ආදරය හා අනාචාරය අතර වල්මත් වූ තාරුණ්‍යය

4

“විශ්වාසවන්තයණි ! නුඹ නුඹවද, නුඹ පවුලේ සාමාජිකයන් ද අපා ගින්නෙන් ආරක්‍ෂා කර ගනිව්.”

(ශුද්ධ වූ අල්කුර්ආනය 66-6)

රටක තිබෙන ස්වභාවික සම්පත් හැරුණු කල එම රටේ වටිනාම සම්පත වන්නේ මානව සම්පතයි. එහි ද සුවිශේෂි වන්නේ තරුණ ජවයයි. රටේ ස්වභාවික සම්පත රටකට කොතරම් වැදගත් වන්නේද? ඒ ආකාරයටම විටෙක ඊටත් වඩා වැදගත් සාධකයක් ලෙස මෙම තරුණ ජවය හෙවත් ශ‍්‍රම හමුදාව සැලකිය හැක. මන්ද රටේ කොතරම් ස්වභාවික සම්පත් පැවතුන ද එය පලදායි ආකාරයට උපයෝගි කර ගැනීමේ හැකියාව හා ශක්තිය ඇත්තේ මෙම ශ‍්‍රම හමුදාව සතුව බැවිණි. ඒ අනුව මෙම මානව සම්පත් අතරින් තරුණ ජවය හෙවත් තාරුණ්‍යය සිටන්නේ ඉදිරියෙන්ම යන්නෙහි වාදයක් නැත. මෙම තාරුණය පිලිබදව මෙම ලිපිය මගින් අවධානය යොමු කිරීමට අදහස් කරන්නේ මෙම ශ‍්‍රම හමුදාව එසේත් නැත්නම් හෙට දවසේ රටේ භාරකරුවන් වන මොවුන් අද ගමන් කරමින් සිටින ඉසව්ව හා ඒ ඔස්සේ දිනාගනිමින් සිටින පරිහානිය පිලිබදව සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම පිණිසය. මෙය වර්ථමානයේ කාලීන වගකීමක් වන අතර මෙම තරුණ පිරිසගේ භාරකරුවන්ට ද මේ සම්බන්ධයෙන් ප‍්‍රබල වූ වගකීම් කිහිපයක්ම පවතින බව අවබෝධ කරදීම මෙම ලිපියෙහි තවත් එක් අරමුණකි.

ඉස්ලාම් දහම මෙම තරුණ්‍යය පිලිබදව බොහෝ දෑ කථා කරයි. ඒ මා ඉහතින් සදහන් කලාසේ එම තරුණ අවධිය මිනිස් ජීවිතය තුල තීරණාත්මක අවදියක් වන බැවිණි. මෙම තරුණ අවධියේ වැදගත්කම පිලිබදව ඉස්ලාම් පැවසීමේ දී නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදි.

“සැබෑ ඥානවන්තයා මහළුවිය ලබන්නට පෙර තරුණ අවධිය ප‍්‍රයෝජනයට ගත් තැනැත්තාය.”

“නූඹලා තරුණ අවධිය කෙසේ ගතකලාද? යන ප‍්‍රශ්නයට විනිශ්චය දිනයේ දී (දෙවියන් ඉදිරියේ) පිලිතුරු ලබාදෙන තුරු නුඹලා සිටින තැනින් අඩියක් හෝ සෙලවීමට නොහැක.”

(ග‍්‍රන්ථය තිර්මිදි)

ඉහත නබි වදන් (හදීසයන්) අනුව තරුණ අවධියේ වැදගත්කමත්, එය නිසි අයුරින් ප‍්‍රයෝජනයට ගැනීමේ ඥානවන්ත කමත්, එය රටක් වශයෙන් පමණක් නොව ආගමික වශයෙන් ද කොතරම් වැදගත් සාධකයක් ද යන්න හොදින් පැහැදිලි වේ. එසේ නම් දිනෙන් දින අපෙන් ගිලිහෙන නැවත කිසිදු දිනක අප නොලබන මෙම තරුණ අවධිය පිලිබදව මීට වඩා කොතරම් සැලකිලීමත් වියයුතු ද? මෙම තාරුණ්‍යය රටටත්, සමාජයටත් පුද්ගලිකව අපටත් නිෂ්පල ආකාරයට ගෙවා දැමීම කොතරම් අනුවනක්කාරී ක‍්‍රියාවක්ද? යන්න අවබෝධ කරගැනීම තවදුරටත් අපහසු නොවේ.

මෙවන් වූ ශ්‍රේෂඨ තරුණ්‍යය, තරුණ ජවය අද භාවිතා කරන්නේ කුමක් සදහාද? ඉහත සදහන් ආකාරයේ පලදායී තරුණ පිරිස් අප සමාජයේ කොතරම්ද? සමාජයට වැඩදායි තරුණ පිරිස් කොතරම්ද? මෙම කාරණයන් මොහොතක් සිතා බලන්න. “නූතන තරුණයා” යයි පැවසූ සැණින් අපගේ සිහියට නැ‍ඟෙන්නේ මත්පැන් හා මත්ද්‍රව්‍යවලට බිලිවෙමින් සිටින, නූතන සංසකෘතීන් යයි පවසමින් තමන්ට නොගැලපෙන සංස්කෘතීන් හා මෝස්තයන්වලට වහල් වී විනාශ හා විකෘති වෙමින් සිටින, පිවිතුරු ආදරයක් හෙවත් පේ‍්‍රමයක් නමින් තම ජීවිතය පවා කැප කරමින් ඔහුට දරාගත නොහැකි ගැටළුවල කොටු වී විනාශ වෙමින් සිටින. සිනමාව හා පුංචි තිරයේ රූකඩ චරිත තම ජීවිතයට ආදර්ශයන් ලෙස ගෙන එය තුල අසරණ වී බලා සිටින … තරුණ්‍යයක් නොවේද? හෙට දවසේ භාරකරුවා අද ජීවිතය විඳිනවා වෙනුවට ඔහු තම සුන්දර අවධියේ විදවමින් සිටී. මේ ආකාරයට මා මෙහි සදහන් කල හා නොකල සෑම කාරණයක් පිලිබදව අද සමාජය ගැඹූරින් හා පූළුල් ලෙස අවධානය යොමු කලයුතු අවධියක් තමා මේ වර්ථමාන සමාජය පසුකරමින් සිටින්නේ. විශේෂයෙන්,

  • මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය
  • නූතන සංස්තෘතිය හා මෝස්තර ඉවක්බවක් නොමැතිව වැලදගැනීම
  • හැඟීම්වලට වහල් වූ පේ‍්‍රම සම්බන්ධතාවය
  • සිනමාව, රූපවාහිණීය හා අන්තර්ජාලය භාවිතය

ඉහත මුල් කාරණයන් දෙක එනම් මත්ද්‍රව්‍ය භාවිතය හා ශ‍්‍රී ලාංකීය අපට නොගැලපෙන සංස්කෘතික විප්ලවය තුල තාරුණ්‍යයේ බිදවැටීම අප නිරන්තරයෙන් දකින හා සමාජය තුල නිතර කථාබහට ලක්වන කාරණයකි. නමුත් ඉහත කාරණයන් දෙක මෙන්ම විටෙක ඊටත් වඩා ප‍්‍රබල හා ඉතා සූක්‍ෂම ආකාරයට තරුණ පිරිස බිලිගන්නා සාධකයන් දෙකක් ලෙස සිනමාව, රුපවාහිණීය හා අන්තර්ජාල භාවිතය හා ඒහා බද්ධ වූ පෙම් සම්බන්ධතාවයන් යන්න අපට කිසිසේත් ප‍්‍රතික්‍ෂෙප කල නොහැක.

මෙම මාතෘකාව කථා කිරීමට සුදුසුම කාලයක් තමා මේ අප පසුකරමින් සිටින්නේ. ඒ එක් පසකින් මෙම තරුණ පිරිස් වින්දනය සදහා තාක්‍ෂණය උපරිමයෙන්ම භාවිතා කරන අවධියක් වීමත්, තවත් පසකින් අපගේ ප්‍රෞඩ සංස්කෘතිය පසෙකලා ලැජ්ජා, බයනැති නිර්වත් සංස්කෘතියක් තුල “හික්කා 2009” (2009 වර්ශයේ හික්කඩුව මුහුදු වෙරලේ දී හික්කඩුව ප්‍රාදේශිය සභාව විසින් සංවිධානය කරන ලද උත්සවය) වැනි දෑ නිර්මාණය වෙමින් පැවතීමත්, විශේෂයෙන් හොද හැදියාවන් යහපත් විනයක් ඇති පිරිස් සමාජයෙන් ප‍්‍රතික්‍ෂෙප කරන තැනට සමාජය යොමු වීමත්, පිවිතුරු ආදරය හා ප්‍රේමය වෙනුවට “ලෝක පෙම්වතුන් දින” (පෙබරවාරි 14) නමින් අනාචාරයන් සමරණ තරුණ්‍යයේ අභීමානවත් දිනය මේ පරිහානියන් විදහපාන තවත් සුවිශේෂි අවස්ථාවන් කිහිපයක් පමණි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ මේ උතුම් වූ තාරුණ්‍යයට මෙම ඉරණම එසේත් නැත්නම් මේ ප‍්‍රපාතයට තල්ලූකර දැමීමේ මූලික කොටස්කරුවන් බවට දැන හෝ නොදන එසේම සෘජුවම හෝ වක‍්‍ර ආකාරයට සම්බන්ධ වී සිටින්නේ වැඩිහිටි සමාජයයි. ඔවුන් මේ සදහා විවිධ ක්‍ෂෙත‍්‍ර ඔස්සේ සම්බන්ධ වී සිටි. ඉන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • දරුවන් පිලිබදව නිසි පසුවිපරමක් නොකිරීම තුල
  • දරුවන් කෙරෙහි නිසි ආදරයක් නොදැක්වීම තුල
  • දරුවා හා ඔහු අවට පරිසරය පිලිබදව අවධියෙන් නොසිටීම තුල
  • නිවස තුල ඔවුනට හොද පරිසරයක් නිර්මාණය කර නොදීම තුල
  • දරුවන් හා දෙමාපියන් අතර අන්තර් සහයෝගයක් ගොඩනගා නොගැනීම තුල
  • දරුවාගේ (තරුණ) හැගීම් තේරුම් නොගැනීම තුල
  • මිල මුදල වෙනුවෙන් ඕනෑම පහත් ක්‍රියාවක් කිරීමටත් සමාජයට දායද කිරීමටත් පෙළඹීම තුල

මේ ආකාරයේ හේතූන් ගනනාවක් නිසා මේ දරුවන් හා තරුණයන් විනාශ මුඛයට යොමුවී සිටී. අද බොහෝ දෙමාපියන්ගේ ක‍්‍රියාකලාපය දෙස බලන කල ඔවුන්ගේ වගකීම් දරුවා මොලොවට බිහි කිරීමෙන් අවසන් යයි සිතනවාදෝ? යන ප‍්‍රශ්නය අපට මතු වේ. තවත් සමහර දෙමාපියන් දෙස බලන කල බිහිකරපු දරුවා පෝෂණය කිරීමෙන් තම වගකීම් අවසන් යයි සිතනවාදෝ? යන ප‍්‍රශ්නය ද අපට මතු වේ. තවත් සමහර දෙමාපියන් දෙස බලන කල තම දරුවාට අළුත් මෝස්තර ඇදුම් හා නූතන තාක්‍ෂණික උපකරණ එනම් ජංගම දුරකථන, අන්තර්ජාල පහසුකම් සහිත පරිගනක, හොද වාහනයක්… යනාදී දෑ ලබාදීම තුලින් තම වගකීම් අවසන් යයි සිතනවාද? යන ප‍්‍රශ්නය ද ඇති වේ. නමුත් සැබැවන්ම දරුවන් කෙරෙහි දෙමාපියන්ට තිබෙන වගකීම මෙවන් පටු සීමාවන් තුල කොටුකල නොහැක. එය ඉස්ලාම් හොදින් අවබෝධ කරගෙන සිටී නිසයි නබි මුහම්මද් (සල්) තුමාණෝ සමාජයට මෙසේ අවධාරණය කලේ,

“(දරුවෙකුට) ලස්සන නමක් තැබීමත් හොද විනයක් ඉගෙන්වීමත් දරුවන් කෙරෙහි දෙමාපියන්ට ඇති වගකීම් වේ.”

(මූලාශ්‍ර ග‍්‍රන්ථය – බයිහකී)

වර්ථමාන සමාජය ඉහත නබි වදනින් අවධාරණය කරන පළමු කාරණය නම් නිසි අයුරින් ඉටුකර ඇති බව සැබෑවකි. නමුත් දෙවන කාරණය එනම් “හොද විනයක් ඇති කිරීම” යන කාරණයේ දී බහුතරයක් දෙමාපියන් හා වැඩිහිටියන් අසාර්ථක වී ඇති බව පැහැදිලිව දක්නට ඇත. එසේ නම් මෙම කාරණයේ දී අපට වැරදුනේ කොතැනද? යන්න සෑම දෙමාපියන් මෙන්ම වැඩිහිටියෙක්ම ස්වයං අධ්‍යනයන් සිදුකල යුතුය. එය වගකිවයුතු සෑම කෙනෙකුගේම කාලීන් මෙන්ම අනිවාර්ය හා තීරණාත්මක වගකීමක්ද වේ. මේ තාරුණ්‍ය මඟින් සමාජට ඉටු වියයුතු වගකීම සියල්ල පසෙක දැමුවත් වැඩිහිටියන් ලෙස තම දරුවන්ගෙන් දෙමාපියන් අපේක්ෂා කරන යුතුකම් නම් කිසිසේත් නොසලකා හැරිය නොහැක. අප මහළුවිය ලබා තවත් කෙනෙකුගේ පිහිට හා සරණ අවශ්‍ය වන මොහොතේ එම ඉරණම තීන්දු කරන තීරණාත්මක සාධකය තමා ආදරයෙන් හදාවඩාගත් දරුවා යන්නෙහි සැකයක් නැත. ඒ සදහා අපේ දරුවන් සූදානම්ද? ඒ පිලිබදව යහපත් බලාපොරොත්තුවක් අප හදවත්වල තිබෙනවාද? අපේ දරුවන් ඔවුන් කුඩා කල අප කොතරම් ආදරයෙන් රැකබලා ගත්තාද? කුඩා අවධියේ ඔවුන් මළ මූත‍්‍ර කල විට ඒ සැනින් ඒවා පිරිසිදු කොට සුවඳ විලවුන් හා පුයර යොදා මලක් මෙන් තැබුවා නොවේද? හෙට දවසේ ඒ දරුවන්ගේ තත්වයට (මහළු විය) පත්වන්නට යන්නෙමු. ඒ මොහොතේ අපේ දරුවන් අප වෙනුවෙන් ඒ යුතුකම් නිසි ආකාරව ඉටුකරාවි ද?. මේ ප්‍රශ්නය මතු නොවන දෙමාපියෙක් මේ මිහිමත සිටිනවාද? ඒ පිලිබදව යහපත් බලාපොරොත්තුවක් තැබිය හැකිද?. දිනෙන් දින වර්ධනය වන මහළු නිවාසයන් හා “බැරි කාලයක් එන්න කලින් මැරිල යන්න ඕන” යන දෙමාපිය පැතුම තුල කියාපාන්නේ මේ විශ්වාස භංගත්වය නොවේද?. වර්ථමානයේ ‍දෙමාපියන් තුල පවතින මේ බිය සාපේක්ෂ ලෙස මීට දශක කිහිපයකට පෙර ජීවත් වූ සමාජය තුල පැවතුනේ නැත. එසේ නම් මේ වර්ධනය වන තැනට මේ තරුණ දුවාදරුවන් මෙහෙයවුයේ කව්රුද? මෙයට පිලිතුර අප තුලම ඇත. ඔවුන්ට යහපත් සමාජ පරිසරයක් නිර්මාණය කර දී ආදර්ශමත් වියයුතු අප ඒ වගකීම පැහැර හැරීම තමා මේ තත්වයට හේතුව, මොහොතක් සිතා බලන්න.

  • මත්ද්‍රව්‍යයේ ආදීනය හොදින් දන්න අප දරුවන් ඉදිරියේ ආදර්ශමත් වී එය කැපකලේ අපෙන් කීයෙන් කී දෙනාද?
  • දසමසක් කුසේ දරා දරුවකු බිහි කර නිදිවරාගෙන රුක බලාගෙන ලොකු මහත් කල ඒ අම්මටත් දරුවා වෙනුවෙන් අනන්ත කැපවීම් කල පියාටත් තම දරුවා වෙනුවෙන් ඔවුන්ගේ ලාමක මනස විකෘති කරන රූපවාහිණි නාට්‍යයක්, චිත‍්‍රපටයක් දරුවන්ගේ යහපත උදෙසා කැපකරන්නට හැකි වුනාද?
  • ඒ නාට්‍යවල හෝ චිතත‍්‍රපටවල රඟපාන චරිතවල ජීවත් වෙමින් ඒ වෙනුවෙන් දුක්වුණු හඬා වැලපුණු අපේ දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් පසුවිපරම් කරමින් සොයා බලමින් ඔවුන්ගේ හැඟීම් අවබෝධ කර‍ ගනිමින් ඔවුගේ දියුණුව වෙනුවෙන් දුක්වුණාද?
  • රූපවාහිණී මාධ්‍යයන් ඔස්සේ පෙන්වන හා කුතුහලයන්, පහත් හැඟීමන් අවධි කරවන අසභ්‍ය දර්ශන පවා දරුවන් හා එකට හිද ඔබ නරඹන විට ඔවුන්ගේ තරුණ අවධියට ඉන් ඇති වන බලපෑම පිලිබදව ඔබ මොහොතක් හෝ සිතුවාද?

මා ඉහත සදහන් කරන්නේ සංකීර්ණ මනුෂ්‍ය බුද්ධියට ගෝචර නොවන කාරණා නොවේ දෛනික ජීවිතය තුල ශ්‍රී ලාංකීය සමාජය සරලව ක්‍රියාවට නඟන කාරණයන්ය. ඉතින් මෙවන් වූ පරිසරයක් තුල පැහැදිලි මනසක් ඇති යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීම යනු ප්‍රායෝගික කාරණයක්ද? වෙන කවරදාකටත් වඩා වැඩියෙන් “පියා තම දුව දූෂණය කරයි”, “අයියා නංගිව දූෂණ්‍ය කරයි”, “සීයා මිණිබිරිය දූෂණ්‍ය කරයි”, “වැඩිහිටියෙකු කුඩා දැරියක් දූෂණය කරයි” … මෙවන් ප්‍රවෘත්තියක් නොදකින දිනයක් තිබෙනවාද? යන්න තරමට මෙය උත්සන්න වී ඇත. මේවාට මූලික වූ කාරණයන් පිලිබදව දැන්වත් සමාජය සිතා බැලිය යුතුය. අනික මාධ්‍යයන් තුලින් අප දකින ඉහත ප්‍රවෘත්ති ශ්‍රී ලාංකීය සමාජයේ සමස්ථ සිදුවීම නොවන බවත් මාධ්‍යයන් තුලින් අනාවරණය වන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් මා පවසා ඔබ දැනගැනීමට අවශ්‍ය නොවේ. මෙය වඩාත් හොදින් තහවුරැ කරන අවස්ථාවක් ලෙස පසුගිය දිනක ළමා ආරක්ෂණ අධිකාරිය මඟින් ඉදිරපත් කල “ශ්‍රී ලංකාව තුල දිනකට ළමුන් 200 කට වඩා අපයෝජනයට ලක්වේ” යන සංඛ්‍යාලේඛන තොරතුර සදහන් කල හැක. එසේ නම් මේ අවාසනාවන්ත තත්වය උදාකිරීමේ මහා කොටස්කරුවා දැන හෝ නොදැන දෙමාපියන් වන අපම බව සනාථ වනවා ‍නොවේද?

ඒ ආකාරයට එක් අන්තයකින් තරුණ්‍යය විනාශ මුඛයට තල්ලු වෙද්දී 21 වන සියවසයේ තාක්‍ෂණය සමඟ තවත් අන්තයකින් විනාශ මුඛයට පානඟමින් සිටී. සියල්ල රුපියල් ශතවලින් නිර්ණය කරන සමාජයේ සමහරක් දෙමාපියන් තම දරුවන්ට ආදර දක්වන්නේත් රුපියල් ශතවලින්ය. ඒ හොද 3G ජංගම දුරකථනයක් තම දරුවාට ලබාදීම මඟින්, එසේත් නැත්නම් අන්තර්ජාල පහසුකම් සහිත පරිගනකයක් ලබාදීම මඟින් … මෙවන් දෑ ලබාදීම වරදක් යයි මානොපවසමි. අනිවාර්යයෙන්ම වර්ථමාන සමාජය තාක්ෂණය සමඟ උරෙන් උර සිටිය යුතුයි. නමුත් මේවා දැලිපිහි හා සමාන භාණ්ඩ බව අමතක නොකලයුතුය. මේවා මඟින් යහපතක් මෙන්ම අයහපතක් ද සිදුකල හැක. මේවා භාවිතය පිලිබදව දෙමාපියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ පසුවිපරම අත්‍යඅවශ්‍ය යන්න තමා මාගේ තර්කය. වර්ථමාන දියුණු ලොව තුල ජංගම දුරකථනය මූලික අවශ්‍යතාවයක් බවට පත්ව ඇත අතර තවත් පසෙකින් ලොව සියළුම ආකාරයේ අනාචාරයන්, අසභ්‍යයන් ඇගිලි තුඩු අඟට ගෙනත් දී ඇත. ඕනෑම ආකාරයේ අසභ්‍ය (නිල් චිත‍්‍රපට) දර්ශනයක් GPRS මඟින් ඉතා පහසුවෙන් ඕනෑම තැනක සිට රහසිගතව නැරඹීමේ වරප‍්‍රසාදය මින් සැලසී ඇත. මෙය 2010 වර්ෂයේ පමණක් අසභ්‍ය වෙබ් අඩවීන් 447 නීත්‍යානුකූලව ශ්‍රී ලාංකීය රජය තහනම් කිරීම තුල එම ක්ෂේත්‍රයේ අපේ සමාජ තත්වය මනාව පිළිඹිබු කරයි. මේ අනුව වර්ථමානයේ ජංගම දුරකථනය යන්න සියළු අනාචාරයන් සදහා වැඩිහිටි අශිර්වාදය ලත් දොරටුවක් බවට පත්ව ඇත. (අප රටේ මෑත කාලයේ පාසැල් දැරියන් කිහිපදෙනෙකුගේ (මාධ්‍යයන් තුලින් අනාවරණය වූ කිහිපයන්) මෙවැනි ක්‍රියාවන්ට සම්බන්ධ වී අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවූ අවාසනාවන්ත තත්වය දුටුවෙමු.) එසේ නම් මෙම ජංගම දුරකථනය තුලින් තාරුණ්‍යයට තිබූ බොහෝ බාධක පහසුවෙන් ජය ගැනීමටත් හැකි වී ඇත. මේ ජංගම දුරකථන තරුණ්‍යයේ ලැජ්ජාව හා විනය සහමුලින්ම උදුරාගෙන ඇත. විශේෂයෙන් අද ජංගම දුරකථනයේ SMS එනම් Short Message Service යන්න Sex Message Service බවට පත්ව ඇත. මෙය තරුණ සමාජයේ පරිහානිය මනාව පිලිඹිබු කරන අවස්ථාවකි. මෙවැනි සමාජ තත්වයන් පිලිබදව ඉස්ලාම් මීට වසර 1400 කට පෙරම දුටූ නිසා තමා මුහම්මද් (සල්) තුමාණන් මෙසේ අවවාදාත්මකව දේශනා කලේ,

“කාමයේ වරදවා හැසිරීමේ (සිzනාව) කොටසක් ආදම්ගේ දරුවාට ද හිමි බව දෙවියන් නිර්ණය කොට ඇත. එය ඔහුට නියතවම හිමිවන්නේය. මනුෂ්‍යාගේ ඇස් කරන සිzනාව තමා (කාමුක හැඟීමන් ඇතිකර වන) එවැනි දෑ බැලීම, දිවෙන් කරන සිzනාව තමා ඒ හා සම්බන්ධ (කාමුක හැඟීමන් ඇතිකර වන) දෑ පිලිබදව කථා කිරීම. සිතින් කරන සිzනාව තමා ඒ කෙරෙහි නැඹුරුවක් හා ආසාවක් දැක්වීම. අවසානයේ මේ සියල්ල තම රහස් අවයවය (ලිංගික අවයව) මඟින් සනාථ කිරීම හෝ අසත්‍ය කිරීම (වරදකට යොමු කිරීම හෝ ඉන් වැලකීම) සිදුකරයි.”

දන්වන්නේ :- අබුහුරෙයිරා (රලි) තුමා, මූලාශ්‍ර ග‍්‍රන්ථය – බුහාරි

සහෝදර සහෝදරියනි ඉහත නබි වදනට මොහොතක් ඔබේ සිත යොමු කරන්න. අද අපව වරදට පොළොඹවන මූලික් සාධකයන් මොනවාද?. අපේ බැල්ම, අපේ අසංවර කථාව, අපේ හැඟීමන්ට වහල් වූ සිත… තරුණ්‍යයට මෙහි ඇති බලපෑම දුටු ඉස්ලාම් මීට වසර 1400 කට පෙරම නබිතුමාණන් මඟින් සමාජයට මේ පිලිබදව ඉහත ආකාරයට අවවාද කරන ලදී. ඒ අවවාදය තුලින් අනතුරු ඇඟවූ එම සාධකයන් අද සමාජයේ ජංගම දුරකථන හරහා සර්ව සාධාර්ණව සිදුවෙමින් පැවතීම කිසිදවකුටත් ප්‍රතික්ෂේප කලනොහැකි තත්වයකි. එහි ඉතිරිව ඇත්තේ තමා දකින, කථා කරන හා සිතන එම දෑ ලිංගික අවයව තුලින් සත්‍ය සනාථ කිරීම පමණි. එම තත්වය ද මා ඉහතින් සදහන් කලාසේ මාධ්‍යයන් තුලින් විවිධ සිද්ධීන් හරහා දකින්නෙමු.

ජංගම දුරකථන මේ ආකාරයට සමාජයේ තරුණ පරම්පරාව බිලිගනිද්දී පරිගනකය ද ඊට දෙවැනි නොවේ. එහි ද Email, ‍facbook, chat… යනාදී තුලින් මේ තරුණ්‍යය බිලිගනිමින් සිටී. මා මෙහි දී පවසන්නට උත්සාහ දරන්නේ මෙවැනි දෑ තුලින් තරුණ සමාජය දුරස් කලයුතුයි යන්න නොවේ. ‍වර්ථමාන ‍මෙම තාක්ෂණය ඔවුනට මහත් ආශිර්වාදයක් නමුත් එය ආශිර්වාදයක් කරගන්නවාද? එසේත් නැත්නම් තම විනාශය ඒ තුලින් ළඟාකර ගන්නවාද? යන්න තීරණය ඇත්තේ මේ තරුණයාගේ ක්‍රියා කලාපය මත හා ඔවුනට මඟපෙන්වන වැඩිහිටි සමාජය මතය. මේ දියුණු ලොව තුල ඔවුන් නූතන තාක්‍ෂණය හා කරට කර යෑම අනිවාර්ය අවශ්‍යතාවයකි. නමුත් මෙම තාක්‍ෂණය තරුණයා හට “කටුස්සා කරේ බැදි මාලයක්” බදු නොවිය යුතුය. තාක්‍ෂණය සමඟ ඔවුන් හුදකලා නොකර ඔවුන්ව අධීක්‍ෂණයන් හා පසුවිපරම් කිරිම අත්‍යඅවශ්‍යය. එය සිදු නොවීමේ ප‍්‍රථිපලය තමා අද සමාජය මේ අත්විදිමින් සිටින්නේ. එවැනි යහපත් මගපෙන්වීමන් නොමැති හොද විනයක් හා ආදර්ශයක් නොමැති සමාජයේ අවසාන ප‍්‍රථිපලය තමා මේ අප අත්විදිමින් සිටින්නේ. එනම් තම දෙමාපිය, ගුරුවරු හා වැඩිහිටියන් නොහදුනන ආදරය, කරුණාව හා මනුෂ්‍යත්වය නොහදුනන තිරිසන් “හිප්පි” සමාජයක් බවට මේ තරුණ සමාජය පරිවර්ථනය වෙමින් සිටීමයි. එහි ප්‍රථිපල විටින් විට සමාජය අත්විදිමින් සිටින බව මාධ්‍යයන් තුලින් දකින්නෙමු. එය සමස්ථ සිදුවීමෙන් අංශු මාත්‍රයක අනාවර්ණයක් බවද අප හොදින් දන්නෙමු. මේවා අද දෛනික ජීවිතයේ සාමාන්‍ය කාරණයන් බවට පත්වෙමින් තිබේ. එලෙස සිතීමත් මෙම සමාජ පරිහානියේ තවත් දරුණු ප්‍රතිපලයක් බව කිසිසේත් අප අමතක නොකලයුතුය.

මේ ආකාරයට තාක්‍ෂණය හරහාත් තරුණ සමාජය බිලිවෙද්දී ඊට සමාන්තරව මේ තරුණ පිරිස් බිලිවන තවත් කාරණයක් තමා පේ‍්‍රම සම්බන්ධතාවය. මෙම පිලිලයෙන් අද සමාජයේ කිසිදු තරුණයෙකු හෝ තරුණියක් ගැලවීමට හැකිව නැතැයි මා පැවසුවේ නම් එය විශ්මයට කාරණයක් නොවේ. පාසැල් අවධියේ සිට විශ්ව විද්‍යාල දක්වාත්, සමාජයේ පහලම ස්ථරයේ කම්කරුවා පටන් උගත් බුද්ධිමත් පිරිස සිටින ආයතන දක්වාත් මුළු සමාජයම වෙලාගෙන සිටින බූවල්ලෙක් තමා මේ පේ‍්‍රම සම්බන්ධය. මනුෂ්‍යයන් වශයෙන් ස්වභාවයෙන්ම අපේක්‍ෂා කරන එකම හා වැදගත්ම කාරණය මෙම ආදරයයි. එය කෙසේ කරනවාද? කෙසේ ලබනවාද? යන්න පිලිබදව අවබෝධයක් නැති සමාජය ආදරය නමින් විනාශය අත්විදිමින් සිටී. මෙම ආදරය නිසා තරුණ පිරිස් අහිමි කරගන්නා දෑ බොහෝය. තම දෙමාපියන්, සහොදරයන්, ඥාතීන් … මේ ආකාරයට උපන් දා පටන් තමා අවට පිහිටී සියල්ල අහිමි කරගන්නා මේ පෙම්වතුන් අවසානයේ ජීවිතය පවා අහිමි කරගැනීම අප දකින්නෙමු. එවන් උදාහර්ණ පාසැල් මට්ටමේ සිට වැඩිහිටි සමාජය දක්වා ඕනෑ තරම් සමාජ සිද්ධීන් පෙලගැසිය හැක. මේ ආකාරයට එක් පසකින් තරුණ පිරිස් විනාශ වෙද්දී තවත් පසකින් තරුණ සමාජය ආදරය නමින් විවිධ අනාචාරයන්ට, අපයෝජනයට හා දූෂණයට ලක්ව විනාශ වෙමින් සිටී. අතීතයේ පටන් ශ්‍රෙෂ්ඨ සංස්කෘතියකට උරුමකම් කියූ අප අද බටහිර සංස්කෘතිය හිස මත තබාගෙන මේ ආකාරයට විනාශය අත්විදීම ඛේදනීය තත්වයක් නොවේද? එදා ලැජ්ජාව විනය ඇතුව වැඩුනු සමාජය අද අඹුසැමියන් ලෙස අප‍්‍රසිද්ධියේ සිදුකරන බොහෝ දෑ පෙම්වතුන් ලෙසත් දියුණු සංස්කෘතිය ලෙසත් පවසමින් ප‍්‍රසිද්ධ ස්ථානවල සිදුකරමින් සිටී. මෙය පාසැල් දරුවන්ගෙන් පටන් රටේ උගත්ම පිරිස සිටින විශ්ව විද්‍යාලය දක්වා සමාන්‍ය කාරණයක් වී ඇත. විටෙක රටේ බුද්ධිමතුන් බිහිකරන විශ්ව විද්‍යාලව මෙම තත්වය උග‍්‍රව පවතින බව පසුගිය දිනක මාගේ මිත‍්‍රයකුගේ අත්දැකීමක් තුලින් අවබෝධ කරගන්නට හැකිවිය. එය මා ඔබට පවසන්නේ රසවිදීමට හෝ සංවාදයට මාතෘකාවක් කරගැනීම සදහා නොව වර්ථමානයේ අප සිටින තැන මේ බුද්ධිමතුන් තුලින් වටහා ගැනීම සදහාය.

“ශ්‍රී ලංකාවේ එක්තරා විශ්ව විද්‍යාලයකට කිසියම් අවශ්‍යතාවයක් සදහා මා මිත‍්‍රයකු ගිය මොහොතේ අවශ්‍ය බලධාරියා එහි නොසිටී නිසා කිසියම් කාලයක් ඔහුට එහි රුදී සිටීමට සිදුවී ඇත. ප්‍රථම වතාවට විශ්ව විද්‍යාල භූමියකට ඇතුල් වූ ඔහු විශ්ව විද්‍යාලයේ විවිධ තැන් නරඹමින් ඇවිදින අතර ඔහු දකින ලද දර්ශනය ඔහුව මවිතයටපත් කොට ඇත. එනම් එහි එලිමහන් ස්ථානයක එම විශ්ව විද්‍යාල සිසුවෙකු හා සිසුවියක් සම්පූර්ණ නිර්වසත‍්‍රව ලිංගික ඇසුරෙහි නියලෙමින් සිටිනවා ඔහු දැක ඇත. ඔහු එම ස්ථානයෙන් වහා පිටත්ව පැමිණ එම විශ්ව විද්‍යාලයේම ඉගෙනුම ලබන තම මිත‍්‍රයෙකුට මෙම කාරණය පැවසූ විට ඔහු විමසා ඇත්තේ ‘උඹ යන පාරේ කුඩයක් හරි සෙරෙප්පුක් හරි තිබුනේ නැද්ද’ යන්නයි. ඉන්පසුව තමා මාගේ මිත‍්‍රයාට අවබෝධ වුනේ මෙය විශ්ව විද්‍යාලයේ සාමාන්‍ය කාරණ්‍යක් බව, පසුව සොයා බලන විට අපට දැනගන්න හැකි වුයේ මෙය ඉහත කී විශ්ව විද්‍යාලයේ පමණක් නොව බොහෝ විශ්ව විද්‍යාලවල සිදුවන බවත් වෙනසකට ඇත්තේ කුඩ වෙනුවට පොත් බෑග්, සෙරෙප්පු … යනා දී වශයෙන් වෙන වෙන සලකුණූ භාවිතා කිරීම පමණක් බවත්ය.”

මෙහි දී මා ජාතියේ අවදානය යොමු කරන්නේ රටේ බුද්ධිමතුන් බිහි කරන තැනෙහි තත්වය මෙය නම් අනිකුත් ස්ථාන ගැන කිසිවක් පැවසීමට අවශ්‍යද? යන්නයි. රටේ තිබෙන ලොජ්වලත්, පදුරුවලත්, … සිදුවන අපචාරයන් හා අනාචාරයන් මා විස්තර කිරීමට අවශ්‍ය නොවේ. මෙම පරිහානියේ උච්චතම අවස්ථාව තමා මේ සල්ලාලයන් වෙනුවෙන්ම නම් කර ඇති “ලෝක පෙම්වතුන් දිනය” මේ පිලිබදව පසුගිය වසර කිහිපයක් පිලිබදව කල සංගනනයකින් තහවුරු වී ඇත්තේ වැඩිම කාන්තා හිංසනයන්, අපයෝජනයන් හා දූෂණයන් සිදුවී ඇත්තේ මේ දිනය මුල්කරගෙන බවයි. ආදරය කරන්න නොතේරෙන, ආදරය පටු සීමාවල කොටු කර, ආදරය හා කාමය නොහදුනන, ආදරය නමින් කාමුක වියරුව රඟ දක්වන මේ පිරිස “ආදරය” කරන බව පවසමින් විනාශය අත්විදිමින් සිටී. මෙම පෙම්වතුන්ගේ පූර්ව නිගමනය “විවාහයෙන් පසු ආදරය කිරීමට නොහැක” යන්නයි. මෙය තරුණ සමාජය මත බලෙන් පටවන ලද මිත්‍යාවකි. සැබෑ ආදරය හා එකින් එකා අතර ගෞරවය ගොඩ නැගෙන්නේ විවාහයත් සමගයි. නමුත් බටහිර සංසකෘතියට ආවඩන සමහරක් විකෘත්ති චින්තනවාදීන් නිසා අද අපේ සමාජය ද තමන්ට ඔරොත්තු නොදෙන සංස්කෘතියක ඇමිණි විනාශය කරා ඇදීයමින් සිටී. මෙම කාරණය කෙරෙහි සමාජයේ වගකිව යුත්තන් මීට වඩා සැලකිලීමත්ව ක‍්‍රියා කල යුතුය. මෙහි දී වැඩිහිටියන් ප‍්‍රධාන චූදිතයන් යන්න මාගේ නිගමනයයි. අද අපේ දෙමාපියන් තම දරුවන් හට විවිධ අවස්ථාවල අවවාද අනුශාසනාවන් කරයි. නමුත් ඒ වැඩිහිටියන්ගේ ජීවිතවල මේ තරුණ පරම්පරාවට ආදර්ශයන් නැත. මේ වල්මත්ව සිටින තරුණ පිරිස් හමුවේ ආදර්ශය තීරණාත්මක සාධකයකි. නමුත් අප සමාජයේ නොඅඩුව දක්නට ඇත්තේ අවවාදයන් පමණි ආදර්ශයන් යන්න පේනතෙක්මානයක නැත. මෙය සමාජ පරිහානියට බලපෑ තවත් කාරැණයක් බව වැඩිහිටි සමාජය දැන්වත් අවබෝධකර ගතයුතුය. එම නිසා තමා ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ 61:3 වාක්‍යය මඟින් එම කාරණය පොදුවේ මෙසේ අවධාරනය කරන්නේ,

“නුඹලා නොකරන (ආදර්ශයක් නැති) යමක් තවත් කෙනෙකුට අණ කිරීම අල්ලාහ් (දෙවියන්) හමුවේ පිලිකුල් සහගත කරුණකි.”

මෙහි දී වැඩිහිටියන්ගේ හා දෙමාපියන්ගේ අවධානයට යොමු කලයුතු තවත් කාරණයක් ඇත. එනම් දෙමාපියන් හා වැඩිහිටියන් ප‍්‍රථමයෙන් තරුණ අවධිය පිලිබදවත් ඔවුන්ගේ සිතුම් පැතුම් පිලිබදවත් ඔවුන්ගේ හැගීම් පිලිබදවත් හොද අවබෝධයක් ඇති කරගත යුතුය. ඔවුන් සදහා කරන අවවාදවල දී ඉතා පරිස්සමින් එය සිදුකල යුතුය. බොහෝ දෙමාපියන් දරුවන් කෙරෙහි දක්වන දරදඬ ප‍්‍රතිචාරය ඔවුන් දෙමාපියන්ගෙන් දුරස්වීමටත්, සමාජ විරෝධි ක‍්‍රියාවන්ට යොමුවීමටත්, නිවසින් අහිමි වූ ආදරය බාහිර ලෝකයෙන් දිනාගැනීමේ අරමුණින් පේ‍්‍රම සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමටත් හේතු කාරණා වේ. මේවායෙහි අවසාන ප‍්‍රථිපලය වන්නේ ඉහතින් සදහන් තරුණ පරම්පරාවක් සමාජය තුල නිර්මාණය වීමයි.

දෙමාපියනී ! රටේ අනාගතයත්, සමාජයේ අනාගතයත් පමණක් නොව ඔබේ අනාගතයත් රුදී ඇත්තේ ඔබ ආදරයෙන් හදා වඩාගත් ඔබේම දරුවාගේ අතේය. එය “හික්කා 2009”, “පෙම්වතුන්ගේ දින” සැමරීමෙන් හෝ ලොජ් තුල හෝ පදුරක් පදුරක් ගානේ පෙම් කෙලීම … යනාදියෙන් ගොඩනැගිය නොහැක. ඔවුන් ඔවුන්ගේ යුතුකම් හා වගකිම් හදුනාගත යුතුය. ඒ හදුනාගත් යුතුකම් හා වගකීම් වෙනුවෙන් ඔවුන් ක‍්‍රියාකාරී ආකාරයට මැදිහත්විය යුතුය. ඒ සදහා ඔවුනට ගෞරවණීය ආරාධනයක් වැඩිහිටි සමාජය කලයුතුය. එසේ නොවන්නේ නම් නියත වශයෙන්ම රටෙත් ජාතියෙත් අනාගතය පැහැදිලිවම අදුරේය. මෙය දෙමාපියන්ගේ හා වැඩිහිටියන්ගේ වගකීමක් බවත් ඒ වෙනුවෙන් දෙමාපියන් හා වැඩිහිටියන් යම් යම් කැපකිරීමන් කලයුතු බවත් අවබෝධකර ගතයුතුය. එය මා ඉහතින් පැවසූ ආකාරයට දරුවාට නම් තැබීමෙන් අවසන් නොවේ.

මෙම වගකීම් නිසි ලෙස හදුනාගත් දිව්‍යමය දහම වන ඉස්ලාම් එය සමාජයට දැඩිව අවධාරනය කරන බව ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මෙන්ම හදීසයන් (මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය) තුලින් විටින් විට බැලුවෙමු. අවසාන වශයෙන් ඉස්ලාම් කරන අවවාදයකින් මෙම ලිපිය අවසන් කරමි.

“තම දරුවන් කෙසේ රැක බලාගත්තා ද යනුවෙන් තමා යටතේ සිටී අය වෙනුවෙන් ස්වාමියාගෙන්ද, තම ස්වාමියාගේ පවුලේ අය හා දරුවන් කෙසේ රැක බලාගත්තාද? යනුවෙන් බිරිදගෙන් ද (මරණින් මතු උදාවෙන) විනිශ්චය දිනයේ (අල්ලාහ් (දෙවියන්)) ප‍්‍රශ්න කරනු ඇත.”

දන්වන්නේ :- ඉබුනු උමර් (රලි)තුමා, ග‍්‍රන්ථය – බුහාරී , මුස්ලීම්

දෙමාපියණී! ඔබ දරුවා බිහි කිරීමේන්, ඔවුනට හොද නමක් තැබීමෙන්, ඔවුන් පෝෂණය කිරීමෙන්, ඔවුනට අලංකාර වස්ත‍්‍ර ලබාදීමෙන්, ඔවුන් ආස කරන දෑ ඔවුනට ලබාදීමෙන් ඔබේ යුතුකම් හා වගකීම් අවසන් නොවේ. ඔවුනට හොද ආගමික පසුබිමක් හා විනයක් ලබාදී සමාජයට වැඩදායි පුරවැසියන් කිරීමත් දෙමාපියන් කෙරෙහි තිබෙන වගකීමක් වේ. එය ඔබ පැහැර හරින්නේ නම් මොලොවදිත් මරණින් මතු උදාවන ලොවදීත් භයානක ඉරණමේ තීන්දු කරුවා ඔබ දසමසක් කුසේ දරා දිවා රෑ නොබලා වෙහෙසී තම රුධිරය කිරිකර දී තම දහඩිය හෙලා ඒ තුලින් පෝෂණය කර ආදරයෙන් හදා වඩාගත් දරුවා වන්නට පුළුවන. එවන් ඛේදනිය ඉරණමක් අපට අත් නොවී සමාජයටත්, රටටත්, ලොවටත් වැඩදායි තරුණයින් හා දරුවන් බවට පත්කර ගන්න අප අද දවසේ අධිෂ්ඨාන කරගනිමු. ඒ සදහා සර්ව බලධාරී අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය අපට හිමිවේවා!

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 4 යි.

  1. Yousuf 2012-12-15 at 13:43

    119

  2. sz 2012-04-30 at 21:12

    allah ge namayen haki kenek mata udaw karanna , mata obage dura kathana ankaya laba denna mama hama dema kiyannam

  3. sz 2012-04-30 at 21:11

    assalamu alaikum,
    ma samajayata waradi adarshayak wela, ma wena gal kenekwa lnging ashraya kara, ita passe baritharamata yalu wuna.but api athara langin ashrayak thyanawa, mata eyawa athahariinna bah, but mata allah ge adraya awashhyay

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *