ආගමික මතවාදයන් ගරු කිරීම

Comments Off on ආගමික මතවාදයන් ගරු කිරීම

බහු ආගමික රටක් වන වර්ථමාන ශ්‍රී ලාංකීය සමාජයේ විවිධ වූ ආගමික මතවාදී ගැටුම් පවතිනවා යන්න ප්‍රසිද්ධ රහසකි. ඒ අතුරින් එක් ප්‍රධාන මතවාදී ගැටුමක් ලෙස ආගමික ඇදහිලි හා පරිභෝජන අවශ්‍යතා සදහා සිදු කරන සත්ව ඝාතනයට එරෙහිව මතු කරන විවිධ වූ වාදවිවාද, චෝදනා, අපහසයන්, උද්ඝෝෂණයන්, මාධ්‍ය සාකච්චාවන්, වාර්තාමය වැඩසටහන්… යනාදිය සදහන් කල හැක. විශේෂයෙන් බහුතර බෞද්ධ ජනතාවක් ජීවත් වන අප රටේ එම පිරිස් අතර පවතින සම්ප්‍රදායක විශ්වාසයක් වන “මාංශ අනුභවය අකැපයි” යන විශ්වාසයට පරස්පර වූ මත දරන එනම් “මාංශ අනුභව කිරීමෙහි වරදක් නැත” යන පදනමේ කටයුතු කරන, විශේෂයෙන් ඉස්ලාම්, ක්‍රිස්තු හා සමහරක් හින්දූ ආගමිකයන් ඉහත පලමු පාර්ශවයේ දරුණු විවේචනයන්ට හා අපවාදයන්ට ලක්වේ. මෙය වර්ථමානයේ ශ්‍රී ලාංකීය සුළු ආගමික ප්‍රජාව මුහුණ දෙන අවාසනාවන්ත ඉරණමකි. විශේෂයෙන් මාංශ අනුභවය අනුමත කරන ඉස්ලාම් භක්තිකයන් ශ්‍රී ලංකාව තුල මුහුණදෙන සුලබ හා සුපුරුදු අවාසනාවන්ත තත්වයකි. මේ නිසාම ‍මෙම විෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය පැහැදිලි කරන ගමන් මෙම විෂය පිලිබදව පුළුල් ගවේශණයක් මෙම යහමඟ අඩවිය හරහා සත්ව හිංසාව ඝාතනය හා ඉස්ලාම් යන මාතෘකාව ඔස්සේ මීට පෙර කථා කලෙමු. මේ කරුණූ පැහැදිලි කලද දිගින් දිගටම ශ්‍රී ලාංකීය අන්තවාදී සමහරක් බෞද්ධ පිරිස් හා සංවිධාන ලාංකීය අනිකුත් දහමන් හා එහි මතවාදයන් කෙරෙහි තිබෙන නොසතුට ඉහත කාරණය මූලික කරගෙන රඟ දක්වයි. ඒ සදහා ඔවුන් සිදුකරන විවිධ වාර්තාමය මාධ්‍ය වැඩසටහන් සහ මාධ්‍ය සාකච්චාවන් හොදම නිදසුනක් වේ. එසේම මෑතක සිට සුළු ආගමික විශ්වාසයන්ට හා ඇදහිලිවලට එරෙහිව සිදුකරනු ලබන උද්ඝෝෂණ හා ජනතා රැලි මෙම තත්වය වඩ වඩාත් තහවුරු කරයි. මෙහි තවත් එක් රඟ දැක්මක් තමා 2010.08.25 දින හලාවත “මුන්නේස්වරම්” හින්දු කොවිල අසල දී සිදුවන සත්ව ඝාතනයට එරෙහිව ජාතික සංඝ සභාව හා ජාතික හෙළ උරුමය දේශපාලන පක්ෂ එක්ව කල විරෝධතා රැලිය. මෙය ස්වර්ණවාහිණී නාලිකාවෙන් Live@8 ප්‍රවෘත්තිය තුලින් 2010.08.25 දින විකාශය වූ අතර (එම වීඩියෝ දර්ශණය පහත දැක්වේ) මෙම වර්ථමාන ප්‍රවණතාවය පිලිබදව කෙටි අදහස් කිහිපයක් පවසන්නට මා අදහස් කරමි.

ඊට පෙර ඉහත වීඩියෝ දර්ශනය තුල දක්නට තිබූ විශේෂ කාරණයක් පිලිබදව ප්‍රශංසාත්මකව යුතුකමක් ශ්‍රී ලාංකීය සුළු ජාතීන්ට ඇත. ඒ ඉහත විරෝධතා රැලිය මැඩපැවැත්වීමට පොලිසිය ක්‍රියාකල ආකාරයයි. මෙය මට පමණක් නොව රටේ සුළු ජාතීන්ට වන අපට රටේ නීතියේ පිලිසරණ කෙරෙහි කිසියම් බලාපොරොත්තුවක් ඇති කරවීමට සමත් සිදුවීමකි. නීතිය නිවරැදිව ක්‍රියාත්මක කොට රටට ආදර්ශයක් පෙන්වූ ඒ පොලිසියේ මහත්වරුන් හට යහමඟ මාගේ උත්තමාචාර පිරිනමමි.

දැන් ඉහත සිදුවීම කෙරෙහි අවධානය යොමු කලේ නම්, මෙහි දී ප්‍රථමයෙන් අවධාරණය කලයුතු කාරණය වන්නේ මෙලෙස ආගමික විශ්වාස හා ඇදහිලිවලට එරෙහිව නැගීසිටීම් ඉතිහාසය පුරාවට ලෝක ඉතිහාසයේ බොහෝ අවස්ථාවල දක්නට ලැබුණි. මෙය තවත් කෙනෙකුගේ ආගමික චින්තන නිදහසට බාධාකරන ඉතා පහත් පෙලේ ක්‍රියාවකි. ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනය මඟින් මෙවැනි ක්‍රියාවන් දැඩිව හෙලාදකී. එනම්,

“කිසියම් ජන කොට්ඨාශයක් කෙරෙහි තිබෙන නොසතුට, එම ජන කොට්ඨාශයට අසාධාරණයන් සිදුකරන තැනට නුඹලාව නොපෙලඹවත්වා! (නුඹලා) සාධාරණව ක‍්‍රියා කරන්න.” (ශුද්ධ වූ කුර්ආනය)

ඉහත කුර්ආන් වාක්‍යය මීට වසර 1400 කට පෙර ජීවත් වූ නොදියුණු අඥාන ජන සමාජයකට අවවාදයක් වුවද අදටත් එය කාලීන අවවාදයක් ලෙස පැවතීම තුල මේ මිනිසා කොතරම් අඥාන ලෙස පටු අරමුණුවල ජීවත් වෙනවාද? යන්න මනාව පැහැදිලි වේ. එයට එක් නිදසුනක් තමා ඉහත සිදුවීම. ඉහත ආකාරයට ශ්‍රී ලාංකීය සමාජයේ සමහරක් අන්තවාදී බෞද්ධ පිරිස් නැඟීසිටිය ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මෙවැනි විරෝධතා රැලි, උද්ඝෝශන හා බාධා කිරීම් පිලිබදව රටේ සුළු ජනතාවට බොහෝ අත්දැකීම් ඇත. විශේෂයෙන් මුස්ලිම්වරුන්ට බොහෝ අත්දැකීම් ඇත.මෙයත් එවැනි තවත් එක් සිදුවීමක් පමණි. නමුත් මෙවැනි කුඩා සිද්ධිදාමයක් තුල රටේ සුළු ජාතීන්ගේ ආගමික අයිතීන් පිලිබදව ඇත්තේ බරපතල වූ ගැටළුවකි. එදා රටේ LTTE ත්‍රස්ථවාදී සංවිධානය විනාශ කිරීමෙන් අනතුරුව ගරු ජනාධිපති තුමා පාර්ලිමේන්තුවේ සිට රටේ ජනතාව අමතා කල කථාවේ “රටේ ජාතීන් දෙකයි ඒ රටට ආදරය කරන ජාතිය හා රටට ආදරය නොකරන ජාතීය” යනුවෙන් සහා “රටේ සුළු ජාතීන් යයි පිරිසක් නැත සියළු දෙනා ලාංකීය ජාතිය” යනුවෙන් පැවසූවිට රටේ සුළු ජාතීන් වන අපට නැවූම් බලාපොරොත්තු ඇතිවිය. නමුත් පසු කාලීනව සමහරක් බෞද්ධ අන්තවාදී පිරිස් ක්‍රියාකරන ආකාරය හා කරන ප්‍රකාශන දෙස බලන විට සුළු ජාතීන් වන අපගේ ජීවත්වීමේ හා ආගමික නිදහස පිලිබදව ඇත්තේ අපේක්ෂාභංගත්වයකි. මෙවන් වූ වකවානුවක ඉහත සිදුවීමද ඌනපූර්ණයක් කරගනිමින් කරුණු කිහිපයක් ජාතියේ අවධානයට යොමු කරමි.

ශ්‍රී ලංකාව බහු ආගමික රටක් වන අතර රටේ ව්‍යවස්ථාවෙන්ම යම් යම් අයිතීන් හා නිදහස මේ සෑම ජන කොට්ඨාශයකටම ලබාදී ඇත.

“ සෑම තැනැත්තෙකුට ම තමන් කැමැති ආගමක් ඇදහීමේ හෝ වැළද ගැනීමේ හෝ නිදහස ලබ්ධියක් හෝ විශ්වාසයක් හෝ දැරීමේ හෝ පිලිගැනීමේ හෝ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට හෘදය සාක්ෂියේ නිදහසට සහා ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.”

යනුවෙන් පවසමින් රටේ සෑම පුරවැසියෙකුහට ම ආගමික නිදහස ලබා දී ඇත. මෙම අයිතිය ශ්‍රී ලාංකීය රජය විසින් නිසි ආකාරයෙන් ආරක්ෂා කරදෙනු ඇතැයි යන්න රටේ සෑම පුරවැසියෙකුගේම අපේක්ෂාව හා විශ්වාසයයි. එසේ තිබිය දී සමහරක් අන්තවාදී බෞද්ධ පිරිස් මෙය “බුදුන්ගේ දේශය” යයි පවසමින් අනිකුත් සෑම ආගමික අනුගාමිකයෙක් ම බුදුදහමට අනුකූලව තම තමන්ගේ ආගමික විශ්වාසයන් ප්‍රතිසංවිධානය කරගෙන බුදුදහමට අනුකූලව එය සිදුකල යුතුයයි අපේක්ෂා කරන්නේ නම් එය ඉතා අවාසනාවන්ත මෙන්ම භයානක තත්වයකි. ඉහත විඩියෝ දර්ශනය තුලන් ද එය මනාව පිළිඹිබු වේ. ඒ සදහා විවිධ වූ උපක්‍රමයන් ද වර්ථමාන මෙම අන්තවාදී පිරිස් යොදාගනී. උදාහරණයක් ලෙස (ඉහත වීඩියෝ දර්ශනයේ) හින්දු පූජකවරයෙක් පවසා සිටින්නේ හින්දු දහමට අනුකූලව සත්ව ඝාතනය පවසා නැති බවයි. මෙය සමස්ථ ජාතියම මුලා කිරීමකි. හින්දු දහමේ සත්ව ඝාතනය හා මාංශ අනුභවය පිලිබදව පවසන ස්ථාන කිහිපයක් ඔබගේ දැනගැනීම පිණිස පහතින් ඉදිරිපත් කරමි,

  • ආහාර අනුභව කරන්නා මාංශ අනුභව කරන්නේ නම් ඔහු අනුභව කරන මාංශය ඔහුට කිසිදු හානියක් නොකරනු ඇත. සැමකලම මාංශ අනුභවකලත් එසේය. මන්ද සමහර මැවීමන් අනුභව කිරීම සදහාත් තවත් සමහර මැවීමන් අනුභවය සදහාත් මවන්නා දෙවියායි. (මනු ශාස්ත්‍රිරම් 5-30)
  • මාංශ අනුභව කිරීමත් නිවරුදි කැප කිරීමකි. (මනු ශාස්ත්‍රිරම් 5-1)
  • මීට අමතරව…
  • රිග්වේද – ග‍්‍රන්ථ අංක 10 ගීතිකා අංක 16 වාක්‍ය 10
  • ගීතිකා අංක 27 වාක්‍ය 2
  • ගීතිකා අංක 28 වාක්‍ය 2
  • ගීතිකා අංක 86 වාක්‍ය 13
  • අතර්වා වේද – ග‍්‍රන්ථ අංක 9 ගීතිකා අංක 5 – වාක්‍ය 37 38 39

මේ අනුව ඉහත පූජකවරයා තුලින් සමස්ථ ලාංකීය ජාතියටම ලබාදෙන්නේ වැරදි පණිවුඩයකි. එය එම පූජකවරයාගේ අනවබෝධය නිසා හෝ වෙනත් වරප්‍රසාද අපේක්ෂාවෙන් කල ප්‍රකාශයක් වන්නට පුළුවනි. මෙහි දී වැදගත්ම කාරණය වන්නේ ඉහත හින්දු භක්තිකයන්ගේ ඇදහිලි පිලිබදව පැහැදිලි කිරීමක් ලබාගැනීම සදහා ස්වාමිණ්වහන්සේ නමක් (පිටදුව සිරිධම්ම හිමි) යොදා ගැනීමයි. උන්වහන්සේ බෞද්ධ ඉගෙන්වීමන් පදනම් කරගෙන ඉහත මෙම ක්‍රියාවලිය පැහැදිලි කරයි. මෙය මා ඉහතින් අවධාරනය කල අවාසනාවන්ත තත්වයයි. සැබැවින්ම ප්‍රථමයෙන් කලයුතුව තිබුණේ මෙම ක්‍රියාදාමයට සම්බන්ධ පූජකවරැන්ගෙන් මේ පිලිබදව විමසීමයි. එහි දී ඔවුන් දෙන පැහැදිලි කිරීමන් කුමක්ද? යන්න සමාජයට අනාවර්ණය කිරීමයි. නමුත් සිදුවුයේ හාස්‍ය උපදවන ආකාරයේ ක්‍රියාවකි. මෙහි දී තවත් වැදගත් කාරණයක් පවසන්නට ඇත. එනම් ඉහත වීඩියෝ දර්ශනය තුල පවා ස්වාමිණ් වහන්සේ අවධාරනය කරන්නේ බුදුදහමට අනුව “අවිහිංසාවාදය” තමා ඉතා වැදගත් බව. නමුත් ඉහත සිදුවීමන් මෙන්ම මේ අන්තවාදී පිරිස් දෙස බලන විට ඔවුන් තුල පෙනෙන්නට ඇත්තේ බුදුදහමේ ආභාෂය නොව වියරැව පමණි. ලොව ඕනෑම රටක එක් ආගමකට වඩා වැඩි ආගමික ඇදහිලි හා විශ්වාස පවතී. එහි දී අවශ්‍ය වන්නේ එකින් එකාගේ මතවාද හා විශ්වාස ගරුකරමින් සහයෝගයෙන් ජීවත්වීමයි. ඉන් අදහස් කරන්නේ අනිකුත් මතවාදයන් පිලිගැනීම අවශ්‍ය බව නොවේ. ඒ අනුව ලාංකීය බෞද්ධයෙකුට රටේ පවතින අනිකුත් ආගමික විශ්වාස හා ඇදහිලි අතුරින් පිලිගත හැකි මෙන්ම පිලිගත නොහැකි කරුණු ද රාශියක් පැවතිය හැක. ඒ ආකාරයටම වෙනත් ආගමිකයෙකුට බුදුදහම තුල පිලිගත හැකි මෙන්ම පිලිගත නොහැකි කාරණාවන්ද රාශියක් පැවතිය හැක. මෙහි දී කලයුත්තේ ආගම් සංශෝධනය කිරීම නොව එකින් එකා අවබෝධයෙන් හා අන් අයගේ විශ්වාසයන් ගරු කරමින් ජීවත්වීමයි. මෙය ඉස්ලාම් මිනිස් සමාජයට දැඩිව අවධාරනය කරයි. එනම් ඉහත ආකාරයේ බහු විශ්වාසයන් පවතින සමාජයක ජීවත් වන විට ක්‍රියා කලයුතු ආකාරය ශුද්ධ වූ කුර්ආනයේ 109-6 වාක්‍ය මඟින් මෙසේ පෙන්වා දේ.

“නුඹලාගේ මාර්ගය නුඹලාට මගේ මාර්ගය මට”

ඉහත කුර්ආන් වාක්‍යයෙන් අවධාරනය කරන්නේ සෑම පුද්ගලයෙකුම තම තමන්ගේ දහම් ඇදහිලි හා විශ්වාසය අනුව තමන් ක්‍රියා කලයුතු අතර අනිකුත් ආගම්වල ඇදහිලි හා විශ්වාසයන්ට කිසිදු ආකාරයක බලපෑමන් සිදු නොකලයුතු යන්නයි. මෙය තමා ප්‍රායෝගික මෙන්ම නිවරැදි ආදර්ශය වන්නේ. නමුත් අවාසනාවකට ලාංකීය සමාජය තුල එවැනි ආචාර ධර්මයක් දක්නට නැත. සෑම කෙනෙකුම තම මතවාදය ඉදිරියට ගෙනයාමට උත්සාහ දරන්නේ අන් අයගේ මතවාද පාගා දමමින් මිස බුද්ධිමත් ආචාරශීලි ක්‍රියාපිලිවෙතක් තුලින් නම් නොවේ. එයට හොද නිදසුනක් තමා ඉහත වීඩියෝ දර්ශනය, මීට අමතරව මාස කිහිපයකට පෙර සිදුවූ රටේ ආන්දෝලනයක් වූ පහත සුදුවීමද තවත් නිදසුනකි.

සමාජය තුල නිර්මාණය වන මෙවැනි ගැටළු බුද්ධිමත් සංවාදයන් තුලින් සමතයකට පත්කිරීම කලයුතු වේ. නොඑසේ නම් රටේ නීතියේ පිලිසරණ ඇතුව එය සමතයකට පත්කලයුතු වේ. එසේ නොමැතිව නීතිය අතට ගෙන ආවේගකාරී ලෙස හැසිරීම තුලින් සිදුවන්නේ ජාතීන් අතර වෛරය හා ක්‍රෝධය නිර්මාණය වී තවත් උග්‍ර ප්‍රශ්නවලට මෙන්ම අවධානම් තත්වයන්ට රට පත්වීම පමණි. ඉහත ආකාරයේ ඇදහිලි හා ක්‍රියාවලියන් අප රටේ අතීතයේ සිට පැවත එන්නකි. නමුත් අතීතයේ මෙවැනි ගැටුම්කාරී තත්වයන් පැවතුනේ නැත. ඒ මා ඉහතින් සදහන් කලාසේ ඔවුන් එකින් එකා අවබෝධයෙන් කටයුතු කිරීම නිසායි. මෙහි දී සියළු පාර්ශවයන් අවබෝධ කර ගතයුතු තවත් ප්‍රධාන කාරණයක් ද ඇත. එනම් ඉහත සිදුවීම ම සැලකූවිට, බහු ආගමික රටක් ලෙස එක් පිරිසක් සත්ව ඝාතනය පිලිකුල් කරන මහා පාපයක් ලෙස දකින විට තවත් පිරිසක් එය අනුමත කරන සරල කාරණයක් ලෙස දකී. මේ දෙපාර්ශවයම එකම සමාජයේ ජීවත් වන බැවින් මා ඉහතින් සදහන් කලාසේ එක් පාර්ශවයක් අනික් පාර්ශවයගේ මතවාදය ගරුකරමින් ඔවුන්ගේ සිත් නොරිදෙන ආකාරයට ක්‍රියා කලයුතුය. උදාහරණයකට සත්ව ඝාතනයක් සිදුකරන්නේ නම් එය වරදක් ලෙස දකින සමාජයක් ඉදිරියේ සිදු නොකොට ඔවුන්‍ට නොපෙනෙන ආකාරයට එය සිදුකීම ඒ දෙවන පාර්ශවයේ අනිවාර්ය වගකීමකි. මෙවැනි අන්තර් අවබෝධයෙන් ක්‍රියා නොකිරීමේ ප්‍රථිපලයක් ලෙස තමා වර්ථමාන තත්වය ශ්‍රී ලාංකීය සමාජය තුල නිර්මාණය වෙමින් පවතින්නේ. මීට අමතරව පසුකාලීනව රට තුල විවිධ ජාතිවාදී සංවිධාන හා දේශපාලන පක්ෂ නිර්මාණය වීමත් සමඟ මෙම තත්වය තවත් උඩුයටිකුරු වී ඇත. එය කොතරම් උග්‍ර ලෙස පවතිනවාද යයි පවසනවා නම් ඉහත කාරණයම එනම් මාංශ අනුභවය යන කාරනය සැලකූවේ නම් රටේ බෞද්ධ ජනතාවගෙන් බහුතරයක් මෙම මාංශ අනුභව කරයි. මෙයට හොද නිදසුනක් ලෙස 2010.08.17 දින “සිරස ගුවන්විදුලි නාලිකාවේ දහවල් ප්‍රවෘති විකාශයේ සදහන් විය. එය ඔබගේ බුද්ධිමත් අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එහි සදහන් වූයේ ‘කොළඹ නගරයේ මාංශ අවශ්‍යතාවය සදහා දිනකට ගවයින් 180ක්, එළුවන් 100ක් සහා ඌරන් 70ක් ඝාතනය වන බවයි.’ මෙහි දී කෙනෙකුට තර්ක කල හැකි මේ මුස්ලීම් ජනතාව හා අනිකුත් ආගමික ප්‍රජාව තමා මේවා පරිභෝජනයට ගන්නේ කියා” නමුත් පැහැදිලිවම ඌරුමස් කිසිවිටෙකත් මුස්ලීම් ජනතාව ආහාරයට නොගැනීම තුල මෙම තර්කය අවලංගු වී යයි. මෙහි සැබෑ තත්වය වන්නේ අවම මිලක් පවතින ගවමස් වැඩියෙන් අලෙවි වන බවත්, මිල වැඩි ඌරුමස් සහා එළුමස් අඩුවෙන් අලෙවි වෙනවාත් යන්නත්ය. මෙය කොළඹ නගරය සදහා පමණක් වූ තත්වයයි. මුළු රටේම දිනකට කොතරම් සත්ව ඝාතන සිදුවෙනවාද? මේවායින් කොතරම් ප්‍රමාණයක් බෞද්ධ ජනතාව පරිභෝජනයට ගන්නවාද? මේවා පිලිබදව ඉහත අන්තවාදී පිරිසට කිසිදු තැකීමක් නැත. එපමණක් නොවේ බෞද්ධ ඉගෙන්වීමන්ට පරස්පර බොහෝ ක්‍රියාවන් ස්වාමිණ් වහන්සේලා මඟින් සමාජය තුල ප්‍රසිද්ධියේ බුදුදහම නමින් සිදුවේ. නමුත් මේවා පිලිබදව ඉහත අන්තවාදී පිරිස් කිසිදු තැකීමක් සිදු නොකරයි. මේ තුලින් ද ඔවුන්ගේ පටු අරමුණු අවබෝධ කරගැනීම සාමාන්‍ය බුද්ධීය ඇති ඕනෑම කෙනෙකු හට අපහසු නොවේ. අතීතයේ පටන් පරස්පර ආගමික මතවාදයන් දැරුවත් එකම ජාතියක් ලෙස ලොවටම ආදර්ශයක් ලෙස සහයෝගයෙන් ජීවත් වූ ජාතියක් තමා ලාංකීකය ජාතිය. එය ඉතිහාසය පුරාවටම මනාව කියාපාන සත්‍යයකි. මෙය තවදුරටත් පැවතීමට නම් පැහැදිලිවම අන් අයගේ අදහස් ගරුකරමින්, ඔවුන්ගේ ආගමික මතවාද ගරු කරමින් එකම ජාතියක් ලෙස අවබෝධයෙන් කටයුතු කලයුතු වේ.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles