකි.)) අපහට නව දැනුම අන්තර්ග්‍රහණ කරගැනීම බාධාවක් නොමැත හඳ දෙවියකු හෝ ගලක් හෝ කේක් ගෙඩියක් වුවත් එමගින් බුදුදහමට එල්ලවන බලපෑමක් නැත ඒ අප යමක් දිහා බලනුයේ ප්‍රඥප්ති අර්ථයකින් නොව පරමාර්ථ ධර්ම අර්ථයකින් වන බැවිනි.

    බෞද්ධ අබෞද්ධ භාවය බුදුදහම විග්‍රහකිරීමට අදාල නොවෙතත් එම විග්‍රහය කොතරම් දුරට සාදාරන ලෙස බුදුදහමේ කරුණු භාවිතකරනවාද යන්න සලක බැලිය යුතු කරුණකි.
    ” එසේම එහිදී ඉදිරිපත් වන ඔබේ පුද්ගලික විග්‍රහය බෞද්ධ විග්‍රහයක්ද? නොවේ.” මෙහිදී මා සදහන්කල දෙය තුල ඇති එක් පුද්ගලික විග්‍රහයක් දක්වන්න. මා විසින් සඳහන්වන කරුණු තුල බුදුදහමින් පරිබාහිර වූ එකදු හෝ කරුණක් නොමැත.

    ” ‘බුදුදහම ගැන පූර්ණ දැනුමක් මට නැතැයි’ කියා එයත් තර්කයකින් තොරව මා පිලිගනිමි.”
    උක්ත කරණය මා විසින් කිසිවිටක සඳහන්කර නොමැත. බුදුදහම ගැන පූර්ණ දැනුමක් ඇත්තේ බුදු, පසේබුදු සහ මහරහතුන් වහන්සේලාට පමණි. මා විසින් ඉදිරිපත් කර ඇත්තේ බුදුදහම තුල ඇති නමුත් ඉස්ලාම් දහම තුල නොමැති සංකල්ප කිහිපයක් ගැන පමණි(සමහරවිට ඔබට මට වඩා බුදුදහම ගැන දැනුමක් තිබෙන්නට පුළුවන. නමුත් ඔබ එම දැනුම අර්ථකථනය කරනුයේ හුදෙක් ඉස්ලාමීය රාමුව තුල හිඳගෙන පමණි. නමුත් ඉස්ලාමීය රාමුවෙන් පිටතට විත් බුදුදහම ගැන විස්තර කරන්නේනම් එය අගේකොට සලකමි (බෞද්ධ රාමුවට පැමිණීම අවශ්‍ය නොවේ.) තව එක් කරුණක්නම් එක් රාමුවක සිට තවත් රාමුවක් විස්තරකිරීම එතරම් නුවනට හුරු නොවේ. එසේ කිරීමටනම් රාමු දෙකෙන්ම පිටතට පැමිණිය යුතුය. මම බෞද්ධ රාමුවෙන් පිටතට පැමිණ පිළිතුරු දෙන්නෙමි(අවම තරමින් උත්සාහ හෝ කරමි).නමුත් කුරානය ගැන මගේ ඇති නොදැනුවත්භාවය නිසා යමක් අතපසු වූයේනම් එය කාරුණිකව ඉවසන්න.)

  3. අධීශ ජයනාත් 2012-09-29 at 00:47

    @ අබූ අර්ශද්
    මා ඔබට පැවසීමට උත්සහ ගත්තේ ඔබ විසින් උක්ත කරුණ වැරදි ලෙස අර්ථකථනය කර බුදුරජාණන් වහන්සේ විසින් අසම්පූර්ණ දහමක් දේශනාකළේයැයි උලුප්පාදැක්වීමට එරෙහිවමය. ත්‍රිපිටකය තුල අභිධර්ම පිටකයේ බෞද්දයකුට නිවණ අවබෝධකරගැනීමට අවශ්‍ය සියලු මගපෙන්වීම ඇත. එමෙන්ම යමෙකුට විශ්වයේ ඇති සියල්ලම දැනගැනීමට අවශ්‍යනම් ඒ සඳහා ලොව්තුරා බුදුබව ලබාගැනීමට මාර්ගයද දේශනාකර ඇත. එබැවින් කැමති කෙනෙකුට බුදුවී සියල්ලම දැනගත හැක. මා විසින් පරිගණක විද්‍යාත්මක මිනුම් වලින් ප්‍රමාණය දැක්වුයේ බුදුන් දන්න සියල්ල දේශනාකලේනම් එය පවත්වාගෙන යාමට කොතරම් වෙහෙසක් දැරීමට සිදුවනවාද යන්න පෙන්වීමට පමණි.
    “එපමණඛ් නොව ඔබ ශුද්ධ වූ කුර්ආනය පමණක් දිව්‍යමය මඟපෙන්වීමක් ලෙස අවබෝධ කරගෙන සිටීමද ඉස්ලාම් දහම පිලිබදව ඔබේ අනවබෝධය තවදුරටත් පිළීඹිබු කිරීමකි.” යම්හෝ අනවබෝධයකින් යුතුව මා විසින් කුරානය විවේචනය කරන්නේනම් මට සමාවන්න. එමෙන්ම ඒ පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමට උත්සහ ගන්න.

    • abuarshed 2012-09-30 at 05:34

      මා ඉහතින් සදහන් කලේ බුදුන් වහන්සේ මිනිස් සමාජයට දේශනා නොකල ‍බොහෝ දෑ තිබූ බව බෞද්ධ ඉගෙන්වීමන් තුලින් පෙනීයන බවයි. එයට ‘ඇට්ටේරියා කොල’ සම්බන්ධ දේශනය එක් නිදසුනක් පමණී. එයින් බුදුදහම අසම්පූර්ණ යන්න මා අදහස් කලේ නැත. එසේම ශුද්ධ වූ කුර්ආනය පමණයි ලොව එකම දිව්‍යමය මඟපෙන්වීම යන්න මා දන්නා පමණින් කිසිවිටෙක පවසා නැත. (එසේ පවසා තිබුණේ නම් එය වරදකි) මන්ද ආරම්භ මිනිසා පටන් අවසාන වකෘවරයාණන් දක්වා සියළු නබිවරුන්ට අල්ලාහ් මඟපෙන්වීමන් ලබාදුන්නා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. නමුත් අදට ආරම්භයේ පටන් ආරක්ෂා වී ඇති එකම දේව පුස්තකය ශුද්ධ වූ කුර්ආනය පමණයි.

  4. අධීශ ජයනාත් 2012-09-28 at 01:01

    ” දිනක් බුදුන් වහන්සේ “ඇට්ටේරියා කොල ස්වල්පයක් අතේ තබාගෙන මා පැවසූ දහම මේ ඇට්ටේරියා කොල මෙනි නමුත් මා නොපැවසූ දහම මේ ඇට්ටේරියා වනය මෙනි” යනුවෙන් පැවසීය”

    මා සතුව ශුද්ධවූ කුරානයේ සිංහල පරිවර්ථනය ඉලෙක්ට්‍රොනික පොතක් ලෙස ඇත.(මෙගාබයිට 3.28 පිටු 761 කි.) ඔබ ඉහත පවසන ආකාරයට අල්ලාහ් දෙවියන් විසින් එතුමා දන්නා සියල්ලම කුරානයේ දැක්වියයුතුය(කුරානය පරිපූර්ණ ශුද්ධ ග්‍රන්ථයක්නම්).අල්ලාහ් දෙවියන් දන්න සියල්ල අද අපට මෙගාබයිට 3.28 කට හකුලා දැක්විය හැක(තාක්ෂණයේ පිහිටෙන්). නමුත් බුදුරජාණන්වහන්සේ දේශනාකළ “ඇට්ටේරියා කොල ස්වල්පය” ඔබ ඉලෙක්ට්‍රොනික පොත් ලෙස භාගතකරනවානම් මෙගාබයිට 5392 ක් භාගතකිරීමට සිදුවේ.(කොහොමද පුතෝ අර කැලේ තිබ්බ ඔක්කොම කොලටික කිව්වනම්.)(මම තවම ත්‍රිපිටකය භාගතකරමින් පසුවෙමි.)

    • abuarshed 2012-09-28 at 09:37

      ‘ඔබ මේ ඉදිරිපත් කරන තර්කය කොතරම් බුද්ධිමත් තර්කයක්ද යන්න නැවත ඔබම විමසා බලන්න’ එය මාගේ සුහඳ ඉල්ලීමක්. මා සතුව ත්‍රිපිටකයේ සැලකිය යුතු තරම් ප්‍රමාණයක් ඇත. එහි ‘බයිට්’ ප්‍රමාණය ආගමක වලංගු හා අවලංගුභෘවය තීරණය කරන සාධකයක් කරගන්න පුළුවන්ද? සිතා බලන්න. මා මේ පිලිබදව මීට වඩා මෙතැනදී කථා කිරීමට නොයමි. අවශ්‍ය නම් එහි අන්තර්ගතයන් පිලිබදව හා තාක්ෂණික කරුණූ පිලිබදව ඉදිරියේදී පුළුල් ලෙස කථා කරන්න මා සූදානම්
      එපමණඛ් නොව ඔබ ශුද්ධ වූ කුර්ආනය පමණක් දිව්‍යමය මඟපෙන්වීමක් ලෙස අවබෝධ කරගෙන සිටීමද ඉස්ලාම් දහම පිලිබදව ඔබේ අනවබෝධය තවදුරටත් පිළීඹිබු කිරීමකි.
      කෙසේ වෙතත් ඔබ සැබෑ බෞද්ධයෙකු ලෙස හිඳ ශීෂ්ඨ සම්පන්න ලෙස භාෂාව හැසිරවීම සම්බන්ධයෙන් මා ඔබට ගරුකරමි.

  5. අධීශ ජයනාත් 2012-09-28 at 00:23

    “මෛත්‍රී බුදුන් සංකල්ප”
    මෛත්‍රීබෝධිසත්ව සංකල්පය පමණක් නොව තවත් බෝධිසත්වයන් අපට ඇත.ඒ මක්නිසාදයත් අනන්ත බුදුවරු සංඛ්‍යාවක් පහළවී ඇතිවාමේන්ම තවත් අනන්ත බුදුවරු සංඛ්‍යාවක් පහළවන බැවින් බෝධිසත්වයන්ගේ අඩුවක් නොමැති බැවිනි.
    කරුණාකර බෝධිසත්ව සංකල්පය ගැන තවදුරටත් ඉගෙනගන්න.

    පාඨක මත විමසුම සම්බන්ධව:-
    මහිදී “ආගමක් මගින් සමාජ ප්‍රගමණය සඳහා කොතරම් දායකත්වයක් දක්වන්නේද” යන්නත්, ආගමක් “කොතරම් මානුශ්‍යවාදීද” යන්නත් ඇතුලත් කරානම් ගොඩක් හොඳයි.

    • abuarshed 2012-09-28 at 09:25

      ඔබ පවසන දෙවන කාරණය ඉදිරිපත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරමි. එහිදී සාධාර්ණ මත ප්‍රකාශ වීමක් සිදුවේවා! යන්න ද ප්‍රාර්ථනා කරමි.

  6. අධීශ ජයනාත් 2012-09-28 at 00:12

    ” දිනක් බුදුන් වහන්සේ “ඇට්ටේරියා කොල ස්වල්පයක් අතේ තබාගෙන මා පැවසූ දහම මේ ඇට්ටේරියා කොල මෙනි නමුත් මා නොපැවසූ දහම මේ ඇට්ටේරියා වනය මෙනි” යනුවෙන් පැවසීය” බුදුදහම මූලික කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමුකරයි. එනම් ලෞකික සහ ලෝකෝත්තර වශයෙනි(ලෝකෝත්තර යන්න ඉස්ලාම් ඔබට අවබෝධ කරගත නොහැකි බව මම ඉඳුරාම දනිමි.).
    ලෞකික :- අප ජීවත්වන ලෝකය තුල (බුදුදහම තුල ලෝක කිහිපයක් වෙයි. අපාය සතර, මනුෂ්‍ය ලෝකය, දේවලෝක හය, සහ බ්‍රහ්ම ලෝක(රූපාවචර, අරූපාවචර, අසඥ්ඥ ලෙස බ්‍රහ්ම ලෝක වර්ග තුනකි.ඊට අමතරව ශුද්ධාවාස ලෙස විශේෂ බ්‍රහ්මලෝකයක්ද ඇත.)) නිවැරදිව ජීවත්වීමට අවශ්‍ය දැනුම.(මෙම දැනුමට අපාය සතර අදාල නොවේ. මක්නිසාද යත් අපායේ උපදින සත්වයන්(අපිට මිනිසුන්,දෙවියන්,බ්‍රහ්මයන්,යක්ෂයන්,භූතයන්,නිරිසතුන් සියල්ලම සත්වයන් වෙයි.) ත්‍රිහේතුක ප්‍රතිසංධිය සහිතව උප්පත්තිය නොලැබූ ඇය වෙති.)
    ලෝකෝත්තර:-ලෞකිකත්වයින් බැහැර වූ නිර්වාණය කරා යොමුවූ දැනුම(සමාවන්න, නිවණ යන්නද ඉස්ලාම් ඔබට අවබෝධ කරගත නොහැක).
    බුදුරජාණන් වහන්සේ තමා අවබෝධකරගත් ලෝකෝත්තර දැනුම සියල්ලමද, ලෞකික දැනුමින් ඉතා සුළු කොටසක්ද දේශනාකර ඇත(කරුණාකර ත්‍රිපිටකයේ සුත්‍ර පිටකයේ ඛුද්දක නිපාතයවත් කියවා බලන්න (පී.ඩී.එෆ් ඒක තියෙනව මෙගාබයිට් 106). අභිධර්ම පිටකය ඉතා ගැඹුරුය එය නිවැරදිව අවබෝධකරගතහැකි අයෙකු මෙලොව සිටින බිලියන 6 කට අධික ජනතාව තුල සිටිනවාද යන්න මට සැකසහිතය.).
    බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය වනුයේ නිර්වාණ අවබෝධයමය. එබැවින් විශ්වය පිලිබඳ සියලි දැනුම මිනිසාට අවශ්‍ය නොවේ.(ඔබලාට සඳ දෙවියෙකු වනවිට අපට එය හුදෙක් තවත් එක ආකාශවස්තුවක් වනුවේත්, චක්‍රාවාට කළුකුහර පනුකුහර(wormhole) අපට අරුමයක් නොවන්නේත් අප ඒ ගැන බුදුදහම තුලින් දැනගත් බැවිනි.) හිස ගිනිගත්තකු ඒ ගිනි නිවාදමන්නට වෙහෙසෙනවාටත් වඩා නිවන් අවබෝධයට වෙහෙසෙන ලෙස අපට උගන්වා ඇත්තේ සංසාරයේ පවතින අප්‍රමාණ දුක් නිසාමය.

    කරුණාකර අලියා ව්ස්තරකළ අන්ධයන් මෙන් එක වාක්‍යයක් අල්ලාගෙන බුදුදහම විග්‍රහනොකරනමෙන් ඉල්ලාසිටිමි(ඒ තුළින් අපට පෙනෙන්නේ ඔබගේ නොදැනුවත් භාවය මිස අනෙකක් නොවේ.)

    • abuarshed 2012-09-28 at 09:22

      මා ප්‍රථමයෙන් ඔබගේ උත්සාහයට ස්තූති වන්ත වෙමි. එසේම ඔබ පවසනවා නම් ‘බුදුදහම ගැන පූර්ණ දැනුමක් මට නැතැයි’ කියා එයත් තර්කයකින් තොරව මා පිලිගනිමි. නමුත් බුද්ධ ඉගෙන්වීමකට ඔබ දෙන විග්‍රහයද, මම දෙන විග්‍රහයද නිවරුදි යන්න සැලකිල්ලට ගැනීමේදී එයට ඔබ පදනම් කරගන්නේ ‘මම බෞද්ධයෙක් ඔබ අබෞද්ධයෙක්’ යන්න නම් එයට මා එකඟ නොවෙමි. එහිදී වැදගත් වන්නේ නිවැරදි විග්‍රහය කුමක්ද? යන්න මිස පවසන පුද්ගලයා බෞද්ධයෙක්ද? අබෞද්ධයෙක්ද? යන්න නොවේ. එසේම එහිදී ඉදිරිපත් වන ඔබේ පුද්ගලික විග්‍රහය බෞද්ධ විග්‍රහයක්ද? නොවේ. ඔබ අවධාරනය කරන කාරණය බෞද්ධ ඉගෙන්වීමන් තුලින් විග්‍රහ කරන්නේ නම් ඒ පිලිබදව නැවත විමසා බැලිය හැක.
      දෙවනුව ඔබ පවසන ‘ඔබලාට සඳ දෙවියෙකු වනවිට අපට එය හුදෙක් තවත් එක ආකාශවස්තුවක්…’ යයි පැවසීම තුල ඉස්ලාම් මූලික කාරණයන් පිලිබදව පවා ඔබේ තිබෙන අනවබෝධය මනාව පිළිඹිබු වේ. එසේ තිබිය දී ‘කරුණාකර අලියා විස්තර කළ අන්ධයන්…’ යයි ඔබ පවසන කාරණය නැවත වරක් ඔබම සිතා බැලීම අත්‍යඅවශ්‍ය යන්නත් අවධාරණය කරමි.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *