ඉස්ලාම් පෙන්වාදෙන "සලාමය" මුස්ලීම්වරුන් සදහා පමණක්ද?

0

පසුගිය දිනක යහමඟ අඩවියට “මුස්ලීම් නොවන පිරිසට සලාම් (ඉස්ලාමීය ක්‍රමයට සුභ පැතීම) කළ හැකිද?” යනුවෙන් යොමු කොට තිබූ ප්‍රශ්නයක් දැකීමෙන් අනතුරුව එහි දී මතු කරන කාරණය මුල් කරගෙන එම විෂය පිළිබඳව තරමක් ගැඹුරින් මෙහි දී විමසා බැලීමට අදහස් කළෙමි. මෙම විෂය පිළිබඳව තරමක් ගැඹුරින් විමසා බැලීමට ඉහත හේතුවට අමතරව තවත් හේතුවක් ද ඇත. ඒ මුස්ලීම් සමාජයේ බොහෝ පිරිසකට මෙම කාරණය පිළිබඳව තිබෙන කුතුහලයයි. එනම් මුස්ලීම් නොවන පිරිසට සලාම් පවසන්න පුළුවන්ද?, ඔවුන් සලාම් පැවසුවේ නම් එයට පිළිතුරු සලාම් පවසන්න පුළුවන්ද? යන්න එම කුතුහලයයි. විවිධ ආගමික පිරිස් ජීවත්වන රටක් ලෙස මෙම විෂය පිළිබඳව මුස්ලීම් සමාජයට පැහැදිලි අවබෝධයක් පැවතීම අත්‍යාවශ්‍ය කාරණයකි. ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොපැවතීම කණගාටුවට කාරණයකි. එම තත්වය මනාව පිලිඹිබු කරන අවස්ථාවක් තමා මා මෙහි ආරම්භයේ පැවසූ යහමගට යොමු කර තිබූ එම ප්‍රශ්නය. එය මෙසේය,

මගේ අසල් වැසියා දෙමළ ජාතික විශ්‍රාමික විදුහල්පතිවරයෙක්‍. මම හැමදාම උදේට නැගිට්ට ගමන් දකින්නේ ඔහුගේ මුහුණුයි. එවිට මම ඔහුට ‘good morning’ කියල කියනවා. දවසක් ඔහු මට මෙහෙම කිව්වා. “මල්ලී ඔයා මීට පස්සෙ මට ‘good morning’ කියල කියන්න එපා. එහෙම කියනවට මම කැමැති නැහැ. ඔයා අස්සලාමු අ‍ලෛකුම් කියල කියන්න. ඒකේ තේරුම ඔබට ශාන්තිය ඇති වේවා යන්න නේද! ශාන්තිය කාට‍ත් අවශ්‍ය දෙයක්. ඔයා මෙච්චර හොද සුබ පැතුමක් තියාගෙන බටහිර සුබ පැතුම් අනුගමනය කරන්නේ ඇයි? අනික ඕගොල්ලෝ ඒක කියා ගන්නේ ඕගොල්ලො අතර විතරයි. අපිත් ශාන්තියෙන් ජීවත් වීමට ඕගොල්ලෝ කැමැති නැද්ද” දැන් මට තියන ප්‍රශ්නය තමයි අන්‍යයන්ට සලාම් කීමට අපගේ ආගමේ ඇති බාධාව. කරුණාකර පිළිතුරු සපයන්න…

මුස්ලීම් සමාජයේ නිරන්තරයෙන් ඇසෙන වාක්‍යයක් වන්නේ ‘අස්සලාමු අලෛකුම්’ යන්නයි. එහි අරුත ඔබට ‘ශාන්තිය’ අත් වේවා යන්නයි. මුස්ලීම් සමාජය “අස්සලාමු අලෛකුම්” පවසනවා සේ විවිධ ආගමික ජන කොට්ඨාශ ඔවුන්ගේ ආගමට හා සමාජ සම්ප්‍රදායන්ට ආවේණික ආකාරයට විවිධ වචනයන් දෛනික සුභ පැතීම් සඳහා වර්තමාන සමාජයේ භාවිතා කරයි. ඒ අායුබෝවන්, බුදු සරණයි, දෙවි පිහිටයි, ගුඩ් මෝනිං… යනාදිය මින් කිහිපයකි. මෙවැනි භාවිතයන් අතුරින් වඩාත් සුදුසු හා ප්‍රායෝගික වචන භාවිතය කුමක්ද? යන්න වෙනම හා දීර්ඝ ලෙස කතා කළ යුතු මාතෘකාවකි. (ඉදිරියේදී මෙම අඩවිය තුල එය ද සාකච්ඡා කිරීමට අදහස් කරමි) එම කාරණයට තාවකාලික විරාමයක් තබා මුස්ලීම් සමාජය භාවිතා කරන “සලාමය” මුස්ලීම් නොවන සමාජයට පැවසිය හැකිද? යන කාරණය විමසා බැලුවේ නම්, මුස්ලීම් සමාජයේ බහුතරයක් මා ඉහත පැවසුවා සේ කුතුහලයකින් පසුවෙනවා යන්න තිත්ත වූ ඇත්තකි. මුස්ලීම් සමාජය මෙම කාරණය සම්බන්ධයෙන් අපැහැදිලි තත්වයක පසුවෙද්දී මුස්ලීම් නොවන සහෝදරයෙකු ඉස්ලාම් දහමේ ඉගෙන්වීමක් (වන සලාම් පැවසීම) පිළිබඳව ඉහත ආකාරයට අදහස් දැක්වීමක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳව ඉස්ලාමීය ඉගෙන්වීමන් කුමක්ද? යන්න විමසා බැලීම සෑම මුස්ලීම්වරයෙකුගේ වගකීමක් නොවන්නේද?. එවන් වගකීම් වෙනුවෙන් කවදත් පෙනී සිටින යහමඟ මෙම විෂය පිළිබඳව ද මෙලෙස විග්‍රහයක් ඉදිරිපත් කරයි.

ඉහත මාතෘකාව පිළිබඳව කථා කිරීමේදී එහි ආරම්භය ලෙස ශුද්ධ වූ කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවියන්) පවසන 4-86 වාක්‍යය ඔබගේ බුද්ධිමත් විමසුමට යොමු කිරීමට අදහස් කරමි. එනම්,

“නුඹලාට (කව්රුන් හෝ) ‘සලාම්’ පවසනු ලැබුවේ නම්,  එයට වඩා අලංකාර ලෙස හෝ (නොඑසේ නම්) ඒ ආකාරයටම හෝ (ඹබලාත්) ‘සලාම්’ පවසන්න.”

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලින් කිසියම් කෙනෙකු “සලාම්” පැවසූවේ නම් ඔහුට ඊට වඩා අලංකාර ලෙස ඔහුට පිළිතුරු සැපයීම අවශ්‍ය බව අල්ලාහ් (දෙවියන්) අවධාරනය කරයි. අඩුම තරමින් ඒ ආකාරයටම හෝ පිළිතුරු සැපයීම අනිවාර්ය බව පවසයි. මෙහිදී සැලකිල්ලට ගත යුතු කාරණය නම් ඉහත වාක්‍යය තුල මෙම නීතිය මුස්ලීම් සමාජය සඳහා පමණක් වූ නීතියක් යන්න කිසිදු ආකාරයකින් පිළිඹිබු නොවීමයි. ඒ අනුව මෙය සමස්ථ මිනිස් සමාජය සදහාම පොදු වූ නීතියක් ද? නො එසේනම් මුස්ලීම් සමාජය සඳහා පමණක් වූ නීතියක් ද? යන්න ප්‍රථමයෙන් අවබෝධ කරගත යුතු ය. එය එසේ අවබෝධ කරගත යුත්තේ එක් කොන්දේසියකට යටත්වය. එනම්, මනුෂ්‍ය චින්තනවලින් නොව දිව්‍යමය මඟපෙන්වීමක් වන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් හෝ හදීසයක් පදනම් කරගෙනය. එවන් විග්‍රහයක් නොමැති විටෙක ඉහත වාක්‍යය සමස්ථ මිනිස් සමාජය සඳහාම පොදු වූ නියමයක් බව පිලිගත යුතු වේ. ඉහත 4-86 වාක්‍යය මඟින් පොදු නීතියක් පවසන නිසා මේ විෂය පිළිබඳව කථා කරන අනිකුත් වාක්‍යයන් පිළිබඳව අවධානය යොමු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයකි. එවැනි වාක්‍යයන් පවතින්නේ ද? යන්න විමසා බැලුවේ නම් පහත ආකාරයේ හදීසයන් එහිදී හමුවේ. එනම්,

“යුදෙව්වරුන් (නබිතුමාණන් හට) සලාම් පැවසු විට එයට පිළිතුරු වශයෙන් එතුමාණන් ‘වඅලෛකුම්’ යනුවෙන් පවසයි”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉස්ලාම් දහම තුල යුදෙව්වරුන් සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයට අවවාද කළ තරම් වෙන කිසිදු ජන කොට්ඨාශයක් සම්බන්ධයෙන් අවවාද සිදු කොට නැත. ඔවුන් අද මෙන්ම එදත් ඉතා කුමණ්ත්‍රණකාරීව හා විශ්වාස කඩවන ආකාරයට ක්‍රියා කළ ජන කොට්ඨාශයකි. එවන් පිරිස සම්බන්ධයෙන් ඉහත හදීසය තුල පැවසීමේ දී ඔවුන්ගේ ‘සලාමය’ සඳහා නබිතුමාණන් පිළිතුරු දුන් ආකාරය එහි පැවසේ. ඉහත හදීසය පදනම් කරගෙන මුස්ලීම් නොවන පිරිස් මුස්ලීම්වරුන් හට ‘සලාම්’ පැවසුවේ නම් ඔවුනට ‘වඅලෛකුම්’ (ඔබටත් එසේම වේවා!) යනුවෙන් පමණක් පැවසීම කළ යුතු බව බොහෝ මුස්ලීම්වරු විශ්වාස කරගෙන සිටිති. එය ඉහත හදීසය තුලින් ද පිළිඹිබු වන අතර පහත හදීසය පදනම් කරගෙන මුස්ලීම් සමාජයේ බොහෝ පිරිස් මුස්ලීම් නොවන පිරිසට ‘සලාම්’ පැවසිය නොහැකි බවත්, ඔවුන් ‘සලාම්’ පැවසුව ද ඔවුනට ‘වඅලෛකුම්’ යනුවෙන් පමණක් පිළිතුරු පැවසීම සිදු කළ යුතු බවට තර්කයන් ඉදිරිපත් කරයි. මෙය ඉහත හදීසය පමණක් ගෙන විමසා බලන විට සාධාරණ වූ තර්කයක් බව පෙනුනද ඉහත හදීසයට විග්‍රහයක් ලෙස පවතින තවත් හදීසයක් ආගමික මූලාශ්‍රයන් හි දක්නට ලැබේ. එම හදීසය මෙසේ ය,

“වරක් නබිතුමාණන් ‘නුඹලාට යුදෙව්වරුන් සලාම් පැවසුවේ නම්, ඔවුන් (අස්සලාමු අලෛකුම් (ඔබට ශාන්තිය අත් වේවා!) යනුවෙන් නො පවසා) අස්සාමු අලෛකුම් (ඔබට විනාශය අත්වේවා!) යනුවෙන් පවසනු ඇත. එම නිසා නුඹලා ‘අලෛක’ (නුඹලාටත් එසේම වේවා!) යනුවෙන් (පමණක්) පවසන්න“ යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසයට අමතරව එම කාරණයම වඩාත් හොදින් විස්තර වන ආකාරයට තවත් හදීසයක් ගෙනහැර දක්වන්නේ නම්,

“නබිතුමාණන්ගේ බිරිද වන ආයිෂා (රලි) තුමිය මෙසේ පවසන ලදී ‘යුදෙව්වරුන් පිරිසක් නබිතුමාණන් හමුවට පැමිණ ‘අස්සාමු අලෛක’ (ඔබට විනාශය අත් වේවා!)’ යනුවෙන් පවසන ලදී. එය ඇසූ මා (ආයිෂා තුමිය) ‘අලෛකුම් මුස්සලා වල්ලනදු’ (නුඹලාටම විනාශයත්, ශාපයත් අත්වේවා!) යනුවෙන් පැවසුවෙමි. මෙය ඇසූ නබිතුමාණන් ‘අයිෂා!, මොහොතක් ඉවසන්න!, සෑම ක්‍රියාවක් තුලම අල්ලාහ් (දෙවියන්) ඉවසීම හා සන්සුන් බව ප්‍රියකරයි.’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණනි! ඔවුන් පැවසූ වාක්‍යය ඔබතුමාට නොඇසුනේ ද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘එය ඇසූ නිසා තමා මා ‘වඅලෛකුම්’ යනුවෙන් පැවසූවේ.’ යනුවෙන් පවසන ලදි.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසයන් අනුව සැලකු විට “යුදෙව්වරුන්” පවා නිසි ආකාරව ‘අස්සලාමු අලෛකුම්’ යනුවෙන් පවසන්නේ නම් ඔවුනට ඉස්ලාම් පෙන්වා දෙන ආකාරයට “වඅලෛකුම් සලාම්’ යනුවෙන් හෝ ඊටත් වඩා අලංකාර ලෙස පිලිතුරු දීමෙහි වරදක් නැති බව පෙනී යයි. මන්ද ඉස්ලාම් ශිෂ්ඨ සම්පන්න දිව්‍යමය මඟපෙන්වීම මත පදනම් වූ දහමකි. ඒ තුල සමස්ථ මිනිස් සමාජයට ශාන්තිය හෝ සමාදානය ප්‍රාර්ථනා කිරීම වරදක් විය නොහැක. මේ නිසා තමා ශූද්ධ වූ කුර්ආනයේ 4-86 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවියන්) “නුඹලාට (කව්රුන් හෝ) ‘සලාම්’ පවසනු ලැබුවේ නම්,  එයට වඩා අලංකාර ලෙස හෝ (නොඑසේ නම්) ඒ ආකාරයටම හෝ (ඹබලාත්) ‘සලාම්’ පවසන්න” යනුවෙන් පවසන ලද්දේ. මෙලෙස ඕනෑම කෙනෙකු හට ‘සලාමය’ පැවසිය හැකි බව තහවුරු වන තවත් හදීස් කිහිපයක් ඔබගේ අවධානයට පවසන්නේ නම්,

“එක්තරා පුද්ගලයෙකු නබිතුමාණන් හමුවට පැමිණ ‘ඉස්ලාම් දහම තුල ශ්‍රේෂ්ඨ ක්‍රියාව කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ජනතාවගේ කුසට ආහාර සැපයීමත්, හදුනන හා නොහදුනන පිරිසට සලාම් පැවසීමත් ය’ යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

“වරක් නබිතුමාණන් අපට කරුණු 07ක් අණ කරන ලදී. ඒ

  1. රෝගීන්ගේ සුවදුක් විමසීම
  2. මරණයක් (ගෙනයන විට ඒ) පසුපස ගමන් කිරීම
  3. කිවිසුමක් ගිය විට එයට පිලිතුරු සැපයීම
  4. දුර්වලයන්ට උපකාර කිරීම
  5. අසාධාරණයට ලක්ව‍ූවන්ට උදව් කිරීම
  6. ‘සලාමය’ පැතිරවීම
  7. දිවුරුමක් කලේ නම් එය ඉටු කිරීම

යනාදියයි.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

අබූ අර්ෂද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *