ඇත්ත නොසොයා පැත්ත ගැනීම හෙවත් මාධ්‍ය සදාචාරය

0

පසුගිය දිනවල රටපුරා ජනතාව අතර පැවතී ‘විල්පත්තු වන විනාශය‘ පිලිබදව වූ උණුසුම් සංවාදය දැන් තරමක් දුරකට යටපත් වී ඇත. නමුත් මෙය අද ඊයේ මතු වූ අලුත් සංවාදයක් නොවන බවත් වසර ගණනාවක් අතීතයට දිවයන විටින් විට සමාජය තුල සංවාදයට බඳුන් වන මාතෘකාවකි. මීට පෙර අවස්ථාවල දී මෙන්ම මෙවරත් මේ විල්පත්තු සිද්ධිය ඉතා පක්ෂපාතීව හා අසමබරව මාධ්‍යයන්, සංවිධානයන්, විද්වතුන් හා දේශපාලඥයින් කථා කරන ආකාරය අපට නොඅඩුව දක්නට ලැබුණි. මේ අතර ඉතා සීමිත පිරිසක් එම තත්වය සමබරව හා අපක්ෂපාතීව කථා කිරීම ද දක්නට නැතුවා නොවේ. ඒ අතුරින්ද ‘දිනමිණ‘ වෙබ් අඩවියේ 2015/05/14 දින ‘ඇත්ත නොසොයා පැත්ත ගැනීම හෙවත් විල්පත්තු කැලෑ කැපීම පුම්බා පෙන්වීම‘ යන මාතෘකාව යටතේ ඉදිරිපත් කර තිබූ ලිපිය ඉතා සමබර එසේම සිද්ධියට මැදිව අසරණ වී සිටින ජනතාවට සාධාර්ණයක් ඉටු කල ලිපියක් විය.

නමුත් අවාසනාවන්ත ලෙස අද එම ලිපිය දිනමිණ වෙබ් අඩවිය ඉවත් කර ඇත. ඒ හේතුව නිසාම එම අඩවිය තුල පලවූ ලිපිය උපුටා පහතින් ‘යහමඟ‘ පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට මෙලෙස ඉදිරිපත් කරන්නේ එම ලිපියෙහි කතෘට ‘යහමඟ‘ ගෞරවය හා ස්තූතිය ද පුද කරමිනි.

ඇත්ත නොසොයා පැත්ත ගැනීම හෙවත් විල්පත්තු කැලෑ කැපීම පුම්බා පෙන්වීම

සතුන්ට කැලය ඕනෑ! , අවතැන් ජනතාවට නිවාස?

ඒ 2007 වසරේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ආලංකුඩාහි පිහිටි සුබ සාධක කඳවුරකි.යුද්ධය නිසා තම ගම්බිම් අතැර පැමිණි පවුල් දහසකටත් වඩා වැඩි ප්‍රමාණයක් ආලංකුඩාහි කුඩා ඉඩකඩක දාහත් වසරක් තිස්සේ ජීවත්වෙමින් සිටියහ.

මුලතිව් දිස්ත්‍රික්කයෙන් පිටමං වුණු යුද්ධයෙන් අවතැන් වුණු දහස් ගණනක ජනතාවක් එසේපුත්තලම් දිස්ත්‍රික්කයට සංක්‍රමණය වී විවිධාකාර දුක් පීඩා විඳිමින්තාවකාලිකව අටවා ගත් කුඩාරම් තුළට ගාල් වී කවදා තම ගම් බිම් වෙත යා හැකි වේදැයිසුසුම් හෙළමින් ජීවත් වූ ආකාරය එදා ආලංකුඩාහි දී මට සියැසින් දැක ගත හැකි විය.

එසේ යුද්ධය නිසා අවතැන් වී පුත්තලම් දිස්ත්‍රික්කයට සංක්‍රමණය වූ පවුල් 17000ක් පමණ සිටින බව දැන ගත හැකි විය. මේ කඳවුරු තුළ ජීවත් වූ ඇතැම්හු කිසිදා තම මවුපියන්ගේ ගෙවල් දොරවල් ගම්බිම් දැක නොතිබුණු අතර ඔවුහු කඳවුරේ ම ඉපිද තාරුණ්‍යයට පා තබා සිටි අය වූහ. ඒ වන විට වසර දාහතක් ම පුත්තලම් දිස්ත්‍රික්කයේ තාවකාලිකව ජීවත් වුව ද ඔවුන් ලියාපදිංචි දිස්ත්‍රික්කය වූයේ මුලතිව් ය. ඡන්දය පාචිච්චි කළේ ද ඒ දිස්ත්‍රික්කයෙනි.

‘ඡන්දෙ මුලතිව් ඉන්නෙ පුත්තලමේ‘ යනුවෙන් දාහත් වසරක් තිස්සේ සුබසාධක කඳවුරකදිවි ගෙවමින් සිටි ඒ ජනතාව පිළිබඳ ලිපියක් මම 2007 ඔක්තෝබර් 4 වැනිබ්‍රහස්පතින්දා දිනමිණෙහි පළ කළෙමි. ඒ මතකය මා පූර්විකාවක් සේ සටහන් කළේ එයවර්තමානයේ විල්පත්තුව ආශ්‍රිතව සිදුවෙමින් පවතින්නා වූ සිද්ධිදාමය සමඟනෑකමක් දක්වන බැවිනි. ඒ ලිපිය පළවන අවධියේ ද මේ ජනතාව නැවත පදිංචි කිරීමසම්බන්ධයෙන් විශාල ගැටුමක් උද්ගත වී තිබිණි.

රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාඅද මෙන් ම එදා ද මේ සිද්ධියට ඈඳී සිටියේ ය. එදා ලෝක බැංකු ව්‍යාපෘතියක් යටතේඑවකට නැවත පදිංචි කිරීම හා ආපදා සහන සේවා අමාත්‍යවරයාව සිටි රිෂාද් බදියුදීන්ගේ ප්‍රධානත්වයෙන් මේ ජනතාවගෙන් පිරිසකට නිවාස ලබා දීමට කටයුතුසිදු වෙමින් තිබිණි. එහෙත් ඒ සම්බන්ධයෙන් ගැටුමක් නිර්මාණය වී තිබුණේ ඒ නිවාසවලින් සියයට තිස් පහක ප්‍රමාණයක් පුත්තලම් දිස්ත්‍රික­්කයේ ජනතාවට දලබා දිය යුතු බවට ය.

එවකට පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටිකේ.ඒ. බායිස් අමාත්‍යවරයා මේ සිද්ධියට සම්බන්ධ වී සිටියේ ලෝක බැංකු ව්‍යාපෘතිය සැලසුම් කර තිබුණේ පුත්තලමේ ජනතාවට ද නිවාස ලැබෙන අයුරින් බව සඳහන් කරමිනි.යුද්ධයෙන් අවතැන් වූ මේ ජනතාව නැවත පදිංචි කිරීමේ ගැටලුව එදා උද්ගත වන විට යුද්ධයහමාර වී තිබුණේ නැත. එහෙත් අද යුද්ධය නිම වී වසර හයක් ගත වී ඇත්තේ ය. යුද්ධය නිම වනතෙක් ඒ ජනතාව සිය ගම් බිම් බලා යාමට දශක දෙකකට වැඩි කාලයක් තිස්සේපෙරුම්පුරමින් සිටියද අද වන විට යුද්ධය නිම වී වසර හයක් ගත වී තිබුණ ද ඒසිහිනයට පණ පෙවුණු බවක් නම් දක්නට නැත.

විල්පත්තුව සම්බන්ධයෙන් අද උද්ගත වී ඇති සිද්ධියේ සුලමුල සොයා යා යුත්තේ මේඉතිහාසය ඔස්සේ මිස අද එය සාකච්ඡාවට බඳුන් වී ඇති ආකාරයට සැබෑ ප්‍රශ්නයේ අතුරුපලයක එල්ලී ගෙන නොවේ.

යුද්ධයෙන් අවතැන්වූවන්ගේ ප්‍රශ්නය පදනම් කරගෙන වර්තමාන විල්පත්තු සිදුවීමපැන නැඟී තිබේ. එහෙත් මූලික ප්‍රශ්නය වූ අවතැන්වූවන්ගේ ප්‍රශ්නය පසෙකට දමා මහාහඬකින් මතු වූයේ විල්පත්තු සංහාරයක් පිළිබඳ ය. ‘ඇමැති රිෂාඩ්ට වැඩ වරදී -විල්පත්තු සංහාරය ජනපති අණින් නවතී‘, ‘විල්පත්තු ඉඩම් – දිසාපතිගේ කතාව ජවිපෙනොපිළිගනී‘, ‘විල්පත්තු බලහත්කාරකම්වලට ජනපතිගෙන් පොරව පහර‘, ‘විල්පත්තුව අවට කැලෑව කැපීම හා ඉඩම් පෙන්වීම තහනම්‘ ආදී වශයෙන් පුවත්පත් මුල්පිටුවල ඡායාරූප ද සහිතව වැඩි ඉඩකඩක් ලබා ගනිමින් විල්පත්තු සිද්ධිය කරළියටපැමිණ තිබේ.

විද්යුත් පණිවිඩ හා සමාජ ජාල ඔස්සේ විල්පත්තු සංහාරයක් පිළිබඳ හඬ දැඩිව මතුවෙමින් තිබිණ. එමෙන් ම පරිසර සංවිධාන ද මේ සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ගඔස්සේ හඬක් නැඟුහ. වනසතුන්ගේ නිජබිම් ඔවුන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන්විරෝධතා පවා පවත්වනු දක්නට ලැබිණ. කැලෑව එළි පෙහෙළි කරමින් අනවසර පදිංචිකිරීම් විල්පත්තුවේ සිදු වන බවට ඔවුහු හඬක් නැඟූහ. බොදු බල සේනාව මේ හඬ නැඟූවන්අතර ප්‍රමුඛ විය.

එමෙන් ම ජනතා විමුක්ති පෙරමුණ ද මෙහි ප්‍රධාන භූමිකාවක් රඟපෑවේ ය. විල්පත්තු අභය භූමියේ අනවසර ඉදිකිරීම් සිදු කරමින් තිබේ නම් ඒවා වහානවත්වන ලෙසත් පරිසර හානි නවත්වන ලෙසත් ජනාධිපතිවරයා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දීමත් සමඟ පුවත්පත් හා විද්යුත් මාධ්‍ය මේ සිද්ධියවාර්තා කිරීමට වැඩි ඉඩ කඩක් ලබා දී තිබිණ.

මෙහි දී විමසා බැලිය යුතු ප්‍රධාන කරුණ වන්නේ සැබෑ ප්‍රශ්නය ගවේෂණාත්මකව වාර්තාකිරීමට මෙරට මාධ්‍ය කටයුතු කළේ ද එසේත් නැතිනම් පරිසර සංවිධාන හා වෙනත්අරමුණු පෙරදැරි කරගත් විවිධ සංවිධානවල ඕනෑ එපාකම් හා ඒ ඒ මාධ්‍යවල පෞද්ගලික න්‍යාය පත්‍රවලට අවශ්‍ය පරිදි මේ සිද්ධිය හැඩ ගස්වා වාර්තා කළේ දයන්නය. ප්‍රධාන පෙළේ පුවත්පත් මේ සිද්ධිය වාර්තා කර තිබූ ආකාරය විමසා බැලීමෙන්මේ පිළිබඳ චිත්‍රය පැහැදිලිව අවබෝධ කර ගත හැකි ය. සියලු දේ අභිබවා ප්‍රමුඛත්වයට පැමිණ තිබුණේ රිෂාද් බදියුද්දීන් ඇමැතිවරයා ය.

විල්පත්තු වනසංහාරය සිදු වන්නේ මේ අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා බවබොහෝ මාධ්‍යවල විවේචනයට ලක් වී තිබිණි. විල්පත්තුවේ සිදුවෙමින් තිබේ යැයිපවසන වන සංහාරය හා අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් විල්පත්තු නිරීක්ෂණයක යෙදෙමින් සිටිය දී රිෂාද් ඇමැතිවරයා ද පරිසර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වජිර නාරම්පනාව, මන්නාරමදිස්ත්‍රික් ලේකම් එම්.වයි.එස් දේශප්‍රිය, මුසලි ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසමුණ ගැසී තිබේ.

මෙහි දී බදියුදීන් අමාත්‍යවරයා සඳහන් කර තිබෙන කරුණු ඔස්සේ මේගැටලුවේ අක්මුල් සොයා යා හැකි ය. ‘අපේ ජනතාව ඉතා අසරණව දුක් විඳින පිරිසක්.අපිට හැප්පෙන්න වෙන්නේ මාධ්‍යයත් එක්කයි. අපේ ප්‍රශ්න කියන්න මාධ්‍ය නෑ. මේවා අපේජනතාව සීයා මුත්තන් කාලේ ඉඳලා පදිංචි වෙලා හිටිය තැන්. අපේ පැරණි පල්ලියකුත්මෙහි තියෙනවා. අපි කිසිම වැරැද්දක් කරලා නෑ‘ යනුවෙන් ඔහු පැවසූ බව 2015 මැයි 11වැනිදා පුවත්පතක පළ විය.

අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි විල්පත්තු අභය භූමියට හානි සිදු කර නොමැති අතරජනතාවට පාරම්පරිකව උරුම වී තිබුණු ඉඩම්වල නැවත පදිංචි කර ඇත. ඇමැතිවරයාගේප්‍රකාශයෙන් ඉඟි කරන කතාව වන්නේ ඒ ජනතාවගේ ප්‍රශ්න වාර්තා කිරීමට මාධ්‍යනොමැති බවය. සැබවින් ම මාධ්‍ය යුද්ධයෙන් අසරණ වූ ඒ ජනතාව සිය ගම් බිම් අතැර දශකතුනක් තිස්සේ අවතැන් කඳවුරුවල දිවි ගෙවමින් විඳි දුක්ඛිත ජීවිතයත්යුද්ධයෙන් පසුව හෝ ජනතාවට සාධාරණය ඉෂ්ට වුණේ ද යන්නත් නිසි පරිදි ගවේෂණය කරබලධාරීන්ගේ අවධානය යොමු කළා නම් අද විල්පත්තුවේ මේවන් සිද්ධි උද්ගත නොවනු ඇත.

සැබෑ ගැටලුව සොයා බලා වාර්තා කිරීම වෙනුවට ඇතැම් මාධ්‍ය සිදු කර ඇත්තේ ගැටලුවනිසා පැන නැඟ තිබෙන්නා වූ අතුරු කාරණා බරපතළ සංසිද්ධි කරමින් වාර්තා කිරීම ය.ගැටලුවේ සුල මුල වාර්තා නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රශ්නය වෙනත්දිශානතියකට ගමන් කරමින් තිබේ.

ඇතැම්හු එය ජාතීවාදී කෝණයකින් විග්‍රහකරමින් සිටිති. ඇතැම් විටෙක එය ජාතිවාදී මුහුණුවරකින් වාර්තා කිරීමට පවාමාධ්‍ය කටයුතු කිරීම ශෝචනීය ය. එක්තරා පුවත්පතක් 2015 මැයි මස 11 වැනිදා ‘රිෂාඩ් බදියුදීන් විල්පත්තු ජාතික වනෝද්‍යානය හලාල් කිරීම‘ යන මාතෘකාව යටතේ කතුවැකිය පළ කර තිබිණ. මෙහි දී ඇසීමට ඇති ප්‍රශ්නය වන්නේ හලාල් හා විල්පත්තු අභයභූමිය අතර පවතින්නා වූ සබඳතාව කුමක් ද යන්නය.

මෙහි දී සිදු කර තිබෙන්නේ අන්කිසිවක් නොව කිසිසේත් ම ආගමට අදාළ නැති සංසිද්ධියකට ආගම පටලවා ගැනීම ය.සිද්ධිය හා සම්බන්ධ අමාත්‍යවරයා මුස්ලිම් වීමත් සිද්ධියට සම්බන්ධ බහුතරයක්ජනතාව මුස්ලිම් වීමත් පදනම් කරගෙන මෙවන් මාතෘකාවක් යටතේ එම කතුවැකිය පළ කරතිබේ. කතුවැකියේ අගභාගයේ අමාත්‍යවරයාගේ ජාතිය, ආගම ගැන ප්‍රශ්නයක් ඔවුන්ටනොමැති බව පැවසුව ද එවන් මාතෘකාවක් කතුවැකියට භාවිත කිරීමෙන් ඉඟි කරන්නේඑවන් ගැටලුවක් ඇති බව ය.

එසේ නැති නම් විල්පත්තුවට කිසිසේත්ම අදාළ නැති හලාල්කතාවක් සඳහන් කරන්නේ කුමකට ද? මෙමඟින් අසරණ තත්ත්වයට පත්ව සිටින ජනතාව වෙතසන්නිවේදනය කරන්නා වූ පණිවිඩය මේ රටේ ජාතීන් අතර සංහිඳියාවට එල්ල කරන්නා වූප්‍රබල ප්‍රහාරයකි. රටේ බහුතර පිරිසක් තමාගේ ම වූ නිවාස ගම් දොරවල ජීවත්වෙමින් සිටිය දී තවත් පිරිසක් දශක තුනක් තිස්සේ සරණාගත කඳවුරුවල දුක්ඛිතජීවිතයක් ගත කර තමාගේ ගම්දොර නිවහන පිළිබඳ සිහිනය සෑබෑ කර ගැනීමට යත්නදරමින් සිටින මොහොතක මෙවන් කතාවක් අසන්නට ලැබීම ඒ ජනතාවගේ සිත් තුළ ඇතිකරන්නේ කවර සිතිවිල්ලක් ද යන්න අමුතුවෙන් විග්‍රහ කළ යුතු නොවේ.

සාමකාමීපරිසරයක ජීවත් වීමේ නිදහස ඔවුනට අහිමි වී තිබුණි. නිදහසේ රැකියාවක් කිරීමේඅයිතිය හෝ අධ්‍යාපනය ලැබීමේ අයිතිය හෝ ඔවුනට ලැබී තිබුණේ නැත. මේ රටේපුරවැසියන් ලෙස ඔවුන්ට සිය අයිතිවාසිකම් භුක්ති විඳීමේ අවස්ථාව දශක තුනකයුද්ධය මඟින් වළලා දමා තිබුණේ ය. එය ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් ලෙස ද අර්ථකථනය කළ හැකි ය. සියලු සැප පහසුකම් හා අයිතිවාසිකම්භුක්ති විඳිමින් දකුණේ දිවි ගෙවූවන් උතුරේ ජනතාව වෙනුවෙන් ගෙවිය යුතු වන්දියඅති මහත් ය. තත්ත්වය එසේ තිබිය දී ඔවුන්ගේ ප්‍රශ්නය ගැන සංවේදී නොවී ප්‍රශ්නයේවෙනත් කොනක් අල්ලා ගෙන කෑ ගැසීම කෙතෙක් දුරට සාධාරණ ද යන්න සියල්ලන් තම තමාගේ හෘදසාක්ෂියෙන් විමසා බැලිය යුතු වේ.

විල්පත්තු කැලෑව එළි පෙහෙළි කර ජනාවාස ඇති කළයුතු යැයි එයින් අදහස් කරන්නේ නැත. එවන් දෙයක් සිදු වී ඇත් නම් ඒ පිළිබඳ නිසි විමර්ශනයක් කර නීතිය මගින් කටයුතු කළ යුතු බව ද සැබෑ ය. එහෙත් විල්පත්තු සංහාරයක් පිළිබඳ ගැටලුව මතු වීමට හේතු පාදක වූ මූල සාධකය සොයා බලා එයබලධාරීන්ගේ අවධානයට යොමු කිරීම වෙනුවට ඇතැම් මාධ්‍ය මන් මේ සිද්ධිය වැරැදිකොනින් අල්ලා ගැනීම බරපතළ ඛේදවාචකයකි.

ඉහත කී ආකාරයට එම කතුවැකිය විල්පත්තුවට හලාල් සම්බන්ධ කරන අතරම තවත්ප්‍රවෘත්තියක පෙන්වා දෙන ආකාරයට මන්නාරම දිස්ත්‍රික් ලේකම් වයි.එස්.දේශප්‍රිය මහතා පවසා ඇත්තේ මේ ඉඩම් නීත්‍යනුකූල ලෙස පර්චස් 80 බැගින් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට ලබා දී ඇති බව ය.

මීට වසර 25-30කට පෙර ත්‍රස්තවාදී ක්‍රියා නිසා ප්‍රදේශයෙන් පලා යෑමට සිදු වූ අය වෙනුවෙන් ක්‍රියාත්මක උතුරුවසන්තය වැඩසටහන යටතේ ජනතාව මෙලෙස පදිංචි කරවා ඇති බවත් දිස්ත්‍රික්ලේකම්වරයා පවසා ඇත්තේ ය. එසේ ම පසුගිය 11 වැනිදා පැවැති පරිසර අමාත්‍යංශයේප්‍රවෘත්ති සාකච්ඡාවක දී අනාවරණය කර ඇත්තේ විල්පත්තු උතුරු පෙරියමඩු ප්‍රදේශයේ වන සංහාරය සිදුවන්නේ නැවත පදිංචිය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවමගින් නිදහස් කරන ලද අක්කර 2500ක භූමි ප්‍ර දේශයක බව ය.

රිෂාද් ඇමැතිවරයාදේශපාලනඥයකු නිසා ඔහුගේ කතාව විශ්වාස කළ නොහැකි යැයි ඇතැමෙකුට තර්ක කළ හැකිය. එසේ නම් ඔහුගේ කතාව පසෙකින් තබා රජයේ නිලධාරියකු වූ දිස්ත්‍රික්ලේකම්වරයාගේ ප්‍රකාශය හා පරිසර අමාත්‍යංශයේ අනාවරණය ඔස්සේ මේ සිද්ධියටප්‍රවේශයක් ගෙන මීට වඩා වගකීම් සහගතව සිද්ධිය වාර්තා කිරීමට මාධ්‍යයටහැකියාව තිබිණ. එහෙත් ඔවුන් අදාළ සිද්ධිය තමාගේ න්‍යාය පත්‍රවලට අවශ්‍ය පරිදිහැඩ ගස්වා හලාල් සමඟ මිශ්‍ර කර සමාජයට මුදා හළේ ය.

පසුගියදා නීති විද්‍යාලයේ දී ජනාධිපතිවරයා පැවැත්වූ කතාවක දී අපූරු අනාවරණයක් කළේ ය. ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති වනාන්තර පිළිබඳ වන ජීවීනිලධාරීන්ගෙන් එතුමා විමසූ විට දැන ගත හැකි වී තිබෙන්නේ වැඩි වනාන්තරප්‍රමාණයක් ඉතිරිව තිබෙන්නේ උතුරු නැඟෙනහිර බව ය. එහි දී ජනාධිපතිවරයාපෙන්වා දුන්නේ යුද්ධය අකාරුණික වුවත් එය පරිසරය ආරක්ෂා කර ඇති බව ය.

මේ කතාවඔස්සේ ද විල්පත්තු සිද්ධියට ප්‍ර වේශයක් ලබා ගත හැකි ය. දකුණට වඩා උතුරේ වනාන්තර ප්‍රමාණය වැඩි වෙන්නට හේතුව වූයේ යුද්ධය හේතුවෙන් එහි ජනතාව ඒප්‍රදේශවලින් පලා ඒමය. දකුණ අවුරුදු තිහක් තිස්සේ විවිධාකාරෙයන්පරිසරයට හානිකරමින් සිය අසීමාන්තික අවශ්‍යතා සපුරා ගනිද්දී උතුරුනැඟෙනහිර ජනයා අවතැන් කඳවුරුවල ගාල් වී දුක්ඛිත ජීවිතයක් ගත කළහ. එහෙත්ඔවුන් අතැර දැමූ ගම්බිම් වල් වැදුණු අතර ඒවා මහා වනාන්තරයේ ම කොටස් බවට ද පත්වතිබේ.

මෙය විශ්වාස කළ නොහැක්කක් හෝ අහම්බයක් නොවේ. මේ ඉතිහාසය විමසා බැලීමෙන්ද මෙය පැහැදිලි වේ. සතුරු ආක්‍රමණ හෝ වෙනත් යම් හේතු මත රාජධානි මාරු කිරීමේ දීපෙර පැවති රාජධානිය වල් වැදී ගිය බව අප කවුරුත් දන්නා කරුණකි. අද මහ වනාන්තරතුළින් නටබුන් හමු වන්නේ ඒ නිසා ය. එනිසා දශක තුනක යුද්ධය නිසා ජනතාව පදිංචිවසිටි ගම්බිම් වල්වැදුණු බව පුදුමයට කාරණාවක් නොවේ. කැලෑ එළි කර යළි ගම් බිම්පාදා ගැනීම ද කැලෑ කැපීමක් යැයි අර්ථකථනය කිරීම නිවැරදි නොවන්නේ ඒ නිසා ය.

වරෙක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සියකතාවක දී සඳහන් කර තිබුණේ යුද්ධයට පෙර ගම්මානයක් ව පැවති ප්‍රදේශයක නාවිකහමුදා කඳවුරක් ඉදි කර තිබෙන බවත් එයින් ඒ සැබෑ අයිතිකරුවන්ගේ ඉඩම් අහිමි වීතිබෙන බවත් ය. මේ කරුණු ඉඟි කරන්නේ මේ ප්‍රශ්නය විහිදී යන බොහෝ දිශානතීන් තිබෙනබව ය.

මේ කරුණු සියල්ල විමසා බැලීමෙන් පැහැදිලි වන කරුණක් වන්නේ විල්පත්තු සංහාරයනමින් ඇතැම් මාධ්‍ය නැඟූ හඬ සැබෑ ප්‍රශ්නය ස්පර්ශ නොකර ප්‍රශ්නයේ එක් කොනක් යන්තම්අතපත ගෑමක් පමණක් බව ය. එමෙන් ම ඒ සංසිද්ධිය තම තමාගේ ලෝගුවලට ගැළැපෙනආකාරයට දමා ගෙන ඒ අනුව හැඩ ගස්වා සමාජයට මුදා හළ බව ය. එනිසා විල්පත්තු සිද්ධියඉඟි කරන්නේ මාධ්‍ය මීට වඩා වගකීම් සහගතව සහ ගවේෂණාත්මකව කටයුතු කළ යුතු බවය. එමෙන් ම මේ රටේ පුරවැසියන් පිරිසක් මුහුණ දෙන්නා වූ බරපතළ ගැටලුවක්කෙරෙහි මීට වඩා අවධානය යොමු කළ යුතු බව ඉඟි කර ඇත්තේ ය.

නිවන්ති තිලකරත්න

 

ඉදිරිපත් කිරීම – අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp