ඉස්ලාම් හි මූලික පදනම විශ්වාසයයි

3

අද අන්තර්ජාලය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් සොයා බලන විට බොහො‍් විට දක්නට ලැබෙන්නේ ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පවා විකෘති ‍කරමින් ඉස්ලාම් යයි දේශනා කරන වැදි බණ සම්ප්‍රදායකි. ඉස්ලාම් විරෝධීන්ගේ මෙම සම්ප්‍රදායට ජාත්‍යන්තරය තුල දීර්ඝ ඉතිහාසයක් පැවතුනද අප රටේ එවැනි සම්ප්‍රදායක් මෑතක් වන තුරු දක්නට නොවුණි. නමුත් කවදත් ජාත්‍යන්තරය පූර්වාදර්ශයට ගන්නා අපේ නූතන වාදී ඔස්තාර්ලා ඉස්ලාම් දහමට එරෙහිව සමාජ මතවාදයක් ගොඩනැඟීම පිණිස ඉහත ජාත්‍යන්තර ඉස්ලාම් විවේචකයන්ගේ වාද හා තර්ක අද වනවිට තම නිපැයුම් හා සොයා ගැනීමන් ලෙස සමාජගත කරමින් සමාජ මතවාදයන් නිර්මාණය කරමින් සිටී. බුද්ධිමත් තර්ක විතර්ක පදනම් කරගෙන ඉස්ලාම් දහමට එරෙහිව මතවාදයන් ඉදිරිපත් කිරීම කිසිවිටෙක ප්‍රතික්ෂේප කරන දහමක් ඉස්ලාම් නොවේ. ඉස්ලාම්, ඒ සදහා මිනිස් සමාජයට අභියෝග කරන දහමකි. කෙසේ නමුත් පොදුවේ ඕනෑම වාදයක් චෝදනාවක් කිසියම් මතවාදයකට එරෙහිව ඉදිරිපත් කිරීමේ දී ඒ සදහා තිබිය යුතු මූලික අවශ්‍යතා කිහිපයක් ඇත. එහි ප්‍රධානතම අවශ්‍යතාවය නම් තමන් ඉදිරිපත් කරන විෂය පිලිබදව තමන් තුල ඇති දැනුමයි. අද ඉස්ලාම් දහම විවේචනය කරමින් කරුණූ දක්වන පිරිසගේ තර්ක හා අභියෝග දෙස බලන විට එය මුස්ලීම්වරුන් වන අපට විනෝදජනකය. මෙවැනි හාස්‍යජනක වාදයන් පදනම් කරගෙන ඔවුන් සදහා කරුණූ පැහැදිලි කිරීමේ ලිපි ගණනාවක් ම මෙම අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කර ඇත. නිදසුනක් ලෙස පවසනවා නම් ‘අල්ප දැනුමේ අදෝනාව‘ එවැනි එක් ලිපියකි. කෙසේ වෙතත් ඉස්ලාම් දහමේ මූලික ඉ‍ගෙන්වීමන් පවා නොදැන මෙලෙස පාළුගෙදර වලං බිඳින විවේචකයන්ගේ අවධානයට ඉස්ලාමීය මූලික පදනම කුමක්ද? යන්න පිලිබදව මෙහිදී සාක්ච්චා කිරීමට අදහස් කරමි.
ඉස්ලාමීය මූලික පදනම් කුමක්ද? යන්න මීට ඉහත මෙම අඩවිය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?‘ යන මාතෘකාව ඔස්සේ තරමක් දුරකට සාකච්චා කොට ඇත. තවදුරටත් ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පිලිබදව කථා කිරීමේ දී එය ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ කථා කලයුතුව ඇත. එනම්, ‘ඊමාන්’ යනු කුමක්ද? හා ‘ඉස්ලාම්’ යනු කුමක්ද? යනාදී වශයෙනි. මුස්ලීම් නොවන සහෝදරයන් හට මෙහිදී ගැටළුවක් ඇතිවිය හැක. එනම් ‘ඉස්ලාම් යනු කුමක්ද? යන්න පිලිබදව කථා කිරීම සම්බන්ධයෙන් නම් අපට අවබෝධයක් ඇත. නමුත් ඊමාන් යනු කුමක්ද? යන්න තුලින් අදහස් කරන්නේ කුමක්ද?’ යන ඔවුන්ගේ ගැටළුවයි. මෙය සමහරක් මුස්ලීම්වරුන්ට පවා ඇති ගැටළුවකි. මේ හේතුව නිසා ප්‍රථමයෙන් මේ ‘ඉස්ලාම්’ හා ‘ඊමාන්’ යන යනු කුමක්ද? යන්න ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන විමසා බලන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් තම අනුගාමික පිරිස සමඟ එක්තරා ස්ථානයක අසුන්ගෙන සිටින විට එම ස්ථානයට පැමිණී ආධූනික තැනැත්තෙකු නබිතුමාණන් සමීපයේ අසුන්ගෙන ‘ඊමාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඊමාන් යනු අල්ලාහ් (දෙවි) ද, ඔහුගේ දේවදූතයන් ද, (මරණින් මතුවට) අල්ලාහ් (දෙවි) හමුවන බවද, ඔහුගේ වක්තෘවරුන් (හෙවත් නබිවරුන්)ද විශ්වාස කිරීමයි. තවද මරණින් මතු යලි නැඟිටීමත් විශ්වාස කිරීම (ඊමාන් බව )’ පවසන ලදී. එයට එම තැනැත්තා ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඉස්ලාම් යනු අල්ලාහ් (දෙවි) හට කිසිවක් (හෝ කිසිවෙක් කිසිදු ආකාරයකට) නුඹ සමාන නොකොට වන්දනාමාන කිරීමත්, (පංච වේල් සලාතය) වන්දනය ඉටු කිරීමත්,  ඉස්ලාම් අනිවාර්‍ය කරන (සකාත්) දානධර්ම බෙදාදීමත්, රමලාන් (උපවාස) මාසයේ උපවාසය රුකීමත් වේ’ යනුවෙන් පවසන ලදී. එයට එම තැනැත්තා ‘ඉහ්සාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමානණ් ‘(ඉහ්සාන් යනු) අල්ලාහ් (දෙවි) තමා අබියස සිටින බව සිතා ඔහුට වැඳුම්පිඳුම් ඉටු කිරීමයි. නුඹට ඔහු නොපෙනුනත් නියත වශයෙන්ම ඔහු නුඹගේ ක්‍රියාවන් සියල්ල බලාගෙන හිදී.’ යනුවෙන් පවසන ලදී…
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී මුස්ලීම්

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ දීර්ඝ හදීසයක මෙම ලිපියේ සාකච්චා කරන මාතෘකාවට අදාල කොටසක් පමණක් බව ප්‍රථමයෙන් ඔබේ අවධානයට ගෙන ආයුතුය. එසේම මෙම හදීසය තුල සංවාදය සිදුවන්නේ මුහම්මද් (සල්) තුමාණන් හා දේවදූත ජිබ්රීල් (අලෛ) තුමාණන් අතර නිසා මෙම හදීසය ඉස්ලාම් ආගමික විද්වතුන් ‘හදීස් ජිබ්රීල්’ යනුවෙන් හදුන්වන බවද ඔබගේ වැඩිදුර දැනගැනීම සදහා සටහන් කරමි.
දැන් නැවතත් මාතෘකාවට පදනම් කරගෙන ඇති ඉහත හදීසය වෙත අවධානය යොමු කලේනම් එහි ප්‍රධාන කරුණූ 03 ක් පිලිබදව සාකච්චා වන ආකාරය දැකගත හැක.

  • ඊමාන් යනු කුමක්ද?
  • ඉස්ලාම් යනු කුමක්ද?
  • ඉහ්සාන් යනු කුමක්ද?

මෙහිදී සදහන් කලයුතු මූලික කරුණක් ඇත. එනම් ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික කලයේ අද බොහෝ දෙනෙකු ඉස්ලාම් දහම අවබෝධ කරගෙන සිටිනනේ එහි ඉගෙන්වීමන් පදනම් කරගෙන නොව මුස්ලීම් සමාජයේ ක්‍රියාකලාපයන් පදනම් කරගෙනය. නමුත් ඉස්ලාම් පවසන එම විශ්වාසයන් කුමණ ආකාරයේ එකක්ද?, මුස්ලීම්වරයෙකු තුල පැවතිය යුතු ගුණාංග මොනවාද?, වන්දනා මාන කලයුත්තේ කෙසේද?, එම වන්දනාමාන කරන්නේ කාටද?, එවන් වන්දනාමාන නොකලයුත්තේ කාටද?, එහිදී තිබිය යුතු මූලික අවශ්‍යතාවයන් මොනවාද?, අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග මොනවාද?… යනාදී කරුණූ පිලිබදව නිවරුදි අවබෝධයක් ඇත්තේ මුස්ලීම්වරුන්ගෙන් පවා සීමිත පිරිසකට පමණි. මුස්ලීම් නොවන සමාජය නොව මුස්ලීම් සමාජයේ පවා බොහෝ පිරිස් සිතාගෙන සිටින්නේ නමින් මුස්ලීම් වී ඇඳුම් පැලදුම්වලින් ද මුස්ලීම් වුයේ නම් ‘සියල්ල හරි’ යනුවෙනි. අද මුස්ලීම්වරුන්ගේ තත්වය එසේනම් මුස්ලීම් ප්‍රජාව තුලින් ඉස්ලාම් දහම දකින මුස්ලීම් නොවන ප්‍රජාවගේ ඉස්ලාමීය අවබෝධය පිලිබදව මා අමුතුවෙන් පැවසිය යුතු නොවේ. එහි අනිසි ප්‍රථිපලය තමා සිංහල භාෂාමය බ්ලොග් අවකාශය තුල ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් පමණක් නොව ඉස්ලාම් දහමත් අත්විදිමින් සිටින්නේ. අද ඉස්ලාම් විවේචකයන් බොහෝ පිරිසක් ඔවුන්ගේ විවේචනවලට පදනම් කරගන්නේ කුමක්ද? යන්න බුද්ධිමත් ලෙස විමසා බලන්න. අද ඔවුන් මුස්ලීම් සමාජයේ ක්‍රියාකලාපයන් පදනම් කරගෙන ඉස්ලාම් දහම විවේචනය කරයි. අපහසයටත්, උපහසයටත් ලක් කරයි. මෙහිදී එම විවේචකයන් හට මඟහැරුණූ කාරණයක් ඇත. එනම් ලොව කිසිදු ජන සමාජයක් තමන් අනුගමනය කරන දහමට හෝ දර්ශනයට පූර්ණ වශයෙන් ආදර්ශ වී නැත. මේ හේතුව නිසා සමාජයක් පදනම් කරගෙන දහමක් දර්ශනයක් විවේචනය කිරීම නිවරුදි හා බුද්ධිමත් ක්‍රියා මාර්ගයක් නොවේ. මෙම කාරණය ඉස්ලාම් නිවරුදි ලෙස අවබෝධ කරගෙන සිටින නිසා තමා තම අනුගාමිකයන් ‘මුස්ලීම්’ හා ‘මූමීන්’ යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කොට ශුද්ධ වූ කුර්ආයේ පවා ඉස්ලාම් කථා කරන්නේ,

ඉහත වාක්‍යයට අනුව ඉස්ලාම් කොතරම් යථාර්තවාදීව මෙම කාරණය දකිනවාද? යන්න පැහැදිලි කර ගැනීම බුද්ධිමත් ඔබට අපහසු නොවනු ඇත. එම යථාර්ථය නිවරුදි ලෙස අවබෝධ කරගෙන ක්‍රියා කිරීම තමා සැබෑ බුද්ධිමත් ක්‍රමවේදය වන්නේ. ඒ අනුව සැබැවින්ම ඉස්ලාම් දහම මූලික පදනම කුමක්ද? යන්න පටු මිමි තුල නොව එහි ඉගෙන්වීමන් පදනම් දැන් විමසා බලමු.

මෙම ලිපියේ ආරම්භයේ සදහන් කල ‘හදීස් ජිබ්රීල්’ නම් හදීසය වෙත නැවත අවධානය යොමු කලේනම්, එහි මුස්ලීම්වරයෙකු තුල පැවතිය යුතු මූලික විශ්වාස 06 ක් පිලිබදව සදහන් කරයි. එම මූලික විශ්වාසයන් නිවරුදි ලෙස ගොඩනඟා ගැනීම ‘ඊමාන්’ බව පැහැදිලි කරයි. ඉන් අනතුරුව මුස්ලීම්වරයෙකු කෙරෙහි පැවරෙන මූලික වගකීම්  05 ක් පිලිබදව සදහන් කරයි. එම වගකීමන් නිවරුදි ලෙස ඉටුකිරීම තමා ‘ඉස්ලාම්’ වන්නේ. එය කෙටියෙන් විමසා බල්නනේ නම්,

ඊමාන් (විශ්වාස) කලයුතු ප්‍රධාන කරුණූ 06 නම්,

  • අල්ලාහ් දෙවියන් විශ්වාස කිරීම,
  • දේවදූතයන් විශ්වාස කිරීම,
  • දේව පුස්තකය විශ්වාස කිරීම,
  • වක්තෘවරුන් විශ්වාස කිරීම,
  • අවසාන දිනය විශ්වාස කිරීම,
  • කරුමය විශ්වාස කිරීම,

පිලිපැදිය යුතු ප්‍රධාන වගකීම් 05 නම්,

  • අල්ලාහ් දෙවියන් එකම දෙවියා ලෙසත් මුහම්මද් (සල්) තුමාණන් අවසාන වක්තෘවරයාණන් ලෙසත් පිලිගැනීම,
  • පස්වෙල් වන්දනය (සලාතය) ඉටුකිරීම,
  • නියමිත කාලවල උපවාසය රුකීම,
  • සකාත් නම් බද්ද සුදුස්සන් සදහා බෙදාදීම,
  • සුදුසුකම් සපුරා ඇති පිරිස් හජ් වන්දනය ඉටුකිරීම,

සැබෑ මුස්ලීම්වරයෙකු වීමට නම් ඉහතින් සදහන් විශ්වාසයන් නිසි ලෙස පැවතීම මෙන්ම ඊට පහතින් සදහන් වගකීම් නිවරුදි ලෙස තම ජීවිතය තුල පිලිපැදීම අනිවාර්‍ය වේ. විශේෂයෙන් ඉහත විශ්වාස කලයුතු කරුණූ 06 තුල කිසිවකු හට දුර්වල විශ්වාසයක් පවතී නම් ‘ඔහු තවදුරටත් මුස්ලීම්වරයෙකු නොවේ’ යන්න ඉස්ලාමීය මූලික ඉගෙන්වීමයි. මෙහිදී නැවත නැවතත් අවධාරණය කලයුතු කාරණයක් ඇත. එනම් දෙවියන්, දේවදූයන්, පුස්තකය, වක්තෘවරුන්…  යනාදී පිලිබදව විශ්වාසයන් පවතින එකම දහම ඉස්ලාම් නොවේ. ලොව සෑම දහමක ම වාගේ ඉහත විශ්වාසයන් අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ශ්‍රී ලාංකීය බුදුදහම පදනම් කරගෙන මෙම කාරණය පවසනවා නම් එහි දෙවියන්, දේවදූතවන්, දේව පණිවුඩ… යනාදී පිලිබදව සදහන් වේ. මේ හේතුව නිසා ඉස්ලාම් පවසන දෙවියන්, දේවදූයන්, පුස්තකය, වක්තෘවරුන්…  යනාදී සංකල්ප ලොව අනිකුත් ආගමික විශ්වාසයන් හා සමානාත්මක ලෙස පිලිගැනීම නිවරුදි නොවේ. ඒ සදහා නිදසුනක් බුදුදහම පදනම් කරගෙනම පවසනවා නම් බුදුදහම තුල බහුදේව සංකල්පය සදහන් වේ. නමුත් ඉස්ලාම් දහම පවසන්නේ ඒක දේව සංකල්පයයි. බහුදේව සංකල්පය ඉස්ලාම් දහම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව ඉස්ලාම් පවසන මූලික විශ්වාසයන් ලොව අනිකුත් ආගමික විශ්වාසයන්ට වඩා සම්පූර්ණයෙන් වෙනස් වූ ආකාරයක් බවත්, එය ඉස්ලාම් දහමට පමණක්ම ආවේනික වූ ආකාරයේ එකක් බවත් ප්‍රථමයෙන් අවබෝධ කරගත යුතුවේ. ඒ අනුව ඉහත විශ්වාසය ගොඩනැඟිය යුත්තේ ඉස්ලාම් පවසන ආකාරයේ නිවරුදි විශ්වාසයක් ලෙස මිස සමාජ භාවිතයේ පවතින විශ්වාසයක් ලෙස නොවේ. එසේ නම් ඉස්ලාම් පවසන එම විශ්වාසයන් කුමක්ද? යන්න දැන් එකින් එක කෙටියෙන් විමසා බලමු.

දෙවියන් පිලිබදව වූ විශ්වාස

ඉස්ලාම් දහම තුල සෑම මුස්ලීම්වරයෙකුම විශ්වාස කලයුතු මූලික කරුණූ 06 අතුරින් ප්‍රධාන හා එහි පලමු තැන මිහි වන්නේ ‘අල්ලාහ්’ දෙවියන් පිලිබදව වූ විශ්වාසයටයි. ඉස්ලාම් පවසන දේව සංකල්පය ලොව අනිකුත් ආගම් හා සමාජ සම්ප්‍රදායන් තුල පවතින දේව සංකල්පයන්ට වඩා සහමුලින් වෙනස් වූ ආකාරයක් ගන්නා බව ඉහතින් පැහැදිලි කලෙමි. අන්තර්ජාලය තුල පවා සමහරක් පිරිස් ඉස්ලාම් පවසන දේව සංකල්පය විවේචනය කිරීම සදහා පදනම් කරගන්නේ තමන් පිලිපදින දහමේ පවතින දුර්වල දේව විශ්වාසයන්ය. තවත් අවස්ථාවල දකින සුලභ කාරණයක් තමා මිනිසාට සාපේක්ෂව දෙවියන් පිලිබදව කථා කිරීම.  මෙවැනි දේව සංකල්ප සමහරක් ආගම්වල පවතින බව සැබෑවකි. නමුත් ඉස්ලාමීය දේව සංකල්ප තුල එවැනි විශ්වාසයන් දක්නට නැත. මේ හේතුව නිසා ඉස්ලාම් පවසන දේව සංකල්පය ලොව අනිකුත් ආගමිත දේව සංකල්පය සමඟ සංසන්ධනාත්මක ලෙස කවුරුන් විසින් හෝ කථා කරන්නේ එය ඔහුගේ අනවබෝධය පමණි. ඒ අනුව ඉස්ලාමීය දේව සංකල්පය තවත් දහමක දේව සංකල්පය සමඟ පූර්ණ වශයෙන් සංසන්ධනය කොට කථා කිරීම ප්‍රායෝගික කාරණයක් නොවේ. නමුත් එහි යම් යම් කරුණු පිලිබදව සංසන්ධනාත්මක ලෙස කථා කිරීමට නොහැකිවාද නොවේ. එවැනි තැන් හදුනාගෙන විවිධ මාතෘකාවන් ඔස්සේ මෙම දේව සංකල්පය යහමඟ අඩවිය තුල මීට ඉහත විටින් විට සාකච්චා කොට ද ඇත. එවැනි ලිපි කිහිපයක් ඔබගේ අවධානයට පහතින් ඉදිරිපත් කරන අතර ඒ තුලින් ඉස්ලාමීය දේව විශ්වාසය කුමණ ආකාරයේ එකක්ද යන්න පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත.

ඉස්ලාම් පවසන දේව සංකල්පය පිලිබදව යහමඟ තුල මීට ඉහතින් සාකච්චා කල ඉහත කරුණුවලට අමතරව අල්ලාහ් (දෙවියන්) සම්බන්ධයෙන් ඉස්ලාම් දහම තුල පැවසෙන කරුණූ කිහිපයක් කෙටියෙන් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,

ඔහු ඒකීයය –

ඔබලාගේ දෙවි එකම එක දෙවියෙකි. ඔහු හැර වෙනත් දෙවියෙක් නැත. ඔහු අපරමිත දයාන්විතය. අසීමිත කරුණාවන්තය.

ශුද්ධ වූ තුර්ආනය 2-163

ඔහුට දුර්වලතාවයන් නැත –

එහි ඥාණය මාගේ දෙවියන් හමුවේ ඇති (‘ලව්හුල් මහ්ෆූල්‘ නම්) ලේඛනයේ (සඳහන්)ය. මාගේ දෙවියන්ට වරදින්නේ නැත. අමතක වන්නේද නැත…

ශුද්ධ වූ කුර්ආන්  20-52

ඔහුට අවශ්‍යතාවයන් නැත –

අහස් හා පොලොවෙහි ඇති දේ (සියල්ල) ඔහුට හිමිය. අල්ලාහ් පැසසුමට සුදුස්සාය. අවශ්‍යතා නොමැත්තා ය.

ශුද්ධ වූ කුර්ආනය 22-64

ඔහුට සමාන (වෙන) කිසිවෙකු නැත –

ඔබලා වෙනුවෙන් මහපොළොව නවාතැනක් කළේද, අහස වියනක් කළේද අල්ලාහ්ය. ඔහු අහසින් ජලය පහළ කර(වැසි වස්සවා) එමගින් ඔබලාට ආහාර ලෙස ඵල වර්ග (පොළොවින්) හට ගැන්වුයේය. එබැවින් දැන දැන අල්ලාහ්ට කිසිවෙක් සම(යැයි උපකල්පනය)නොකරන්න.

ශුද්ධ වූ කුර්ආන්  2-22

ඔහුය සැප සම්පත් ලබාදෙන්නේ –

ඔබගේ දෙවි කැමැති අයහට සීමා රහිතව සම්පත් ලබාදෙනේය. සීමිතව ද ලබාදෙන්නේය. ඔහු තම ගැත්තන් ගැන යහමින් දන්නේය, බලන්නේය

ශුද්ධ වූ කුර්ආන්  17-30

ඔහුය වැස්ස ලබාදෙන්නා –

අහසේ සිට ජලය පහළ කරන්නේ (වැස් වස්සවන්නේ) ඔහුය. එහි පානීය ජලය ද (ඇති අතර ඔබලාගේ සිවුපාවුන්ට) තණ කැවීම සඳහා ගස් කොළන් ද වෙයි (වැවෙන්නේය).

ශුද්ධ වූ කුර්ආන්  16-10

 

මෙහි ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ අල්ලාහ් (දෙවියන්) සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන ශුද්ධ වූ කුරආනයේ පැවසෙන කරුණූ කිහිපයක් පමණී. අල්ලාහ් (දෙවියන්) සම්බන්ධයෙන් ඉස්ලාමීය මූලාශ්‍රයන් හි සදහන් මෙම කරුණූ හා මෙහි සදහන් නොවන අනිකුත් කරුණු නිසි ලෙස අධ්‍යනය කොට, අවබෝධ කරගෙන එය නිවරුදි ලෙස පිලිගෙන පිලිපැදීම තමා ඉස්ලාම් පවසන නිවරුදි දේව විශ්වාසය වන්නේ.  (ඉස්ලාම් පවසන දේව සංකල්පයේ තවත් පැතිකඩයන් ද ඉදිරියේදී මෙම අඩවිය තුලින් සාකච්චා කිරීමට අදහස් කරමි.)

මලාඉකාවරුන් හෙවත් දේවදූතයන් විශ්වාස කිරීම

දේව දූතයන් හෙවත් දෙවියන්ගේ පණිවුඩ මනුෂ්‍යා වෙත ගෙන එන දූතයන් පිලිබදව ලොව සෑම දහමකම පාහේ සදහන් වන ආකාරය ඒ ඒ ආගමික ඉගෙන්වීමන් අධ්‍යනය කරන විට දැකගන්නට ලැබේ. ඉස්ලාම් දහම තුල ද දේව දූතයන් පිලිබදව බොහෝ කරුණූ සාකච්චා වන අතර එම දේවදූතයන් පිලිබදව මුස්ලීම්වරුන් විශ්වාස කිරීම ද ඉස්ලාම් දහමේ මූලික අංගයක් වේ. ඔවුන් ‘මලාඉකාවරුන්’ යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර ඔවුන් පිලිබදව වූ ඉස්ලාමීය විශ්වාසය කුමණ ආකාරයේ එකක් වියයුතුද? යන්න දැන් සරලව විමසා බලමු.

ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව මිනිස් මැවීමන්ට වඩා සම්පූර්ණයෙන් වෙනස් වූ ආකාරයේ මැවීමක් තමා මේ දේවදූතයන්. මුල්ම මිනිසා පස්වලින් මැවුවාසේම දේවදූතයන් ආලෝකයෙන් මැවූ බව ඉස්ලාම් පවසයි. මේ දේවදූතයන් සදහා අල්ලාහ් (දෙවියන්) විසින් පවරන ලද සුවිශේෂි රාජකාරී ඇති බව පවසන ඉස්ලාම් ඒවා අතුරින් බොහෝමයක් පිලිබදව ඉස්ලාම් ආගමික මුලාශ්‍ර මඟින් මිනිස් සමාජයට දැනුම් දෙයි. මෙම දේවදූතයන් දෙවියන්ගේ ශ්‍රෙෂ්ඨ ගැත්තන් වන අතර ඔවුහු දෙවියන්ට පමණක් නැමදුම් කර ඔහුටම අවනතව ජීවත් වෙති. මේ පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි.

අහස හා පොළොවෙහි සිටින සියළුදෙනා අල්ලාහ් (දෙවියන්)ට හිමිය. දෙවියන් සමග සිටින්නන් (වන මලායිකාවරු) ඔහුට නැමදීමට ආඩම්බර නොවෙති. තවද ඔවුන් වෙහෙසට පත්නොවෙති. රාත‍්‍රියේද දවාලයේද (දෙවියන්) වන්දනා කරති. ඔවුහු විඩාවට පත් නොවෙති.

 ශුද්ධ වූ කුර්ආන් 21-19

දෙවියන් ඔවුනට දුන් අණ කඩ නොකරන්නෝය. (ඔවුන් හට) අණ කරනු ලබන දේ කරන්නෝය.

ශුද්ධ වූ කුර්ආන් 66-6

මේ ආකාරයට දෙවියන් කෙරෙහි දේවදූතයන්ගේ අවනතභාවය  පිලිබදව විස්තර කියන ඉස්ලාම් ඔවුන්ගේ ස්වරූපය පිලිබදව විස්තර කරයි. ඒ පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ 35-1 වාක්‍යය මඟින් ‘…මලායිකාවරුන් හට අත්තටු දෙක, තුන, හා හතරක් සහිතය. උන්වහන්සේ කැමැති දෙය හි මැවීමන් වැඩි කරන්නේය…‘ යනුවෙන් පවසන අතර ඔවුන්ගේ සංඛ්‍යාව ඉතා වැඩි අගයක් බව ආගමික මූලාශ්‍රයන් අධ්‍යනය කිරීමේ දී අවබෝධ වේ. මේ දේවදූතයන් සදහා දෙවියන් විසින් විවිධ රාජකාරී පවරා ඇති අතර ඒ අතුරින් ප්‍රධාන කටයුත්තක් වන්නේ දෙවියන්ගේ පණිවුඩය වක්තෘවරයෙකු (නබිවරයෙකු) මඟින් මිනිස් සමාජයට අනාවර්ණය කිරීමයි. මෙම වගකීම පැවරී තිබෙන්නේ ජිබ්රීල් (අලෛ) නම් මලාඉකාවරුන්ගේ නායකයා හටය. මේ ජිබ්රීල් (අලෛ) පිලිබදව බොහෝ ආගමික මූලාශ්‍රයන් හි සදහන් වන අතර බයිබලයේ ‘ගේබ්‍ර්රියල්‘ යනුවෙන් පැවසෙන්නේ ද මෙතුමාණන් පිලිබදවයි. මෙම දේවදූතයන්ගේ මෙහෙවර පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ 16-2 වාක්‍යය මඟින් මෙසේ අවධාරණය කරයි.

‘මා හැර වෙනත් දෙවියෙක් නැත, එබැවින් මට ම බිය වන්න.‘ යයි අවවාද කිරීම පිණිස දෙවියන් තම ගැත්තන්ගෙන් කැමති අය (වක්තෘවරුන්) හට දේවදූතයන් (මලාඉකාවරුන්) මඟින් වහී (දේව පණිවුඩ) යවන්නේය.

මේ අනුව මිනිස් සමාජය හා දෙවියන් අතර පාලමක් බඳු වූ දේවදූතයන් පිලිබදව ඉහත සදහන් කරුණූ පමණක් නොව එම විෂයට අදාල සියළු ඉගෙන්වීමන් නිසි ලෙස අධ්‍යනය කොට එය විශ්වාසයෙන් යුතුව පිලිගෙන කටයුතු කිරීම ඉස්ලාම් පවසන දෙවන ප්‍රතිපත්ති යයි.

පුස්තකය හෙවත් අල්කුර්ආනය විශ්වාස කිරීම

අල්ලාහ් දෙවියන් පිලිබදව හා ඔහුගේ දේවදූතයන් පිලිබදව විශ්වාස කරන මුස්ලීම්වරුන් මිළඟට විශ්වාස කලයුතු ප්‍රධාන කාරණය නම් එම දූතයන් මඟින් ප්‍රකාශ වූ දේව පුස්තකය විශ්වාස කිරීමයි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව ලොව අවසාන වක්තෘවරයා වන මුහම්මද් (සල්) තුමාණන් හට ශුද්ධ වූ කුර්ආනය ප්‍රකාශ වුවද එතුමාණන්ට පෙර විසූ වක්තෘවරුන්ට ද එවැනි දේව පණිවුඩ ප්‍රකාශ වී ඇත. මෙය ඉස්ලාම් දහම තම මූලාශ්‍රයන් තුල සවිස්තරාත්මක ලෙස පවසයි. මේ පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත විවිධ පැතිකඩ ඔස්සේ සාකච්චා කර ඇත. එවැනි ලිපි කිහිපයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,

මේ අනුව දෙවියන් විසින් මිනිස් සමාජයට ප්‍රකාශ වූ දේව පුස්තකය පිලිබදව විශ්වාස කිරීම සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්‍ය වන අතර එහි අවසාන පුස්තකය ශුද්ධ වූ කුර්ආනය බවත්, එතැනින් දහම සම්පූර්ණ වූ බවත්, ඒ අනුව මින් ඉදිරියට දේව පණිවුඩ පහලවීමේ අවශ්‍යතාවයක් ඇති නොවන බවත් පිලිගැනීම සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්ය වගකීමක් යන්න පැහැදිලිව වටහාගත යුතු අතර එය ඉස්ලාම් පවසන තෙවන ප්‍රතිපත්තිය වේ.

ඉස්ලාම් පවසන නබිවරුන් හෙවත් වක්තෘවරුන්

ඈත අතීතයේ සිටම ලොව ඉදිරිපත් වු ආගම් හා දර්ශණයන් සදහා ශාස්තෘවරුන්, උපදේශකයින් හා දාර්ශණිකයන් දක්නට ලැබුණි. උදාහර්ණයක් ලෙස බුදුදහමේ ගෞතම බුදුන්, ක‍්‍රිස්තුස් දහමේ යේසුස් තුමා, මාක්ස් වාදයේ කාල්මාක්ස්, යුදෙව් ආගමේ මෝසස් තුමා. ඉස්ලාම් දහමේ මුහම්මද් තුමා එවැනි කිහිපදෙනෙකි. මෙවැනි ශාස්තෘවරුන් පිලිබදව ඉස්ලාම් දහම තුල ද සදහන් වන අතර ඒ අතුරින් වක්තෘවරුන් හෙවත් නබිවරුන්ට ප්‍රධාන තැනක් හිමි වේ. මේ පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුල දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. එනම්, ඔවුන් කවිරුන්ද?, ඉස්ලාමි දහම තුල ඔවුන්ගේ භූමිකාව කුමක්ද?… යානාදී වශයෙන් සාකච්චා කොට ඇත. එම කරුණූ පහත සදහන් ලිපිය තුලින් ඔබට සවිස්තරාත්මක ලෙස කියවීමට හැක. එනම්,

මෙලෙස වක්තෘවරුන් පිලිබදව ඉස්ලාම් පවසන ආකාරයට විශ්වාස කිරීම ද ඉස්ලාමීය මූලික විශ්වාසයන් අතුරින් සතර වන ප්‍රතිපත්තිය වේ.

අවසාන දිනය විශ්වාස කිරීම

අහස, පොළොව, ඉර, ග‍්‍රහ වසතුන්, මහ පොළොව හා ඒ මත ජීවත් වන මිනිසුන් ඇතුළු සියළු ජීවීන්, ගස් කොළන්… ඇතුළු සියළු දේ කිසියම් දිනක දෙවියන් විසින් විනාශ කරනු ලැබේ. එදින විනාශ නොවී පවතින්නේ දෙවියන් පමණි යනුවෙන් විශ්වාස කිරීම ඉස්ලාමීය තවත් විශ්වාසයකි. මෙසේ සියල්ලෙ හි විනාශය විශ්වාස කරන මුස්ලීම්වරයා ඒ සමඟම විශ්වාස කලයුතු තවත් කාරණයක් ඇත. ඒ සියල්ල විනාශ වීමෙන් පසුව යලිත් වරක් මිනිස්සුන් නැගිට්ටුවා ඔවුන් (මෙලොව දී කල දෑ වෙනුවෙන්) විනිශ්චය කරන බවයි. ඒ විනිශ්චයට අනුව යහපත් පුද්ගලයන් හට ඉමහත් සතුට භුක්ති විඳිය හැකි ස්වර්ගය ද, අයහපත් පුද්ගලයන් හට විවිධාකාර වද වේදනාවලින් පිරි නිරයද ලබාදීම සුදුවන බව විශ්වාස කිරීම ද එහි එක් අංගයක් වේ. ඒ අනුව එතැන් පටන් කිසිදු දිනක අවසානයක් නොමැති සදාකාලීන ජීවිතය ඇරඹෙන බව විශ්වාස කිරීමද එහිම අංගයක් වේ.

මෙවැනි දිනයක් සැකයෙන් ම උදාවන බවත්, එහි සියළුදෙනා හට සර්වව සාධාර්ණ ආකාරයට අල්ලාහ් (දෙවි)  විනිශ්චය ලබාදෙන බවත්, විශ්වාස කිරීම මුස්ලීම්වරයෙකු කෙරෙහි පැවරෙන පස්වන ප්‍රතිපත්තිය වේ. (මේ පිලිබදව ද මෙම අඩවිය තුල සවිස්තරාත්මක ලෙස ඉදිරියේදී කථා කිරීමට අපේක්ෂා කරමි)

කද්ර් හෙවත් කරුමය විශ්වාස කිරීම

මෙම විෂය ඉහත 05 ට වඩා තරමක් සංකීර්ණ මිනිස් බුද්ධියට පහසුවෙන් අවබෝධ කරගත නොහැකි විෂයකි. එය සරලව පවසනවා නම්, ‘අපට සිදුවන යහපත් හා අයහපත් දේ සියල්ල අල්ලාහ්ගේ නියමයට අනුව සිදුවන බව විශ්වාස කිරීම‘ යයි සදහන් කල හැක. දෛවය විශ්වාස කිරීම ඉස්ලාමීය විශ්වාසයෙහි ප‍්‍රධාන අංගයකි. ඉස්ලාම් දහම තුල බොහෝ කරුණූ සදහා තර්කානුකූල විග‍්‍රහ ලබාදීමේ හැකියවෙ පැවතුණ ද එවැනි විග්‍රහ ලබාදිය නොහැකි කරුණූ කිහිපයක්ද?  ඇත. එවැනි එක් විෂයක් තමා දෛවය පිලිබදව  ඉස්ලාමීය විග්‍රාහය. එය එක් කෝණයකින් බලන විට දෛවයක් ඇති බවක් හැඟෙන අතර තවත් කෝණයකින් බලන විට දෛවයක් නැති බවක් හැඟේ. මෙහිදී පැහැදිලි ලෙස වටහා ගතයුතු කාරණය නම් මෙම විෂය තුල ඉස්ලාම් පරස්පර වී ඇත යනුවෙන් නොව එම සංකීර්ණ විෂය අවබෝධ කරගන්න තරම් මිනිස් බුද්ධීය තවම දියුණූ නොවේ යනුවෙනි.

එයට නිදසුනක් පවසනවා නම්, කිසිවකු හට යහපත් හා අයහපත සිදුවන්නේ දෛවය අනුව නම් එම පුද්ගලයාට ඒ යහපත හෝ අයහපත සම්බන්ධයෙන් කිසිදු වගකීමක් දැරිය නොහැක. මන්ද එය ඔහුගේ ශක්තියට පරිභාහිර කාරණයක් වන බැවිණි. මේ ආකාරයටම දෛවය පිලිබදව විශ්වාසයක් නැති විටත් මෙවැනිම ගැටළු රාශියක් පැන නැඟෙනු ඇත. ඒ අනුව දෛවයක් නැතයි කීමද තර්කානුකූල නොවේ. දෛවයක් ඇතැයි කීමද තර්කානුකූල නොවේ. නමුත් දෛවය විශ්වාස කලයුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මෙහිදී මෙම සංකීර්ණ විෂය කුමණ ආකාරයට තීරණය කිරීමද නිවරුදි ක්‍රමවේදය වන්නේ යන්න තීන්දු කිරීම සදහා ඉස්ලාම් පහසු මඟක් ශුද්ධ වූ කුර්ආනයේ 57-23 තුලින් අපට කියාදේ. එනම්,

ඔබලා හට (අහිමි හෝ) මගහැරුනු දෑ පිළිබඳව දුක් නොවීමටත්, උන්වහන්සේ ඔබලා හට ලබා දුන් දෑ කෙරෙහි ප‍්‍රීතියෙන් ඉපිලී නොයෑමටත් (දෛවය) නියම කර ඇත. උඬඟුකමින් හා ආඩම්බරයෙන් යුත් කිසිවෙකුව අල්ලාහ් ප‍්‍රිය නොකරන සේක.

මේ අනුව දෛවය විශ්වාස කිරීම තුල මිනිසාට යහපතක් මිස අයහපතක් අත්නොවන බව ඉහත 57-23 වාක්‍යය මඟින් ද පැහැදිලි වේ. ඉහත සදහන් කරුණූ පමණක් නොව එම විෂයට අදාල සියළු ඉගෙන්වීමන් නිසි ලෙස අධ්‍යනය කොට එය විශ්වාසයෙන් යුතුව පිලිගෙන කටයුතු කිරීම ඉස්ලාම් පවසන සයවන ප්‍රතිපත්ති වේ.

මේ ආකාරයට ඉස්ලාම් පවසන මූලික විශ්වාසයන් 06 නිසිලෙස පිලිගෙන නිවරුදි ලෙස පිලිපැදීම තමා ඉස්ලාම් පවසන නිවරුදි විශ්වාස කිරීම හෙවත් ‘ඊමානය’ වන්නේ. එමෙන්ම එම විශ්වාසයන් හි නිවරුදි ලෙස පිහිටා ඉන් අනතුරුව ඉස්ලාම් පවසන පංච වගකීමන් දෙවියන්ට බියබැතිව ඉටුකරන පුද්ගලා තමා සැබෑ මුස්ලීම් හෙවත් මූමීන්වරයා වන්නේ. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ‘ඉස්ලාම් පවසන මේ ඉහත ප්‍රතිපත්තිවලට පරිභාහිරව කවුරුන් ඉස්ලාම් නමින් කුමක් පැවසුවද ඒ සියල්ල ඔවුන්ගේ සිතුවිලි හා මනක්කල්පිත මිස ඉස්ලාම් නොවේ’ යන්නයි.

 

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 3 යි.

  1. Pradeep 2012-02-26 at 05:23

    හිතවත් අබු අර්ශධ්,

    “ඉස්ලාම් තාර්කික ආගමකි” හැම මුස්ලිම් වරයෙක්ම උඩ පැන පැන කමෙන්ට් කරති.
    “විශ්වාසය” පසුපස ඇති තර්කය කුමක්ද යන්න පහදා දෙන්න.

    ප්‍රදීප් අනූප් දෙව් සිරිවර්ධන – සින්ගපුරුවේ සිට……………

    • abuarshed 2012-02-27 at 08:10

      ඔබ විමසන කාරණය බැලූ බැල්මට බුද්ධිමත් තර්කයක් ලෙස පෙනුනද එය එසේ නොවේ. එය සරල පැහැදිලි කරනවා නම් ඔබ බෞද්ධයෙකු ලෙස දේවදූතයන් පිලිබදව බුදුදහමේ පැවසෙන කරුණූ විශ්වාස කරනවා ඇතැයි සිතමි. නමුත් ඒ සදහා ඇති පදනම් කුමක්ද? යයි මා විමසුවේ නම් එය විද්‍යාත්මක පදනමේ හිද එනම් පරියේෂණ නීරීක්ෂණ හා නිගමන පදනම් හිඳ කිසිවකුටත් පැහැදිලි කල නොහැක නමුත් සියළු බෞද්ධයන් ‘බුදුදහම තාර්කික දහමක්’ යයි පවසයි.
      ඒ ආකාරයටම ඉහත විශ්වාස 06 පරීක්ෂණ නීරීක්ෂණ හා නිගමන පදනමේ හිඳ අනාවර්ණය කලනොහැකි බව සැබෑවකි. නමුත් මධ්‍යස්ථව විමසා බලන්නේ නම් ඉහත කරුණූ තාර්කික කරුණූ බව ඔබට පැහැදිලි වනු ඇත. එයට එක් නිදසුනක් පවසනවා නම්, (දේව විශ්වාසය පිලිබදව) පහත ලිපිය කියවීම මඟින් ඔබට පැහැදිලි වනු ඇත.
      දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරයිද?

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *