උතුම් වූ උපවාස මාසයේ උදාව හා ඒ සදහා අපගේ සූදානම

2

මුස්ලීම් සමාජය උත්තරීතර මාසයක් ලෙස සලකන ‘රමලාන්‘ මාසය අභියස සිටින මේ මොහොතේ ඒ පිලිබදව කරුණූ කිහිපයක් මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි. ඉස්ලාමීය දින දර්ශනය අනුව නව සඳ දැකීමෙන් නව මාසය ඇරඹේ. ඒ අනුව මුස්ලීම් සමාජය උපවාස රකින ‘රමලාන්‘ නම් මාසය උදාවීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. මේ උපවාසය මුස්ලීම් නොවන බහුතර පිරිස් අවබෝධ කොට සිටින්නේ ‘මුස්ලීම්වරුන් නිරාහාරාව කිසිවක් පානය නොකොට දවසේ වැඩි කාලයක් ගෙවාදැමීමයි මේ උපවාසය කියන්නේ’ යනුවෙනි. මුස්ලීම් නොවන ප්‍රජාව පමණක් නොව අවාසනාවකට සමහරක් මුස්ලීම්වරුන් පවා‍ මේ උපවාසය අවබෝධ කොට සිටින්නේ එලෙසමය. මෙවන් සමාජ පසුබිමක, සැබැවින්ම මේ උපවාසය එසේ නිරාහාරව සිටීම සදහාම ද? යන්න විමසා බැලීම කාලීන වශයෙන් වැදගත් මාතෘකාවකි. විශේෂයෙන් මෙය මුස්ලීම් සමාජය බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතු සාකච්චාවට බඳුන් කලයුතු අත්‍යඅවශ්‍ය මාතෘකාවකි. මෙසේ මා පැවසීමට තවත් හේතුවක් ද ඇත. එනම්, මේ රමලාන් මාසය තුල සමහරක් මුස්ලීම්වරුන්ගේ ක්‍රියා කලාපයන් දෙස බලන විට මුස්ලීම් නොවන සහෝදර ජනයා ඉහත සදහන් ආකාරයට ‘මොවුන් නිරාහාරව හා කිසිවක් පානය නොකර සිටිනවා මිස මේ තුලින් ඔවුන් කිසිවක් දිනාගෙන නැත’ යනුවෙන් සිතනවා හැර වෙන කිසිදු වෙනසක් ඔවුන් තුල දක්නට ද නොමැති තරම්ය.

ඇත්තෙන්ම මේ උපවාසය මුස්ලීම්වරුන් වන අප තුල කුමන ආකාරයේ බලපෑමක් ඇති කලයුතුද?.

මෙහිදී  මුහම්මද් (සල්) තුමාණන් විසින් මුස්ලීම් සමාජයට කල අවවාදාත්මක දිව්‍යමය වදනක් මේ හොහොතේ ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

‘ආහාර පානයන්ගෙන් වැලකී සිටින ගමන් මුසාවන් පැවසීමත්, නිශ්පල ක්‍රියාවන් හි නිරතවීමත් කවුරුන් අත් නොහරින්නේ ද එවන් මිනිසුන්ගේ උපවාසයෙන් අල්ලාහ් (දෙවි)ට කිසිදු පලක් නොවේ. උපවාසය යනු (ආවර්ණයකි) පලිහකි. එමනිසා උපවාසයේ නිරත වන කිසිවකු උචිත නොවන කථාබහවල හෝ පහත් ක්‍රියාවන් හි නිරත නොවිය යුතුය. උපවාසයේ නිරතව සිටින කෙනෙකුට එරෙහිව කවුරුන් හෝ (රණ්ඩු දඹර වැනි…) සීමාව ඉක්මවා ක්‍රියා කිරීමට උත්සාහ කලේනම්, උපවාසයේ නිරතව සිටින්නා ‘මම උපවාසයේ නිරතව සිටින්නෙමි‘ යනුවෙන් පැවසිය යුතුය.‘ යනුවෙන් නබිතුමාණන් පවසන ලදී

මූලාශ්‍ර ග්‍රන්ථය – හදීස්

ඉහත හදීසයේ සදහන් කාරණයන්ට අනුව මුස්ලීම්වරුන් නිරතවන උපවාසය ආහාර පානවලින් ඔබ්බට ගිය එකක් බව අවබෝධ කරගැනීම අපහසු නොවේ. එසේම ඉහත හදීසය තුල සදහන් තවත් වැදගත් කාරණයක් ඇත. එනම්, මෙහි නබිතුමාණන් ‘උපවාසය යනු පලිහකි‘ යනුවෙන් සදහන් කිරීමයි. මේ පිලිබදව තරමක් ගැඹුරින් අවධානය යොමු කරන්නේ නම්, එම උපවාසවය නම් පලිහ ප්‍රධාන ආකාර 04 කට මිනිස් දිවිය තුල ක්‍රියාත්මක වන බව සදහන් කල හැක. (මෙම කරුණු මීට ඉහත මෙම අඩවිය තුල උපවාසය පිලිබදව කථා කල ලිපි තුල විග්‍රාහ කොට ඇත. එවන් ලිපි පහතින් ඔබට කියවීමට පුළුවන). එනම්,

  • මානසික ආවර්ණයක්
  • ශාරීරමය ආවර්ණයක්
  • සමාජීයමය ආවර්ණයක්
  • ආර්ථිකමය ආවර්ණයක්

මේ ලොව ජීවත්වන සෑම මනුෂ්‍යෙයකුටම තම දිවිය තුල සතුට පවත්වාගෙන යාමට නම් ඒ සදහා ඉහත ආවර්ණයන් 04 අනිවාර්‍ය අවශ්‍යතාවයකි. එම ආවර්ණය ඉස්ලාම් පවසන උපවසාය තුලින් පහසුවෙන් ලඟකර ගැනීමට හැකිවීම ආහාර පානවලින් වැලකී සිටීමට වඩා සුවිශේෂි අංගයක් යන්න දැන් ඔබට පැහැදිලි වියයුතුය. මෙවන් වූ උතුම් උපවාස මාසය වසරක් පාසා අප වෙත එන අතර මෙවරත් එය අප සමීපයට නැවතත් පැමිණ ඇත. ඒ සදහා අපගේ සූදානම කුමක් ද?, ඒ සදහා මුස්ලීම්වරයෙකුගේ සුදානම කවර ආකාරයට පැවතිය යුතු ද? යන කාරණයන් පිලිබදව දැන් අවධානය යොමු කරන්නේ නම්, එහිදී  මුහම්මද් (සල්) තුමාණන් විසින් ලබාදුන් ආදර්ශය මුස්ලීම් සමාජයට ඉතා වැදගත් වේ. ඒ අනුව දිව්‍යමය වදන් කිහිපයක් මෙහිදී ඔබේ අවධානයට ගෙන එන්නේ නම්,

අනස් (රලි) තුමාණන් මෙසේ පවසයි

‘රජබ් මාසය ඇරඹුනේ නම්, නබිතුමාණන් මෙසේ පවසයි. එනම්, ‘යාඅල්ලාහ් (දෙවියනේ), මේ රජබ් හා ශාබාන් (රජබ් මාසයෙන් පසුව එන රමලාන් මාසයට පෙර මාසයයි ශාබාන් මාසය) මාසයන් හි අපට (ඔබගේ) භාග්‍යයන් පහල කරන්න. අපව උතුම් වූ රමලාන් (මාසයට) රුගෙන යන්න‘ යනුවෙන් පවසයි.

මූලාශ්‍ර ග්‍රන්ථය – තබරානි හා අහමද්

උතුම් වූ රමලාන් මාසය අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මේ ආකාරයට මඟ බැලුවා නම්, ඔබත් මාත් කොතරම් බලාපොරොත්තු ඇතුව සූදානමකින් යුතුව එය මඟ බැලිය යුතුද?. එවන් උතුම් වූ මාසය උදාවට දින කිහිපයක් තිබිය දී එහි මහිමය පිලිබදව අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් පවසන තවත් දිව්‍යමය ආදර්ශයකට ඔබේ අවධානය යොමු කරන්නේ නම්,

සල්මාන් අල් ෆාරිස් (රලි) තුමාණන් මෙසේ පවසයි.

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් (රමලාන් මාසයට පෙර මාසය වන) ශාබාන් මාසයේ අවසාන දිනයේ දී ‘මනුෂ්‍යයනි!, අති උතුම් වූ මාසයක් නුඹලා වෙනුවෙන් උදාවී ඇත. මෙම මාසය තුල තමා මාස 1000කට වඩා උතුම් වූ (ලෙයිලතුල් කද්ර් නම්) රාත්‍රියක් (සැඟවී) තිබෙන්නේ. මෙම මාසයෙහි දහවල් කාලයේ උපවාසය රුකීම අනිවාර්‍ය වේ. අධික ලෙස වන්දනාමාන කටයුතුවල රාත්‍රී කාලයේ කැමැත්තෙන් නිරතවීම යහපත් වේ. එක් යහපක් ක්‍රියාවක් ඉටුකොට අල්ලාහ් (දෙවි)ගේ කැමැත්ත දිනාගැනීම රමලාන් නොවන මාසයන් හි අනිවාර්යයෙන් ඉටුකරන කුසලකට සමාන වේ. මෙම මාසය තුල අනිවාර්‍ය කුසල ක්‍රියාවක් ඉටුකිරීම රමලාන් නොවන මාසවල ඉටුකරන කුසලට ලැබෙන කුසල මෙන් 70 ගුණයක් හිමිවේ. මේ මාසය තමා ඉවසීම සදහා වූ මාසය වන්නේ. එම ඉවසීමට ලැබෙන කුලිය ස්වර්ගයම වන්නේය.

මෙම මාසය අධික ලෙස දුප්පතුන්, අසරණයන් හා රෝගීන් හමුවී ඔවුන් සමඟ දුක සැප බෙදා ගැනීමට සුදුසුම මාසය වන්නේ. මේ මාසය විශ්වාසවන්ත මුස්ලීම්වරයෙකුගේ ආහාරපාන, ඔහුගේ මිලමුදල් වර්ධනය වී ඔහුට (දෙවි) භාග්‍යයන්ද හිමි වන්නේ. කවුරුන් උපවාසයෙන් මිදෙන උපවාසකරුවන්ට ඒ සදහා ආහාරපානවලින් සංග්‍රහ කොට සහය දක්වන්නේ ද ඔහුගේ පාපායන් දෙවියන් සමා කරන්නේය. ඔහුව අපා ගින්නෙන් ද ආරක්ෂා කරනු ලබන්නේය. එකම එක රටඉදි ගෙඩියක්, වතුර උගුරක් හෝ කිරී උගුරක් එසේ (උපවාසයෙන් මිදෙන්නට) ලබාදුන්න ද එයටත් අල්ලාහ් (දෙවි) කුසල් ලබාදෙන්නේය. මෙම මාසයේ ආරම්භ දින 10 ය දේව කරුණාව පිරි දිනයන් වේ. මැද දින 10 ය පව් සමා කිරීමට අදාල දිනයන් වේ. අවසාන දින 10 ය නිරයෙන් මිදෙන්නට සහය වන දිනයන් වේ.

කවුරුන් එක් වහල්ලෙකු නිදහස් කිරීමට සහය වන්නේ ද, අල්ලාහ් (දෙවි) ඔහුට සමාව ලබා දී නිරයෙන් නිදහස් වීමට සහය වන්නේය. නුඹලා හමුවේ කරුණූ 04 ක් වර්ධනය කරගන්න. එයින් කරුණු දෙකක් තුලින් නුඹලාට අල්ලාහ් (දෙවි) සතුටු කල හැක. අනික් කරුණු දෙක අත්හැර නුඹලාට ජීවත්වීමට නොහැක. අල්ලාහ් (දෙවි) සතුටු කරවන එම කරුණු දෙක වන්නේ ‘අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැතැයි සාක්ෂි දැරීම හා ඔහුගෙන් පව් සමාව අයදීම‘ය. නුඹලාට නැතුවම බැරි කරුණු දෙක වන්නේ ‘අල්ලාහ් (දෙවි)ගෙන් ස්වර්ගය ඉල්ලා සිටීම හා නිරයෙන් ආරක්ෂාව පැතීම‘ය. මුස්ලීම්වරයෙකු උපවාසයෙන් මිදෙන මොහොතේ ඔහුට කවුරුන් හෝ ජලය ස්වල්පයක් ලබාදෙන්නේ ද විනිශ්චය දිනයේ දී ඔහුට අල්ලාහ් (දෙවි), නබිතුමාණන් සිටින (‘කව්සර්‘ නම්) ජලාශයෙන් ජලය පිරිනමන්නේය. එය ඔහුව ස්වර්ගයට පිවිසෙන තුරු පිපාසය මුදාගන්නේය‘ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – හදීස්

ඉහත හදීසයන් හොදින් බුද්ධිමත්ව විමසා බලන්නේ නම් රමලාන් මාසය මුස්ලීම් සමාජයට කොතරම් වැදගත් මෙන්ම තීරණාත්මක මාසයක් ද? යන්න පහසුවෙන් වටහාගත හැක. මේ උතුම් වූ මාසය අප නිසි ආකාරව ප්‍රයෝජනවත් කර ගැනීමට නම්, ඒ සදහා අදික ලෙස කුසල් රුස් කිරීමට උනන්දු වන ගමන් අකුසල්වලින් දුරස් වීමටත් සැලකිලීමත් වියයුතුය. ඒ සදහා අල්ලාහ් (දෙවි)ගේ භාග්‍යය සමස්ථ ලෝකවාසී මුස්ලීම් ප්‍රජාවටම හිමිවේවා!, යයි යහමග අඩවිය ප්‍රාර්ථනා කරමින් මෙම ලිපිය අවසන් කරමි.

  • නව සඳ උදාව පිලිබදව වූ ඉඟිය පහතින් බලන්න…
සඳ හි වර්ථමාන තත්වය

අබූ අර්ෂද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. Dammika 2012-07-23 at 00:59

    wwwlankacnewscom/sinhala/foreign-news/70799/

    • abuarshed 2012-08-01 at 01:05

      ධම්මික සහෝදරයා කවදත් ඉස්ලාම් දෙස බලන්නේ, රටේ ලෝකේ මුස්ලීම්වරුන‍්ගේ ක්‍රියා කලාපය හෝ ආගමික වියරුවෙන් හා ජාතිවාදී වියරුවෙන් මඩවාදී බ්ලොග් පවත්වාගෙන යන පිරිසගේ කරුණූ අනුව යන්න කලින් කලට ඉදිරිපත් කරන අදහස් දැක්වීම අනුව පැහැදිලිය. මෙය සම්පූර්ණයෙන් වැරදි ක්‍රමවේදයක් යන්න නැවත වරක් අවධාරණය කරමින් ඔහු ඉහත (තවත් ජාතිවාදී (විශේෂයෙන් ඉස්ලාම් විරෝධී) වෙබ් අඩවියකින්) ඉදිරිපත් කරන කාරණය වෙත යොමු වෙමි.
      කුමක් හෝ හේතුවක් නිසා ඉහත බ්ලොගය මේ මොහොතේ අක්‍රිය වී ඇතත් එහි සදහන් වූ කාරණ්‍ය වන්නේ ‘…අරාබි ද්වීපයේ උපවාසයේ නිරත නොවන පිරිස් සදහා මෙවර එම රට නීතිමය පියවර ගන්නට සූදානම් වන බවයි…’ මෙහි සත්‍ය අසත්‍යතාවය මොහොතකට පසෙක තබා මෙවැනි ක්‍රියා මාර්ගයන් පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න අවධානය යොමු කලේනම්, ඉස්ලාම් දහම ඉස්ලාමීය රාජ්‍යයක් තුල පවා අනිකුත් ආගමිකයන් සමඟ ඉතා සුහඳව ගනුදෙනු කල දහමක් බව මීට දින කිහිපයකට පෙර මෙම අඩවිය තුල ඉදිරිපත් කල ආගම් ප්‍රචාරයත් ආගමානුකූල විය යුතුයි යන ලිපියෙන් පැහැදිලිව අවබෝධ කරගත හැක. නබිතුමාණන්ගේ වසර 23ක මෙහෛවර තුල මෙවැනි අන්තවාදී ක්‍රියා මාර්ගයන් දක්නට නැත. මේ නිසා එවැනි අන්තවාදී ක්‍රියාවල කිසිවකු නිරත වන්නේ නම් එය ඉස්ලාම් නොවනවා පමණක් නොව එය අකුසල් ගෙනදෙන කාරණයක් බව ප්‍රථමයෙන් අවබෝධ කර ගතයුතුය. මන්ද ‍අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ පවා සදහන් කරන්නේ ‘මේ දහම තුල බලකිරීමන් නොමැත’ යනුවෙනි.
      දැන් අරාබි ද්වීපයේ මෙවැනි තීරණයක් ක්‍රියාත්මක කරන්නට යන බවට ප්‍රචාරයන් දියත් කරන පිරිස් පැහැදිලිව අවබෝධ කරගත යුතු කාරණයක් නම්, එය කිසිදු දිනක ප්‍රායෝගිකව කල නොහැකි ක්‍රියා මාර්ගයක් යන්නයි. මන්ද අද වනවිට විවිධ වූ ආගමික පිරිස් විශාල වශයෙන් වෙසෙන රටක් බවට මේ අරාබිද්වීපය පත්ව ඇත. එවැනි රටක් තුල මෙවැනි දෑ ක්‍රියාවට නැංවීමට යනවා යන්න ඊනියා භීතියක් පමණි. අනික අරාබි ද්වීපය ඉස්ලාමීය නීතිය 100% ක්‍රියාවට නංවන රටක් නොවේ අද වනවිට විවිධ වූ අනාචාරයන් එම රට තුල බින්න බැස ඇත. මේ කිසිවක් පිලිබදව අවබෝධකර නොගෙන බහුතරය මුස්ලීම්වරුන් වෙසෙන නිසාම ‘ඉස්ලාම් මෙහෙමයි’ යනුවෙන් ප්‍රචාර ගෙනයෑම අනවබෝධයකි. මෙය වඩාත් හොදින් පැහැදිලි කරනවා නම් පසුගිය දිනක මියන්මාරයේ ඉස්ලාමීය දේවස්ථානයක් භික්ෂූන් වහන්සේලා විසින් විනාශ කල බවට රෑපරාමු සහිතව අන්තර්ජාලයේ ප්‍රචාරය වුනා මේක පදනම් කරගෙන ‘බුදුදහම එහෙමයි’ යනුවෙන් මා ප්‍රචාරයක් කලේනම් එයට ධම්මික සහෝදරයා එකඟද?. ඔබ කාලයක් මුළුල්ලේ ‘යහමඟ’ අඩවිය පිලිබදව අවදියෙන් සිටින බුද්ධිමත් සහෝදරයෙක් එවන් ඔබ පටු අරමුණූවල කොටු නොවී බුද්ධිමත් තර්ක විතර්ක ඉදිරියටත් ඉදිරිපත් කලයුතු යන්න මාගේ අවංක ප්‍රාර්ථනයයි

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *