ආගම් ප්‍රචාරයත් ආගමානුකූල වියයුතුයි.

0

අතීතයේ පටන් ආගම් තුලින් මිනිස් සමාජයට ඇති කල බලපෑම සුළුපටු ‍නොවේ. අධ්‍යාත්මික, සාරධර්ම, සදාචාර… යනාදී වශයෙන් සියළුම ක්ෂේත්‍රයන් තුලින් යහපත් මිනිසෙකු සමාජයට දායාද කිරීමට දැක්වූ මැදිහත්වීම ඉතිහාසය පුරාවට කියාපායි. එදා ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සමාජ යහපතට මැදිහත් වූ එම මෙහෙවර අද වනවිට දියුණූ තාක්ෂණය සමඟ මුසු වී වඩාත් ආකාර්ශණීය ආකාරයට සමාජගත වෙමින් තිබීම සතුටට කාරණයකි. මෙවන් අවධියක යහමඟ අඩවිය තුලින් සාකච්චාවට සැරසෙන්නේ නූතන මිනිසා දහම් මෙහෙවර තුල ලබා ඇති විජයග්‍රහණයන් පිලිබදව නම් නොවේ. එදා සීමිත ක්ෂේත්‍රයන් තුල හිඳ යහපත් සමාජ මෙහෙවරක් ඉටුකල බහු ආගමික ප්‍රජාව  දියුණූ තාක්ෂණික පහසුකම් පවා යොදාගෙන අද සිදුකරමින් සිටින්නේ කුමක් ද? යන්න පිලිබදවයි.

දහම් ප්‍රචාරය යනු ඉතා පුළුල් ක්ෂේත්‍රයකි. අද ‘දහම් ප්‍රචාරය’ යන වදන ඇසූ පමණින් බොහෝ පිරිසකගේ සිත තුල  මැවෙන්නේ ‘එක් ආගමකින් තවත් ආගමකට හැරවීමට ගන්නා උත්සායන්’ ය. මෙය සම්පූර්ණයෙන් වැරදි අවබෝධයකි. කිසියම් පුද්ගලයෙකු විසින් තමන් පිලිගෙන අදහන දහම මුළුමහත් මිනිස් සමාජයේ විමුක්තිය සදහා වූ එකම මාර්ගය ලෙස පිලිගැන එම සත්‍ය මාර්ගය සදහා ජනතාව කැදවීම හෝ එම මාර්ගය ප්‍රචාරණය කිරීම වරදක් ලෙස දැකීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. එසේම එලෙස සිදුකරන ප්‍රචාරණයන් අවබෝධයකින් තොරව අන්ධ භක්තිකව පිලිගැනීමත්, එවැනි ප්‍රචාරණයන් සම්බන්ධයෙන් බුද්ධිමත් තර්ක, විතර්ක, සංවාද… යනාදී කිසිවක් නොකොට එය විවේචනය කිරීමත් බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. මේ තත්වය මනාව අවබෝධ කරගත් නිසා තමා අප රටේ බුද්ධිමතුන් රටේ ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ දී…

‘සෑම තැනැත්තෙකුට ම තමන් කැමැති ආගමක් ඇදහීමේ හෝ වැළද ගැනීමේ හෝ නිදහස ලබ්ධියක් හෝ විශ්වාසයක් හෝ දැරීමේ හෝ පිලිගැනීමේ හෝ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට හෘදය සාක්ෂියේ නිදහසට සහා ආගමික නිදහසට හිමිකම් ඇත්තේය’

යනුවෙන් එහි වගන්ති නිර්මාණය කරමින් ආගමික නිදහස එහි තහවුරු කලේ. මේ නීත්‍යානුකූල නිදහස හා අයිතිය අවස්ථාවක් කරගෙන සමස්ථ මිනිස් සමාජයටම විමුක්තිය දිනාදීමට සෑම ආගමික පාර්ශවයක්ම අතීතයේ පටන් දැරෑ වෑයම් එකක් දෙකක් නම් නොවේ. නමුත් අද වනවිට අවාසනාවන්ත ලෙස එම තත්වය උඩුයටිකුරු වී ඇත. එනම්, එදා ශූද්ධ වූ අරමුණු පෙරදැරිව උතුම් මෙහෙවරයන් හි නිරත වූ ආගම් අද වනවිට උතුම් වූ වගකීම අමතක කොට ‘දහම් ප්‍රචාරණය’ නමින් තවත් ආගමකට එරෙහිව නින්දිත චෝදනාවන්, අපහාසයන් හා උපහාසයන්, මනක්කල්පිත කරුණූ පදනම් කරගත් තර්ක විතර්කයන්, මුසාවන්… යනාදී පහත් ක්‍රියාවන් සිදුකරමින් එම ආගම් විවේචනය කරමින් ඒ තුලින් තමන් අදහන දහමට ප්‍රතිරෑපයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටී. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ තමන් අදහන දහම පිලිබදව පවා මූලික අවබෝධයකින් තොරව සමහරක් පිරිස් දහම් ප්‍රචාරණයේ යෙදෙමින් ‘අපි ආගමික ඔස්තාර්ලා ඔබලා මොනවද දන්නේ’ (තේරෙන හා සරල භාෂාවෙන් පවසනවා නම් ‘උඹලා පොරවල්ද? අපි තමයි නියම පොරවල්)’ යන්න නොකියා කියන ආකාරයට ක්‍රියා කරමින් සිටී. මෙහි තවත් අවාසනාවන්ත තත්වය නම්, අද ‍අප රටේ බොහෝ තීන්දු තීරණ ගන්නේ එනම්, ආගමික තීන්දු තීරණ, සමාජ එකමුතුව හා සහජීවනය, දැන් දැන් අප රටේ දේශපාලන සම්බන්ධ කටයුතුවල පවා තීන්දු තීරණ ගන්නේ මේ ‘පොරවල්’ වීමයි.

මෙවන් පොරවල් සම්බන්ධයෙන් විටින් විට ලිපි ගණනාවකින් මෙම යහමඟ අඩවිය තුල කරුණූ සාකච්චා කොට ඇත. නමුත් මෙතෙක් එවැනි සාකච්චාවට බඳුන් නොවූ ‘පොරවල්’ පිරිසක් දැන් දැන් ශ්‍රී ලාංකීය සමාජය තුල බිහිවෙන්නට පටන්ගෙන ඇත. ඒ මා ඉහතින් පැවසූ විවේචකයන්ගේ අඩිපාරේ යන ‘ඉස්ලාම්’ නම් ලෝගුව පෙරවාගත් පොරවල් පිරිසයි. මෙම පිරිස පදනම් කරගෙන ‘ආගම් ප්‍රචාරයත් ආගමානුකූල වියයුතුයි’ නම් මෙම ලිපිය සාකච්චා කරන්න අදහස් කරන අතර ඒ තුලින් ‘ඔවුන් තුල ඇති ආගමික අසංවරකම මෙන්ම ආදර්ශභංගත්වය පිලිබදව බුද්ධීමත් ප්‍රජාවගේ අවධානයට කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි.

අන්තර්ජාලය තුල සැරිසැරීමේ දී ඉස්ලාම් විරෝධී ප්‍රචාරණයන්ට දෙවැනි නොවී නිසි පිලිතුරු ලබාදෙන වෙබ් අඩවීන් ද නිර්මාණය වී විශිෂ්ඨ මෙහෙවරක් සිදුකරමින් සිටීම සතුටට කරුණකි. නමුත් එවැනි පිරිස් අතර සීමිත පිරිසක් ‘දව්වා’ (දහම් ප්‍රචාරණය) නමින් පොරවල් වීමට තැත් කරන ආකාරයක්ද? දක්නට ඇත. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ ඉස්ලාම් දහම වෙනුවෙන් උතුම් මෙහෙවරක නිරත වන්නා බව හදුන්වා ගන්නා ඔවුන් ඒ සදහා ඉස්ලාම් තුලින් ආදර්ශ ලබනවා වෙනුවට ඔවුන් වැනි පිරිස් තුලින් ආදර්ශ ලැබීමයි. ශුද්ධ වූ දහම මිනිස් සමාජයට දහම ප්‍රචාරණය කලයුතු ආකාරයත් ඒ තුල කටයුතු කලයුතු ආකාරයත් නොපවසා නොවේ. නමුත් ආදර්ශ භංග වූ සමාජයක් ආකාරයට ඉස්ලාමීය ඉගෙන්වීමන්වලින් ඔබ්බට ගොස් අප ශ්‍රී ලාංකීය සමාජය සමහරක් අන්තවාදී පිරිස් කටයුතු කරන ආකාරයට ඔවුන් හා කරට කර ද තවත් විටෙක ඔවුන් අබිබවා ද සමහරක් පිරිස් ‘පොරවල්’ වීමට උත්සාහ කිරීම කිසිසේත් ඉස්ලාමීය දෘෂ්ඨි කෝණයෙන් අනුමත කල හැකි කාරණයක් නොවේ. සමහර විට ඔවුන්ගේ ඉදිරිපත් කිරීමන්ට විශාල පාඨක ප්‍රතිචාර ඉදිරිපත් වීමට පුළුවන. ‍Facebook like සටහන් වීමට පුළුවන. නමුත් මේ කිසිවක් එම මෙහෙවර නිවරුදි ද? නොවේ ද? යන්න තීරණය කරන සාධක නොවේ. එසේම ‘මම  මුස්ලීම් එම නිසා මා පවසන සියල්ල ඉස්ලාම්’ යයි පැවසූ පමණින් ද ඒ සියල්ල ඉස්ලාම් ‍නොවේ. මෙම කාරණය තමා පහත ශුද්ධ වූ වාක්‍යයන් මඟින් අල්ලාහ් (දෙවි) මෙසේ අවධාරනය කරන්නේ. එනම්,

‘තවද මිනිසුන් අතුරින් ‘අප අල්ලාහ් (දෙවියන්) කෙරෙහි ද අවසාන (විනිශ්චය) දිනය කෙරෙහි ද විශ්වාස කර ඇත්තෙමු’ (අප මුස්ලීම්) යනුවෙන් පවසන පිරිසද ඇත්තේය. එනමුත් (සත්‍ය වශයෙන්ම) ඔවුන් විශ්වාස කල පිරිස් නොවේ.

ශුද්ධ වූ කුර්ආන් 2-8

මෙම ශුද්ධ වූ වාක්‍යය හොදින් මනසේ රදවාගෙන අදාල කාරණය වෙත දැන් අවධානය යොමු කිරීමේ දී  මුහම්මද් (සල්) තුමාණන් මඟින් ඉස්ලාම් දහම ප්‍රකාශ වූ ආරම්භ සමාජය හා වර්ථමාන ශ්‍රී ලාංකීය සමාජය මොහොතක් සංසන්ධනාත්මක විමසා බැලීම මෙහිදී ඉතා වැදගත් වේ. එදා අරාබිද්වීපයේ උග්‍ර ලෙස පිලිම වන්දනය හා බහුදේව සංකල්පය පැවතී සමාජයක් මධ්‍යයේ ඒකදේව හා සර්වබලධාරී සංකල්පය ඉස්ලාම් නමින් මිනිස් සමාජය තුල ප්‍රකාශ කිරීම නිසා මුස්ලීම්වරුන් සියළු අතින් වධහිංසනයට, ඝාතනයට ලක්වන තත්වයට එම සමාජය පත්ව තිබුණි. විශේෂයෙන් සුමෙයියා (රලි) තුමිය හා යාසිර් (රලි) තුමාගේ ඝාතනය මෙයට හොද නිදසුනකි. මීට අමතරව බිලාල් (රලි), රෑමි (රලි)… වැනි සහාභාවරුන්ගේ ජීවිත කථාව එහි කෲරත්වය මනාව කියාපාන්නකි. එපමණක් ද නොවේ. මුස්ලීම්වරුන්ට ඇතිකල හිංසා, පීඩා, අනවශ්‍ය අතපෙවීම, බාධා කිරීම… මෙන්ම මුස්ලීම්වරුන් උපන් බිමින් නොරපීම, දේපල උදුරාගැනීම, සමූල ඝාතනය කිරීම, ආගමික නිදහස උදුරාගැනීම… යනාදීය ද එහි තවත් එක් පැතිකඩක් පමණි. මේ ආකාරයට එදා මුස්ලීම්වරුන් දුර්වල වී ඉස්ලාම් විරෝධීන් බලසම්පන්න වූ කාල වකවානුවක් විය. (අබූදර් (රලි) තුමා ඉස්ලාම් දහම වැලදගැනීමේ පසුබිම වූ සිදුවීම ඉහතින් මා පවසන තත්වය මනාව කියාපායි (ඉහත සියළු සිදුවීමන් මෙම අඩවිය තුල මීට ඉහත විටින් විට සාකච්චා කොට ඇත)) මෙවන් වූ සමාජ පසුබිමක් තුල අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් විසින් මුස්ලීම්වරුන් මෙහෙයවූ ආකාරය මෙහිදී ඉතා වැදගත් වේ. ඉහත සදහන් ආකාරයට කෲර වධහිංසනයන් හා බාධා කිරීමන් මධ්‍යයේ පවා දිව්‍යමය මඟපෙන්වීමට අනුව යහපත් ආගමික විනයක් තුල හා පොදු ජනයාගේ බුද්ධියට ආමන්ත්‍රණය කරමින් එදා මුස්ලීම්වරුන් දහම් ප්‍රචාරයේ නිරතවීම නිසා ඉතා කෙටි කාලයක් තුල සියළු බලය හිමි ලොව ප්‍රබල ආගමක් ලෙස පමණක් නොව ඉස්ලාමීය රාජ්‍යයක් ලෙස ද නැඟීසිටීම හැකිවිය. එදා පටන් අද දක්වා ‘ඉස්ලාම් ලොව ප්‍රබල දහමක්’ යන්න සනිටුහන් කර ඇත්තේ එම ආදර්ශමත් මෙහෙවරෙහි ප්‍රතිපලයක් නිසාම පමණි.

එදා පැවති අරාබිද්වීපය වර්ථමාන අප රට මෙන් නොව විවිධ වූ ප්‍රබල ආගමික මතවාද, ඇදහිලි හා මිත්‍යා විශ්වාස රජ කෙරුණූ නූගත්කම ඉහවහා ගිය සියළු අනාචාරයන් සමාජ සම්ප්‍රදායන් කරගත් දේශයක් විය. එවන් දේශයක් තුල  මුහම්මද් (සල්) තුමාණන් ඇතුළු පිරිස්  කටයුතු කල ආකාරය මුළු ලොවටම ආදර්ශමත්ය. ‘ඉවසීමෙන්‘ හා මිනිස් බුද්ධියට ආමන්ත්‍රණය කරමින් කල දහම් ප්‍රචාරය වර්ථමාන අප රටේ ඉස්ලාමීය දහම් ප්‍රචාරයේ නිරත වන සියළු පාර්ශවයන් හොදින් විමසා බැලිය යුතුය. ඒ සදහා ලොව අංශුමාත්‍රයක් හෝ අතපසු නොකොට ආරම්භයේ ප‍ටන් ආරක්ෂා වූ ලිඛිත පුද්ගල චරිතාපදානයක් ‘හදීස් නමින් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් ඇත. එතුමාණන්ගේ වසර 23 ක වක්තෘ මෙහෙවර තුල පුද්ගල විවේචන, ආගමික අපහස හා උපහාස, ඇදහිලි විවේචන, මුසාව, නින්දිත චෝදනා… යනාදී කිසිවක් දක්නට නැත. නමුත් මේ සියල්ල තුලින් ආදර්ශ ලැබිය යුතු අපගේ සමහරක් ‘ඉස්ලාමීය දව්වා’ කඩකාරයන් මුහම්මද් (සල්) තුමාණන් තුලින් ආදර්ශ ලබනවා වෙනුවට අප රටේ මුස්ලීම් නොවන සමහරක් අන්තවාදී මෙන්ම ආගමික වියරුවෙන් ක්‍රියා කරන පිරිස් ආදර්ශයට ගෙන ඒ තුල ‘පොරවල්’ වන්නට කටයුතු කරමින් සිටීම කණගාටුදායක තත්වයකි. එවන් පිරිසගේ බුද්ධිමත් අවධානයට ‘බහු ආගමිකයන්’ හා ‘බහු ජාතීන්’ වෙසෙන රටක මුහම්මද් (සල්) තුමාණන් කටයුතු කලේ කෙසේ ද? යන්න ඉස්ලාමීය මූලාශ්‍ර තුලින් කරුණූ ගෙන එන්නට අදහස් කරමි.

  • ඉස්ලාමීය ඉතිහාසයේ සුවිශේෂි සිදුවීමක් ලෙස ‘හුදෙයිබියා ගිවිසුම’ සදහන් කලහැක. (මේ පිලිබදව මෙම අඩවිය තුල දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත)  මෙය බැලූ බැල්මට මුස්ලීම්වරුන් ලද පරාජයක් ලෙස පෙනුනත් පසුකාලීනව එහි ප්‍රතිපලය මුස්ලීම්වරුන්ට විශාල ජයග්‍රහණයක් විය. එය කෙටියෙන් පවසනවා නම්, තම උපන්බිම වන මක්කාවෙන් නෙරපූ නබිතුමාණණ් ඇතුළ බොහෝ පිරිස් මදීනාවේ ජීවත් වූ අතර වරක් මදීනාවේ සිට මක්කාව (පිහිටි ශුද්ධ වූ දෙව් මැදුර වන කාබාව)ට ආගමික කටයුතු සදහා පැමිණීමේ දී එම පිරිස මක්කාවට ඇතුල්වීම ඉස්ලාම් විරෝධීන් වලක්වා ඔවුන් ‘හුදෙයිබියා නම් ගිවිසුමකට යටත් කොට ආපසු හරහා යැවීම එම සිදුවීමේ සාරාංශ යයි. මෙහිදී විමසා බැලිය යුතු කාරණය නම් මේ මොහොතේ මුස්ලීම්වරුන්ගේ පසුබිම කුමක්ද? යන්නයි. මදීනාව නම් ප්‍රබල රාජ්‍යයක හිමිකරුවන් වන එම මුස්ලීම්වරුන්ට මක්කාව ආක්‍රමණය කිරීම එදා ඉතා පහසු කටයුත්තක්ව පැවතුණි. නබිතුමාණන් සමඟ පැමිණි බොහෝ පිරිස් එම යෝජනාව පවා ගෙන ආ නමුත් නබිතුමාණන් විරුද්ධ පාර්ශවයන් ඉදිරිපත් කරන සියළු කොන්දේසිවලට එකඟව මිත්‍රශීලී ලෙස කටයුතු කලා මිස ගැටුම්කාරී තත්වයන්ට නබිතුමාණන් යොමුවුයේ නැත. මේ නිසාම සමහරක් මුස්ලීම්වරුන් ආවේගකාරී ලෙස ‘අපි යහමඟ සිටිනා විට දුර්මාර්ගයේ සිටින පිරිසට හිස නමන්නේ කුමකටද?, ඔබ තුමා ඇත්තටම අල්ලාහ් (දෙවි)ගේ දූතයා ද?’ යනුවෙන් ප්‍රශ්න කිරීමට පවා පෙළඹූනි. මේ සිදුවීම තුලින් පැහැදිලි වන්නේ මුහම්මද් (සල්) තුමාණන් තමන්ගේ හතුරන් ලෙස ක්‍රියා කල එම පිරිස සමඟ පවා හැකිතාක් මිත්‍රශීලීව කටයුතු කිරීමට උත්සාහ කර ඇති බව නොවේද? (මෙම සිදුවීම වඩාත් හොදින් අවබෝධ කරගැනීමට නම් එම ගිවිසුමේ අන්තර්ගත කොන්දේසි පිලිබදව විමසා බැලීම වැදගත් වේ)

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

  • නජිද් නම් ප්‍රදේශයෙන් අත්අඩංගුවට පත් ‘සුමාමා’ විශාල සංඛ්‍යාවක් මුස්ලීම්වරුන් ඝාතනය කල  පුද්ගලයෙකි. මේ පුද්ගලයා ඉස්ලාම් දහම වැලදගැනීම නබිතුමාණන් මුස්ලීම් නොව පිරිස් සමඟ කොතරම් හොදින් ගනුදෙනු කලාද යන්නට තවත් හොද නිදසුනකි. එක් අවස්ථාවක අත්අඩංගුවේ සිටින ‘සුමාමා’ හමුවට නබිතුමාණන් පැමිණි විට සුමාමා‍ මෙසේ පවසන ලදී. ‘ඔබ මට මරණ දඬුවම ලබාදෙන්නේ නම් ඒ සදහා සුදුසුම කෙනා මම වෙමි’ නමුත් දින තුනක් ගෙවීයාමෙන් පසු නබිතුමාණන් හමුවේ සුමාමා මෙසේ පවසන ලදී. ‘නබිතුමණි මාව මුදාහරින්න මම ඉස්ලාම් දහම වැලදගත යුතුයි. තවද මෙතෙක් ලොව පිලිකුල් සහඟත කෙනෙකු සිටියේ නම් ඒ ඔබය නමුත් අද මට ප්‍රියමනාපම කෙනෙකු ලොව ඇත්නම් ඒ ඔබතුමාය’ යනුවෙන් පවසා ඉස්ලාම් දහම වැලදගන්නා ලදී. මෙහිදී අවධානය යොමු කලයුතු කාරණය සුමාමාගේ මේ වෙනස්වීමට නබිතුමාණන් කල බලපෑම කුමක්ද? යන්නයි. එවැනි කිසිවක් නැත. සුමාමා පවා පිලිගන්නා ආකාරයට මරණ දඬුවම ලැබීමට සියළු සුදුසුකම් සපුරා තිබියදී එය ද ඉටු නොකොට රදවා තබද්දී නබිතුමාණන් සුමාමාට ප්‍රියමනාප පුද්ගලයෙකු බවට පරිවර්ථනය වූයේ ගැඹුරු ධර්ම දේශනයන් තුලින් හෝ බියගැනීමන් තුලින් නොව එතුමාගේ සුහඳ ශීලී මෙන්ම අසමසම ආදර්ශමත් චරිතය තුලින් පමණී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

  • යුදෙව් කාන්තාවක් නබිතුමාණන් හට භෝජන සංග්‍රහයකට ආරාධනා කොට එතුමාට විෂ ගැල්වූ ආහාර ලබාදුනි. මේ නිසා එතුමාණන් රෝගාතුර විය. එම අවස්ථාවේ එසේ ආහාරවලට විෂ ගැල්වූ කාන්තාව නබිතුමාණන් හමුවට රුගෙන ආ අතර එහිදී එක්තරා සහාභිවරයෙකු ‘ඇයව මම ඝාතනය කරන්න ද?’ යනුවෙන් විමසන ලදී. නමුත් නබිතුමාණන් එසේ කිරීමට අවසර ලබාදුන්නේ නැත.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉස්ලාම් දහමටත්,  නබිතුමාණන්ටත්, මුස්ලීම්වරුන්ටත් හතුරුකම් කල පිරිස් සමඟ නබිතුමාණන් කටයුතු කල ආකාරය ඉහත නිදසුන් තුන මඟින් මනාව පැහැදිලි වේ. මුස්ලීම් නොව පිරිස් සමඟ කොතරම් සමීපව නබිතුමාණන් කටයුතු කලාද යන්න දැන් විමසා බලමු.

  • එක්තරා (මුස්ලීම් නොවන) පුද්ගලයෙකු නබිතුමාණන් හමුවට පැමිණ ‘ඉස්ලාමයේ නාමයෙන් මට උදව් කරන්න’ යනුවෙන් උපකාර පැතූ විට විශාල සංඛ්‍යාවක් බැටළුවන් ඔහුට ලබාදෙන ලදී. ඔහු තම ජන සමුහය හමුවට ගොස් ‘ජනතාවනි!, මේ මුහම්මද් දිළිදුකමට බිය නොවී ජනයාට උදව් කරනවා’ යයි පවසන ලදී

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

  • නබිතුමාණන්ට සේවය කිරීමට සිටී පිරිස් අතර යුදෙව්වරයෙකු ද සිටී බවත්, ඔහු මියදෙන මොහොතේ ඉස්ලාම් දහම වැලදගන්නා ලෙස නබිතුමාණන් ඔහුට ආයාචනා කල බවත් හදීසයේ සදහන් වේ.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

  • එක්තරා අවස්ථාවක මරණයක් රුගෙන යනු දුටු නබිතුමාණන් තම අසුනින් නැඟීසිටින ලදී. මෙය දුටූ සහාභිවරයෙකු ‘මෙය යුදෙව්වෙකුගේ මරණයක්’ යනුවෙන් පවසන ලදී. එයට නබිතුමාණන් ‘නුඹලා මරණයක් දුටුවේ නම් නැඟීසිටින්න’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

  • නබිතුමාණන් ඉස්ලාම් විරෝධීන්ගෙන් බේරී මක්කාවේ සිට මදීනාවට පලායා සදහා සහය ලබාගත්තේ මුස්ලීම් නොවන කෙනෙකුගෙන් බව හදීසයේ සදහන් වේ.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

  • මදීනාවට ආසන්නයේ පිහිටී ‘කයිබර්’ නම් ප්‍රදේශය යුදෙව්වරුන් සතුව පැවතුණූ අතර ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව ඔවුන් කුමණ්ත්‍රන කිරීම නිසා එම භූමිය ඉස්ලාමීය රාජ්‍යය මඟින් අත්පත් කරගන්නා ලදී. එසේ නමුත් එහි බහුතර යුදෙව්වන් ගොවීන් වූ නිසා එම භූමියෙහි වගා අයිතිය ඔවුනටම ලබාදෙන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

  • එක්තරා සහාභිවරියක් නබිතුමාණන් හමුවේ මෙසේ විමසන ලදී. ‘ඉස්ලාමය ප්‍රතික්ෂේප කල මාගේ මව මා සමඟ සිටීමට කැමැත්තක් දක්වයි. ඇය මා සමඟ රදවා ගන්නද?’ එයට නබිතුමාණන් ‘ඔව්, ඔබ අනිවාර්‍යයෙන් එසේ කලයුතුයි’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

  • එක්තරා අවස්ථාවක මුස්ලීම් දේවස්ථානය තුලට ආ (මුස්ලීම් නොවන) පුද්ගලයෙකු එහි මූත්‍රා කරනු දුටූ මුස්ලීම්වරුන් ඔහුට හිරිහැර කිරීමට සැරසුනි. එය වැලැක්වූ නබිතුමාණන් ඔහුගේ අවශ්‍යතාවය ඉටුකරවා ගැනීමට ඉඩ සලස්වා ඉන් අනතුරුව ඔහු කැදවා ‘දේවස්ථානය දෙවියන් වන්දනය කිරීමට හා සිහිකිරීමට පමණක් ඇති තැනකි’ යනුවෙන් ඔහුට අවබෝධ කරදෙන ලදී.

 මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත හදීසයන් හොදින් විමසා බැලුවේ නම් මුස්ලීම් නොවන සමාජය සමඟ නබිතුමාණන් කොතරම් මිත්‍රශීලී ලෙස කටයුතු කොට තිබෙනවාද? යන්න මනාව පැහැදිලි වේ. මෙවැනි සිදුවීමන් තුලින් ආදර්ශ ලැබිය යුතු මුස්ලීම් සමාජය මේ ඉගෙන්වීමන්ට පරිභාහිරව කටයුතු කරමින් සිටීම සමස්ථ මුස්ලීම් සමාජයේම අවාසනාවකි. මෙවන් වූ ඉස්ලාමීය ආදර්ශයෙන්වලින්  බැහැරව සමාජය තුල ක්‍රියා කරමින් සිටින පිරිසගේ අවධානයට ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ගෙන එන්නට අදහස් කරමි. එනම්,

අල්ලාහ් (දෙවියන්) හා ඔහුගේ දූතයා (වූ මුහම්මද් (සල්) තුමා) කිසියම් කාරණයක් සම්බන්ධයෙන් තීන්දු කල පසු එම කාර්‍යයෙහි වෙනත් අදහස් දරන්නට (හෝ ක්‍රියාවට නැංවීමට) ‘ඊමාන්’ කොට ඇති (සැබෑ විශ්වාසවන්ත) කිසිදු පිරිමියෙකුට හෝ කාන්තාවකට අවසර නැත. (එම කාරණය සම්බන්ධයෙන්) අල්ලාහ් (දෙවියන්)ටත් ඔහුගේ රසූල්වරයාටත් කිසිවකු එරෙහි වන්නේ නම් නියත වශයෙන්ම ඔවුන් ප්‍රසිද්ධ දුර්මාර්ග (නොමඟ)යේ සිටින්නේය.

ශුද්ධ වූ කුර්ආනය 33-6

ඉහත ශුද්ධ වූ දේව වාක්‍යය තුල අවබෝධ කරගත යුතු බොහෝ කරුණූ කාරණා ඇත. ඉස්ලාම් පරිපූර්ණ දහමක් බව පවසා ගන්නා පිරිසට එම පරිපූර්ණ දහම තුලින් ආදර්ශ ලැබීමට නොහැකිවීම කණගාටුදායක තත්වයකි. ඉස්ලාම් දහම තුලින් ආදර්ශ ලැබිය යුතු මුස්ලීම්වරුන් ශ්‍රී ලාංකීය සමාජයේ සමහරක් අන්තවාදී පිරිස් ආදර්ශයට ගෙන කටයුතු කිරීම තවත් අවාසනාවන්ත තත්වයකි. අවසාන වශයෙන් මෙතෙක් මෙම අඩවිය තුල  කිහිප අවස්ථාවක මුස්ලීම් නොවන ප්‍රජාවගේ අවධානයට යොමු කල ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ප්‍රථමවතාවට ‘දව්වා’ නමින් පොරවල් වන්නට හදන මුස්ලීම්වරුන්ගේ අවධානයට ‍ඉදිරිපත් කිරීමට අදහස් කරමි. එනම්,

කිසියම් ජන කොට්ඨාශයක් කෙරෙහි තිබෙන නොසතුට, එම ජන කොට්ඨාශයට අසාධාරණයන් සිදුකරන තැනට නුඹලාව නොපෙලඹවත්වා! (නුඹලා) සාධාරණව ක‍්‍රියා කරන්න.

ශුද්ධ වූ කුර්ආනය

මෙතෙක් වේලා ඔබේ අවධානයට ගෙන ආවේ දිව්‍යමය මඟපෙන්වීමන්ය. ‘ඉස්ලාම්’ තනි පුද්ගලයෙකුගේ හෝ එසේත් නැත්නම් කිසියම් පිරිසකගේ පුද්ගල අයිතියක් ‍නොවේ. මේ මිහිමත වෙසෙන සමස්ථ මිනිස් සමාජය සදහාම වූ යහමඟ පෙන්වීමකි. එම ආදර්ශය තුල පමණයි සාර්ථක ලෞකික දිවියක් සදහා වූ මඟපෙන්වීම මෙන්ම ලෝකොත්තර දිවියේ සාර්ථකත්වය සදහා වූ මඟපෙන්වීම ඇත්තේ. එසේනම් ඉස්ලාමීය ආදර්ශ හා මඟපෙන්වීම අනුව කටයුතු කරන අසමසම සමාජයක් බිහිවීමට ප්‍රාර්ථනා කරමින් මෙම ලිපියට විරාමය තබමි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *