ඉවසීම – ඉස්ලාම් කියාදෙන ආදර්ශ

0

මිනිස් දිවිය තුල අනිවාර්යයෙන්ම රුකිය යුතු අත්‍යඅවශ්‍ය ගුණාංගයක් වේ නම් ඒ “ඉවසීමයි”. ජීවිත කාලය පුරාවට විවිධ අවස්ථාවන් හි මිනිසා විවිධ බාධක දුෂ්කරතාවයන් සදහා නොසිතූ නොපැතූ මොහොතයන් හි මුහුණපෑමට සිදුවේ. ඒවායින් සමහරක් ඔහු පහසුවෙන් ජයගන්නා නමුත් බොහෝ අවස්ථාවල ඔහුට එලෙස ජය ගැනීමට නොහැකිව තම දිවිය තුල දැඩි අපහසුතාවයන්ට හා අසරණභාවයන්ට පත්වේ. මෙවන් වූ දුක්බර අවස්ථාවන් හි මනුෂ්‍යා තුල පැවතිය යුතු අත්‍යඅවශ්‍ය ම ගුණාංගය තමා “ඉවසීම”. මිනිසාට ලෞකික දිවිය තුල නිරන්තරයෙන් ඇති වන දුක, අහිමිවීම්, මුලාව, අනපේක්ෂිත වෙනස් වීම්, දුරස්වීම්… යනාදී දුක්බර අවස්ථාවන් හි ඔහු යථාතත්වයට ගෙන එනු ලබන්නේ ද මේ “ඉවසීමයි”. එවන් වූ මෙම “ඉවසීම” පිලිබදව ඉස්ලාම් දහම පුළුල් ලෙස කථා කරන අතර ඒ පිලිබදව කථා කලයුතුම කාල වකවානුවක් ලෙස මේ ගෙවීයන වකවානුව සදහන් කල හැක. එසේ මා පැවසීමට හේතුව මෙම ලිපියෙහි දෙවන කොටසින් කථා කිරීමට පසෙක “ඉවසීම” පිලිබදව ඉස්ලාමීය ඉගෙන්විම කුමක්ද? යන්න ප්‍රථමයෙන් අවධානය යොමු කිරීමට අදහස් කරමි.

මෙම ඉවසීමේ ගුණාංගය පිලිබදව නබිතුමාණන් වරක් මෙසේ පවසන ලදි.

“ඉවසීම යන්න දීප්තිමත් ආලෝකයක් බඳුවේ.”
මුලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

මෙම නබිවදන බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම් එම ප්‍රකාශය තුල බොහෝ සත්‍යයන් ඔබට අවබෝධ වනු ඇත. සරලව පැහැදිලි කරන්නේ නම්, අප සමාජයේ නොඉවසිල්ලෙන් කටයුතු කරන පුද්ගලයෙකු පිලිබදව මොහොතක් විමසා බලන්න. ඔවුන් කිසියම් කාරණයක් සම්බන්ධයෙන් කලබල වූ විට කරන්නේ කුමක්ද?, කියන්නේ මොනවාද?, යන්නේ කොහිද? යන කිසිවක් නොදැන ඒ මොහොතේ ඉතා ආවේගශීලීව ක්‍රියා කරයි. මේ නිසා ඔහු ජීවිතය තුල දැකිය යුතු බොහෝ යථාර්ථයන් ඔහුට මඟහැරේ. ඔහුගේ ජීවිතය අඳුරු වලාවකින් වැසී පවතී. මේ නිසා පසුකාලීනව තමන් ක්‍රියාකල ආකාරය පිලිබදව සිතා ඔහු පසුතැවේ. නමුත් “ඉවසීමෙන්” ක්‍රියාකරන පුද්ගලයා එසේ නොවේ. ඔහු සියළු කාරණයන් පිලිබදව හොද සැලකිල්ලෙන් හා අවබෝධයෙන් ක්‍රියාකරයි. ඔහු ජීවිතය යථාර්තවාදී ලෙස දකිනු ලබයි. ඒ අනුව ඉහත හදීසයේ සදහන් ආකාරයට “ඉවසීම යන්න ආලෝකයකි” යයි පැවසීම ඉතා ගැඹුරු අර්ථයන් සරල විවරණයක් යන්න ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැක. මේ “ඉවසීම” පිලිබදව අල්ලාහ් (දෙවියන්) පැවසීමේ දී ශුද්ධ වූ කුර්ආනයේ 13-22 වාක්‍යය මඟින් මෙසේ පවසයි.

“තවද (මුස්ලීම්වරුන්) ඔවුන් කවරේදයත්, තම දෙවියන්ගේ කැමැත්ත අපේක්ෂාවෙන් (සෑම විටම) ‘ඉවසීමෙන්’ කටයුතු කරන්නේය.”

ඉහත වාක්‍යය මඟින් මුස්ලීම්වරයෙකු සතුව පැවතිය යුතු අනිවාර්ය ගුණාංගයක් වන “ඉවසීම” පැහැදිලි ලෙස අවධාරණය කරයි. ඒ මුස්ලීම්වරුන් සියළු දෙනා දැඩි ලෙස අපේක්ෂා කරන “දේව කැමැත්ත” මේ ඉවසීම තුල දිනාගත හැකි බවයි. මේ පිලිබදව සමාජිය වශයෙන් විමසා බලන්නේ නම්, අද අප අවට සමාජයේ බොහෝ දෙනෙකු තමන් ඉවසිම ප්‍රගුණ කොට ඇති බවත්, ඒ අනුව තමා “ඉවසීමෙන්” කටයුතු කරන බවත් පවසයි. සමහරක් පිරිස් “ඉවසීම” ප්‍රගුණ කලයුතු ආකාරය පිලිබදව වැඩමුළු හා දේශන පවා සිදුකරයි. නමුත් එවැනි බොහෝ පිරිසගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ ඔවුන් “ඉවසීම” රඟ දක්වනවා මිස සැබෑ ඉවසීම ප්‍රගුණ කොට නැති බවයි. නමුත් කෙනෙකු දෙවියන්ගේ කැමැත්ත පමණක් අපේක්ෂාවෙන් “ඉවසීමෙන් ක්‍රියා කරයි නම්” ඒ තුල රඟපෑමක් සදහා ඉඩක් පැවතිය නොහැක. එවැනි අවස්ථාවන් කිහිපයක් විමසා බලන්නේ නම්,

  • වර්ථමාන ලොව සැලකූවිට එහි මනුෂ්‍යාගේ විනෝදය වින්දනය උදෙසා බොහෝ දෑ සිදුකරන ආකාරය නිරන්තරයෙන් දක්නට ලැබේ. මෙවායින් සමහරක් දහම තුල අනුමත කල අංග වන අතර තවත් සමහරක් දහම තුල වලක්වන ලද අංග වේ. මෙවන් පරිසරයක් තුල කෙනෙකු දෙවියන්ට අවනතව දේව නියමය පරිදි තම ජීවිතය සකසා ගන්නා විට ඔහුට මා ඉහතින් සදහන් බොහෝ අංග තම ජීවිතයෙන් දුරස් කිරීමටත්, අහිමි කර ගැනීමටත් සිදුවේ. එවැනි දැඩි තීරණයක් ගැනීමට නම් ඒ සදහා “ඉවසීම” යන්න අත්‍යඅවශ්‍ය ගුණාංගයකි.
  • දෙවියන් වෙනුවෙන් සිදුකරන වතාවත් හෝ වෙනයම් ආකාරයේ වන්දනයන් සදහා එසැනින් ප්‍රතිපල නොලැබෙනවා යන්න ඔබට මා අමුතුවෙන් පැවසීමට අවශ්‍ය නොවේ. විශේෂයෙන් මුස්ලීම්වරයෙකුගේ අරමුණ මරණින් මතු ජීවිතය යහපත් එකක් බවට පත්කර ගැනීමය. කවදත් ක්ෂණික දෑ පිලිබදව දැඩි නැඹුරුවක් දක්වන මිනිසා දේව වන්දනයේ දී එහි ප්‍රථිපලය මරණින් මතුවට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා ඔහු තුල “ඉවසීම” නම් ගුණාංගය පැවතිය යුතුමය.
  • ස්වභාවයෙන්ම ප්‍රසිද්ධිය ප්‍රශංසාව නිරන්තරයෙන් අපේක්ෂා කරන මිනිසා දෙවියන් වෙනුවෙන් කරන කුසල ක්‍රියාවන්වල දී පවා යම් යම් අවස්ථාවල ඒ තුලින් ජනතා ඇගයීමන් හා වර්ණනයක් අපේක්ෂා කරන අවස්ථාවන් අපට දක්නට ලැබේ. නමුත් ඉස්ලාම් එවැනි සිතුවිලි පවා අකුසල් ක්‍රියාවක් ලෙස දකී. (උදා:- සදකා (දුප්පත් ජනතාවට උපකාර කිරීම), දෙවියන් වන්දනය… යනාදී) එවැනි තැනකට නොවැටී ක්‍රියා කිරීමට නම් ඔවුන් තුල “ඉවසීම” යන්න ප්‍රබල අවශ්‍යතාවයකි.
  • සමාජය තුල දක්නට ලැබෙන බොහෝ සුන්දර යයි හැඟෙන කාරණා ඉස්ලාම් පමණක් නොව බොහෝ ආගම් අනුමත නොකරනවා ඔබ දැක ඇත. ඒවායින් සමහරක් ආගම් පමණක් නොව බුද්ධිමත් සමස්ථ සමාජය පිලිකුල් කරයි. උදාහරණයක් ලෙස දුම්වැටි භාවිතය, මත්පැන් භාවිතය, පරපුරුෂ සේවන… යනාදීය සදහන් කලහැක. තාවකාලීක වින්දනයන් ලබාදෙන මෙවැනි තත්වයන්ගෙන් මීදී දෙවියන්ට අවනතව ජීවත්වීමට සමහරක් අවස්ථාවන් හි තම මනස හා අරඟලයන් පවා සිදුකිරීමට සිදුවේ. එහිදී ද මූලික වන්නේ “ඉවසීම” යන්න පමණි.
  • මීට අමතරව මනුෂ්‍යයන් වශයෙන් අනිවාර්යයෙන් මුහුණපාන අංග කිහිපයක් ඇත. එනම් මරණය, විපත, අහිමිවීම් හා අහිමි කිරීම්, රෝගීවීම්, පාඩු සිදුවීම්… යනාදි වශයෙන් පෙලගැසීමට හැක. මෙවන් වූ තත්වයන් හමුවේත් මුස්ලීම්වරයෙකු ක්‍රියා කලයුතු ආකාරය වෙන වෙනම විස්තර කර ඇති අතර ඒ සියල්ල සදහාම අත්‍යඅවශ්‍ය මුලීක කාරණය “ඉවසීම” යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි.

ඉහත කරුණුවලට අනුව ඉහත 13-22 වාක්‍යයේ සදහන් ආකාරයට මුස්ලීම්වරයෙකුගේ එකම අරමුණ වන “දේව කැමැත්ත අපේක්ෂාවෙන්” ක්‍රියා කිරීම නම් ඔහු තුල පැවතිය යුතු අනිවාර්ය හා අත්‍යඅවශ්‍ය ගුණාංගයක් වන්නේ “ඉවසීම” යන්න පැහැදිලිය. එසේනම් මේ “ඉවසීම” වර්ථමාන සමාජය තුල “කාලීන මාතෘතාවක්” යයි මා ඉහතින් සදහන් කිරීමට මූලික වූ කාරණය වෙත දැන් අවධානය යොමු කරමු.

“ඉවසීම” යන්න කාලීන මාතෘකාවකි

අද ලොවපුරා සිටින සමස්ථ මුස්ලීම් ප්‍රජාවම ජීවත් වන්නේ කිසියම් ආකාරයක තිරණාත්මක හා අවදානම් අවධියක යන්න ලෝක ක්‍රියාකාරීත්වය විමසා බැලුවේ නම් ඔබට පැහැදිලි වනු ඇත. (ශ්‍රී ලාංකීය සමාජය සැලකුවද එහි වෙනසක් නොවේ) ලොවපුරා විසිරී සිටින මුස්ලීම් සමාජයට ත්‍රස්ථවාදී, අන්තවාදී හා ජාතිවාදී චෝදනාවලින් කිසිදු අඩුවක් නැත. එසේම මුස්ලීම්වරුන්ට එරෙහිව මුස්ලීම් නොවන පිරිස් විසින් සැකසෙන ත්‍රස්ථ ප්‍රහාර සැලසුම් හා ජාතිවාදී කුමන්ත්‍රණ ද අඩුවක් නැත. ලොව කුමණ දේශයක මුස්ලීම්වරුන් වෙසෙන්නේද ඒ සියළු තැන් හි ඔවුනට එරෙහිව විවිධ වූ චෝදනා හා කුමණ්ත්‍රන දියත්වෙමින් පැවතීම මා පවසා ඔබ දැනගැනීමට අවශ්‍ය නොවේ. එය කොතරම් ද යන්න පවසනා නම් මුස්ලීම් සමාජයත් ඉස්ලාම් දහමත් විනාශ කිරීමේ මෙහෙවර තුල ජන්ම හතුරන් පවා මිතුරු වී සිටීම විශ්මය ජනක දර්ශනයකි. මෙවන් වූ පසුබිමක මුස්ලීම්වරුන් ජිවත් වන බොහෝ භූමීන් තුල මුස්ලීම් ජනතාවගේ අනාගත අපේක්ෂාවන් බලාපොරොත්තූන් ප්‍රශ්නාර්ථයක් වී ඇත. මෙය මෑතකාලීනව තරමක් උග්‍ර අතකට හැරී පැවතුන ද අතීතයේ පටන් මුස්ලීම්වරුන්ට අත් ඉරණම එසේමය. සරල ලෙස පවසනවා නම්, එදා පටන්…

  • ලොව ත්‍රස්ථවාදීන් යයි පැවසෙන මුස්ලීම් ප්‍රජාවට එරෙහිව ත්‍රස්ථ ව්‍යාපාරයන් දියත්වෙමින් පවතී
  • ලොව ජාතිවාදීන් යයි පැවසෙන මුස්ලිම්වරුන්ට එරෙහිව සියළු ජාතිවාදීන් ක්‍රියාත්මක වෙමින් පවතී
  • ලොව මිලෙඡ්ච පිරිසක් යයි චෝදනා නඟන මුස්ලීම්වරුන්ට එරෙහිව මිලෙඡ්ච ප්‍රහාරයන් දියත් වෙමින් පවතී

ලොව පුරා මුස්ලීම්වරුන් ජීවත් වන කුමණ භූමිය සැලකුව ද ඒ සියළු තැන් හි මුස්ලීම්වරුන් ගෙවමින් සිටින්නේ භීතියෙන් පිරි අවාසනාවන්ත ජීවිතයකි. මා ඉහතින් සදහන් කලාසේ මුස්ලීම්වරුන්ට ලෝකයා දායාද කොට දී ඇත්තේ අවිනිශ්චිත වූ අනාගතයකි. විශේෂයෙන් ඉතා සුළුතරයක් වෙසෙන අප රට තුල දියත්වෙමින් පවතින ජාතිවාදී හා ත්‍රස්ථවාදී රුල්ල දෙස බලන විට (මේ පිලිබදව මෙම අඩවිය තුල බොහෝ නිදසුන් ගෙන සාකච්චා කොට ඇත) ශ්‍රී ලංකීය මුස්ලීම්වරුන්ගේ අනාගතය කුමක් වේද? යන්න ප්‍රශ්නය මුස්ලීම්වරුන් හමුවේ ඇත. රටේ උත්තරිතර සභාවේ සිට ගමේ ගොඩේ බෝක්කු පාළුවන් දක්වා සියළු තරාතිරමේ බහුතර පිරිස් “මුස්ලීම්වරුන් විනාශ කලයුතුයි, ඔවුන් නෙරපා දැමියයුතුයි” යන කාරණයේ අත්වැල් බැඳන් සිටී. අප රට තුල සුළුතරයක් වන අපට එරෙහිව විවිධ ප්‍රකාශන නිකුත් කරමින් ජාතිවාදී පිරිස් පෙලගස්සන සිංහල භාෂාමය වෙබ් අඩවි හා බ්ලොග්ස් (මාගේ නෙතගැටුනු සංඛ්‍යාව අනුව) 18 ක් පමණ අන්තර්ජාලය තුල දක්නට ඇත. මීට අමතරව ඉස්ලාම් දහම සෘජුවම විවේචනය කරන පොත්පත් ද රාශියක් අද ශ්‍රී ලාංකීය සමාජය තුලම දක්නට ඇත. (මේ පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ඇත) මෙවන් පසුබිමක මේ මාතෘකාව කාලීන යයි මා පැවසුවේ ඇයිද? යන්න දැන් ඔබට තරමක් දුරකට හෝ පැහැදිලි වී තිබිය යුතුය. තවදුරටත් එම කුතුහලය ඔබට තිබෙන්නේ නම්, එය පහත කරුණු තුලින් පැහැදිලි වනු ඇත. එහි ප්‍රථමයෙන් තවත් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් වෙත ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි.

“විශ්වාසවන්තයණි! (මුස්ලීම්වරුනි) නුඹලාට කුමක් හෝ යහපතක් පැමිණියේ නම් ප්‍රතික්ෂේප කරන්නන් (ඉස්ලාම් විරෝධීන්) හට එය දුකක් ගෙනදෙන්නේය. නුඹලාට අයහපතක් සිදුවන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන්නන් හට සතුට ගෙනදෙන්නේය. නුඹලා (ඔවුන් සම්බන්ධයෙන්) ඉවසීමෙන් හා දෙවියන්ට අවනතව කටයුතු කලේනම් ඔවුන්ගේ කුමණ්ත්‍රන මඟින් නුඹලාට කිසිදු අයහපතක් සිදුකිරීමට නොහැකි වනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් හොදින් නිරීක්ෂණය කරන්නේය.”

ශුද්ධ වූ කුර්ආනය – 3-120

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය හොදින් විමසා බලන විට එක් කාරණයක් පැහැදිලි වේ. එනම් සෑම මුස්ලීම්වරයෙකුම අල්ලාහ් දෙවියන්ට අවනතව හා “ඉවසීමෙන්” යුතුව සමාජය තුල ක්‍රියා කරන්නේ නම් මුස්ලීම්වරුන්ට හා ඉස්ලාම් දහමට එරෙහිව කරන කුමණ්ත්‍රන හා එදිරිවාදිකම් සම්බන්ධයෙන් කලබල වීමට කිසිවක් නැත. සරලව පවසනවා නම් මුස්ලීම්වරුන් සැබෑ මුස්ලිම්වරුන් වීම පමණයි අවශ්‍ය වන්නේ. මුස්ලීම් සමාජයේ “ඉවසීම” බිඳලන්නට අනේකවිද උපක්‍රම වර්ථමානයේ භාවිතා කරන ආකාරය විටින් විට යහමඟ ඔබගේ අවධානයට යොමු කලා මතක ඇතැයි සිතමි. සැබැවින්ම මුස්ලීම්වරුන්ගේ ජයග්‍රහණය ඇත්තේ මේ “ඉවසීම” තුල මිස අන් කිසිදු විකල්පයක නොවන බව සනාථ කරන අපමණ නිදසුන් ඉස්ලාමීය ඉතිහාසය පුරාවට දක්නට ඇත. විශේෂයෙන් වර්ථමාන මුස්ලීම් සමාජයට සාපේක්ෂව නබිතුමාණන්ගේ කාලය හා ඊට පෙර කාලවල මුස්ලීවරුන් මේ ඉස්ලාමය පිලිපැදීම හේතු කොටගෙන වින්ද දුක් දොම්නස් අපමණය. එය නබිතුමාණන් පවසන ලද පහත “හදීසය” මඟින් ඔබට මනාව පැහැදිලි වනු ඇත.

“(එක්තර සහාබිවරයෙකු) අප නබිතුමාණන් හමුවට පැමිණ ‘ඔබතුමා අප වෙනුවෙන් අල්ලාහ් (දෙවියන්)ගෙන් උපකාර පැතිය යුතු නොවේද? අප වෙනුවෙන් ප්‍රාර්ථනා කලයුතු නොවේද?’ යනුවෙන් විමසුවෙමු. එයට එතුමාණන් ‘නුඹලාට පෙර විසූ ජනසමූහයන් හි (මුස්ලීම්වරුන්) ඔවුන් බෙල්ල දක්වා පොළොවෙහි වළලා කියතක් ආධාරයෙන් ඔහුගේ හිස දෙකඩ කරන ලදී. ඔහුගේ ශරීරය යකඩ පනාවන් මඟින් පීරා මස් ඉරා දමන ලදී. ඒ කිසිවක් තුලින් ඔවුන්ගේ (දේව) විශ්වාසයට හානියක් සිදුකිරීමට නොහැකි විය.’ යනුවෙන් පැවසූ නබිතුමාණන් තවදුරටත් මෙසේ ද පවසන ලදි.”

“අල්ලාහ් (දෙවියන්) මත දිවුරා පවසමි, නියත වශයෙන්ම මේ සත්‍යය දෙවියන් විසින් පරිපූර්ණ කරනු ඇත. (කොතෙක් දුරටයත්) ‘සන්ආ’ නම් නගරයේ සිට ‘හලරමව්ත්’ නම් නගරය දක්වා ගමන් මඟියෙකු (නිදහසේ) ගමන් කරයි. (ඔහුට තුල) අල්ලාහ් (දෙවියන්) කෙරෙහි ඇති බිය මිස වෙන කිසිදු බියක් නොපවතිනු ඇත… එනමුත් ඔබලා ඉක්මන් වන්නේය” යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසය තුල මුස්ලීම්වරයෙකු කොතරම් ඉවසීමෙන් කටයුතු කලයුතු ද යන්නත් හිංසනයන් හමුවේ නොසැලි කටයුතු කලයුතු යන්නත් මනාව පැහැදිලි වේ. වර්ථමානයේ ලොව පුරා මුස්ලීම්වරුන්ට උද්ගත වී ඇති තත්වය අලුත් දෙයක් නොව ඒක දේව සංකල්පය මේ භූමියෙහි ප්‍රකාශ වූ දා පටන් පැවතී තත්වයක් යන්නත් මෙවැනි තර්ජන, ගර්ජන, අපහස, විවේචන, හිංසන… ඉදිරියටත් පවතිනු ඇති යන්නත් පැහැදිලි වේ. මෙවන් වූ පරිසරයක් තුල අවශ්‍ය වන්නේ මුස්ලිම්වරුන් වශයෙන් ඉස්ලාමීය ආදර්ශයන්ට අනුව “ඉවසීමෙන්” කටයුතු කිරීම හා අල්ලාහ් (දෙවියන්)ගෙන් ප්‍රාර්ථනා කිරීම පමණි.

විශේෂයෙන් අප රට තුල ක්‍රියාත්මක සමහරක් ජාතිවාදී හා අන්තවාදී කුමණ්ත්‍රන හමුවේ බුද්ධිමත් ලෙස ක්‍රියා කලයුතුව ඇත. මුස්ලීම් සමාජයේ බහුතරයක් මෙම තත්වය අවබෝධ කරගෙන ක්‍රියා කිරීම සතුටට කාරණයක් වුවද අප අතරේම සුළුතරයක් ඉස්ලාමීය සීමාවන් ඉක්මවා ක්‍රියා කිරීම කණගාටුවට කාරණයකි. එවන් වූ පිරිස් ඉහත ශුද්ධ වූ කුර්ආන් පාඨයන් හා හදීසයන් පමණක් නොව ආරම්භ කාල මුස්ලීම්වරුන් මුහුණ පෑ හිංසනයන් හා කරදරයන් පිලිබදව හොදින් විමසා බැලිය යුතුය. ඉස්ලාමීය මූලාශ්‍රයන් තුල සදහන් එවන් චරිත කිහිපයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්, බිලාල් (රලි) තුමා, සුමයියා (රලි) තුමිය, අබූදර් (රලි), අබූ තල්හා (රලි) යනාදී උත්තමයන් සදහන් කල හැක. ඔවුන් ජීවිතය තුල ලද දුක් කරදර හා වර්ථමාන අප මුහුණපාන තත්වය සැලකූවිට එය ඉතා අල්පයක් පමණි. එසේනම් එවන් වූ උත්තමයන් සදහා ඉස්ලාම් ලබාදුන් ආදර්ශ නැවත නැවතත් විමසා කටයුතු කිරීම අපගේ යුතුකම නොවේද? අද මෙන්ම එදත් ඔවුන් හට එම ඉරණම උදාවීමට එකම හේතුව වූයේ ඔවුන් මුස්ලීම්වරුන් වීමය. මෙය ශුද්ධ වූ කුර්ආනය 85-5 වාක්‍යය මඟින් මෙසේ පවසයි.

“අල්ලාහ් (දෙවියන්) විශ්වාස කිරීම (මුස්ලීම්වරයෙකු වීම) විනා අන් කිසිවක් නිසා නොව ඔවුන් දඩුවම් වින්දේ.”

මෙලෙස ශුද්ධ වූ කුර්ආනය හා හදීසය අපට ඉතිහාසය ගෙනහැර දක්වන්නේ එය තවත් සිදුවීමක් ලෙස කියවා රසවිදීමට හෝ අනුකම්පා සහගත ලෙස බලා “අයියෝ පව්” යයි පැවසීමට නොව ඒ තුලින් ආදර්ශ ලැබීමටය. ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව නිසි අවබෝධයක් නොමැති එසේත් නැත්නම් “ඉවසීම” නිසි ලෙස ප්‍රගුණ නොකල කෙනෙකු හට මා මේ පවසන කාරණය දාරණය කිරීම තරමක් අපහසු වන්නට පුළුවනි. ඔවුනට “අපි මොකටද බයවෙන්නේ?, අපි බයගුල්ලොද?, අපිටත් පුළුවන් ඕන දෙයක් කරන්න…” යනාදී ලෙස සිතෙන්නටත් පුළුවනි. නමුත් මෙතැන ඇති කාරණය “ශක්තිවන්තයා කව්ද? දුර්වලයා කව්ද?” යන්න නොව ඉස්ලාමීය මඟපෙන්වීම කුමක්ද? යන්නයි. එය තවදුරටත් අවබෝධ කරගැනීම සදහා හොද නිදසුනක් ඔබට පැවසිය හැක. ඒ මුහම්මද් (සල්) තුමාණන් විසින් “හුදෙයිබියා ගිවිසුම” අත්සන් තැබූ මොහොතයි. මේ මොහොත මතුපිටින් විමසා බලන විට එහි මුස්ලීම්වරුන්ට අන්ත පරාජයක් අත් වූ බව පෙනෙයි. මේ නිසා එදා කලබලයට පත් සමහරක් සහාභාවරුන් (මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීන අනුගාමික පිරිස්) “ඔබ ඇත්තටම අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාද?” යනුවෙන් පවා ප්‍රශ්න කරන ලදී. නමුත් නබිතුමාණන් ඉතා ඉවසීමෙන් ඒ මොහොතේ කටයුතු කලා මිස කලබල නොවීය. එහි අවසාන ප්‍රථිපලය කුමක් වීද? පසුකාලීනව සමස්ථ මක්කාවම කිසිදු ලේ වැඟිරීමකින් තොරව මුස්ලීම්වරුන්ගේ අතට ලැබීමට එම ගිවිසුම හේතු වුවා නොවේද? එවන් වූ ජයග්‍රහණයක් සදහා පදනම් වූයේ “ඉවසීම” හා දේව නියමයන්ට අවනතව බුද්ධියෙන් ක්‍රියාකිරීම පමණි. එදා හුදෙයිබියා ගිවිසුමට ගිවිසුම්ගත වන මොහොතේ මක්කාව අත්පත් කර ගැනීමට අවශ්‍ය සියළු ශක්තිය හා අවස්ථාවන් නබිතුමාණන්ට තිබුණි. මේ හේතුව නිසා තමා සහාභාවරුන් පවා එම ගිවිසුමට එරෙහිව කලබලයට පත්වූයේ. නමුත් එහිදී නබිතුමාණන් ඉවසීමෙන් ක්‍රියා කොට ලෝකයා වෙත ලබාදුන්නේ අසමසම ආදර්ශයකි.

සෑම විටම “ජයග්‍රහණය, ප්‍රශංසාව හා ඇගයීම තමන් වෙත හිමි වියයුතුයි” යයි අපේක්ෂා කිරීම මනුෂ්‍ය ස්වභාවයකි. ඒ අනුව තම දහමට සියළු ගෞරවය හා ප්‍රශංසාව හිමි වියයුතු බවත්, මුස්ලීම් සමාජය සියල්ල පරදවා ජයෙන් ජය ලැබිය යුතු බවත් අපේක්ෂා කිරීම වරදක් නොවේ. නමුත් මෙතැනදී බොහෝ මුස්ලීම්වරුන්ට අමතක වූ කාරණයක් ඇත. ඒ මුස්ලීම්වරුන් වන අපගේ එකම අරමුණ හා ඉලක්කය ලෞකික දිවිය නොව මරණින් මතු උදාවන විනිශ්චය දිනයයි. දිනපතා පස්වේල වන්දනය තුලින් අපේක්ෂා කරන්නෙත් එහි ජයග්‍රහණයයි, මාසයක් පුරාවට කුසගින්නේ හිද උපවාසය රැකීම තුලින් ද අපේක්ෂා කරන්නේ එහි ජයග්‍රහණයයි. උපයන මුදලින් දාන ධර්ම ලබාදී ඒ තුලින් ද අපේක්ෂා කරන්නේ එහි ජයග්‍රහණයයි. එසේනම් මුස්ලීම්වරයෙකුට වැදගත් වන්නේ ලෞකිකව දිනාගන්නා ජයග්‍රහණයට වඩා ලෝකොත්තරව දිනාගන්නා ජයග්‍රහණයයි. මෙහිදී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් ලෞකිකව යම් යම් අවස්ථාවල මුස්ලීම් සමාජය තුල ඇතිවන පසුබෑම හා අසරණභාවයන් හමුවේ තවත් පාර්ශ්වයක් ජයග්‍රාහීව ලීලාවෙන් කටයුතු කිරීම සුලභ දසුනකි. විශේෂයෙන් සුළුතරයක් ජීවත් වන අප රට තුල මෙවැනි තත්වයන් නිරන්තරයෙන් දක්නට ලැබේ. ඒ සම්බන්ධයෙන් මුස්ලිම්වරුන් කලබල වීමට අවශ්‍ය නොවේ. මෙවන් වූ තත්වයන් පිලිබදව අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් ඉතා සරලව මෙසේ පැහැදිලි කරන ලදී. එනම්,

“මෙලොව (ඉස්ලාම් දහම පරිපූර්ණ ලෙස පිලිපදින) මූමීන්වරුන්ට සිර මැදිරියකි! (ඉස්ලාම් විරෝධීන්) කාෆිර්වරුන්ට ස්වර්ගයකි.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද්, ඉබුනුමාජා, මුස්ලිම්

මා මෙලෙස කරුණු දක්වන විට සමහරක් පිරිසට තවම ගැටළුක් පවතින්ට පුළුවන. ඒ “එතකොට මුස්ලීම්වරුන් බියගුල්ල ලෙස මුලුගැන්වී සිටිය යුතුයි කියලාද කියන්නේ?” යන්නයි. එසේ කිසිවකු සිතන්නේ නම් මා ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ දිව්‍යමය මඟපෙන්වීම මිස මාගේ වචන නොවන බව ප්‍රථමයෙන් අවබෝධ කරගත යුතුය. දෙවනි කාරණය නම් ඉවසිලිවන්තව කටයුතු කිරීම “බියගුලුකමක්” හෝ “මුළුගැන්වීමක්” නොවේ. එසේම කෝපයෙන් ක්‍රියා කිරීම වීරත්වයක්ද නොවේ. නබිතුමාණන් සැබෑ වීරත්වය පිලිබදව පැවසීමේ දී “තම ප්‍රතිවාදියාට පහරදීමට සියළු හැකියාවන් හා ශක්තිය ලබා තිබියදී (එසේ නොකොට) ඉවසීමෙන් ක්‍රියා කරන්නා තමා සැබෑ වීරයා වන්නේ” යනුවෙන් පැවසුවේ. “වීරත්වයට” හා “ඉවසීමට” සැබෑ අරුත් ලබාදෙමිනි. එමනිසා අප රට තුල වුවද ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ලැබිය යුතු අයිතීන් හා වරප්‍රසාද වෙනුවෙන් හඬක් නැඟීමත් ඒ වෙනුවෙන් නීතිය හමුවට යාමත් වරදක් නොවේ. එසේ නොමැතිව ඉස්ලාමීය ආදර්ශයන් පසෙක තබා (මුස්ලීම් හා මුස්ලීම් නොවන) ජාතිවාදී හා අනිතවාදී කල්ලීන් පූර්වාදර්ශයක් ලෙස ගෙන කිසිවකු තම අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන්නට උත්සාහ කරන්නේ නම් එය “වීරත්වයක් හෝ ඉස්ලාම් අනුමත ක්‍රියා මාර්ගයක්” ද නොවේ. එවන් වූ පිරිස්වලට එරෙහිව මුස්ලීම් සමාජය නැඟීසිටිය යුතුය.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ අල්ලාහ් (දෙවියන්) විසින් මේ පෘථිවිය සාමය, සමාදානය, සමගිය, සතුට පිරී සුන්දර ස්ථානයක් ලෙස මැවූයේ නැත. සැබෑ (දේව) විශ්වාසවන්තයින් කවුරුන්ද? යන්නත්, (දෙවියන් කෙරෙහි) ඔවුන්ගේ අවනතභාවය හා කැපකිරීම කොපමණද? යන්න පිරික්සනු පිණිසත් මේ පෘථිවිය මවා ඒ තුල මනුෂ්‍යා මවා ඇත. එම පෘථිවි තලය තුල එක් එක් පුද්ගලයා හට හිමි භූමිකාව විවිධය. තම තමන්ගේ භූමිකාවන් තුල “ඉවසීමෙන්” හා ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුකූලව හා අවනතව ක්‍රියා කරන්නේ කවුරුන්ද? යන්න විමසා බැලීම මෙහි අරමුණය. එසේනම් ස්වයං මත හා සිතුවිලි ඔස්සේ ක්‍රියා කරනවා වෙනුවට පරිපූර්ණ දිව්‍යමය මඟපෙන්වීම ඔස්සේ ක්‍රියාකිරීමට සෑම මුස්ලීම්වරයෙකු විසින්ම අධිෂ්ඨාන කරගත යුතුය. ඒ සදහා අල්ලාහ් (දෙවියන්) අපට ශක්තිය ධෛර්ය ලබා දෙත්වා!

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *