ඉස්ලාම්, මුහම්මද් තුමා කඩුවෙන් පතුරවන ලද දහමක්ද?

0

ජාත්‍යන්තරය තුල කලින් කලට ඉස්ලාමීය ලෝකයට එල්ල කරන ප්‍රබල චෝදනාවක් තමා “ඉස්ලාම් ත‍්‍රස්ථ ක‍්‍රියාවන් මඟින් ලොව පැතිරවු දහමක්” යන්න. මෙය මීට වසර කිහිපයකට පෙර වර්ථමාන බෙනඩික් පාප් වහන්සේ තුමා ප‍්‍රසිද්ධියේ කල ප‍්‍රකාශයත්, මීට වසර කිහිපයකට පෙර “ඉස්ලාම් දහම මුහම්මද් තුමා ලොව පුරා පැතිර වුයේ කඩුවෙනි” යන්න හුවාදක්වමින් මුහම්මද් තුමාව කාටූන් චිත‍්‍රයට නැගීමත් නිදර්ශනයන් ලෙස ගෙනහැර දැක්විය හැක. මෙවන් චෝදනාව ඉස්ලාමය එල්ල කිරීම වර්ථමානයේ පමණක් දක්නට දක්නට ඇති තත්වයක් නොවේ. අතීතයේ පටන් ඉස්ලාම් දහමටත්, මුහම්මද් තුමාටත් එරෙහිව එල්ල වු නිරන්තර කාරණයකි. නමුත් මෑතක සිට ජාත්‍යන්තරයට නොදෙවැනිව ලාංකීය සමාජයේ ද එවැනි ප‍්‍රවනතාවයක් නිර්මාණය වෙමින් පවතී. මෙම කාරණය සම්බන්ධයෙන් තවදුරටත් ලාංකීය මුස්ලීම්වරුන් වශයෙන් නිහඩව බලා සිටිමට කල නොහැක. මෙයට උදාහර්ණ වශයෙන් විවිධ විද්වත් සාකච්චාවන් සමහරක් දේශපාලඥයන්ගේ ප‍්‍රකාශයන් මෙන්ම ඉස්ලාමීය මූලික අවබෝධයක් පවා නොමැතිව ඉස්ලාම් විවේචනය කරමින් ප‍්‍රකාශයට පත්ව ඇති පොත්පත් විශාල ප‍්‍රමාණයක් පෙලගැස්සීය හැක. මෙම අනවබෝධයට හොද නිදසුනක් ලෙස පසුගිය කාලවල ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය දෙමළ මාධ්‍ය පුවත්පතක මුහම්මද් තුමා සම්බන්ධයෙන් පලකල කාටූනය ගෙනහැර දැක්විය හැක. මේ ආකාරයේ පදනම් විරහිතව හා අනවබෝධව ඉස්ලාම් විවේචකයන්ටත්, ඉස්ලාම් විවේචනය කිරීමට බලාහිදින පිරිසට අත්වැලක් ලෙසත් මෙම කාරණය එනම් “ඉස්ලාම් කඩුවෙන් පතුරුවන ලද දහමක්ද?” යන්න පිලිබදව ඉස්ලාම් හි ස්ථාවරය කුමක්ද? මේ පිලිබදව ඉස්ලාමීය ඉතිහාසය කුමක් පවසනවාද? යන කාරණයන් පිලිබදව දැන් අවධානය යොමු කරමු.

ඉස්ලාමීය විශ්වාසයට අනුව වක්තෘවරයාගේ කාර්‍යභාරය දේව පණිවුඩය ජනතාවට ප‍්‍රකාශ කිරීම හා එය ක‍්‍රියාවට නැංවීමයි. අවසාන වක්තෘ වශයෙන් පැමිණි මුහම්මද් (සල්) තුමාද ඉටුකලේ එම මෙහෙවරයි. එසේ නොමැතිව දේශපාලන පක්‍ෂවලට එසේත් නැත්නම් වෙනත් සංවිධානවලට සාමාජිකයන් එකතු කරනවා සේ ඔළු ගොඩක් එකතු කිරීමක් ඉස්ලාම් දහම අවධාරනය නොකරන අතර එසේ කිරීම සධාචාර සම්පන්න නොවන බවද පැහැදිලිය.එදා මුහම්මද් (සල්) තුමා උපන් භූමිය වන මක්කාවේ ඉස්ලාම් දහම ජනයා ඉදිරයේ පැවසීමේදී බහුතරයක් එය ප‍්‍රතික්ෂේප කරන විට ඒ පිරිස සම්බන්ධයෙන් මුහම්මද් (සල්) තුමා “සත්‍ය මාර්ගය වු ඉස්ලාමය අවබෝධ කරගන්න මේ පිරිස උත්සාහ නොකරන්නේ මන්ද” යයි කනස්සල්ලට පත්වන ලදී. ඒ මොහොතේ දෙවියන් පහත ශූද්ධ වු අල්කුර්ආන් වාක්‍ය පහල කරන ලදී.

“ඔවුන් (ඔබ පවසන දෑ) නොසලකා හරින්නෙහු නම් (ශෝක නොවව්) අප නුඹව ඔවුනට ආරක්‍ෂකයෙකු ලෙස නොයැව්වෙමු. නුඹ කෙරෙහි ඇත්තේ (දේව පණිවුඩය) ප‍්‍රකාශ කිරීම පමණි.” (42:48)

“නුඹට ඇත්තේ සත්‍ය දහම ජනයා හමුවේ ප‍්‍රකාශ කිරීම පමණි. (කොපමණ සංඛ්‍යාවක් ඉස්ලාම් දහමට ආවාද) ගනන් බැලීම නුඹට අදාල නැත.” (6:52)

ඉහත දේව වාක්‍යයන් දෙකට අනුව මුහම්මද් තුමාට පැවරී ඇති කාර්‍යභාරය පැහැදිලි වේ. ඒ දේව වාක්‍ය ජනයාට ප‍්‍රකාශ කිරීම හා එය ක‍්‍රියාවට නැංවීම පමණි. ඉස්ලාම් දහමට ජනයා රුස්කිරීම හෝ එසේ නොපැමිණියා යයි දුක්වීම එතුමාගේ කාර්‍යභාරය නොවේ. එසේම ඉහත දෙවන වාක්‍යයෙන් දෙවියන් අවධාරනය කරන්නේ මෙම දහමට සාමාජිකයින් රුස්කිරීමේ පටු අරමුණු මේ දහම ප‍්‍රචාරය තුල නොමැති බව නොවේද? ශුද්ධ වු කුර්ආනය මගින් මුහම්මද් (සල්) තුමණන් හට දෙවියන් මෙසේ ද අවධාරණය කරයි. එනම්,

“අලංකාර උපදේශයන් මගින් නුඹගේ ස්වාමිගේ මිහුගේ මාර්ගයට අඩගසනු. ඉතා අලංකාර දෙයින් ඔවුන් සමග විවාද කරව්” (16:125)

ඉහත වාක්‍යයට අනුව මුහම්මද් (සල්) තුමා මෙම දහම ප‍්‍රචාරය කලයුත්තේ කෙසේද යන්න පැහැදිලිව පවසා ඇත. ඉහත ආකාරයටම තවත් ස්ථානයක දෙවියන් වහන්සේ මෙසේ ද පවසයි.

“ඉස්ලාමයේ බලකිරීමක් නැත. ඇත්තෙන්ම දුර්මාර්ගයෙන් සන්මාර්ගය පැහැදිලිය” (2:256)

මෙම වාක්‍යන්ට අනුව ඉස්ලාමය ප‍්‍රචාරය කල යුත්තේ ලක්‍ෂණ උපදේශයන් ආකාරයට මිස එය තුල කිසිදු ආකාරයක බලකිරීමන් නොතිබිය යුතුයි යන්න ඉස්ලාමීය ස්ථාවරයයි. මෙසේ ඉස්ලාම් අවදාරනය කරද්දී “මෙම දහම ජනයා අතර බලෙන් පැතිරවුයේ කඩුව උපයෝගි කරගෙන” යයි චෝදනා කිරීම ඉස්ලාමීය මූලික ඉගෙන්වීමට පරස්පර වු කාරණයකි. එසේම ඉස්ලාමීය මූලික ඉගෙන්වීමට විරුද්ධවීම යන්න ද ඉස්ලාමීය ගෙන්වීම අනුව ඉස්ලාමයෙන් බැහැර කරවන මහා පාපයකි. ඒ අනුව මෙම චෝදනාව මුස්ලිම්වරුන් ට එල්ල කිරීම කොතරම් දුරට අසාධාර්ණ චෝදනාවක්ද? යන්න අවබෝධ කරගැනීම ඕනෑම කෙනෙකුහට අපහසු නොවනු ඇත.

දහම් ප්‍රචාරයේ දී මේ ආකාරයට අලංකාර ආදර්ශයන් පෙන්වා දෙන ශුද්ධ වු කුර්ආනය එතැනින් නතර නොවී තවත් පියවරක් ඉදිරියට ගොස් මෙලෙසද පවසයි.

“සමානයන් තබන්නන් (අන්‍ය අගමිකයින්) ආරක්‍ෂාව පතා නුඹවෙත පැමිණියා නම් ඔවුනට ආරක්‍ෂාව දෙව” (9:6)

ඉස්ලාම් විරෝධීන් චෝදනා කරනවා සේ තර්ජනය කර, බලහත්කාරයෙන් ඉස්ලාම් දහමට ජනයා බදවා ගැනීමට අවසර ඇත්තේ නම් ඉහත ආකාරයට දෙවියන් නියෝග කරනු අත්ද? එදා මුහම්මද් (සල්) තුමාණන් මදීනාවේ ජනාධිපතිවරයාය එතුමා සිතුවේ නම් එදා බලහත්කාරයෙන් සියල්ල ඉස්ලාම් දහමට බදවා ගන්නට ද තිබුණි. නමුත් මරණින් මතු සදාතනික දිවියක්, ස්වර්ගයක්, අපායක් හා අවසාන දිනයක් පිලිබදව විශ්වාසය පදනම් කරගත් දහමක බලහත්කාරයෙන් මෙම විශ්වාසයන් ගොඩනැගිය නොහැකි බව මුහම්මද් (සල්) තුමා හොදින් අවබෝධ කරගෙන සිටින ලදී. එසේ එදා කලානම් ඉස්ලාම් දහම නමින් එදා මෙන්ම අදත් ඔළු ගොඩක් පමණක් ඉතිරිව පවතිනු ඇත. එම පිරිසද ඉස්ලාම් තුල තාවකාලික පිරිසක් වන අතර ඔවුන් නිදහස ලබනවාත් සමග ඉස්ලාම් දහමින් ද බැහැරවනු ඇත. නමුත් ලෝක ඉතිහාසයේ එවැනි ඉස්ලාම් දහමින් බැහැරව වෙනත් ආගමකට ගිය කිසිදු ජන කොට්ඨාශයක් වාර්ථා නොවීම තුලින් මෙම චෝදනාව අසත්‍ය වු චෝදනාවක් බව ඉතිහාසය විසින්ම තහවුරු කර ඇත. ඒ තුලින් ද පෙනීයන්නේ මෙම දහම තුල බලකිරීමක් නොමැති බවයි. මෙසේ කරුණු පවසද්දී ඉස්ලාම් නොවන පිරිස මතුකරන ගැටළුව නම්, “අල්කුර්ආනය එසේ පවසනවා සත්‍ය තමා නමුත් මුහම්මද් තුමා ඊට විරුද්ධව ක‍්‍රියාකලා වන්නට බැරිද?” යන්නයි. මෙම තර්කය සාධාරණ වු තර්කයක් වුවද ශුද්ධ වු කුර්ආනයේ එවැනි සැකයක් ඇති වීම පවා වලක්වමින් පහත ආකාරයට මුහම්මද් (සල්) තුමාණන්ට විරැද්ධව ඇති කරවන චෝදනාවලින් එතුමා සුවිශුද්ධ කරයි. එනම්,

“ඇත්තෙන්ම අල්ලාහ්ගේ රසුල්වරයා (මුහම්මද්) හමුවේ නුඹට ලක්‍ෂණ ආදර්ශයන් ඇත්තේමය” (33:21)

ඉහත ආකාරයකට දේව වාක්‍යවලට පරස්පරව, විරුද්ධව මුහම්මද් (සල්) තුමා කටයුතු නොකල බවත්, එතුමා හමුවේ මුළු මිනිස් සමාජයටම අලංකාර ආදර්ශ ඇති බවත් පවසයි. එසේ නම් එම තර්කය ද මෙහිදී අවලංගු වී යයි. වාදයකට ඔවුන්ගේ තර්කය සත්‍ය යයි උපකල්පනය කලත් ඒ සමගම මතු වන ගැටඑව මුහම්මද් (සල්) තුමාගේ චරිතය එවැනි කෲර චරිතයක්ද? යන්නයි. මේ කාරණය තරමක පුළුල් අවදානයක් යොමු කිරීම අත්‍ය අවශ්‍ය වේ. එසේම මෙම කාරණය විවිධ පැතිකඩ ඔස්සේ අවදානය යොමු කිරීම ද අවශ්‍ය වේ. එනම්,

  • ශුද්ධ වු අල්කුර්ආනය මුහම්මද් තුමා පිලිබදව කුමක් පවසනවාද?
  • මුහම්මද් (සල්) තුමාගේ ක‍්‍රියාවන්, දේශනයන් හා අනුමත කිරීම් (මෙය අල් හදීස් යනුවෙන් හදුන්වන අතර එයද ඉස්ලාමීය නීතිමාලාවට අයත් වේ.) යන්නෙ හි එතුමා පිලිබදව කුමක් සදහන් වී තිබෙනවාද?
  • ඉතිහාසඥයින් එතුමා පිලිබදව කුමක් පවසනවාද?

ශුද්ධ වු අල්කුර්ආනයේ මුහම්මද් (සල්) තුමා පිලිබදව

ශුද්ධ වු කුර්ආන් යනු දෙවියන් වහන්සේ විසින් මුහම්මද් (සල්) තුමා හට පහල කරන ලද දේව වාක්‍යයන් පමණක් අන්තර්ගත වු දිව්‍යමය ලියවිල්ලකි. මෙම ශූද්ධ වු ලියවිල්ලේ මුහම්මද් (සල්) තුමා පිලිබදව බොහෝ කරුණු පවසා ඇත. එහි එතුමාගේ ගුණාංග පිලිබදව පැවසීමේ දී පහත ශුද්ධ වු කුර්ආන් වාක්‍යයන් කිහිපයක් ගෙනහැර දැක්විය හැක.

  • “ඇත්තෙන්ම නුඹ අති ශ්‍රේෂ්ඨතම වු යහ ගුණයෙහිමය.” (68:4)
  • “(මුහම්මද්) හමුවේ නුඹට අලංකාර ආදර්ශයක් ඇත්තේමය.” (33:21)

ඉහත ශුද්ධ වු අල්කුර්ආන් වාක්‍යයේ දෙවියන් වහන්සේ මුහම්මද් (සල්) තුමාණන් ඉතා යහපත් ගුණාංගයන්ගෙන් ද පොදු ජනයාහට ආදර්ශමත් අයුරින්ද ජීවත් වු බව පවසයි. මුහම්මද් (සල්) තුමාණන් දේව නියෝගයට විරුද්ධව ක‍්‍රියා කලානම් මෙවැනි සහතිකයක් කිසිසේත් දෙවියන්ගෙන් නොලැබෙනු ඇත. ඒ අනුව එනම් ශුද්ධ වු කුර්ආනයට අනුව මුහම්මද් (සල්) තුමා යනු දේව නියෝගයන්වලට විරුද්ධව හා පොදු ජනයාට එරෙහිට ක‍්‍රියා කල කෲර පුද්ගලයකු පාලකයෙකු නොවන බව පැහැදිලි වේ.

අල් හදීස් හි මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව

අල් හදීස් යනු මුහම්මද් (සල්) තුමා ජීවත් වු කාලයේ එතුමාගේ ක‍්‍රියාවන්, දේශනායන් හා අනුමතකිරීමන් අන්තර්ගත වු ලියවිල්ලකි. මෙයද අල්කුර්ආනය සේම ආරම්භයේ සිටම ආරක්‍ෂා වී පවතින ශුද්ධ වු ලියවිල්ලකි. (ඉස්ලාම් දහම යනු මේ දෙකෙහි එනම් අල්කුර්ආනය හා අල්හදීසය අන්තර්ගත කරුණුය.) මෙම අල්හදීසයේ මුහම්මද් (සල්) තුමා සම්බන්ධයෙන් කුමක් සදහන් වී තිබෙනවාද? එවැනි කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කලේ නම්,

  • “දිනක් මුහම්මද් (සල්) තුමා මාර්ගයක ගමන් කරමින් සිටින විට පිටුපසින් පැමිණි යම් පුද්ගලයකු මුහම්මද් (සල්) තුමාගේ බෙල්ලේ දමා තිබු සාටකයෙන් ඇදින ලදී. ඔහු අදින ලද එම වේගයට මුහම්මද් (සල්) තුමා විසිවී ගොස් ඔහුගේ ඇගට වැටෙන ලදී. එම ඇද්ද පහරට මුහම්මද් (සල්) තුමාගේ බෙල්ල පවා රතුවිය. අසල සිටී අනිකුත් පරිවාරකයින් (සහාභාවරැන්) කෝපයට පත්ව ඔහුට පහරදීමට සැරසුනි. ඒ මොහොතේ මුහම්මද් (සල්) තුමා නැගිට ‘නුඹ ඇයි එසේ කලේ’ යයි විමසන ලදී. එයට ඔහු ‘මා දින කිහිපයකින් ආහාර ගත්තේ නැහැ මට මොනවා හරි භාණ්ඩාගාරයෙන් දෙන්න’ යයි පවසන ලදී. එයට මුහම්මද් (සල්) තුමා සිනාමුසු මුහුණින් ‘මෙයට ද මාව මේ තරම් රිදවුයේ’ යයි පවසා එතන සිටී පරිවාරකයෙකු හට ‘මොහුට අවශ්‍ය ප‍්‍රමාණයට ආහාර ලබාදෙන්න’ යයි අනකරන ලදී.”

මෙම සිද්ධිය ද සිදු වුයේ එතුමා එම රටේ ජනාධිපති වශයෙන් කටයුතු කරන මොහොතේය. එක් පසකින් රාජ්‍ය නායකයෙක් (වර්ථමාන රාජ්‍ය නායකයන්ට සාපේක්ෂව සිතන්න) තවත් පසකින් ආගමික නායකයෙක් (වර්ථමාන අධ්‍යාත්මික නායකයන්ට සාපේක්ෂව සිතන්න) නමුත් එතුමාගේ ප‍්‍රතිචාරය කුමක්ද? මෙම සිද්ධිය තුල කොහිද කෲරකමක්?

  • “යුද්ධයක දී අත්අඩංගුවටගත් ඉස්ලාම් විරෝධියකු මුහම්මද් (සල්) තුමාගේ නිවස අසල බැද තබන ලදී. මොහු මේ ආකාරයට දින තුනක් බැද තබන ලදී. මොහු මුල් දිනයන්වල මුහම්මද් (සල්) තුමාහට බැනවදිමින් සිටින ලදී. නමුත් 03 වන දින ‘නබිතුමණි, ඔබතුමා මාව ඝාතනය කරනවා නම් එයට මම සුදුස්සා වෙමි මන්ද මම විශාල ප‍්‍රමාණයක් මුසලීම්වරුන් ඝාතනය කර ඇත්තෙමි. එසේ නොවේ නම් මාගේ ගෝත‍්‍රයට පණිවුඩයක් යැව්වේ නම් මා මුදාගැනීම වෙනුවෙන් අවශ්‍ය තරමින් වස්තුන් ලබාදෙනු ඇත. එසේ නොකරන්නේ නම් මාව ලිහන්න මා ස්නානය කොට පැමිණ ඉස්ලාම් දහම වැලදගත යුතුයි’ යයි පවසා තවදුරටත් ‘ඊයේ වනතුරු මේ ලෝකයේ පිලිකුල්ම පුද්ගලයෙකු සිටියේ නම් ඒ ඔබතුමායි නමුත් අද මේ ලෝකේ මා ප‍්‍රියකරන පුද්ගලයෙකු සිටීනම් ඒ ඔබතුමායි’ යනුවෙන් පවසන ලදී.”

මෙසේ ඔහුට සිතීමට නබිතුමා කලේ කුමක්ද? ආගම දේශනා කලේ නැත. තර්ජනය කලේ නැත. නබිතුමාගේ ක‍්‍රියාවන් අධ්‍යනය කලා එතුමාගේ යහපත් ගුණාංගයන් දුටුවා එතුමාණන් තුලින් සත්‍ය අවබෝධ කරගත්තා. මෙය තුල කෲර ක‍්‍රියාවන් කොහේද?

  • ඉස්ලාමීය ඉතිහාසයේ සිදුවු විශේෂ සිදුවීමක් තමා “හුදෙයිබියා” නම් ගිවිසුම අත්සන් කිරීම. මෙම ගිවිසුම අත්සන් තබන මොහොතේ මුස්ලීම්වරුන් අත තිබු මදීනාව සියලූම ආකාරයෙන් එනම් යුධ බලයෙන් හා රාජ්‍ය බලයෙන් බලසම්පන්නව පැවතී රාජ්‍යයකි. එවැනි ප‍්‍රබල බලයක් උරුම පැවතී එම පිරිස හජ් වන්දනය සදහා මක්කමට ගිය මොහොතේ ඉස්ලාම් විරෝධි මක්කාවාසීන් මුහම්මද් (සල්) තුමා ඇතුඑ පිරිස මක්කාවට ඇතුල්නොවී වලක්වා ගිවිසුමක් අත්සන් කරන ලදී. එම ගිවිසුම තමා “හුදෙයිබියා ගිවිසුම” යනුවෙන් හදුන්වන්නේ. මෙම ගිවිසුම මඟින් මුස්ලීම්වරුන්ට හා මුහම්මද් (සල්) තුමාණන් හට විවිධ ආකාරයේ අපහසයන් සිදු කරමින් සකස් කරන ලදී. එසේ ගිවිසුම සකස් කිරීමේදී මක්කාවාසී ඉස්ලාම් විරෝධීන් ඉදිරිපත් කල සියලූම කොන්දේසිවලට මුහම්මද් (සල්) තුමා එකඟ විය. මේ දෙස බලාසිටී මුහම්මද් (සල්) තුමාගේ අනුගාමිකයින් “ඔවුන් සමග යුද්ධ කරමු, අප ඇයි මොවුන්ට හිස නමන්නේ” යයි පවසන්නට විය. නමුත් ඔවුන් පැවසු ඒ කිසිවකට සවන් නොදුන් මුහම්මද් (සල්) තුමා ගිවිසුමට අත්සන් කොට ආපසු හැරී මදිනාවට පැමිණියේ හජ් වන්දනය ද ඉටුනොකොටය. මේ ක‍්‍රියාකලාපය දුටු සමහරක් අනුගාමිකයින් මුහම්මද් (සල්) තුමා සමග ද මුලදී උරණවිය. මෙය දීර්ඝ සිදුවීමක් වන අතර මෙම සිද්ධිය බැලූ බැල්මට මුස්ලීම්වරුන්ගේ පරාජයකි. එය අවබෝධ කරගැනීම සදහා එම ගිවිසුමේ එක් කොන්දේසියක් පහතින් ඉදිරිපත් කරමි.

“මක්කාවේ සිට කව්රුන් හෝ මදීනාවට ඉස්ලාම් දහම වැලදගැනීමට පැමිණියා නම් ඔවුන් නැවත මක්කාවට භාරදිය යුතුයි. නමුත් මදීනාවෙන් කව්රුන් හෝ මක්කාවට පැමිණියා නම් ඔවුන් භාරදෙනු නොලැබේ.”

මුහම්මද් (සල) තුමාණන් එම මොහොතේ සිතුවේ නම් ඔවුන් සියල්ල පලවාහැර හජ් වන්දනය කරන්නටත් මක්කාව තමා යටතට ගැනීමටත් ශක්තිය හා බලය තිබුණි. නමුත් එක් රටකින් තවත් රටකට ඇතුඑවීමේ දී අනුගමනය කලයුතු ක‍්‍රියා මාර්ගය එතුමා අනුගමනය කලා මිස මෙම සිද්ධිය තුල කොහිද කෲරකමක්? ඒ අනුව ඉහත එතුමාගේ ආදර්ශයන් තුලින්ද පැහැදිලි වන්නේ ලෝකයටම ආදර්ශමත් ප්‍රායෝගික දිවියක් යන්න මිස කෲරත්වයක් නොවේ.

ඉතිහාසඥයින් ගේ ප්‍රකාශන මුහම්මද් තුමා පිලිබදව

මෙම කාරණය එනම් ඉතිහාසඥයින්ගේ මතය මුහම්මද් (සල්) තුමාණන්ගේ චරිතය නිවරැදිව වටහා ගැනීමේ මඟක් නොවේ. මන්ද ඉතිහාසය විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට ලියා තබා ඇත. ඒවායින් සමහරක් කිසියම් පදනමක් ඇති ඒවා වන අතර තවත් සමහරක් කිසිදු පදනමක් නැති කාරණයන්ය. කෙසේ වෙතත් ඉතිහාසඥයින් මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව පවසන කාරණයන් වෙත දැන් අවධානය යොමු කරමූ. මෙම කාරණය සම්බන්ධයේ ඉතිහාසඥයින්ගේ මතය ප්‍රධාන කොටස් දෙකකට වෙන්කල හැක. එනම්,

  • “මුහම්මද් තුමා කෲර චරිතයක්” යන්නට විපක්‍ෂව අදහස් පලකල ඉතිහාසඥයින්
  • “මුහම්මද් තුමා කෲර චරිතයක්” යන්නට පක්‍ෂව අදහස් පලකල ඉතිහාසඥයින්

මෙහි දී ප‍්‍රථමයෙන් පලමු කාරණයට අවධානය යොමු කලේ නම් දෙවන කාරණයට සාපේක්‍ෂව විශාල විද්වත් පිරිසක් මුහම්මද් (සල්) තුමාගේ යහපත් ගතිගුණ පිලිබදව විවිධ අදහස් ඉදිරිපත් කර ඇත. ඒවායින් කිහිපයක් පිලිබදව අවධානය යොමු කලේ නම්,

  • “ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන් ශ්‍රේෂ්ඨතම සාර්ථකත්වය උසුලන එකම පුරුෂයා මුහම්මද් තුමාය.”
    THE 100 – කතෘ Michael H Hart
  • “නාම අරක්ගෙන සිටියේය. එතුමා පොප් වුයේ බාහිර ඇගවීම්වලින් තොරවය. සීසර් වුයේ හමුදා බල ඇණිවලින් තොරවය, ආත්මාරක්‍ෂක සෙබලූන් රහිතවය. අවි ආයුධ නැතිවුවත් ඒවායේ උපකාරයක් නොලදත් සෑම බලයක්ම හිමිවී තිබුණු බැවිනි.”
    ග‍්‍රන්ථය Mohammad and Muhammadanism,කතෘ Bosworth Smith
  • සටන්කාමී මුස්ලීම්වරුන් විසින් අසිපත් තුඩින් ලොවපුරා ඉස්ලාමය බලයෙන් කාවද්දන ලදැයි ඉතිහාසඥයන් නොකඩවා කළ ප‍්‍රකාශය බැරැුරුම් මුසාවක් වන වග කෙසේ හෝ ඉතිහාසයෙන් ම සනාථ වේ.
    ග‍්‍රන්ථය Islam at the Cross Road, කතෘ ඉතිහාසඥය De Lacy O’Leary, Page 8

ඉහත ඉතිහාසඥයින්ගේ අදහස් පිලිබදව මධ්‍යස්ථව හිද අවධානය යොමු කලේ නම් මුහම්මද් තුමාගේ චරිතය කොතරම් ආදර්ශමක් චරිතයක් ද යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක. මෙවැනි ආදර්ශමත් චරිතය තුල කෲරකමක් ගැබ්ව පවතින්නේ කෙසේද?

මේ ආකාරයට ශුද්ධ වු අල්කුර්ආන් වාක්‍යයන් කුමක් පවසනවාද?, අල්හදීසය කුමක් පවසනවාද?, ඉතිහාසඥයින් මෙතුමා පිලිබදව කුමක් පවසනවාද? වැනි කරුණු පිලිබදව කිසිදු අධ්‍යනයක් සිදු නොකොට එසේ කිසිදු පදනමක් නොමැතිව “මුහම්මද් කෲර චරිතයකි, ඔහු ඉස්ලාමය තුල ත‍්‍රස්ථවාදය අවධාරණය කරයි” යනුවෙන් අන්තවාදී අදහස් ඉස්ලාමයට විරුද්ධව ඉදිරිපත් කිරීම මොනතරම් පහත් අන්තවාදී කුහක ක්‍රියාවක්ද?

(ඉහත චොදනාවත් සමගම අනුබද්ධ වු තවත් චෝදනාවක් තමා “ඉස්ලාම් ත‍්‍රස්ථවාදය අවධාරණය කරනවා” යන්න කියවීමට)

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *