ඉස්ලාම් දහම තුල මුස්ලීම් සමාජයේ බෙදීම

1

මෙම ලිපියෙහි පලමු කොටසින් ‘ආගම් නාමයෙන් මිනිස් සමාජය බෙදීයාම’ යන ලිපිය මීට ඉහත සාකච්චා කලෙමු. එහිදී ආගම මුල් කරගෙන විවිධ පිරිස් තම දහම තුල බෙදීගිය ආකාරයත්, එහිදී එකම දහම තුල මිනිස් සමාජය භේදබින්න වී එකින් එකා හට චෝදනා කරගැනීමට හා කුලල්කා ගැනීමට මූලික වූ හේතු සාධක මොනවාද? යන්නත්, එම තත්වයෙන් මිදීමට ගතයුතු ක්‍රියා මාර්ග කුමක්ද? යන්නත් විමසා බැලුවෙමු. එහිදී දක්නට ලැබුණූ පොදු කාරණය නම් ලොව සෑම දහමක්ම මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුවා යන්නයි. ඒ අනුව ‘එකම දෙවි අල්ලාහ් පිලිගෙන ඔහු විසින් මඟ පෙන්වන දේව පුස්තකය වන ශුද්ධ වූ කුර්ආනය පිලිපදින මුස්ලීම් සමාජයත් බෙදුනා’ යන්නත් ඉහත ලිපිය තුලින් තරමක් දුරකට සාකච්චා කලෙමු. මෙම ලිපිය තුලින් ‘යහමඟ’ අවධානය යොමු කිරීමට අදහස් කරන්නේ ‘මෙවැනි බෙදීම් ඉස්ලාම් දහම තුල නිර්මාණය වීමට මූලික වූ හේතු සාධක මොනවාද?’ යන්න පිලිබදව වන අතර ඉන් අනතුරුව ‘මේ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද?’ යන්න පිලිබදව ද සාකච්චා කිරීමට අදහස් කරමි.

ඉහත මාතෘකාවට අවධානය යොමු කිරීමට ප්‍රථම සදහන් කලයුතු මූලික කාරණයක් ඇත. එනම්, ‘ලොව කිසිදු දහමක් මිනිස් සමාජය බේද කිරීම අරමුණූ කරගෙන එහි උපදේශයන් සිදු නොකලා’ යන්නයි. මෙය සරල නිදසුනකින් පැහැදිලි කරනවා නම්, බුදුදහම තුල ථේරවාදය, මහායාන, හීනයාන… යනාදියත්, කිතුණු දහමේ විවිධ නිකායන් නිරමාණය කරගැනීමත් එහි ශාස්තෘවරුන්ගේ නිර්මාණ නොව පසුකාලීනව එහි අනුගාමිකයන් විසින් ගොඩනඟාගත් තත්වයන් යන්න සියළු පාර්ශවයන් අවිවාදයෙන් පිලිගන්නා සත්‍යයකි. මේ අවාසනාවන්ත ඉරණම ‘ඉස්ලාම්’ නමින් මුස්ලීම් සමාජය තුලත් ඉහත ආකාරයටම නිර්මාණය වී ඇත. පාඨක සහෝදරයෙකු පෙර ලිපිය තුල අදහස් පලකලාසේ ලොව අනිකුත් සමාජ‍යන්ට සාපේක්ෂව බෙදීම අතින් මුස්ලීම් සමාජය ඉදිරියෙන්ම ඇත. මෑත කාලීනව එහි සීඝ්‍ර වර්ධනයක් ද පෙන්නුම් කිරීම මෙහි අවාසනාවන්ත තත්වය තවත් හොදින් කියාපෑමකි. මෙවැනි සමාජ පසුබිමක මෙම විෂය තරමක් ගැඹූරින් සාකච්චා කිරීම කාලීන මෙන්ම මුඛ්‍ය අවශ්‍යතාවයකි. ඒ අනුව මෙම විෂය ප්‍රධාන පැති 02 ක් ඔස්සේ මෙහි කථා කිරීමට අදහස් කරමි. එනම්,

  • මෙවැනි තත්වයක් මුස්ලීම් සමාජය තුල නිර්මාණය වූයේ ඇයි ද?
  • එයට බලපෑ හේතු මොනවා ද?

මෙහි පලමු කාරණය ඉතා වැදගත් කාරණයකි. ඒ ‘මෙවැනි ඉරණමක් මුස්ලීම් සමාජය තුල උදාවූයේ ඇයි ද?’ යන කාරණ යයි. මෙම පැනයට ‘ආගමික ඉගෙන්වීමන් පිලිබදව මුස්ලීම් සමාජයට ඇති අවම දැනුමයි’ යනුවෙන් සරල පිලිතුරක් දිය හැක. ඒ පිලිබදව තරමක් ගැඹූරින් විමසා බලන්නේ නම්, එහිදී ඉහත දුර්වලතාවය මුස්ලීම් සමාජය තුල නිර්මාණය වීමට බලපෑ හේතු කාරණා කිහිපයක් දැක ගැනීම‍ට හැකි වේ. මෙහිදී බොහෝ දෙනෙකු ඉදිරිපත් කරන ජනප්‍රිය මතය ‘වර්ථමානය තරම් අතීත සමාජය බුද්ධිමත් නොවූ නිසා ඔවුන් ආගමික අනවබෝධයෙන් ක්‍රියා කොට ඇති බව’ යන්නයි. මේ මතය තුල යම් යම් වලංගුභාවයන් පැවතුනත් එය නිවරුදිම හේතුව නොවන බව පැහැදිලි වන සාධකය නම්,  ආගමික ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේ පහසුකම් අතීතයට වඩා හොදින් වර්ථමානයේ තිබුනත්, මෙම තත්වයෙහි වර්ධනයක් පෙන්නුම් කරනවා මිස අවමවීමක් පෙන්නුම් නොකිරීමයි. මේ තත්වය තුල ඉහත විෂය තරමක් ගැඹූරින් විමසා බැලීමක් සිදු කලයුතු වේ.

නූතන මිනිසා අතීතයේ නොඇසුවිරු ආකාරයට ආගම දහම පිලිබදව කථා කිරීමටත්, වාද විවාද, තර්ක විතර්ක කිරීමටත් උනන්දුවක් දක්වන බව වර්ථමාන සමාජය අධ්‍යනය කලේනම් ඔබට පැහැදිලි වනු ඇත. (‘යහමඟ’ නම් මෙවැනි අඩවියක් ඉදිරිපත් කිරීමට මූලික වූ හේතු අතර එයත් ප්‍රධාන හේතුවකි) නමුත් එවන් වූ සමාජය තරමක් සූක්ෂම ලෙස අධ්‍යනය කරන විට පැහැදිලි වන සරලම කාරණය නම්, ආගම දහම පිලිබදව කථා කිරීමටත්, වාද විවාද, තර්ක විතර්ක කිරීමටත් උනන්දු වන සමාජය තම දිවියේ එනම් ලෞකික දිවියට හා ලෝකොත්තර දිවියට තීරණාත්මක සාධකය වන තමන් පිලිගෙන අදහන දහම ඉගෙනීමටත්, ගැඹුරින් අධ්‍යනය කිරීමටත්, ඒ අනුව තම ජීවිතය සකසා ගැනීමටත් මැලිකමක් දැක්වීමයි. බහුතරයකගේ තත්වය එසේ වුවත් සුළුතරයක් ආගමික ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමට උනන්දු වන ආකාරයන් ද දක්නට නැතුවා නොවේ. නමුත් එවැනි පිරිස් සදහා ආගමික ඉගෙන්වීමන් සරල බසින් නොවීම එම ඉගෙන්වීමන් තවදුරටත් පොදු ජනයාගෙන් දුරස්වීමට හේතු වී ඇත. ඉහත පොදු තත්වයන්ට අමතරව මෙම ඉගෙන්වීමන් පොදු ජනයාගෙන් දුරස්වීමට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් ඇත. ඒ ආගමික පූජකවරුන් හා එහි විද්වතුන් ‘මේක ගැඹුරු දහමක්… මේවා තේරුම් ගැනීම පහසු නැහැ… මේවා හැමෝටම කියවා තේරුම් ගන්න බැහැ… මේවා අවබෝධ කරගන්න ප්‍රගුණ කලයුතු කාලාවන් තිබෙනවා… එහෙම නැතුව මේවා කියවන්න හෝ තෙරුම් ගන්න ගියොත් නොමඟයාවී, විනාශවේවී…’ යනාදී වශයෙන් ආගමික ‍‍ඉගෙන්වීමන් කෙරෙහි අනවශ්‍ය පුහු එසේම භක්තියෙන් පිරි බියක්, කුතුහලයක් පොදු ජනයා තුල නිර්මාණය කොට දහමේ පූර්ණ අයිතිය පූජක පැලැන්තියට පමණක් සීමා කොටගෙන තිබීමයි.

දහමක් දර්ශනයක් යන්න කිසියම් පාර්ශවයකට, පක්ෂයකට හෝ පැලැන්තියකට සීමා කලහැකි දෙයක් නොවේ. නමුත් පොදු ජනයාගේ ආගමික අවනතභාවයත්, ගෞරවයත්, භක්තියත් අවස්ථාවක් කරගන්නා පූජකවරුන්, විද්වතුන්, ශාස්තෘවරුන්… යයි හදුන්වා ගන්නා විවිධ පාර්ශවයන් තම ලෞකික අරමුණු මුදුන්පත් කර ගැනීම සදහා ඉහත අවස්ථාවන් ප්‍රයෝජනයට ගෙන පොදු ජනයා පිවිතුරු දහමින් දුරස් කොට තමා වටා ඔවුන් ඒකරාශි කිරීමටත් තම විග්‍රාහයන් තුල පොදු ජනතාව රදවා ගැනීමට කටයුතු කිරීම නිසා පිවිතුරු දහමින් ජනතාව දුරස්වීමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත. මෙහි අවසාන ප්‍රථිපලය වූයේ පිවිතුරු දහම පිලිබදව නිසි අවබෝධයක් නැති අන්ධ භක්තික සමාජයක් නිර්මාණය වීමයි. මේ අවාසනාවන්ත ඉරණමින් මුස්ලීම් සමාජයට ද මිදීමට හැකි වූයේ නැත.

පිවිතුරු ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයෙන් ඈත්වීමට බලපෑ තවත් ප්‍රබල හේතුවක් ඇත. එනම් ඉස්ලාම් දහම, මුහම්මද් (සල්) තුමාණන් මඟින් මීට වසර 1400 කට පෙර ප්‍රකාශ වන්නේ එවකට පැවති ප්‍රධාන භාෂාව වන අරාබි භාෂාව මඟිනි. ඒ වකවානුව වන විට ලේඛන කලාව දියුණු මට්ටමක පැවතීම නිසා මෙම ආගමික ඉගෙන්වීමන් එම වකවානුවේ දීම ලේඛනගත විය. (මේ පිලිබදව වැඩි විස්තර කියවීමට මූලාශ්‍ර ග්‍රන්ථාරෑඩ වූ ඉතිහාසය යන ලිපිය කියවන්න) නමුත් අතීතයේ පටන් අරාබිවාසීන් රට රටවල් අතර ජංගම වෙළදාම් හි නිරත වූ නිසා ආරම්භ කාලයේ ඉස්ලාම් දහම ‍ලොව බොහෝ රටවල්වලට ව්‍යාප්ත වූයේ වෙළදුන් මඟින් මුඛ පරම්පරාගත ප්‍රචාරය තුලින් මිස පිවිතුරු ඉගෙන්වීමන් ලොවපුරා ව්‍යාප්ත වීමක් තුලින් නම් නොවේ. මෙය එනම්, ඉස්ලාම් දහම මුහම්මද් (සල්) තුමාණන් මඟින් ප්‍රකාශ වී වසර 60ක් පමණ ගතවන විට ඉන්දියාව දක්වා ඉස්ලාම් දහම ව්‍යාප්ත වීම හොද නිදසුනකි. මේ හේතුව නිසා ඒ ඒ රටවල සංස්කෘතින් හා එවකට එහි පැවති ප්‍රධාන ආගම්වල බලපෑම ඉස්ලාම් දහමටත් බලපාන ලදී. මෙය ඉන්දියාව තුල පැතිරිගිය ඉස්ලාම් දහම තුල අදටත් හින්දු දහමේ හා හින්දු සංස්කෘතියේ බලපෑම් දක්නට තිබීම මනාව කියාපායි. මීට අමතරව ලොව අනිකුත් සමාජයන් මෙන්ම මුස්ලීම් සමාජයත් ශුද්ධ වූ ඉගෙන්වීමන්වලින් බැහැරව විවිධ වූ පුද්ගල උපදේශයන් අනුගමනය කිරීමටත්, අනුකරනය කිරීමටත් ඔවුන්ගේ ලාභ ප්‍රයෝජන හා අරමුණු මුදුන්පත් කර ගැනීමේ ක්‍රියාවලියන් සදහා වූ සංශෝධනයන් ද එහි විය. මේ හේතූන් නිසාත් ‘ඉස්ලාම්’ නමින් ලොවපුරා බොහෝ විට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූයේ විකෘති කල දහමකි. එනම් අවසානයේ සත්‍ය දහම වෙනුවට ලෝකයා හමුවේ ඉතිරි වූයේ විවිධ පුද්ගල චින්තනයන් හා ඔවුන්ගේ නැණ පමණින් වූ දහමක් පමණි. තවත් සරලව පවසනවා ‘ඉස්ලාම් භක්තිකයන්’ නමින් ලොවපුරා මුස්ලීම්වරුන් සිටියද ඔවුන් අතර පිරිසිදු ඉස්ලාම් දහම නොවීය.

කෙසේ වෙතත් අතීතයේ පටන් පැවත ආ ඉහත තත්වය දැන් දැන් වෙනස්වීමට පටන්ගෙන ඇත. කාලාන්තරයක් මුළුල්ලේ පාරම්පරිකව හෝ සමාජ සම්ප්‍රදායන් ලෙස අනුගමනය කල ආගමික කරුණූ බොහෝමයක් ‘මෙය ඉස්ලාම් දහමට අනුකූලද?’ යන්න විමසා බැලීමටත්, එය ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හා සංසන්ධනය කර ඒ අනුව ක්‍රියා කිරීමටත් මුස්ලීම් ජනතාව යොමු වෙමින් ඇත. මේ නිසා ඉස්ලාමීය මූලාශ්‍රයන්  තුල සදහන් කරුණු හා සමාජ සම්ප්‍රදායන් තුල විශාල පරස්පරතාවයක් පවතින බව පොදු ජනතාවට අවබෝධ වෙමින් ඇත. මේ නිසා මුස්ලීම් සමාජය තුල ආගමික මූලාශ්‍රයන්  හි සදහන් කරුණූ පිලිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නොහැකි ව්‍යාකූල තත්වයක් මෑත කාලීනව නිර්මාණය වෙමින් ඇත. මෙම යථාර්ථය අවබෝධ කරගත් සමහරක් පිරිස් වසර සියගනනක් පාරම්පරිකව කරගෙන ආ ක්‍රියාවන්, මතවාදයන්, විශ්වාසයන්… අත්හැර දහමේ ඉගෙන්වීමන් වැලද ගන්නේ කෙසේද? යන පැනය තුල සිර වී ඇත. ඒ අතුරින් සැලකිය යුතු පිරිස් තමන් මෙතෙක් කරගෙන ආ ක්‍රියාවන් සාධාරණීකරනය කිරීමට මං සොයමින් ඒ සදහා වූ මතවාදයන්, වෘතාන්තයන්, මිත්‍යාවන්, මනක්කල්පිතයන් සමාජය තුල ගොඩනඟමින් ඉස්ලාමීය මූලාශ්‍රයන්ට පවා වැරදි විග්‍රහයන් ඉදිරිපත් කරමින් මුස්ලීම් සමාජය තම මතවාදය තුල රදවා ගැනීමට අවශ්‍ය මංපෙත් එලි කරමින් අසාර්ථක උත්සාහයක් නිරතව ඇත.

මෙහිදී නොකියා බැරි කාරණයක් ඇත. එනම්, අතීතයේ විසූ ඉස්ලාම් දහම පිලිබදව කිසියම් අවබෝධයක් ලබා සිටී එසේම මුස්ලීම් සමාජයේ යහපතට කිසියම් සේවාවක් කිරීමට ඉදිරිපත් වූ විද්වත් පිරිස් තම දැනුම මූල් කරගෙන එවකට පැවති සමාජ මිත්‍යාවන්, අනාචාරයන්, දුරාචාරයන් හා මිලෙච්ඡ ක්‍රියාවන්… යනාදියෙන් මුස්ලීම් සමාජය මුදවා ගැනීමට විවිධ උත්සාහයන් ගෙන ඇත. ඔවුන් සත්භාවයෙන් හා තම නැණ පමණින් ඉටුකල එම මෙහෙවර පිලිබදව ‘යහමඟ’ට විරුද්ධ මතයක් නැත. නමුත් ආගමික මූලාශ්‍රයන් පහසුවෙන් පරිශීලනය කිරීමට හැකි වර්ථමානයේ පවා ඉහත මාර්ගයන් අනුගමනය කලයුතු යයි වාද කිරීම නුවණක්කාර ක්‍රියාවක් නොවන බව අවබෝධ කරගැනීම සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකු හට අපහසු නොවේ. නමුත් මෙහි අවාසනාව වන්නේ ‘ලොව සෑම දහමක්ම එහි ඉගෙන්වීමන් නිසි ලෙස ආරම්භයේ පටන් ආරක්ෂා කිරීමට නොහැකිව, ඒ හේතුව නිසා ඉහත තත්වයට ගොදුරු වෙද්දී ඉස්ලාම් දහම ඉගෙන්වීමන් ආරම්භයේ සිට ආරක්ෂා වී තිබිය දී හා එය අප දෝතෙහි තබාගෙන දහම තුල වල්මත් වීමයි. මෙසේ මුස්ලීම් සමාජය වල්මත් වීමට බලපෑ කරුණූ (අතර මෙතෙක් සාකච්චා කල කරුණූ හා සාකච්චා නොකල කරුණූ සාරාංශ කොට) ඔබේ බුද්ධිමත් අවධානයට ගෙන එන්නේ නම්,

  • ආගමික මූලාශ්‍ර ආරම්භයේ අරාබි භාෂාවෙන් පැවතීම නිසා අරාබි භාෂාව පිලිබදව නිසි අවබෝධයක් නොමැති ජනතාව ආගමික පූජකවරුන් සරණ යාම,
  • පූජකවරුන් යයි හදුන්වා ගන්නා පිරිස් ඉහත තත්වය අවස්ථාවක් කරගෙන තම ලෞකික ලාභ ප්‍රයෝජන සදහා ආගමේ නමින් ජනතාව රැවටීම,
  • ආගමික විද්වතුන්, පූජකවරුන් යයි ජනතාව හමුවේ පෙනීසිටි සමහරක් පිරිසට පිරිසිදු ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව පූර්ණ දැනුමක් නොමැතිවීම,
  • නොදියුණු සංනිවේදන තාක්ෂණයක් පැවතී අතීතයේ ආගම මුඛ පරම්පරාගතව ව්‍යාප්තවීම නිසා එහි පාරිශුද්ධත්වය විකෘති වී ව්‍යාප්තවීම,
  • පූර්ණ ආගමික දැනුමක් නොමැති ජනතාව තම අවට සහෝදර ජනතාවගේ ඇදහිලි, සංස්කෘති, විශ්වාස හා සම්ප්‍රදායන් තම දහමට ද නන්අයුරින් ගලපා ගැනීම,
  • ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව පූර්ණ ඥානයක් නොමැති වුවත් මුස්ලීම් සමාජයට යහපතක් කිරීමේ චේතනාවෙන් තම නැන පමණින් විවිධ ඇදහිලි හා සම්ප්‍රදායන් ආගම නමින් සමාජය තුල නිර්මාණය කිරීම,
  • ඉස්ලාම් විරෝධින් දහමට එරෙහිව සූක්ෂම ආකාරයට ගොතන ලද කරුණු දහම තුලට අන්තර්ගත කිරීම,
  • ශුද්ධ වූ කුර්ආනය මුහම්මද් (සල්) තුමාණන් පෙන්වාදුන් ආකාරයට අවබෝධ කරගන්නවා වෙනුවට තම බුද්ධිය යොදවා සමාජය තුල මතවාදයන් නිර්මාණය කිරීම,

මේ ආකාරයේ වූ හේතුන් රාශියක් නිසා පිවිතුරු ඉස්ලාම් දහම අද විකෘති වී සමාජගතව ඇත. එසේම මේ තත්වය තුල මතභේදයට මුල්පිරු සමාජය අද ඉස්ලාම් නමින් විවිධ කොටස්වලට බෙදී ගොස් එකින් එකාහට චෝදනා, අවලාද නඟමින් විරසකයන් හා විටෙක ගැටුම්කාරී තත්වයන් පවා නිර්මාණය වන තැනට යොමු වෙමින් ඇත. මේ තුල සැලකිය යුතු බුද්ධීමත් පිරිසක් තම පාරම්පරික විශ්වාසයන් අත්හැර නැවත සත්‍ය දහම වෙත යොමු වුවද තවත් පිරසක් අනවබෝධය නිසාත්, වැරදි මඟපෙන්වීම් නිසාත්, තම පාරම්පරික විශ්වාසවලම හිද තම ක්‍රියාව සාධාර්ණීකරනය කිරීමට විවිධ වූ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ඇත. එවැනි කිහිපයක් පවසන්නේ නම්,

  • මෙය අප පරම්පරාවෙන් කරගෙන ආපු දෑ දැන් වරදින්නේ කොහොමද?
  • මේ අපේ දෙමාපියන්, ඔවුන්ගේ දෙමාපියන්, ඔවුන්ගේ දෙමාපියන් කරගෙන ආපූ දෑ එතකොට ඒ අයත් වැරදිද?
  • අපි කරන මේ දේවල් හොද දේවල් නේ ඉතින් ඇයි මේවා වැරදි කියන්නේ?
  • මේවා බහුතරයක් අදටත් කරගෙන යන දේවල් නේ ඒක වරදින්නේ කොහොමද?
  • කොතරම් ප්‍රසිද්ධ විද්වත් පිරිස් මෙය පවසා තිබෙනවාද?
  • අපිට නම් හිතෙන්නේ අප කරන මේවා හරි කියලයි,
  • පැරණි පොත්පත්වල පවා මේවා ලියවිලා තියෙනවා ඒවාත් වැරදිද?
  • අපි පිලිගෙන ක්‍රියාකරන දෑ තර්කානූකූලයි ඉතින් මේක වරදින්නේ කොහොමද?

ඉහත වාදයන් දෙස බලන විට ඒවා සාධාර්ණ මෙන්ම නිවරුදි වාදයන් බව ඕනෑම කෙනෙකු හට සිතෙන්නට පුළුවනි. සැබැවින්ම ‍දෛනික කටයුතුවල දී එසේත් නැත්නම් ලෞකික කටයුතුවලි දී මේ පවසන තර්කයන් බොහෝ විට සත්‍යයකි. නමුත් දහමක් සම්බන්ධයෙන් මේ කිසිවක් වලංගු වන්නේ නැත. එම කාරණය මීලඟ ලිපිය වන ‘මුස්ලීම් සමාජයේ බෙදීම ඉස්ලාම් අනුමත කරනවාද? අනුබල දෙනවාද?’ යන ලිපිය තුලින් සාකච්චා කිරීමට අදහස් කරමින් මෙම ලිපියට මෙතෙකින් විරාමය තබමි.

 

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. indika27 2012-06-15 at 02:03

    වැදගත් ලිපියකි…

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *