ආගම් හා මනුෂ්‍යත්වය – යහගුණ පිලිබදව ඉස්ලාමීය විමසුමක්

3

නූතන මිනිසා මෙලොව තුල සියළු ක්ෂේත්‍රයන් හි උපරිමය දක්වා තම හැකියාවන් දිනෙන් දින වර්ධනය කර ගනිමින් ‘තවත් අපිට අඩු මොනවද?’ යයි සිතන තරම ට කටයුතු කරමින් ඇත. විද්‍යාව, තාක්ෂණය, ආර්ථිය… යනාදී එකී නොකී සියළු ක්ෂේත්‍රයන් හි ඉනිපෙත්තෙහි සිටින මේ මිනිසා  සාරධර්ම අතින් නම් ලඟා කරගෙන ඇති ප්‍රගතිය පිලිබදව බොහෝ විට ඔහු තුලම ඇත්තේ නොසතුටක් හා කලකිරීමකි. මන්ද තාක්ෂණය අතින් යෝධ පියවරවල් තැබූ නූතන මිනිසා සාරධර්ම අතින් විශාල ගරාවැටීමකට හා ප්‍රබල පසුබෑමකට ලක්ව පැවතීමයි. වර්ථමානයට සාපේක්ෂව අතීත ජන සමූහයන් තුල දියුණූ තාක්ෂණික, කාර්මික, ආර්ථික… යනාදී ක්ෂේත්‍රයන් දක්නට නොවුවත් සාරධර්ම අතින් ඔවුන් විශිෂ්ඨයන් විය. එය ලෝක ඉතිහාසය ආඩම්භර ලීලාවෙන් අදටත් අපට කියාපායි. ඒ සුන්දර අතීතය පිලිබදව කථා කරන විට ලෝක දහමන් හා දර්ශනයන් මෙහිදී කල මැදිහත්වීම නොසලකා කිසිවක් කථා කල නොහැක. ඒ නිසාම තමා අතීතයේ විසූ ආගමික වක්තෘවරුන්, පූජකවරුන්, දාර්ශණිකයන් හා විද්වතුන් ජාති ආගම් භේදයන්ගෙන් තොරව සියළු ජනයාගේ ගෞරවයට පාත්‍ර වුයේ. මේ ආකාරයට එදා මනුෂ්‍යයා තුල යහපත් සාරධර්ම වර්ධනය කරන්නට මැදි වූ දහමන් හා දර්ශනයන් නූතන බුද්ධිමත් මානවයා අද යොදාගන්නේ කුමක් අරභයාද? යන්න අද බුද්ධිමත් ව විමසා බැලිය යුතු කාලීන පැනයක් වී ඇත.

අද දහමක දර්ශනයක නියමුවන් ලෙස පෙනී සිටින පූජක හා විද්වත් පාර්ශවයන් පොදු ජනතාව තුල යහපත් සාරධර්ම වර්ධනය කරනවා වෙනුවට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව… යනාදී වියරුවාදී සෘන ආකල්පයන් වර්ධනය කරන්නට උනන්දුවෙන් කටයුතු කරමින් ඇත. මේ මා පවසන තත්වය අද ලෝකය පුරාම නොඅඩුව දක්නට ඇත. විශේෂයෙන් ජාත්‍යන්තරය අභිබවා යමින් අද අප රට තුල මෙම තත්වය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ඇත. මෙහිදී පැහැදිලි ලෙස අවබෝධ කරගත යුතු සත්‍යයක් ඇත. එනම්, ලොව වෙසෙන සියළු ජාතීන් කිසිදු විටෙක සිතුම් පැතුම්, විශ්වාස, ඇදහිලි, ආකල්ප, සිතුවිලි… යනාදී සියල්ලෙන්ම එක සමාන වන්නේ නැත. එපමණක් නොව එලෙස මේ සියල්ල එක සමාන වුයේ නම් මේ ලෝකයට පැවැත්මක්ද? නැත. මනුෂ්‍යා තුල පරස්පර වූ විශ්වාස, ඇදහිලි, පිලිගැනීමන් හා මතවාද පැවතිය ස්වභාවික තත්වයකි. නමුත් ‘මනුෂ්‍යත්වය’ යන කාරණය හමුවේ එවැනි පරස්පර හෝ විරුද්ධ මත කිසි විටෙක පැවතිය නොහැක. තවත් සරලව පවසනවා නම්, මේ ජාතීන් අතර පවතින විවිධත්වය තුල ගොඩනැ‍‍ගෙන අවබෝධය තමා මේ මිහිතලය සුන්දර කරවන හා මනුෂ්‍යත්වයට ගරු කරන එකම සාධකය විය හැක්කේ.

ඉහතින් මා සදහන් කලාසේ මනුෂ්‍යා තුල මේ යහපත් ගුණාංග වර්ධනය කිරීම පිණිස ලොව බොහෝ ආගම් මිනිස් සමාජයට ලබාදෙන ආදර්ශ සුළුපටු නොවේ. ඒ යහපත් ඉගෙන්වීමන් වෙනුවට ආගම දහම නමින් ම ජාතීන් අතර වියරුව, වෛර ගොඩනැඟීමට සමහරක් පිරිස් කටයුතු කරමින් සිටීම එම ආගම, දහම හා දර්ශනයන් මෙන්ම එහි අනුගාමිකයන් අද මුහුණපාන ඛේදජනක තත්වයකි. මෙවන් අවාසනාවන්ත තත්වයක් තුල අතීතයේ පැවතී ‘විවිධ දහමන් හා දර්ශනයන් තුල ජාතීන් අතර සමඟිය’ නැවත විමසා බැලීම කාලීන අවශ්‍යතාවයක් මෙන්ම මනුෂ්‍යා තුල යහපත් ගුණාංග නැවත වර්ධනය කර ගැනීමට තීරණාත්මක සාධකයක් වී ඇත. ඒ සදහා පුළුල් සංවාදයන් සමාජය තුල ගොඩනැඟීම ද දැඩි අවශ්‍යතාවයක් වී ඇත. මේ අවශ්‍යතාවය අවබෝධ කරගත් ‘යහමඟ’ අඩවිය මේ විෂය ඔස්සේ ලිපි ගණනාවක් මීට පෙර ද මෙම අඩවිය තුල ඉදිරිපත් කර තිබෙන අතර ‘මනුෂ්‍යා තුල ගොඩනැඟිය යුතු යහගුණාංග’ පිලිබදව ඉස්ලාමීය දෘෂ්ඨියෙන් කථා කරන මේ ලිපිය ද එහි තවත් එක් පියවරකි.

ප්‍රථමයෙන් දිව්‍යමය වදන් (හදීස්) දෙකක් තුලින් කරුණූ දැක්වීම අරභන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී. ‘(මේ මිහිමත) යහගුණාංග පරපුර්ණ කරනු පිණිස තමා (දෙවියන්, දේව වක්තෘවරයා (දූතයා) ලෙස) මා එවන ලද්දේ’

මූලාශ්‍ර ග්‍රන්ථය – අහ්මද්, බයිහකී

 වරක් මුහම්මද් (සල්) තුමාණන් මෙසේ ද පවසන ලදී. ‘බොහෝ විට මනුෂ්‍යා ස්වර්ගයට ඇතුල් කරවන සාධකය වන්නේ දෙවියන් කෙරෙහි බියබැකිකම හා යහගුණාංග යන්න පමණි.’

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි, හාකිම්

ඉහත ශුද්ධ වූ නබිවදන් දෙක හොදින් විමසා බලන්නේ නම්, ඉස්ලාම් දහම මනුෂ්‍යා තුල පැවතිය යුතු යහගුණාංග පිලිබදව කොතරම් සැලකිලීමත් වෙනවාද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. විශේෂයෙන් දේව වක්තෘවරුන් (නබිවරුන්) පිලිබදව හා ඔවුන්ගේ කාර්‍යභාරය පිලිබදව ඉස්ලාම් පැවසීමේ දී බොහෝ විට ඔවුන්ගේ මෙහෙවර ඒකදේව සංකල්පය මේ මිහිමත ස්ථාපනය කිරීම හා මිනිස් සමාජය ආගමික විනයක් තුල යහමඟ කරා මෙහෙයවීම බව සදහන් වේ. නමුත් ඉහත ‘අහමද් හා බයිහකී’ මූලාශ්‍රවල මෙන්ම තවත් බොහෝ මූලාශ්‍රවල සදහන් ඉහත හදීසයට අනුව දේව වක්තෘවරුන්ගේ ප්‍රධාන මෙහෙවර අතර මිනිස් සමාජය යහගුණාංගවලින් පරිපූර්ණ කිරීම ද මුඛ්‍ය මෙහෙවරක් බව මනාව පැහැදිලි වේ. එපමණක් නොව ඉහත දෙවන ‘හදීසය’ ට අනුව මුස්ලීම්වරයෙකු ස්වර්ගය සදහා පිවිසීමේ දී තීරණාත්මක සාධක අතර දේව විශ්වාසය හැරුණූ විට ප්‍රධාන තවත් සාධකයක් වන්නේ මේ යහගුණ යන්න ද පැහැදිලි වේ. එනම් මනුෂ්‍යයා මේ මිහිමත යහපත් මනුෂ්‍යයෙකු ලෙස කටයුතු කිරීම ලෞකික දිවියට පමණක් නොව ලෝකොත්තර දිවියේ විමුක්තියට ද තීරණාත්මක සාධකයක් වනවා යන්නයි. (මේ පිලිබදව වැඩි විස්තර මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කල සමාජ වගකීම් හා ඉස්ලාම් යන ලිපිය තුලින් ඔබට කියවීමට පුළුවන)

මේ මිහිමත කිසිදු දහමක්, දර්ශනයක් මනුෂ්‍යා තුල පැවතිය යුතු ‘යහගුණ’ ප්‍රතික්ෂේප කරන්නේ හෝ සීමා පනවන්නේ නැත. මන්ද එය මනුෂ්‍ය වර්ගයාගේ යහ පැවැත්මට අත්‍යඅවශ්‍ය සාධකයක් වන නිසාය. මේ ‘යහගුණ’ මනුෂ්‍යා තුල යහසිතුවිලි, ප්‍රියමනාප බව හා ආදරය වර්ධනය කරයි. තවත් සරලව පවසනවා නම් මනුෂ්‍යත්වය වර්ධනය කරයි. නමුත් අයහපත් ගුණාංග එසේ නොවේ. එය වෛරය, නොසතුට, ඊර්ෂ්‍යාව, පිලිකුල… යනාදී ජීවිතයට අයහපත් දෑ පමණක් උරුම කරයි.  එසේනම්, ඉහත දෙවන හදීසයේ ද සදහන් ආකාරයට ඉස්ලාම් දහම යහගුණාංග ඇත්තෙකු ලෞකිකව මෙන්ම ලෝකොත්තර වශයෙන්ම ජයගත් කෙනෙකු කරනවා යන්න ඉතාමත්ම හොදින් පැහැදිලිය. එය තවදුරටත් අවබෝධ කරගැනීම පිණිස තවත් ශුද්ධ වූ නබිවදනක් (හදීසයක්) ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

වරක් මුහම්මද් (සල්) තුමාණන් අබූහුරෙයිරා (රලි) තුමාට මෙසේ පවසන ලදී, ‘අබූහුරෙයිරා!, ඔබ යහගුණෙන් යුතුව ක්‍රියා කරන්න!’ එයට ඔහු ‘අල්ලාහ් (දෙවි)ගේ දූතයාණනි!, යහගුණ යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘නුඹව ප්‍රතික්ෂේප කොට වෙසෙන පිරිස් සමඟ නූඹ සමඟියෙන් කටයුතු කිරීමත්, නුඹට අසාධාරණයන් සිදු කරන පිරිසට නුඹ සමාවදීමත්, නුඹට (යමක්) දෙන්නට ප්‍රිය නොකරන පිරිසට නූඹ (ට පුළුවන් දෑ ලබා දී ඔවුන් හා) සහයෝගයෙන් කටයුතු කිරිමත්’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බයිහකී

යහගුණාංග පිලිබදව මිනිස් සමාජයට මෙලෙස උනන්දු කරන ඉස්ලාම් දහම එය තවත් අනුශාසනාවකට හෝ අවවාදයකට පමණක් සීමා කලේ නැත. මේ ලෞකික දිවිය තුල එය අනිවාර්‍ය අවශ්‍යතාවයක් බව පෙන්වාදෙන ඉස්ලාම් දහම මනුෂ්‍යයෙකු එලෙස ක්‍රියා කිරීම තුල ලෝකොත්තර (මරණින් මතු උදාවන) දිවිය තුල දිනාගත හැකි මහිමයන් ද පවසමින් ඒ සදහා උනන්දු කරවයි. එයට නිදසුනක් ලෙස පහත හදීසයන් මෙහි සදහන් කලහැක.

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී ‘රාත්‍රිය පුරාවට දේව වන්දනයේ නිරතව දහවල පුරාවට (දෙවියන් උදෙසා) උපවාසයේ නිරතව කල් ගෙවන්නෙකු  දිනාගන්නා මහිමය (කුසල) කිසියම් කෙනෙකු හට යහපත් ගුණාංග  තුලින් දිනාගත හැක’

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ ද පවසන ලදී ‘ මූමීන්වරුන් (සැබෑ මුස්ලීම්වරුන්) අතුරින් ‘ඊමානයෙන්’(ඉස්ලාමීය මුලික විශ්වාසයන් නිසිලෙස පිලිගෙන කටයුතු කරන) පරිපූර්ණ තැනැත්තා වන්නේ ගුණාංගවලින් යහපත් වූ තැනැත්තාය.’

 මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

ඉහත ශුද්ධ වූ නබිවදන් (හදීස්) තුලින් ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට අවධාරණය කරන යහගුණ හා එහි මහිමය මනාව අවබෝධ කරගත හැක. අද ලොව පුරා වෙසෙන සියළු ආගම්වලට පවතින ප්‍රබල අභියෝගය මේ යහගුණ තම අනුගාමිකයන් අතර ගොඩනඟන්නේ කෙසේද? යන්නයි. සියළු ආගම් යහ ගුණාංග, යහ විනය, යහ හැදියාව… යනාදීය පිලිබදව ලෝකයාට දේශනා කරයි. නමුත් බොහෝ විට එම විනය එවැනි දේශනා කරන පිරිසටත් ආරක්ෂා කල නොහැකි අවාසනාවන්ත තත්වයන් අද ජාත්‍යන්තරයේ පමණක් නොව ජාතික තලයේත් නිතර නිතර දකින්නෙමු.

මෙහිදී  බුද්ධිමත් මුස්ලීම් සමාජය මෙන්ම සමස්ථ මිනිස් සමාජය විමසා බැලිය යුතු පැනයක් ඇත. ඒ මීට වසර 1400කට පෙර ජන ශූන්‍ය කාන්තාරයක ප්‍රකාශ වූ දහමක් ඉතා කෙටි කාලයක් තුල ලොවපුරා ව්‍යාප්ත වී ලොව විශාලතම දහම ලෙස අද ලෝකයා ඉදිරියේ මෙලෙස ගොඩනැඟීමට, අද සමහරක් අන්තවාදී පිරිස් පවසන ආකාරයට මෙම දහම කඩුවෙන් ප්‍රචාරය කල නිසා යන්න හෝ හුදෙක් දේශනාවන්ට පමණක් සීමා වූ දහමක් වීම යන්න සාධාර්ණ එසේම බුද්ධිමත් වූ තර්කයක්ද? යන්නයි. එය පදනම් විරහිත මුසාවක් බව එක්තරා විද්වතෙකු මෙසේ සනාථ කරයි.

සටන්කාමී මුස්ලීම්වරුන් විසින් අසිපත් තුඩින් ලොව පුරා ඉස්ලාමය බලයෙන් කාවද්දන ලදැයි ඉතිහාසඥයින් නොකඩවා කළ ප්‍රකාශය බැරෑරුම් මුසාවක් වන වග කෙසේ හෝ ඉතිහාසයෙන් ම සනාථ වේ.

De Lacyo’leary

Islam at the Crossroads – London (1923 පිටුව 8)

එසේනම් ඉස්ලාම් දහමේ ව්‍යාප්තියට මූලික කාරණය ඉහත පුහු තර්ක නොවන බව පැහැදිලිය. (එය මෙම අඩවිය තුල දීර්ඝ දහම කඩුවෙන් ප්‍රචාරය කල යන ලිපිය තුලින් සාකච්චා කොට ද ඇත.) සෑම මුස්ලීම්වරයෙකුම තම දිවිය තුල ඉස්ලාම් දහම ප්‍රධාන අංගයක් කොට ගෙන එහි ඉගෙන්වීමන් පුර්ණ ලෙස තම ජීවිතයට ගලපාගෙන එහි ඉගෙන්වෙන යහගුණාංග ලෝකයා ඉදිරියේ ප්‍රායෝගිකව ගෙනහැරපාමින් සැබෑ මුස්ලීම්වරුන් ලෙස මේ ජන සමාජය තුල ඔවුන් ජීවත් වීම ලොවපුරා මුස්ලීම්වරුන් ව්‍යාප්තියට මූලික හේතුවයි.

මෙලෙස මුස්ලීම්වරුන් ව්‍යාප්තිය ලොවපුරා සීඝ්‍රයෙන් සිදු වනවිට එය දරාගත නොහැකි සමහරක් අන්තවාදී පිරිස් මුස්ලීම්වරුන්ගේ ප්‍රතිරූපය බිඳ දමන්නට විවිධ කාලවල විවිධ පාර්ශවයන් විවිධ උත්සාහයන් හි නිරත විය. විශේෂයෙන් අදටත් ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික තලයේ ද සමහරක් අන්තවාදී පිරිස් ඉස්ලාම් දහමටත්, මුස්ලීම් සමාජයටත් එරෙහිව ප්‍රබල ඊනියා මතවාද ගොඩනැඟීමටත් ඉදිරිපත් වී ඇත. සත්‍ය වූ ඉතිහාසය විකෘති කොට, මුස්ලීම් ජන සමාජයේ අසමසම එසේම ආදර්ශමත් ඉතිහාසය වලලන්ට උත්සාහ කරමින් ඇත. නමුත් මේ සියළු උත්සාහයන් තවමත් ඔවුනට සාර්ථක කර ගැනීම පහසු කාර්‍යයක් වී නැත. ඒ ඉතිහාසය තුල මුස්ලීම්වරුන්ගේ භූමිකාව ඒ තරමට ම (නිදසුනක් ලෙස ජාත්‍යන්තර වශයෙන් මුස්ලීම්වරුන්ගේ ඉතිහාසය යන්න පමණක් නොව  ජාතික මට්ටමේ ද එනම්, ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ ඉතිහාසය ද අති) ප්‍රබල වී ඇති නිසාය.

අවසානම වශයෙන් පවසන්නට ඇත්තේ ලොව අන්තවාදී සමහරක් පිරිස් මෙන් අසමසම දහම තමන්ගේ දහම බවට වහසිබස් දොඩමින් එම ආගමික ඉගෙන්වීමන්ගෙන් බැහැරව ස්වමතයට, හැඟීමන් හෝ ආවේගවලට වහල් වී ක්‍රියා කිරීමට ඉස්ලාම් දහම තුල මුස්ලිම්වරුන්ට අවසර නැත. ‘එදත්, අදත් එසේම හෙටත් ඉස්ලාමීය විනය තුල යහගුණ ආරක්ෂා කරමින් කටයුතු කිරීම මුස්ලීම්වරුන් කෙරෙහි ඉස්ලාම් පනවන අනිවාර්‍ය නියෝගයකි. එසේනම් මුස්ලීම්වරුන්ට ඉස්ලාම් දහම ලොව තවත් දහමක් හෝ දර්ශනයක් විය නොහැක. එය පරිපූර්ණ හා අසමසම එසේම දිව්‍යමය ජීවන සැලැස්මකි. ඒ තුල යහගුණ යන්න මුඛ්‍ය අවශ්‍යතාවයකි. එවන් වූ යහගුණ තව තවත් වර්ධනය කරගැනීමට අල්ලාහ් (දෙවි)ගේ කරුණාව අප සියළුදෙනාට හිමි වේවා!, යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මේ ලිපියට ද විරාමය තබමි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 3 යි.

  1. Muhammed 2013-04-14 at 14:04

    මේ ගැන ආර්ටිකල් එකක් ලියන්න – කාලීන අවශ්‍යතාවයකි

    How old was Aisha when she married the Prophet Muhammad? Did Prophet Muhammad marry a 9year old?

  2. milan 2013-04-03 at 14:42

    good work bro keep it up…..

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *