ඉස්ලාම් හා විද්‍යාව හමුවේ ආලෝකයේ වේගය

0

quran speed of lightපසුගිය දිනක ‘යහමඟ’ අඩවිය වෙත යොමුව තිබූ ‘…කරුණාකර නිව්ටන්ගේ “නියම” (ගුරුත්වාකර්ෂණ නියමය විශේෂය), සාපේක්ෂතා “වාදය”, ක්වොන්ටම් “වාදය” ගැන පැහැදිලිකිරීමක් ලබාදෙන්න…‘ යන පාඨක පැනය දුටූ විගස මාගේ පාසැල් දිවියේ විද්‍යා ගුරුතුමා වන සම්සුදීන් (මෙතුමා 2004 සුනාමි ව්‍යසනයෙන් මියයන ලදී) මැතිතුමා වරක් පන්ති කාමරයේ දී පැවසූ වදනක් මාගේ සිහියට නැඟුණි. ඒ ‘බලන්න අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ඒ අනුව ‘මලාඉකාවරුන් (දේවදූතයන්)’  වයසට යන්නේ නැති බව ඔප්පු වෙනවා නේද?’ යයි පැවසීමයි. එදා පටන් මේ විෂය විශේෂයෙන් සාපේක්ෂතාවාදය පිලිබදව කිසියම් උනන්දුවක් මා තුල තිබුණත් මේ දක්වා එය ගැඹුරු ගවේෂණයන්ට ලක් කරන්න තරම් ජීවිතයේ අවස්ථාවක් නොවීය. නමුත් ඉහත පාඨක පැනයත් සමඟ මේ සංකීර්ණ විෂය පිලිබදව කිසියම් අධ්‍යනයක නිරත වියයුතු යන අදහස උනන්දුව මා තුල දැන් මතුව ඇත.

ලෝක බුද්ධිමතුන් අදටත් මවිත කරවන විටෙක ඔවුන් සංකීර්ණ පටලැවිලිවලට හසුකරවන ‘සාපේක්ෂතාවාදය’ මා මෙහි පේලි දෙකකින් නොඑසේ නම්, මෙවැනි ලිපියකින් පැහැදිලි කරන්න හදනවා යයි ඔබ වැරදි වැටහීමක් ඇති කර ගතයුතු නැත. මා පෙර සදහන් කලාසේ මෙය සංකීර්ණ විෂයක්. එහි සියළු අනු කොටස් පවා සංකීර්ණයි. විශේෂයෙන් විෂය දැනුම නොමැති පිරිස් පවා නරඹන මෙම අඩවිය තුල එවැනි විෂයක් කථා කිරීමේ දී එය ඉතා සරලව කථා කිරීම ද අත්‍යඅවශ්‍යය එවිට එය තවත් දුෂ්කර වේ. කෙසේ වෙතත් මෙතැන් සිට පියවරින් පියවර නිව්ටන් නියමය, සාපේක්ෂතාවාදය හා ක්වොන්ටම්වාදය වැනි කරුණූ අනුමාතෘකා පෙළක් ඔස්සේ  ‘යහමඟ’ අඩවිය තුල හැකිතාක් සරලව හා ඉස්ලාම් දහම හා සංසන්ධනාත්මකව කථා කිරීමට අදහස් කරමි. එහි පලමු පියවර ලෙස මේ සියළු විෂයන්ට මූලික මාන දෙකක් වන ‘දුර’ හා ‘වේගය’ මෙන්ම එහි මිනුම් ඒකකය වන ‘ආලෝක වර්ෂය’ හා එයට පදනම් වූ ‘ආලෝකයේ වේගය’ යනු කුමක්ද? යන්න විද්‍යාත්මක ඇසින් ද එසේම ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න ආගමික ඇසින් ද සංසන්ධනාත්මකව මේ ලිපිය තුලින් විමසා බැලීමට අදහස් කරමි.

නූතන ලෝකයේ දුරක් මැනීම සදහා කිලෝමීටර් (km), මීටර් (m), සෙන්ටිමීටර් (cm), මිලිමීටර් (mm)… වැනි මිනුම් ඒකක භාවිතා කරනවා ඔබ හොදින් දන්නා කාරණයකි. නමුත් විශ්වය, ක්ෂීරපථය, තරු… අතර දුර පිලිබදව කථා කරවිට ඉහත මිනුම් ඒකක ඒ සදහා වලංගු නොවේ. එහිදී යොදාගන්නා මිනුම් ඒකකය වන්නේ ‘ආලෝක වර්ෂ’ යන්නයි. මේ ‘ආලෝක වර්ෂ’ යනු කුමක්ද? යන්න සරලව හදුන්වන්නේ නම්,

ආලෝකයක් වර්ෂයක් තුල ගමන් කරන දුර ‘ආලෝක වර්ෂ’ ලෙස හැදින්වේ. මෙය කිලෝමීටර් 9461000000000 (km) ක් ලෙස ආසන්න වශයෙන් විද්‍යාව ගණනය කොට ඇත.

මේ අනුව ආලෝකය ගමන් කිරීම සදහා ද කාලයක් අවශ්‍ය බව මින් පැහැදිලි වන අතර සූර්‍යයාගේ ආලෝකය පෘථිවිය වෙත ලඟාවීමට ආසන්න වශයෙන් විනාඩි 08 ක පමණ කාලයක් ගත වේ. මෙලෙස කෙටි කාලයක් තුල අධික දුරක් පසුකර යාම සදහා ආලෝකයට අධික වේගයක් පැවතිය යුතු බව දැනටමක් ඔබ තුල අදහසක් මතු වී තිබෙන්නට පුළුවන. ඒ පිලිබදව ද කෙටි අවධානයක් යොමු කරන්නේ නම්, එය ආසන්න වශයෙන් තත්පරයට කිලෝමීටර් 300000 (300000km/s)ක් ලෙස විද්‍යාඥයින් ගණනය කොට ඇත. ඒ අනුව මෙම විෂය ඉදිරියට කථා කිරීමේ දී එහි මිනුම් ඒකක ලෙස ලොව සම්මත ඒකකය වන ‘ආලෝක වර්ෂ’ මඟින් කථා කිරීම සිදුවේ. ඊට ප්‍රථම මෙම ‘ආලෝක වර්ෂ’ නම් මිනුම් ඒකකය සදහා පදනම් කරගත් ‘ආලෝකයේ වේගය’ පිලිබදව අතීතයේ පටන් පැවතී මතවාදවල විකාශනය හා එය ඉස්ලාම් දහමේ ඉගෙන්වීම හා කොතරම් දුරකට සමනකමක් දක්වනවා යන්න මෙහි විමසා බලමු. එනම්,

‘ආලෝකවේ වේගය’ සදහා වූ වර්ථමාන ගණනය කිරීම සම්මත කරගන්නා ලද්දේ 1983 දීය. ඒ තත්පරයට කිලෝමීටර් 299,792.458 (km/s) ලෙසය. නමුත් ඊට පෙර කාලවලද මෙම ‘ආලෝක වර්ෂයේ’ සංඛ්‍යාත්මක අගය පිලිබදව විවිධ විග්‍රාහ ලොව තුල ඉදිරිපත් වී ඇත. (වැඩි විස්තර සදහා විකිපීඩියා හි Speed of light යන ලිපිය කියවන්න) විෂය පිලිබදව උනන්දුවක් දක්වන පිරිසගේ දැනගැනීම පිණිස එවැනි කිහිපයක් පවසනවා නම්,

  • 1667 දී නූතන විද්‍යාවේ පියා වන ගැලීලියෝ ගැලීලි පවසා ඇත්තේ 3.3 km/s ලෙසය
  • 1676 දී 214,000 km/s
  • 1726 දී 301,000 km/s
  • 1849 දී 315,000 km/s
  • 1862 දී 298,000 +-500 km/s
  • 1879 දී 299,910 +-50 km/s
  • 1907 දී 299,788 +-30 km/s
  • 1926 දී 299,796 +-4 km/s
  • 1947 දී 299,792 +-3 km/s
  • 1958 දී 299,792.5 +-0.1 km/s
  • 1973 දී 299,792.4574 +-0.001 km/s
  • 1983 දී 299,792.458 km/s

ඉහත දත්ත අනුව ‘ආලෝකයේ වේගය’ නම් මිනුම් ඒකකයේ විකාශනය ඔබට දැන් පැහැදිලි වියයුතුය. 1983 දී නිශ්චය කරන ලද එම ඒකක‍ය පිලිබදව වූ පලමු මතවාදය 1667 දී ප්‍රකාශ වන අතර එවකට ප්‍රකාශ වූ අගය හා වර්ථමානයේ ඒකමතිකව සම්මත කරන ලද අගය අතර කොතරම් විශාල පරස්පරතාවයක් තිබෙනවා ද? යන්න මා මෙහි අමුතුවෙන් පැහැදිලි කලයුතු නැත.

ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද?

නූතන විද්‍යාවේ පියා ලෙස හදුන්වන ගැලීලියෝ ගැලීලි විසින් මීට වසර 347 කට පෙර ‘අලො‍්කයේ වේගය’ සම්බන්ධයෙන් කල ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදි සහගත නම්, මීට වසර 1400 කට පෙර කාන්තාරයක එඬරෙකු ලෙස හා වෙළෙන්දෙකු ලෙස විසූ නූගත් ‘මුහම්මද්’ මේ විෂය පිලිබදව කථා කොට ඇත්නම් එහි කොතරම් පරස්පරතාවයන් පැවතිය යුතුද? මුස්ලීම් නොවන බොහෝ පිරිස් තර්ක කරනවා සේ ‘ඉස්ලාම් දහම දිව්‍යමය අනාවර්ණයක් නොවී මුහම්මද් (සල්) තුමාගේ මනක්කල්පිතයක්’ නම් ද, එහි මෙම විෂය කථා කොට ඇත්නම් ද එම දුර්වලතාවය අඩුවක් නැතුව එහි දැකගත හැකිවිය යුතුය. එසේනම් ‘ඉස්ලාම් දහම’ මේ පිලිබදව කථා කරන්නේද? යන්නත් එසේ කථා කරන්නේ නම්, එම කරුණූ කොතරම් දුරකට නිවරුදි ද යන්නත් මෙතැන් සිට විමසා බලමු.

ඉස්ලාම් දහම දිව්‍යමය අණාවර්ණයක් යන්න මුස්ලීම්වරුන් වන අපගේ දැඩි විශ්වාසයයි. එම දිව්‍යමය අණාවර්ණය ‘කුර්ආන්’ හා ‘හදීස්’ ලෙස ආකාර දෙකක් වේ. (මේ පිලිබදව දීර්ඝ ලෙස මෙම අඩවිය තුල කරුණු සාකච්චා‍ කොට ඇත) එම දිව්‍යමය අනාවර්ණ අතුරින් ‘ශුද්ධ වූ කුර්ආනය හෙවත් දිව්‍යවදන්’ අන්තර්ගත පුස්තකයෙන් එහි 32 වන ‘අසසජදා’ නම් පරිච්චේදයේ මුල් වාක්‍ය කිහිපයක් ඔබේ විමසුමට ප්‍රථමයෙන් තබන්නට කැමැත්තෙමි. එනම්,

අලිෆ්. ලාම්. මීම්., (නබියේ! ඔබ කෙරෙහි) පහළ කරන ලද මෙම ධර්මය ලෝකවාසීන්ගේ දෙවියන් වෙතින්ම පැමිණියේය යන්නෙහි කිසිම සැකයක් නැත. (අපගේ නබි) ‘මෙය (තමන් විසින්ම) මනක්කල්පිත කර ගත්තේය’ යයි (ඔබ ගැන) ඔවුන් පවසන්නෙහුද? එසේ නොව! මෙය ඔබගේ දෙවියන්, (ඔබට) පහළ කරන ලද සත්‍ය (ධර්මය) වන්නේය. ඔබ පෙර (මේ දක්වා) කිසිම දූතයෙකු නොපැමිණි (මෙම අරාබි) ජනතාව ඍජු මාර්ගයෙහි යවනු පිණිස, ඔබ ඔවුන්ට අවවාද කරනු සඳහාම (මෙම ධර්මය පහළ කරනු ලැබ ඇත්තේය).

ශුද්ධ වූ කුර්ආනය 32-1 සිට 3 දක්වා

ඉහත වාක්‍ය 03 හොදින් නිරීක්ෂණය කලේනම්, වර්ථමානයේ ඉස්ලාමයට එරෙහිව තර්ක ගොඩනඟන පිරිසට අල්ලාහ් (දෙවි) පිලිතුරු දෙන ආකාරයට ප්‍රකාශ වන බවක් පැහැදිලිව දැකගත හැක. ඉස්ලාම් දහම පිලිබදව සැකයෙන් කථා කරන පිරිස මෙන්ම මෙය මුහම්මද් (සල්) තුමාණන්ගේ මනකල්පිතයක් යයි පවසන පිරිසට ඉස්ලාම් දහම ඉහත ආකාරයට අවවාද කොට අනතුරුව 32-5 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) සුවිශේෂි කාරණයක් අනාවර්ණය කරයි. එනම්,

 අහසේ සිට භූමිය දක්වා ඇති සෑම කාරණාවක්ම ඔහුම පිළිවෙලකට කරන්නේය. (සෑම දැයකම අවසානයද) ඔබ අදහස් කරන (ඔබගේ) ගණනයට අනුව වසර දහසකට සම වන එක් දිනකදී ඔහු වෙතම යනු ඇත.

ශුද්ධ වූ කුර්ආනය 32-5

ඉහත වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) මේ විශ්වයේ සියළු කාරණාවන් පිළිවෙලකට ඉටු කරන බවත්, සියල්ල අවසන් වී වසර 1000 කට සම වන එක් දිනකදී ඔහු වෙත  සියල්ල යන බවත් ඉහත වාක්‍යයෙන් පවසයි. මෙහි ‘වසර 1000 කට සම වන දිනයක්’ පිලිබදව ශුද්ධ වූ කුර්ආනය පවසයි. මෙයම ශුද්ධ වූ කුර්ආනයේ 22-47 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) මෙසේ පවසයි.

ඔවූහු දඬුවම ඉක්මන් කරන ලෙස නුඹගෙන් ඉල්ලා සිටිති.අල්ලාහ් කිසි විටෙක තමන්ගේ ප්‍රතිඥාව (ඉටු කිරීමට) පසුබට නොවන්නේමය. නුඹගේ රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ දවසක්, නුඹලා ගණන් කරන අවුරුදු දහසක් බඳුය.

ශුද්ධ වූ කුර්ආනය 22-47

ඉහත 32-5 හා 22-47 වාක්‍යය අනුව අල්ලාහ් (දෙවි) හමුවේ දිනයක් යන්න පෘථිවි අවුරුදු 1000කට සමාන යන්න පැහැදිලිය. මෙතැනදී ප්‍රධාන වශයෙන් පැහැදිලි කරගතයුතු කාරණා දෙකක් ඇත. එනම්,

  • පලමු කාරණය – ‘දිනය’ යන්න සාපේක්ෂ කාරණයකි. හිරුට සාපේක්ෂව පෘථිවි දිනය පැය 24 වුවත් විශ්වයේ සෑම තැනකටම දිනක පැය ගණන 24 නොවේ. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක සැලකුවත් එහි දිනක පැය ගණන එකින් එකට වෙනස් වේ. නිදසුනක් ලෙස කිහිපයක් පවසනවා නම්,
    • බුධ ග්‍රහයාගේ දිනක පැය ගණන 58.6ක් වේ.
    • සිකුරු ග්‍රහයාගේ දිනක පැය ගණන 243ක් වේ.
    • බ්‍රහස්පති ග්‍රහයාගේ දිනක පැය ගණන 9.9ක් වේ.

මේ අනුව පැහැදිලි වන්නේ ‘දිනය’ යන්න එක් එක් ග්‍රහ වස්තුවට සාපේක්ෂ කාරණයක් යන්නයි. ඒ අනුව විශ්වයේ කොතැනක හෝ පෘථිවි වසර 1000 කට සමාන දිනයක් තිබෙන ග්‍රහ වස්තුවක් තිබෙනවා යයි විශ්වාස කිරීම කිසිසේත් මනක්කල්පිතයක් නම් විය නොහැකි බව මෙහි ප්‍රථමයෙන් අවබෝධ කරගත යුතුවේ. .

  • දෙවන කාරණය – ඉස්ලා‍මීය දින දර්ශනය අනුව මාසය හා වර්ෂය ගණනය වන්නේ චන්ද්‍රයා පදනම් කරගෙනය මෙය ඉස්ලාම් දහමට පමණක් ආවේනික ක්‍රමවේදයක් නොව බොහෝ ආගම්වල පැවසෙන ක්‍රමවේදයක් යන්න මෙම අඩවිය තුල කිහිප අවස්ථාවකම සාකච්චා කොට ඇත. විශේෂයෙන් මීට දින කිහිපයකට පෙර ඉදිරිපත් කල නවසඳ බැලීම නම් අවුරුදු චාරිත්‍රය යන ලිපිය මෙයට සමීපතම නිදසුනකි. ඒ අනුව ඉස්ලාම් පවසන මාසය හා වර්ෂය චන්ද්‍රයාට සාපේක්ෂව ගණනට කලයුතු බව නැවතත් අවදාරණය කරමින් 32-5 වාක්‍යය පදනම් කරගෙන කිසියම් ගණනය කිරීමකට යොමු වන්න අදහස් කරමි.

ඉහත 32-5 වාක්‍ය එනම්, ‘අහසේ සිට භූමිය දක්වා ඇති සෑම කටයුත්තක්ම ඔහුම පිළිවෙලකට කරන්නේය. (සෑම දැයකම අවසානයද) ඔබ අදහස් කරන (ඔබගේ) ගණනයට අනුව වසර දහසකට සම වන එක් දිනකදී ඔහු වෙතම යනු ඇත’ යන වාක්‍ය තුල පැවසෙන කාරණා දෙකක් ඇත. එනම්,

  • එක් දිනක දී – ‘කාලය’
  • වසර දහසකට – ප්‍රමාණය නොහොත් ‘දුර’

ඉහත කාරණා දෙක මූලික කරගෙන විද්‍යාවේ චලිතය සම්බන්ධ වූ සරල සූත්‍රයක් ගොඩනඟන්නේ නම්, එය…

වේගය = දුර/කාලය

වේගය, දුර හා කාලය සම්බන්ධ මෙම සමීකර්ණය ඉහතින් සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට යොදන්න දැන් උත්සාහ කරමු. එසේ  ආදේශ කිරීමක් කරන්නේ එහි සදහන් ‘දුර’ හා ‘කාලයට’ අනුව එම සිද්ධීන්ට අනුකූල වේගය පිලිබදව අවබෝධයක් ලබාගැනීම පිණිසය.

එසේනම් එම ගණනය කිරීමට දැන් යොමු වෙමු.

මෙහි කාලය යන්න මම ඉහතින් සදහන් කලාසේ චන්ද්‍ර මාසවලින් ඉදිරිපත් කලයුතු නිසා ප්‍රථමයෙන් කාලය චන්ද්‍ර මාසවලට පරිවර්ථනය කරගත යුතුය. එය සිදු කරන්නේ මෙසේය.

  • චන්ද්‍රයා පෘථිවිය වටා එක් වටයක් (අංශක 360) භ්‍රමනය වන්න ගතවන කාලය දින 27.321661 ක් වේ. එනම් පෘථිවියට සාපේක්ෂව චන්ද්‍ර දිනයක් යනු පැය 23යි විනාඩි 56යි තත්පර 4.0906ක් වේ. එනම්, තත්පර (23x60x60+56×60+4.0906=) 86164.0906 ක් වේ.  ඒ අනුව…

වේගය = දුර / 86164.0906s වේ.

  • වසර 1000කට අදාලව ගණනය කිරීම සිදුකරන නිසා එම වසර 1000 මාසවලට පරිවර්ථනය කර ගතයුතුය. එනම්,

වසර 1000 = 1000 x (මාස) 12 =  මාස 12000 වේ.

  • දැන් ශුද්ධ වූ කුර්ආනයේ ඉහත 32-5 වාක්‍යයෙන් කියවන ක්‍රියාවලිය සිදුවන වේගය පිලිබදව වූ ගණනය කිරීමකට යොමු වන්නේ නම්, එය මෙලෙස ලිවිය හැක. එනම්,

වේගය = දුර / කාලය

එය මෙසේද ලිවිය හැක. එනම්,       වේගය x කාලය = දුර

එනම්…  C.t = 12000 x L

මෙහි…        .

  • C යනු ‘කටයුතු’ සිදුවන වේගය
  • t යනු චන්ද්‍ර දිනයක් සදහා වූ කාලය
  • L යනු මාසයක් තුල චන්ද්‍රයා ගමන් කරන දුර

ඉහත සූත්‍රයට අදාලව C සෙවීමේදී දැනටත් t හි අගය 86164.0906s බව අප දැන සිටියත් L හි අගය තවම නොදනී. ඒ අනුව L (දුර) සෙවීම සදහා විකල්ප ක්‍රමයක් භාවිතා කලයුතු වේ. ඒ අනුව…

දුර=වේගය x කාලය (L=v.T) අනුව L සොයාගත හැක. මෙහි…

  • v යනු චන්ද්‍රයාගේ ගමන් වේගය වන අතර
  • T යනු  චන්ද්‍රයා ගමන් කරන කාලය එනම් 27.321661 වේ.

ඉහත කරුණුවලට අනුව ද v යනු තවදුරටත් අණාවර්ණය නොවූ සාධකයක් වන අතර එය අණාවර්නය කරගැනීම සදහා තවත් ගණිත ක්‍රමයක් භාවිතා කිරීමට සිදුවේ. එනම්,

v = Ve . cosα

මෙහි…

  • Ve යනු පෘථිවියේ සාපේක්ෂ වේගය වේ.
  • α යනු චන්ද්‍රයා පෘථිවිය වටා එක් වටයක් යාමේදී පෘථිවිය චලිත පරාසයේ කෝණය වේ. (රූපය බලන්න) ඒ අනුව එම කෝණයේ අගය වන්නේ,

alfa

α = මාසයකට චන්ද්‍ර දින ගණන/ වර්ෂයකට පෘථිවි දින ගණන x අංශක 360

එනම්, 27.321661 / 365.25636 x 360

= අංශක 26.92848 වේ.

ඒ අනුව Cos 26.92848 හි අගය 0.89157 වේ.

ඉහත දත්තවලට අනුව cosα යන්න දැන් සොයාගත හැකි වුවත් v සොයාගැනීමට නම් තවදුරටත් Ve හි අගය සොයාගත යුතුව ඇත. එය පහත ගණිත ක්‍රමය භාවිතා කොට කල හැක. එනම්,

Ve = 2πr / T

මෙහි…

  • R යනු චන්ද්‍රයා ගමන් කරන වෘත මාර්ගයේ අරය වේ. එනම්, 348264 km ද
  • T යනු චන්ද්‍රයාගේ ගමන් කාලය වන පැය 655.71986 වේ. ඒ අනුව…

Ve = 2πr / T

Ve = 2 x 22/7 x 384264 x 655.71986

Ve = 3682.07 km/hr

දැන් නැවත මුල් සමීකරණයට යොමු වන්නේ නම්, එය C.t = 12000.L වේ. එහි L වෙනුවට v.T යන්න ද එහිද v වෙනුවට  Ve . cosα යන්න ද ආදේශ කලවිට පහත ආකාරයට සමීකර්ණය සකස් වේ. එනම්,

C . t = 12000 .( ve . cosα) . T

 මෙම සමීකර්ණයට මෙතෙක් සොයා‍ගත් දත්ත ආදේශ කලේනම්,

C = 12000 .ve . cosα. T / t
C = 12000 * 3682.07 km/hr * 0.89157 * 655.71986 hrs / 86164.0906 sec
C = 299792.498 km/sec

දැන් ලිපියෙහි මුලට නැවත අවදානය යොමු කරන්න. නූතන විද්‍යාවේ සොයාගැනීම අනුව ආලෝක‍යේ වේගය තත්පරයට කිලෝමීටර් 299,792.458 (km/sec) බව එහි අප දුටුවෙමු. ශුද්ධ වූ කුර්ආනයේ 32-5 වාක්‍යයට අනුව කල ගණනය කිරීමේදී එහි වේගය තත්පරයට කිලෝමීටර් 299792.5 (km/sec) බව දැන් ඔප්පු වී ඇත. මෙහි තවත් සුළු ගණනය කිරීමක් කලයුතුව ඇත. (දැනටත් ඔබ ඉහත ගණනය කිරීම තුල අවුල් වී සිටින්නට පුළුවන. නමුත්) මෙය එතරම් සංකීර්ණ ගණනය කිරීමක් නොවේ. මෙහිදී විමසා බලන්නේ විද්‍යාව පවසන ‘ආලෝකයේ වේගයට’ ඉස්ලාම් පවසන ‘ආලෝකයේ වේගයේ’ අනුපාත ප්‍රතිශතය කුමක්ද? යන්නයි.

අනුපාත ප්‍රතිශතය = (ඉස්ලාම් – ආලෝක වේගය / විද්‍යාව – අලෝක වේගය) x 100

ප්‍රතිශතය = (299792.498/ 299,792.458) x 100

ප්‍රතිශතය = 100 %

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ‘ඉස්ලාම්’ යනු විශ්ව ගවේෂණ සිදු කරන සංවිධානයක් හෝ ශුද්ධ වූ කුර්ආනය යනු විද්‍යාත්ම සත්‍ය මිනිස් සමාජයට අනාවර්ණය කරන විද්‍යා පුස්තකයක්ද නොවේ. එසේ තිබියදී මීට වසර 1400 කට පෙර ලෝක විද්‍යාඥයින් පවා අභිබවා ගොස් ‘ආලෝකයේ වේගය’ සම්බන්ධයෙන් 100% නිවැරදි ප්‍රබල විද්‍යාත්මක සත්‍යයක් ලොවට කියන්නට හැකි වූයේ එය දිව්‍යමය මඟපෙන්වීමක් වු නිසාද? නොඑසේ මුහම්මද් (සල්) තුමාගේ මනක්කල්පිතයක් වූ නිසාද?. තීරණය ඔබට ම භාර කරමින් මේ ලිපියට විරාමය තබන්නේ මෙවැනි තවත් ලිපියකින් හමුවීමේ බලාපෙරොත්තුවෙනි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *