ආගමේ නාමයෙන් බෙදීයන මිනිස් සමාජය

1

ඉහත මාතෘකාව දුටු පමණින් මිනිස් සමාජය ආගමේ නාමයෙන් විවිධ කොටස් වශයෙන් බෙදී ‘මම බෞද්ධ, මම මුස්ලීම්, මම කිතුණූ, මම හින්දු…‘ යනාදී වශයෙන් ක්‍රියා කිරීම පිලිබදව මෙහිදී කථා කිරීමට යන බවට වැරදි අවබෝධයක් ඇති කර ගතයුතු නොවේ. මන්ද මා මෙහිදී කථා කරන්නට අදහස් කරන්නේ ‘මම බෞද්ධයෙක්‘ එසේත් නැත්නම් ‘මම ඉස්ලාම් භක්තිකයෙක්‘ එසේත් නැත්නම් ‘මම කිතුණූ භක්තිකයෙක්‘… යනාදී වශයෙන් පවසන කොටසක් ඒ තුල කොටස් වශයෙන් බෙදීයාම පිලිබදව හා එම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී සිටින මුස්ලීම් සමාජය පිලිබදවයි. ඉස්ලාම් දහම පිලිබදව මූලික අවබෝධයක් ශ්‍රී ලාංකීය සමාජයට ලබාදීම මූලික කරගෙන ක්‍රියාකරන මෙම ‘යහමඟ‘ වෙබ් අඩවිය තුල මෙම විෂය මෙලෙස කථා කිරීමට හේතු ගණනාවක් ඇත. එනම්, මුස්ලීම් සමාජය ලොව අනිකුත් ආගමික මතවාදයන් දරණ සමාජයට වඩා තරමක වෙනස් ආකාරයේ වූ මතවාදයන් දරණ පිරිසක් බවට ‘යහමඟ‘ අඩවිය මීට ඉහත ලිපි ගණනාවකින්ම කරුණු දක්වා ඇත. එය නැවත වරක් කෙටියෙන් පවසනවා ‘සර්ව බලධාරී‘ දෙවියෙකු පිලිබදව හා දිව්‍යමය පුස්තකයක් පිලිබදව වූ විශ්වාසයන් මූලික පදනම කරගත් දහම තමා ‘ඉස්ලාම් දහම’ වන්නේ. මේ ආකාරයේ වූ විශ්වාසයන් පදනම් කරගෙන ගොඩනැඟුණු ඉස්ලාම් දහමට මෑත කාලීන මුස්ලීම් සමාජය උදාකර දී ඇති ඉරණම සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් වර්ථමානය වනවිට මතුවෙමින් ඇත. ඒ අතුරින් ප්‍රධානතම ගැටළුව වන්නේ වර්ථමාන මුස්ලීම් සමාජය ‘ඉස්ලාම්’ නමින් බෙදීයාමයි. මේ තත්වය පිලිබදව මුස්ලීම් සමාජයට මෙන්ම මුස්ලීම් නොවන සමාජයට ද විවිධ වූ මතවාද, චෝදනා, විවේචන හා හේතු කාරණා ඇත. ශියා මුස්ලීම්, සුන්නි මුස්ලීම් යනාදී පාර්ශවයන් දෙකක් පිලිබදව ජාත්‍යන්තරය තුල කථා බහට ලක්වුවද එය එතැකින් සීමා නොවූ එකක් යන්න ලොව සෑම මුස්ලීම්වරයෙකුම හොදින් දන්නා කරණයකි. අපේ රට පදනම් කරගෙන සලකා බැලුවද එහි ශියා මුස්ලීම්, තරීකා ජමාත් (මේ තුලද බෙදීම් රාශියක් ඇත), තබ්ලීක් ජමාත්, තව්හීද් ජමාත්, ජමාතේ ඉස්ලාම්, බෝරා මුස්ලීම්, ජමාතුල් මුස්ලීමීන්… යනාදී ප්‍රබල බෙදීමන් හා එයට අනුබද්ධ අනුබෙදීමන් රාශියක්ද දක්නට ලැබේ. මෙම තත්වය දෙස බලන බුද්ධිමත් මුස්ලීම් සමාජයට මෙන්ම මුස්ලීම් නොවන සමාජයට පවා පොදු පැනයක් මතුවීමට පුළුවන. ඒ ‘එකම දෙවි අල්ලාහ් පිලිගෙන ඔහු විසින් පහල කලා යයි පවසන එකම දේව පුස්තකය ලෙස ශුද්ධ වූ කුර්ආනය පිලිගෙන ජීවත් වන ඉස්ලාම් දහමේ විවිධ වූ බෙදීම් තිබෙන්නේ ඇයි ද?‘ යන්නයි. මෙය බැලූ බැල්මට සාධාර්ණ වූ පැනයක් යන්නෙ හි කිසිදු මුස්ලීම්වරයෙකුට විවාදයක් පැවතිය නොහැක. එසේ නම් මෙම සමාජ තත්වය එනම්, මුස්ලීම් සමාජය කොටස් වශයෙන් බෙදීගොස් ඇති සමාජ පසුබිම පිලිබදව බුද්ධිමත් විමසුමක් සිදු කිරීම කාලීන අවශ්‍යතාවයකි.

විශේෂයෙන් ජාත්‍යන්තරය තුල හා ජාතිකතලයේ මුස්ලීම්වරුන්ට එරෙහිව විවිධ වූ කුමණ්ත්‍රන දියත් වන වර්ථමානයේ එයට එරෙහිව මුස්ලීම්වරුන් සාමූහිකව කටයුතු කිරීම දැඩි අවශ්‍යතාවයක් මතුවෙමින් ඇත. නමුත් මුස්ලීම් සමාජය විවිධ මතවාද ඔස්සේ කුඩා කොටස්වලට බෙදීයාමත්, එසේ බෙදීගිය පාර්ශවයන් තම මතවාදය ජනප්‍රිය කිරීම සදහා විවිධ සැලසුම් ක්‍රියාත්මක කිරීමත්, විශේෂයෙන් (මුස්ලීම්වරුන්ගෙන්ම කොටසක් වන) විරුද්ධ මතවාදී  පාර්ශවයන්ට එරෙහිව ජනතාව පෙලගැස්වීමට උත්සාහ කිරීමත්, මේ සියළු පාර්ශවයන් සදහාම ආගමික විද්වතුන්ගේ සහයෝගය ද ලැබීමත්… යනාදී තත්වයන් තුල මුස්ලීම් සමාජයේ වර්ථමාන තත්වය ව්‍යාකූල තැනකට යොමුව පවතී. මෙම අවාසනාවන්ත තත්වයෙන් මුස්ලීම් සමාජය මුදවා ගැනීමට නම් ඒ සදහා අවංක වූ මැදිහත්වීමක් මෙන්ම මේ විෂය පිලිබදව ඉස්ලාම් ආගමික හා ලෝක සම්ප්‍රදායන් පිලිබදව මූලික දැනුමක් හෝ පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් වේ. ඒ අනුව ඉහත විෂය ප්‍රධාන කරුණූ කිහිපයක් ඔස්සේ මෙතැන් පටන් සාකච්චා කිරීමට අදහස් කරමි. එනම්,

  • ඉහතින් පවසන ආකාරයේ බෙදීමක් මුස්ලීම් සමාජය තුල තිබෙනවා ද?,
  • එවැනි බෙදීමන් නිර්මාණය වීමට බලපෑ හේතු මොනවාද?,
  • මුස්ලීම් සමාජය තුල ඇති බෙදීම් මොනවාද?
  • එවැනි බෙදීම් ඉස්ලාම් අනුමත කරනවාද? අනුබල දෙනවාද?
  • මෙවැනි තත්වයන්ගෙන් ආගම් මිදීමට කලයුත්තේ මොනවාද?

සැබැවින්ම එවැනි බෙදීමක් මුස්ලීම් සමාජයේ තිබෙනනවාද?

මෙම ප්‍රශ්නයට මෙහිදී දිය හැකි සරලම පිලිතුර ‘ඔව්‘ යන්න මිස අන් කිසිවක් නොවේ. සැබැවින්ම මුස්ලීම් සමාජය විවිධ කරුණු කාරණයන් හා මතවාදයන් ඔස්සේ විවිධ නම්වලින් බෙදී ගොස් ඇති බව ආරම්භයේ මා සදහන් කල අතර එය මුස්ලීම් සමාජය තුල සුලභව දැකිය හැකි දිනෙන් දින සීඝ්‍රයෙන් වර්ධනය වන තත්වයක් බව කණගාටුවෙන් වුවද සදහන් කලයුත්තකි. ශියා, සුන්නි, තව්හීද්, තරීකා, තබ්ලීක්… යනාදීය ඒ අතුරින් ශ්‍රී ලාංකීය සමාජය තුල නිරන්තරයෙන් අසන්නට ලැබෙන කල්ලි කිහිපයක් පමණි. මෙවන් වූ ඉරණමක් මුස්ලීම් සමාජයට අත්වූයේ ඇයි ද?, එය ඉස්ලාම් කොතරම් දුරට අනුමත කරනවාද?, වැනි කාරණයන් වෙත අවධානය යොමු කිරීමට මත්තෙන් කවදත් සමයාන්තර අධ්‍යනයක නිරත වන අඩවියක් ලෙසත්,  මෙම මාතෘකාව වඩාත් හොදින් අවබෝධකර ගැනීමට පහසුවක් වනු පිණිසත් ‘යහමඟ’ අඩවිය මෙම ඛේදනීය ඉරණම අත්වු ලොව එකම දහම ඉස්ලාම් දහම ද? යන කාරණය පිලිබදව මෙහිදී කෙටි අවධානයක් යොමු කිරීමට අදහස් කරමි. නමුත් එය එතරම් පහසු හා ප්‍රායෝගිකව කලහැකි කාරණයක් නොවේ. මන්ද ලොව පුරා විශාල ප්‍රමාණයක් ආගම් ව්‍යාප්තව තිබෙන නිසාත් ඒ සියල්ල තුල මෙවැනි බෙදීම් දක්නට තිබෙන නිසාත්ය. මේ හේතුව නිසා ශ්‍රී ලාංකීය සමාජය පමණක් පදනම් කරගෙන මෙම විෂය පිලිබදව අවධානය යොමු කිරීමට අදහස් කරන අතර එහි ද විවිධ ආගම්, ඇදහිලි හා විශ්වාසයන් රාශියක් පවතින බව මීට පෙර මෙම අඩවිය තුල ශ්‍රී ලාංකීය සමාජය තුල විවිධ වූ ඇදහිලි යන ලිපිය මඟින් ද මේ පිලිබදව කරුණූ දක්වා ඇත. ඒ අනුව එම මතවාද හා විශ්වාස සියල්ල පිලිබදව කථා කිරීම ද ප්‍රායෝගික නොවේ. එය එසේ ප්‍රායෝගික නොවීමට තවත් කාරණයක් ද ඇත. එනම් එවැනි ආගම් හා විශ්වාසයන් හි සැබෑ ස්වරූපය හා එහි ඉගෙන්වීමන් කුමක්ද? යන්න වටහා ගැනීමට තරම් වූ ආරම්භයේ පටන් ආරක්ෂා වූ ලිඛිත සාක්ෂීන් එහි නොමැතිවීමයි. ඒ කෙසේ වෙතත් මෙම කාරණය යම්තාක් දුරකට හෝ අවබෝධ කරගැනීම පිණිස අප රටේ බහුතරයක් පිලිපදින් එසේම සිංහල භාෂාව සමඟ සමීපව කටයුතු කරන ආගම් දෙකක් පදනම් කරගෙන කථා කිරීමට අදහස් කරමි. එනම්,

  • ශ්‍රී ලාංකීය බහුතරයක් පිලිපදින බුදුදහම සැලකූ විට, එය බුදුවරයෙකු තමන් විසින් පහල කරගත් ඥානයක් පදනම් කරගෙන සමස්ථ මිනිස් සමාජයට කල මඟපෙන්වීමකි. බුදු දහමේ ඉගෙන්වීමට අනුව බුද්ධාගම ලොවට ප්‍රකාශ වන්නේ එකම එක මනුෂ්‍යයෙකු (වන බුදුවරයෙකු) තුලිනි. එම බුද්ධ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේ දී පෙනීයන්නේ සමස්ථ මිනිස් සමාජයේ විමුක්තිය සදහා වූ මාර්ගය බුදුන් විසින් දේශනා කල දහම තුල ඇති බවත්, එය දේශයක්, භාෂාවක්, පුද්ගල තරාතිරමක්, කුලයක්… යනාදී කිසිවක් මත පදනම් නොවන බවත්ය. මෙය ලොව බහුතර බෞද්ධයන් පිලිගන්නා සත්‍යයක් වන අතර එසේ පිලිගැනීමේ වරදක් ද නොවේ. මන්ද මෙතෙක් ලොව පහල වූ සෑම දාර්ශනිකයෙකුම, ශාස්තෘවරයෙකුම, පූජකවරයෙකුම… කලේ තම අනුගාමික පිරිස් එකම මතයක් ඔස්සේ පෙළගැස්වීම මිස ඔවුන් විවිධ කොටස්වලට බෙදා බේදභින්න කිරීම නොවේ. එවන් වූ මෙහෙවරක නිරත වූ ගෞතම බුදුන්ගේ දහමට අද ශ්‍රී ලංකාව තුල අත්කර දී තිබෙන ඉරණම කුමක් ද?. ථේරවාද, මහායාන, හීනයාන… යනාදී වශයෙන් අතීතයේ බෙදුනු බෞද්ධ ප්‍රජාව අද තවත් අනුබෙදුම් ගණනාවකට උරුමකම් කියමින් ඒ එකින් එකාහට අපහාස, උපහාස හා චෝදනා නඟමින් තමන්ගේ මතවාදයට සුදුහුණු ගාන්නට වෙරදරමින් සිටී. එහිදී මේ සියළු පාර්ශවයන් පවසන ප්‍රධාන වාදය නම්, ‘පිරිසිදු බුදුදහම අනුගමනය කරන්නේ අපි‘ යන්නයි. මෙම තත්වය දකින්නට ඇත්තේ ජාතිකතලයේ පමණක් නොවේ. ජාත්‍යන්තරය විමසා බැලුවද චීනය, කොරියාව, හෝ ජපානය යන රටවල වෙසෙන බෞද්ධ ජනයා තමන් අදහන බුදුදහමට වඩා ශ්‍රී ලාංකීය ජනයා අදහන බුදුදුහම පිරිසිදු බුදුදහම යයි කිසිවිටෙකත් පවසන්නේ නැත. එසේම ශ්‍රි ලාංකීය බෞද්ධ ජනයා තමන අදහන බුදුදහමට වඩා ජපානයේ තිබෙන බුදුදහම පිරිසිදු බුදුදහම බව පවසන්නේ ද නැත. නමුත් මෙහිදී නියත වශයෙන්ම වියහැකි වන්නේ,
  • සියළු පාර්ශවයන් වැරදි,
  • එක් පාර්ශවයක් හැර අනිකුත් පාර්ශවයන් වැරදි,

යන්න පමණි. මීට වඩා ගැඹුරින් එම විෂය මෙහිදී මා කථා කිරීමට අදහස් නොකරන අතර මෙතැන දී මා අවධාරණය කරන්නට උත්සාහ කරන්නේ ශ්‍රී ලාංකීය බහුතරය පිලිපදින බුදුදහම තුලත් මා ඉහතින් සදහන් කල බෙදීම නිර්මාණය වී තිබෙනවා යන්න පමණි.

  • ලොව වැඩිම ජනතාවක් පිලිපදින ශ්‍රී ලාංකීය සමාජය තුල ද සැලකිය යුතු පිරිසක් පිලිපදින තවත් දහමක් වන්නේ කිතුණූ දහමයි. කිතුනු භක්තිකයන්ගේ විශ්වාසයට අනුව ‘යේසුස්’ නම් මනුෂ්‍යයෙක් වෙත පහල වූ දේව පණිවුඩය පදනම් කරගෙන ගොඩනැඟුණූ දහමක් තමා කිතුණු දහම. එලෙස පහල වූ දේව පණිවුඩය අන්තර්ගත වූ ග්‍රන්ථය ‘බයිබලය’ නම් ශුද්ධ වූ ග්‍රන්ථය වේ. මෙසේ නිර්මාණය වූ කිතුණු දහමේ වර්ථමාන ඉරණම කුමක්ද?. දිව්‍යමය පුස්ථකය වන බයිබලය හා යේසුස් (තුමා) අවසාන දේව වක්තෘවරයා ලෙස පිලිගෙන කටයුතු කල කිතුණු සමාජය අද එහි විවිධ නිකායන් නිර්මාණය කර ගනිමින් තම තමන්ගේ නිකාය අනිකුත් නිකායන්ට වඩා නිවරුදි බවත් ‘සත්‍ය වූ කිතුණු දහම අනුගමනය කරන්නේ අපි’යනුවෙන් සෑම පාර්ශවයක්ම තම මතවාදයට ජනතාව ඒකරාශි කිරීමට උත්සාහ කරමින් අනිකුත් පාර්ශවයන්ට අපහාස, උපහාස හා චෝදනා නඟමින් තමන්ගේ මතවාදයට සුදුහුණු ගාමින් සිටී. මෙහිදී විමසන්නට ඇත්තේ ‘යේසූස් තුමා මිනිස් සමාජය මෙලෙස භේදබින්න කලා’ යයි කිසිවකුට පැවසිය හැකිද? යන්නයි. එය කිසිදු කිතුණූ භක්තිකයෙක් පිලිනොගනු ඇත. එසේනම් මෙහිදී ද නියත වශයෙන්ම විය හැකි වන්නේ,
  • සියළු පාර්ශවයන් වැරදි,
  • එක් පාර්ශවයක් හැර අනිකුත් පාර්ශවයන් වැරදි,

යන්න පමණි. මීට වඩා ගැඹුරින් එම විෂය පිලිබදව ද මෙහිදී මා කථා කිරීමට අදහස් නොකරන අතර මෙහිදී මා අවධාරණය කරන්නට උත්සාහ ශ්‍රී ලාංකීය සැලකිය යුතු පිරිසක් අනුගමනය කරන කිතුණු දහම තුලත් මා ඉහතින් සදහන් කල බෙදීම නිර්මාණය වී තිබෙනවා යන්න පමණි.

මේ ආකාරයට වර්ථමානයේ ලොව තුල ක්‍රියාත්මක කුමන දහමක් දර්ශනයක් සලකා බැලුව ද ඒ තුල ඉහත දුර්වලතාවය අඩු වැඩි වශයෙන් දැකගන්නට තිබේ. ඒ අනුව එකම දෙවි අල්ලාහ් පිලිගෙන ඔහු විසින් මඟ පෙන්වන එකම දේව පුස්තකය ලෙස ශුද්ධ වූ කුර්ආනය පිලිගෙන ජීවත් වන මුස්ලීම් සමාජයත් වර්ථමානයේ බෙදී ගොස් යන්න තිත්ත වූ ඇත්තකි. මෙවැනි තත්වයක ‘ලොව සෑම දහමකටම මෙම ඉරණම අත්වූ නිසා මෙය සැලකිල්ලට ගතයුතු කාරණයක් නොවේ’. යනුවෙන් හෝ ‘ඉස්ලාම් දහමට පමණක් නොව ලොව සෑම දහමකටම මෙම ඉරණම අත් වූ නිසා මෙම චෝදනාව කිසියම් දහමකට පමණක් එල්ල කිරීම පදනම් විරහිත එකක්’ යනුවෙන් සලකා හෝ ‘ඔබලාගේ ආගම්වල තිබෙනවා ආකාරයට අපේ ආගම්වලත් විකෘති කිරීමන් තිබෙනවා’ යයි පැවසා හෝ මෙහි බැරූරුම් කම සුළුකොට තැකිය නොහැක. ‘වරදක් සිදුව ඇත’ යනුවෙන් පවසමින් වරද පිලිගෙන කල් ගෙවීමට වඩා කලයුතු වන්නේ ‘මෙම ඉරණම අත්වුයේ ඇයි ද?’ යන කාරණය පිලිබදව සොයා බලා එම තත්වය ඉදිරියට ඇති නොවීමට අවශ්‍ය පියවර ගැනීමයි.

මෙවැනි තත්වයක් නිර්මාණය වීමට බලපෑ හේතු මොනවාද?

වර්ථමාන ලොව තුල දක්නට ඇති සෑම දහමක වාගේ කිසියම් ආකාරයක විකෘති වීමක් සිදුව ඇති ආකාරය ඉහත කරුණු තුලින් අප විමසා බැලුවෙමු. කිසියම් ආගමක සිදුවී තිබෙන විකෘතිවීමන් හා එයට මුල් වූ හේතු කාරණයන් බුද්ධිමත් ලෙස විමසා බැලීම මඟින් ඉදිරියට එවැනි වැරදි එහි සිදු නොවීමට අවශ්‍ය ක්‍රියා මාර්ගයන් ගැනීම පහසුය. ඒ අනුව මේ පිලිබදව විමසුමන් සිදුකරන විට පොදු දුර්වලතාවයන් කිහිපයක් එහි පහසුවෙන් හදුනාගත හැකි වේ. එනම්,

  • එහි ඉගෙන්වීමන් ආරම්භයේ සිට ආරක්ෂා නොවීම,
  • ඉගෙන්වීමන් සමාන්‍ය ජනතාවට නිරාවර්ණය නොවීම,
  • එහි ඉගෙන්වීමන් මිනිස් චින්තනවලින් කිලිටිවීම,
  • පාරම්පරික සම්ප්‍රදායන් දහම නමින් පිලිපැදීම,
  • විවිධ පුද්ගල බලපෑම්වලට හසුවීම,
  • සමකාලීන අනිකුත් ආගම් හා තරඟකාරීත්වයක් නිර්මාණය කර ගැනීම,
  • මේ (දහම් ප්‍රචාරය) තුලින් සමහරක් පිරිස් පටු අරමුණ අපේක්ෂා කිරීම,
  • සමාජයෙන් ගෞරවයක්,
  • මිලමුදල් හා වස්තූන් රුස්කිරීම,
  • වරප්‍රසාදයන් බලාපොරොත්තු වීම,
  • ප්‍රසිද්ධියක් අපේක්ෂා කිරීම,

මෙහි මා විසින් ඉහතින් ඉදිරිපත් කර ඇත්තේ ප්‍රධාන කාරණා කිහිපයක් වන අතර (මීට අමතරව අනු කාරණා ගණනාවක් ද සමාජය තුල පවතින බව අමතක නොකලයුතුය.) මෙහි මුල් කාරණා දෙක ඉතා වැදගත් වේ. විශේෂයෙන් පළමු කාරණය එනම් ‘එහි ඉගෙන්වීමන් ආරම්භයේ සිට අරක්ෂා වීම’ යන කාරණය සැලකුවේ නම්, මෙය දහමක දර්ශනයක පැවතිය යුතු මුඛ්‍ය අවශ්‍යතාවයකි. නමුත් ඉස්ලාම් දහම හැර වෙන කිසිදු දහමකට මෙම චෝදනාවෙන් අද නිදහස් විමට හැකි වී නැත. (මේ පිලිබදව වැඩි විස්තර සදහා ‘ශුද්ධ වූ ග්‍රන්ථ හා එහි වලංගුභාවය‘ යන ලිපිය කියවන්න) එසේම ඉහත දෙවන කාරණය එනම්, ‘සත්‍ය දහම ජනතාවට නිරාවර්ණය නොවීම’ යන කාරණය සැලකූ විට ඉස්ලාම් දහම ඇතුළු බොහෝ දහමන්ට මෙම දුර්වලතාවයෙන් මිදීමට හැකි වී නැත. මෙවන් ප්‍රබල දුර්වලතාවයන් හමුවේ දහමක් විකෘති ලෙස සමාජගත වීම කිසිවකුටත් නොවැලැක්විය හැකි කාරණයකි. එපමණක් නොවේ මෙම දුර්වලතාවයන් හමුවේ මා ඉහතින් ද සදහන් කල පහත දුර්වලතාවයන් නිරායාසයෙන් දහමට එක්වීම ද වැලැක්විය හැක්කක් නොවේ. එනම්,

  • එය මිනිස් චින්තනවලින් කිලිටිවීම,
  • පාරම්පරික සම්ප්‍රදායන් දහම පිලිපැදීම,
  • විවිධ පුද්ගල බලපෑම්වලට හසුවීම,

දහමක හෝ දර්ශනයක සීමාවන් අපැහැදිලි වූ විට එහි මිත්‍යා විශ්වාසයන් හා මනක්කල්පිතයන් නිර්මාණය වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩිය. එනම්, ‘ආගම’ නමින් පැවසෙන සියල්ල හිස් මුදුනින් තබා පිලිගැනීමටත්, විවිධ පුද්ලගයන්ගේ ස්වයං විග්‍රාහයන් ආගමික ඉගෙන්වීමන් ලෙස අවබෝධ කරගැනීමටත්, සමාජය තුල හා පවුල් තුල පාරම්පරිකව කරගෙන ආ වත්පිලිවෙත් හා විශ්වාස අන්ධ භක්තික ලෙස ඇදහීමටත්, දහම දේශනා කරන පුද්ගලයන්ට පවා අසීමිත බලයන් හා හාස්කම් ආරූඪ කොට දේවත්වයෙන් සලකන්නටත් ජනතාව නැඹූරු වීම තුල සෑබෑ ඉගෙන්වීමන්ට පරස්පර වූ විශ්වාසයන් සමාජය තුල නිර්මාණය වී කාලයත් සමඟ ඒ සියල්ල සැබෑ ආගමික ඉගෙන්වීමන් බවට පරිවර්ථනය වීමත්… අද දහමකට අවාසනාවන්ත ඉරණමක් උදාකර දෙන අවස්ථා කිහිපයකි.

මීට අමතරව දහමක් තුල අවාසනාවන්ත තත්වයන් නිර්මාණය කරදෙන තවත් අවස්ථාවක් වන්නේ,‘තමන් අදහන දහම හැර ලොව අනිකුත් දහමන් හි කිසිදු හරයක් නැතැයි ප්‍රතික්ෂේප කරමින් හෝ තමන් අදහන දහම අනිකුත් දහමන්ට වඩා විශිෂ්ඨයි යන්න පවසමින් ලොව අනිකුත් දහමන් හි ඉගෙන්වීමටන් සමාන්තරව හා විටෙක එය ඉක්මවා තම දහම තුල (කිසිදු පදනමකින් තොරව) මතවාදයන් ගොඩනැඟීම’ යන්නයි. තමා අදහන දහම හැර ලොව අන්සෑම දහමක්ම පහත් බව පෙන්වීමට කරනු ලබන මෙම උත්සාහයන් තුලින් එවැනි දහමන්ට උදාවන්නේ ඉතා අවාසනාවන්ත තත්වයකි. මෙය වඩාත් හොදින් අවබෝධකර ගැනීම පිණිස විද්වත් මතවාදයන් කිහිපයක් වෙත ඔබේ අවධානය යොමු කරන්නේ නම්,

  • ශ්‍රාස්ත්‍රපති පුජ්‍ය අටාලේ පියදස්සී හිමියන් විසින් සිංහල භාෂාවට පරිවර්ථනය කරන ලද ‘මිලේනියම් ෆැමිලි එන්සයික්ලෝපීඩියා’ (MILLENNIUM FAMILY ENCYCLOPEDIA) නම් කෘතියෙහි බුදුන්වහන්සේ සම්බන්ධයෙන් සදහන්කරුණු ඉතා වැදගත් වේ. එය මෙසේය ‘බුදුබව පිලිබදව ඉමහත් බැතියක් වපුරනු රිසි වු පැරණි බෞද්ධ නායකයෝ පුරාණ ඉන්දියාවේ සම්මතව තිබු මහාපුරුෂ ලක්‍ෂණ සියල්ල පමණක් නොව සාහිත්‍යයේ එන දෙවි දේවතාවුන්ගේ ලක්‍ෂණවලින් පවා බුදුසිරුර සැරසුහ.’
  • ලෝක ප්‍රකට ඉතිහාසඥයකු මෙන්ම ගවේෂකයකු වු මයිකල් එච්. හාට් (Micheal H Hart) තම ‘ද හන්ඞ්රන්’ (THE 100) නම් ගවේශණ කෘතියෙහි (මෙම කෘතිය කියවන ලෙස සෑම බෞද්ධයෙකුටම මා ආරාධනා කරමි) ලෝක ඉතිහාසයේ පෙරලියක්ඇති කල 100 ක් දෙනා පෙලගැස්වීමේදී 04 වන ස්ථානය ගෞතම බුදුන්හට ලබාදී එවැනි තැනක් ලබාදිමට පදනම් වූ හේතු ඉදිරිපත් කිරීමේ දී එක් අවස්ථාවක මෙසේ පවසයි, ‘ඔහු පැවසු දෑ කිසිවකු විසින් ලියා නොතබන ලද අතර ඔහුගේ පරිවාරයින් විසින් ඔහුගේ දේශනාවල බොහෝමයක් කට පාඩම් කොට තිබුණි. ඒවා වාචිකව ආරක්‍ෂා වී පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන ලදී.’ යනුවෙන් සදහන් කල ඔහු ගෞතම බුදුන් 04 වන ස්ථානයට නම් කිරීමට තරම් එය ප්‍රබල දුර්වලතාවයක් ලෙස ඔහු පවසයි. එසේ පැවසීමෙන් පමණක් නතර නොවු ඔහු එහි තවත් ස්ථානයක මෙසේද සදහන් කරයි. එනම්, ‘බුදුන් මෙලොවට නැවත ආවා නම් අද බුදු දහම තුල සිදුවන විවිධ ආකාරයේ වත්පිලිවෙත් දැක මවිතයටපත් වෙනවා නියතය’ යනුවෙන් ද පවසයි. ඔහුගේ කෘතියෙහි තවත්ස්ථානයක ‘ඉන්දියාවේ බෞද්ධයින් නැතීවී යාමට හේතුව හින්දු ආගම බෞද්ධ දර්ශණයේ බොහෝ කරුණු තම දහම සදහා යොදා ගැනීම’ යයි ද වැඩිදුරටත් විස්තර කරයි.
  • අපවත් වූ ආචාර්ය කිරින්දේ ධම්මානන්ද හිමි (මලයාසියා හා සිංගප්පූරු හිටපු ප්‍රධාන සංඝනායක) විසින් තම ‘බෞද්ධ විශ්වාසය හා ප්‍රතිපදාව’ යන කෘතියෙහි මෙසේ පවසයි. ‘බුද්ධ පරිණිර්වාණයෙන් පසු බුද්ධ ශ්‍රාවකයෝ බුද්ධ දේශනා කේන්ද්‍ර කොට ගෙන ආගමක් සංවිධානය කොට ඇත. මෙසේ කිරීමෙන් ඔවුන් මූලික ඉගෙන්වීම්වලට පරිභාහිර වූ සංකල්ප, විශ්වාස, ප්‍රාතිහාර ජනක කරුණු කූඪ විශ්වාස, මන්ත්‍ර යන්ත්‍ර නොයෙකුත් පුදපූජා විධි ක්‍රම බුදු දහමට ඇතුළුත් කර ඇත.’

ඉහත කරුණු ශ්‍රී ලාංකීය බහුතරය වන බෞද්ධ ප්‍රජාව මූලික කරගෙන කථා කලද මෙම අවාසනාවන්ත ඉරණමින් ලොව කිසිදු දහමකට මිදීමට නොහැකි වූ බව ඉහතින් අවධාරණය කලෙමි. මෙතෙක් කථා කල කරුණුවලට අනුව මෙවැනි ඉරණමක් දහමකට උදාවීමට බලපාන හේතු අතර…

  • එහි ඉගෙන්වීමන් ආරම්භයේ සිට ආරක්ෂා නොවීම,
  • ඉගෙන්වීමන් සමාන්‍ය ජනතාවට නිරාවර්ණය නොවීම,
  • එය මිනිස් චින්තනවලින් කිලිටිවීම,
  • පාරම්පරික සම්ප්‍රදායන් දහම පිලිපැදීම,
  • විවිධ පුද්ගල බලපෑම්වලට හසුවීම,
  • සමකාලීන අනිකුත් ආගම් හා තරඟකාරීත්වයක් නිර්මාණය කර ගැනීම,

යනාදීය ප්‍රධාන තැනක් ගන්නා බව දැන් පැහැදිලිය. මීට අමතරව දහමක විකෘතිතාවයන් නිර්මාණය වන තවත් ප්‍රබල එසේම නූතන කාරණයක් ද ඇත. ඒ මා ඉහතින් සදහන් කල ‘මනුෂ්‍ය පටු අරමුණ අපේක්ෂා වෙන් සිදුකරන ආගමික ක්‍රියාකාරකම්’ යන්නයි. මෙය අද ලොව තුල ආගම්වලට ප්‍රබල බලපෑමන් එල්ල කරන සාධකයක් වී ඇත. ඉහත සදහන් කරුණු 06 ජනතා අනවබෝධය හෝ දහම කෙරෙහි තිබෙන අසීමිත වූ භක්තිය හා ආකර්ශනය නිසා නිර්මාණය වන දුර්වලතාවයක් වුවත්, මෙම කාරණය තුල පැහැදිලිවම දක්නට ඇත්තේ දහම ඉගෙන්වීමන් අභිබවා ගිය ලෞකික අවශ්‍යතාවයන් පමණක් පදනම් වූ පුද්ගල පටු අරමුණු යන්නයි. මෙම තත්වය අප වැනි රටවල්වල සුලභ දසුනකි. විශේෂයෙන් පූජකවරුන් යයි ජනතාව ඉදිරියේ පෙනී සිට ඔවුන් පොදු ජනතාව අතර කිසියම් ආකාරයක ආගමික ප්‍රතිරූපයක් නිර්මාණය කරගෙන ඒ තුලින් මිලමුදල්, ගෞරවය, වස්තූන්, වරප්‍රසාද, ප්‍රසිද්ධිය… යනාදීය පොදු ජනයාගෙන් සූක්ෂම ලෙස ලබාගනී. ලෞකික කාරණා පමණක් පදනම් කරගෙන විවිධ ක්‍රියාකරකම්වල නිරත ඔවුන් පොදු ජනතාවගේ ලෝකොත්ර විමුක්තිය දිනාදීමට නිරන්තරයෙන් කථා කිරීම එහි විශ්මය ජනක කාරණයකි. මෙවැනි කූඨ පිරිස් අතීතයේ පටන් කාලයක් මුළුල්ලේ සමාජය තුල ක්‍රියාත්මක වීමේ ප්‍රතිපලයක් ලෙස පසුකාලීනව එනම් අද වනවිට ‘මේවාත් ආගම තමා’ යන තැනට සමාජයේ පිලිගැනීමක් නිර්මාණය වී ඇත. (මෙම කාරණය තමා ශ්‍රාස්ත්‍රපති පුජ්‍ය අටාලේ පියදස්සී හිමියන් හා ආචාර්ය කිරින්දේ ධම්මානන්ද හිමියන් පවා ඉහතින් අවධාරණය කරන්නේ) මෙය වර්ථමාන සමාජය තුල කොතරම් ඔඩුදුවා ඇද්ද යන්න පවසනවා නම්, මේ ආකාරයට දහම තුල නිර්මාණය වී ඇති මිත්‍යා මතවාදයන් හදුනාගෙන එයට එරෙහිව නැඟී සිටීම පවා අසීරු තැනකට පොදු ජන ආකල්ප විකෘති කොට ඇත. එවැනි මෙහෙවරක නිරත වන පිරිස් ආගම් විරෝධීන් ලෙස ලේබල් ගැසීමටත්, සමාජයෙන් කොන්කිරීමටත්, විටෙක ඔවුනට හිංසා පීඩා සිදු කිරීමටත්ඉහත කූඨ පූජකවරුන් පමණක් නොව ඔවුන්ගේ මඟපෙන්වීම තුල අනවබෝධයෙන් ක්‍රියා කරන පොදු ජනතාවද ඉදිරිපත් වීම අද දක්නට ඇති අවාසනාවන්ත තත්වයකි.

මෙවන් වූ අවාසනාවන්ත ඉරණමකින් පොදු ජනතාව සම්පූර්ණයෙන් මුදවා ගැනීමට නම්, එහි මුල් පියවර ලෙස දහම තුල ඇති සීමාවන් කුමක් ද? යන්නත්, එය අවබෝධකරගත යුත්තේ කෙසේ ද? යන්නත් පැහැදිලි ලෙස ජනාතාවට අනාවර්ණය කලයුතුව ඇත. විශේෂයෙන් පුද්ගල චින්තන, පාරම්පරික සම්ප්‍රදාය හෝ පුද්ගල බලපෑම්වලට හසු නොවීමට අවශ්‍ය දැනුම ඔවුනට ලබාදිය යුතුව ඇත. අවසාන වශයෙන් ‘මේ සියල්ල සදහා ඒ ඒ දහමට දර්ශනයට මුල සිට ආරක්ෂා වූ ඉගෙන්වීමක් පැවතීම මුඛ්‍ය අවශ්‍යතාවයක්’ යන්න ‍මෙහිදී අවධාරණය කරමින් මෙම ලිපියේ පලමු ‍කොටස මෙසේ අවසන් කරමි.

මෙම ලිපියේ දෙවන කොටස ‘ඉස්ලාම් දහම මුල් කරගත්  මුස්ලීම් සමාජයේ බෙදීම්’ (ලඟදීම…)

 

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. mohamed 2012-06-07 at 02:20

    ඔබ පවසන සේ ලංකාව තුල අනිකුත් ආගම්වලද බේදීම් තිබුනත් එය මුස්ලිම්වරුන් තරම් නරක නොවේය යන්න මාගේ හැඟීම වේ. අපේ මිනිස්සු මතවාද වලට පමනක් සීමා නොවී කපා කොටා කරගන්නා තරමටම එය වර්ධනය කරගෙන තියනා බවයි මට පේන්නේ. කොහොම වුවත් ඔබගේ ඊලඟ ලිපිය තුල දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් ඔබත් සමග සාකච්චා කරන්න බලපොරොත්තු වෙනවා.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp