ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් කුමක්ද?

4

මෙම ලිපිය තුලින් අද කතා කිරීමට අදහස් කරන්නේ ‘ඉස්ල‍ාම් දහමේ මූලාශ්‍රයන් කුමක්ද?’ යන කාරණය පිළිබඳවයි. මේ විෂය පිළිබදව නිසි අවබෝධයක් නොමැති මුස්ලීම් හා මුස්ලීම් නොවන පිරිස් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් බවට විවිධ කරුණු කාරණා සමාජය තුල කතා කරමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබේ. එපමණක් නොව මුස්ලීම් නොවන ප්‍රජාව අතුරින් බහුතරයක් මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණය කරමින් ‘මෙයයි ඉස්ලාම්’ යන පදනමේ හිඳ ඉස්ලාම් දහම විවේචනය කරන ආකාරයක් ද දක්නට ලැබේ. මෙයට සරල නිදසුනක් පවසන්නේ නම්,

2010.05.20 දින ‘රන් FM’ නම් ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ එහි නිවේදකයා…

‘ඉස්ලාම් දහමේ ආරම්භයේ පුරුෂයාට විවාහ 07 ක් කළ හැකි බවට තිබුණු අතර එය පසු කාලීනව 04 ක් බවට සංශෝධනය කරන ලදී’

…යැයි පැවසීම සදහන් කළ හැක. මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන් ම අසත්‍ය එසේම බරපතල  වූ ප්‍රකාශයකි. (ඒ පිළිබඳ ව මේ අඩවිය තුල සවිස්තරව ඉදිරියේ දී කතා කරන්නට අදහස් කරමි.)

මෙවැනි මතවාදයක් ප්‍රකාශ වීමට ආගමික ඉගෙන්වීමන් පිලිබදව තිබෙන අනවබෝධය මෙන්ම එම ඉගෙන්වීමන් ලබා ගත හැකි තැන් පිළිබඳ ව තිබෙන අනවබෝධය ද ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකාව බහු ආගමික රටක් වන නිසාත්, මෙවැනි මාතෘකා අප සමාජයේ උණුසුම් මාතෘකා වන නිසාත් මේ විෂය පිළිබඳ ව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න සමාජය දැනුවත් කිරීම මුස්ලීම් ප්‍රජාවගේ කාලීන වගකීමකි. එම වගකීම අවබෝධ කරගත් යහමඟ අඩවිය මෙම ලිපිය තුලින් ‘ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් කුමක්ද?’ යන කාරණය කෙරෙහි මෙතැන් සිට ඔබේ අවධානය යොමු කරමි. ලොව බොහෝ ආගම් හා දර්ශනයන් සඳහා එහි ඉගෙන්වීමන් පවසන ග්‍රන්ථයන් ඇත. ඒවා මූලාශ්‍ර ලෙස අප හදුන්වන්නෙමු. උදාහරණයක් ලෙස බයිබලය, ත්‍රිපිටකය, කුර්ආනය, භගවත් ගීතය… යනාදිය එවැනි කිහිපයකි. කිසියම් ආගමක ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේ දී එම ආගමික ලියවිල්ලට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ලොව සෑම ආගමක් දර්ශනයක් සදහාම මෙවැනි ආරම්භයේ සිට ආරක්ෂා වූ ලිඛිත ග්‍රන්ථයන් දක්නට නොවීම ද මෙහි සදහන් කළ යුතුම කාරණයකි. නමුත් එවැනි ආගම් හා දර්ශන පවා පසුකාලීන ව තම මතවාදයන් හා ඉගෙන්වීමන් ලේඛන ගත කොට ආගමික මූලාශ්‍ර ලෙස ඉදිරිපත් කරන ආකාරයක් අද වනවිට දක්නට ඇත. එසේ පසු කාලීනව ලේඛන ගත කළ එම ග්‍රන්ථයන් හි සදහන් කරුණු කොතරම් දුරට නිවරුදි ද යන්න පිළිබදව සමාජය තුල ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ වාද විවාදයන් පවතිනවා යන්න තිත්ත වූ ඇත්තක් බව පමණක් මෙහි සදහන් කරමින් මෙතැන දී ඒ පිළිබඳ ව කතා නොකොට ලිපියේ මාතෘකාව වෙත යොමු වෙමි. ලොව පුරා පවතින සියලු ආගමික ඉගෙන්වීමන් අද වන විට ප්‍රධාන ආකාර දෙකකට සමාජය තුල ආරක්ෂා වී ඇති ආකාරයක් දක්නට ලැබේ. එනම්,

  • ලිඛිතව (ලේඛන ගතව)
  • මුඛපරම්පරාගතව

අද වනවිට සෑම දහමකම දර්ශනයකම මූලාශ්‍රයන් ලිඛිත ග්‍රන්ථ ලෙස පැවතුනත් එහි බොහෝ මූලාශ්‍රයන් හි ආරම්භ ස්වභාවය මුඛපරම්පරාගත ය. නමුත් ලේඛන කලාවේ දියුණුවත්, මුඛපරම්පරාගතව පැවතීමේ ඇති වන විකෘතිතාවයත් නිසා සිදු වන අපහසුතාවයන් හේතු කොටගෙන අද වන විට සියලු මූලාශ්‍ර  ලේඛනගත ව ඇත. අද වනවිට ආගමික ඉගෙන්වීමන් ලේඛනගතව සමාජය හමුවේ ඉදිරිපත්ව ඇතත් තවමත් ‍බොහෝ ආගම්වල විශ්වාසයන් මුඛපරම්පරාගතව ද පවතිනවා යයි මා මෙහි පැවසූවහොත් එය වරදක් හෝ ඔබට පුදුමයට කාරණයක් නොවනු ඇත. එකම දහම හෝ දර්ශනය මේ ආකාරයට පුස්තකයක් ලෙසත් මුඛපරම්පරාගතවත් එකම සමාජය තුල පැවතීම ප්‍රබල  මත ගැටුමන්ට ද හේතු වී ඇත. මෙය අප රටේ ද බොහෝ ආගමික විශ්වාසයන් තුල දක්නට ලැබෙන පොදු තත්වයකි. මේ ආකාරයට එකම දහමක ඉගෙන්වීම වූවද මේ ආකාරයට ප්‍රකාශ වීම තුල බොහෝ අවස්ථාවල මේ දෙක අතර පරස්පරතාවයන්, නොගැලපීමන් හා ගැටීමන් ඇතිවේ. මෙයට ප්‍රධාන හේතුව ලිඛිත ග්‍රන්ථය කලින් කලට වෙනස් නොවූවත්, මුඛපරම්පරාගතව (වාචිකව) පැවත එන ඉගෙන්වීමන් මිනිසාගේ බුද්ධි මට්ටම හා එයට ඔහුගේ ඇති කැමැත්ත අකමැත්ත වැනි කාරණයන් මත නිරන්තරයෙන් වෙනස්වීමන්ට භාජනය වීම ය. අදත් මුඛපරම්පරාගතව පවතින ආගමික විශ්වාසයන්ට වසර දහස් ගණනක දීර්ඝ ඉතිහාසයක් ඇත. එවැනි තත්වයක එම ඉගෙන්වීමන් හි විකෘති වීමේ සම්භාවිතාවය කොතරම් ද යන්න සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට ද අවබෝධ කරගැනීම අපහසු නොවේ. මෙවැනි පසුබිමක ලිඛිත ග්‍රන්ථ හා වාචික පැවත ආ කරුණු අතර පරස්පරතාවයන් හා ගැටීමන් ඇති වීම පුදුමයක් නොවේ. අවාසනාවකට ඉහත ඉරණමින් ශ්‍රී ලාංකීය ඉස්ලාම් දහමට ද මිදීමට හැකි වුයේ නැත. මන්ද ඉස්ලාම් ශ්‍රි ලාංකීය අපට ප්‍රථමයෙන් ප්‍රකාශ වන්නේ අරාබි දේශයෙන් ශ්‍රී ලංකාවට වෙ‍ළදාම සදහා පැමිණි වෙළෙදුන් මඟිනි. එය හුදෙක් වාග් (මුඛ) ප්‍රකාශනයන් ලෙස මිස ලිඛිත සාක්ෂි අනුව නොවේ. ඒ අනුව ආරම්භ කාල ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් ඉස්ලාමය අවබෝධ කරගත්තේ එවැනි වෙළදුන්ගේ ප්‍රකාශනයන් හා ක්‍රියාකලාපයන් තුලින් පමණි. නමුත් පසු කාලීනව පිරිසිදු දහමේ ඉගෙන්වීමන් ලිඛිත ග්‍රන්ථ ලෙස ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් අතට පත්වෙද්දී තමන් පිලිගෙන පිලිපදින දර්ශනය හා එහි සැබෑ ඉගෙන්වීමන් අතර යම් යම් පරස්පරතාවයන් පවතින බව අවබෝධ විය. ඒ අනුව ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් බහුතරයක් තම දහම් දැනුමේ දුර්වලතාවයන් අවම කරගත්තේය. මේ අනුව පැහැදිලි වන කාරණය නම්, කිසියම් දහමක්, දර්ශනයක් නිසි ආකාරව අවබෝධ කරගැනීම සදහා එහි ලිඛිත ග්‍රන්ථය වැදගත් සාධකයක් යන්නයි. උදාහරණයකට කිසිවකු කිතුණු දහම ඉගෙන ගන්නේ නම් එය කිතුණු සමාජයේ විශ්වාසයන් හා පිළිගැනීමන් පදනම් කරගෙන ඉගෙන ගත නොහැක. එය බයිබලය තුලින් ‍ඉගෙන ගත යුතු ය. එසේම කිසිවකු බුදුදහම ඉගෙන ගන්නේ නම් එය බෞද්ධ සමාජයේ විශ්වාසයන් හා පිළීගැනීමන් පදනම් කර ගෙන ඉගෙන ගත නොහැක. එය ත්‍රිපිටකය පදනම් කරගෙන ඉගෙන ගත යුතු ය. ඒ ආකාරයට කිසිවකු ඉස්ලාම් දහම ඉගෙන ගන්නේ නම් එය මුස්ලීම් සමාජය දෙස බලා ඉගෙන ගත නොහැක. එයට ඉස්ලාම් දහමේ මූලාශ්‍රය පරිශීලනය කිරීම අත්‍යාවශ්‍ය වේ. ඉස්ලාමීය මූලාශ්‍ර පිළිබඳ ව සදහන් කිරීමේදී  මෙතැන දී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් ද ඇත. එනම්, අද මුස්ලීම් නොවන බොහෝ පිරිස් අවබෝධ කරගෙන සිටින්නේ ඉස්ලාමීය මුලාශ්‍රය ‘ශුද්ධ වූ කුර්ආනය’ පමණක් බවටයි. මෙය වැරදි අවබෝධයකි. ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. එනම්,

මේ දෙක පිලිබදව මෙහි කෙටි විග්‍රහයක් කරන්නේ නම්,

  •  කුර්ආනය – ‘කුර්ආනය’ යනු මීට වසර 1400කට පෙර ආරාබි දේශයේ මුහම්මද් නම් මිනිසෙකු හට දේව දූතයෙකු මඟින් ප්‍රකාශ වී එසේ පහල වූ දේව වාක්‍යයන් එක් කොට ලියන ලද ග්‍රන්ථයයි. මෙම මුහම්මද් නම් මනුෂ්‍යා හට වසර 23ක කාලයක් පුරාවට විටින් විට පහල වූ දේව අණපනත්, අවවාද, අනුශාසනා, අනාවැකි… යනාදියෙහි එකතුවකි. මෙය ප්‍රකාශ වූ මොහොතේ ම ලේඛණ ගත වූ ග්‍රන්ථයකි. මෙහි පරිච්චේද 114ක් ඇති අතර වාක්‍යයන් 6000කට වැඩි සංඛ්‍යාවක් ඇත. මෙම කුර්ආනයේ ඇත්තේ දෙවියන් විසින් පවසන ලද කරුණු පමණක් වන බැවින් එය ‘ශුද්ධ වූ කුර්ආනය’ යනුවෙන් හදුන්වනු ලැබේ.

(ඔබේ අවධානයට – මෙම වෙබ් අඩවිය තුල කුර්ආන් වාක්‍යයක් සදහන් කිරීමේ දී එම වාක්‍ය ආසන්නයේ (33-21) ලෙස සදහන් කර තිබෙනවා ඔබ දැක ඇත. ඉන් අදහස් කරන්නේ ශුද්ධ වූ කුර්ආනයේ 33 පරිච්චේදයේ 21 වන වාක්‍යයෙන් එය පවසන බවයි.)

  • හදීස් – ඉහත සදහන් ආකාරයට ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මුහම්මද් නම් මනුෂ්‍යයා හට දේව දූතයෙකු මඟින් ප්‍රකාශ වූ පසු එම දේව නියෝගය මිනිස් සමාජය හමුවේ ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට දේව වක්තෘවරයා හෙවත් නබිවරයා සමාජයට දෙන ආදර්ශය ‘හදීස්’ වේ.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව දේව පණිවුඩය පහල වූ එම මිනිසා වක්තෘවරයෙකු හෙවත් නබිවරයෙකු ලෙස හදුන්වයි. ඒ අනුව මුහම්මද් (සල්) ලොව ප්‍රථම නබිවරයා නොවන අතර ආරම්භ මිනිසාගේ පටන් ලක්ෂයකටත් අධීක සංඛ්‍යාවක් නබිවරුන් හෙවත් වක්තෘවරැන් එවන ලද බව ඉස්ලාමීය ඉගෙන්වීමයි. මේ ආකාරයට පැමිණි වක්තෘවරුන්ගෙන් මුහම්මද් (සල්) තුමාණන් අවසාන වක්තෘවරයා හෙවත් නබිවරයා බව ශුද්ධ වූ කුර්ආනය අවධාරනය කරයි. මෙම නබිවරයා ශුද්ධ වූ කුර්ආනයට දෙන අර්ථ කථන හා නබිවරයා තම දෛනික දිවිය තුල සමාජයට පෙන්වන ආදර්ශයන් ‘හදීස්’ යනුවෙන් හදුන්වන අතර එයත් ඉස්ලාම් දහමේ ප්‍රධාන අංගයක් බව පහත කුර්ආන් වාක්‍ය තුලින් ද පැහැදිලි වේ. එනම්, ඉස්ලාමී ‍ඉගෙන්වීමට අනුව එනම් ශුද්ධ වූ කුර්ආනය පවසන ආකාරයට

,අප මෙම කුර්ආනය නබිවරයාට පහල කලේ එය ඔහු පැහැදිලි කිරීම පිණීසයි.,

ශුද්ධ වූ කුර්ආනය 12-6

“මෙම නබිවරයා ස්වමත කිසිවක් ප්‍රකාශ නොකරයි. ඔහු පවසන සියල්ල ‘වහී’ (දේව වාක්‍ය) වේ.

ශුද්ධ වූ කුර්ආනය 53-3, 4

“මෙම නබිවරයා හමුවේ නුඹලාට අලංකාර ආදර්ශයන් ඇත්තේම ය”

ශුද්ධ වූ කුර්ආනය 33-21

ඉහත පළමු කුර්ආන් වාක්‍යයෙන් දෙවියන් පවසන්නේ මෙම කුර්ආනය මුහම්මද් (සල්) තුමාණන් හට පහල ක‍ළේ එය එතුමා පැහැදිලි කිරීම පිණිස බවයි. එසේ නම් එතුමාගේ පැහැදිලි කිරීමන් ද ඉස්ලාම් වේ. මෙයට සරල නිදසුනක් පවසන්නේ නම් ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ තැන්වල වත්කමක් ඇති මුස්ලීම්වරුන්ට “සzකාත්” (අනිවාර්ය බද්ධක්) දෙන ලෙස අණ කරයි. නමුත් කොතරම් ප්‍රමාණයක් දිය යුතු ද යන්න එහි සදහන් නොවේ. මෙම කුර්ආන් වාක්‍යය මුහම්මද් (සල්) තුමාණන් පැහැදිලි කිරීමේ දී මුදල්, රන්භාණ්ඩ, සතුන්, ඉඩම්, ධාන්‍ය… යනාදී සදහා වෙන වෙන ම සංඛ්‍යාත්මකවම පවසයි. ඒ අනුව කිසිවකු සzකාත් දීමට නම් කුර්ආනය මෙන් ම නබිතුමාගේ ආදර්ශයන් (හදීසය) ද ගත යුතු ය. එසේම දෙවන කුර්ආන් වාක්‍යයෙන් මේ නබිවරයා පවසන සියල්ල දේව පණිවුඩ බවටත් තෙවන වාක්‍යයෙන් ඔහු හමුවේ අලංකාර වූ ආදර්ශයන් ඇති බවටත්  දෙවියන් විසින්ම සහතිකයක් ලබා දේ. ඒ අනුව එතුමාගේ ආදර්ශයන් එනම් එතුමාගේ ක්‍රියාවන්, එතුමා පවසන දෑ සහ එතුමාගේ අනුමත කිරීමන් යන මේ තුන්වර්ගයම හදීස් වේ. මෙම හදීසයන් ද වර්තමානයේ ග්‍රන්ථාරූඪව පවතින අතර එය බොහෝ විට එක්රැස් කරන ලද විද්වතුන්ගේ නම්වලින් පවතී. උදාහරණයකට නම් කිහිපයක් සදහන් කරන්නේ නම් බුහාරි, මුස්ලීම්, තිර්මිදි, අහ්මද්, අබුදාවූද්, ඉබුනුමාජා, බයිහකී… යනාදිය මින් කිහිපයකි. (ඔබේ අවධානයට – මෙම වෙබ් අඩවිය තුල හදීසයන් සදහන් කිරීමේ දී එය අන්තර්ගතව තිබෙන ග්‍රන්ථය හා එම ග්‍රන්ථයේ එය කී වෙනි හදීසය ද යන්න සටහන් කරනවා ඔබ දැක ඇති) මේ අනුව ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන්නේ ශුද්ධ වූ කුර්ආනය හා හදීසය හෙවත් නබිතුමාණන්ගේ ආදර්ශයයි. ඉස්ලාම් දහම යයි කිසිවකු කුමක් හෝ පවසන්නේ නම් එය ඉහත දෙකෙහිම හෝ එකක තිබීම අත්‍යාවශ්‍ය වේ. මේ දෙකට පරිභාහිරව කව්රුන් කුමක් පැවසුවත්  එය ඉස්ලාම් නොවේ. එසේ නම් කිසිවකු ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් අධ්‍යනය කරන්න සිතන්නේ නම් එය ඉහතින් සදහන් කළ ආකාරයට මුස්ලීම් සමාජය නිරීක්ෂණය කිරීම තුලින් නිවරුදිව සිදු කළ නොහැක. ඔහු කළ යුතු වන්නේ ශුද්ධ වූ කුර්ආනය හා හදීසය හොදින් පරිශීලනය කර ඒ තුලින් ඉස්ලාම් දහම අවබෝධ කර ගැනීමයි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා) අබූ අර්ෂද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 4 යි.

  1. අරෝෂ සමරසේකර 2017-02-12 at 22:10

    මෙවැනි පැහැදිලිකිරීම් වටිනවා. ඉස්ලාම් ආගම ගැන අධ්‍යයනය කරන අප වැනි ආධුනිකයන්ට හොඳ පැහැදිලිවීමක් ලැබුණා. එම ඉස්ලාම් පොත් පත් සිංහල භාෂාවෙන් අපට ලබා දෙන්න පුළුවන් නම් බොහොම වටිනවා. වැඩිදුර ඉගෙනීම පිණිස. ස්තුතියි.

    • අබූ අර්ෂද් 2017-02-19 at 16:59

      ඔබේ උනන්දුවට බොහෝමත්ම ස්තූති, මෙම වෙබ් අඩවිය කිසිදු සංගමයක් හෝ සංවිධානයක් හා සම්බන්ධ නොවන මාගේ පුද්ගලික වෙබ් අඩවියක් නිසා ඔබට අවශ්‍යතාවයට මට සෘජුවම මැදිහත්වීමක් කල නොහැක. නමුත් එවැනි උපකාර කරන සමහරක් ආයතන හා ස්වෙච්චා සංවිධාන අප රටේ ඇත. එවැනි තැනකට ඔබව සම්බන්ධ කිරීමක් කරන්න මාහට උත්සාහ කල හැකි.
      ඊට අමතරව මෙම අඩවියට සමගාමීව මා කරන ශුද්ධ වූ කුර්ආනය http://www.sriquran.com අඩවිය තුලින් ශුද්ධ වූ කුර්ආනය කියවීමට ද හැක.

  2. harsha senarathna 2017-02-04 at 08:08

    mm hemogenma prsnayak ahnnm hemogenma me wishwage kelawara mokadda

    • අබූ අර්ෂද් 2017-02-04 at 10:01

      ඔබ මෙම පැනයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?. ඔබ විමසන මේ පැනය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ කුමක් පවසා ඇත්තේද? යන්න ඔබ දන්නේද?

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *