ඉස්ලාම් අසමසම දහමක් යයි පවසන්නේ ඇයි?

0

ඈත අතීතයේ පටන් අද දක්වා ලොව බිහිවූ සෑම දහමක්ම, දර්ශනයක්ම එහි අනුගාමිකයන් හට කල පොදු නියෝගයක් වේ නම්, ඒ සත්ක්‍රියාවන් හි නිරත වන්න අසත්ක්‍රියාවන්ගෙන් වැලකෙන්න යන්නයි. මෙසේ සෑම දහමක් දර්ශනයක් තුලම යහපත් මඟපෙන්වීමක් පැවතුනද ඒ හේතුවෙන් එහි සදහන් සියළු මඟපෙන්වීන් සාරථක මෙන්ම ආදර්ශමත් පරිපූර්ණ මඟපෙන්වීම් බව තර්ක කල නොහැක. සත්ක්‍රියාවන් හි නිරත වී යහපත් පුරවැසියකු වන්න යනුවෙන් අණ කරන බොහෝ ආගම් හා දර්ශනයන් ඒ සදහා පනවන නීති හා ආදර්ශ තුලින් එම සාර්ථකත්වය ලඟාකර ගැනීමේ හැකියාව අහිමි කොට ඇත. එය කොතරම් ද යන්න පවසනවා නම් විටෙක මනුෂ්‍යාගේ මූලික අවශ්‍යතාවයන් පවා සමහරක් ආගම් උදුරාගෙන ඇත. (මේ පිලිබදව මෙම අඩවිය තුල විස්තරාත්මක ලෙස මීට ඉහත සාකච්චා කොට ඇත) එවන් පසුබිමක “ඉස්ලාම් දහම ආදර්ශමත් මෙන්ම අසමසම දහමක් යයි පවසන්නේ ඇයිද?” යන කුතුහලය දැනටමත් ඔබේ සිත් තුල මතු වී තිබෙන්නට පුළුවන. මීට අමතරව යහපත් චේතනාවෙන් “සියළු දහමන් පවසන්නේ එක දේ තමා” යනුවෙන් පවසමින් කිසියම් ආකාරයක සමාජ එකඟතාවයක් ගොඩනඟන්න උත්සාහ කරන පිරිසක් ද අප අතර ඇත. මේ පිරිසගේ අරමුණ යහපත් එකකි එනම් “ආගම් අතර සමඟිය” යන්නයි. ඒ සදහා ඔවුන් විමසන ප්‍රශ්නය “අනිකුත් දහමන් පිලිපැදීමේ ඇති වරද කුමක්ද?” යන්නයි. මෙම කාරණය වෙත දැන් අවධානය යොමු කරමු.

ඉහතින් මතු කරන ප්‍රශ්නය සමාජයේ බොහෝ දෙනෙකු හට ඇති පොදු ගැටළුවකි. බැලූ බැල්මට එම ප්‍රශ්නයේ වරදක් ද නැති බව සමහර විට ඔබටත් සිතෙනු ඇත. මන්ද මා ඉහතින් සදහන් කලාසේම සෑම දහමක් ම පවසන්නේ සත්ක්‍රියාවල නිරතවන්න අසත්ක්‍රියාවලින් වැලකී සිටින්න යන්නයි. ඉස්ලාම් දහම ද ඉහත කාරණය ම පවසන බව සැබෑවකි. එම එක් කාරණයක් පදනම් කරගෙන සමස්ථ දහම තීන්දු කිරීම නිවරුදි විනිශ්චයක් නොවේ. ඒ අනුව “ඉස්ලාම් අසමසම දහමක්” යයි පැවසීමට පදනම් වූ හේතුව කුමක්ද? යන්නත්, ලොව අනිකුත් දහමන්ට සාපේක්ෂව ඉස්ලාම් දහම කොතරම් වෙනස් ස්වරූපයක් ගන්නවාද යන්නත් කරුණු කිහිපයක් පදනම් කරගෙන ඔබගේ බුද්ධිමත් විමසුමට යොමු කිරීමට අදහස් කරමි.

ඉස්ලාම් දහම යනු මේ මුළු විශ්වයම මවා එය තුල සියළුම ආකාරයේ වස්තූන් මවා එහි අලංකාර ස්වරූපයෙන් බුද්ධිමත් මිනිසා ද මැවූ අල්ලාහ් (දෙවියන්) විසින් මනුෂ්‍යා සදහා නිර්මාණය කරදුන් ජිවන මාර්ගයක් හා මගපෙන්වීමකි. එහි ලොව පවතින අනිකුත් දහමන් සාපේක්ෂව පියවර ගනනාවක් ඉදිරියට ගොස් සත්ක්‍රියාවන් හා එහි නිරතවීමේ අවශ්‍යතාවයන්, එය ක්‍රියාවට නංවිය යුතු ආකාරයත් ආදර්ශමත් ලෙස ඉදිරිපත් කරයි. එසේ ඉදිරිපත් කිරීමෙන් නතර නොවී මනුෂ්‍ය දිවිය තුල අසත්ක්‍රියාවලින් වැලකීසිටීමට ගතයුතු පියවරයන් කුමක්ද? යන්නත්, ඉන් ආරක්ෂා වන්නේ කෙසේද? යන්නත් ඉස්ලාම් පැහැදිලිව ම පෙන්වා දේ. එම කාරණය ඔබට මනාව අවබෝධ කරලීම පිණිස වර්ථමාන උණූසුම් මාතෘකා දෙකක් කෙටියෙන් ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි.

සොරකම පිලිබදව ඉස්ලාමීය දැක්ම

සෑම දහමක්ම “සොරකම” යන්න වරදක් ලෙස හදුන්වා දෙයි. ඉස්ලාම් දහම ද එය එලෙසම හදුන්වා දෙයි. මෙහි දී ඉස්ලාම් අනිකුත් දහමන්ට වඩා වෙනස් වන්නේ කෙසේද? යන කුතුහල දැන් ඔබට ඇති විය හැක. ඒ පිලිබදව පැහැදිලි කරනවා නම් ඉස්ලාම් දහම සොරකම පාපයක් එසේත් නැත්නම් වරදක් යයි පැවසීමේන් නතර නොවී, සමාජයක් කවර ආකාරයට ක්‍රියාත්මක වීම තුල සොරුන් හා සොරකම් නිර්මාණය නොවන්නේ ද එම ආදර්ශය ඉස්ලාම් පැහැදිලිව ම සමාජයට හදුන්වා දේ. මේ නිසා ඉස්ලාම් අනිකුත් දහමන්ගෙන් වෙන් වූ අසමසම දහමක් බවට පත්වේ. මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඉස්ලාම් සෑම මුස්ලීම්වරයෙකුටම “සzකාත්” නම් වු අනිවාර්ය බද්ධක් අන කරයි. මෙය සමාජය තුල නිසි ආකාරව ක්‍රියාත්මක වුයේ නම් දිළිදකම එම සමාජ‍යෙන් තුරන් වේ. එසේ එය නිසි ලෙස ක්‍රියාත්මක වුවා නම් එවන් වූ සමාජයක කිසිවිටෙකත් දිළින්දන් නිර්මාණය වීමක් හෝ කුසගින්නේ මියයාමේ අවාසනාවන්ත ඉරණමයන් ද නිර්මාණය නොවේ.

මෙවන් තත්වයක දී පවා සමාජය තුල කිසියම් ආකාරය සොරකමක් සිදුවී එය නීත්‍යානුකූලව ඔප්පු වුවහොත් ඔහුට ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් තුල ලබාදෙන දඩුවම ඔහුගේ (එක්) අතක් මැනික්කටුව ලඟින් සිදලීමයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 5:38 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි,

“සොරකම් කරන්නෙකු හෝ කරන්නියක් ඔවුන් කල පාපයට අල්ලාහ් (දෙවියන්)ගේ දඩුවම ලෙස ඔවුන්ගේ අතක් සිදලන්න.”

ඉස්ලාම් පවසන මෙම දඩුවම වර්ථමාන මුස්ලීම් නොවන සමාජය ප්‍රබල විවේචනයන්ට ලක් කරයි. එය දියුණු මානවයා ජීවත් වන 20 වන ශත අනුවනකාරී ක්‍රියාවක් ලෙසත්, ඉස්ලාම් පවසන දඩුවම් කාලයට නොගැලපෙන අමානුෂික ක්‍රියාවන් ලෙසත් හදුන්වා දෙයි. මෙලෙස චෝදන එල්ලකරන පිරිස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කල හැක. එනම් අන්තවාදීව කරන චෝදනා සහා මෙම ක්‍රියාදාමය පිලිබදව විවිධ උපකල්පනය කර ඒ තුලින් ගනු ලබන පූර්ව නිගමනයන් පදනම් කරගෙන කරන චෝදනා. මෙහි පලමු පාර්ශවය පිලිබදව කිසිවත් මෙහි දී කථා කිරීමට අවශ්‍ය නොවේ යයි සිතමි. දෙවන පාර්ශවය එනම් පූර්ව නිගමනයන් මත හිද කරන චෝදනා. මෙසේ පූර්ව නිගමනවල හිද කරන උපකල්පන සෑම විටම නිවරුදි විය නොහැක යන්න මා විස්තර කිරීමට අවශ්‍ය නොවේ යයි සිතමි. මන්ද එය මිනිසා ප්‍රයෝගිකව ලොව අත්විදින සත්‍යයකි. එයට සරල නිදසුනක් ගෙනහැර දක්වන්නේ නම් රටක විද්වතුන් පූර්ව නිගමනවල හිද සාමූහික ක්‍රියාදාමයක් ලෙස කරන රටේ ව්‍යවස්ථා නිර්මාණය කෙටි කාලයක් තුල ප්‍රතික්ෂේප වී යනවා අප, අප රට තුලම නිරන්තරයෙන් අත්විදින කාරණයකි. එසේ තිබිය දී ඉස්ලාම් පවසන ඉහත නීති පූර්ව නිගමනයන් තුලින් අවබෝධ කරගැනීම සෑම විටම නිවරුදි විය නොහැක. අනෙක් කාරණය නම් ඉස්ලාමීය නීතිරීති මනුෂ්‍ය චින්තනයෙන් එහා ගිය ශුද්ධ වූ දේව අනපනත්ය. එමනිසා එහි මනුෂ්‍ය නිර්මාණයන් හි මෙන් වැරදීම්, අතපසුවීම් හා නොගැලපීම් වැනි දුර්වලතාවයන් නිර්මාණය විය නොහැක. (මේ පිලිබදව මීට පෙර මෙම යහමඟ අඩවිය හරහා සාකච්චා කොට ඇත.) දැන් මාතෘකාව වෙත නැවත අවධානය යොමු කලේනම්,

ඉහත පූර්ව නිගමනවලින් බැහැරව ඉස්ලාම් පවසන නීති රටක සමාජයක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලේ නම් එය වඩාත් නිවරුදි හා සාර්ථක දඩුවම් ක්‍රමයක් යන්න පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත. උදාහර්ණයක් ලෙස ඇමරිකාව යනු වර්ථමාන දියුණුම රටවල්වලින් එකක් ලෙස හැදින්විය හැක. නමුත් අවාසනාව කියන්නේ අද එම රට තුලින් තමා මිනිස් ඝාතන, මංකොල්ලකෑම්, සොරකම්, ස්ත්‍රී දූෂණ… යනාදිය ඉහලින්ම වාර්ථා වන්නේ. දැන් මොහොතකට වර්ථමාන ඇමරිකාව තුල ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක වන බවට උපකල්පනයක් කලේනම්, එහි වෙසෙන සෑම කෙනෙකුම තම ධනයෙන් කිසියම් ප්‍රතිශතයක් (සකාත් – මෙහි දී භාණ්ඩවල ස්වභාවය අනුව ප්‍රතිශතය වෙනස් වේ) බදු වශයෙන් දිළිදු ජනතාවට ලබාදීම අනිවාර්ය වේ. දැන් ඉහත ඉස්ලාමීය දන්ඩ නීතිය ක්‍රියාවට නඟන ගමන් එම සමාජය තුල ඉස්ලාම් පවසන බදු ක්‍රමය ද නිසි ලෙස ක්‍රියාත්මක වේ. එවිට එම සමාජයේ සොරකම් අඩුවේද? වැඩිවේද?. සzකාත් (නැමැති) බද්ධ සමාජය තුල නිසි ආකාරයට ක්‍රියාවට නැංවුයේ නම් එම සමාජය තුල ධනවතා, දිළින්දා යන භේදය අවම වී සාමකාමී සමාජයක් උදාවේ. එසේම සොරකමට නියමිත දඩුවම සමාජය ක්‍රියාවට නංවන විට එම දඩුවමට බියවන පිරිස් සොරකමින් ද වැලකී සිටින බැවින් එම සමාජය තුල සොරකම් යන්න අවම තත්වයට පත්වී සාමකාමී සමාජයක් බවට පරිවර්ථනය වේ. මේ නිසා ඉස්ලාම් පවසන දණ්ඩ නීතිය දිගින් දිගටම ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ද ඇති නොවේ. ඒ අනුව මා ඉහතින් පැවසුවේ සේ ඉස්ලාම් දහම දණ්ඩ නීති පැනවීම තුලින් අසමසම දහමක් බවට පත්ව බැබලේ.

ස්ත්‍රී දූෂණයට එරෙහිව ඉස්ලාමීය මඟපෙන්වීම

වර්ථමාන ලෝකය දෙස බලන විට උග්‍ර ගැටළුවක් ලෙස පවතින තවත් කාරණයක් තමා කාන්තා හිංසනය, දූෂණය හා අපයෝජනය යන්න. මේ පිලිබදව ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න කෙටි අවධානයක් යොමු කලේ නම්, ලොව අනිකුත් ආගම් මෙන්ම ඉස්ලාම් දහම ද මෙවැනි ක්‍රියාවන් දැඩි ලෙස හෙලාදකී. නමුත් ඉස්ලාම් එය හෙලාදැකීමෙන් පමණක් නතර නොවේ. වර්ථමානයේ විවිධ සමිති, සමාගම්, ආගමික ආයතන විවිධ තේමාපාඨයන් පෙරදැරිව මෙවැනි කාන්තා හිංසනයන් හෙලාදැකීමත්, ඊට එරෙහිව උද්ගෝෂණ ක්‍රියාත්මක කිරීමත් සුලභ කාරණයකි. මෙහි විශේෂත්වය වන්නේ ඉස්ලාම් හෙලාදැකීමෙන් පමණක් නතර නොවී ඉන් පියවර ගනනාවක් ඉදිරියට තබා මෙවැනි තත්වයන්ගෙන් ආරක්ෂාවීමට කාන්තාව හා පිරිමියා සමාජය තුල ක්‍රියාකල යුත්තේ කෙසේද? යන්න ද පැහැදිලිවම පෙන්වා දේ.

මේ සදහා කාන්තාවට පමණක් නොව පිරිමියා සදහා ද ඉස්ලාම් විවිධ නීති පනවයි. එය පහත දැක්වෙන 24-30 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයෙන් ඔබට යම්තාක් දුරකට වටහාගත හැකිවනු ඇත.

“නබිතුමණි! විශ්වාසවන්ත (මූමීන්වරුන් වන) පිරිමීන්ට නුඹ පවසන්න, ඔවුන් තම බැල්ම පහත හෙලාගත යුතුයි. ඔවුන්ගේ රහස්‍ය (ලිංගික) පෙදෙස් ආරක්ෂා කර ගතයුතුයි. එසේ කිරීම ඔවුන් බොහෝ පාරිශුද්ධත්වයට පත් කරනු ඇත.”

ඉහත කාරණයම ශුද්ධ වූ කුර්ආනයේ මීලඟ වාක්‍ය වන 24:31 මඟින් කාන්තාවට ද අවවාද කරයි. ඉහත 24-30 වාක්‍යය සැලකූ විට සෑම (වැඩිවියට පත්) පිරිමියෙකුම පිටස්තර (මව, සහෝදරියන්, දැරියන් හෝ බිරිද හැර වෙනත්) කාන්තාවක් නෙතගැටුනු විට තම බැල්ම පහත හෙලා ගතයුතු යන්න අවධාරනය කරයි. මෙසේ මනුෂ්‍යා වරදට පොළඹවන මුල් පියවර “බැල්ම” පහත හෙලීමට අවධාරනය කිරීම තුලින් ඔහු වරදකට පෙළඹීමේ පලමු අවස්ථාව මඟහරවයි. එතැනින් නතර නොවන ඉස්ලාම් ඉහත වරදට පොළොඹවන දෙවන අවස්ථාව වන ඇදුම් විලාසය පිලිබදව ද කථා කරයි. ඉස්ලාම් මෙම කාරණය සම්බන්ධයෙන් ද දැඩි පිලිවෙතක් අනුගමනය කරන්නේ එය තනිපුද්ගල වශයෙන් සැලකුවද සමාජයක් ලෙස සැලකුවද මූලික අවශ්‍යතාවයක් වන බැවිණි. ඉස්ලාම් මුස්ලීම්වරයෙකුගේ ඇදුම් විලාසය පිලිබදව කථා කිරීමේ දී “හිජාබ්” නැමැති ඇදුම් ක්‍රමයක් හදුන්වා දේ. මෙම මාතෘකාවට අනුබද්ධ කාරණයක් ලෙස ඉස්ලාම් පවසන මෙම “හිජාබ්” ක්‍රමය පිලිබදව ද සමාජයට කිසියම් අවබෝධයක් තිබීම අත්‍යඅවශ්‍ය වේ. ඒ සදහා ඒ පිලිබදව කෙටි විග්‍රහයක් කරන්නේ නම්,

ඉස්ලාම් පවසන “හිජාබ්” යනු කුමක්ද?

ඉස්ලාම් වතාවත්වලට පමණක් සීමා නොවූ පරිපූර්ණ ජිවන මාර්ගයකි. එහි මනුෂ්‍යාගේ මුලික අවශ්‍යතාවයක් වන ඇදුම් පිලිබදව කථා නොකලේ නම් එය එහි විශාල අඩුවකි. නමුත් දිව්‍යමය මගපෙන්වීමක් මුල්කරගත් දහමක් වන ඉස්ලාම් එලෙස කිසිවක් අංශු මාත්‍රයකින්වත් අතපසු කොට නැති බව සනාථ කරමින් ඇදුම් පිලිබදව ද කථා කරයි. අද සමාජයේ කාන්තාවට මෙන්ම පිරිමීන්ට ද විවිධ වූ ඇදුම් විලාසිතාවන් දක්නට ඇත. මේවා අතුරින් ඉස්ලාම් පවසන “හිජාබ්” ක්‍රමය කුමක්ද? යන්න පිලිබදව නිසි අවබෝධය අන්‍ය ආගමිකයන්ට පමණක් නොව බොහෝ මුස්ලීම්වරුන්ට පවා නැත. මේ හේතුව නිසා එම කාරණය එනම් “ඇත්තෙන්ම මොකක්ද මේ හිජාබ් ක්‍රමය?” යන්න පැහැදිලි කරන්නේ නම්,

මෙහි දී ප්‍රථමයෙන් අවබෝධ කර ගතයුතු මුඛ්‍ය කාරණය නම්, “ඉස්ලාම් කාන්තාවන් සදහා ඇදුම් විලාසිතාවක් හදුන්වා දී නැත” යන්නයි. ඉස්ලාම් මෙහිදී හදුන්වා දී ඇත්තේ ඇදුමක තිබිය යුතු මූලික අවශ්‍යතාවයන් පමණි. මෙහිදී අන්‍ය ආගමික පිරිස් අතර මෙන්ම සුළුතරයක් මුස්ලීම්වරුන් අතර ද පවතින අනවබෝධයක් ඇත. එනම් “ඇදුම් සම්බන්ධයෙන් ඉස්ලාම් නීති පනවන්නේ කාන්තාවට පමණයි” යන්නයි. ඉස්ලාම් දහම ඇදුම් සම්බන්ධයෙන් නිති පැනවීමේ දී එය කාන්තාවට පමණක් සීමා කලේ නැත. කාන්තා හා පිරිමි දෙපාර්ශවය සදහාම විවිධ වෙනස්කම් සහිතව නීති පනවා ඇත. එය පහත ආකාරයට වේ.

කාන්තාව :- කාන්තාව ඇදුම් තෝරා ගැනීමේදී එය තම ශරීරයේ හැඩතලයන් පිටතට මතුකොට නොපෙන්වන ආකාරයට පැවතිය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. ශරීර අවයවයන්ගෙන් පිටතට නිරාවර්ණය වී පැවතිය යුත්තේ මුහුණ සහා අතේ මැනික්කටුව දක්වා වූ පෙදෙස පමණි. සම්පූර්ණයෙන් තම ශරීරය වසන් වන ආකාරයට ඇදුම් අදින ලෙස ඉස්ලාම් අන නොකරයි. නමුත් මුළු ශරීරයම වැසෙන ආකාරයට ඇදුම් අදින සමහරක් කාන්තාවන් ලාංකීය සමාජයේ දකින්නෙමු. එවැනි ක්‍රියාවන් ඉස්ලාම් නොවන අතර එය ඉස්ලාම් යයි කිසිවකු සිතන්නේ නම් එය අනවබෝධයක් පමණි. මෙය තහවුරු කිරීම සදහා ශුද්ධ වූ නබිවදනක් (හදීසයක්) ඔබගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. එනම්,

  • දිනක් නබිතුමාණන් සහා එතුමගේ බිරිද වන අයිෂා (රලි) තුමිය. නිවස තුල රුදී සිටින අවස්ථාවක එම ස්ථානයට අයිෂා (රලි) තුමියගේ සහෝදරිය වන අස්මා (රලි) තුමිය පැමිණෙන ලදී. එම අවස්ථාවේ අස්මා (රලි) තුමිය ඉතා සිනිදු (තම ශරීරයේ හැඩතල පිටතට මතු වී පෙනෙන ආකාරයේ) ඇදුමක් ඇද සිටියාය. මෙය දුටු නබිතුමානන් “අස්මා!, කාන්තාවක් වැඩිවියට පත්වුවා නම් තම ශරීරයේ මේ මේ ප්‍රදේශ හැර අනිකුත් ප්‍රදේශයන් පිටතට පෙනීම සුදුසු නැහැ.” යනුවෙන් පවසන ගමන් තම අතින් තම මුහුණ සහා අතේ මැනික්කටුව දක්වා පෙදෙස පෙන්වන ලදී.

දන්වන්නේ – අයිෂා (රලි), ග්‍රන්ථය – අබූදාවුද්, අබූහාතම්

ඉහත හදීසයට අනුව කාන්තා ඇදුමක සීමාව පහසුවෙන් අවබෝධ කරගත හැක. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා ආදර්ශයක් පවසනවා නම්, එය වර්ථමාන බෞද්ධ සිල්මාතාවක් අදින ඇදුමට බොහෝදුරට සමාන වන අතර හිස සහා හිසකෙස් වැසී පැවතීමද අනිවාර්ය වේ. මීට අමතරව කාන්තාවගේ ඇදුම් විලාසය පිරිමින්ගේ ඇදුම් විලාසයට සමාන නොවීම ද අනිවාර්ය අංගයක් වේ. මීට අමතරව ඉස්ලාම් ඇදුම් සම්බන්ධයෙන් එහි වර්ණය පිලිබදව එක් කොන්දේසියක් පනවයි. එනම් දුඹුරු පාටට හුරු “කහ” වර්ණය සහිත ඇදුම් ඇදීම ඉස්ලාම් තහනම් කරයි. මේ හැර වෙන කිසිදු කොන්දේසියක් නැත. ඒ අනුව ඉහත කොන්දේසිවලට අනුකූලව ඕනෑම ඇදුමක්, ඕනෑම වර්ණයකින් ඇදීමේ නිදහස ඉස්ලාම් කාන්තාවට ලබාදී ඇත.

පිරිමි :- පිරිමින් ද තම ඇදුම් තෝරා ගැනීමේ දී එය තම ශරීර හැඩතලයන් පිටතට මතුකොට නොපෙන්වන ආකාරයට පැවතිය යුතුය යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. නමුත් එහි සීමාව කාන්තාවට සාපේක්ෂව බොහෝසෙයින් අඩුය. එය තම නාභියේ සිට කලව ප්‍රදේශය දක්වා වූ ප්‍ර දේශයට සීමාවේ. අනිකුත් කොන්දේසි කාන්තාවට මෙන්ම වේ. එනම් කාන්තාවට සමාන වන ආකාරයට ඇදුම් තොරාගත නොහැක. එසේම ඉහතින් සදහන් කල කහ වර්ණයෙන් ඇදුම් ඇදීමට නොහැක. මේ කොන්දේසිවලට අනුකූලව ඕනෑම ඇදුමක් ඕනෑම වර්ණයකින් ඇදීමේ සම්පූර්ණ නිදහස පිරිමියාට ද ඉස්ලාම් ලබාදී ඇත.

මෙම ඉස්ලාමය කොන්දේසි දෙස මතුපිටින් බලන කෙනෙකු හට විශේෂයෙන් වර්ථමාන විලාසිතාවන් තුල ගිලී වල්මත් වූ පිරිස හට මෙම කොන්දේසි නිශ්පල 20 වන සියවසයට නොගැලපෙන කාරණයන් ලෙස පෙනෙනු ඇත. නමුත් මේ තුල ඉස්ලාම් තහවුරු කර ඇත්තේ තනිපුද්ගල මෙන්ම සමස්ථ සමාජයක ආරක්ෂාව බව බුද්ධිය ඇති ඕනෑම කෙනෙකු හට පහසුවෙන් අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එය ලොව තුල විලාසිතා නමින් නිර්වත් වන සමාජය හා ඉස්ලාම් පවසන හිජාබ් ක්‍රමය තුල ජීවත් වන සමාජය තුල කාන්තාවන්ට සිදුවන අතවරයන් හා හිංසනයන් පිලිබදව සංසන්ධනාත්මකව බැලුවේ නම් මනාව අවබෝධ කරගත හැකි වනු ඇත. මෙම තත්වය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට අද ලොව දියුණු සංස්කෘතියක් හා ඇදුම් විලාසිතාවන් පවතින රටක් වෙත ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ඒ අද ලොව බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලාංකීය තාරුණ්‍යයටත් ආදර්ශමත් විලාසිතාලන්තයක් වූ ඇමරිකාව වෙතයි. ඇමරිකාවේ සංස්කෘතියට හා විලාසිතාවන්ට ආවඩන්නට කවදත් සැදීපැහැදී සිටින අප පහත විමර්ශන වාර්ථාව පිලිබදව වරක් නොව දෙවරක් සිතා බැලිය යුතුය.

ඇමරිකානු අභ්‍යන්තර විමර්ශන ඒකකය විසින් 1990 හා 1996 වර්ෂයට අදාලව නිකුත් කල වාර්තාවේ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් සදහන් වූ කරුණු සාරංශ කොට පහතින් ඔබගේ අවධානයට යොමු කරමි.

1990 වර්ෂයේ පමණක් ඇමරිකාව තුල ස්ත්‍රී දූෂණ 1,02,555 සිදුවූ බවට වාර්ථා වූ අතර එය මුළු සංඛ්‍යාවෙන් 16% ක වාර්ථාවීමකි.

  • එය සිදුවූ මූළු සිදුවීමන්ගෙන් වාර්තා වූ 16% ක් පමණක් වේ.
  • ඒ අනුව මුළු සිදුවීම් සංඛ්‍යාව ආසන්න වශයෙන් 6,41,000 පමණ වේ.
  • මේ අනුව දිනකට සිදුවන ප්‍රමාණය දළ වශයෙන් 1,756 කි.

1996 වර්ෂයේ පමණක් ඇමරිකාව තුල ස්ත්‍රී දූෂණ සිදුවීම් 9,90,322 ක් වේ.

  • ඒ අනුව දිනකට සිදුවූ ගනන 2,713 ක් පමණ වේ.
  • එසේ නම් පැයකට 113ක් සිදුවේ.
  • ඒ අනුව දළ වශයෙන් සෑම විනාඩියකටම ස්ත්‍රී දූෂණ 02 ක් සිදුවේ.

ඉහත සංඛ්‍යාලේඛන ඉදිරිපත් කල ඔවුන් තවදුරටත් පවසා සිටියේ “ඉහත වරදකරුවන්ගෙන් 10% ක පමණ පිරිසක් තමා නීතියේ රුහැනට හසු කරගෙන දඩුවම් කිරීමට හැකි වී ඇත්තේ.” යනුවෙනි.

මෙහි දී ඔබේ අවධානය යොමු වියයුතු විශේෂ කරුණක් ඇත. එනම් ඇමරිකානු දණ්ඩනීතිය අනුව ස්ත්‍රී දූෂකයෙකු හට දෙන උපරිම දඩුවම වසර 07 ක සිර දඩුවමකි. එනමුත් (ශ්‍රී ලංකාවේ මෙන්ම) රටේ විවිධ විශේෂ අවස්ථාවල් මෙන්ම විනිසුරුතුමාගේ අනුකම්පාව වැනි කාරණා පදනම් කරගෙන වසරක පමණ කාලයකින් ඔහුට ඉන් නිදහස් විය හැක. මෙහි දී මා මතුකරන ප්‍රශ්නය මෙලෙස නීති ක්‍රියාවට නැංවීම තුල ඉහත ආකාරයේ වැරදි සමාජයේ අඩුවෙනවාද? වැඩිවෙනවාද? එය මා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ යයි සිතමි. මන්ද එම ප්‍රශ්නයට පිලිතුර 1990 හි අගයට වඩා 1996 හි අගයෙහි සීඝ්‍ර වර්ධනයක් පෙන්වීම තුල මනාව පිළිඹිබු වේ.

දැන් ඉහත ඇමරිකාව තුල ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක වෙනවා යයි ද එම සමාජය ඉස්ලාමීය අනපනත්වලට අනුකූලව ජීවත් වෙනවා යයි උපකල්පනය කලේ නම්, එම සමාජයේ කාන්තාවක් පිරිමියෙකුගේ නෙතගැටුනේ නම් ඔහු තම බැල්ම පහත හෙලාගනු ඇත. ඒ තුලින් තම මනසෙහි ඇති වන වරදකාරී සිතුවිලිවලින් මෙන්ම වරදට පෙළඹවීමන්ගෙන් ද වැලකීයනු ඇත. එසේම ඉස්ලාමීය කාන්තාවක් ඉහතින් සදහන් කල ආකාරයේ “හිජාබ්” නැමැති ඇදුම් විලාසය අනුගමනය කිරීම මඟින් පිරිමීන් ඉහත අකාරයේ වැරදි මඟට පෙළඹවීමන්ද සමාජයේ නැති වී යයි. මේ සියල්ල අභිබවා සිදුවීමක් සිදුවුයේ නම් ඒ සදහා පැහැදිලිවම ඉස්ලාම් මරණ දඩුවම අන කිරීම තුල එයට නිසි දඩුවම ලැබෙන අතර මෙවැනි වරදකට පෙළඹෙන අවස්ථාව තවත් මඟහැරී යයි. මෙවන් තත්වයක් තුල මා ඉහතින් මතුකල ප්‍රශ්නය නැවතත් ඔබෙන් විමසමි. එනම් මේ ආකාරයට ඉස්ලාමීය නීති රටක (ඇමරිකාවම සලකමු) ක්‍රියාත්මක වන විට එම සමාජය තුල වැරදි අඩුවෙනවාද? වැඩිවෙනවාද?. රටක නීතියක් ක්‍රියාත්ම වියයුත්තේ එම සමාජය ඉන් ආරක්ෂා වන ආකාරයටය. (මේ පිලිබදව වැඩි විස්තර ඔබට “ජාතික සිරකරු දිනය” යන ලිපිය තුලින් කියවීමට හැක) නමුත් අද බොහෝ රටවල ක්‍රියාත්මක වන නීති දෙස බලන විට එහි ශුද්ධ වූ අරමුණ ඉටු වෙනවාද? යන සැකය මතුවේ. එපමණක් නොව වර්ථමාන දණ්ඩනීති දෙස බලන විට ඒවා මඟින් මෙවැනි සමාජ විරෝධි ක්‍රියාවන් සදහා සමාජය පොළොඹවනවාද? යන සැකය ද මතුවේ.

ඉහත කරුණූවලට අනුව කුමන දහමක් දර්ශනයක් අනුගමනය කලත් එය හුදෙක් වතාවත්වලට හා ඇදහිලිවලට පමණක් සීමා නොවියයුතු යන්න පැහැදිලිය. එය තනිපුද්ගල වශයෙන් ගත්තද සමාජයක් ලෙස ගත්තද එය යහපත් මෙන්ම පලදායි ආකාරයට පැවතිය යුතුය. එම අවශ්‍යතාවය ඉස්ලාම් මනාව සපුරා ඇති බව ඉහතින් සදහන් කල නිදසුන් දෙක තුලින්ම ඔබට හොදින් අවබෝධ කරගත හැකිවනු ඇත. ඒ අනුව ඉස්ලාම් අසමසම දහමක් යන්න පැවසීම වඩාත් නිවරුදි හා කාලීන විග්‍රහයක් යන්න ද පැහැදිලි වනුඇත. ඉහත කරුණු කාරණා තුලින් ඉස්ලාම් කියාදෙන මූලික පාඩම “අකුසල්වලින් මීදි කුසල් ක්‍රියාවන් හි නිරතවීමටත්, වැරදි ක්‍රියාවන්ගෙන් මිදී යහපත් ජීවිතියක් ගොඩනැගීමටත්, ඇදහිලි හා වතාවත් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, සියළු ක්ෂේත්‍ර ආවර්ණය කල ජීවන මාර්ගයක් පැවතිය යුතු බවත්ය.” එවන් වූ ජීවන මගක් තුල සමස්ථ ලෝකයාටම ප්‍රායෝගික හා පලදායි ජීවන මාර්ගයක් නිර්මාණය කරදීමේ අභියෝගය ඉස්ලාම් දහමට ජයගැනීමට හැකි වී ඇත. ඒ අනුව ලොව අසමසම දහම “ඉස්ලාම්” දහම පමණි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *