ඉස්ලාමීය දේපල බෙදීමේ නීතිය

0

ලොව බොහෝ ආගම් හා ඇදහිලි මිනිස් සමාජයට අත්කර දී ඇත්තේ දුක හා පසුතැවීම පමණි. එවන් වූ ආගම් හා දර්ශනයන් අතර ඉස්ලාම් දහමේ භූමිකාව ලොවට කියාපෑම මෙම යහමඟ අඩවියේ මූලික අරමුණයි. ඒ අනුව මෙම යහමඟ අඩවිය හරහා විටින් විට ලාංකීය සමාජයේ පවතින විවිධ වූ ආගම් හා ඇදහිලි පිලිබදව සාකච්චා කොට ඇත්තෙමි. එහි දී එම ආගම් හා ඇදහිලි බොහෝ විට කරනු ලබන්නේ. තම අනුගාමිකයන් විවිධ සංකීර්ණ තත්වයන් තුල සිරකිරීම යන්න ද පෙන්වා දී ඇත්තෙමි. ඔවුනට විමුක්තිය සදහා කරන්නට ඇත්තේ අපමණ වූ කැපකිරීමන්ය. ඔවුන්ගේ කැපකිරීමන් හි ප්‍රමාණය තමා ඔවුන්ගේ අවනතභාවය නිර්ණය කරන්නේ. මේ නිසා බොහෝ ආගම් තුලින් මනුෂ්‍යයා හට උරැම වූ එකම දෑ දුක පමණි. මේ නිසාම මනුෂ්‍ය සිතුම් පැතුම්වලින් පරිභාහිර චින්තනයක් ඔස්සේ ගොඩන‍ඟෙන මොවුන්ගේ අවසාන නිගමනය “ජීවිතය දුකයි” යන්න පමණි.

ප්‍රායෝගික නොවන ජීවන රටාවත්, මනුෂ්‍ය හැඟීම් හා අවශ්‍යතාවයන් ඉක්මවූ ඇදහිලි රටාවත්, බුද්ධිය ගෝචර නොවන විශ්වාසයනුත් නිසා මා ඉහත සදහන් ආකාරයේ නිගමනයන්ට එළඹීම හැර වෙන විකල්පයක් ඔවුනට නැත. නමුත් ඉස්ලාම් දහම ඉහත සදහන් ආකාරයට ඇදහිලි හා විශ්වාසයන්ට පමණක් සීමා වූ දහමක් නොවේ. එය පරිපූර්ණ ජීවන සැලැස්මකි. මනුෂ්‍යයන් වශයෙන් ජීවිතයේ දෛනිකව මුහුණපාන අනේකවිද ගැටළු මධ්‍යයෙහි “ජීවිතය දුකක්” යයි ඉස්ලාම් පැවසුවේ නැත. ජීවිතය තුල දුක සතුට දෝලනය වන කාරණයක් ලෙසත් එය මනුෂ්‍යා විසින් ජයගතයුතු අභීයෝගයක් ලෙස ඉස්ලාම් දකිනවා මිස “දුකයි… දුකයි… දුකයි… ” යන්න ඉස්ලාමීය ප්‍රතිපත්තිය නොවේ.

ඉස්ලාම් දහම කිසියම් මනුෂ්‍ය චින්තනයක් තුල බිහිවූ මනක්කල්පිතයක් නොවේ. එය සර්වබලධාරී දෙවියන් විසින් සකසා දුන් ජීවන සැලැස්මකි. එය තුල කිසියම් නොගැලපීමක් හෝ ප්‍රායෝගික නොවීමක් පැවතිය නොහැක. කිසියම් ආකාරයකින් එසේ වීම යනු සමස්ථ දහම ම ප්‍රශ්නාර්ථයක් වනවා යන්නෙහි මුස්ලීම්වරැන් අතර ද විවාදයක් නැත. නමුත් අන්තවාදීව හෝ පුර්ව නිගමනවල හිද “නොගැලපෙනවා”, “පරස්පරයි” යන්න පැවසීම එය එසේවීමට හේතුවක් නොවන බව ද ඉහත පිරිස් හොදින් අවබෝධ කරගත යුතුය. මා එසේ පවසන්නට මූලික හේතුව කවදත් යහමඟ අඩවියට හොද මාතෘවන් නිර්මාණය කරදෙන රාලෙක් තවත් වරක් අල්ලාගේ ගණිත හැකියාව “…අල්ලාට ගණිතය බැරිද?… ” යනුවෙන් අභියෝගයට ලක්කර ඇත. එසේම කාන්තා අයිතිය වෙනුවෙන් කිඹුල් කදුළු සලා ඇත. මේවා මේ රාලගේ නිෂ්පාදන නොවන බවත් එය රාලගේ පරිවර්ථනයන් පමණක් බවත් මෙම යහමඟ අඩවිය හරහා කිහිපවිටක් සලකුණු කර පෙන්වා ඇත. එසේ උපුටාගෙන එය පලකිරීම වරදක් ලෙස මා මෙහි දී නොදකිමි. නමුත් “කළුවා මාරපනේ ගියා වගේ” දැක්කගමන් එහෙන් අරන් මෙහෙන්දාන්නේ නැතුව ඒ තුල කියවෙන කාරණය තරමක් හෝ බුද්ධිමත් ලෙස සිතුවේ නම් මෙවැනි ප්‍රශ්න රාලට කිසිසේත් ඇති ‍නොවනු ඇත යන්න මාගේ විශ්වාසයයි. නමුත් රාලගේ මීට පෙර ලිපි මෙන්ම මෙම ලිපිය දෙස ද බලන විට ඔහුගේ බුද්ධි මට්ටම අභියෝගයට ලක්කිරීම නොකලයුත්තක් යන්න යහමඟ මගේ විශ්වාසයයි. කෙසේ වෙතත් රාල ගෙනහැර දක්වන කාරණයෙහි ඇති පැහැදිලි යථාර්තය, ඔහුගේ සිතේ තිබෙන ඉස්ලාම් වියරැව හා වෛරය නිසා අවබෝධ නොවේ නම්, ඔබටත් පවසන්නට ඇත්තේ “ඔය වෛරයෙන් හා වියරැවෙන් පිරි ජීවිතය දුකක් යන්න පමණි”.

ඔහු අභියෝගයට ලක් කරන කාරණය “කෙනෙකු මියගිය විට ඔහුගේ දේපල ඉස්ලාමීය ක්‍රමයට බෙදෙන්නේ කොහොමද? යන්නයි.” එහි දී ඔහු පෙන්වා දෙන්නේ ඉස්ලාම් පවසන ක්‍රමයට බෙදීමේ දී එහි ගණිතමය ගැටළු පවතිනවා යන්නයි. මාගේ මෙම ලිපිය රාලට පිලිතුරැ ලිපියක් කරගන්නවා වෙනුවට මෙම විෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය ශ්‍රී ලාංකීය සමාජයට පවසන්න අවස්ථාවක් කරගන්නා අතර ඒ තුල රාලලාටත් නියත වශයෙන්ම පිලිතුරැ ලැබෙනු ඇත. මෙය මීට පෙර යහමඟ අඩවිය තුල කථා කලයුතු නමුත් මෙතෙක් කථා නොවු මාතෘකාවක් නිසා ඒ සදහා වස්තුබීජයක් නිර්මාණය කරදුන් රාලට නැවතත් ස්තූතිවන්ත වෙමින් මෙම ලිපිය ආරම්භයේදීම රාලට මෙන්ම ඔහුගේ අඩිපාරයේ යන ගොලබාලයන්ටත් පුංචිම පුංචි අභියෝගයක් කරන්නට කැමැත්තෙමි. ඒ ඔබ ඔය කියන බුදුදහමෙන් මෙම විෂය සදහා බුද්ධියට ගෝචර වන ආකාරයේ ආදර්ශයක් හැකිනම් ගෙනහැර පෙන්වන්න. හැබැයි “ජීවිතේ දුකයි” යන්න ඒකට පිලිතුර නොවන බවත් තරයේ මතකයේ තබාගන්න. එසේ නම් දැන් විෂයට අවදානය යොමු කරමි.

මා ලිපිය ආරම්භයේ පැවසුවා සේ ඉස්ලාම් දහම යනු මිනිස් සමාජයට වතාවත් හා ඇදහිලි පමණක් පෙන්වා දෙන තවත් දහමක් නොවේ. එය ජීවන සැලැස්මකි. ඒ තුල රාල පැවසුවා සේම “…ඉස්ලාම් ආගමේ කුරාණය සලකන්නේ අල්ලා දෙවියන්ගෙන් එන පණිවුඩයක් හැටියට. අල්ලා සර්වබලධාරී කියලයි ඔවුන් සලකන්නේ. ඒ කියන්නේ අල්ලා ඔක්කොම දන්නවා කියන එක. එහෙම අල්ලාට වරදින්න හැටියක් නෑ… “. මෙම කාරණය සැබෑවක් වුවත් එහිදී එය විවිධ කොන්දේසිවලට යටත්ව සිදුකලයුතු යන්න ශුද්ධ වූ කුර්ආනීය මඟපෙන්වීමයි. එම කුර්ආනීය කොන්දේසිවලින් පරිභාහිරව කිසියම් කෙනෙකු ඉස්ලාම් දහම අවබෝධ කරගන්නට යෑම නිෂ්පල මෙන්ම අසාර්ථක උත්සාහයකි. එම කොන්දේසිය නම් කිසියම් කාරණයක් ඉස්ලාම් යයි පැවසීමට නම් එය ප්‍රධාන කාරණා දෙකකට යටත් වියයුතුය. එනම් අල්ලාහ් දෙවියන්ගේ අනපනත්, නීතිරීති (ශුද්ධ වූ කුර්ආනය) හා මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය (හදීස්)වලට අනුකූල වියයුතුය. (මේ පිලිබදව මීට පෙර මෙම යහමඟ අඩවිය තුල සාකච්චා කොට ඇත). ඉස්ලාම් යනු කුළුණු දෙක මත ගොඩනැඟුණකි. ඒ “ශුද්ධ වූ කුර්ආනය” හා “හදීසය” යන්නයි. මෙහි අවශ්‍යතාවය ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි.

  • ”අප මෙම කුර්ආනය නබිවරයාට පහල කලේ එය ඔහු පැහැදිලි කිරීම පිණීසයි.” (12-6)
  • “මෙම නබිවරයා ස්වමත කිසිවක් ප්‍රකාශ නොකරයි. ඔහු පවසන සියල්ල ‘වහී’ (දේව වාක්‍ය) වේ.” (53-3,4)
  • “මෙම නබිවරයා හමුවේ නුඹලාට අලංකාර ආදර්ශයන් ඇත්තේමය.” (33-21)

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් තුන දෙස හොදින් බලන විට මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන් හා ආදර්ශය ද ශුද්ධ වූ කුර්ආනය මෙන්ම වැදගත් සාධකයක් යන්න පැහැදිලි වේ. මුහම්මද් (සල්) තුමාණන්ගේ කාර්යභාරය ශුද්ධ වූ කුර්ආනය මිනිස් සමාජයට ප්‍රකාශ කිරීමෙන් අවසන් නොවේ. එය ප්‍රායෝගික ලෙස පිලිපදින්නේ කෙසේද? යන්න සමාජයට පෙන්වාදීමත් එතුමාණන්ගේ කාර්යභාරයයි. එය ඉහත 12-6 වාක්‍යයෙන් මනාව පැහැදිලි වේ. එපමණක් නොව ඉහත 53-3,4 හා 33-21 වාක්‍යය මඟින් එතුමාණන් ආදර්ශයක් ලෙස ගැනීමේ අවශ්‍යතාවය ද ශුද්ධ වූ කුර්ආනය මනාව පැහැදිලි කරයි. (මෙම කාරණය අවධාරනය කරන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් බොහෝමයක් ගෙනහැර දැක්විය හැක) මෙම කාරණය වඩාත් හොදින් ඔබට පැහැදිලි කරගැනීම සදහා උදාහර්ණ කිහිපයක් පවසන්නට කැමැත්තෙමි. එනම්,

  • සෑම මුස්ලීම්වරයෙකුම දිනපතා සලාතය (ආගමික වතාවත්) ඉටු කලයුතු බව ශුද්ධ වූ කුර්ආනයේ පවසයි. නමුත් එය කෙසේ කලයුතුද? කීයක් කලයුතුද? කුමණ වේලාවේදී කලයුතුද? යන කාරණයන් ශුද්ධ වූ කුර්ආනයේ සදහන් නොවේ. එය දැනගත යුත්තේ මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් තුලින් හෙවත් “හදීස්” තුලිනි.
  • සෑම ධනවත් මුස්ලීම්වරයෙකුම සකාත් (අනිවාර්‍ය බද්ධක්) බෙදාදිය යුතු බවට ශුද්ධ වූ කුර්ආනය පවසයි. නමුත් එය ගණනය කරන්නේ කෙසේද? (එනම් සතුන් සදහා කෙසේද? ධාන්‍ය සදහා කෙසේද? රන් භාණ්ඩ සදහා කෙසේද?… යනාදිය) ශුද්ධ වූ කුර්ආනයේ සදහන් නොවේ. එය සදහන් වන්නේ මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය තුලය.
  • මුස්ලීම්වරැන් ඉටුකරන “හජ් වන්දනය” සැලකුවද එහි දී මුස්ලීම්වරැන් අනුගමනය කලයුතු ආකාරය සම්බන්ධ බොහෝ නීතිරීති පේවාදෙන්නේ මුහම්මද් (සල්)තුමාණන්ගේ ආදර්ශයන් තුලින් මිස ශුද්ධ වූ කුර්ආනය තුලින් පමණක් නොවේ.
  • ඒ ආකාරයටම ඉස්ලාමීය ක්‍රමයට දේපල බෙදීමේදී ද මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයෙන් පරිභාහිරව එය කල නොහැක. (මෙය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත)

දැන් කෙනෙකු හට ගැටළුවක් මතුවිය හැක. ඒ “ඇයි සර්වබලධාරී දෙවියන්ට මේ සියල්ල පවසන්නට නොහැකි වුණේ” යන්නයි. මෙය බැලූ බැල්මට බුද්ධිමත් ප්‍රශ්නයක් ලෙස පෙනුනද මෙය මීට වසර 1400 කට පෙර සමාජයත් මුහම්මද් (සල්) තුමාණන්ගෙන් විමසා සිටි ප්‍රශ්නයක් බව ශුද්ධ වූ කුර්ආනය පවසයි. (ඒ පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ 6-8, 6-9, 17-94, 17-95, 25-7, 25-20… යනාදී වාක්‍යයන් හි විස්තර කරයි.) මෙහි දී අල්ලාහ් (දෙවියන්) අවධාරනය කරන්නේ මෙම දේව පණිවුඩය රැගෙන මුහම්මද් (සල්) තුමාණන් වෙනුවට මලාඉකාවරයෙක් (දේවදූතයෙක්) ආවද එවිටත් එම ජනතාව මනුෂ්‍යයෙකු නොවන කෙනෙකු පවසන එය අපට ප්‍රායෝගික නොවන බව පවසමින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි ශුද්ධ වූ කුර්ආනය පවසයි. මේ හේතුව නිසා අප මෙන්ම සියළු දුර්වලතාවයන් (එනම් කෑමබීම, ඇදුම්පැලදුම්, බිරදි, දරුවන්… යනාදී අවශ්‍යතාවයන්) පවතින සාමාන්‍ය මනුෂ්‍යයෙකු තුලින් මෙය සාර්ථකව ක්‍රියාවට නැංවීම තුල මනුෂ්‍ය දිවියට ප්‍රායෝගික වූ එකම දහම “ඉස්ලාම්” යන්න අල්ලාහ් (දෙවියන්) අවධාරනය කරයි. මෙය ඉහත 17-95 වාක්‍යය මඟින් ද අවධාරනය කරයි. මේ අනුව ද පැහැදිලි වන්නේ මිනිස් බුද්ධියට ගෝචර හා ප්‍රායෝගික නොවන කරැණු පවසමින් මිනිස් සමාජය සංකීර්ණ ගැටළුල හිර කරන ආගම් හා ඇදහිලි අතර ඉස්ලාම් මනුෂ්‍යයෙකු තුලින් තම ඉගෙන්වීමන් මිනිස් සමාජයට ක්‍රියාවට නංවා ආදර්ශයන් පෙන්වා දුන් ආගමක් යන්නයි. ඒ අනුව ඉස්ලාමීය නීතිරීති අවබෝධ කර ගතයුත්තේ ඉහත මුලාශ්‍රයන් (ශුද්ධ වූ කුර්ආනය හා හදීසය යන) ‍ෙදකම පදනම් කරගෙන යන්න පැහැදිලිය. ඒ පදනමේ හිද දැන් ඉස්ලාමීය දේපල බෙදීමේ නීතය වෙත අවධානය යොමු කරමු.

ඉස්ලාමීය දේපල බෙදීමේ නීතිය

ඉස්ලාම් දහමේ අසමසම බව මෙන්ම ප්‍රායෝගික බව මනාව පිළිඹිබු කරන අවස්ථාවක් ලෙස මෙම දේපල බෙදීමේ නීතිරීති ද හැදින්විය හැක. (එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත) මුස්ලීම්වරයෙකු මිය යනවිට ඔහු සතුව කිසියම් දේපල ප්‍රමාණයක් ඇත්නම් එය බෙදීයාමේ ආකාරය ප්‍රමුඛතාවය අනුව ඉස්ලාම් පැහැදිලිව පවසයි. එනම්,

  1. දේපල හිමිකරැගේ ණය බෙදීම
  2. “වසීයත්” හෙවත් මරණාසන්න මොහොතේ දේපල හිමිකරැ විසින් කරන ප්‍රකාශනය හෙවත් අවසන් කැමැත්ත අනුව බෙදීම
  3. තම පවුලේ සමාජිකයන් අතර බෙදීම

ඉහත කරැණු එකින් එක කෙටි අවධානයක් යොමු කලේ නම්,

දේපල හිමිකරැගේ ණය බෙදාදීම

ඉස්ලාම් දේපල බෙදීම් දී පමණක් නොව සෑම අවස්ථාවකදීම මනුෂ්‍යා මනුෂ්‍යාහට ඉටුකලයුතු යුතුකම්වල දී එයට මුල්තැන දී ක්‍රියාකරන බව මීට පෙර ද සමාජ වගකීම් යන ලිපිය තුලින් සාකච්චා කලෙමි. මනුෂ්‍යා දෙවියන්ට කලයුතු යුතුකම් හි කිසියම් අඩුපාඩුවක් සිදුකලේ නම් එයට දෙවියන් සමාව ලබාදුන්න ද මනුෂ්‍යා මනුෂ්‍යාහට කරන යුතුකම් හි කිසියම් අඩුපාඩුවක් සිදුකලේ නම් ඒ සදහා කිසිදු විටෙක සමාව දෙන්න දෙවියන් සූදානම් නැත. එහි ණය යන්න ද එක් අංගයකි. මෙය ඉස්ලාම් දැඩිලෙස අවවාද කරන කාරණයකි. එය කොතරම් දුරට අවධාරනය කරනවාද යයි පවසනවා නම් මුහම්මද් (සල) තුමාණන්ගේ කාලයේ ණයකරැවකු මරණයට පත්වුයේ නම් ඔහුගේ ණය වගකීම කිසිවකු භාරගන්නා තුරැ ඔහු සදහා ඉටුකරන අනිවාර්ය සලාතය (වන්දනය) පවා ප්‍රතික්ෂේප කරන ලදී. ඉස්ලාම් මනුෂ්‍යාට මනුෂ්‍යා කලයුතු යුතුකම්වල දැඩි ස්ථාවරයක සිටී. මනුෂ්‍යා මනුෂ්‍යා‍ට කල වරදකට මනුෂ්‍යා සමාව දෙන තුරැ දෙවියන් ඔහු සදහා සමාව නොදෙනවා යන්න ඉස්ලාමීය මූලික ඉගෙන්වීමයි. මෙය පහත හදීසය මඟින් ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැක.

“දිනක් නබිතුමාණන් තම පරිවාරකයන්ගෙන් (සහාභාවරුන්ගෙන්) ‘මහා බංකලෝතුකාරයා කව්රුන්ද යන්න නුඹලා දන්නෙහිද?’ යනුවෙන් විමසන ලදී. එයට එම පරිවාරක (සහාභා)වරුන් ‘නොදන්නෙමු නබිතුමණි අපට පවසන්න?’ යනුවෙන් විමසා සිටින ලදී. එයට නබිතුමා ‘මෙලොව ජීවත්ව සිටිය දී ඉටුකල හැකි සියළුම ආකාරයේ වන්දනාමානයන් නොඅඩුව ඉටුකොට විනිශ්චය දිනයේ ඒ සියළුම පිං පොදිබැදගෙන දෙවියන් ඉදිරියේ සතුටින් සිටින විට කෙනෙකු පැමිණ, ‘දෙවියනී! මොහු එලොව ජීත්ව සිටිය දී මට මොහු විවිධ ආකාරයේ කරදරයන්, හිරිහැරයන් කලා’ යයි පවසයි. එවිට දෙවියන් මොහුගේ පිංවලින් කොටසක් ගෙන ඔහුට ලබාදෙයි. ඉන්පසු තවත් කෙනෙකු පැමිණ ‘දෙවියනී! මම මොහුගේ අසල්වාසියෙක් මොහු මට විවිධ ආකාරයේ හිරිහරයන් කලා’ යයි පවසයි. එවිට ඔහුටත් මොහුගේ පිංවලින් කොටසක් ලබාදෙයි… මේ ආකාරයට විවිධ පිරිස පැමිණ මොහුට චෝදනා කිරීම නිසා එයට පිලියමක් ලෙස මොහුගේ පිං බෙදාදීම සිදුවේ. මේ ආකාරයට මොහුගේ පිං සියල්ල අවසන් වේ. ඉන්පසු ද දෙවියන් ඉදිරියට මොලොව දී ඔහුගේ හිරිහැරයන්ට ගොදුරුවු මිනිසුන් පැමිණ ඔහුගෙන් සිදුවු හිරිහැරයන් පවසනු ලැබේ. ඒ වෙනුවෙන් ඔවුන්ට ලබාදීමට මොහු ලඟ පිං නැති නිසා ඒ වෙනුවට ඔහුගේ පාපයන් මොහුට ලබාදෙනු ලැබේ. අවසානයේ කල පිං පොදිබැදගෙන ස්වර්ගයට යන්නට සිටී මොහු අපයට යන බව පැවසු නබිතුමාණන් මොහු තමා මහා බංකලෝතුකාරයා’ යයි පවසන ලදී.”
(හදීස්)

ඉහත කරැණුවලට අනුව කෙනෙකු මියගිය විට ඔහු කිසිවකුට ණය වී තිබේ නම් එය මුලින්ම පියවාදැමීම අනිවාර්ය අංගයක් බව පැහැදිලි වේ. එසේ සියළු ණය පියවීමෙන් අනතුරැව ඉතිරිවන දේපල තමා අවසන් කැමැත්ත අනුව හා ශුද්ධ වූ කුර්ආනය හා හදීසය පවසන ආකාරයට බෙදීම් කලයුත්තේ. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 4-12 වාක්‍යයෙන් ද මෙසේ අවධාරනය කරයි.

“…ණය බෙදාදීමෙන් අනතුරැව තමා (තම පවුල් තුල) දේපල බෙදීම සිදුකල යුත්තේ…”

“වසීයත්” හෙවත් අවසන් කැමැත්ත මත බෙදීම

මෙය අදටත් ලොව දකින්නට තිබෙන සමාජ සම්ප්‍රදායකි. කෙනෙකු මිය යනවිට ඔහු සතු දේපල හෝ ඉන් කොටසක් ඔහු කිසියම් කෙනෙකුට නම් කරයි. මෙය ඉස්ලාම් දහම ද අනුමත කරන ක්‍රියාවක් වුවත් ඒ සදහා විවිධ කොන්දේසි පනවා ඇත. එය පහත “හදීසය” (මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය) තුලින් අවබෝධ කරගත හැක.

සහද්බින් අබීවක්කාස් (රලි) තුමා දන්වයි. “මම රෝගාතුර වී සිටින විට මුහම්මද් (සල්) තුමාණන් මගේ සුවදුක් විමසන්නට පැමිණෙන ලදී. එහි දී නබිතුමාණන් ‘නුඹ දේපල සම්බන්ධයෙන් ‘වසියත්’ (අවසන් කැමැත්තක්) ප්‍රකාශ කොට තිබෙනවාද?’ යයි විමසන ලදී. එයට මා ‘ඔව්’ යනුවෙන් පිලිතුරැ දුනිමි. එයට නබිතුමාණන් ‘කොච්චර ප්‍රමාණයක් කොහොම කලාද?’ යනුවෙන් විමසන ලදී. එයට ඔහු ‘මාගේ මුළු දේපල සියල්ලම ඉස්ලාම් දහම වෙනුවෙන් වැය කලයුතුයි’ යනුවෙන් ‘වසීයත්’ කලා යනුවෙන් පවසන ලදී. එයට නබිතුමාණන් ‘නුඹේ දරැවන්ට මොකක්ද තියලා තියෙන්නේ’ යනුවෙන් විමසන ලදී. එයට මා ‘ඔවුන් (දැනටත්) ධනවතුන් ලෙස (සමාජයේ) හොද තැනක සිටී’ යයි පැවසුවෙමි. එයට නබිතුමාණන් ‘නැහැ නුඹේ දේපලවලින් 1/10 ක් පමණක් ඉස්ලාම් දහම වෙනුවෙන් වසීයත් කරන්න.’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘නබිතුමණී !, මෙය ඉතා ස්වල්ප ප්‍රමාණයක් නොවේද? මීටවඩා වසීයත් කරන්න මට අවසර දෙන්න’ යනුවෙන් දිගින් දිගටම මා විමසන ලදී. අවසානයේ නබිතුමාණන් ‘හරි, නුඹේ දේපලවලින් 1/3 ක් වසීයත් කරන්න හැබැයි ඒකත් වැඩ්’ යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

ඉහත නබිවදන හෙවත් හදීසයට අනුව අවසන් කැමැත්ත අනුව දේපල බෙදාදීමට හැක්කේ සමස්ථ දේපලෙන් 1/3 ක් යන්න පැහැදිලිය. ඊටත් වඩා කවරෙකු හෝ “වසියත්” කලේනම් එය වලංගු නොවනවා යන්නත් ඉහත හදීසයට අනුව පැහැදිලිය. එපමණක් නොව මෙවැනි ‘වසීයත්’ පිලිබදව නබිතුමාණන් දැඩිලෙස අවවාදයන් ද සමාජයට ‍කර ඇත. උදාහර්ණයක් ලෙස පහත හදීසය බලන්න,

“මුහම්මද් (සල්) තුමාණන් දැන්වූ බවට අනස් (රලි) තුමාණන් මෙසේ දන්වන ලදී. ‘කිසිවකු තම ඥාතීන්ට (දරැවන්, බිරිද, දෙමාපියන්…) උරැම වියයුතු (දේපල) අයිතිය ලබානොදී (වසීයත් හෙවත් අවසන් කැමැත්ත අනුව) ඔවුනට එය අහිමි කලේනම්, අල්ලාහ් (දෙවියන්) විනිශ්චය දිනයේ දී ඔහුට ස්වර්ගයේ හිමිවිය යුතු කොටසද අහිමි කර දමනු ඇත.'”

මුලාශු ග්‍රන්ථය – ඉබුනු මාජා

මේ අනුව “වසීයත්” හෙවත් අවසන් කැමැත්ත අනුව දේපල බෙදීම යන්න ඉස්ලාම් දහම තුල ප්‍රධාන අංගයක් බවත් එය ඉහත කොන්දේසිවලට යටත්ව සිදු කලයුතු බවත් පැහැදිලිය. එය ශුද්ධ වූ කුර්ආනයේ 4-12 වාක්‍යය තුලින් ද පහත ආකාරයට පැවසේ. (ඉහත රාල පෙන්වාදෙන වාක්‍යයන් අතර මෙයත් එකකි),

“…කරන ලද වසීයත් හා (දේපල හිමිකරු කිසිවකුට ණය තිබුණේ නම්) ණය බෙදාදීමෙන් අනතුරැව තමා (තම පවුල් තුල) දේපල බෙදීම සිදුකල යුත්තේ…” (4-12)

මෙහි දී සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම් ශුද්ධ වූ කුර්ආනයේ හෝ හදීසයේ සදහන් පාර්ශවයකට කිසිවකු “වසීයත්” (අවසන් කැමැත්ත අනුව දේපල බෙදීම) ප්‍රකාශ කර තිබුණේ මුහම්මද් (සල්) තුමාණන්ගේ හදීසයකට අුනුව එය වලංගු නොවනවා යන්නයි. ඒ අනුව ඉහත කාරණයන් සියල්ල සංරංශ කොට පවසන්නේ නම් කෙනෙකු මියයන විට ඔහු සතුව පවතින දේපල බෙදීයාමේ දී ප්‍රථමයෙන් එම දේපල හිමිකරැගේ ණය තිබේ නම් එය ගෙවාදැමිය යුතු අතර ඉතිරි මුදලින් ඔහු “වසියත්” හෙවත් අවසන් කැමැත්තක් ප්‍රකාශ කර තිබේ නම් එය මුළු දේපලින් 1/3 ක් හෝ ඊට අඩුනම් එය බෙදා දියයුතුය. (කිසියම් ආකාරයකින් එය 1/3 ට වඩා වැඩිනම් එය 1/3 දක්වා සීමා කලයුතුය) මෙසේ ණය හා අවසන් කැමැත්ත අනුව දේපල බෙදාදීමෙන් අනතුරැව ඉතිරි වන දේපල තම පවුලේ සාමාජිකයන් අතර බෙදිම සිදුකල යුතුය.

තම පවුලේ සමාජිකයන් අතර බෙදීම

මෙම කාරණය තමා අද සංවාදයට ගැනෙන ප්‍රධාන කාරණය. එනම් ඉස්ලාම් පවසන ආකාරයට පවුල් සාමාජිකයන් අතර දේපල බෙදෙන්නේ කෙසේද? එසේ බෙදීමේ දී අනුගමනය කලයුතු ක්‍රමවේදය කුමක්ද? යන්න එහි මූලික අවධානය යොමු කලයුතු කාරණයයි. එහි දී (රාල පැවසුවා සේ) ඉස්ලාමීය දේපල බෙදීමේ නීතිය ක්‍රියාවට නැංවීමේ දී ශුද්ධ වූ කුර්ආනයේ “සූරා නිසා” (කාන්තාව) යන පරිච්චේදයේ 11, 12 හා 176 යන වාක්‍යයන් පමණක් පදනම් කරගෙන එය සිදුකල නොහැක. එම ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන්ට අමතරව හදීස් (හෙවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන්) ගනනාවක් ද පදනම් කරගත යුතුවේ. ඒ අනුව ඉස්ලාමීය ක්‍රමයට දේපල බෙදීමේ දී එයට හිමිකම් කියන පිරිස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ එනම්,

  • ” අස්හාබුල් ෆරායිල් ” හෙවත් ශුද්ධ වූ කුර්ආනය (4-11, 4-12, 4-176 යන වාක්‍යයන්) මඟින් හිමිකම් කියන ලද පිරිස්
  • ” අසබා ” හෙවත් ශුද්ධ වූ කුර්ආනයේ හිමිකම් නොපවසන නමුත් හදීසයන් තුලින් හිමිකම් තහවුරැ කරන පිරිස්

ශුද්ධ වූ කුර්ආනය මඟින් හිමිකම් කියන ලද පිරිස්

ඉහත සදහන් ආකාරයට ණය සහා අන්තිම කැමැත්තක් ප්‍රකාශ කොට තිබේ නම් ඒ අනුව (උපරිමය 1/3) බෙදාදීමෙන් අනුතුරැව ඉතිරිවන දේපල මීළඟට බෙදනු ලබන්නේ මෙම පිරිස් එනම් ශුද්ධ වූ කුර්ආනයේ 4-11, 4-12 හා 4-176 යන වාක්‍යයන් මඟින් පැවසෙන පිරිස් අතරය. එම වාක්‍යයන් වෙත දැන් අවධානය යොමු කලේනම්,

” ‘කාන්තා දෙදෙනෙකුට සමාන කොටසක් එක් පිරිමියකුට ඇත’ යනුවෙන් අල්ලාහ් නුඹළාගේ දරැවන් සම්බන්ධයෙන් නියෝග කරයි. සියළුදෙනා කාන්තාවන්ව ද එය දෙදෙනාට වඩා වැඩිනම් (දෙමාපියන් හැරගිය දේපලින්) ඔවුනට තුනෙන් දෙකක් හිමිවේ. එකම එක ගැහැණු දරැවෙකු නම් මුළු දේපලින් අඩක් හිමිවේ. මියගිය තැනැත්තා හට දරැවන් මෙන්ම දෙමාපියන් ද සිටීනම් ඔවුන් දෙදෙනාට වෙන වෙනම හයෙන් එක් ලෙස ලැබේ. දරැවන් නොමැතිවිට දෙමාපියන් දෙදෙනාට සියළු දේපල හිමිවේ. ඉන් තුනෙන් එකක් මවට හිමිවේ. මියගිය තැනැත්තා හ‍ට සහෝදරයන් සිටී නම් මවට හිමිවන්නේ හයෙන් එකකි. මේ සියල්ල ඔහු විසින් කරන ලද අවසන් කැමැත්ත හා ඔහු ගෙවීමට නියමිත ණය ගෙවීමෙන් අනතුරැව සිදුකල යුතුය…”

(4-11)

“නුඹගේ බිරිදට දරැවන් නොමැති නම්, ඇය මියගිය පසු ඇය හැරගිය වස්තුවෙන් අඩක් නුඹට හිමිය. ඇයට දරැවන් සිටීනම්, ඔබට ලැබෙන්නේ හතරින් එකකි. නමුත් මේ සියල්ල ඇය විසින් කරන ලද අවසන් කැමැත්ත හා ඇය ගෙවීමට නියමිත ණය ගෙවීමෙන් අනතුරැව සිදුකල යුතුය. නුඹට දරැවන් නොමැති නම් නුඹ හැරගිය වස්තුවෙන් හතරින් එකක් නුඹේ බිරිදට හිමිය. නුඹට දරැවන් සිටීනම් නුඹේ බිරිදට හිමිවන්නේ අටෙන් එකක් පමණි. ඒ ඔහු විසින් කරන ලද අවසන් කැමැත්ත හා ඔහු ගෙවීමට නියමිත ණය ගෙවීමෙන් අනතුරැව සිදුකල යුතුය. මියගිය ස්ත්‍රිය හෝ පුරැෂයා දරැවන් නොමැති තත්වයේ සිටියේ නම් තවද ඇයට සහෝදරයෙක් හා සහෝදරියක් සිටිනම්, ඒ දෙදෙනාට වෙන වෙනම හයෙන් එකක් ලෙස ලැබේ. (සහෝදර සංඛ්‍යාව) වැඩිනම් තුනෙන් එක මේ සියළුදෙනා අතර බෙදීයනු ඇත. මේ සියල්ල ඔහු විසින් කරන ලද අවසන් කැමැත්ත හා ඔහු ගෙවීමට නියමිත ණය ගෙවීමෙන් අනතුරැව සිදුකල යුතුය.”

(4-12)

” ‘කලාලා’ පිලිබදව නුඹගෙන් ජනතාව තීන්දු විමසන්නේද? අල්ලාහ් මේ සම්බන්ධයෙන් මෙසේ තීන්දු දෙයි. යනුවෙන් පවසන්න. දරැවන් නොමැති මිනිසකු මිය යනවිට ඔහුට සහෝදරියක් සිටියේ නම් ඔහු හැරගිය දේපලින් අඩක් ඇයට ඇත. ඇයට දරැවන් නොමැති නම් ඇය මිය යනවිට ඇයගේ සහෝදරයා එයට උරැමකරැ වන්නේය. සහෝදරියන් දෙදෙනෙකු සිටියේ නම් ඔහු හැරගිය ‍දැයින් තුනෙන් දෙකක් ඔවුනට ඇත. පුරැෂ හා ස්ත්‍රී ලෙස (එක් කුසේ උපන්) සහෝදරයන් සිටී නම්, කාන්තා දෙදෙනකුට හිමි ප්‍රමාණය එක් පිරිමියකුට යන නියමය අනුව හිමිවේ… ”

(4-176)

ඉහත 4-11, 4-12, හා 4-176 වාක්‍යයන් මඟින් පැවසෙන කාරණය දෙස බලන විට එහි තරමක සංකීර්ණභාවයක් පෙනුනද එය එසේ නොවේ. ඉහත වාක්‍යයන් තුන තුලින් සදහන් කාරණය සාරංශ කොට පවසනවා නම්,

ඉහත වාක්‍යයන් 03 න් බෙදෙන සමස්ථ කොටස් ගනන 06 කි. එනම් ½, ¼, 1/8, 2/3, 1/3 හා 1/6 යන්නයි. මෙහි අයිතිවාසිකම් ලබන පිරිස් කොටස් 07 කි. එයින් පිරිමි පාර්ශව 03 ක් හා ගැහැණු පාර්ශව 04 ක් වේ. ඒ පිරිස් පිලිබදව කෙටි විමසුමක් කලේ නම්,

  1. මව
  2. පියා
  3. ගැහැණු දරැවා
  4. සහෝදරයා
  5. සහෝදරිය
  6. ස්වාමියා
  7. බිරිද

ඉහත ආකාරයට ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් (දෙවියන්) දේපල බෙදීමේ නීතිය පවසයි. මේ පිරිස් අතර පමණක් දේපල බෙදීමේ දී යම් යම් ගැටළුකාරී තත්වයන් ඇති වේ. විශේෂයෙන් සම්පූර්ණ දේපල බෙදී නොගොස් ඉතිරියක් ඇති වන තත්වයන් උදාවේ. උදාහර්ණයකට, අවිවාහක තරැණයෙකු දෙමාපියන් නොමැති තත්වයේ හා සහෝදරියක් පමණක් සිටින තත්වයේ මියගිය විට ඔහුගේ දේපල බෙදෙන්නේ කොහොමද? යන ගැටළුව විමසා බැලුවේ නම්, එය ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව සහෝදරියට අඩක් (1/2) හිමිවේ. එසේ නම් මෙහි ඇතිවන ගැටළුව ඉතිරි අඩ කොටස හිමිවන්නේ කාටද? යන්නයි. මෙවැනි ගැටළු ඇතිවීමට හේතුව මෙම විෂය නිවරැදි ලෙස අවබෝධකර නොගැනීමයි. මෙම විෂය නිවරැදිව අවබෝධකර ගත්විට මෙවැනි ගැටළු ඇති නොවේ. දැන් එය විමසා බලමු.

ශුද්ධ වූ කුර්ආනයේ හිමිකම් නොපවසන නමුත් හදීසයන් තුලින් හිමිකම් තහවුරැ කරන පිරිස්

පළමු ආකාර තුනට පිලිවලින් ණය, අවසන් කැමැත්ත හා ශුද්ධ වූ කුර්ආනය මඟින් අවධාරනය කරන පිරිස් අතර දේපල බෙදාදීමෙන් අනතුරැව ඉතිරි වන දේපල බෙදීයන 04 වන පිරිසක් පිලිබදව ද ඉස්ලාම් අවධාරණය කරයි. මෙහි සදහන් 04 වන පාර්ශවය අරාබි භාෂාවෙන් “අසබා” යයි හදුන්වයි. එහි තේරැම (මියගිය පුද්ගලයා හට) ඉතාම සමීපතම පිරිමි ඥාතීන් යන්නයි. මෙය මුහම්මද් (සල්) තුමාණන් එක්තරා හදීසයක් මඟින් මෙසේ පවසන ලදී.

“දේපල බෙදීමේ දී ප්‍රථමයෙන් කුර්ආනය පවසන පිරිසට ඔවුන්ගේ දේපල බෙදා දෙන්න. ඉන්පසු ඉතිරි වන ප්‍රමාණය මියගිය තැනැත්තාගේ ඉතා සමීපතම පිරිමි ඥාතීන්ට හිමිවිය යුතු එකක් වේ”

දන්වන්නේ – ඉබුනු අබ්බාස් (රලි) තුමා, මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසයට අනුව මෙම ඝනයට අයත් වන්නේ – දරැවා, (දරැවා නොමැති විට) මුණුපුරා, පියා, (පියා නොමැති විට) සීයා, සහෝදරයා යන පිරිස් මෙයට අයත් වේ. මේ සහෝදරයාද ප්‍රධාන කොටස් තුනකට බෙදේ. එනම්,

  • එකම මවට හා පියාට උපන් සහෝදරයා
  • තම පියාගේ පෙර හෝ පසු බිරිදගේ දරැවා
  • තම මවගේ පෙර හෝ පසු ස්වාමියාගේ දරැවා

යනාදී වශයෙන් වේ. මේ කිසි‍ෙවකු නොමැති අවස්ථාවක “මාමා” කෙනෙකු සිටී නම් ඔහුට එය හිමිවන බව වෙනත් හදීසයකින් තහවුරැ කරයි. මේ අනුව ඉතිරි වන දේපල බෙදීයාම සිදුවන්නේ මියගිය පුද්ගලයාට සමීපතම පිරිමි ඥාතීන්ට බව පැහැදිලිය. මේ (කිසිදු ආකාරයක පිරිමි ඥාතීන්) කිසි‍ෙවකුත් නොමැති තත්වයක දී සම්පූර්ණ දේපල ශුද්ධ වූ කුර්ආනයේ පැවසෙන පාර්ශවකරැවන්ට හිමිවේ. ඒ අනුව දැන් ඉහත උදාහර්ණය නැවත සලකා බැලුවේ නම්, මියගිය පුද්ගලයා අවිවාහක නිසාත්, දෙමාපියන් නැති නිසාත්, සහෝදරයන් නැති නිසාත්, ඔහුගේ දේපලවල ඉතිරි අඩ කොටස තම සීයාට හෝ (සීයා නොමැති විට) මාමාට හිමිවිය යුතුය. මේ කිසිවකු නොමැති විට එම ඉතිරි අඩ කොටසද තම සහෝදරියට ම හිමි වේ. මේ අනුව මෙහි සංකීර්ණභාවයක් පෙනුනද එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ දී සරල කාරණයක් බව අවබෝධ වනු ඇත. විශේෂයෙන් වර්ථමානයේ මෙම ගනනය කිරීමන් සදහා ම වෙන්වූ වෙබ් අඩවීන් හා මෘදුකාංගයන් පවතින නිසා එය එතරම් සංකීර්ණ කාරණයක් නොවේ. ඔබගේ මෙවැනි ගැටළු සදහා එවැනි වෙබ් අඩවියක් මෙහි ඉදිරිපත් කර ඇත්තෙමි.

(ඔබගේ දේපල බෙදෙන ආකාරය ගනනය කිරීමට)

ඉස්ලාම් පවසන දේපල බෙදීමේ මූලික නීතිරීති ඉහත ආකාරයට වුවත් මෙම විෂයට අනුබද්ධව ඔබගේ දැනගැනීම පිණිස තවත් කරැණු කිහිපයක් සදහන් කිරීමට ඇත. එනම්,

  • දේපල බෙදීමේ දී ඇතිවන ගණිතමය ගැටළු.

ශුද්ධ වූ කුර්ආනයේ පැවසෙන ආකාරයට දේපල බෙදීමේ දී සමහරක් අවස්ථාවල ගණිතමය ගැටළු ඇති වේ. මෙය උදාහර්ණයක් ගෙන ඒ තුලින්ම සලකා බැලුවේ නම්,

උදාහර්ණය – බිරිද, දූවරැන් 03ක් හා දෙමාපියන් සිටින පවුලක ස්වාමියා (දරැවාගේ පියා) මියගියේ නම් ඔහුගේ දේපල බෙදෙන්නේ කෙසේද?

මවට 1/6

පියාට 1/6

බිරිදට 1/8

දරැවන්ට 2/3

මුළු දේපල වටිනාකම = 1/6 + 1/6 + 1/8 + 2/3

= (4 + 4 + 3 + 16) / 24 (කු.පො.ගු අනුව)

= 27/24

(නිවරැදි බෙදීමක් සිදුවීමට නම් ඉහත අගය 24/24 ලෙස වියයුතුය. එසේනම් මෙවැනි තත්වයක දී නිවරැදි ලෙස දේපල බෙදන්නේ කෙසේද?)

ඉස්ලාමීය දේපල බෙදීමේ නීතිය යනු සීමිත ‍ක්ෂේත්‍රයකට සීමා නොවන කාරණයක් යන්න ඔබට තරමක් දුරකට හෝ පැහැදිලි වියයුතුය. එවන් පුළුල් ‍ක්ෂේත්‍රයක වස්තූ බෙදීයාමක දී එය “භාග” ලෙස පැවසීමේ දී මෙවැනි දුර්වලතාවයන් ඇතිවීම වැලැක්විය නොහැක. මෙම ශුද්ධ වූ කුර්ආන් නීතිරීති පහල වූ සමාජය ගණිතමය ක්ෂේත්‍රයේ ඉහල දැනුමක් පැවතී සමාජයක් නොවේ. ඔවුනට 1/3 වෙනුවට 33.3333 % යයි පැවසීම හෝ 2/3 යන්න වෙනුවට 66.66666 % යයි පැවසීම ප්‍රායෝගික නොවේ. ඔවුනට ප්‍රායෝගික නොවනවා යයි නීතිරීති ප්‍රකාශ නොකර සිටීමට නොහැක. එසේ නම් පවසන නීතිරීති එම සමාජයටත් සරලව අවබෝධ කරගත හැකි ආකාරයට පැවතිය යුතු අතර වර්ථමාන සමාජයටත් එය ගැලපීය යුතුය. ඒ අනුව ශුද්ධ වූ කුර්ආනය පවසන “භාග” ක්‍රමය තමා අතීතයට මෙන්ම වර්ථමානයටත් වඩා පහසු හා නිවරැදි ගණිත ක්‍රමය යන්නෙහි විවාදයක් නැත. නමුත් මෙහි දී ඇති ගැටළුව සමහරක් ගනනය කිරීමන්වල දී ඇති වන ගණිතමය ගැටළුව විසදා ගන්නේ කෙසේද? යන්නයි. එම කාරණයට අවධානය යොමු කිරීමට මත්තෙන් පෙර සදහන් කල ශුද්ධ වූ කුර්ආනයේ 4-12 වාක්‍යයේ එක්තරා කොටසකට ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එනම්,

“…අවසන් කැමැත්ත හා ඔහු ගෙවීමට නියමිත ණය ගෙවීමෙන් අනතුරැව (දේපල බෙදිය යුතු අතර මේ සියල්ල කිසිවකුටත්) අසාධාරණයක් සිදු නොවන ආකාරයට කලයුතුය. මෙය අල්ලාහ්ගේ නියෝගයයි…”

ශුද්ධ වූ කුර්ආනය දේපල බෙදීම සම්බන්ධයෙන් පියවරින් පියවර පැහැදිලිව පවසා ගෙනවිත් “…අසාධාරණයක් සිදු නොවන ආකාරයට කලයුතුය…” යයි මෙවැනි ප්‍රකාශනයක් සිදුකිරීම තුල මෙවැනි අවස්ථාවන් ඇතිවීමේ හැකියාවන් එය තුල අන්තර්ගත බව අද නොව මීට වසර 1400 කට පෙරම ඉස්ලාම් අවබෝධ කරගෙන සිටී බව පැහැදිලිය. සියළු බෙදිම් දශමස්ථානයටම නිවරැදි නම් මෙවැනි ප්‍රකාශනයක අවශ්‍යතාවය ඇති නොවේ. අනවශ්‍ය වාක්‍යයක් අල්ලාහ් දෙවියන් ශුද්ධ වූ කුර්ආනයේ කිසිසේත් භාවිතා නොකරනු ඇත (යන්න මුස්ලීම්වරැන් වන අපගේ විශ්වාසයයි). මෙහිදී අවබෝධකර ගතයුතු කාරණයක් ඇත. එනම් ගණිතමය වශයෙන් කිසියම් ව්‍යාකූල බවක් මෙහි දක්නට තිබුන ද මෙහි පවසන නීතියේ ප්‍රායෝගික ගැටළුවක් ඇති නොවේ. ඉහත නිදසුනම පදනම් කරගෙන එය පැහැදිලි කරන්නේ නම්,

ඉහත ආකාරයේ ගණිතමය ගැටළුවක් ඇති වනවිට එහිදී ශුද්ධ වූ කුර්ආනයේ පවසන ආකාරයට කිසිවකුටත් අසාධාරණයක් නොවීම සදහා උපක්‍රමයක් යොදාගත හැක. එනම්,

ඉහත 27/24 වැනි අවස්ථාවල දී එය 27/27 ලෙස සලකා‍‍ බෙදීම එම උපක්‍රමයයි. එවිට කිසිවකුටත් ඉන් අසාධාරණයක් ඇති නොවේ. (මෙම ක්‍රමය ඉස්ලාමීය රාජ්‍ය පාලනයේ ශ්‍රේෂ්ඨතම පාලකයා මෙන්ම තෙවන ජනාධිපති උමර් (රලි) තුමාණන් පවා ක්‍රියාවට නැංවූ බවට ඉතිහාසයේ සදහන් වේ.)

මේ අනුව ශුද්ධ වූ කුර්ආනය හා හදීසයට අනුකූලව මෙන්ම කිසිදු පාර්ශවයකට අසාධාර්ණයක් ඇති නොවන ආකාරයට මෙම දේපල බෙදාදීමට හැකි වේ නම් එය තමා ඉස්ලාම් මෙහි දී අපේක්ෂා කරන කාරණය මිස මෙය ගණිතමය න්‍යායන්ට කොතරම් වලංගු ද අවලංගු ද යන්න නොවේ.

  • මුහම්මද් (සල්) තුමාණන් සම්බන්ධයෙන් ඉහත නීති ක්‍රියාත්මක වන ආකාරය

මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු තවත් අනුමාතෘකාවක් වන්නේ මෙම දේපල බෙදීමේ නීතිය තුල මුහම්මද් (සල්) තුමාණන්ට හිමිව තිබෙන තැන කුමක්ද? යන්නයි. මෙයට මෙපමණ විශේෂත්වයක් මා ලබාදීමට මූලික හේතුව වර්ථමානයේ බොහෝ පූජකවරැන්, ආගමික ශාස්තෘවරැන් හා ප්‍රභුවරැන් කරන්නේ තම අනුගාමිකයන් හට කැපකිරීම්, පරිත්‍යාග හා දුෂ්කර ක්‍රියාවන් හි මහිමය දේශනා කරමින් තම මඩිය හා තමා වටා ඇති සැපහසුකම් තරකර ගැනීමයි. එවන් වූ පිරිස් අතර මුහම්මද් (සල්) තුමානණ්ගේ ආදර්ශය මොහොතක් විමසුම් ඇසින් බලන්න.

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ දේශණා කරන ලදී. “නබිවරැන්ගේ දේපලවලට උරැමකරැවෙක් නැත. සියල්ල ‘බයිතුල් මාලයට’ (මහා භාණ්ඩාගරයට) අයත් වේ.”

මූලාශ්‍රය – බුහාරී

ඉහත හදීසයට අනුව මුහම්මද් (සල්) තුමාණන් ජීවතුන් අතර සිටිය දී තමා සතුව පැවතී. සියළු දේපල එතුමාගේ මරණය සමඟ රාජ්‍ය සතු දේපල බවට පත්වේ. මේ නිසා තමා මුහම්මද් (සල්) තුමාණන්ගේ දුව ෆාතිමා (රලි) තුමිය තම පියාට අයත් ඉඩමක් එවකට (මුහම්මද් (සල්) තුමාණන්ගෙන් පසු ප්‍රථම) ජනාධිපතිව සිටී අබූබක්කර් (රලි) තුමාගෙන් ඉල්ලා සිටී මොහොතේ ඉහත හදීසය පවසා එය ප්‍රතික්ෂේප කරන ලද්දේ.

මේ ආකාරයට ඉස්ලාම් දේපල බෙදීමේ නීතිය මිනිස් සමාජයට දේශනා කරන අතර එය ඉස්ලාම් අසමසම දහමක් පමණක් නොව ප්‍රායෝගික වූ ජීවන සැලැස්මක් යන්නත් මනාව පිලිඹිබු කරයි. කෙසේ වෙතත් මෙහි ඉදිරිපත් කොට ඇත්තේ ඉස්ලාම් දහමේ දේපල බෙදීමේ නීතියේ සරල විග්‍රහයක් පමණක් වන බැවින්. මේ පිලිබදව ගැඹුරැ අවබෝධයක් ලබාගැනීම සෑම මුස්ලීම්වරයෙකුගේ ම මුඛ්‍ය වගකීමක් බවත් මෙහිදී අවධාරණය කරමින් මෙම ලිපිය අවසන් කරමි.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp