ආයිෂා (රලි) තුමිය

8

මුහම්මද් (සල්) තුමාණන් මීළඟට විවාහ කරගත් කාන්තාව වන්නේ අබූබක්කර් (රලි) තුමාණන්ගේ දූ කුමරිය වන ආයිෂා (රලි) තුමියයි. තම ප්‍රථම බිරිද වන කතීජා (රලි) තුමිය මරණයට පත්වී වසර 03කට පසු එනම් තම වයස අවුරුදු 53 දී මුහම්මද් (සල්) තුමාණන් අයිෂා (රලි) තුමිය විවාහ කරගත්තාය. ඒ වනවිට අයිෂා (රලි) තුමියගේ වයස අවුරුදු 06ක් පමණි. මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිතය තුල සිදුවූ විවාහයන් අතුරින් මෑත කාලයේ ජාතිකත‍ලයෙත් ජාත්‍යන්තරයෙත් ප්‍රබල විවේචනයන්ට ලක්වන විවාහයක් ලෙස මෙම විවාහය සදහන් කලහැක. මේ හේතුව නිසා මෙම කාරණය පිලිබදව තරමක් පුළුල්‍ ලෙස කථාකිරීම කාලීන අවශ්‍යතාවයක් වේ.

මෙහි දී සදහන් කලයුතු මුල්ම කාරණය නම් මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගත් බිරින්දෑවරුන් අතුරින් කන්‍යාවියක් වුයේ ආයිෂා (රලි) තුමිය පමණි. (අනිකුත් සියළු දෙනා වැන්දඹු කාන්තාවන්) එසේම වයසින් ලාබාල කාන්තාවක් වුයේද අයිෂා (රලි) තුමිය පමණි. මේ හේතූන් නිසා කිසිවකු මුහම්මද් (සල්) තුමාණන් “දැඩි කාමාශාවකින් නොඑසේ නම් කාම වියරුවකින් පෙලුණා” යයි චෝදනාවක් ඉදිරිපත් කරන අන්තවාදී පිරිසට ආයිෂා (රලි) තුමියගේ විවාහය තුල ඉඩක් ඇත යන්නෙ හි විවාදයක් නැත. එසේම මුහම්මද් (සල්) තුමාණන් මීට පෙර සිදුකල (ආයිෂා (රලි) තුමියගේ විවාහය හැර) විවාහයන් මෙන්ම ඊට පසුව සිදුකරන විවාහයන් දෙස බැලූ සමහරක් විවේචකයන් මුහම්මද් (සල්) තුමාණන්ගේ පුරුෂත්වය පිලිබදව ද (එනම් කිසියම් ලිංගික දුර්වලතාවයකින් පෙළුනා යයි) සැකයන් මතු කරමින් කථා කොට ඇති ආකාරය ද දක්නට ඇත. එනම් “වයසින් වැඩි (වයොවෘද්ධ) කාන්තාවන් මුහම්මද් විවාහ කරගත්තේ ඔහුට පුරුෂත්වයක් නොපැවතුනු නිසාය” යන්න එම චෝදනාවයි. එම විවාහයන් දෙස අන්තවාදීව බලන කෙනෙකුට එවැනි සැකයක් ඇතිවීම ද පුදුමයක් නොවේ. නමුත් මෙහිදී විමසා බැලිය යුත්තේ ඉහත චෝදනාවන් දෙක එකට එක් කලවිට එතැන තිබෙන පොදු වූ තත්වය කුමක්ද? යන්නයි.

ලොව ඕනෑම සිදුවීමකට හරි හා වැරදි යයි පරස්පර නිගමන දෙකක් පැවතිය නොහැක. ඒ ආකාරයටම මුහම්මද් (සල්) තුමාණන් සම්බන්ධයෙන්ද ඉහත පරස්පර මත දෙකම පැවතිය නොහැක. එසේම ඉහත මත දෙකෙම ප්‍රකාශ වීම තුල සත්‍යය මේ දෙකෙන් පරිභාහිර එකක් වීමටද පුළුවන. උදාහරණයක් ලෙස කිසියම් කෙනෙකු කිසියම් වස්තුවක් දෙස බලා එය සුදුපාට යයි පවසන විට තවත් කෙනෙකු එය කළුපාට යයි පවසයි නම් ඉන් පැහැදිලි වන කාරණය නම් එම වස්තුවේ පැහැදිලි සුදක් හෝ කළු බවක් නොපවතින බවයි. එහි වර්ණය මතු වන්නේ එය දකින පුද්ගලයාගේ දැක්මට අනුව බව පැහැදිලිය. තවත් සරලව පවසනවා නම් එය අළුපාට වර්ණින් යුක්ත වස්තුවක් නම් කෙනෙකුට එය කළු ලෙස වාදකල හැකි අතර තවත් කෙනෙකුට එය සුදු ලෙස වාදකල හැක. එය පුද්ගලයා දැක්ම මත පදනම් වේ. ඒ ආකාරයටම මුහම්මද් (සල්) තුමාණන්ගේ විවාහය ද විවිධ පුද්ගලයන් විවිධ අන්තවල සිට බලන නිසා විටෙක කාමාශාවේ උපරිමයේ සිටියා යයි ද තවත් විටෙක එවැනි ආශාවන් නොපැවතුනා යයි ද එකම පුද්ගලයාහට චෝදනා ඉදිරිපත් කරයි. මේ අන්ත දෙකම එකම මනුෂ්‍යයෙකු තුල පැවතිය හැකිද? මෙවන් වූ තර්ක සැබැවින්ම බුද්ධිමත් තර්කයන්ද? මෙය තමා “කන්න ඕන වුණාම කඹරයා තලගොයා කරනවා” යයි සිංහල ව්‍යවහාරයේ පවසන්නේ. කෙසේ වෙතත් මෙලෙස පරස්පර මත පැවසීම තුල එතුමාණන්ගේ ජීවිතය මේ දෙකෙහි මධ්‍යස්ථ වූ ජීවිතයක් වූ බව පැහැදිලි වේ. එනම් ආයිෂා (රලි) තුමිය, මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගැනීම තුල එතුමාණන්ට ද අනිකුත් පිරිමීන් මෙන්ම ලිංගික අවශ්‍යතාවයෙන් යුක්ත ජීවිතයක් පැවතුනා යන්න පැහැදලි වන අතර එතුමාණන් වයොවෘද්ධ කාන්තාවන් විවාහ කරගැනීම තුලින් එය කාමුක වියරුවක් ආකාරයෙන් නොපැවතුනා යන්න ද පැහැදිලි වේ. සරලවම පවසනවා නම් එතුමාණන්ගේ දිවිය සාමාන්‍ය මනුෂ්‍ය දිවියක් ලෙස පැවතුණා යයි සදහන් කලහැක.

නමුත් වයසින් ලාබාල කාන්තාවක් වන අයිෂා (රලි) තුමිය, මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගැනීම තුලින් එතුමාගේ පහත් කාමුක හැඟීම මනාව පිළිඹිබු කරනවා යන්න ඉහත චූදිතයන් ඉදිරිපත් කරන චෝදනාවයි. එම කාරණය වෙත අවධානය යොමු කිරීමට මත්තෙන් මෙහි තත්වය හොදින් වටහා ගැනීම සදහා අවබෝධ කරගත යුතු කාරණයක් ඇත. එනම්, මීට වසර 1400 කට පෙර පැවති සමාජයක තමා මෙම විවාහය සිදුවන්නේ. එය කවර ආකාරයේ සමාජයක් ද යන්න පවසනවා නම් එම සමාජයේ මුහම්මද් (සල්) තුමාණන් තම මූලික අවශ්‍යතාවයන් සදහා කන බොන එක පවා ඉස්ලාම් විරෝධීන් දැඩි ලෙස විවේචනයට ලක්කල සමාජයකි. ඔවුන් ඉස්ලාමයට හා එහි වක්තෘවරයා වන මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සදහා කරුණූ සොයා ඇවිද්ද සමාජයකි. එපමණක් නොව අසත්‍ය කරුණූ පවා එතුමාණන්ට එරෙහිව ගොතා පැවසු සමාජයක් තමා එදා සමාජය. නමුත් ඉතිහාසය පුරාවට කිසිවකුත් මුහම්මද් (සල්) තුමාණන්ගේ මෙම (අයිෂා (රලි) තුමිය) විවාහය චෝදනාවක් ලෙස ඉදිරිපත් කොට නැත. මේ තුලින් පැහැදිලි වන්නේ කුමක්ද? එය ඔවුනට මඟහැරුණා යන්නද? නොඑසේ නම් එය අනුමත කලා යන්නද?

එදා සමාජයේ බහුවිවාහය මෙන්ම වයසින් අඩු කාන්තාවන් වැඩිමහල් පුරුෂයන් විවාහ කරගැනීම සමාජ සම්මතයක්ව හා සම්ප්‍රදායක්ව පැවතුණි. මෙය අරාබි දේශයේ පමණක් නොව ලොව සෑම ප්‍රදේශයකම පැවතුණූ සමාජ සම්ප්‍රදායකි. මෙපමණක් නොව මීටත් වඩා කුරිරු සම්ප්‍රදායන් පවා එම සමාජයේ පැවතුණි. නිදසුනක් ලෙස පවසන්නේ නම්, ගැහැණු දරුවන් පණපිටින් වලලෑම, කාන්තාව විවාහයට පෙර බහුපුරුෂ සෙවනෙහි යෙදවීම… යනාදිය ඉන් කිහිපයකි. සරලවම පවසනවා නම් එය අදට සාපේක්ෂව ශිෂ්ඨසම්පන්න නොවූ සමාජයක් විය. ඒ සියල්ල එකවර යහපත් වෙනසක් සිදුකිරීම මුහම්මද් (සල්) තුමාණන්ට පවා කල නොහැකි වූ ක්‍රියාවකි. එම වෙනස සමාජය තුල නිර්මාණය කිරිමට එතුමාණන් හට වසර 23 ක් ගතවිය. එම වසර 23 තුල පසුකාලීනව මෙම බාලවයස් විවාහය ද ඉස්ලාම් තහනම් කලද එසේ තහනම් කිරීමට පෙර සමාජයේ ආයිෂා (රලි) තුමියගේ විවාහය ද සිදුවන්නේ එම සමාජ සම්ප්‍රදායන් ඇතුලේ යන්න මුලින්ම අවබෝධ කර ගතයුතුය. මෙහි දී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් කිසියම් සිදුවීමක් හෝ කාරණයක් පිලිබදව කථා කිරීමේ දී එය වර්ථමාන සමාජයට සාපේක්ෂව කථා කිරීම නිවරැදි නොවේ. මෙම කාරණය පිලිබදව දැඩි විවේචනාත්මක අයුරින් කථා කරන බෞද්ධ ප්‍රජාවට එය අවබෝධ කරගැනීම සදහා කාරණයක් මතක් කර දෙන්නට කැමැත්තෙමි. එනම් මීට වසර 2500 කට පෙර කිඹූල්වත් පුරයෙහි විසූ සිදුහත් කුමරාය විවාහපත් වීමට පෙර ගතකරන්නේ අධිසුඛෝපභෝගි ජීවිතයකි. ඒ පිලිබදව අංගුත්තර නිකායේ තිකනිපාතයේ බුදුන්වහන්සේ පැවසූ බවට මෙසේ සදහන් වේ.

…වැසි කාලය සදහා වූ (විවිධ කාලවලට විවිධ වූ මාලිගා 03ක් ඔහුට තම පියා විසින් නිර්මාණය කර දී තිබුණි) මාලිගයෙහි ගී ගයන, වයන ස්ත්‍රීන් පිරිවරා වැසි වසින සාරමස තුල කල් ගෙවනු විනා ඉන් පහතට නොබැස්සෙමි.

මෙවන් සුඛෝපභෝගි ජීවිතයක් ගතකල සිදුහත් කුමාරා විවාහපත් වන්නේ තම වයස සොළොස්වියක් වූ සමයකය. ඔහු විවාහ කරගන්නා යශෝධරා දේවියගේ වයස (මාහට සොයා ගැනීමට අපහසු විය) නියත වශයෙන්ම ඔහුට වඩා අඩු වියයුතුය. මේ දෙදෙනා එකම වයසේ පසුවුවා යයි උපකල්පනය කලත් නියත වශයෙන්ම අදට සාපේක්ෂව යශෝදරා දේවිය ද පසුවී ඇත්තේ ළමා අවධියකය. එපමණක් නොව අදට සාපේක්ෂව සිදුහත් කුමරාද ඉහත සැපසම්පත් භුක්තිවිද හා විවාහපත් වී ඇත්තේ ළමා අවධියකය. දැන් ඔබේ හදවතට අත තබා පවසන්න ඔබ ඔබේ දරුවා සම්බන්ධයෙන් මෙවැනි දෑ අනුමත කරනවාද?

මේ අනුව විශාල කාල අන්තරයක් ඇති සිදුවීම් සාපේක්ෂව බැලීම කොතරම් අනුවන ක්‍රියාවක්ද? යන්න ඔබට වැටහෙනු ඇති. දැන් මුහම්මද් (සල්) තුමාණන් විසින් ආයිෂා (රලි) තුමිය විවාහ කරගැනීම හා ඒ හේතුවෙන් සමාජය විසින් මතුකරන චෝදනාවන් පිලිබදව දැන් විමසා බලමු.

තම හොද මිතුරා මෙන්ම ඉස්ලාමයේ ආරම්භයේ පටන් සෑම මොහොතකම මුහම්මද් (සල්) තුමාණන්ට නන්අයුරින් සහය වූ මිත්‍රයකු තමා අබූබක්කර් (රලි) තුමා. එතුමාගේ දියණිය වන අයිෂා (රලි) තුමිය, මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගන්නේ අයිෂා (රලි) තුමියට වයස අවුරුදු 06 දීය. වයස අවුරුදු 23 දී ප්‍රථම විවාහය වයස අවුරුදු 40ක් වූ වැන්දඹු කාන්තාවක් සමඟ සිදුකොට ඇය සමඟ වසර 25ක් ජීව්ත වී මහළු වියට පත් (වයස අවුරුදු 53ක් වූ) මුහම්මද් (සල්) තුමාණන් චූදිතයන් පවසන ආකාරයට “තම මුල් විවාහයන් තුලින් තුනී කරගැනීමට නොහැකි වූ අධික කාමාශාව හේතුවෙන් ලාබාල ආයිෂා (රලි) තුමිය විවාහ කරගත්තා” යන්න පදනම් විරහිත වූ චෝදනාවකි. මන්ද කිසියම් කෙනෙකුහ‍ට (පුරුෂයෙකුට) කාමුක හැඟීමක් හෝ ලිංගිකව එක්වීමේ අවශ්‍යතාවයක් ඇතිවූයේ නම්, ඒ සදහා එම මොහොතේ මඟක් සොයනවා මිස හෙට, ලබන සතිය, ලබන මාසේ, ලබන වර්ශ… යයි සැලසුම් කරන්නේ නැත. (මෙය වැඩිහිටි පිරිමින් හොදින් දන්නා කරැණකි) ඒ අනුව වසර 25ක් තිස්සේ මුහම්මද් (සල්) තුමාණන්ට නොලැබුණු ඒ ජීවිතය ලාබාල ආයිෂා (රලි) තුමිය විවාහ කරගැනීම තුලින් අපේක්ෂා කලානම්, එම අවශ්‍යතාවය ඒ මෙහොතේ තුනී කරගන්නට තිබුණි. නමුත් අයිෂා (රලි) තුමිය හා මුහම්මද් (සල්) තුමාණන් අතර සිදුවූ විවාහය එවැන්නක් නොවේ එය චාරිත්‍ර විවාහයකට පමණක් සීමා වූ එකකි. එම විවාහයෙන් අනතුරුවව අයිෂා (රලි) තුමිය තම පියාගේ නිවසේ තවදුරටත් රැදීසිටිය අතර මුහම්මද් (සල්) තුමාණන් සුපුරැදු පරිධි තම නිවසේ ජීවත්වුවාය. අයිෂා (රලි) තුමිය නබිතුමාණන් තම නිවසට කැදවාගෙන යන්නේ අයිෂා (රලි) තුමියට වයස අවුරුදු 09 දීය. (එනම් විවාහ වී වසර 03 කට පසුවය) මේ අනුව මෙම විවාහයේ අරමුණ ඉහත චූදිතයන් පවසනවා සේ “කාමාශාව” පදනම් වූ එකක් නොවන බව පැහැදිලිය. මන්ද වසර තුනකට පසුව කාමාආශාව තුනී කරගන්නට දැන් විවාහ වෙනවා යන්න කිසිවිටෙකත් ප්‍රායෝගික නොවන කාරණයක් වන බැවිණි. එසේනම් මෙම විවාහය කුමක් සදහාද? මෙය මෙම ලිපි මාලාවේ අවසාන කොටසේ සවිස්තරාත්මකව කථා කිරීමට අපේක්ෂා කරන නිසා මෙම විවාහය තුල චූදිතයන් පවසන “කාම වියරුව” යන්න පදනම් විරහිත චෝදනාවක් යන්න පමණක් මෙහි සදහන් කරමි. එසේ පැවසීමට තවත් හේතුවක් නම්, මුහම්මද් (සල්) තුමාණන්ගේ කරුණ අවධිය (මුල් ලිපියේ මේ පිලිබදව කථා කොට ඇත) සැලකූවිට එය ඉහත සිදුහත් කුමරාගේ මෙන් කාන්තාව හා ගෙවූ සුඛෝපභෝගි ජීවිතයක් නොවූ අතර එය ආදර්ශමත් පාරිශුද්ධ චරියක් විය. (මුල් ලිපියේ මේ පිලිබදව කථා කොට ඇත) එමනිසා තමා වයස අවරැදු 25ක කරුණයෙකුව හිද වයස අවරැදු 40 ක කතීජා (රලි) තුමිය විවාහ කරගෙන ඇය සමඟ වසර 25ක් තෘප්තිමත් දිවියක් ගෙවන්නට හැකිවුයේ. මෙ‍සේ වසර 25ක කරුණ ජවය හෙබි දිවිය ඇය සමඟ ගෙවා දැමු මුහම්මද් (සල්) තුමාණන්ට හිටී හැටියේ වයස අවුරුදු 55 දී “කාමුක වියරුව උත්සන්න වී ලාබාල අයිෂා විවාහ කරගත්තා” යන්නත් බොලද පදනම් විරහිත තර්කයක් පැහැදිලිවම වටහාගත යුතුවේ. එපමණක් නොව මුහම්මද් (සල්) තුමාණන් හා ආයිෂා (රලි) තුමිය අතර පැවතී බැදීම පිලිබදව “හදීසයන්” හි සදහන් කරුණූ දෙස බලන කල මේ දෙදෙනා අතර පැවති බැදීම ආදරය හා අවබෝධය මත ගොඩනැගුණු සුන්දර වූ බැදීමක් යන්න පැහැදිලිවේ.

සැබැවින්ම මුහම්මද් (සල්) තුමාණන් අසාමාන්‍ය කාම වියරුවකින් පෙළුනා යයි පවසන පිරිසගේ අවධානයට අවසාන වශයෙන් තවත් කාරණයක් යොමු කරන්නට කැමැත්තෙමි. එනම් කතීජා (රලි) තුමියගේ අභාවයෙන් පසු වයස අවුරුදු 55ක් වූ සව්දා (රලි) තුමිය හා වයස අවුරුදු 06ක් වූ ආයිෂා (රලි) තුමිය විවාහ කරගන්නා මුහම්මද් (සල්) තුමාණන් එතැන් පටන් වසර 03 ක් (ආයිෂා (රලි) තුමිය තම නිවසට කැදවාගෙන යනතුරු) ගෙවූ ජීවිතය සැලකුවේ නම්, එක් පසකින් සව්දා (රලි) තුමිය තම හැඟීම් සියල්ල අහිමි වූ වයෝවෘද්ධ කාන්තාවක් අනෙක් පසකින් අයිෂා (රලි) තුමිය යුගදිවියකට පරිනත නොවූ ලාබාල කාන්තාවක්. මෙවන් පසුබිමක මුහම්මද් (සල්) තුමාණන් වසර 03ක කාලය ගෙවා දමන්නේ නම් ඒ තුල “කාම වියරුවක් හෝ අසාමාන්‍ය ලිංගික ආශාවෙන් පෙළුනු කෙනෙකු” යයි චෝදනා කිරීම කොතරම් පදනම් විරහිත චෝදනාවක්ද? මේ අනුව මීට පෙර සදහන් කල කතීජා (රලි) තුමිය, සව්දා (රලි) තුමිය සේම ඉහත සදහන් ආයිෂා (රලි) තුමිය මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගැනීම තුල ඉහත චූදිතයන් පවසනවා සේ “අසාමාන්‍ය හා දැඩි කාමාශාවකින් හෝ වියරුවකින් නොපෙළුනා” යයි පැවසීම මුසාවක් මෙන්ම කිසිදු පදනමක් නැති අන්තවාදී අදහසක් යන්න මනාව පැහැදිලි වේ.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 8 යි.

  1. අරෝෂ සමරසේකර 2017-02-12 at 23:05

    ඔබේ සංසන්දනය කිරීමේ දෝෂයක් තිබෙනවා. ඉස්ලාමයට එරෙහිව යම් පිරිසක් විසින් නබිතුමාගේ විවාහයන් පිළිබඳ විවේචන කරනවා නම් එය නිවැරදි කිරීමට තාර්කික පදනමක සිට ඔබේ කරුණු දැක්වීම අගය කළ හැකිය. මක් නිසාද යතෙවැනි ආගමික ශාස්තෲවරයකුට වන කිසියම් දෝෂාරෝපණ සමාජයට ගැටුම් ඇති විය හැකි බැවින්. නමුත් ඔබ කියනවා සිද්ධාර්ථ කුමාරයා ගැන. කුමාර අවධිය ගැන. මා බෞද්ධයකු ලෙස ඔබේ පැහැදිලි කිරීමේ එක තැනක් වැරදි බව අවධාරණය කරමි. යසෝධරා දේවියගේ වයස ගැන ඔබ හරියටම දන්නේ නැති බව ඔබේ ලිපියෙන් මට පෙනෙනවා. එය නිවැරදි කරගන්න. ඒ දෙදෙනාගේම(සිද්ධාර්ථ සහ යසෝධරා යන) වයස එකමයි. උපන්නේ එකම දිනයක. ඒ බව ඉතාම පැහැදිලිව බෞද්ධ මූලාශ්‍ර තහවුරු කරනවා. නමුත් කිසිම තැනක නැහැ සිද්ධාර්ථ කුමාරයාට වඩා වයසින් බාලයි කියා හෝ වැඩියි කියා හෝ නෑ. නමුත් මේ වයස සීමාව ගැන උගතුන් අතර නූතනම අදහසක් ලෙස වයස 23ක් පමණ ගත වූ පසු විවාහය වූ බවත් පිළිගැනීමක් තිබෙනවා. මේ නිසා ඒ කරුණ අනිවාර්‍යයෙන්ම නිවැරදි කළ යුතුමයි.

  2. Muhammed 2013-04-22 at 11:21

    ව:ලෛකුම් සලාම් වරහ්මතුල්ලා
    බොහොම ස්තුතිය්….

  3. Muhammed 2013-04-21 at 10:50

    Ok Done…. Please Check

    • අබූ අර්ශද් 2013-04-21 at 16:25

      අස්සලාමු අලෛකුම්, ඔබේ ලිපිය මේ දිනවල දැඩි ගවේෂණයකට ලක් කරමින් තිබෙන බවත්, එහි හිෂාම් බින් උර්වා පිලිබදව තිරණයකට එළඹීම තවමත් සංකීර්ණ කාරණයක් වී ඇති බවත්, ඉදිරියේ දී ඔබේ ලිපිය පදනම් කරගෙන මේ පිලිබදව ‘යහමඟ’ නිගමනය කුමක්ද? යන්න පැහැදිලි කිරීමට අදහස් කරන බවත් දැකට දන්වා සිටිමි

  4. Muhammed 2013-04-18 at 12:46

    හැකි නම් ඔබේ email ලිපිනය දෙන්න …. මීට අදාල මට ලැබුණු ලිපිය forward කරන්නම් ….

  5. Muhammed 2013-04-15 at 08:09

    අස්සලාම් අලෛකුම් , පැහැදිලි කිරිඉමක් අවශ්යය්
    නබි තුමාණන් ආය්ෂා තුමියව අවූ 6 හෝ 9 දී විවාහ වූ බවට අල්කුරානයේ කිසි තෑනක සදහන් වෙලා නෙහෙ,
    ඉරාකයේ විසු එක සහාබි වරයෙක් ගෙන් ගනු ලැබූ හදිසයක පමණය් සදහන් වෙන්නේ, එයත් ඔහුගේ පියාගෙන් ලද හදිසයකි, ඉරාකය ෂියා වරුන් අදික ලෙස ජීවත් වන ප්‍රදේශයකි, මෙය එක් මතවාදයක් පමණි,

    තවත් බොහෝ හදීසයන්හි වක්‍රාකාරව, නබි තුමාණන් ආය්ෂා තුමියව විවාහ වනවිට ඇයට වයස 14 ට වඩා වැඩි බවට පැහැදිලි හදිසයන් තිබියදී තවමත් ඉහත මතවාදයේ සිටීම හරිද?

    • අබූ අර්ශද් 2013-04-15 at 11:10

      හදීස් කලාවේ සැලකිල්ලට ගනු ලබන්නේ රාවි (දැනුම් දෙන්නා) වරයාගේ අවංකභාවය හා විශ්වාසවන්ත භාවය මිස,ෂියා ද සුන්නිද යන වග නොවේ. බුහාරි ග්‍රන්ථයේ පවා ෂයා රාවිවරුන් විසින් දැනුම් දෙනු ලබන හදීස් සඳහන් ය‍.

      ඔබ ඉහත කාරනයට පදනම් කරගන්නා හදීසය මූලග්‍රන්ථයේ සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්නේ නම් ඒ ගැන සලකා බැලීමට යහමග සූදානම්.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *