ඉස්ලාම්, චින්තන නිදහස හා වහල්භාවය

0

අතීතයේ පටන් අද දක්වා ලොව ජීවත් වන සෑම මනුෂ්‍යයෙකුම යම් කිසි දහමක් හෝ දර්ශනයක් එසේත් නැත්නම් මතවාදයන් මූලික පදනමක් කර ගනිමින් ජීවත් වෙති. ඒවා දේවවාදී හා අදේවවාදී චින්තන වශයෙන්ද, සුවිශේෂි පුද්ගල චින්තනයන් මත පදනම් වූ මග පෙන්වීම් වශයෙන්ද, විවිධ පුරාවෘත පදනම් වූ මිත්‍යාවන් හා මනක්කල්පිතයන් වශයෙන් ද වෙන්කල හැක. මේවා අතුරින් ලොව ප්‍රමුඛ ස්ථානයක් හිමිවන්නේ දේව විශ්වාසය පදනම් කරගත් මතවාදයන්ටයි. මේ ආකාරයට විවිධ කොටස් වශයෙන් බෙදීගිය සමාජය. බුද්ධියේ වර්ධනයත් සමග අනිකුත් දහමන්, දර්ශනයන් හා මාතවාදයන් කෙරෙහි විමර්ශනාත්මකව ද එබිකම් කරන්නට විය. එසේම එම මතවාදයන් තමන් විසින් පිලිගෙන සිටිනා මතවාදයන් හා සංසන්ධනාත්මකව බැලීමට ද පුරැදු විය. එසේ සංසන්ධනතේමකව බැලූ මිනිසා ඉන් නතර නොවී තම මතයට විරැද්ධ මත දරණ මතවාදයන් විවේචනය කිරීමට ද පෙළඹීය. එසේ සිදු කරන විවේචන ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් විය. එනම්,

  1. පදනම් විරහිත විවේචන
  2. පදනම් සිහිත විවේචන

ඉහත ආකාර දෙකෙන් පළමු ආකාරය එනම් “පදනම් විරහිත විවේචන” යන්න බුද්ධිමත් සංවාදයන්ට බදුන් කලයුතු කරැණක් නොවේ. එහි ඇත්තේ පදනමක් නැති ආවේගාත්මක විවේචන හා අපහාස පමණි. නමුත් දෙවන කාරණය එසේ නොවේ. එහි කිසියම් කරැණක් පදනම් සහිතව ඉදිරිපත් වේ. එහි දී ඒ කරැණු පදනම් කරගෙන සංවාදයන් ගොඩනැගීම එම කාරණය කෙරෙහි සමාජයට යම් අවබෝධයක් ලබා ගැනීමටත් වැරදි මත සමාජයේ නිර්මාණය වීම වැලැක්වීමටත් හේතු කාරණයක් වනු ඇත.

ඒ අනුව පසුගිය දිනක “මුස්ලිම් දහමේ වහල්භාවය තුළින් බොදු නිදහසේ අසිරිය විඳීම” යන මැයෙන් සිංහල භාෂාමය බ්ලොග් එකක් අන්තර්ජාලයේ පලවී එය යහමඟ මගේ නෙත ගැටුනි. ඒ අනුව එම ලිපියෙ හි මුල් කොටස එනම් “මුස්ලීම් දහමේ වහල්භාවය” යන කාරණය පිලිබදව කිසියම් පැහැදිලි කිරීමක් සමාජයට සිදුවිය යුතු බව අපට වැටහුනි ඒ අනුව “ඉස්ලාම් දහමේ චින්තන නිදහස” යන මාතෘකාව යටතේ මෙම ලිපිය ඉදිරිපත් කරමි.

අතීතයේ පටන් මිනිසා ආගම් හා බද්ධව ජීවත් විය. එය ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධාන අංගයක් ද විය. එය කොතරම් තම ජීවිතය හා බද්ධව පැවතුන ද අතීත මිනිසා බොහෝ විට එය විශ්වාසයට පමණක් සීමා කල අතර කිසිවිටෙකත් එය කෙරෙහි බුද්ධීමත් අවධානයක් යොමු කිරීමට සිතුවේ නැත. එසේ නොසිතුවා පමණක් නොවේ එසේ සිතීම මහා වරදක් ලෙසද ඔවුන් දකින ලදී. එහි ආදීනය වුයේ මනුෂ්‍යයා බුද්ධිය උගසට තබා දහම හෝ දර්ශනය නමින් ඉදිරිපත් වන සියල්ල ඉස්මුදුනින් තබා අන්ධ භක්තිකයන්ව පිලිගැනීමයි. එක් පාර්ශවයක් එසේ ක්‍රියා කරද්දී තවත් පාර්ශවයක් තමන් දරණ මතවාදය පදනම් කරගෙන අනිකුත් මතවාදයන් විවේචනය කිරීමට පෙළඹී සිටින ලදී. උදාහර්ණයකට බෞද්ධයකු බෞද්ධ විශ්වාසය පදනම් කරගෙන ඉස්ලාම් විවේචනය කිරීමට පෙළඹේ. මෙය බැලු බැල්මට බුද්ධිමත් විමර්ශනයක් ලෙස පෙනුන ද බොහෝ විට එහි ඇත්තේ අන්තවාදය පමණි. මන්ද කිසිවකු කිසියම් දහමක් විවේචනය කරන්නේ නම් ඊට ප්‍රථම එම දහමේ මුලික ඉගෙන්වීමන් පිලිබදව අවබෝධයක් ලබාගත යුතුය.

එය සරල උදාහර්ණයකින් පැහැදිලි කරන්නේ නම් එදා ගෞතම බුදුන් දහම ප්‍රචාරය කරන සමාජයේ සක්‍රදේවීන්ද්‍ර පිලිබදව නොයෙක් විශ්වාසයන් පැවතුනි. එනම් මනුෂ්‍යයා සක්‍රදේවින්ද්‍රගේ කලවෙන්, යටිපතුලෙන්, මුඛයෙන්… යනාදී ස්ථානයන්ගෙන් මැවු බවත් ඒ අනුව මනුෂ්‍යයන් අතර උස් පහත් බේදයක් පවතින බවත් විශ්වාසයක් පැවතුණි. මෙම විශ්වාසයන්ට එරෙහිව ගෞතම බුදුන් විසින් බුදු දහම ප්‍රචාරය සිදු කරන ලදී. එසේ එදා සමාජයේ පැවතී එම මිත්‍යාවට එරෙහිව කල ප්‍රචාරය අද ඉස්ලාම් දහම පවසන දේව විශ්වාසයට එරෙහිව භාවිතා කිරීම අන්තවාදීත්වය මෙන්ම අනවබෝධයකි. මන්ද සක්‍රදෙවියන් පිලිබදව පැවසෙන එම විශ්වාසය ඉස්ලාම් ද දැඩිව ප්‍රති‍ක්ෂේප කරන කාරණයක් වන බැවිණි. (මෙවැනි උදාහර්ණ බොහෝමයක් ගෙනහැර දැක්විය හැකි වුවත් මුලික අවබෝධය සදහා මෙය ප්‍රමාණවත් වේ යයි සිතමි.) මෙම තත්වය වර්ථමානයේ පමණක් දක්නට තිබෙන තත්වයක් නොවේ. අතීතයේ දී ද දක්නට ලැබුණු බව සමහරක් ඉතිහාසගත සාධක මගින් ඔප්පුවේ. මෙයට ශුද්ධ වූ කුර්ආනය තුලින් උදාහර්ණයක් ගෙනහැර දක්වන්නේ නම්,

“යුදෙව්වරැන් ((වක්තෘ)නබි) උසෙයිරව (දෙවියන්) අල්ලාහ්ගේ දරැවා යයි පවසයි. කිතුනුවන් ඊසා ((වක්තෘ)නබි) අල්ලාහ්ගේ (දෙවියන්) දරැවා යයි පවසයි. මෙය ඔවුන්ගේ මුවින් පිවට වදන් වේ. මොවුන්ට පෙර සිටි පිරිස පැවසූ කාරණයට මොවුන්ද සමාන වේ. අල්ලාහ් ඔවුන්ව විනාශ කරත්වා!, (සත්‍ය මාර්ගයෙන් මොවුන්) කුමන දිශාවකට යොමු වී සිටින්නේද? ඔවුන් අල්ලාහ් (දෙවියන්) හැර තම පූජකවරැන්වද, මගපෙන්වන්නන්ද, මරියම්ගේ පුත් මසීහ්වද ඔවුහු දෙවිවරැන් ලෙස සලකන්නේය. එහෙත් එකම දෙවියා හැර වෙන සිකිවකුත් නැමදුම් කිරීමට අවශ්‍ය නැතැයි ඔවුන් සියල්ලෝම සමාජයට අණ කලේය. නැමදීමට හිමි දෙවියා අල්ලාහ් හැර වෙන කිසිවකු නැත.”

අල්කුර්ආන් 9-30, 31

ඉහත අල්කුර්ආන් වාක්‍යය මගින් ප්‍රධාන කරැණු දෙකක් පැහැදිලි වේ. එනම්,

  • වර්ථමානයේ මෙන්ම අතීතයේ දී ද පූර්ව නිගමනවල හිද ජනතාව කටයුතු කර ඇති බව (උදාහර්ණයක් ලෙස දේව පණිවුඩය පවසන්නටත් අල්ලාහ් හැර වෙන දෙවියෙක් නැත යන්න පවසන්නටත් පැමිණි උසෙයිර් හා ඊසා (ජීසස්) වක්තෘවරැන් (පසු කාලීන සමාජය) දෙවියන්ගේ තැන ගෙනගොස් තැබීම.) මෙය ඉහත සක්‍රදෙවියන් හා ඉස්ලාම් පවසන දෙවියන් අනවබෝධයෙන් සංසන්ධනය කිරීමට සමාන තත්වයකි.
  • ආගමික ඉගෙන්වීමන්ගෙන් බැහැරව ආගමික විද්වතුන් හා පූජකවරැන්ගේ මතවාදයන් තුල දහම කොටු කිරීම. මෙය වර්ථමානයේ ද දක්නට තිබෙන ඉතා භයානක තත්වයකි. ඉහත ශුද්ධ වූ කුර්ආනයේ මෙම 9-30,31 වාක්‍යය පිලිබදව පැහැදිලි කිරීමක් මුහම්මද් (සල්) නබිතුමාණන් හමුවේ අතීබින් හාතිම් (රලි) තුමා විමසන ලද මොහොතේ නබිතුමාණන් පවසන ලද්දේ “ඒ ඒ ආගමික විද්වතුන් හා පූජකවරැන් තම අනුගාමිකයන් හට යම් යම් දෑ තහනම් කිරීමත් අනුබල දීම” මේ තුලින් අදහස් කරන බවයි.

මේවා තුලින් පැහැදිලි වන්නේ අධ්‍යාත්මික කාරණයේ දී මිනිසා බුද්ධිය පසෙක තබා පූර්ව නිගමනවල හා විවිධ ජනප්‍රිය චරිත මත පදනම්ව ක්‍රියා‍ කොට ඇති බවයි. එහි ප්‍රථිපලයක් තමා පදනම් විරහිතව එසේත් නැත්නම් පූර්ව නිගමනවල හිද ඉස්ලාම් පවසන දේව විශ්වාසය විවේචන කිරීම. කිසිවකු හට ඉස්ලාම් පවසන දේව වාදය විවේචනය කිරීමට අවශ්‍ය නම් ඊට ප්‍රථම ඉස්ලාම් පවසන දේව විශ්වාසය පිලිබදව මුලික අවබෝධය ලබා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවයකි. එසේ නොමැතිව පාඑගෙදර වළං බිදිනවා සේ විවේචනයන් සිදුකිරීම අන්තවාදීත්වය මිස බුද්ධිමත් වාදයක් නොවේ.

එසේ නම් දැන් අපගේ මාතෘකාවට අවධානය යොමු කරමු. එනම් “ඉස්ලාම් දහම තුල චින්තන නිදහස” මෙහි දී මෙම මාතෘකාව පැති දෙකක් ඔස්සේ අවධානයට ලක්කල යුතුය. එනම්,

  • ඉස්ලාම් දහම තුල චින්තන නිදහස කොතරම් දුරට ආරක්ෂා වී පවතිනවාද?
  • එම අයිතිය කොතරම් දුරයට එහි අනුගාමිකයන් හට ලබාදී තිබෙනවාද?

ඒ අනුව මෙම කාලීන් මාතෘකාව වෙත දැන් පිවිසෙමු.

ඉස්ලාම් හා චින්තන නිදහස

නූතන මිනිසා ලෞකික සෑම කාරණයකදීම බොහෝ සේ සිතා බලා බුද්ධිමත් අයුරින් තීරණ ගැනීම අපට අඑත් කාරණයක් නොවේ. නමුත් එවන් වූ මිනිසා තමා පිලිගෙන සිටින දහම හෝ දර්ශනයෙ හි හරි වැරැද්ද බුද්ධිමත් ආකාරයට තීරණ කිරීම ඉතා දුලබ දසුනකි. පංචේන්ද්‍ර බුද්ධිය ඉක්මවා ලබාගෙන සිටින උතුම් වූ විඥානය භාවිතයෙන්,

  • තමා පිලිපදිමින් සිටින දහම හරිද?
  • එය බුද්ධි ගෝචරද?
  • එයට පදනමක් තිබෙනවාද?
  • එහි පදනම කුමක්ද?
  • එය තුල කටයුතු කිරීමෙන් තමාට යහපතක් අත්වෙනවාද?
  • අයහපතක් අත්වෙනවාද?
  • අප ඇයි මෙය අනුගමනය කල යුත්තේ?

යනාදී ප්‍රශ්නයන් සදහා පිලිතුරැ සෙවීම දුලභ වූ තත්වයකි. ලෞකික ජීවිතයේ සාර්ථකත්වය සදහා යොදාගන්නා බුද්ධීය ලෝක්කෝත්තර ජීවිතයේ සාර්ථකත්වය සදහා බලපාන තීන්දු තීරණ ගැනීමේ තීරණාත්මක අවස්ථාවල දී යොදා නොගෙන අලසව කටයුතු කිරීම සැබැවින්ම පුදුම උපදවන කාරණයකි.

ඉහතින් මා සදහන් කල ආකාරයට අධ්‍යාත්මික කාරණයේ දී මිනිසා බුද්ධිය යෙදවීමට මැලිවුවා යන්නත් සමාජය බුද්ධිය උගසට තබා පූජකවරැන් හා ආගමික විද්වතුන් යයි පවසා ගන්නා පිරිස මත යැපුණු බවටත් තහවුරැ වන හොදම සාක්ෂියක් ලෙස ගැලීලියෝ ගැලීලිගේ ඝාතනය සදහන් කල හැක. පෘථිවිය පිලිබදව විවිධ ගවේෂණයන් හි නිරත වූ කිතුණු භක්තික විද්‍යාඥයෙකු මෙන්ම පරියේෂකයෙකු වූ ගැලීලියෝ ගැලීලි තම පරියේෂණ පදනම් කරගෙන ලොව ගෝලාකාර බවත්, එය භ්‍රමණය වන බවත්, භ්‍රමණය හේතුවෙන් රාත්‍රිය හා දහවල මාරැවෙන් මාරැවට ඇති වන බවත් පවසන ලදී. එහි අවසාන ප්‍රථිපලය වුයේ ආගමික තීන්දු මත ඔහු ඝාතනයට ලක්වීමයි. මන්ද එදා සමාජයේ කිතුණු ආගමික විද්වතුන් හා පුජකවරැන් අවබෝධ කරගෙන සිටියේ පෘථිවිය ගෝලාකාර නොව තැටියක ආකාරයට පවතින බවටයි. එවන් වකවානුවක ගැලීලියෝ ගැලිලිගේ ප්‍රකාශනය එම ආගමික විද්වතුන්ට හා පූජකවරැන්ට ධාරණය කරගැනීමට නොහැකි විය. අවසානයේ සමාජයේ පැවතී විශ්වාසයට විරැද්ධ බුද්ධිය මෙහෙයවා කල ප්‍රකාශය හේතුවෙන් ගැලිලියෝ ගැලීලි දහම නමින් ඝාතනය කරන තැනට එහි පූජකවරැන් ක්‍රියා කරන ලදී. මෙම දුර්වලතාවය කිතුණු දහමේ පමණක් නොවේ. ලොව බොහෝ ආගම් හා දර්ශනයන් හි දක්නට ඇත. එසේම මෙම තත්වය අතීතයේ පමණක් නොව දියුණුවේ ඉනිපෙත්තෙ හි ජීවත් වන වර්ථමාන සමාජයේ ද බොහෝ ආගමික විද්වතුන් හා පූජකවරැන් සිතන්නේ අධ්‍යාත්මික කාරණයේ දී මිනිසා තම බුද්ධිය යොදවා ඒ තුලින් තීන්දු තීරණ ගැනීම නොසුදුසු බවයි. වෙනත් ආකාරයකට පවසනවා නම් අධ්‍යාත්මික කාරණයේ දී අනුගාමිකයන් බුද්ධිය මෙහෙයවීම නොසුදුසු යන්න එහි පූජකවරැන් නිගමනයයි. ඒ සදහා විවිධ ආගම්වල විවිධ කොන්දේසි ද දමා ඇති බව අපට දක්න ඇත. මේ ආකාරයට දහම විසින් මෙන්ම එහි පූජකවරැන් විසින් ද විවිධ බාධක යොදමින් මිනිසාගේ චින්තන නිදහස ට බාධා කරන විට ඒ සියල්ලට අභියෝගයට ලක්කරමින් ඉස්ලාම් මුඑ මනුෂ්‍ය සමාජයටම සිතීමේ නිදහස පමණක් නොවේ ඒ සදහා පොළොඹවීම ඇත්තෙන්ම ඉස්ලාම් දිව්‍යමය දහමක් යන්නට හොදම නිදසුනකි.

ඉස්ලාම් චින්තන නිදහසට බාධා කරන දහමක්ද?

ඉහත සදහන් ආකාරයට ඉස්ලාමීය ඉගෙන්වීම් පිලිබදව මූලික අවබෝධය පවා නොමැති සමහරක් පිරිස් “ඉස්ලාම් චින්තන නිදහසට බාධා කරන දහමක්” බවට සමාජය තුල වැරදි මතයන් නිර්මාණය කරමින් සිටී. මුස්ලීම් හෝ මුස්ලීම් නොවන ඕනෑම කෙනෙකු ඉස්ලාම් යයි යමක් පවසන්නේ නම් ඒ සදහා ඉස්ලාමීය මූලාශ්‍රයන් පදනම් කරගැනීම අනිවාර්ය අවශ්‍යතාවයකි. මෙය ඉස්ලාම් දහම සදහා පමණක් නොවේ. ලොව ඕනෑම දහමක් සදහා නිවරැදි හා සදචාරාත්මක ක්‍රමය වන්නේ එයයි. ඒ අනුව මා පවසන්නේ නම් “චින්තන නිදහස ඉස්ලාම් මුස්ලීම්වරැන්ට ලබාදී ඇති බව” ඒ සදහා ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් සාක්ෂි ගෙනහර දැක්වීම මාහට අනිවාර්ය වේ. එසේම කිසිවකු එයට විරැද්ධ මත ඉදිරිපත් කරන්නේ නම් ඔහු කෙරෙහිද එම වගකීම එලෙසින්ම ඇත. එනම් ඔහු ද ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් තුලින් කරැණු ඉදිරිපත් කරමින් ප්‍රතික්ෂේප කල යුතුවේ. ඒ පදනමේ සිට ඉහත කාරණය එනම් ඉස්ලාම් මුස්ලීම්වරැන් සදහා සිතීමේ නිදහස ලබා දී තිබෙනවාද? යන්න දැන් අවධානය යොමු කරමු.

ඉස්ලාමීය මූලාශ්‍රයන් හොදින් අධ්‍යනය කරන කෙනෙකු හට එහි පවසන කරැණු අතුරින් බොහෝ කරැණු මිනිසාව සිතීමට පොළොඹවන ආකාරය පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත. උදාහර්ණ ලෙස දිව්‍යමය පුස්ථකය වන අල්කුර්ආනය දෙස අවධානය යොමු කලේ නම්,

එහි…

  • “තවද ඔවුන් මෙම කුර්ආනය අධ්‍යනය නොකරන්නේ ද? එසේ නොකිරීමට ඔවුන්ගේ සිත් හි අගුල් දමලාද?” (අල්කුර්ආනය 47-24)
  • “සැබැවින්ම මෙම කුර්ආනය අධ්‍යනය කරනු පිණිස පහසු කොට ඇත්තෙමු. මෙය අවබෝධ කරගන්නෙකු සිටීද?” (අල්කුර්ආනය 54-17)
  • “ඔවුන් මෙම කුර්ආනය පිලිබදව සිතිය යුතු නොවේද? මෙය අල්ලාහ් හැර වෙන කිසිවකු නිර්මාණය කලේ නම් එහි අප්‍රමාණ පරස්පරතාවයන් දකිනු ඇත.” (අල්කුර්ආනය 4-82)
  • “තවද ඔවුන් (මුස්ලීම්වරැන්) තම දෙවියන්ගේ වාක්‍යයන් (කුර්ආන් වාක්‍යයන් ගෙනහැර) පැවසූ විට එය බිහිරන් ලෙසත් අන්ධයන් ලෙසත් (පිලිගෙන) එහි කටයුතු නොකරයි (බුද්ධිමත්ව සිතාබලා කටයුතු කරයි).” (අල්කුර්ආනය 25-73)
  • මීට අමතරව ශුද්ධ වූ කුර්ආනයේ 2-44, 2-73, 2-76, 2-242, 3-65, 3-118, 6-32, 6-151, 7-169, 10-16, 11-51, 12-02, 12-109, 21-10, 21-67, 23-80, 24-61, 26-28, 28-60, 36-62, 37-138, 40-67, 43-3, 57-17, 67-10, 29-43, 2-164, 2-170, 2-171, 5-58, 5-103, 8-22, 10-42, 10-100, 13-4, 16-12, 16-68, 22-46, 25-44, 29-35, 29-63, 30-24, 30-28, 36-68, 39-43, 45-05, 4-113, 16-78, 17-85, 20-114, 46-23, 49-16, 55-3,4, 96-4,5… වාක්‍යයන් මගින් ද බුද්ධිය හා එය භාවිතයේ අවශ්‍යතාවය ඉස්ලාම් දැඩිව අවධාරණය කරයි.

ඉස්ලාම් බුද්ධියට ඉඩක් නොදෙන අන්ධ භක්තිය හා අන්ධ ගැතිභාවය පවසන දහමක් නම් ඉහත අල්කුර්ආන් වාක්‍යන් කුමකටද? මේ කෙරෙහි සමාජය අන්තවාදී නොවී බුද්ධිමත් ආකාරයට සිතිය යුතුය. අල්කුර්ආනය 47-24 වාක්‍ය මගින් දෙවියන් මනුෂ්‍යය‍ාගෙන් විමසා සිටින්නේ “නුඹලා මේ දහම කෙරෙහි සිත් යොමු නොකරන්න නුඹලාගේ සිත් අගුල් වැටිලාද?” යනුවෙනි. අල්කුර්ආනය 54-17 වාක්‍ය මගින් දහම තුල අන්ධ භක්තිකයන් නොවී බුද්ධිය යොදවමින් අවබෝධයක් ඇතුව කටයුතු කරන ලෙස පවසයි. එම වාක්‍යයෙන් තවත් වැදගත් කාරණයක් ද අවධාරණය කරයි. එනම් දහමක හෝ දර්ශනයක වැදගත් අවශ්‍යතාවයක් තමා එය සරලව පැවසීම. එසේ පැවතුනේ නම් පමණි එය කෙරෙහි බුද්ධිය යොදවා කටයුතු කල හැක්කේ. එම තත්වය වටහාගත් දෙවියන් අල්කුර්ආනයේ 54-17 මගින් මෙම කුර්ආනය පහසුකොට පහල කල බවත් අවබෝධ කරගන්නෙකු සිටිනවාද? යන්නත් පැවසීම සැබැවින්ම බුද්ධීයක් ඇති ඕනෑම කෙනෙකු සිතීමට පොළොඹවන කාරණයකි. එසේම මෙය දෙවියන්ගෙන් හැර වෙන කිසිවකුගෙන් ප්‍රකාශ වන ලද්දක් යයි ඔබ සිතන්නේ නම්, ඔබේ බුද්ධිය යොදවා මෙහි වරදක් හෝ පරස්පරතාවයක් ගෙන හැර දක්වන ලෙස අල්කුර්ආනය 4-82 වාක්‍ය මගින් අභියෝග කිරීම මිනිසාව තව තවත් සිතන්න පොළොඹවයි. ඉස්ලාම් චින්තන නිදහස මිනිසාට අහිමි කරන දහමක් නම් මෙවන් වාක්‍යයන් එහි අන්තර්ගතව පැවැතිය නොහැක. ඉස්ලාම් ඉහත වාක්‍යයන් මගින් මිනිසාගේ චින්තන නිදහස ලබා දෙනවා පමණක් නොව එසේ ක්‍රියා කිරීම අනිවාර්‍ය කාරණයක් ලෙස ද අවධාරණය කරන බව බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකු හට අපහසු කාර්‍යයක් නොවේ.

මෙසේ දහම තුල බුද්ධිය යෙදවීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ඉස්ලාම් අල්කුර්ආනය 25-73 වාක්‍ය මගින් වැදගත් අවවාදයක් ඉදිරිපත් කරයි. එනම් “නුඹලා අන්ධ භක්තිකයන් හා බිහිරන් නොවී සෑම කාරණයක් කෙරෙහිම විමසුම් ඇසින් බලා ඒවාට සවන් දී බුද්ධිමත් අයුරින් කටයුතු කරන්න” යයි පවසයි. අද මෙවන් අවවාදයක් මිනිස් සමාජයට කරන්නට තරම් ධෛර්‍යයක් හැකියාවක් ලොව කිසියම් දහමකට තිබේද? එය ඉහතින් පැවසූ ගැලීලියෝ ගැලීලි ඇතුඑ අතීත විද්වතුනට මෙන්ම වර්ථමාන විද්වතුන්ට දහම නමින් අත් වූ හා අත්වන ඉරණම මනාව පිළිබ්ඹු කරවයි. මීට වසර 1400 කට පෙර සමාජයක ප්‍රකාශ වූ මෙම (25-73) අවවාදය අද ආගම් හා එහි පූජකවරැන් වටා අනුගාමික පිරිස් අන්ධ භක්තියෙන් ගොනු වන ආකාරය බලමින් පවසන අවවාදයක් ලෙස අල්කුර්ආනය 25-73 වාක්‍ය පිහිටා තිබීම අල්කුර්ආනය දේව වාක්‍යයක් යන්නත් මිනිසා ලෞකික කාරණයේ දී මෙන්ම ලෝකොත්තර කාරණයේ දී ද බුද්ධිය යොදවා ක්‍රියා කිරීමෙහි වැදගත් කමත් මනාව පැහැදිලි කරනවා ‍නොවේද?

මේ අනුව මනුෂ්‍යා සෑම කාරණයකදීම තම බුද්ධීය යොදවා ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය ඉස්ලාම් ඉහලින්ම අවධාරණය කරන බව දැන් පැහැදිලිය. ඉස්ලාම් එය අවවාදයට පමණක් සීමා කල දහමක් ද නොවේ. දෙවියන් විසින් ප්‍රථම මනුෂ්‍යා වන ආදම් (අලෛ) තුමා ප්‍රථමයෙන්ම ඔහුට මෙලොව සියල්ල පිලිබදව ඥානය ඉගෙන්වීම බව ශුද්ධ වූ කුර්ආනයේ 2-31 වාක්‍ය පහත ආකාරයට පවසයි.

“(ආදම්ව මවා) ආදම්ට (සියල්ලෙහි) නම් උගන්වන ලදී.”

ඉහත ආකාරයට ප්‍රථම මනුෂ්‍යා තුලින් ද දැනුම හා බුද්ධියෙහි අවශ්‍යතාවය අවධාරනය කල දෙවියන් පහල කල ප්‍රථම දේව වාක්‍යය මගින් ද අවධාරණය කලේ අධ්‍යාපනයේ අවශ්‍යතාවය හා එහි වැදගත්කමයි. එය ශුද්ධ වූ කුර්ආනයේ 96-1 සිට 4 වාක්‍ය මගින් මනාව පැහැදිලි වේ.

“(සියල්ල) නිර්මාණය කල ඔබ හිමිගේ ශ්‍රේෂ්ඨ වූ නාමයෙන් ඔබ කියවනු මැනව,(1) ඔහු මිනිසා ආසක්ත ව්‍යුහයකින් නිර්මාණය කලේය.(2) ඔබ මෙසේ කියවනු ඔබ හිමි ධානපතියෙකි.(3) ඔහු පෑ‍නෙන් (ලියන්නට) ඉගෙන්වුයේය.(4)”

එපමණක් නොව ශුද්ධ වූ කුර්ආනය තුලින් (දෙවියන්) අල්ලාහ් කිසියම් වැදගත් වූ කාරණයක් මිනිසා හට දැඩිව අවධාරණය කිරීමේ දී අල්ලාහ් තම මැවීමන් අතුරින් ශ්‍රේෂ්ඨ වූ මැවීමන් මත දිවුරා එය පවසයි. මෙය අල්කුර්ආනයේ සුවාශේෂි ගුණාංගයකි. එසේ දෙවියන් දිවුරීම සදහා යොදගත් වස්තුවක් තමා “කලම්” හෙවත් “පන්හිද” ශුද්ධ වූ කුර්ආනයේ 68-01 වාක්‍ය මගින් පන්හිද මත දිවුරා මෙසේ පවසයි,

“පන්හිද මතද (එමගින්) ඔවුන් ලියන ලද දැය මත ද දිවුරා පවසමි. (නබි) ඔබ, ඔබ හිමිගේ දයාවෙන් පිස්සෙකු නොවන්නේය.”

ඉහත අල්කුර්ආන් වාක්‍ය මගින් පවසන්නේ, එදා සමාජය තුල මුහම්මද් (සල්) තුමා දහම් ප්‍රචාරය කරන විට අනිකුත් වක්තෘවරැන්ට හා ආගමික ශාස්තෘවරැන්ට මෙන්ම එම සමාජය නබිතුමාණන් හට ද පිස්සු රෝගය වැලදී ඇති බවට ප්‍රචාරය කරන්නට වූ අතර ඒ මොහොතේ එසේ නොව ඔහු පවසන්නේ දේව අනපනත් බව අවධාරනය කරමින් ද එතුමාණන්ට පිස්සු නොමැති බව අවධාරණය කරමින් ද ඉහත අල්කුර්ආන් වාක්‍ය දෙවියන් විසින් පහල කරන ලදී. එසේ දෙවියන් පැවසීමේ දී එය “පන්හිද” මත දිව්රා ප්‍රකාශ කරන්නේ නම් අවධාරනය කරන කාරණයත් සමග “පන්හිද” මත දිවුරන්නේ එය කොතරම් ශ්‍රේෂ්ඨ වූ නිර්මාණයක්ද යන්න අවබෝධ කරගැනීම අපහසු කාර්‍යයක් නොවේ. එසේම එයට ඉස්ලාම් කොතරම් වැදගත්කමක් ලබාදී තිබෙනවාද යන්නත් අවබෝධ කරගැනීම අපහසු නොවේ. පන්හිදට මෙතරම් වැදගත් කමක් ඉස්ලාම් ලබාදෙන්නේ ඒ ඒහා බැදුනු අධ්‍යාපනය හා දැනුම සදහා සුවිශේෂි තැනක් ඉස්ලාම් ලබාදීම හේතුවෙනි. මෙය වඩාත් හොදින් තහවුරැ කරන නබිවදනක් (හදීසයක් – මෙයද ඉස්ලාමයේ මූලාශ්‍රයක් වේ) කෙරෙහි අවධානය යොමු කලේ නම්,

“සමාජයක අධ්‍යාපනය නැතීවීයාමත්, මිත්‍යාවන් වැඩිවීමත්, පරපුරැෂ සෙවනය වැඩිවීමත්, මත්පැන් පානය අධිකව සිදුවීමත්, කාන්තාවන් 50කට එක් පිරිමියෙක් යන අනුපාතයට කාන්තාවන් අධික වී පිරිමින් අවම වීමත්, ලෝක විනාශයේ සලකුණුවලින් කිහිපයක් වේ.”

දන්වන්නේ – අනස් බින් මාලික් (රලි), ග්‍රන්ථය බුහාරි 81,5231

ඉහත නබිවදනට අනුව අධ්‍යාපනය ලොවින් තුරන්වීම ලෝක විනාශයේ සලකුණක් ලෙස ඉස්ලාම් පවසන්නේ නම් අධ්‍යාපනයට කොතරම් වැදගත් ස්ථානයක් ඉස්ලාම් ලබාදී තිබෙනවාද? යන්න සමස්ථ සමාජයම දෙවරක් සිතා බැලීය යුතු අත්‍ය අවශ්‍ය කාරණයක් නොවේද?. ඉහත නබිවදන (හදීසය) පමණක් නොවේ. අධ්‍යාපනයේ වැදගත්කම අවධාරණය කරන හා අධ්‍යාපනයට මුල්තැන දී කටයුතු කල අවස්ථාවන් ආරම්භ කාල මුස්ලීම් සමාජයේ ද නිරන්තරයෙන් දක්නට ලැබුණි. උදාහර්ණයක් ලෙස පවසන්නේ නම්, ඉස්ලාමයට එරෙහිව ක්‍රියාත්මක වූ බද්ර් සටනේ දී අත්අඩංගුවට පත් වූ ඉස්ලාම් විරෝධීන් යොදා ගනිමින් එදා අරාබි දේශයේ දරැවන්ට අධ්‍යාපනය ලබාදුන් බව හදීසයේ (නබිවදනේ) සදහන් වේ. මේ තුලින් ද තහවුරැ වන්නේ ආරම්භක මුස්ලීම් සමාජය පවා අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානයක් දී කටයුතු කර ඇති බව මෙන්ම එය ඉස්ලාම් අපේක්ෂා කරන බව නොවේද? මේ සියල්ල තුලින්ම පැහැදිලි වන්නේ ඉස්ලාම් අධ්‍යාපනයට හා එය තුලින් බුද්ධි වර්ධනයට ප්‍රමුඛස්ථානයක් දී කටයුතු කර ඇති බව නොවේද?. මෙය තවත් වඩාත් හොදින් තහවුරැ වන තැනක් වන්නේ ශුද්ධ වූ කුර්ආනයේ ‍‍බොහෝ දේව වාක්‍යයන් හුදෙක් වත්පිලිවෙත්වලට පමණක් සීමා නොවී මිනිසාගේ බුද්ධියට කථා කරන ආකාරයෙන් පැවතීමයි. එයට උදාහර්ණ කිහිපයක් පවසන්නේ නම්.

  1. “ඔහු සමුද්‍රයන් දෙකක් හමුවන්නට සැලැස්වුයේය. නමුත් ඒවා එකින් එකට මිශ්‍ර නොවන්නේය.” (කුර්ආන් 55-19)
  2. “සූර්යයාට චන්ද්‍රයා ආක්‍රමණය කිරීමට නොහැක. රාත්‍රියට දහවල පසුකර යා නොහැක සෑම එකක්ම තමන්ගේ සීමාව තුල පිහිටා ගමන් කරන්නේය.” (කුර්ආනයේ 36-40)

මේ ආකාරයට මිනිසාගේ බුද්ධියට කථා කරන ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය විශාල ප්‍රමාණයක් ගෙනහැර දැක්විය හැක. මේවා සියල්ල තුලින්ම පැහැදිලි වන්නේ චින්තන නිදහස මිනිසා හට ඉස්ලාම් නොඅඩුව සපයා දී ඇති බව නොවේද?. එසේ තිබිය දී කිසිවකු ඉස්ලාම්, මුස්ලීම්වරැන්ව දහම තුල කොටු කර විවිධ තහංචි දමා වහල් තත්වයට පත්කර ඇති බව පවසන්නේ නම් එය ඔහුගේ අනවබෝධය බව ඉහත කරැණුවලින් පැහැදිලිය. ඒ අනුව ඉස්ලාම් මිත්‍යාවන්ට, මනක්කල්පිතයන්ට හා අන්ධ භක්තියට ඉඩ නොදෙන බුද්ධියට කථා කරන ඒ සදහා පොළොඹවන දහමක් යන්න අවිවාදයෙන් තොරව පැහැදිලි වන සත්‍යයකි.

මෙ‍සේ පූර්ණ චින්තන නිදහස ඉස්ලාම් මිනිසා හට ලබා දී තිබුණ ද දෙවියන්ට සාපේක්ෂව මිනිසාගේ තිබෙන බුද්ධීයෙහි සීමා සහිත බව නිසා දහම තුල පවසන සියල්ල අවබෝධය තුලින් පිලිගැනීම ප්‍රායෝගික නොවේ. මෙය ඉස්ලාම් දහමෙහි පමණක් නොව ලොව බොහෝ දහමන් හා දර්ශනයන් හි දක්නට තිබෙන පොදු ලක්ෂණයකි. මෙම කරැණු පදනම් කරගෙන “ඉස්ලාම් චින්තන නිදහස අහිමි කල දහමක්” යයි. තර්ක කරයි නම් එම චෝදනාව ලොව ඕනෑම දහමකට දර්ශනයකට පොදු කාරණයක් බව ඉදිරියට ඔබට පැහැදිලි වනු ඇත. මෙහි දී ඉහත සදහන් ආකාරයේ මිනිස් මනසට ගෝචර නොවන කරැණු ඉස්ලාම් දහම තුල ද පවතින බව විවාදයක් නැත. මෙවැනි කාරණයන් සම්බන්ධයෙන් වර්ථමානයේ පමණක් නොව අතීතයේ එනම් මීට වසර දහස් ගනනකට පෙර ජීවත් වූ දේව වක්තෘවරැන් අතර පවා අපැහැදිලිතාවයන් පැවතී බව ශුද්ධ වූ කුර්ආනයේ 2-260 මගින් මෙසේ පවසයි.

“ඉබ්රාහීම් (දෙවියන්ගෙන්) ‘මගේ හිමියණි!, මරණයට පත් වූවන්ට ඔබ කෙසේ පණ දෙන්නේද? ඔබ මට එය පෙන්වනු මැනව!’ ඔහු කීවේය. ඒ අවස්ථාවෙහි අල්ලාහ් (දෙවියන්) ‘ඔබ විශ්වාස නොකරන්නේද?’ යයි විමසුවේය. එයට ‘මම විශ්වාස ක‍ෙළමි නමුත් එය ඇස්වලින් දැක මගේ සිත නිවාලනු පිණිස (පෙන්වන ලෙස)ය’ යයි පවසන ලදී.”

මේ අනුව මෙවැනි තම බුද්ධීයට ගෝචර නොවන එය වටහා ගැනීමට තරම් ශක්තියක් මිනිසාට නොමැති කාරණයන් හි මිනිසා තීරණ ගැනීමේ දී ඔහුට ඉස්ලාම්, කොන්දේසි කිහිපයක් පනවයි. මෙය සමහරක් පිරිස් චින්තන නිදහසට දහම තුල ඇති කරගෙන තිබෙන බාධාක ලෙස දකී. නමුත් එය එසේ ‍නොවේ. එවන් කුර්ආන් වාක්‍ය කිහිපයක් ගෙන හැර දක්වන්නේ නම්,

  • “(ඉබ්රාහීම්ව ගිනි‍ ගොඩට විසිකල මොහොතේ) ‘ගින්න නුඹ ඉබ්බ්‍රාහීම්ට සීතල ගෙනදෙන්නක් ලෙසත් ශරීරයට සුවය ගෙනදෙන්නක් බවටත් පත්වෙව’ යයි අප කීවෙමු.” (ශුද්ධ වූ කුර්ආනය 21-69)
  • ” ‘නුඹේ අතේ ඇති ලීයෙන් මේ මුහුදට ගසන්න’ යයි අප මූසාට වහී පහල කලෙමු. (එසේ ජලයට පහරදීම නිසා) ජලය දෙබෑ විය.” (ශුද්ධ වූ කුර්ආනය 26-63)
  • ඊසා (අලෛ) තුමා පියෙකු නොමැතිව බිහිවීමත් මෙවැනිම කාරණයකි.

ඉහතින් පැවසු ආකාරයට මේ ආකාරයේ වූ මිනිස් මනසට, බුද්ධියට ගෝචර නොවු එනම් විඥානයට හා පංචේද්‍රයන්ට ගෝචර නොවු බොහෝ කරැණු සෑම දහමකම දර්ශනයකම දක්නට ඇති පොදු වූ ලක්ෂනයකි. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ශ්‍රී ලාංකීය ආගම් හා දර්ශනයන් පදනම් කරගෙන උදාහර්ණ කිහිපයක් පවසන්නේ නම්,

  • බුදු දහමේ පවසන – නිර්වාණය, පුනර්භවය, බුද්ධත්වය, ස්වර්ගය, අපාය, දේවියන්, දේවතාවන්…
  • කිතුනු දහමේ පවසන – දෙවියන්, දේවතාවන්, ස්වර්ගය, අපාය, ඊසා තුමාගේ උපත සිදුවූ ආකාරය හා නැවත පහලවීම, රෝග සුවකිරීම හා මරණින් මතු නැගිටුවීම…
  • ඉස්ලාම් දහමේ පවසන – දේවියන්, දේවදූතයන්, ස්වර්ගය, අපාය, දේව පණිවුඩ පහලවිම, මරණින් මතු නැගිටීම, විනිශ්චය දිනය…

යනාදීය ඉන් කිහිපයකි. මිනිස් බුද්ධියට සෘජුවම ගෝචර නොවන මෙවන් කරැණු සෑම දහමකම දර්ශනයකම අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ. මේ කරැණු කාරණයන් ඒ ඒ ආගමික හා දාර්ශනික අනුගාමිකයන් මේවා විශ්වාස කොට පිලිගන්නේ ඒ දහම තුල පවසන අනිකුත් කරැනු කාරණා පදනම් කරගෙනය. මෙම කාරණයන් හිදී බුද්ධිමත් අයුරින් තීරණ ගැනීම ද දෙවියන් විසින් මනුෂ්‍යාගේ බුද්ධියට දෙන අභියෝගයකි. එය අල්කුර්ආනය 47-24 වාක්‍ය පවසන ආකාරයට බුද්ධිමත් අයුරින් අභියෝගයක් ලෙස භාර ගන්නවාද? නො‍එසේ නම් මිත්‍යාවන් තුල හිද අන්ධ භක්තිකයන් ලෙස පිලිගන්නවාද? යන්න රැදී ඇත්තේ ඔහු දරන ආගමික හෝ දාර්ශනික මතවාදය හා එය ඒ සදහා ලබාදෙන අනුබලය මතය. එය කෙසේ වුවත් මිත්‍යාවන් තුල හිද කිසියම් දහමක හෝ දර්ශනයක වලංගුභාවය තීරණය කිරීම යන්න බුද්ධීමත් වූ වර්ථමාන සමාජය තුල හාස්‍ය උපදවන පදනම් විරහිත කාරණයකි. සැබෑ නුවනක්කාරකම වන්නේ තමන් ඉදිරියෙන් ඇති සාක්ෂි පදනම් කරගෙන එහි පසුපසින් ඇති ශක්තිය තීරණය කිරීමයි. මෙය ශුද්ධ වූ කුර්ආනය ද අවධාරනය කරන කාරණයකි. සරල උදාහර්ණයක් පවසනවා නම්, අප පරිගනකය භාවිතයේ දී එහි විශ්මිත හැකියාව පිලිබදව කථා කරන්නෙමු එසේම එහි නිර්මාපකයෙකු සිටින බවත් ඔහුගේ බුද්ධිමත් භාවය පිලිබදවත් මවිතයට පත්ව කථා කරන්නෙමු. වෙනත් අයුරකින් පවසනවා නම් මේ නිර්මාණය තුලින් එහි නිර්මාපකයාගේ හැකියාව අප දකින්නෙමු. ඒ ආකාරයටම අප අවට ඇති සියල්ල තුලින් අප එහි නිර්මාපකයා දැකිය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එ‍ය අල්කුර්ආනයේ 2-164 වාක්‍යයෙන් මෙසේ පවසයි.

“අල්ලාහ් (දෙවියන්) අහස හා පොළොව නිර්මාණය කිරීම කෙරෙහිද, රැය හා දහවල යළි යළි පැමිණීම තුළින්ද, මිනිසාට ප්‍රයෝජනවත් දෑ සාගරය මතින් (නෞකා මගින්) ගෙනයාම මගින්ද, අහසෙහි සිට ජලය පතිත කර ඒ තුලින් වියළි මලානිකව ගිය පොළොව ප්‍රාණවත් කිරීම තුළින්ද, එහිම සෑම වර්ගයකම ජීවින් ව්‍යාප්ත කිරීම තුලින්ද, සුළග සෑම දිශාවකටම හැරවීම තුලින්ද? අහස හා පොළොව අතර සීමා වී සිටින්නා වූ වලාකුඑ තුලින්ද, බුද්ධිමත් ජනතාවට සාක්ෂීන් තිබෙන්නේමය”

මේ ආකාරයටම ශුද්ධ වූ කුර්ආනයේ 21-22 මගින් ද මෙසේ පවසයි,

“(අහස හා පොළොව) ඒ දෙතැන අල්ලාහ් (දෙවියන්) හැර තවත් දෙවිවරුන් සිටියේ නම් ඒ දෙතැනම ව්‍යාකූල වනු ඇත.”

ඉහත අල්කුර්ආන් වාක්‍යයන් මනුෂ්‍යාගේ බුද්ධියට කොතරම් කථා කරනවාද? යන්න හොදින් අධ්‍යනය කලේ නම් ඉහතින් සදහන් කල කාරණය අවබෝධ වනු ඇත. මෙයට තවත් සරල නිදසුනක් පවසන්නේ නම්, සමාන්‍ය මනුෂ්‍යයකු වන තම පියා, පියාම බව දරැවා පිලිගන්නේ මවගේ හෝ වෙනත් පිරිසකගේ ප්‍රකාශනයක් පදනම් කරගෙන මිස කිසිදු ආකාරයක පංචේන්ද්‍රයට ගොචර කරැනු කාරණා පදනම් කරගෙන නොවේ. මෙය කිසියම් දරැවකු බුද්ධිමත් තර්ක විතර්ක තුලින් හා විද්‍යාත්මක පරියේෂණ තුලින් තහවුරැ කරගන්‍නට යන්නේ නම් ඔහු කෙරෙහි සමාජයේ තීන්දුව කුමක් වේද? ඔහු බුද්ධිමත් දරැවෙකු ලෙස දකින්න සමාජය සූදානම්ද? පැහැදිලිවම ඔහුගේ පියා, මව මෙන්ම සමාජය ද ඔහුව ප්‍රතික්ෂේප කරනු ඇත. මිනිසුන් වශයෙන් පියා තම දරැවා කිසිදු පදනමක් නැතුව වුවද විශ්වාස කලයුතු යයි අපේක්ෂා කරන විට අප අවට අනන්තවත් භාග්‍යයන් හා සාක්ෂීන් ඇති කොට එය තුලින් දේව විශ්වාසය ඇති කරගත යුතු යයි දෙවියන් අපේක්ෂා කිරීම මිත්‍යාවට මග ‍ෙපන්වීමක් නොවේ. එසේම දහම කෙරෙහි බුද්ධිය මෙහෙයවන ලෙස මෙපමණ අවධාරණය කරද්දීත් මිනිසා එසේ නොකිරීම දහමේ හෝ දෙවියන්ගේ වරදක් ද නොවේ. අවසාන වශයෙන් නිදහස් චින්තනය අවධාරණය කරන අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 2-269 වාක්‍යයෙන් පවසන මෙම වාක්‍යය ඔබේ අවධානයට යොමු කරමි.

“අල්ලාහ් තමා සිතු කෙනෙකු හට ඥානය (බුද්ධිය) ලබාදෙන්නේය. ඥානය ලද තැනැත්තා බොහෝ භාග්‍යයන් ලද තැනැත්තෙකු වන්නේය. බුද්ධිය ඇත්තෙකු මිස මේවා පිලිබදව නොසිතන්නේය.”

ඒ අනුව ඉස්ලාම් මිනිසාගේ බුද්ධියට කථා කරන චින්තන නිදහස උපරිමයෙන්ම ආරක්ෂා කොට ලබාදී ඇති මිත්‍යාවන්ට හා අන්ධ භක්තියට අභියෝගයක් වු දිව්‍යමය දහමකි.

“මුස්ලිම් දහමේ වහල්භාවය තුළින් බොදු නිදහසේ අසිරිය විඳීම” යන ලිපියෙහි සදහන් කරැණු හා එයට පිලිතුරු

මුස්ලිම් යන අරාබි වචනයෙහි අරුත අවනත වන්නාය. එම නිසා සැබවින්ම අල්ලාහ් නම් දෙවියන්ට අවනතව මෙලොව ජීවත් වන තැනැත්තා මුස්ලිම්වරයෙක් ලෙස අපට හැඳින්විය හැක. ලංකාවේ මාධ්‍ය වලින් අපට නිතර අසන්නට ලැබෙන වචනයක් නම් මුස්ලිම් ජාතිකයා යනුයි. නමුත් මෙය වැරදි යෙදුමකි. මන්ද මුස්ලිම් කියා ජාතියක් ලොව කොහේවත් නොමැත. ඉස්ලාම් දහම අදහන්නෝ මුස්ලිම්වරු මිස මුස්ලිම් ජාතිකයෝ නොවෙති.

ලංකාව තුල සිටින මුස්ලිම් වරු යෝනක, මැලේ, මේමන්, බෝරා, (දෙමල සුළු වශයෙන්) සහ සිංහල (සුළු වශයෙන්) ජාතීන්ට සහ ජන වර්ග වලට අයත් අය වෙති. ලාඉලාහ ඉල්ලල්ලාහ් කොන්දේසි හතකින් සමන්විතයි. දාසයෙකු මෙයින් කිසිවක් කිසිඳු‍ වෙනස් කිරී‍මකින් තොරව එකසේ පිළිපදින්නම්, එවිට මෙම කලිමාව වලංගුවේ.

  1. නියත වශයෙන්ම අල්ලාහ් හැර (වෙනත්) කිසියම් දෙව්කෙනෙකු නොමැත. (අල්කුර්ආන් 47: 19)
  2. අල්ලාහ් හා ඔහුගේ රසූල් වරයා යමක් තීරණය කළායින් පසු ඒ ගැන විකල්ප තීරණ ගැනීමේ අයිතිය කිසියම් විශ්වාසනීය පුරුෂයෙකුට හෝ විශ්වාසනීය ස්ත්‍රීයෙකුට හෝ නොමැත. (අල්කුර්ආන් 33: 36)
  3. කලිමාව දැනුම්දෙන පරිදි වහල් (යටත්) වීමයි. වහල්වීම හා පිළිගැනීම අතර වෙනසක් තිබේ. පිළිගැනීම යන්නේ (කලිමාවේ) තේරුම මුවින් ප්‍රකාශ කිරීමයි. වහල්වීම යනුනේ ක්‍රියාවෙන් පිළිපැදීමයි. යමෙකු ලාඉලාහ ඉල්ලල්ලාහ් හි තේරුම දැනගෙනද, එය නිශ්චයකරද, පිළිගැනද සිටී. නමුත් ඒ අනුව එහි ඉලක්කය කරා ඔහු ක්‍රියා නොකරන්නේද එය නිශ්ඵලවේ. අල්ලාහ් මේ බව මෙසේ පවසන්නේය.තවද, (මිනිසුනි, වේදනාවට ලක් වීමට පෙර) ඔබලාගේ දෙවියා වෙත (පව් සමාව අයැද) යොමුවන්න. සම්පූර්ණයෙන්ම ඔහුට වහල්වන්න. (අල්කුර්ආන් 39: 54)
  4. සත්‍යභාවය අල්ලාහ් සමඟ පවතී. එය විශ්වාසය කෙරෙහිද, ප්‍රතිපත්තිය කෙරෙහිද සත්‍යවන්තයා විය යුතුයි. විශ්වාසවන්තයිනි, අල්ලාහ්ට (ප්‍රකාශයෙන් හා ක්‍රියාවෙන්) බියවන්න. සත්‍යවන්තයන් සමඟ සිටින්න. (අල්කුර්ආන් 9: 119)
  5.  අල්ලාහ් කෙරෙහි තමන්ගේ වැඳුම් පිඳුම් (යහපත් මගෙහි) චිත්ත පාරිශුද්ධියෙන් කිරීම සඳහා ඔවුන්ට අණ කරන ලදී. (අල්කුර්ආන් 98: 5)
  6. විශ්වාසවන්තයිනී, ඔබෙන් කවරෙකු හෝ තම ආගම අතහැර යන්නේද, (අල්ලාහ්ට කිසිදු පාඩුවක් නොවන්නේය.) එවිට අල්ලාහ් වෙනත් සමාජයක් ගෙන එයි. ඔහු ඔවුන්ට ආදරය කරයි. ඔවුහුද ආදරය කරති. ඔවුන් මුඃමින්වරුන් (විශ්වාසවන්තයන්) සමඟ කීකරු වෙත්ද, කාෆිර්වරුන් (ප්‍රතික්ෂේප කරන්නන්) සමඟ අකීකරුවෙන්ද හැසිරෙති. අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් කරති. නින්දා කරන්නන්ගේ නින්දාවලට නොබිය වෙති. (අල්කුර්ආන් 5: 54)

 

ඉහත ලිපිය තුලින් එහි කතෘ පවසන්නට උත්සාහ දරණ කාරණයන් පිලිබදව කථා කිරීම‍ට පෙර සදහන් කලයුතු විශේෂ කරැණක් ඇත. එනම් අද ශ්‍රි ලාංකීය බහුතරයක් අනිකුත් ආගම් හා දර්ශනයන් විවේචනය කරන්නේ කිසිදු පදනමක් නොමැතිවය. එවන් අවධියක ඉහත ලිපියෙ හි කතෘ අල්කුර්ආනයක් බලා තමන් අවබෝධ කරගත් තරමින් හෝ කිසියම් සාක්ෂියක් ඉදිරිපත් කරමින් ඉස්ලාම් දහමට එරෙහිව විවේචනාත්මව කරැණු ඉදිරිපත් කිරීම පිලිබදව යහමඟ මගින් ඔහුට ස්තූතිය පල කරන අතර ඔහුගේ ලිපියෙහි සදහන් කරැණුවලට පිලිතුරැ මෙසේය.

1 තර්කය,

අල්කුර්ආන් 47: 19 කුර්ආන් වාක්‍ය ගෙන හැර දක්වමින් ඔහු පවසන අල්ලාහ් හැර වෙන දෙවියෙක් නැත යන්න. ඉස්ලාමයේ මූලික විශ්වාසයයි. ඉස්ලාම් බහුදේව වාදය පිලිනොගන්නා අතර ඒක දේව සංකල්පය දැඩිව අවධාරණය කරන දහමකි.

(මේ පිලිබදව වැඩි ව්ස්තර සදහා ”‍ඉස්ලාම් පවසන දේවවාදය ප්‍රායෝගිකද?” යන්න නරඹන්න)

2 තර්කය

අල්කුර්ආන් 33:36 කුර්ආන් වාක්‍ය ගෙන හැර දක්වමින් ඔහු පවසන්නේ අල්ලාහ් සහා ඔහුගේ දූතයාවන වක්තෘවරයා යමක් තීරණය කලාට පසුව එයට විකල්ප තීරණ ගැනීමේ අයිතිය. ඉස්ලාම් මුස්ලීම්වරැන් හට ලබාදී නැති බවයි. මෙම කාරණය පැහැදිලි කිරීමට මත්තෙන් මීට පෙර සදහන් කල ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් නැවතත් ඔබේ අවධානයට යොමු කරමි,

තවද ඔවුන් (මුස්ලීම්වරැන්) තම දෙවියන්ගේ වාක්‍යයන් (කුර්ආන් වාක්‍යයන් ගෙනහැර) පැවසූ විට එය බිහිරන් ලෙසත් අන්ධයන් ලෙසත් (පිලිගෙන) එහි කටයුතු නොකරයි (බුද්ධිමත්ව සිතාබලා කටයුතු කරයි) – (අල්කුර්ආනය 25-73)

ඉහත කුර්ආන් වාක්‍යය මේ දහම තුල බුද්ධීය යොදවන ලෙස එක් පසකින් පවසද්දී. ඉහත 33-36 තුලින් එය වලක්වනවා යන්න පරස්පර කාරණයකි. මේ දෙකම නිවරැදි විය නොහැක. එසේම එකක් නිවැරදි වී අනික වැරදීමට ද නොහැක මන්ද මෙය දේවවාක්‍යයන් වූ බැවිණි. එසේ නම් 33-36 කියන්නේ කුමක්ද?

ඉස්ලාම් යනු දිව්‍යමය අනපනත් පදනම් කරගත් දහමකි. එසේම ඉස්ලාම් පවසන, මුස්ලීම්වරැන් විශ්වාස තබන අල්ලාහ් (දෙවියන්) සියල්ල (අතීතය, වර්ථමානය හා අනාගතය) කෙරෙහි පූර්ණ ඥානයක් ඇති එකම දෙවියාය. ඔහුට අතපසුවීම්, අමතකවීම්… යනාදී වශයෙන් වූ කිසිදු දුර්වලතාවයක් නොමැත. එසේම අල්ලාහ් (දෙවියන්) මනුෂ්‍යයාහට අප්‍රමාණව ආදරය දක්වයි. එය මවක් දරැවකුහට දක්වන ආදරය මෙන් සියවාරයක් බව හදීසයේ (ආගමික මූලාශ්‍රයේ) සදහන් වේ. එවන් වූ අප්‍රමාණ ඥානයෙන් හා ආදරයෙන් යුක්ත දෙවියන් යමක් සැලසුම් කරන්නේ නම් එය නියත වශයෙන්ම මිනිස් නිර්මාණයට වඩා ශ්‍රේෂ්ඨ වූ නිර්මාණයක් විය යුතු යන්නෙහි විවාදයක් නැත. මන්ද මිනිසුන් වශයෙන් බුද්ධිමත් පිරිස් එක්ව සමූහිකව ගන්නා තීරණ පවා පිලිගැනෙනවාට වඩා වේගයෙන් ප්‍රතික්ෂේප වී යෑම මිනිසුන් වශයෙන් අප නිතර දකින අත්දැකීමකි. උදාහරණ කිහිපයක් පවසනවා නම්,

  • රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
  • විද්‍යාත්මක සොයාගැනීම්

යනාදීය සදහන් කල හැක. නමුත් දේව සැලැස්මෙහි එසේ නොවේ. එය සැමකලටම ප්‍රායෝගිකය. එහි සංශෝධනයන් අවශ්‍ය නොවේ. මුස්ලීම් නොවන කෙනෙකු ඉස්ලාම් පවසන දේව විශ්වාසය පිලිබදව අවබෝධයක් නොමැතිව මෙය කෙරෙහි අවධානය යොමු කලේ නම් යම් වහල්භාවයක් දකින්නට පුඑවන නමුත් එය ‍එසේ නොවේ. මෙම කාරණය තවත් කොණයකින් බැලුවේ නම්, ඉස්ලාම් පවසන සමහරක් කරැණු මා ඉහතින් සදහන් කලාසේ අපේ මනසට ගෝචර නොවේ. එය පදනම් කරගෙන මෙය වැරදි යයි තීරණය ගැනීම ප්‍රායෝගික නොවේ.

උදාහරණයකට මවක් තම දරැවන් තිදෙනෙකු අතර ආහාර ‍බෙදාදීමේ දී තෙවිදියකට එනම් වැඩිමල් දරැවාට බත් දෙවැනි දරැවාට කැද තුන්වන දරැවාට කිරි යනාදී වශයෙන් බෙදාදීම දැක කිසිවකු ඒ මව දරැවන් අතර සාධාරණ නොවන ආකාරයට ක්‍රියා කරන බව පවසයි නම් එය මතුපිටින් බලන කෙනෙකු හට සත්‍යයක් සේ පෙනුනද ඒ දරැවන්‍ගේ රෝගී තත්වයක් හේතුවෙන් දරැවන් කෙරෙහි තිබෙන අප්‍රමාණ ආදරය නිසා ඒ මව ඒ ආකාරයෙන් ක්‍රියා කල බව අවබෝධ කරගත හැකි වනු ඇත.

ඒ ආකාරයටම ඉස්ලාම් පවසන දෙවියන් පිලිබදවත්, ඔහුගේ ශක්තිය, ආදරය පිලිබවත්, මනුෂ්‍යාගේ දුර්වලතාවයන් පිලිබදවත් අවබෝධයක් නැති මිනිසුන් ඉහත 33-36 වාක්‍යය පදනම් කරගෙන යම් මතයක් නිර්මාණය කරන්න උත්සාහ කලද මවකට වඩා මනුෂ්‍යා‍ කෙරෙහි අප්‍රමාණ ආදරයක් දක්වන දෙවියන් මිනිසා හට දේව සැලැස්මට පරිභාහිරව කටයුතු නොකරන ලෙස අවධාරනය කරන්නේ අප කෙරෙහි තිබෙන ආදරය නිසාම පමණි. එසේම අවනත නොවී දේව වාක්‍යයන් මනුෂ්‍යා විසින් තමන්ට වුවමනා ආකාරයට සංශෝධනය කලේ නම් එය කලින් කලට සංශෝධනයන් සිදු කිරීමට අවශ්‍ය වන අතර එය එහි ශුද්ධත්වයෙන් ද බැහැරවනු ඇත. මෙම ඉරණම ඉස්ලාම් දහම හැර ලොව සෑම දහමකටම දර්ශනයකටම අත් වූ බව සියඑ ආගමික විද්වතුන් පිලිගන්නා සත්‍යයකි. එම ඉරණම ශුද්ධ වූ කුර්ආනයට අත් නොකරන ලෙස 33-36 මගින් අවධාරණය කිරීම ඉස්ලාම් දහමේ තවත් බුද්ධීමත් තීරණයක් නොවේද?

3 තර්කය

අල්කුර්ආන් 39: 54 වාක්‍යය මගින් මිනිසුන් වශයෙන් තමන් අතින් සිදුවන පාපයන් සදහා දෙවියන්ගෙන් සමාව අයදින ලෙසත් ඔහුට සම්පූර්ණයෙන් අවනත වෙන ලෙසත් පවසන බව පවසමින් ඔහුට ”අවනත වීම” ඔහුගේ වහල්ලෙකු බවට පත්වෙන ලෙස පවසන බවට ඉහත ලිපියෙහි කතෘ ගෙන හැර දක්වයි.

සැබැවින්ම ඉහත කුර්ආන් වාක්‍යය පවසන්නේ ඔහු පවසන කාරණයම තමා. මෙහි ඔහුට ඇති ප්‍රශ්නය නම් දෙවියන්ට වහල් වන්නේ කුමකටද? යන්නයි. ඔහුගේ තර්කය සාධාර්ණ වන්නට නම් ඉස්ලාම් පවසන දෙවියා සහා බුදුදහමේ පවසන දෙවියා එක සමාන වියයුතුය. මන්ද බුදුදහම පවසන දේව වාදය ඉස්ලාම් පවසන දේව වාදය නොවේ. බුදුදහම පවසන දේව සංකල්පයේ හිද දෙවියන් දෙස බලන්නේ නම් එම දෙවියාට මිනිසුන් අවනතවීම අවශ්‍ය නොවේ. මන්ද විටෙක දෙවියන් මිනිසුන්ට වඩා දුර්වලවන බැවිණි. නමුත් ඉස්ලාම් පවසන දේව සංකල්පය එවැන්නක් නොවේ. (ඉස්ලාම් පවසන දේව සංකල්පය ‍ප්‍රථමයෙන් ඉගෙන ගන්නා ලෙස ආරාධනා කරමි) එම නිසා ඉස්ලාම් පවන දෙවියන් හට මුස්ලීම්වරැන් අවනතවීම භාග්‍යයක් ලෙස සිතයි.

4 තර්කය

අල්කුර්ආන් 9:119 වාක්‍යය මගින් අල්ලාහ් (දෙවියන්ට) බියවන්න යයි පැවසීම සලකුණු කොට පෙන්වයි. ඇත්තෙන්ම ඉස්ලාමීය විශ්වාසය අනුව මිනිසාගේ මරණින් මතුව ඔහු කල හොද නරක අනුව ඔහුට හිමි තැන අපායද? ස්වර්ගයද? යන්න තීරණය වේ. එම නිසා සත්‍යවාදීන් හා ජීවත්වන ලෙසත් දෙවියන්ගේ දඩුවම් කෙරෙහි බියවන ලෙසත් ඉහත අල්කුර්ආන‍් වාක්‍යය මගින් අවධාරනය කරයි.

5 තර්කය

අල්කුර්ආන් 98:5 වාක්‍ය මගින් චිත්ත පාරිශුද්ධියෙන් ක්‍රියා කරන ලෙස අණ කරන බව දෙවියන් පවසයි. සැබැවින්ම දෙවියන් වන්දනයේ දී සිතෙහි පාරිශූද්ධභාවය ඉතා වැදගත් සාධකයකි. එය ඉස්ලාම් මුස්ලීම්වරැන්ට අවධාරණය කරයි. එය වහල් බවක් නොවේ.

6 තර්කය

අල්කුර්ආන් 5:54 වාක්‍ය මගින් මිනිසාගේ වන්දනා මාන තුලින් දෙවියන් හට කිසිදු යහපතක් හෝ අයහපතක් අත් ‍ෙනාවන බව ඉස්ලාම් අවධාරණය කරන අතර මෙය වර්ථමාන‍ ලාංකීය සමාජයේ මුස්ලීම් නොවන පිරිසට ඉස්ලාම් දෙන පණිවුඩයකි. මන්ද ඉස්ලාමීය විශ්වාසය අනුව දෙවියන් හට කිසිදු ආකාරයක අවශ්‍යතාවයක් නැත. මෙම කුර්ආන් වාක්‍යය තුල වහල්භාවයක් නොපවසයි.

මේ ආකාරයට ඉස්ලාමයේ චින්තනව නිදහසට එරෙහිව ඉදිරිපත් කොට තිබු තර්කයන් සියල්ල කිසිදු පදනමක් නොමැති තමන් අදහන දහමෙහි දේව විශ්වාසය පදනම් කරගෙන ඉස්ලාම් දහම පිලිබදව පූර්ව නිගමනවල හිද ඉදිරිපත් කල තර්කයන් පමණි.

මෙවැනි පිරිසට පවසන්නට ඇත්තේ ඉස්ලාම් පවසන දේව සංකල්පය ලොව අනිකුත් දහමන් හා දර්ශනයන් පවසන දේව සංකල්පයට වඩා හාත්පසින්ම වෙනස් වූ ප්‍රායෝගික වූ සංකල්පයකි. එවන් වූ දෙවියන් පවසන අනපනත් පියෙකු එසෙත් නැත්නම් මවකු තම දරැවන්ට කරන නියෝගයක් ලෙස සැලකුවේ නම් අප එය වහල්භාවයක් නොව ආදරයක් ලෙස සලකන්නෙමු. එසේ නම් මවට පියාට වඩා ආදරය අතින් ඉහලම තැනක සිටින එසේම සියල්ල කෙරෙහි පූර්ණ ඥානයක් ඇති දෙවියන්ගේ අනපනත් වහල්බවක් යයි උපකල්පනය කිරීම කොතරම් කුහක මෙන්ම අනුවනක්කාර ක්‍රියාවක් නොවේද?

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *