ඉස්ලාම් පවසන කර්මය – විමසුමක්

4

අද යහමඟ අඩවිය තුල සාකච්චා කිරීමට අදහස් කරන්නේ ඉතා සංකීර්ණ එසේම ගැඹූරු මාතෘකාවක් පිලිබදවයි. සාමාන්‍ය ව්‍යවහාරයේ කර්මය, දෛවය, ඉරණම… යනාදී වචනවලින් හදුන්වන එම විෂය හැදින්වීමට භාවිතා කරන වචන පවා විටෙක සංකීර්ණ කාරණයක් වී ඇත. මන්ද සිංහල භාෂාව තුල හා විවිධ ආගමික ඉගෙන්වීමන් තුල කර්මය, දෛවය, ඉරණම… යනාදී වචන නිරන්තරයෙන් භාවිතා වේ. ඒවා විටෙක සමාන අරුතින්ද තවත් විටෙක පරස්පර විග්‍රහයන් ලෙසද ඉදිරිපත් වේ. ඒ අනුව මෙම වචනවලට අදාල වන අරුථ පිලිබදව පැහැදිලි අවබෝධය ලබා ගතයුතු වන්නේ ඒ ඒ විෂය පථය නියෝජනය වන ක්ෂේත්‍රය හා එහි ඇති විග්‍රාහයන් පදනම් කරගෙනය. උදාහර්ණයක් ලෙස ‘කර්මය’ යන වචනය සැලකූවිට ඒ සදහා සිංහල භාෂාව තුල එක් විග්‍රහයක්ද, බුදුදහම තුල තවත් විග්‍රහයක්ද, හින්දු හෝ කිතුණූ දහම තුල තවත් විග්‍රහයක්ද, සමාජය තුල මීට වඩා වෙනස් විග්‍රහයන්ද පැවතිය හැක. මෙවැනි තත්වයක කලයුතු වන්නේ ඒ ඒ විෂය පථයට අනුකූලව එම වචනාර්ථය අවබෝධ කරගැනීම මිස තම තමන් දරණ මතවාදය තුල කොටු වී අනිකුත් පාර්ශවයන් දරණ මතවාදයට චෝදනා නැඟීම හෝ ගැරහීම නොවේ. එම කාරණය හොදින් මතකයේ රදවාගෙන දැන් මාතෘකාව වෙත යොමු වෙමි.

ඉස්ලාම් දහම මූලික ප්‍රතිපත්ති 06 ක් මත ගොඩනැඟී ඇති බව මීට ඉහත මෙම අඩවිය තුල කිහිප අවස්ථාවකම සාකච්චා කොට ඇත. ‘ඉස්ලාම් හි මූලික පදනම විශ්වාසයයි’ යන ලිපිය එයට සමීපතම නිදසුනයි. ඒ අනුව සෑම මුස්ලීම්වරයෙකුම අනිවාර්‍යයෙන් විශ්වාසයෙන් යුතුව පිලිගතයුතු කරණූ 06 ක් ඉස්ලාම් දහම තුල ඇති බව දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. එම කරුණූ 06 අතුරින් කරුණූ කිහිපයක් පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුල අඩු වැඩි වශයෙන් සාකච්චා කොට ඇත. නමුත් එහි මේ දක්වා සාකච්චා නොකල ‘කර්මය පිලිබදව වූ විශ්වාසය’ නම් මාතෘකාවක් පිලිබදව තමා අද දින මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරන්නේ. එය ඉහත කරුණු 06 අතුරින් අවසාන කාරණය ලෙස ඉස්ලාම් පවසයි. සෑම මුස්ලීම්වරයෙකු තුලම පැවතිය යුතු මූලික විශ්වාස 06 අතුරින් අවසාන අංගය ලෙස ඉස්ලාම් පවසන මෙම ‘කර්මය, දෛවය එසේත් නැත්නම් ඉරණම’ යන්න (මෙතැන් පටන් එය මා ‘කර්මය’ යයි හදුන්වමි) ඉස්ලාම් දහම පිලිපදින මුස්ලීම්වරුන්ට පමණක් නොව ලොක්වාසී සියළු දෙනාගේ හිත සුව පිණිස තීරණාත්මක සාධකයක් යන්න මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත.

සෑම මුස්ලීම්වරයෙකුම විශ්වාසය තැබීම අනිවාර්‍ය කරුණූ 06 අතර (සමාජ විග්‍රහය අනුව හෝ වෙනත් ආගමික විග්‍රහය අනුව නොව ඉස්ලාම් දහමේ විග්‍රහය කරන) ‘කර්මය’ ද එකක් යන්න දැන් පැහැදිලිය. ඒ අනුව කිසියම් මුස්ලීම්වරයෙකුට එම විශ්වාසයන් තුල දුර්වලතාවයක් පවතී නම් ඔහු සැබෑ මුස්ලීම්වරයෙකු නොවේ යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එම කාරණය තවත් ගැඹූරින් සාකච්චා කිරීම ප්‍රථම පැහැදිලි කරගත යුතු තවත් වැදගත් කාරණයක් ඇත. ඒ මා ඉහතින් සදහන් කලාසේ ‘ඉස්ලාම් පවසන කර්මයේ ආකාරය කුමක්ද?’ යන්නයි. ඉස්ලාම් දහම ‘කර්මය’ විශ්වාස කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? යන්න සරලව පැහැදිලි කරනවා නම්, මිනිස් වර්ගයාට ස්වභාවිකව හා අස්වභාවිකව සිදුවන යහපත් හා අයහපත් යනාදී සියල්ල අල්ලාහ් (දෙවියන්‍)ගේ පෙර නියමය පරිධි සිදුවෙනවා යයි විශ්වාස කිරීමයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 6-59 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) මෙසේ පවසයි.

ගුප්ත කරුණූ පිලිබදව වූ යතුර ඇත්තේ තමා (අල්ලාහ්) හමුවේය. ඔහු හැර වෙන කිසිවකු ඒ පිලිබදව නොදනී. ඔහු ගොඩබිමේ මෙන්ම මුහුදේ ඇති දෙය ද හොදින් දනී. (ගසකින්) පත්‍රයක් බිම වැටුනත් එයත් ඔහු නොදැන නොවේ. මේ භූමිය තුල ඝන අඳුරෙහි ඇති බීජයක් වුවද, එය තෙත්ව ද වියලිව ද පැවතුනේ යන්නත්, පැහැදිලි පලකයේ නැතුවා නොවේ.

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය පිලිබදව හොදින් අවධානය යොමු කලේනම්, ඉස්ලාම් පවසන ‘කරුම’ (දේව නියමය) පිලිබදව පමණක් නොව ඉස්ලාමීය මූලික ප්‍රතිපත්ති පිලිබදව පවා හොද අවබෝධයක් ලබාගත හැක. එනම් ඉහත 6-59 වාක්‍යය අරඹන්නේ ‘ගුප්ත වූ කරුණූ පිලිබදව වූ යතුර තමා ලඟ…’ බව අල්ලාහ් (දෙවියන්) අවධාරණය කරමිනි. මේ තුලින් ඉස්ලාමීය මූලික ප්‍රතිපත්ති ගණනාවක් අනාවර්ණය වේ. අනාගතය පිලිබදව අනාවැකි පැවසීමේ කලාවක් වර්ථමානයේ ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. අප රට තුල පවා මෙවැනි ඊනියා අනාවැකිකරුවන් වැසි වැසී ඇත. ඔවුන් වෙනුවෙන්ම පවත්වන පුවත්පත්, වෙබ් අඩවීන් හා මාධ්‍ය සාකච්චාවන් ද අප රට තුල අඩුවක් නැතුව දෛනිකව දක්නට ඇත. මෙවැනි ඊනියා අනාවැකිකරුවන් සරණ යමින් ජීවිතය රාශී 12 ක් තුල කොටු කරගත් දෙස් විදෙස් පිරිස් අපමණය. (මෙම විෂය පිලිබදව ‘ජෝතිෂ්‍ය පිලිබදව විමසුමක්‘ යන මාතෘකාව යටතේ දීර්ඝ ලෙස මෙම අඩවිය තුල කථා කොට ඇත) මේ සදහා නිදසුන් ඕනෑ තරම් අප සමාජය පදනම් කරගෙන වුවද ඉදිරිපත් කල හැක. ‘2012 ලෝක විනාශය’ යන්න එවැනි ඔබට සංවේදී නිදසුනකි. (මේ පිලිබදව ද ළඟදීම යහමඟ අඩවිය තුල දීර්ඝ ලෙස කථා කිරීමට අදහස් කොට ඇත) මිනිස් බුද්ධියට ගෝචර නොවන ගුප්ත කරුණූ පිලිබදව කිසිවකු අනාවැකි පවසයි නම්, එය ඉස්ලාම් දහමේ ඉගෙන්වීමට අනුව (එම අනාවැකිකරුවා මුස්ලීම් වුවත්, මුස්ලීම් නොවන වෙනත් කෙනෙකු වුවත්) එය මුසාවකි. එය තමා ඉහත 6-59 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) ‘ගුප්ත කරුණූ පිලිබදව වූ යතුර ඇත්තේ මා හමුවේය…’ යනුවෙන් අවධාරණය කරන්නේ. මෙවැනි මිත්‍යා අනාවැකි තුල බුද්ධිමත් මානවයා මුලා නොවිය යුතු යන්න පිලිබදව දැඩිව සැලකිලීමත් වන ඉස්ලාම් දහම එවැනි ගුප්ත කරුණූ පිලිබදව අනාවැකි විමසීම පවා වරදක් ලෙස දකී. එය පහසුවෙන් අවබෝධ කර ගැනීම පිණිස ශුද්ධ වූ නබිවදන් 02 ක් ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නේ නම්,

කවරෙකු අනාවැකිකරුවෙකු හෝ ශාස්ත්‍රිඥයෙකු වෙත ගොස් ඔවුන් පවසන දෑ සත්‍යයක් යයි පිලිගත්තේ නම්, ඔවුන් මුහම්මද් (සල්) තුමාණන්ට (අල්ලාහ් (දෙවි) විසින්) පහල කල ආගම ප්‍රතික්ෂේප කල පිරිසක් බවට පත්වන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද්

කවරෙකු අනාවැකිකරුවෙකු වෙත ගොස් ඔහුගෙන් කිසිවක් විමසුවේ නම් (එය ඔහු පිලිගත්තද, නොගත්තද) ඔහු දින 40 ක් කල (දේව වන්දනා (සලාත්) මඟින් රුස්රගත්) කුසල් අහිමි කරගන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත කෙටි කරුණූ දැක්වීම අනුව හා 6-59 වාක්‍යයට අනුව ගුප්ත කරුණූ පිලිබදව වූ ඥානය අල්ලාහ් (දෙවියන්) පමණක් සතු වුවක් යන්න ඔබට පැහැදිලි වියයුතුය. එපමණක් නොව එම 6-59 වාක්‍යය මඟින් පවසන ‘…ඔහු ගොඩබිමේ මෙන්ම මුහුදේ ඇති දෙය ද හොදින් දනී. (ගසකින්) පත්‍රයක් බිම වැටුනත් එයත් ඔහු නොදැන නොවේ. මේ භූමිය තුල ඝන අඳුරෙහි ඇති බීජයක් වුවද, එය තෙත්ව ද වියලිව ද පැවතුනේ යන්නත්…’ යන්න තුල මේ විශ්වයේ ආරම්භ මොහොතේ පටන් ලෝක විනාශ මොහොත දක්වා වූ සියල්ල ඔහු හොදින් දැන සිටිනවා යන්නත් එම වාක්‍යයෙන් පැහැදිලි වේ. එපමණක් ද නොව ලෝක විනාශ මොහොතේ පටන් එතැනින් එහාට (මරණින් මතුවට) සිදුවන දෑ පවා ශුද්ධ වූ කුර්ආනයේ සවිස්තරව පැවසීම තුල (අල්ලාහ් (දෙවි) වන) ඔහු අතීතය, වර්ථමානය හා අනාගතය පිලිබදව පරිපූර්ණ ඥානයකින් යුක්ත බව ද පැහැදිලි වේ. එය කොතරම්ද යන්න පවසනවා නම් මරණින් මතු උදාවන (මෙලොව කල කුසල් අකුසල් පිලිබදව විමසන) විනිශ්චය දිනයේ සමහරක් මිනිසුන් දෙවියන් හමුවේ පාපොච්චාරණය කරන ආකාරය පවා ශුද්ධ වූ කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවි) අපට කියාපායි. ඒ සදහා නිදසුන් ශුද්ධ වූ කුර්ආනය තුලින් විශාල වශයෙන් ඉදිරිපත් කලහැකි වුවත් ඔබගේ දැනගැනීම පිණිස එවැනි එක් වාක්‍යක් මෙහි පහතින් ඉදිරිපත් කරමි. එනම්,

ඔවුන්ගේ මුහුණූ අපා ගින්නෙහි දවාලන මොහොතේ ‘අප අල්ලාහ් (දෙවි)ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නට තිබුනා නොවේද!, අපගේ දෙවියනේ!, අපගේ ප්‍රධානීන්ට හා වැඩිහිටියන්ට අප අවනත වූයෙමු. ඔවුන් අපව වැරදි මඟක යොමු කොට විනාශ කර දමා ඇත. අපගේ දෙවියනේ!, ඔවුනට (අපට මෙන්) දෙගුණයක් දඬුවම ලබාදෙන්න’ යයි පවසනු ඇත.

ශුද්ධ වූ කුර්ආනය – 33-66 සිට 68 දක්වා

මෙතෙක් ඉදිරිපත් කල කරුණූ අනුව ගුප්ත කරුණූ පිලිබදව වූ ඥානය මනුෂ්‍යාට නොමැති බව පමණක් නොව ඒ පිලිබදව පරිපූර්ණ ඥානය අල්ලාහ් (දෙවියන්) සතු බව ද දැන් තරමක් දුරකට හෝ  ඔබට අවබෝධ වී ඇතැයි සිතමි. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ඉහත 6-59 වාක්‍යයේ අපගේ මාතෘකාව සමඟ සෘජුව සම්බන්ධ වන අවසාන කොටස වන “…පැහැදිලි පලකයේ නැතුවා නොවේ’ යන්න වෙත දැන් අවධානය යොමු කලේනම්,

ඉහත වාක්‍ය මඟින් මෙලොව හා (මරණින්) මතු ලොව සිදුවන සියල්ල ලියා ඇති ‘පලකයක්’ පිලිබදව සදහන් වේ. ඒ පිලිබදව කෙටි අවධානයක් යොමු කරන්නේ නම්, අල්ලාහ් (දෙවි) ප්‍රථමයෙන් ‘කලම්’ හෙවත් පෑන (ලිවීමට උපකාරී වන යමක්) හා ‘ලව්හුල් මව්ෆූල්’ නම් පලකයක් මවා එම ‘කලමය’ ට එම පලකය මත ලියන ලෙස නියෝග කල බවත්, ඒ අනුව එම මොහොතේ පටන් අනාගතයට සිදුවන සියල්ල දෙවියන්ගේ නියෝගය මත එම පලකය මත සටහන් වූ බවත්, ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. මෙලෙස ආරම්භයේ සිට අවසානය දක්වා මෙලොව හා මරණීන් මතු ලොව සිදුවන සියල්ල සටහන් වූ පලකය පිලිබදව ඉහත  6-59 වාක්‍යයට අමතරව ශුද්ධ වූ කුර්ආනයේ කිහිප තැනක විස්තර සදහන් වේ. මෙම පලකය පිලිබදව හා එහි සුරක්ෂිතභාවය පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ සදහන් වාක්‍ය කිහිපයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම් 85-21,22 වාක්‍යය හා 56-77,78 වාක්‍යය සදහන් කල හැක.

දැන් නැවතත් ඉහත 6-59 වාක්‍යයෙන් පවසන කාරණය වෙත අවධානය යොමු කලේනම්, එහි ගසකින් පත්‍රයක් ගිලිහුනත් එය කුමණ අවස්ථාවේ, (එනම් අමු, ඉදුණු හෝ වියලි යනාදී වශයෙන්) කුමණ තත්වයේ, කුමණ කාලයක, කුමණ ස්ථානයට පතිත වනවාද? යන්න පවා එම ‘ලව්හුල් මව්ෆූල්’ නම් පලකයේ සවිස්තරව සටහන්ව තිබෙනවා යන්න මෙහි වක්‍ර ආකාරයෙන් කියාපාන සත්‍යයයි. අද අප අල්ප කරුණූ ලෙස සලකන මෙවැනි සුළු කාරණයන් පවා ඉතා සවිස්තරව එහි සදහන්ව ඇතැයි පැවසීම තුල, මෙම විශ්වය තුල සිදුවූ, සුදුවෙමින් පවතින හා සිදුවීමට නියමිත සියල්ල එම පලකයේ සටහන්ව ඇත යනුවෙන් විශ්වාස කිරීම තමා ඉස්ලාම් පවසන ‘කර්මය’ පිලිබදව වූ සැබෑ විශ්වාසය වන්නේ. ඒ අනුව ‘කර්මය’ නම් වචනයට සමාජය තුල ලබාදෙන විග්‍රාහය හෝ නොයෙක් ආගම් තුල ඒ ඒ ආගමික විශ්වාසයට සාපේක්ෂව ඉදිරිපත් කරන විග්‍රාහය මෙතැනදී ඉස්ලාම් පවසන ‘කර්මය’ සදහා භාවිතා කිරීම හෝ ගැලපීම නිවරුදි ක්‍රමවේදයක් නොවන බව ඔබට දැන් පැහැදිලි වියයුතුය. ඒ අනුව එම පදනමේ හිද ‘ඉස්ලාම් පවසන කර්මය’ පිලිබදව වූ විශ්වාසයට දැන් ඉදිරියට විමසා බලමු.

ඔබේ බුද්ධිමත් විමසුමට හා අවධානයට ඉස්ලාම් ආගමික ඉගෙන්වීමන් කවදත් ඉදිරිපත් කරන යහමඟ වෙබ් අඩවිය අද කිසියම් සීමාවක් තුල හිඳ මෙම මාතෘකාව කථා කිරීම‍ට සිදුව ඇත. මන්ද ඉස්ලාම් පවසන ‘කර්මය’ නම් විෂය පරිපූර්ණ ලෙස විග්‍රහ කිරීමේ ජගතෙකු අතීතයේ පටන් අනාගතය දක්වා මේ මිහිමත නොඉපදෙන බව ඉස්ලාම් පවසන බැවිණි. ඉස්ලාම් මනුෂ්‍ය බුද්ධියට ආමන්ත්‍රණය කරන දහමක් යන්න මා මෙම අඩවිය තුල අනන්තවත් ප්‍රකාශ කොට විටෙක එම මාතෘකාව පදනම් කරගෙන ලිපි පවා ඉදිරිපත් කොට ඇති බව ඔබට අළුත් කාරණයක් නොවනු ඇත. මෙම අඩවිය තුල ඉදිරිපත් කල ‘මිනිස් චින්තනය හා වහල්භාවය එවැනි එක් ලිපියකි. නමුත් ඉස්ලාම් දහම තුල මනුෂ්‍ය බුද්ධියට ගෝචර නොවන විෂයන් 02 ක් පිලිබදව ද සදහන් වන බව මෙහිදී සදහන් කලයුතු අත්‍යඅවශ්‍ය කාරණයකි. ඉස්ලාම් දහම මඟින් මිනිස් සමාජයට අනාවර්ණය නොකරන එම විෂයන් දෙක නම්,

  • අල්ලාහ් (දෙවියන්)ගේ ස්වරූපය (හැඩය)
  • කර්මය

ඉහත විෂයන් 02 ක පිලිබදව ඉස්ලාම් බුද්ධිමත් විග්‍රහයක් මනුෂ්‍යා හට ලබා නොදුන්න ද ඒ විෂයන් පිලිබදව වූ විශ්වාසය ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවය සහා  එවැනි විශ්වාසයන් ගොඩනඟා ගැනීම තුලින් මනුෂ්‍යා හට අත්වන යහපතත් කුමක්ද? යන්න අවබෝධ කර ගැනීමට අවශ්‍ය පැහැදිලි කිරීමන් ඉස්ලාම් දහම ලබාදී නැතුවා නොවේ. මෙම විෂයන් පිලිබදව ඉස්ලාම් මීට වඩා ගැඹූරු පැහැදිලි කිරීමන් නොකරන්නේ එය මිනිස් මනසට ගෝචර නොවන තරම් ඉතා සංකීර්ණ විෂයන් දෙකක් වන නිසා මිස ඉස්ලාම් දහම තුල එයට පිලිතුරු නොමැති නිසා නොවන බව මෙහිදී වටහා ගතයුතු වේ. මෙහි ගැඹූරු බව හා සංකීර්ණ බව නබිතුමාණන් නිවරුදිව හදුනාගත් නිසා තමා එතුමාණන් මෙම විෂයන් සම්බන්ධයෙන් තර්කයන් ගොඩනැඟීමෙන් වලකින ලෙස මුස්ලීම් සමාජයට අවවාද කලේ. මෙසේ මා පවසන විට මුස්ලීම් නොවන සහෝදරයන් තුල ‘එහෙමනම් ඉස්ලාම් දහම තුල මුස්ලීම්වරුන්ට උත්තර නැති ප්‍රශ්නත් තියෙනවා නේද?’ යනුවෙන් කුතුහලයක් ඇති වීමට පුළුවන. ඇත්ත වශයෙන්ම මෙම විෂයන් දෙක සම්බන්ධයෙන් පැහැදිලි විග්‍රහයක් නැතැයි යන්න අවිවාදයෙන් තොරව සෑම මුස්ලීම්වරයෙකුම පිලි ගතයුතු සත්‍යයකි. එසේ නොමැතිව කිසිවකු එම විෂය පැහැදිලි කරමින් පිලිතුරු ලබාදෙන්නට ඉදිරිපත් වන්නේ නම් එය පැහැදිලිවම මුලාවක් හා අනවබෝධයකි. මෙයට මීට ඉහත දෙවියන්ගේ ස්වරූපය සම්බන්ධයෙන් යහමඟ අඩවිය තුල සාකච්චා කල ‘ඉස්ලාම් පවසන දේව විශ්වාසය‘ යන ලිපිය හොද නිදසුනකි. නමුත් මෙතැනදී අවබෝධ කර ගතයුතු එක් කාරණයක් ද ඇත. එනම්, කිසියම් ආගමික විෂයකට අදාලව විග්‍රහයක් ලබාදීමට මනුෂ්‍යා අපොහොසත් වීම යන්න එම දහමේ  දුර්වලතාවයක් යයි තීන්දු කිරීම නිවරුදි හෝ බුද්ධිමත් ක්‍රමවේදය නොවේ. කිසියම් ආගමික විෂයකට අදාලව විග්‍රහයක් ලබා ගැනීම‍ට නොහැකි වීමට ප්‍රධාන හේතු 03 ක් පැවතිය හැක. එනම්,

  1. දහම තුල පැවසෙන කරුණූවල දුර්වලතාවයන් හා අඩුපාඩු පැවතීම,
  2. දහම තුල පැවසෙන කරුණූ අවබෝධ කරගැනීමට නොහැකි තරම් මනුෂ්‍ය බුද්ධිය දුර්වලවීම,
  3. දහම පිලිබදව පරිපූර්ණ දැනුමක් නොපැවතීම,

ඉහත 03 වන කාරණය සැලකූ විට එය මනුෂ්‍යාගේ බුද්ධිමත්භාවය හා බැදි කාරණයක් නිසා එම කාරණය පිලිබදව පොදුවේ සැලකිල්ලට ගත නොහැක. දහම පිලිබදව පූර්ණ අවබෝධයක් ඇති කෙනෙකුට පවා එහි ඉගෙන්වීමන් තුල ඇති යම් යම් කරුණූ නිසි ආකාරව විග්‍රහ කිරීමට නොහැකි වීම තුල 03 වන කාරණය සෘජුව බලනොපාන බව පැහැදිලිය. ඒ අනුව සෘජුවම බලපාන ප්‍රධාන හේතු දෙක වන්නේ ඉහත 01 හා 02 යන කාරණයන්ය. මෙහි පලමු කාරණය ද ඉස්ලාම් දහම සම්බන්ධයෙන් වලංගු නොවේ. මන්ද ‘ඉස්ලාම්’ ආරම්භයේ සිට ආරක්ෂා වූ දිව්‍යමය දහමක් වන නිසාය. එසේනම් මෙහිදී ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මෙය අවබෝධ කරගත යුත්තේ, ‘මෙම විෂය පිලිබදව ඉස්ලාම් මිනිස් සමජයට මීට වඩා විග්‍රහ නොකරන්නේ ඒ පිලිබදව ඉස්ලාම් දහම තුල පිලිතුරු නැති නිසා නොව එය අවබෝධ කර ගන්න තරම් මනුෂ්‍යා බුද්ධිය අතින් දියුණු නොවන නිසාය’ යනුවෙනි. මීට අමතරව තවත් හේතුවක්ද පැවතිය හැක. එනම් එම විෂය පිලිබදව මීට වඩා විග්‍රහයන් ඉදිරිපත් කලත් එය මනුෂ්‍යාගේ ලෞකික දිවියට හෝ ලෝකොත්තර දිවියට එතරම් ප්‍රබල බලපෑමක් ඇති නොකරන නිසාද වන්නට පුළුවනි. මේ අනුව කිසියම් විෂයක් ‍හෝ කාරණයකට අදාලව විග්‍රහයන් දහමක් තුල දක්නට නොලැබෙනවා යන්න එම දහමේ දුර්වලතාවයක් යයි තීන්දු කිරීම පටු වූ නිගමනයක් යන්නත්, ඒ අනුව ඉස්ලාම් ‘කර්මය’ සම්බන්ධයෙන් ද අවම වශයෙන් කථා කිරීම ඉහත හේතූන් අතුරින් එකක් නිසා වන්නට පුළුවන් බවත්, දැන් ඔබට අවබෝධ වියයුතුය.

ඉහත මා පවසන තත්වය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම සදහා ඉස්ලාම් දහමින් පරිභාහිරව මොහොතක් විමසා බැලීම වඩාත් සුදුසු යයි හැ‍ඟේ. ඉහතින් මා පවසන තත්වය ඉස්ලාම් දහමට පමණක් ආවේනික තත්වයක් නොවේ. ලොව සෑම දහමක් දර්ශනයක් තුලම අඩු වැඩි වශයෙන් මෙම තත්වය දක්නට ඇත. උදාහර්ණයක් ලෙස ශ්‍රී ලාංකීය බහුතරය පිලිපදින බුදුදහම පදනම් කරගෙන විමසා බැලුවේ නම් එහි ද ‘දස අව්‍යාකෘත ප්‍රශ්න’ යනුවෙන් කිසිදු බෞද්ධ විද්වතෙකුට පිලිතුරු නැති ප්‍රශ්න 10ක් පිලිබදව සදහන් වේ. එම කාරණය පදනම් කරගෙන බුදුදහම වැරදි එසේත් නැත්නම් අඩුපාඩු සහිතයි යයි කිසිවකු තර්ක කරන්නේ නම් එය කිසිදු බෞද්ධ විද්ව‍තෙකු පිලිගන්නේ නැත. මන්ද යමක් නොදන්නවා යන්න එය නැතැයි කීමට පදනම් කරගත නොහැකි පටු තර්කයක් වන නිසා බැවිණි.

මේ අනුව සමහරක් අවස්ථාවල ආගමික කරුණූ අවබෝධ කර ගැනීම සදහා බුද්ධිමත් තර්ක විතර්ක නොව ‘සද්ධාව’ ද පදනම් කර ගැනීමට  සිදුවෙනවා යන්න පැහැදිලි වේ. නූතන මානවයා සියල්ල විද්‍යාව තුලින් හා තර්ක විතර්ක තුලින් අවබෝධ කර ගැනීමට උනන්දුවක් දක්වයි. එලෙස ක්‍රියා කිරීමේ වරදක් ඇතැයි මා නොපවසමි. නමුත් ඔහු පවා පිලිගන්නා එනමුත් ඔහුට අතපසු වූ සත්‍යයක් වන්නේ ඔහු පරිපූර්ණ ඥානයකින් යුක්ත නොවේ යන්නයි. ඒ අනුව තමාගේ බුද්ධිය‍ට ගෝචර නොවන සියල්ල ‘නැතැයි’ පැවසීම ඔහුගේ අඥානය මනාව පිලිඹිබු කිරීමක් මිස එයින් දහමක ඉගෙන්වීමන් වලංගුද? නොවේද? යන්න තීරණය නොවන බව පැහැදිලිය. මා මෙසේ ‘සද්ධාව’ පදනම් කරගෙන සමහරක් කරුණූ අවබෝධ කරගැනීම සිදු කලයුතු බව පවසන විට සමහරක් අන්තවාදී බෞද්ධ බ්ලොග් කරුවන් උපහාසාත්මක ලෙස ඉස්ලාම් දහම විවේචනය කිරීමට පෙළඹෙන අවස්ථා මා අත්දැකීමෙන් දන්නා කරුණකි. තමන් පිලිගෙන පිලිපදින දහමේ මූලික ඉගෙන්වීමන් පවා නොදැන දහම් ප්‍රචාරයේ යෙදෙන බව පවසමින් අනිකුත් ආගම් විවේචනයේ යෙදෙන එම පිරිසට මීට ඉහත නිසි පිලිතුරක් ලබානොදුන් නිසා මෙම අවස්ථාව පදනම් කරගෙන ඔවුනට පවසන්නට ඇත්තේ, මා මෙහිදී පවසන කාරණය හොදින් අවබෝධ කරගැනීම‍ට ඉස්ලාම් දහම තුල නොව බුදුදහම තුල ම ‘ලෝක විනාශය පිලිබදව බුදුන්වහන්සේ වාසෙට්ඨි තවුසාට පැවසූ කරුණූ’ හොදටම ප්‍රමාණවත් යන්න විමසුමට යොමු කරමින් නැවතත් මාතෘකාව වෙත යොමු වෙමි.  

ඉස්ලාම් දහම පවසන ‘කර්මය’ නම් විෂය පිලිබදව අවබෝධය ලබා ගැනීමට යාමේදී ඇති වන බාධක පිලිබදව ප්‍රථමයෙන් විමසා බැලුවේ නම්, එහිදී ඉස්ලාමීය සමහරක් ඉගෙන්වීමන් හොදින් විමසා බලන විට ‘කර්මය’ යනුවෙන් කිසිවක් නොමැති බවත්, තවත් සමහරක් ඉගෙන්වීමන් අධ්‍යනය කරන විට සියල්ල ‘කර්මය’ මත තීන්දු වන බවත් පෙනී යයි. උදාහර්ණයක් ලෙස ඉස්ලාම් දහම මනුෂ්‍යා කුසල ක්‍රියාවන් සදහා පොළොඹවයි. ඔහු කරන කුසල මත තමා සියල්ල තීන්දු තීරණය වන්නේ යනුවෙන් පවසයි. තවත් අවස්ථාවක 6-59 වැනි වාක්‍යයන් මඟින් සියල්ල පෙර සැලසුම් පරිධි තමා සිදුවන්නේ මනුෂ්‍යා අත කිසිවක් නැත යනුවෙන් අවධාරණය කරයි. එනම් කිසියම් පුද්ගලයෙකු යහපත් හෝ අයහපත් පුද්ගලයෙකු වීම පිළිබඳව වූ වගකීම් ඔහු සතු නොවන බව පවසයි. මෙහි බැරෑරුම් තත්වය වන්නේ සියල්ල මනුෂ්‍යාගේ ක්‍රියා කලාපයයන් මත නම් තීන්දු වන්නේ ආම්භයේ අල්ලාහ් (දෙවි) ‘ලව්හුල් මව්ෆූල්’ නම් පලකය මත ලිව්වේ කුමක්ද? යන්නත්, හෙට දිනයේ මා කරන්නේ කුමක්ද? යන්න අල්ලාහ් (දෙවි) නොදන්නවා යන්නත් තීන්දු කිරීමට සිදුවේ. එසේ වුවා නම් එය අල්ලාහ් (දෙවි) ‘සර්වඥාන (අතීතය, වර්ථමානය හා අනාගතය පිලිබදව පූර්ණ ඥානය) ඇත්තා’ යන ඉස්ලාමීය ඉගෙන්වීම අභියෝගයට ලක්වේ. මන්ද එවැනි පූර්ණ ඥානයක් නොමැති කෙනෙකු දෙවියෙක් නොවේ යන්න ඉස්ලාම් දහමේ ම ඉගෙන්වීම වන නිසාය. මේ අනුව ‘කර්මය’ යනුවෙන් කිසිවක් ඇතැයි පැවසීමත් තර්කානුකූල නොවන අතර, ‘කර්මය’ නම් කිසිවක් නැතැයි පැවසීමත් තර්කානුකූල නොවන බව පැහැදිලි වේ. එසේනම් මෙහිදී කලයුතු වන්නේ තවදුරටත් බුද්ධිමත් තර්කයන් මත නොරුදී මා ඉහතින් සදහන් කලාසේ ‘සද්ධාව’ පෙරදැරි කොට මෙම විෂය පිලිගැනීමයි.

මෙහිදී ‘සද්ධාව පමණක් පෙරදැරි කොට පිලිගතයුතුයි’ යයි පැවසූ පමණින්  එය අන්ධ භක්තිකව පිලිගත යුතු යැයි ඉස්ලාම් කිසිවිටෙක පවසන්නේ නැත. මන්ද ඉස්ලාම් පවසන ‘කර්මය’ නම් විෂය මිනිස් බුද්ධියට ගෝචර වන ආකාරයට එහි විග්‍රහ නොවුවත්, එම ‘කර්මය’ පිලිබදව වූ විශ්වාසය මනුෂ්‍යාට ගෙන දෙන යහපත ඉස්ලාම් පැහැදිලි ලෙස විස්තර කර නැතුවා නොවේ.

මනුෂ්‍යා හට හයක් හතරක් තේරෙන්න පටන්ගත් මොහොතේ පටන් මැරෙන මොහොත දක්වා ඔහු තුල පවතින නිත්‍ය දුර්වලතාවයන් දෙකක් ඇත. ඒ දුක හා පසුතැවිල්ලයි. දිනෙන් දින බලාපොරොත්තු පොදි බැදන් ජීවත් වන මිනිසාට ‘අහිමිවීම’ යන්න සුළුකොට තැකිය හැකි තරම් සරල කාරණයක් නොවේ. එය ඔහුව දරුණූ ඉරණමයන්ට පවා යොමු කරවන ආකාරය අප අවට සමාජය තුල නිරන්තරයෙන් දකින්නේමු. තමන් බලාපොරොත්තු වූ යමක් නොලැබුණු විට ඒ පිලිබදව දුක්වීමත්, එය අහිමිවීමට බලපෑ හේතු සොයා පසුතැවීමත්, දුක දරාගත නොහැකි වූ විට හඬාවැටීමත්, තමන් අවට හා පවුලේ පිරිසට දෝෂාරෝපණය කිරීම හා බැණවැදීමත්, තමන්ගේ ශරීරයටම වදහිංසා පමුණූවාලීමත්, එහි උච්චතම අවස්ථාව ලෙස මානසික රෝගියෙකු බවට පත්වීම හෝ විටෙක දිවිනසා ගැනීමට පෙළඹීමත් අප සමාජය තුල නිතර දකින හා අසන පොදු තත්වයකි. එපමණක් නොව මීට ප්‍රතිවිරුද්ධ තත්වයක්ද ඇත. එනම්, තමන් ජයග්‍රහණයක් ලඟා කරගත් විට එය මුල්කරගෙන ආඩම්භර ලීලාවෙන් කටයුතු කිරීමත්, ඒ නිසාම අන් පිරිස අපහසයට හා උපහසයට ලක්කිරීමත්, අනිකුත් පිරිසට හිංසාකාරී ආකාරයට තම සතුට සැමරීමත් වර්ථමාන සමාජයේ පවා දකින්නට තිබෙන තවත් පොදු තත්වයකි. එසේම නිතර දකින්න නොලැබුණත් දරාගත නොහැකි සතුටක් හේතුවෙන් මියගිය මිනිසුන් පිලිබදව පවා අප අසා නැතුවා නොවේ. මේ අනුව මනුෂ්‍යයෙක් තුල ඇති වන දුක ඔහු විසින් පාලනය කර ගැනීමත්, සතුට නිහතමානී ලෙස විද ගැනීමත් ඔහුගේ මෙන්ම ඔහු අවට සමාජයේ පැවැත්ම උදෙසා අත්‍යඅවශ්‍ය අංගයක් යන්න සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පවා පහසුවෙන් වටහාගත හැක. මෙම අවාසනාවන්ත තත්වයන්ගෙන් මනුෂ්‍යා මුදවා දුක හා සතුට යන දෙකටම එකසේ මුහුණදීමේ ගුණාංගය මනුෂ්‍යා තුල ප්‍රගුණ කිරීම සදහා ඉස්ලාම් ‘කර්මය’ නම් ක්‍රමවේදය යෝජනා කරන බව ශුද්ධ වූ කුර්ආනය මඟින් අල්ලාහ් (දෙවි) පවසයි. එනම්,

ඔබලා හට මඟහැරුනු (වැරදී ගිය) දෑ පිළිබඳව දුක් නොවීමටත්, ඔහු (අල්ලාහ් (දෙවි)) ඔබලා හට ලබා දුන් දෑ කෙරෙහි ප‍්‍රීතියෙන් (උඬඟු වී) ඉපිලී නොයෑමටත් (කර්මය නියම කර ඇත.) අල්ලාහ් (දෙවි) උඬඟු වී ආඩම්භර බස් දොඩන්නන් ප‍්‍රිය කරන්නේ නැත.

ශුද්ධ වූ කුර්ආනය 57-23

ඉහත වාක්‍ය මඟින් අල්ලාහ් (දෙවි) අපේක්ෂා කරන තත්වය නූතන සමාජය තුල වාචිකව අදටත් දක්නට ඇත. නමුත් අවබෝධයෙන් යුතුව හදවතින් පවසන වදනක් බවට එය පත්ව නැත. එනම් අදත් කවරෙකු හෝ කිසියම් කරදරයක්ට මුහුණපෑ විගස ඔහු පවසන ප්‍රථම වාක්‍යය ‘මොනවා කරන්නද ඒක කරුමය’ යන්නයි. මෙලෙස ඔහු වාචිකව පැවසුව ද එය හඳවතින්ම ප්‍රකාශ නොවීම තුල එයින් ඔහුගේ අසරණකරමට යහපත් බලපෑමක් සිදු නොවේ. ‘කරුමය’ විශ්වාස කරන පුද්ගලයෙකු හට විපතක් සිදුවුවහොත් ‘අපේ අතෙහි කිසිදෙයක් නොමැත, සියල්ල ඇත්තේ අල්ලාහ් (දෙවි)ගේ අතේය’ යැයි හඳවතින්ම පවසා එම බරින් නිදහස් වන්නට පුළුවන් නම්, එසේම සතුටුක් උදාවූ විට ‘මෙය මාගේ දක්ෂතාවය නොවේ අල්ලාහ් (දෙවි) ලබාදුන් භාග්‍යයක්’ යයි සිතා නිහතමානී ලෙස එම සතුට විඳ දරාගත හැකි නම්, එය තමා ශුද්ධ වූ කුර්ආනයේ 57-23 ඉහත වාක්‍යය තුලින් අල්ලාහ් (දෙවි) සෑම මුස්ලීම්වරයෙකුගෙන්ම අපේක්ෂා කරන ‘කර්මය’ පිලිබදව වූ විශ්වාසය. එනම් කර්මය පිළිබඳ වූ විශ්වාසය මනුෂ්‍යාට දුකක් ඇති වූ විට එම දුකට නිවාරනයක් ලෙස කි‍්‍රයා කර ඔහුගේ දුක මගහරවා එම දුකෙන් ඔහු මුදවා ගතයුතුය. එසේම අප‍්‍රමාණ ධනයක්, ප‍්‍රසංශාවක්, ගෞරවයක්, කෙනෙකුට ලැබුනු විට එමගින් ඔහු ආඩම්බර වී යථාර්තයෙන් මිදී උඬඟුවෙන් ක්‍රියා කිරීම වලක්වා ඔහුව යථාර්තය දකින සමාන්‍ය කෙනෙකු බවට මෙම ‘කරුමය’ පිලිබදව වූ විශ්වාසය පත් කලයුතුය. සරලව පවසනවා නම් සිදුවූ සියල්ල දෙවියන්ගේ පෙර නියමයන් පරිධි තමා සිදුවූයේ එනම්, අහිමිවීමක් නම් ‘එය අහිමිවීමට තිබූ දෙයක්‘ ලෙසත්, ජයග්‍රහණයක් නම් ‘එය මගේ දක්ෂතාවය නොව මට ලැබෙන්න තිබූ දෙයක්’ ලෙසත් සිත හදාගැනීම තුල තමා විසින් තමාව ඉතා පහසුවෙන් පාලනය කරගත හැකි අතර සිත තුලද ශාන්තියක් උදාවනු ඇත. මෙය නබිතුමාණන් ඉතා අලංකාර හදීසයකින් මෙසේ පැහැදිලි කරන ලදී.

වරක් මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී. ‘දේව විශ්වාසවන්තයෙකු ගේ ක්‍රියා කලාපයන් දැක මා විශ්මයට පත්වන්නෙමි. ඔවුන්ගේ දිවිය තුල සිදුවන සියළු කාර්‍යයන් ඔවුනට යහපතක් ගෙනදෙන ආකාරයටම පිහිටන්නේය. දේව විශ්වාසවන්තයන් හැර වෙන කිසිවකුටත් මෙම භාග්‍යය ලැබෙන්නේ නැත. ඔවුනට කිසියම් සතුටුමත් දෙයක් සිදුවූ විට ඔහු අල්ලාහ් (දෙවියන්)ට තුති පුදයි. එය ඔහුට යහපතක් (කුසලක්) ගෙන දෙන්නේය. ඔහුට කිසියම් දුකක් ඇති වු විට ඔහු ඉවසීමෙන් ක්‍රියා කරයි. එයත් ඔහුට යහපතක් (කුසලක්) ගෙන දෙන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

‘කර්මය’ විශ්වාස කොට ජීවත් වන පුද්ගලයෙකුගේ ක්‍රියා කලාපයන් කොයි ආකාරයට පැවතිය යුතුද? යන්න ඉහත හදීසය තුලින් මනාව පැහැදිලි වේ. මනුෂ්‍යා සෑම කලකම සියළු ජයග්‍රහණ හා සියළු යහපත් තමාට ම හිමිවිය යුතු යැයි අපේක්ෂා කරයි. නමුත් එවැනි බලාපොරොත්තු ඉටුනොවන විට ඔහු මනාසිකව පසුබෑමකට ලක්වේ. මෙය ප්‍රායෝගික දිවිය තුල නිතර දකින තත්වයකි. මෙම තත්වය සිදුවීමෙන් සිදුවීමට හා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. සමහරක් පිරිස් බලාපොරොත්තු රාශියක් පොදි බැදගෙන ව්‍යාපාර හා රුකීරක්ෂා අරාරම්භ කරයි, දරුවන් හදාවඩා ගනී, නිවාස හා දේපල රුස් කරයි… නමුත් ඒ සියළු බලාපොරොත්තු සිනුවිසුනු කරමින් නොසිතූ ලෙස සියල්ල විනාශ වී යයි. ව්‍යාපාර කඩා වැටේ, දරුවන් අහිමිවේ, ඔවුන් ආබාධිත තත්වයන්ට පත්වේ. එසේම සුනාමි, ගංවතුර, සුලිසුලං… යනාදී ස්වභාවික හෝ වෙනත් ආකාරයක විපත් මඟින් දේපල හානි සිදුවේ. මෙවැනි අවස්ථාවල මනුෂ්‍යා සදහා පිහිටට ඇත්තේ ‘කර්මය’ මත පැටවූ විශ්වාසය හා ඉවසීම පමණි. මෙතැනදී මනුෂ්‍යා සදහා වෙන විකල්පයක් ඇත්තේම නැත. ඔහු ඉතා ඉක්මනින් යථා තත්වයට පැමිණීමට නම් මෙම ‘කර්මය’ පිලිබදව වූ විශ්වාසය ඔහුට අත්‍යඅවශ්‍ය අංගයකි. ඉස්ලාම් පවසන ‘කර්ම වාදය’ අභියෝගයට ලක් කරන පිරිස හැකි නම් මීට වඩා සුදුසු විකල්පයක් යෝජනා කොට බලන්න. ඔබ බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම් ‘කර්මය’ පිලිබදව විශ්වාසය සිත් තුල ගොඩනඟා ගැනීම තුල මනුෂ්‍යාට සිදුවන්නේ යහපතක්ද? අයහපතක්ද?  යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. ඉස්ලාම් පවසන මෙම ‘කර්ම වාදය’ පිලිගැනීම තුල ඉහත ආකාරයට ලෞකිකව ඔහුට යහපතක් සිදු‍වනවා සේම ලෝකෝත්තර දිවිය තුලද ඔහුට එය යහපතක්ම ගෙනදෙන බව ඉස්ලාම් පවසයි. එව පහත ‘හදීසය’ තුලින් ඔබට මනාව වටහාගත හැක.

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මෙසේ පවසන ලදී. ‘දේව විශ්වාසයෙන් යුතුව කටයුතු කරන පිරිමීන්ට මෙන්ම ගැහැණූන්ට තමන් තුල හෝ තම දූදරුවන් හේතුවෙන් එසේත් නැත්නම් තම දේපල හේතුවෙන් දුක් කරදර අඛණ්ඩව පැවතුණේ නම්, (කර්මයට සියල්ල බාර කොට ඉවසීමෙන් කටයුතු කලේනම්) ඔහු හෝ ඇය තමන් කෙරෙහි කිසිදු අකුසලක් නොමැති (පව් සියල්ල සමාකෙරූ) තත්වයේ (මරණින් මතු) අල්ලාහ් (දෙවි) හමුවනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

අද සමහරක් පිරිස් තම ජීවිත කාලය පුරාවට මුහුණපාන දුක්කරදරවලට ගොදුරු වේ. නිදසුන් කිහිපයක් පවසනවා නම් සුව නොවන රෝගී තත්වයන්, හදිසි අනතුරකින් සිදුවන නිත්‍ය ආබාධිත තත්වයන්, සමහරක් අවස්ථාවල (තමන්ට හෝ තම දරු‍වන්ට) උපතින්ම ඇතිවූ ආබාධිත තත්වයන්, මීට අමතරව තම මූලික අවශ්‍යතාවය පවා සපුරාගත නොහැකි දිළිදු බව… එවැනි කිහිපයකි. මෙවැනි අවස්ථාවල ඉහත හදීසයේ සදහන් ආකාරයට මුස්ලීම්වරයෙකු ක්‍රියා කරන විට එය ඔහුට ලෞකික දිවිය තුලත් සිතට ශාන්තිය ලඟා කරදෙන අතර නියත වශයෙන්ම ලෝකොත්තර දිවියටත් එය ඉමහත් ජයග්‍රහණයකට හේතු වනු ඇත. සෑම මනුෂ්‍යයෙකු තුලම ඉලක්ක දෙකක් ඇත. ඒ ලෞකික දිවියේ සාර්ථකත්වය හා ලෝකොත්තර දිවියේ සාර්ථකත්වය. මෙහිදී ලොව සෑම දහමක් ම වැඩි බරක්, මුල්තැනක් ලබා දෙන්නේ ලෞකික දිවියට වඩා ලෝකෝත්තර විමුක්තිය පිණිසය. සමහරක් ආගම් මුළුමනින්ම ලෝකෝත්තර දිවිය ඉලක්ක කරගන්නා අවස්ථාවන් ද ලොව තුල දක්නට ඇත. ඉස්ලාම් දහම ද ලෞකික දිවිය මෙන්ම ලෝකොත්තර දිවිය පිලිබදව වැඩි සැලකිල්ලක් දක්වන දහමකි. එවැනි දහමක් තුල පවා ‘කර්මය’ යන්න තීරණාත්මක විෂයකි. මෙය නබිතුමාණන් වරක් මෙසේ පවසන ලදී.

‘දුර්වල දේව විශ්වාසයෙන් යුතු පිරිසකට වඩා යහපත් දේව විශ්වාසවන්තයෙකු උතුම් වේ. ඔහු දෙවියන්ට ප්‍රියමනාප කෙනෙකු ද වේ.  තවද, නූඹ ලෝකෝත්තර දිවියට යහපත ගෙන දෙන දෑ කෙරෙහිම ආසාව ඇති කරගන්න!, නුඹට ඇතිවන දුක් කරදරවල දී දෙවියන්ගෙන් උපකාර පතන්න!, බලාපොරොත්තු ඇති කරගන්න!, නුඹට දුකක් ඇති වූයේ නම්, ‘මම මෙහෙම කලානම් මට එහෙම වෙන්නේ නැහැ’ යනාදී වශයෙන් නොසිතන්න!, ඒ වෙනුවට ‘අල්ලාහ් (දෙවි) එය මෙලෙස සැලසුම් කර ඇත’ යනුවෙන් පවසන්න. මන්ද ‘මම මෙහෙම කලානම්… මම එහෙම කලානම්…’ යනාදී වශයෙන් සිතීම ශෛයිතාන් (නම් නපුරා)ගේ ක්‍රියාවට මඟපාදනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – මිශ්කාත්

මෙතෙක් මා විසින් ඉහතින් ඉදිරිපත් කල ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් හා හදීසයන් ඔබේ බුද්ධිමත් විමසුමට නැවත නැවතත් යොමු වියයුතුය. එසේම අවසාන වශයෙන් ඔබේ විමසුමට මේ ටික පැවසිය යුතුය. එනම් මීට වසර 1400 කට පෙර පැවතී නොදියුණූ සමාජයක් මධ්‍යයේ ප්‍රකාශ වූ මෙම දහම තුල පැවසෙන කරුණූ හොදින් විමසා බලන්නේ නම්, මේ වර්ථමානයේ ජීවත් වන  ‘අප ගැනද පවසන්නේ’ යන්න ඔබට සිතන්නට හැ‍ඟෙනු ඇත. නූතන මනෝවිද්‍යාඥයින්ට පවා පාඩම් කියාදෙන ‘ඉස්ලාම් පවසන කර්ම වාදය’ සැබැවින්ම ආදර්ශමත්ය. අද නූතන මිනිසාට මිල කල නොහැකි වටිනා සම්පතක් ඇත්නම් ඒ සිතේ සතුටයි. මේ සතුට වෙනුවෙන් ලෝක ඉතිහාසයේ නොයෙක් කාලවල නොයෙක් පුද්ගලයන් විසින් නොයෙක් ක්‍රමවේදයන් දේශනා කොට ඇත. නමුත් මනුෂ්‍යාගේ සිතුම් පැතුම් හා මූලික අවශ්‍යතාවයන් නිවරුදි ලෙස හදුනාගෙන යථාර්තවාදී ලෙස කිසියම් මාර්ගයක් මිනිස් සමාජයට දේශනා කරන්නේ නම් එය ඉස්ලාම් දහම පමණි.

 

අබූ අර්ශද්

 

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp