ඉස්ලාම් දහම තුල කාන්තා අයිතිය

0

මීට වසර 1420 කට පෙර එනම් ඉස්ලාම් දහම සමාජය ඉදිරියේ ප‍්‍රකාශ වන ආරම්භක අවධියේ අරාබි දේශයේ ජනයා කාන්තාව දුර්භාග්‍යයක් ලෙසත්, පවුලක කාන්තාවක් සිටීම ලැජ්ජාවට කාරණයක් ලෙසත්, වෙළද පොළේ වෙළද භාන්ඩයක් ලෙස අලෙවි වූ බවත් ඉතිහාසගත තොරතුරුවලන් පැහැදිලි වේ. මෙම කාරණය ශුද්ධ වූ කුර්ආනය 58-59 වාක්‍යය පහත අකාරයට අනාවරණය කරයි. එනම්,

“ඔවුන්ගෙන් කිසිවකුට ‘ගැහැණු දරුවෙකු ඉපදී ඇත’ යන පුවත ලැබුණේ නම් ඔහුගේ මුහුණ අඳුරු වී යනු ඇත. තවද ඔහු සිත සංවේගයෙන් පිරී යනු ද ඇත. ඔහුට දන්වනු ලැබූ පුවතෙහි සංවේගය නිසා ඔහු (ලැජ්ජාව නිසා) මිනිසුන්ගෙන් තමාව වසන් කරගනුද ඇත. අවමානය විඳ දරා ඇයව ඔහු සමග තබා ගන්නේ ද නැත්නම් ඇය (පණපිටින්ම) වළදා දමන්නේද? (යන පැනය ඔහු තුල පැන නඟී) නිශ්චය වශයෙන්ම නපුරු වන්නේ (එම බිළිදා මරා දැමිය යුතුය යන) ඔවුන්ගේ තීරණයයි.”

කාන්තාව සම්බන්ධයෙන් තිරිසන් ආකාරයටත්, මිලේච්ඡ ජාතියක් ලෙසත් කටයුතු කල ඒ අඥාන සමාජයේ ඉස්ලාම් දහමේ ප‍්‍රචාරය නබිතුමාණන් විසින් අරභන ලදී. මෑත වකවානුවේ එනම් මිට සියවස් 03 කට පමණ පෙර කාන්තාව මනුෂ්‍ය ඝනයට අයත්ද?, කාත්තාවට පණ තිබෙනවාද? ඇයට හැඟීමන් තිබෙනවාද?, ඇයට කිසියම් ආකාරයක අයිතීන් ලබාදීමක් අවශ්‍යද?… යනාදී ලෙස වාද විවාද පවත්වමින් සිටින විටත් කාන්තාවගේ අවශ්‍යතාවයන් හා වගකීමන් හොදින් අවබෝධ කරගෙන සිටී ඉස්ලාම් මීට වසර 1420 ට පෙර පැවති ඒ මිලේච්ඡ සමාජය ඉදිරියේ කාන්තාවට සියළුම ආකාරයේ අයිතීන් හිමවිය යුතු බවත්, ඇයට ද නිදහසක් අවශ්‍ය බවත්, පැවසීමෙන් නතර නොවී ඒ අයිතීන් කි‍්‍රයාවට නංවා ඔවුන් ද ශ්‍රේෂ්ඨ
වු සමාජයක කොටස්කරුවන් බව තහවුරු කරන ලදී. හයවැනි සියවසේ ජීවත් වූ නබි (සල්) තුමාණන් සමාජය විසින් කාන්තාවට එරෙහිව පනවා තිබු සියළු අගුළුවලින් ඇය නිදහස් කිරීමෙන් නතර නොවී කාන්තාව මවක් වශයෙන්, දියණියක් වශයෙන්, භාර්යාවක් වශයෙන් සමාජයෙහි ඇයට හිමිවිය යුතු අයිතිවාසිකම් හා ගෞරවය ගෞරවාන්විත ආකාරයට ලබාදෙන ලදි. එය අද අපට හොදින් කියාපාන හදීස් (නබිතුමාණන්ගේ වදන්) කිහිපයක් වෙත ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එනම් මා පෙර සදහන් කලාසේ මිලෙඡ්ච සමාජයක් ඉදිරියේ එදා කාන්තාව සම්බන්ධයෙන් ඉස්ලාම් කුමක් අවධාරණය කරනවාද යන්න බලන්න.

  • “ජාහිමා (රලි) තුමා, නබි (සල්) තුමාණන් වෙත පැමිණ ‘ශාස්තෘවරයානනි! මම (ඉස්ලාම් දහම ආරක්‍ෂා කිරීමේ) සටනෙහි නිරතවීමට කැමත්තෙන් පසුවෙන්නෙමි’ කීවේය. එවිට නබි (සල්) තුමන් ‘ඔබගේ මව ජීවතුන් අතර සිටින්නේ දැයි?’ ප‍්‍රශ්ණ කළහ එම මිත‍්‍රයා ‘එසේය’ යැයි පැවසු විට නබිතුමාණන් ‘ඇයට ඇප උපස්ථාන කරන්න, ඇයගේ පාමුල ස්වර්ගය තිබෙන්නේය’ යැයි පැවසූහ.”

ග‍්‍රන්තය : අහ්මද්, නසායී

  • “ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පන පිටින් නොවළලා, ඇය අගෞරවයට පත් නොකර, ඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැළකිල්ලක් නොදක්වා, ඇය පෝෂණය කරයිද ඔහුව අල්ලාහ් ස්වර්ගයට ඇතුල් කරන්නේය” යනුවෙන් නබි (සල්) ප‍්‍රකාශ කළහ.”

ග‍්‍රන්ථය : අහ්මද්

  • “දියණියන් තිදෙනෙකු සිට, ඔවුන්ව ඉවසීමෙන් හා කරුණාවෙන් තමන්ගේ හැකියාවට අනූකුලව ඔවුන් හදා වඩා ගත්තේ නම්, ඔවුන් ඔහුට අපාය ගින්නෙන් ආරක්‍ෂාව සපයනු ඇත” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ.”

ග‍්‍රන්ථය : බුහාරි

  • “අධ්‍යාපනය ලබා දීම, හොද (යහපත් අරුතක් ඇති) නමකින් ඇමතිම, යොවුන් වියට පත්වූ විට විවාහ කරදීම සියළු පියවරුන්ට තමන්ගේ ගැහැණු දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් වෙයි.”

ග‍්‍රන්ථය : බුහාරි.

ඉහත හදීසයන් අනුව ඇය විවිධ අවදීන් පසුකලත් ඇයගේ ගෞරවාන්විත අයිතීන් පිලිබදව ඉස්ලාම් දැඩි හා පැහැදිලි ස්ථාවරයක සිටන බව පැහැදිලිය. නමුත් ඉස්ලාම් මගින් කාන්තාව වෙත තහවුරු කරන අයිතීන් හා කාන්තාවගේ අයිතීන් දිනාගැනීම සදහා ඒ මිලෙඡ්ච ජන සමාජය ඉදිරියේ කරන ලද විප්ලවීය අරඟල බටහිර ලොවේ කාන්තා නිදහස පිලිබදව ක‍්‍රියාකාරී හු දැනගෙන ඇත්තේ ස්වල්ප වශයෙන්වීම ඉස්ලාම් අද සමාජයේ මුහුණ දෙන ඛේදනීය තත්වයකි. එදා ඉස්ලාම් ප‍්‍රකාශ වන මුල් අවධියේ සමාජය කාන්තාව සැලකුවේ මිනිසාගේ අවශ්‍යතාවයන් පිනවීම සදහා මවන ලද නිවසට පමණක් සීමා වූ සත්වයකුට වඩා නොදෙවනි තත්වයකයි. මෙවන් වූ තත්වයකින් ඇය මුදවාගෙන ඉස්ලාම් කාන්තාවට ලබාදුන් අයිතීන්ට අමතරව බටහිර ශිෂ්ඨාචාරය මඟින් කිසිදු වැඩදායි යමක් ඇයට ලබාදී නොමැත. ලබදී ඇති යමක් තිබේ නම් එය දූෂණයටත්, අනාචාරයටත් වැඩි නිදහසක් ලබාදීම පමණකි. අනාචාරය, සල්ලාලකම, අශීලාචාර බව, නීචත්වය හා චරිත දූෂණය වැනි දේ ඉස්ලාම් විසින් අනුමත නොකරයි. එම ගුණාංගයන් අහිමි කිරීම කාන්තාවගේ දියුණුවට බාධාවක් වේද? එය කාන්තාවගේ දියුණුවට බාධාවක් නම් එවැනි නිදහසක් බුද්ධිය ඇති කිසිදු යහපත් කාන්තාවක් අපේක්‍ෂා නොකරනු ඇත.

ඉස්ලාමීය ස්ථාවරය “ස්ත‍්‍රී පුරුෂ දෙදෙනාම මනුෂ්‍යත්වයේ පාරමිතාව අත්පත් කරගත හැකි ස්වභාවයෙන් යුතුව දෙවියන් වහන්සේ විසින්ම නිර්මාණය කරණු ලැබූවෝය” යන්නයි. මෙම සංකල්පය වෙනත් ආගම්වල දක්නට නැත. එසේ නැතුවා පමණක් නොවේ ඇයගේ එම මූලික අයිතීන්ට හානිකර ප‍්‍රකාශනයන් ආගමික මූලාශ‍්‍රයන්වල දක්නට ලැබෙන බව අප ඉහතින් විමසා බැලූවෙමු. මේ පිලිබදව “ඉස්ලාමීක් ඇන්ඞ් ඇරබ් සිවිලිසේශන්” නම් ග‍්‍රන්ථයේ 519 පිටුවේ මෙසේ සදහන් වේ. එනම්, “දහස් සංඛ්‍යාත පුරුෂයින් අතර දේවාශිර්වාදය ලද කෙනෙක් සොයා ගත හැක. එහෙත් එවැනි තත්වයට පත්වු එක් ස්තී‍්‍රයක් හෝ ලෝක කාන්තාවන් අතර සොයාගත නොහැක.” මෙය තමා කාන්තාව සම්බන්ධයෙන් ලොව බහුතරයකගේ ස්ථාවරය. මේ ආකාරයට ලොව සියළු ආගම් ලිංග භේදය අනුව යම් යම් සීමාවන් නිර්මාණය කරගෙන ක‍්‍රියාත්මක වෙද්දී ඉස්ලාම් පියවරක් ඉදිරියෙන් හිද දෙවියන් වහන්සේගේ අභියස ස්ත‍්‍රී පුරුෂ භේදය සලකනු නොලබන බවත්, මේ දෙපල එකින් එකා හා සමාන බවත්, සෑම කෙනෙක්ම උත්තරීතර අධ්‍යාත්මයකින් හෙබි ජීවයන්ය කෙනෙකු අනෙකුට වඩා විශේෂත්වයක් උසුලන්නේ දෙවියන් වහන්සේ අභියස සුචරිතය, ශ‍්‍රද්ධාව, අධ්‍යාත්මික හා සදාචාරාත්මක ගුණයහපත්කම ආදියෙන් පිරිපුන් හා ඉහලින් සිටින තැනැත්තා බවත්, මෙවන් ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට ස්ත‍්‍රී පුරුෂ දෙපලටම පුළුවන් බවත්, අවසාන විනිශ්චය දිනයේ දී විනිශ්චය ඔවුන ඔවුන්ගේ ක‍්‍රියා කලාපය මත පමණක් තීන්දු කරනවා මිස ඔවුන් ඔවුන්ගේ ලිංගිකත්වය අනුව නොවන බවත් පැහැදිලිවම පවසයි. එවැනි ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් කිහිපයක් ඔබේ අවධානයට යොමු කරන්නේ නම්,

“පුරුෂ වුවද ස්ත‍්‍රී වුවද (මෙම දහම) විශ්වාස කර හොද ක‍්‍රියාවන් කරන්නෝද ඔවුන් ස්වර්ගයට ඇතුල් වන්නෝය. ඔවුනට ස්වල්ප ප‍්‍රමාණයකින් හෝ අසාධාරණයන් සිදු නොකරන්නේය.”

ශුද්ධ වු අල්කුර්ආනය 4-124

“යහපත් ක‍්‍රියාවන් කරන කෙනෙකුට ස්ත‍්‍රීය වේවා පුරුෂයා වේවා සැබෑ ව්ශ්වාසවන්තද වේ නම් එවැන්නාට අප මෙලොවේදී ඉතා යහපත් ජීවිතයක් සකස් කර දෙන්නෙමු. එලොවේ දී ඔවුන් ඔවුන්ගේ ශ‍්‍රමයට ප‍්‍රතිපල ලබා දී මේදී ඔවුන් කල ප‍්‍රමාණයට වඩා හොද ප‍්‍රථිපල ලබා දෙන්නෙමු.”

ශුද්ධ වු අල්කුර්ආනය 16:97

ස්තී‍්‍රය හා පුරුෂයා එකිනෙකාගේ ඌනපූරක ලෙස ඉස්ලාම් සලකයි.

“ඔවුන්ගේ ප‍්‍රාර්ථනයට සවන්දුන් ඔවුන්ගේ ස්වාමියා කීවේය. ඔබලාගෙන් ස්තී‍්‍රය හෝ වේවා පුරුෂයා හෝ වේවා කිසිවකුගේ යහකම්වලට යහපත් ප‍්‍රථීපල නොදී මා අපතේ නොයවන්නෙමි. ඔබලා එකින් එකා අනෙකා මත රැඳීසිටින්නෙහිය.”

ශුද්ධ වු අල්කුර්ආනය 3:195

මේ ආකාරයට දෙවියන් ඉදිරියේ තීරණාත්මක සාධකය වන්නේ ලිංග භේදය නොව ඇයගේ හෝ ඔහුගේ අවනතභාවය හා විශ්වාසණියත්වය බව ඉස්ලාම් අවධාරණය කිරීම තුල ඉස්ලාම් කාන්තාවට ඇයගේ අපේක්‍ෂිත සීමාවට වඩා බොහෝ දෑ ලබාදී ඇති බව පැහැදිලිය. මෙහි සුවිශේෂි කාරණය වන්නේ ලොව සෑම සමයක්ම කාන්තාවගේ ආගමික අයිතිය පවා අහිමි කරද්දී ඉස්ලාම් ඇයගේ ආගමික අයිතිය පමණක් නොවේ ලෞකික ජීවිතයේ ඇයට අවශ්‍ය සියළුම ආකාරයේ වරප‍්‍රසාදයන් නොඅඩුව ලබාදෙන්නේ ඇයගේ කිසිදු ආකාරයක මැදිහත්වීමක් හෝ ආයාචනයකින් තොරවය. මේ කිසිවක් පිලිබදව අධ්‍යනයන් සිදු නොකොට පටු සීමාවල හා පූර්ව නිගමනවල හිද පදනම් විරහිතව ඉස්ලාම් දහම හා මුස්ලීම්වරුන් විවේචනය කිරීම ඔවුන්ගේ අනවබෝධයට වඩා අන්තවාදීත්වය මනාව ප‍්‍රදර්ශනය කිරීමකි. මෙවන් පදනම් විරහිත අන්තවාදී විවේචකයන්ටත් ඔවුන්ගේ අඩිපාරේ ගොස් වල්මත් වූ සමාජයේ අවධානයටත් “කාන්තා අයිතීන් ඉස්ලාම් අහිමි කරනවාද? ඇයිට ඉස්ලාම් ලබාදී තිබෙන තැන කොතැනද?” යන කාරණය පිලිබදව දැන් අවධානය යොමු කරමු.

කාන්තා අයිතීන් ඉස්ලාම් අහිමි කරනවාද? ඇයිට ඉස්ලාම් ලබාදී තිබෙන තැන කොතැනද?

“ඉස්ලාම් කාන්තා අයිතීන් උදුරාගෙන ඇත” යයි පවසන පිරිස් ඒ සදහා වූ සාක්‍ෂි වශයෙන් කරුණු කිහිපයක් ගෙන හැර දක්වයි. එනම්,

(ඉහත කරුණු ඉදිරියේදී වෙන වෙනම යහමඟ හරහා සාකච්චා කිරීමට අපේක්ෂා කර ඇත) ඉහත ආකාරයට සමාජයෙන් ඉස්ලාම් දහමට එරෙහිව විවිධ චෝදනාවන් ඉදිරිපත් වේ. මේවා එකින් එක කථා කිරීමට වඩා වැදගත් වන්නේ සමස්ථයක් වශයෙන් ඉස්ලාම් දහම තුල කාන්තාවගේ භූමිකාවයි. එම කාරණය කෙරෙහි අවධානය යොමු කිරීමට මත්තෙන් මුළු මහත් සමාජය පැහැදිලි කරගත යුතු කරුණක් ඇත. ඒ “කාන්තාවට පිරිමියා සෑම අතින්ම සමානද?” යන්නයි. මෙය පැහැදිලි කරගැනීම තුල ඉහත කාරණ බොහෝමයකට පිලිතුරු ලැබෙනු ඇත. ඒ අනුව එම කාරණය කෙරෙහි අවධානය යොමු කලේ නම්,

කාන්තාවට පිරිමියා සෑම අතින්ම සමානද?

ඉහත බොහෝ චෝදනාවලට හේතුව මෙම සංකල්පයයි එනම් “කාන්තාව පිරිමීන්ට සෑම අතින්ම සමානයි” යන සංකල්පයයි. ඉස්ලාම් දහම අධ්‍යනය කරන විට සමහරක් කරුණුවල දී කාන්තාවට වඩා පිරිමීන්ට ප‍්‍රමුඛත්වයක් දෙන අවස්ථාවල් දක්නට ඇත. එම කාරණයන් පදනම් කරගෙන සමස්ථ දහම ම කාන්තාවගේ අයිතීන් උදුරාගෙන ඇති බවට චෝදනා කරයි. එසේ නම් ප‍්‍රථමයෙන් අවබෝධ කරගත යුත්තේ මේ දෙපාර්ශවය සෑම අතින්ම සමානද? නොඑසේ නම් වෙනසක් පවතිනවාද? යන්නයි.

ඉස්ලාම් පැහැදිලිවම “කාන්තාව සෑම අතින්ම පිරිමිට සමයි” යන සංකල්පය පප්‍රතික්ෂේප කරයි. මෙම සංකල්පය වාදයකට අලංකාර වුවත් ප‍්‍රායෝගික නොවන සංකල්පයකි. සැබැවින්ම කාන්තාව හා පිරිමීයා අසමානව පැවතීම තමා මනුෂ්‍ය පැවැත්මේ රහස. කාන්තාව කාන්තාවම විය යුතුය. පිරිමියා පිරිමියාම විය යුතුය. එසේ නොවන අවස්ථාවන් සමාජය පිලිකුල් කරනවා යන්න ප‍්‍රායෝගික සත්‍යයයි. අප සමාජයේ සමහරක් “ඔහු ගෑණියෙක් වගේ” එසේත් නැත්නම් “ඇය පිරිමියෙක් වගේ” යයි පිලිකුල් සහගතව කථා කරනවා අනන්තවත් දැක ඇත්තෙමු. ගතිගුණ වලින් පමණක් නොවේ “ඒක ගෑණූ වැඩ” එසේත් නැත්නම් “ඒක පිරිමි වැඩ” යනුවෙන් ක‍්‍රියාවන් පවා කාන්තාවට හා පිරිමින්ට වෙන වෙනම වෙන් කර සමාජය හදුනාගෙන ක‍්‍රියා කරනවා යන්න යථාර්තයයි. එසේනම් මතභේදය ඇත්තේ කොතැනද? මිනිසුන් කුමන ආකාරයට කි‍්‍රියාකලත් “දෙවියන් ඇයි මේ දෙපාර්ශවය සම කොට නොසලකන්නේ” යන මත වාදයයි. මෙය සාධාර්ණ වූ තර්කයක් පමණක් නොව මිනිසුන් වශයෙන් දෙවියන්ගෙන් බලාපොරොත්තු වියයුතු සාධාරණයකි. එසේ නම් දැන් ගැටළුව දෙවියන් මේ දෙපාර්ශවයෙන් එක් පාර්ශවයකට සුවිශේෂත්වයක් දක්වමින් තවත් පාර්ශවයකට අසාධාරණයක් සිදු කරනවා ද? යන්නයි.

මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය වන්නේ කුමන කාරණයන් හි කාන්තාව හා පිරිමියා සමවිය නොහැකි ද එම කාරණයන්වල ඉස්ලාම් ඒ දෙපාර්ශවය සමව දැකීම ප්‍රතික්ෂේප කරයි. එසේම කුමන කාරණයන් හි කාන්තාවට වඩා පිරිමියා උසස් වේද එහි දී පිරිමියා උසස් ලෙසත්, කවර කාරණාවල දී පිරිමීන්ට වඩා කාන්තාව උසස් වේද එහි දී කාන්තාව උසස් ලෙසත් ඉස්ලාම් සලකයි. පිරිමින්ගේ ශාරීරික ස්වභාවයන් පදනම් කරගෙන ඔවුනට යම් යම් වරප‍්‍රසාද, යුතුකම් හා වගකීම් ඉස්ලාම් පවරයි. එසේම කාන්තාවගේ ශාරීරික ස්වභාවයන් පදනම් කරගෙන ඔවුනට යම් යම් වරප‍්‍රසාද, යුතුකම් හා වගකීම් ඉස්ලාම් පවරයි. මේ අනුව සෑම අතින්ම කාන්තාව පිරිමියාට සමයි යන සංකල්පයේ ඉස්ලාම් පැහැදිලිවම නැත. මෙය සරල උදාහර්ණයක් මගින් පැහැදිලි කරනවා නම්,

එක් පවුලක වයස අවුරුදු 20 හා අවුරුදු 01 ක දරුවන් දෙදෙනෙකු සිටිනවා යයි උපකල්පනය කරන්න. මේ දරුවන් දෙදෙනාම මව බිහිකර ඇත්තේ දසමසක් කුසේ දරා සිටීමෙන් අනතුරුවයි. මවගේ කෝණයෙන් තම දරුවන් දෙදෙනාම තමාට එක සමානය. එමනිසා මව කිසිදු විටෙක තම දරුවන්ට අසාධාරණයක් සිදු නොකරයි. දැන් මේ මව දරුවන්ගේ කුසගින්නට වැඩිමල් දරුවාට ඝන ආහාර ලබාදෙයි එසේම බිලින්දා කුසගින්නේ හඩනවිට ඉහත ඝණ ආහාර ලබානොදී පළතුරු හා කිරි වැනි සරලව දිරවන්නට පහසු ආහාර ලබාදෙයි. දැන් මේ දෙස බලා සිටින ඔබ ඒ මව දරුවන් අතර අසාධාර්ණ අයුරින් කටයුතු කරන බව පවසනවාද?. එසේම මෙම දරුවන් දෙදෙනා එකවර කුසගින්නේන් ආහාර ඉල්ලා සිටින විට මව බාලම දරුවාගේ කුසගින්නට ආහාර දීමෙන් පසුවයි වැඩිමල් දරුවා ගැන බලන්නේ මෙහි දී කිසිවකුට තර්ක කල හැකි ද ඉහත මව තම දරුවන් අතර අසාධාරණයෙන් ක‍්‍රියා කරනවා යයි. මේ දරුවන් දෙදෙනාගේ ශරීර ස්වභාවය අනුව මව සාධාරණව ක‍්‍රියා කරන්නේ නම් ක‍්‍රියාකලයුතු එකම ආකාරය ඉහත ආකාරය පමණි. මේවා සමාජයේ එදිනෙදා දකින ප‍්‍රායෝගික සත්‍යයි.

සාමාන්‍ය දරුවන් සැලකූවිට ඉහත ආකාරයේ අසමානකම් කෙටිකාලීනව පැවතියත් කාන්තාව හා පිරිමියා සැලකූවිට ඉහත දුර්වලතාවයන්ට වඩා වැඩි දුර්වලතාවයන් සධාකාලිකව පවතී. එම වෙනස හදුනා ගෙන ඔවුනට සාධාරණය ඉටුකිරීම බාහිරින් අන්තවාදීව දකින ඕනෑම කෙනෙකුහට අසාධාරණයක් ලෙස පෙනෙන්නට පුළුවන නමුත් සැබැවින්ම එහි අසාධාරණයක් නැත. මනුෂ්‍යාගේ හැකියාවන් හා දුර්වලතාවයන් හොදින් දන්නේ අපව මැවූ දෙවියන් පමණි. පිරිමියාට පිරිමින්ගේ දුර්වලතාවයන් එක්තරා දුරකට පැවසිය හැක. ඒ ආකාරයටම කාන්තාවට කාන්තාවගේ දුර්වලතාවයන් පැවසිය හැක. නමුත් මෙම දුර්වලතාවයන් එකට එක සාපේක්‍ෂව හොදින්ම දන්නේ දෙවියන් පමණී. සමහරක් අවස්ථාවල දී යහපත් ගුණාංග පවා දුර්වලතාවයන් බවට පත්වෙන අවස්ථාවන් ඇත. එයට උදාහරණයක් ලෙස ඉහතින් සදහන් කල ආකාරයට “ස්ත‍්‍රිය සාක්‍ෂි නම් දෙකක් අවශ්‍යයි පිරිමින් නම් එකක් ප‍්‍රමාණවත්” යන ඉස්ලාමීය නීතිය සදහන් කල හැක. මෙම ඉස්ලාමීය නීතිය බොහෝ දෙනෙකු ඉස්ලාම් කාන්තාවට ආසාධාරණයන් සිදු කරන බව ඔප්පු කරන්න යොදාගන්නා නීතියකි. ඒ එක් පිරිමියෙකුට සමවෙන්න නම් කාන්තාවන් දෙදෙනෙකු අවශ්‍ය බව ඉස්ලාම් අවධාරනය කරන බව පවසමිනි. ඉස්ලාම් මෙම නිතිය පනවා ඇත්තේ කාන්තාව බුද්ධිමත් නොවන නිසාත් පිරිමීන්ට ඊට වඩා බුද්ධිමත් නිසාත් නොවේ. වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී.

“බුද්ධිමත්ම පිරිමියෙකුගේ බුද්ධියම අක‍්‍රිය කරවන්නට තරම් හැකියාවක් කාන්තාවණී ඔබට ඇත.”

ග‍්‍රන්ථය:- බුහාරි 304, 1463

ඉහත නබිවදනට අනුව කිසිසෙත් කාන්තාවගේ බුද්ධීය අවතක්සේරු කල නොහැක. එසේනම් ඇයි ඉස්ලාම් සාක්‍ෂි සම්බන්ධයෙන් මෙවැනි නීතියක් පනවන්නේ? මෙයට හේතූන් කිහිපයක් ඇත. එහි ප‍්‍රධානම හේතුව ඇයගේ යහපත් ගුණාංගයක් වන අසීමිත ආදරය, සංවේදීභාවය හා අනුකම්පා කිරීමේ ස්වභාවයයි. කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් කාන්තාව සාක්‍ෂිදීමේ දී ඇයගේ සාක්‍ෂි කිසියම් පාර්ශවයක් කෙරෙහි ආදරයක් හෝ අනුකම්පාවක් නිසා සත්‍ය වසන් වී එම තීන්දුවට අසාධාරණයක් නොවීම සදහා කාන්තා සාක්‍ෂි ලබාගැනීමේ දී දෙදෙනෙකු අවශ්‍ය බව ඉස්ලාම් අවධාරණය කරයි. මෙම කාන්තා දුර්වලතාවය සැබැවින්ම දුර්වලතාවයක් නොවුවත් ඉස්ලාම් එය මෙම ස්ථානයේ දී දුර්වලතාවයක් ලෙස දකී. මේ අනුව දුර්වලතාවයන් කිහිපයක් පදනම් කරගෙන කාන්තාවද? පිරිමියාද? උසස් යන නිගමනයකට පැමැණිය නොහැක. මෙයට සරල උදාහරණයක් මුහම්මද් නබිතුමාගේ වදනකින් පැහැදිලි කරගත හැක. එනම්,

  • “එක්තරා අවස්ථාවක කෙනෙකු පැමිණ ‘මම අධිකව යුතුකම් ඉටු කිරීමට ඇත්තේ කාහටද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණෝ ‘මවට’ යයි පවසන ලදී. නැවත ඔහු ඊළඟට කාටද? යයි විමසන ලදී. එයට නබිතුමාණෝ නැවතත් ‘මවට’ යයි පවසන ලදී. නැවතත් ඔහු ඊළඟට කාටද? යයි විමසන ලදී. එයටත් නබිතුමාණෝ ‘මවට’ යයි පවසන ලදී. ඉන්පසු නැවත් ඔහු ‘ඊට පස්සේ කාටද?’ යයි විමසූ විට ‘නුඹේ පියාට’ යයි නබිතුමාණන් පවසන ලදී.”

ග‍්‍රන්ථය :- බුහාරී 5971

ඉහත නබි වදන අනුව මවට දෙවැනි තැන නොව තෙවැනි තැන පවා පියා නොමැති තරමට මෙම කාරණයේ දී ඉස්ලාම් කාන්තාවට සුවිශේෂි ස්ථානයක් ලබාදී ඇති බව පැහැදිලිය. සෑම අතින්ම පිරිමියා උසස් නම් ඉහත ආකාරයට කිසිවිටෙකත් නබිතුමාණෝ නොපවසනු ඇත. මේ අනුව ඉස්ලාම් දහමේ පැහැදලි ස්ථාවරය වන්නේ’

  • සෑම අතින්ම පිරිමීන් උසස් ද නොවේ
  • සෑම අතින්ම කාන්තාව පහත් ද නොවේ
  • සෑම අතින්ම මේ දෙපාර්ශවය සමාන ද නොවේ

මේ අනුව ඉස්ලාම් කාන්තාවට ලබාදී ඇති අයිතීන් හා නිදහස අද ලොව කාන්තාවට ලබා දී ඇති අයිතීන්ට හා නිදහසට වඩා ගෞරවනීය එකක් බව වටහාගත යුතුය. ඒ අනුව සමාජය තුල කාන්තාවට හිමි විය යුතු ස්ථානය වන්නේ සමතැන නොව නිසි තැන යන්න පැහැදිලිය. ඉස්ලාම් කාන්තාව සම්බන්ධයෙන් ලබාදෙන නිදහස හා වරප‍්‍රසාද ගැඹුරින් අධ්‍යනය කරන විට ඉස්ලාම් කාන්තාවට ලබාදෙන නිසි තැන සමාජයේ කාන්තාව ඉල්ලා සිටින සමතැනට වඩා උසස් ස්ථානයක් බව පැහැදිලි ලෙස අවබෝධ කරගත යුතුවේ.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp