ඉස්ලාම් දහමේ ප‍්‍රතිපත්ති විග‍්‍රහය

6

imanමෙම අඩවිය තුල ඉස්ලාම් දහම සම්බන්ධයෙන් හා ඉස්ලාමීය නීතිරීති සම්බන්ධයෙන් බොහෝ විග්‍රහයන් ලියවී ඇත. ඒවා බොහෝ විට වැඩිහිටි සමාජය හා විශේෂයෙන් මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මතු කරන ගැටළු මූලික කරගෙන ඉදිරිපත් වූවා මිස ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අධ්‍යන කටයුතුවල නිරත පිරිස් ඉලක්ක කොට ලිපි ඉදිරිපත් වීමක් සිදු නොවුණි. විශේෂයෙන් සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති පිලිබදව අධ්‍යනය කරන පිරිස සදහා වූ නිසි විග්‍රහයක් අන්තර්ජාලය තුල තවම දක්නට නැත. එපමණක් නොව අප රටේ ‍සෑම ගමක් නගරයක් පාසාම ඉරිදා දිනවල මුස්ලීම් දරුදැරියන් සදහා ද දහම් අධ්‍යාපනය ලබා‍දෙන ආයතන හා සංවිධාන පැවතුනත් ඒ දරුවන් සදහා වූ නිසි විෂය නිර්දේශයක් නොමැති වීම ද විශාල අඩුවකි. එය මා ප්‍රායෝගිකව ද අත්විඳින අඩුපාඩුවකි. මෙවැනි පසුබිමක ඉදිරියේ දී මුස්ලීම් සමාජයට ඉස්ලාම් ආගමික විෂය නිර්දේශයක් සකස් කරන්න කිසිවකු හෝ කිසියම් සංවිධානයක් අදහස් කරන්නේ නම්, ඒ සදහා අදහසක් ලෙසත්, සමාජයේ පවතින අඩුපාඩුවට විකල්පයක් ලෙසත් අද පටන් ‘ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති විග්‍රහය’ නම් මේ ලිපිය තුලින් විවිධ වූ මාතෘකා හා අනුමාතෘකා ඔස්සේ ඉස්ලාමීය ඉගෙන්වීමන් පෙලගසන අතර මෙම ලිපිය පියවරින් පියවර ඉදිරියට කොටස් වශයෙන් ලියන්නට ද අදහස් කරමි. ඔබත් මෙම ලිපියට යමක් එක් කරමින් හෝ ලියවී ඇති කරුණු සංශෝධනය කරමින් දායකත්වයක් ලබාදීමට අදහස් කරන්නේ නම්, ඒ සදහා ද ආරාධනා කරමින් ‘ඉස්ලාම් දහමේ ප‍්‍රතිපත්ති විග‍්‍රහය’ මාතෘකාව වෙත යොමු වෙමි.

අසීමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ටමය සියළු ප‍්‍රසංශා

කිසියම් ගොඩනැගිල්ලක ශක්තිමත් භාවය රදාපවතින්නේ එහි අත්තිවාරම මතය. ගොඩනැගිල්ල ශක්තිමත් වන්නේ අත්තිවාරම ශක්තිමත් නම් පමණි. අත්තිවාරම හොඳින් යොදා නැත්නම් එම ගොඩනැගිල්ල දුර්වල වී කඩා බිඳ වැටෙනු ඇත. මෙය දෛනික දිවිය තුල දකින සරල සිද්ධාන්තයකි. ඒ ආකාරයටම ඉස්ලාම් හි අත්තිවාරම එහි ‘ඒකදේව ප‍්‍රතිපත්තිය’යි. මෙම ඒක දේව ප‍්‍රතිපත්තිය නිවැරදිව මුස්ලීම්වරයෙකු තුල පිහිටන්නේ නම් පමණි, ඔහුගේ අනිකුත් කටයුතු හා නැමදුම් දෙවි විසින් පිළිගනු ලබන්නේ. ඒක දේව ප‍්‍රතිපත්තිය නිවැරදී වූයේ නැත්නම් ඔහුගේ අනිකුත් සියළු කටයුතු නිෂ්පඵ වී යනු ඇත.

වර්ථමාන මුස්ලිම්වරුන්ගෙන් බහුතරයක් හුදෙක්ම නාමික මුස්ලිම්වරුන් පමණි. ඔවුන් ඉස්ලාම්හි මූලික ප‍්‍රතිපත්තිය වන ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ් (අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නොමැත)’ යන කලිමාවේ යතාර්ථය නිවැරදිව වටහාගෙන නොමැත. විශේෂයෙන් අල්ලාහ් යනු කවුරුන් ද?,උන්වහන්සේගේ ගුණාංගයන් මොනවා ද?,අපි ඊමාන් (විශ්වාස) කළයුතු කරුණු මොනවා ද?,යන ඉස්ලාම් හි මූලික කරුණු පවා මුස්ලිම්වරුන්ගෙන් බහුතරයක් නොදනිති. එසේනම් ඒ පිලිබදව දැන් විමසා බලමු.

ඊමාන් යනු කුමක් ද?

ජිබ්රීල් අලෛහිස්සලාම් තුමන් නබි(සල්) තුමාණන්ගෙන් ඊමාන්(දේව විශ්වාශය) යනු කුමක් ද? යනුවෙන් විමසූ විට, ‘ඊමාන් යනු අල්ලාහ්ව, උන්වහන්සේගේ මලායිකාවරුන්ව, උන්වහන්සේගේ පුස්තකයන්, උන්වහන්සේගේ වක්තෘවරුන්ව හා අවසානදිනය විශ්වාස කිරීමයි.තවද යහපත හා අයහපත සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ (අධිෂ්ඨානය වූ) දෛවයට අනුව බව ඔබ විශ්වාස කිරීම වේ.’යැයි (නබිතුමාණෝ) පිළිතුරු දුන්හ.

දැනුම් දෙන්නා :- උමර් (රලි) තුමා

ග‍්‍රන්ථය : – මුස්ලිම් (1)

(මෙය ‘මුස්ලීම්’ නම් හදීස් ග්‍රන්ථයේ පලමු හදීසය වන අතර මෙය ‘බුහාරි’ නම් හදීස් ග්‍රන්ථයේ ද සදහන් දීර්ඝ වූ හදීසයකි. ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ එම හදීසයෙන් මාතෘකාවට අදාල ඉතා සුළු කොටසත් පමණි)

ඉහත හදීසයට අනුව ‘ඉස්ලාමීය මූලික ප‍්‍රතිපත්ති’ ප්‍රධාන කොටස් 06 ක් වේ. එනම්,

  • අල්ලාහ් දෙවියන් විශ්වාස කිරීම,
  • මලාඉකාවරුන් හෙවත් දේවදූතයන් විශ්වාස කිරීම,
  • පුස්තකය හෙවත් අල්කුර්ආනය විශ්වාස කිරීම,
  • නබිවරුන් හෙවත් වක්තෘවරුන් විශ්වාස කිරීම,
  • අවසාන දිනය විශ්වාස කිරීම,
  • කරුමය විශ්වාස කිරීම,

 

අල්ලාහ් දෙවියන් පිලිබදව විශ්වාස කිරීම

අල්ලාහ් දෙවියන් විශ්වාස කිරීමේ දී ඒ සමඟ විශ්වාස කලයුතු අනු කාරණා ගණනාවක් තිබේ ඒ එකින් එක දැන් විමසා බලමු.

 

  • අල්ලාහ් සිටින්නේ කොහිද?

අල්ලාහ් අහසෙහි ඇති අර්ෂ්(නම් සිංහාසනයෙ)හි සිටින සේක. පහත සඳහන සාක්‍ෂි ඒ සඳහා ඉදිරිපත් කළ හැක.

අහසෙහි සිටින්නා ඔබලාව පොළවෙහි ගිලෙන්නට නොසලස්වන්නෙහි යැයි ඔබලා නොබියව සිටින්නෙහුද? එවිට එය(පොළව) කම්පා වනු ඇත.

අල් කුර්ආන් : 67:16

අර්රහ්මාන් (පරමදයාළු) අර්ෂය මත අසුන්ගත් සේක.

අල්කුර්ආන් 20:5

වහල් ස්ත‍්‍රීයකගෙන් නබි (සල්) තුමාණෝ අල්ලාහ් සිටින්නේ කොහිදැයි විමසූ කල්හි ‘අල්ලාහ් අහසේ සිටින සේක යැයි’ ඇය පිළිතුරු දුන්නාය. මා කවුදැයි ඇසූ විට ‘ඔබ අල්ලාහ්ගේ වක්තෘවරයාය,’ යි කීවාය.(එවිට) නබි (සල්) තුමාණෝ ඇගේ ස්වාමීට, ‘ඇය මු:මින් කාන්තාවකි, ඇයව නිදහස් කරන්න,’ යි ප‍්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා :- මුආවියා බින් හකම් (රලි)

ග‍්‍රන්ථය :- මුස්ලිම් (836)

 

  • අල්ලාහ් අප සමග සිටිනිනේ ද?

(ඔබ දෙපල) බිය නොවනු! මම බලමින්ද, සවන් දෙමින්ද ඔබ දෙපල සමග සිටිමි යි උන්වහන්සේ කී සේක.

අල්කුර්ආන් : 20:46

දෙවියන් වහන්සේ අප සමග සිටින සේක’යන්නෙහි අර්ථය උන්වහන්සේ අපව අධීක්ෂණය කරමින් අප කරන ක‍්‍රියාවන් ආරක්ෂා කර තබාගන්නා බවයි.

 

  • අර්ෂ්

අර්ෂ් යනු අල්ලාහ් දෙවියන් සිටින අති විශාල සිංහාසනයයි.

සත් අහසට ද ශ්‍රේෂ්ඨ අර්ෂයටද අධිපති කවුරුන්දැයි අසනු (මැනව)!

අල්කුර්ආන් 23:86

උන්වහස්සේගේ ආසනය අහස් ද පොළව ද අන්තර්ගත කරයි.

අල්කුර්ආන් 2:255

එදින ඔබගේ දෙවිගේ අර්ෂය (මලායිකාවරු) අටදෙනෙක් ඔවුන්ට ඉහලින් ඔසවාගෙන සිටින්නෝය.

අල්කුර්ආන් 69:17

 

  • අල්ලාහ්ගේ රුව

දෙවිට රුවක් නැතැයි ප‍්‍රකාශ කිරීම ඉස්ලාමයට පටහැනි සංකල්පයකි. අල්ලාහ්ට රුවක් ඇත. පරලොවේදී සැදැහැවතුන් උන්වහන්සේගේ රුව දකින්නෝය.

එදින සමහර මුහුණු දීපත්තිමත් වනු ඇත. ඔවුන්ගේ දෙවිව දකිනු ඇත.

අල්කුර්ආන් 75:22,23

පරලොවේදී අල්ලාහ් දේවවිශ්වාසිකයන් හට ඔවුන් උන්වහන්සේ ගැන උපකල්පනය කර තිබූ රුවෙන් නොව වෙනත් රුවකින් ප‍්‍රථම වතාවට පැමිණ ඔබලාග් දෙවි මමම ය, යි පවසනු ඇත.

දැනුම් දෙන්නා :- අබූ සඊද් අල් කුද්රී (රලි)

ග‍්‍රන්ථය :- බුහාරි (7439)

දෙවියන් වහන්සේට අප විසින් රුවක් උපකල්පනය නොකළ යුතුය.

උන්වහන්සේ මෙන් කිසිවක් නොමැත. උන්වහන්සේ අසන්නාය. බලන්නාය.

අල්කුර්ආන් 42:11

  • අල්ලාහ්ව දැකිය හැකිද?

මෙලොවේදී කිසිවෙකුටත් අල්ලාහ්ව දැකිය නොහැක.

දෘෂ්ඨියින් උන්වහන්සේව ග‍්‍රහනය නොකරයි. උන්වහන්සේ දෘෂ්ඨියින්ව ග‍්‍රහනය කරන සේක.

අල්කුර්ආන් 6:103

අප පොරොන්දු වූ ස්ථානයට මූසා පැමිණ, ඔහුගේ දෙවි ඔහු සමග කතා කළ විට, මාගේ දෙවියෙනී! (ඔබ වහන්සේව) මා හට පෙන්වනු මැනව! මම ඔබව බලමි යි කීය. එයට (දෙවියන් වහන්සේ) ඔබට මාව දැකිය නොහැකිය. නමුත් එම කන්ද බලනු ! එය සිය ස්ථානයේ ස්ථාවරව පැවැතියහොත් ඔබට මාව දැකිය හැක, යැයි ප‍්‍රකාශ කළ සේක. ඔබගේ දෙවි එම කන්දට දර්ශනය වූ විට, (උන්වහන්සේ) එය(කන්ද) සුනුවිසුනු කළ සේක.(එවිට) මූසා සිහිනොමැතිව වැටුනේය. ඔහු (සිහිය ලබා) යථා තත්වයට පත්වූ විට ඔබ වහන්සේ පාරිශුද්ධවන්තයා ය. ඔබ වහන්සේගෙන්ම ක්‍ෂමාව අයදිමි. විශ්වාසවන්තයින්ගෙන් පළමුවෙන්නා මම යැයි කීය.

අල්කුර්ආන් 7:143

නබි(සල්) තුමාණන්ගෙන් ‘ඔබතුමාණේ, ඔබගේ දෙවිව දැක්කේ දැයි’විමසනු ලැබු කල්හි ‘උන්වහන්සේ ආලෝකමත්ය, මම උන්වහන්සේව දකින්නේ කෙසේ දැයි’පිළිතුරු දුන්හ.

දැනුම් දෙන්නා   :- අබුදර් (රලි)

ග‍්‍රන්ථය   :- මුස්ලිම් (261)

 

  • පරලොවේදී සැදැහැමියන් දෙවිව දකිනු ඇත.

එදින සමහර මුහුණු දීපත්තිමත් වනු ඇත. ඔවුන්ගේ දෙවිව දකිනු ඇත.

අල්කුර්ආන් 75:22,230

නබිතුමණ්ගේ සමයේ ඇතැම් අය ‘අල්ලාහ්ගේ වක්තෘතුමනී! පරලොවේදී අපි අපගේ දෙවිව දකිමුද?’යි ඇසූ විට නබිතුමානෝ ‘ඔව්! දකින්නෙහු ය.කිසිදු වලාකුලක් නැති මධ්‍යහ්න ආලෝකයේ ඉර දැකීමට එකා අනිකාව පොරකන්නේ ද?’යි ඇසූහ. ජනතාව ‘නැත’යි පිළිතුරු දුන්නෝය. කිසිදු වලාකුලක් නැති පුන්සඳ සහිත රාත‍්‍රියේ ආලෝකයෙහි සඳ දැකීමට එකා අනිකාව පොරකන්නේ ද? යි ඇසූහ. ජනතාව (එවිටත්) ‘නැත’යැයි පිළිතුරු දුන්නෝය. මේ දෙකින් එකක් දැකීමට ඔබලා පොර නොකන්නාසේම පරලොවේදී අති උතුම් ශ්‍රේෂ්ඨ අල්ලාහ්ව දැකීමට ද ඔබලා පොරකන්නේ නැත, යි ප‍්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා :- අබුසඊද් අල් කුද්රී (රලි)

ග‍්‍රන්ථය :- බුහාර්(4581)

 

නමුත්, පරලොවේදී කාෆිර්වරුන්ට දෙවිව දැකීමේ භාග්‍ය ලැබෙන්නේ නැත.

එදින ඔවුන් ඔවුන්ගේ දෙවිගෙන් (ඈත් කර ඔහුව දැකීමෙන්) වළකනු ලැබේ.

අල්කුර්ආන් 83:15

අලංකාර නාමයන්

අලංකාර නාමයන් අල්ලාහ් සතුය. ඒවා මගින්ම උන්වහන්සේගෙන් ප‍්‍රාර්ථනා කරන්න. උන්වහන්සේගේ නාමයන්හි සංශොධනය කර පවසන්නන්ව අත්හරින්න. ඔවුන් කරමින් සිටී දේ වෙනුවෙන් දඬවම් ලබන්නෝය.

අල්කුර්ආන් 7:180

අල්ලාහ් යැයි කැඳවන්න! නැතහොත් අර්රහ්මාන් යැයි කැඳවන්න! ඔබ කෙසේ කැඳවුවද ,අලංකාර නාමයන් උන්වහන්සේ සතුය, යි(මුහම්මද්! ඔබ) පවසනු! ඔබගේ ප‍්‍රාර්ථනාව ශබ්ද නගා නොකරන්න! පහත් හ`ඩින්ද නොකරන්න! මේ දෙක අතර මාර්ගයක් අනුගමනය කරන්න!

අල්කුර්ආන් 17:110

 

උන්වහන්සේ ඒකකයි

ඔබලාගේ දෙවි එකම එක දෙවියෙකි. උන්වහන්සේ හැර වෙනත් දෙවිකෙනෙක් නැත. ඔහු අපරමිත දයාන්විතය. අසීමිත කරුණාවන්තය.

අල්කුර්ආන් 2:163

තමා හැර වෙන දෙවිකෙනෙකු නැතැයි අල්ලාහ් සාක්‍ෂි දරන සේක. මලායිකාවරුන්ද යුත්තිය ස්ථාපිත කරන නැණවතුන් ද (සාක්‍ෂි දරන්නෝය). උන්වහන්සේ හැර දෙවිකෙනෙක් නැත.(උන්වහන්සේ) අති බලසම්පන්නය. අති ඥාණාන්විතය.

අල්කුර්ආන් 3:18

උන්වහන්සේමය ඔබලාගේ දෙවි වන අල්ලාහ්. උන්වහන්සේ හැර වෙනත් දෙවි කෙනෙක් නැත. සියලූ දෑහි මැවුම්කරුවා උන්වහන්සේම ය. උන්වහන්සේටම (පමනක්) නැමදුම් කරන්න! සියලූ දේ කෙරෙහි වගකීම් දරන්නා උන්වහන්සේ ය.

අල්කුර්ආන් 6:102

ඔවුන් පවසන්නාක් මෙන් උන්වහන්සේ සමග බොහෝ දෙවිවරු සිටියෙහි නම් ඔවුන්ද අර්ෂ්හි හිමිකරු(වූ අල්ලාහ්)ගෙන් (අල්ලාහ්ට අවනතවී) මාර්ගයක් පතනු ඇත.

අල්කුර්ආන් 17:42

 

අල්ලාහ්ට දුර්වලතා නොමැත

  • අමතකවීම

(මුහම්මද්!) ඔබගේ දෙවිගේ නියෝගයෙන් තොර අපි නොමැරෙන්නෙමු. අප ඉදිරියෙහි ඇති දේ ද, පිටුපසින් ඇති දේ ද, ඒ දෙක අතර ඇති දේ ද උන්වහන්සේටම අයත් ය. ඔබගේ දෙවි අමතක කරන්නෙකු නොවේ.

අල්කුර්ආන් 19:64

එහි ඥාණය මාගේ දෙවිගේ(ලඟ ඇති) ලේඛනයේ(සඳහන්)ය. මාගේ දෙවි වරද්දන්නේ නැත. අමතක කරන්නේ ද නැත. යි ඔහු පැවසුවේය.

අල්කුර්ආන් 20:52

 

  • කුසගින්න, පිපාසය

අහස් හා පොළවේ නිර්මාතෘවරයාණන් වන අල්ලාහව හැර වෙනත් ආරක්‍ෂකයෙක්ව (මම) පත්කරගන්නෙමිද? උන්වහන්සේය ආහාර සපයන්නේ. උන්වහන්සේ හට ආහාර සපයනු ලබන්නේ නැතයි පවසනු! අවනතවන්නන්ගෙන් පළමුවෙන්නා වීමට මාහට අණ කරනු ලැබ ඇතයි පවසනු! කිසිවිටකත්(අල්ලාහ්ට) ආදේශ තබන්නන්ගෙන් කෙනෙක් නොවනු!

අල්කුර්ආන් 6:14

ඔවුන්ගෙන් මා කිසිඳු සම්පතක් අපේක්‍ෂා නොකරමි. ඔවුන් මා හට ආහාර සැපයීමද අපේක්‍ෂා නොකරමි.

අල්කුර්ආන් 51:57

  • උන්වහන්සේට සහායකයෙක් (අවශ්‍ය) නැත.

පුතෙකු ඇතිකරනොගත් අල්ලාහ්ටමය සියලූ ප‍්‍රශංසා. පාලනයෙහි උන්වහන්සේට කොටස් කරුවෙක් නොමැත. සහායකයා නැමති හෑල්ලූවද උන්වහන්සේට නැත යයි (මුහම්මද්) ඔබ පවසන්න! උන්වහන්සේව වැඩි වැඩියෙන් වර්ණනා(තක්බීර්) කරන්න!

 

  • අවශ්‍යතා නොමැත්තා

විශ්වාසවන්තයිනී! ඔබලා ඉපයූ දෙයින් පිවිතුරු දෙයද මහපොලොවෙන් ඔබලා වෙනුවෙන් අප මතු කළ දෙයින්ද (යහමගෙහි) වියදම් කරනු! දෙනෙත් පියාගෙන මිස ලබා නොගන්නා තරම් අල්ප වූ දෙය වියදම් කිරීමට නොසිතනු! අල්ලාහ් අවශ්‍යතා නොමැත්තාය. ප‍්‍රසංශාවට සුදුස්සාය යි දැනගනු!

අල්කුර්ආන් 2:267

අහස් හා පොලොවෙහි ඇති දේ (සියල්ල) උන්වහන්සේටම හිමිය. අල්ලාහ් පැසසුමට සුදුස්සාය. අවශ්‍යතා නොමැත්තා ය.

අල්කුර්ආන් 22:64

 

  • භාර්යාව

(උන්වහන්සේ) අහස් ද පොලොවද පූර්වාදර්ශයකින් තොරව මැවූ සේක. උන්වහන්සේට භාර්යාවක් නොමැති කල්හි පුතෙකු සිටිය හැක්කේ කෙසේද? සියලූ දේ මැවූයේ උන්වහන්සේය. උන්වහන්සේ සියලූ දේ (හොඳින්) දන්නා සේක.

අල්කුර්ආන් 6:101

අප දෙවිගේ මහිමය අති උතුම්ය. උන්වහන්සේ භාර්යාවක් හෝ පුතෙකු පත්කරගත්තේ නැත.

අල්කුර්ආන් 72:3

 

  • පුතා

’’අල්ලාහ් (තමාට) පුතෙකු (තෝරා) පත්කරගත්තා’’ යයි ඔවුහු පවසති. එසේ නොවේ! උන්වහන්සේ පාරිශුද්ධය. අහස්වල හා පොලොවෙහි ඇති (සියලූ) දේ උන්වහන්සේටම හිමිය. සියල්ල උන්වහන්සේටම අවනත වෙති.

අල්කුර්ආන් 2:116

තවද…

1. ”අල්ලාහ් ඒකකයෙකි” යි (මුහම්මද්!) පවසන්න!

2. අල්ලාහ් අවශ්‍යතා නොමැත්තෙකි.

3. උන්වහන්සේට දාවා (කිසිවෙකු) ඉපදුනේ නැත.(කිසිවෙකුට දාවා උන්වහන්සේ )ඉපදුනේද නැත.

  1. උන්වහන්සේට සමාන (වෙන) කිසිවෙකු නැත.

අල්කුර්ආන් 112:1-4

 

  • දූවරු

ජින්වරුන්ව අල්ලාහ් මවා ඇති විටත් ඔවුන්ව(ජින්වරුන්ව) උන්වහන්සේට සමකලෝය. දැනුම නොමැති කමින් උන්වහන්සේට පිරිමි හා ගැහැණු දරුවන්ව(ඇතිබවට) උපකල්පනය කලෝය. උන්වහන්සේ පාරිශුද්ධය. ඔවුන් විග‍්‍රහ කරන දෙයට වඩා උන්වහන්සේ උතුම් වූ සේක.

අල්කුර්ආන් 6:100

අල්ලාහ්ට ¥වරුන්(ඇති බ)ව උපකල්පනය කරති. උන්වහන්සේ පාරිශුද්ධය. ඔවුහු කැමතිවන්නේ (පිරිමි දරුවන්ට)ය.

අල්කුර්ආන් 16:57

උන්වහන්සේට ගැහැණු දරුවන්, ඔබලාට පිරිමි දරුවන් ද?

අල්කුර්ආන් 52:39

අපරමිත දයාන්විතයා(වු අල්ලාහ්)ගේ සුරදූතයින්(මලායිකාවරුන්) ස්ත‍්‍රීයින් බව ඔවුහු උපකල්පනය කලෝය.ඔවුන්(මලායිකාවරුන්)ව මවන විට මොවුන් දුටුවේද? මොවුන්ගේ (මෙම) ප‍්‍රකාශය සටහන් කර, මොවුන් ප‍්‍රශ්නකරනු ලබන්නෝය.

අල්කුර්ආන් 43:19

 

  • ඔහුට සමාන (වෙන) කිසිවෙකු නැත.

ඔබලා වෙනුවෙන් මහපොළොව නවාතැනක් කළේද, අහස වියනක් කළේද උන්වහන්සේ ය. උන්වහන්සේ අහසින් ජලය පහළ කර(වැසි වස්සවා) එමගින් ඔබලාට ආහාර ලෙස ඵල වර්ග (පොළොවේ සිට) හටගැන්වූ සේක. එබැවින් දැනගෙනම අල්ලාහ්ට කිසිවෙක් සම(යැයි උපකල්පනය)නොකරනු!

අල්කුර්ආන් 2:22

මගේ සලාතය, මගේ නැමදුම් මගේ ජීවිතය හා මගේ මරණය ආදී සියල්ල විශ්වයාධිපති වූ අල්ලාහ්ටම හිමිය. උන්වහන්සේට සමාන (වෙන) කිසිවෙකු නැත. මා අණ කරනු ලැබී ඇත්තේ මෙලෙසයි. මුස්ලිම්වරු(අවනතවන්නන්ගෙන්) අතරින් මම පළමුවෙන්නාය, යි කියනු!

අල්කුර්ආන් 6:162,163

අහස් හා පොළොවෙහි ආධිපත්‍ය උන්වහන්සේටම හිමිය. උන්වහන්සේට දාවා පුතෙකු ඉපදුනේ නැත. ආධිපත්‍යයෙහි උන්වහන්සේට කොටස් කරුවෙකු නොමැත. සියලූ දෑ මැවූයේ උන්වහන්සේය. එය උන්වහන්සේ නිසි ආකාරයට පිළියෙල කළ සේක.

අල්කුර්ආන් 25:2

අහස් හා පොලොවේ නිර්මාතෘවරයාණන් (උන්වහන්සේමය). ඔබලාට ඔබලාගෙන්ම (ස්වාමීපුරුෂයා හා භාර්යාව වශයෙන්) යුවල් ද, (සිවුපාවන්ට) සිවුපාවන්ගෙන් යුවල් ද (උන්වහන්සේ) ඇතිකළ සේක.(මේ ආකාරයට) ඔබලාව එහි බොවී ව්‍යාප්ත වන්නට සැලැස් වූ සේක. උන්වහන්සේ මෙන් කිසි දෙයක් නොමැත. උන්වහන්සේ අසන්නාය.බලන්නාය.

අල්කුර්ආන් 42:11

අල්ලාහ්ට උදාහරණයන් නොදක්වනු. (සියල්ල) දන්නේ අල්ලාහ්ය. ඔබලා නොදන්නෙහුය.

අල්කුර්ආන් 16:74

  • සියලූ බලතල උන්වහන්සේටම (පමනක්* හිමිය!

දුකින් පසු මානසික තෘප්තිය ඇති කිරීම සඳහා උන්වහන්සේ මද නින්ද ලබා දුන් සේක. ඔබලාගෙන් පිරසක් එයට යටත් විය. දුක තවත් පිරිසක් ග‍්‍රහනය කළේය. ඔවුහු අල්ලාහ් ගැන සත්‍යයට පටහැනි වූ අවිද්‍යාත්මක යුගයේ(ජාහිලීයා කාලයේ) අදහස් දැරූහ. අප සිටිනුයේ සත්‍ය ධර්මයේ දැයි ඔවුහු ඇසූහ.”මෙම ධර්මය මු`ඵමනින්ම අල්ලාහ්ටම හිමිය.”යැයි (මුහම්මද්) ඔබ පවසනු! ඔබ වෙත විවෘතව ප‍්‍රකාශ නො කරන දෑ තම සිත්වල ස`ගවාගෙන සිටින්නෝය. ”නිවැරදි ධර්මයේ අපි සිටියේ නම් මෙහි ඝාතනයට ලක් නොවන්නෙමු” යැයි පැවසූහ.”ඔබලාගේ නිවෙස්වල සිටියද ඔබ අතුරින් ඝාතනයට ලක්විය යුතු යැයි නියමකරන ලද්දෝ සිය ස්ථානය කරා යන්නට තිබුණි” අල්ලාහ් ඔබලාගේ සිත්වල ඇති දෑ පරීක්‍ෂණයට ලක් කරීම සඳහා ද ඔබලාගේ සිත්වල ඇති දෑ පිවිතුරු කිරීම සඳහා ද මෙසේ කළ සේක. අල්ලාහ් ඔබලාගේ සිත්වල ඇති දෑ (හොඳින්) දන්නායයි පවසනු!

අල්කුර්ආන් 3:154

භීෂණය තුරන් වී ධර්මය සහමුලින්ම අල්ලාහ්ටම වන තුරු ඔවුන් සමග සටන් වදිනු! ඔවුහු වළකින්නේ නම් අල්ලාහ් ඔවුන් කරන දේ බලන්නාය.

අල්කුර්ආන් 8:39

උන්වහන්සේමය සිය ගැත්තන් හට ආධිපත්‍ය යොදවන්නා. ඔබලා වෙනුවෙන් උන්වහන්සේ ආරක්‍ෂකයන් (වූ මලායිකාවරුන්)ව යවන සේක. එහෙයින් ඔබලා අතුරින් කෙනෙකුට මරණය ඇතිවන විට, අපගේ දූතයෝ (වූ මලායිකාවරු) ඔහුව අත්පත් කරන්නෝය. ඔවුහු(මලායිකාවරු) කිසිවිටකත් (සිය රාජකාරිය) පැහැර නොහරින්නෝය.

අල්කුර්ආන් 6:61

ඔබලා වෙනුවෙන් මා වෙත එවූ දෙය ඔබලාට බාරකෙළමි. ඔබලා ප‍්‍රතික්ෂේප කරන්නෙහු නම් ඔබලා හැර වෙනත් ප‍්‍රජාවක් ඔබලා වෙනුවට උන්වහන්සේ පත්කරනු ඇත. උන්වහන්සේට කිසිදු හානියක් කිරීමට ඔබලාට නොහැක. මාගේ දෙවි සියලූ දේ අධීක්‍ෂණය කරන්නාය(යැයි කීය).

අල්කුර්ආන් 11:57

කිසිවෙකුටත් නියමිත කාලයේදී අල්ලාහ්ගේ කැමැත්තෙන් තොරව මරණයට පත්විය නොහැක.මෙලොවෙහිදී ප‍්‍රතිපඵය අපේක්‍ෂා කරන්නන් හට එය ලබා දෙන්නෙමු. පරලොවේදී ප‍්‍රතිපඵය අපේක්‍ෂා කරන්නන් හට එය ලබාදෙන්නෙමු. කෘතඥයින් හට (හොඳ) ප‍්‍රතිපඵ ලබා දෙන්නෙමු.

අල්කුර්ආන් 3:145

(ලෝකවිනාශය සිදුවන) එම හෝරාව පිළිබඳ ඥාණය අල්ලාහ් (පමනක්* සතුය. උන්වහන්සේය වැස්ස පහල කරන්නේ(වස්සවන්නේ). ගර්භාෂයන්හි ඇති දෑ උන්වහන්සේ (පමනක්) දන්නා සේක. තමා හෙට උපයන දෑ කිසිවෙකු නොදනී. තමා කොහිදී මරණයට පත්වන්නේ දැයි කිසිවෙකු නොදනී. අල්ලාහ් යහමින් දන්නාය, (සියල්ල පිළිබඳ) සුපරීක්‍ෂාකාරීය.

අල්කුර්ආන් 31:34

මතු සම්බන්ධයි…

 

…මෙම ලිපියේ තවත් කොටස් ඉදිරියටත් බලාපොරොත්තු වන්න…

 

 

මෙම විෂයට අදාල  වෙනත් සැබඳුම් (Link)

 

කතෘ – ඉබුනු ජෙමීල්
ඉදිරිපත් කිරීම – අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *