උපන් දින සැමරීම හා නබිතුමාණන්ගේ ජන්ම දිනය විමසුමක්

1

මුළුරටම ‘මීලාදුන් නබි’ හෙවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ ජන්ම දිනය සමරා හමාර කර සිටින මේ මෙහොතේ කවදත් ඉස්ලාම් දහම තුලින් කාලීන මාතෘකාවන් කථා කරන යහමඟ අද දින ‘උපන්දින සැමරීම හා මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය’ යන මාතෘකාව ඉස්ලාමීය ඇසින් විමසා බැලීමට අදහස් කරමි. බොහෝ විට යහමඟ අඩවිය තුල මෙවැනි මාතෘකාවන් එනම්, මුස්ලීම්වරුන්ට පමණක් විශේෂිත වූ මාතෘකාවන් සාකච්චා නොකලත් මෙම මාතෘකාව මෙහි සාකච්චා කිරීමට මූලික වු කරුණු රාශියක් ඇත. එවැනි කරුණු කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • ශ්‍රී ලංකාව තුල අන් කවරදාකටත් වඩා මෙවර නබිතුමාගේ උපන්දිනය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබීම,
  • මේ නිසාම විවිධ ජාතීන් අතර එය පුළුල් සංවාදයකට භාජනය වී තිබීම,
  • අන්තර්ජාලය තුල ඉස්ලාම් දහමට විරුද්ධව අන්තවාදීව හා වියරුවෙන් ක්‍රියා කරන වෙබ් අඩවීන්වල හා බ්ලෝග්වල පසුගිය දින කිහිපයේ ප්‍රධාන මාතෘකාව මෙය වීම
  • මේ දිනය නිමිති කොට ජාතික පුවත්පත්වල පලවූ දේශපාලන ප්‍රකාශ වෙත අවදානය යොමු කිරීම
  • මෙම විෂය පිලිබදව මුස්ලීම් සමාජයට මෙන්ම මුස්ලීම් නොවන සමාජයට පවතින අවම දැනුම
  • මේ සියල්ල හමුවේ අප රටේ බහුතර මුස්ලීම් ප්‍රජාව කුල්මත් වී ගොස් ඉමහත් ප්‍රීතියෙන් හා හඳපිරි සතුටින් මෙම උත්සවය සැමරීම සදහා යොදාගත් උපක්‍රම

මෙවැනි කරුණු රාශියක් මූලික කරගෙන මෙම මාතෘකාව පිලිබදව කෙටි අවධානයක් යොමු කිරීමට මෙහි අදහස් කරන අතර ඒ සදහා පිවිසුමක් ලෙස ආරම්භයේ ශුද්ධ වූ කුර්ආන් පාඨයන් දෙකක් ඔබගේ අවධානයට ගෙන ඒමට කැමැත්තෙමි. එනම්,

‘නියත වශයෙන්ම ඔබ (අපගේ) දූතයන් (වක්තෘවරුන්) අතුරින් කෙනෙකු වන්නේය. සෘජු (යහපත්) මාර්ගයේ සිටින්නේය.’

ශුද්ධ වූ කුර්ආන් 36-3,4

‘මෙම නබිවරයා (වක්තෘවරයා) හමුවේ නුඹලාට (ජනතාවට) අලංකාර ආදර්ශයන් ඇත්තේය.’

ශුද්ධ වූ කුර්ආනය 33-21

මෙම මාතෘකාවට යොමුවීමට පෙර අවබෝධ කර ගතයුතු කාරණයක් ඇත. ඒ මුස්ලීම්වරුන් තම ප්‍රාණයට වඩා ආදරය හා ගෞරවය දක්වන මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ කුමක් පවසනවා ද? යන්නයි. ලොව කිසිදු මනුෂ්‍යයකුට කිසිදු දිනක ලබා නොදුන් ආකාරයේ සහතික දෙකක් අල්ලාහ් දෙවියන් මුහම්මද් (සල්) තුමාණන් හට ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයෙන් ලබාදෙයි. ඒ,

  1. එතුමාණන් සෘජු මාර්ගයේ ඇති දූතයකි,
  2. ලොව අලංකාරම ආදර්ශය එතුමා සතුයි,

ඉහත දෙකෙන් කවුරුන් කුමක් ප්‍රතික්ෂේප කලත් ඔහු මුස්ලීම්වරයෙකු නොවනවා යන්න ඉස්ලාමීය ඉගෙන්වීම වන අතර එම කාරණය පිලිබදව කිසිදු මුස්ලීම්වරයෙකුට විරුද්ධ මතයක් නැත. එය සමස්ථ මුස්ලීම් සමාජයම එකහෙලා පිලිගන්නා සත්‍යයකි. නමුත් ගැටළුව ඇත්තේ මේ පිලිගන්නා කාරණයන් කොතරම් දුරකට බුද්ධිමත් ලෙස ජීවිතයට ගෙන පිලිපදිනවාද? යන්නයි. තවත් සරලව මෙය පැහැදිලි කරනවා නම්, “මුස්ලීම් සමාජයට ‘ඉස්ලාම් දහම උපන්දින සැමරීම අනුමත කරනවාද?, එය ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශයක්ද?’ ” යන ප්‍රශ්නය යොමු කලේනම්, ඉස්ලාම් දහම පිලිබදව අල්ප දැනුමක් ඇති පිරසකගේ පවා එකහෙලා පිලිතුර වන්නේ ‘කිසිසේත්ම නැත’ යන්නයි. එම දිනය පිලිබදව බුද්ධිමත් විමසුමක් කරන්නේ නම්, එය සැමරිය යුතු දිනයක් නොවන බව අවබෝධ කර ගැනීම අපහසු නොවේ. දිනෙන් දින මරණය කරා පියනඟන මිනිසා වයස අවුරුද්දකින් වැඩි වෙනවා යන්න ඔහු අවුරුද්දකින් තවත් මරණයට ලඟා වුවා යන්නයි. මෙය සැබැවින්ම සතුටට කාරණයක් නොවේ.

මෙවැනි හේතූන් රාශියක් පැවසිය හැක. ඒ අනුව මෙවැනි සැමරීම් බුද්ධිමත් ක්‍රියාවන් නොවේ යන්න සරල කාරණයකි. . මේ නිසාම ඉස්ලාම් එවැනි ආදර්ශයක් මුස්ලීම් සමාජයට පෙන්වා දී නැත. මේ අනුව උපන්දින සැමරීම පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න මා මීටත් වඩා පැහැදිලි කිරීම අවශ්‍ය නොවනු ඇත. මන්ද එය සමස්ථ මුස්ලීම් සමාජයම ඒකමතිකව පිලිගන්නා කාරණයක් ද වන බැවිණි. මෙසේ එම විෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය පැහැදිලි ලෙස අවබෝධ කරගෙන සිටින මුස්ලීම් සමාජය තුල මතභේදයක් ඇති වන අවස්ථාවක් ඇත.  ඒ මුහම්මද් (සල්) තුමාණන් මූලික කරගත් ‘මීලාදුන් නබි’ හෙවත් එතුමාගේ උපන්දිනය සැමරීම යන කාරණයේදීය. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව පොදුවේ කිසිවකුගේ උපන්දිනය සැමරීමට ඉස්ලාම් දහම තුල අවසර නොමැත යනුවෙන් පවසන විට, සමහරක් මුස්ලීම්වරුන්ට ඇති වන ජනප්‍රිය ගැටළු දෙකක් ඇත. එනම්,

  • මුස්ලීම්වරුන් උපන්දින සැමරීම සිදු නොකලයුතු බව සැබෑවක් වුවත් අප අපගේ ප්‍රාණයට වඩා ආදරය දක්වන උතුම් මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දින සමරන්න ඇයි බැරි ?
  • මුස්ලීම්වරුන් වන අප අපගේ ප්‍රාණයට වඩා ගරු කරන අල්ලාහ් (දෙවියන්) පවා ශුද්ධ වූ කුර්ආනයේ ප්‍රසංශාත්මකව කථා කරන උතුම් වූ මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය සැමරීමේ ඇති වරද කුමක්ද?

මෙය බැලූ බැල්මට සාධාර්ණ වූ තර්කයක් බවට ඔබටත් සිතෙන්න පුළුවන. මන්ද අද ලොවෙහි සමහරක් පුද්ගලයන්ගේ ජන්ම දින ඉමහත් උත්සවාකාරයෙන් සැමරීම අප දැක් ඇත්තෙමු. නමුත් ඔවුන් ලෝකයට හෝ සමාජයට කර ඇති මෙහෙවර සැලකූවට එය ඉතා අල්ප වූ එකකි. නමුත් ඔවුන්ගේ ජන්ම දිනය විටෙක දිනගන්න සමරණ අවස්ථාවන් ද අප දකින්නෙමු. එවැනි පිරිසට සාපෙක්ෂව මුහම්මද් (සල්) තුමාණන්ගේ උපත සැලකූ විට එතුමාණන්ගේ උපන්දිනය සැමරිය යුතුම දිනයක් යන්නෙහි මනුෂ්‍යයන් වශයෙන් අපට විවාදයක් නැත. නමුත් මෙම විෂය ඉස්ලාම් දහම හා බැදුනු කාරණයක් වන නිසා මෙහිදී තීන්දු තීරණ ගතයුත්තේ ‘වහී’ හෙවත් දේව පණිවුඩ (ඉස්ලාමීය ඉගෙන්වීම) මත හිදය. දේව පණිවුඩය මත ගොඩනැඟුණූ දහමක තීන්දු තීරණ ගැනීම අපගේ මනස හෝ සමාජ සම්ප්‍රදාය පදනම් කරගෙන සිදුකල නොහැක. එවැනි තීන්දු තීරණවලට එළඹීම ඉස්ලාම් දහම තුල අවසර ද නැත.

දිව්‍යමය මඟපෙන්වීමක් වන ඉස්ලාම් දහම තුල අප අලුතින් යමක් එක් කිරීම හෝ තිබෙන යමක් සංශෝධනයන් කිරීම තුලින් අදහස් කරන්නේ ‘දෙවියන්ට අතපසු වූ එසේත් නැත්නම් වඩාත් හොද තවත් කරුණූ දහමට එක් කිරීමට තිබෙන බවයි’. සර්වඥාන අල්ලාහ් (දෙවි)ගේ දිව්‍යමය සැලසුම්කරණයෙහි අඩුපාඩු දකින්නටත් ඊට වඩා හොද යයි නව ක්‍රියාවලියක් මුස්ලීම් සමාජයට හදුන්වාදීමට හෝ දහම තුල එකතු කිරීමටත් උත්සාහ කිරීම තුල ඔවුන් නොදැන හෝ සිදු කරන්නේ දේව සැලැස්ම අභියෝගයට ලක් කිරීමයි. මෙය ඉස්ලාම් දහම ‘ශිර්ක්’ හෙවත් මහා පාපයක් ලෙස හදුන්වයි. ඉස්ලාම් දහම පරිපූර්ණ වූ දහමකි. එය මීට වසර 1400 කට පෙර ශුද්ධ වූ කුර්ආනයේ 5-3 වාක්‍යය මඟින් මෙසේ අවධාරනය කරන ලදී. එනම්,

අද දින නුඹලාගේ දහම නුඹලා වෙනුවෙන් සම්පූර්ණ කරන ලදී.

ශුද්ධ වූ කුර්ආනය 5-3

මෙසේ ඉස්ලාම් දහම සම්පූර්ණ කලා යයි දෙවියන් අවධාරණය කලාට පසු කිසිවකු එහි නව එක් කිරීමන් හෝ සංශෝධනයන් සිදු කරන්න අදහස් කරන්නේ නම්, එයින් අදහස් කෙරෙන්නේ දහම පරිපූර්ණ නොවූ බවයි. මෙය ඉතා බරපතල තත්වයකි. එනම්, දේව පුස්තකය පමණක් නොව වක්තෘවරයාණන් (වන මුහම්මද් (සල්) තුමාණන්) හා අල්ලාහ් (දෙවියන්) ප්‍රතික්ෂේප කිරීමකි. මෙය ඉස්ලාම් දහමින් බැහැර වන කාරණයකි. මෙම කාරණයන් හොදින් මනසේ රදවාගෙන දැන් අපගේ මාතෘකාව වෙත යොමු වෙමු.

කිසියම් කාරණයක් ‘ඉස්ලාම්’ යයි පැවසීමට නම් ඒ සදහා ශුද්ධ වු කුර්ආනයේ හෝ නබිතුමාණන්ගේ ආදර්ශයේ (හදීසයේ) නියෝගයන් හෝ ආදර්ශයන් පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. ඒ අනුව ‘උපන්දින සැමරීම’ යන කාරණය විමසා බැලුවේ නම් ඒ සදහා එවැනි ආදර්ශයක් එහි දක්නට නොමැත. මෙය මෙම ලිපිය ආරම්භයේදීම සදහන් කලෙමි. ඒ අනුව ඉහතින් මතු කරන ගැටළුව වන මුහම්මද් (සල්) තුමාණන් සදහා එවැනි ක්‍රියාවක් කල නොහැකිද? යන කාරණය ද විමසා බැලිය යුත්තේ ඉස්ලාමීය ඉගෙන්වීමන් මූලික කරගෙනය. ඒ අනුව මේ පිලිබදව ඉස්ලාම් ආගමික මූලාශ්‍රයන් හි (ශුද්ධ වූ කුර්ආනයේ හෝ හදීසයේ) විමසා බැලුවේ නම්, ඒ සදහා වූ කිසිදු සාක්ෂියක් එහි හමු නොවේ. මනුෂ්‍ය දිවියේ අල්ප වූ කාරණයන් ලෙස සලකන කාරණා පවා එතුමාණණ්ගේ දිවිය මූලික කරගෙන ආදර්ශ පවසන ආගමික මූලාශ්‍ර තුල උතුම් වූ නබිතුමාණන්ගේ උපන්දිනය සැමරිය යුතු දිනයක් නම් ඒ පිලිබදව ද සටහන් වී තිබිය යුතුය. අද අප රටේ මුස්ලීම්වරුන් සදහා (ජාතික මට්ටමේ පිලිගන්නා) උත්සව දින තුනක් හදුනවා දී ඇත. නමුත් ඉස්ලාම් දහම, මුස්ලීම් සමාජයට උත්සව දිනය ලෙස හදුන්වා දෙන්නේ දින දෙකක් පමණි. එනම්,

  1. ඊදුල් ෆිතිර් – දුල්හජ් මාසයේ දහවන දිනය (හජ් අවුරුද්ද)
  2. ඊදුල් අල්හා – රමලාන් මාස අවසානයේ එන අවුරුද්ද (නොන්බි අවුරුද්ද)

මේ දෙකට අමතරව අප රටේ ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති ‘මීලාදුන් නබි’ හෙවත් නබිතුමාණන්ගේ උපන්දින සැමරීමට ඉස්ලාම් දහම තුල ආදර්ශයක් සපයා දී නැත. මෙය තවත් තහවුරු කරන ප්‍රධාන සාධකයක් ඇත. එනම්, මුහම්මද් (සල්) තුමාණන් වසර 63ක් මෙලොව ජීවත් වී ඇත. එම වසර 63 ඇතුලත කිසිදු දිනක උපන්දිනයක් සැමරූ බවට කිසිදු තැනක සටහන් වී නැත. එතුමාණන් වක්තෘත්වය ලැබීමට පෙර (එනම් වයස 40 දක්වා) කාලයේ පවා එවකට සමාජයේ අති ගෞරවයට පාත්‍ර වූ සුවිශේෂි පුද්ගලයකු ලෙස ජීවත් වූ එතුමාණන්ගේ ජීවිතයේ සුළු සිදුවීමන් පවා වාර්ථා වුවද එතුමාණන්ගේ උපන්දිනය සැමරූ බවට කිසිදු සාක්ෂියක් එහි දක්නට නැත. වක්තෘත්වය හිමිවීමෙන් අනතුරුව (එනම් වයස අවුරුදු 40 න් පසු) එතුමාණන් මුස්ලීම් සමාජයේ ඉහලම ගෞරවයට පාත්‍ර වූ කෙනෙකු බවට පත්විය. එසේම එම කාලවකවානුව එතුමාගේ ක්‍රියා, නියෝග හා අනුමත කිරීමන් යනාදී සියල්ල (මෙය ‘හදීස්’ ලෙස හැදින්වේ) ලේඛනගත වන වකවානුවක් ද විය. වසර 23 ක් වූ මෙම කාලය තුල එකදු උපන්දිනයක් හෝ එතුමාණන් සැමරූ බවට හෝ එම සමාජය සැමරූ බවට ආගමික මූලාශ්‍රයන් හි දක්නට නොලැබේ. නබිතුමාණන් විසින් පමණක් නොව එතුමා වෙනුවෙන් තම ප්‍රාණය පවා පූජා කිරීමට බලාසිටී උතුම් වූ සමාජය. එනම්, එතුමාණන්ගේ අනුගාමික (සහාභාවරුන්) පිරිස පවා එතුමාණන්ගේ උපන්දිනය සැමරූ බවට කිසිදු සාක්ෂියක් ඉතිහාසයෙන් හමුනොවේ. එතුමාණන්ගේ අභාවයෙන් පසුවද ශ්‍රේෂ්ඨ කලීෆාවරුන් (පාලකයන්) වන අබූබක්කර් (රලි), උමර් (රලි), උස්මාන් (රලි) හා අලි (රලි) තුමාණන්ගේ කාලයන්වල දී පවා එතුමාණන්ගේ ජන්ම දිනය සැමරූ බවට කිසිදු සාක්ෂියක් හමු නොවේ. එතුමාණන්ගේ උපන්දිනය පමණක් නොව එතුමාණන්ගේ අනුගාමිකයන් කිසිවකුගේ උපන්දිනයක් සැමරූ බවට ද කිසිදු සාක්ෂියක් හමු නොවේ. මේ අනුව උපන්දින සැමරුම නබිතුමාණන්ගේ වුවද එය ඉස්ලාම් පෙන්වා නොදෙන ආදර්ශයක් බව එම සමාජය පැහැදිලිවම වටහාගෙන සිටී බව පැහැදිලි වේ.

මා ඉහත සදහන් කාරණය වඩාත් හොදින් තහවුරු කරන කාරණයක් මෙහිදී සදහන් කලයුතුව ඇත. ඒ මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය එදා සමාජයේ හෝ ඊට පසුකාලීන සමාජයේ සැමරීමේ සම්ප්‍රදායක් පැවතුනේ නම්, එම (මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්) දිනය මතභේදාත්මක කාරණයක් විය නොහැක යන්නයි. සැබැවින්ම මුහම්මද් (සල්) තුමානන්ගේ උපන්දිනය මුස්ලීම් සමාජයේ මතභේදාත්මක කාරණයකි. ඒ පිලිබදව මුස්ලීම් සමාජය බුද්ධිමත් ලෙස විමසා බැලීම අවශ්‍ය වේ. එනම්,

මෙහිදී ද ප්‍රථමයෙන් අවබෝධ කර ගතයුතු කාරණයක් ඇත. එනම් මුහම්මද් (සල්) තුමාණන් සම්බන්ධයෙන් වූ ආදර්ශ, නියෝග හා අනුමත කිරීමන් (මෙය “හදීස්” ලෙස හදුන්වයි) ලේඛන ගත වන්නේ එතුමාණන් වක්තෘත්වයට පත්වුවායින් පසුවය. ඒ අනුව උපන්දිනය පිලිබදව පැහැදිලි ලිඛිත සාක්ෂි එහි හමු නොවේ. එසේම මුහම්මද් (සල්) තුමාණන්ට වක්තෘත්වය හෙවත් නබීත්වය හිමිවීමට පෙර පවා එතුමාණන්ට එම සමාජයේ ඉහල පිලිගැනීමක් ගෞරවයක් හිමිව තිබුණි. එ‍සේ වුවද එම සමාජයේ එය එතුමාණන්ගේ උපන්දිනය සැමරීමට තරම් සුවිශේෂි දිනයක් වී නැත. මේ හේතුව නිසා ද එතුමාගේ උපන්දිනය ‘පැහැදිලි සාක්ෂියක් නැති’ දිනයක් බවට අද පත්ව ඇත. මෙහිදී සදහන් කලයුතු වැදගත් කාරණයක් ඇත. එනම්, ‘එතුමාණන්ගේ උපන් දිනය අද මතභේදාත්මක වුවත්, උපන් වර්ෂය හා උපන් මාසය පිලිබදව මතභේදයක් නැත’ යන්නයි. එනම් එතුමාණන්ගේ උපන් වර්ෂය හා මාසය ඉතිහාසගත තොරතුරු පදනම් කරගෙන පැහැදිලිව නිර්ණය කිරීමට හැක. එය මෙසේය,

  • වර්ෂය නබිතුමාණන් ‘ඇත් වර්ෂයේ’ ඉපදුනු බවට හදීසයන් හි සදහන් වේ. ඉස්ලාමීය දින දර්ශනයක් ලොවට හදුන්වාදීමට පෙර වර්ෂයක් නම්කිරීම සදහා යොදාගත් උපක්‍රමය වන්නේ ඒ ඒ වර්ෂයන් හි සිදුවන සුවිශේෂි සිදුවීමන්ය. ඒ අනුව නබිතුමාණන් ඉපදුනු වර්ෂයේ අබ්බ්‍රහා නම් රජෙකු ශුද්ධ වූ දේව මැදුර වන කව්බාව (මක්කාවේ පිහිටි ලොව ප්‍රථම දෙව්මැදුර) විනාශ කිරීම ඇත් සේනාවක් යොදාගෙන උත්සාහ කරන ලදී. (මේ පිලිබදව විස්තර ශුද්ධ වූ කුර්ආනයේ “අල් ෆීල්” පරිච්ඡේදයේ සදහන් වේ) එම සිදුවීම පදනම් කරගෙන එම වර්ෂය ‘ඇත් වර්ෂය’ යනුවෙන් හදුන්වන අතර මෙම වර්ෂය නූතන ක්‍රිස්තු වර්ෂවලට අනුව 571 ලෙස ගනන් බලා ඇත.
  • මාසය — උපන් මාසය පිලිබදව පැවසීමේ දී නබිතුමාණන් රබියුල්අව්වල් (ඉස්ලාමීය දින දර්ශනයට අනුව 03 වන) මාසයේ ඉපදුනු බවට ඉතිහාසගත තොරතුරුවලින් හා හදීසයන් තුලින් පැහැදිලි සාක්ෂි දැකගත හැක.
  • දවස — නබිතුමාණන්ගේ උපන් දවස පිලිබදව ආගමික මූලාශ්‍රයන් තුල සොයා බලන විට ඒ පිලිබදව හදීස් දෙකක් ‘මූස්ලීම් හා අබීශෙයිබා’ නැමැති හදීස් ග්‍රන්ථවල හමුවේ. එහිදී නබිතුමාණන් පවසන්නේ ‘මම උපන්නේ සදුදා දිනයක’ යනුවෙනි.

මේ අනුව නබිතුමාණන් උපන් වර්ෂය ක්‍රි ව 571 යන්නත්, උපන් මාසය රබියුල්අව්වල් යන්නත්, උපන් දවස සදුදා යන්නත් තරමක් දුරකට හෝ පැහැදිලිය. ඒ අනුව දැඩි මතභේදයක් ඇත්තේ ‘උපන්දිනය කුමක්ද?’ යන කාරණය සම්බන්ධයෙන් පමණි. අද කිසියම් (ක්‍රිස්තු දින දර්ශනයට අනුව) කෙනෙකුගේ උපන් වර්ෂය මාසය හා දවස දන්නේ නම් ඔහු උපන්දිනය නිර්ණය කිරීම අපහසු කාර්යයක් නොවේ. නමුත් ඉස්ලාමීය දින දර්ශනයට අනුව එසේ තීන්දු කිරීම සිදුකල නොහැක. එයට ප්‍රධාන හේතුව ඉස්ලාමීය මාස නිර්ණය වන්නේ හඳ දැකීම අනුව වීමයි. (මේ පිලිබදව වැඩි විස්තර) ඒ අනුව මීට වසර දහසකට පෙර සිදුවූ සිදුවීමක් ඉස්ලාමීය දින දර්ශණයට අනුව නිර්ණය කල නොහැක. මීට වසර දහසකට පෙර නොව ලබන මාසයේ පලමු දිනය කවදාද යන්න පවා වර්ථමාන භාවිතයේ පවතින ලොව සම්මත දින දර්ශනයක් පදනම් කරගෙන නිර්ණය කිරීමට නොහැක. මන්ද මාසයේ ආරම්භය තීරණය වන්නේ හද හි නිරීක්ෂණය අනුව වීම නිසාය. මේ අනුව මීට සියවස් 13 කට පමණ පෙර ජීවත් වූ මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය අද නිර්ණය කිරීම කොතරම් සංකීර්ණ කාරණයක්ද? යන්න ඔබට වටහා ගැනීම අපහසු නොවනු ඇත. කෙසේ නමුත් ‘එසේනම් නබිතුමාණන්ගේ උපන්දිනය පිලිබදව සමාජය තුල මතවාදයක් පවතිනවා නොවේද?’ යන සැකය ඔබට දැන් ඇතිවිය හැක. එම නිසා ඒ පිලිබදව ද දැන් විමසා බලමු.

නබිතුමාණන් උපන් දිනය පිලිබදව විවිධ මත හා අනාවැකි ඉස්ලාමීය ඉතිහාසඥයින් හා විද්වතුන් ඉදිරිපත් කරයි. ඒවා පහත ආකාරයට වේ. එනම්,

අනාවැකි පවසන දිනය

12

18

10

08

17

22

09

02

එම අනාවැකිය පවසන සංඛ්‍යාව

2

2

2

6

1

1

1

1

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ මුස්ලීම් සමාජය තුල කථාබහට ලක්වන ජනප්‍රිය දිනයන්ය.  මීට අමතරව මෙවැනි තවත් අනාවැකි දින පැවතිය හැක. (මෙහි ඉහත දක්වා ඇත්තේ මාගේ අවධානයට හසුවූ දින කිහිපය පමණක් බවත් මීටත් වඩා පැවතිය හැකි බවත් කරුණාවෙන් සලකන්න) මෙහිදී ද සදහන් කලයුතු විශේෂ කාරණයක් ඇත. එනම් ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල නබිතුමාණන්ගේ උපන්දිනය රබියුල්අව්වල් මාස 12 වෙනිදා යනුවෙන් ජනප්‍රිය මතයක් පවතී. නමුත් ඉහත දින කිසිවකට ප්‍රබල සාක්ෂි කිසිවක් නොමැති බවත්, ඒ දින සියළු දින යම් යම් කරුණු කාරණා පදනම් කරගත් අනුමානයන් පමණක් බවත්, මෙහිදී වටහා ගතයුතුය. කෙසේ නමුත් ඉහත දින අතුරින් යම්තාක් දුරකට හෝ පිලිගත හැකි අනාවැකියක් ලෙස 18 දිනය පිලිබදව ඉස්ලාමීය විද්වතුන් මත පලකරයි. එයට හේතුව එම දිනය පිලිබදව අනාවැකි පවසන පුද්ගලයන් දෙදෙනා සුවිශේෂි පුද්ගලයන් දෙදෙනෙකු වීමයි. ඒ, ඉස්ලාමීය ඉතිහාසය වඩාත් නිවැරදිව මුස්ලීම් සමාජයට දායාද කල ඉතිහාසඥයින් අතර ප්‍රමුඛයන් දෙදෙනෙකු වන,

  • (ශුද්ධ වූ කුර්ආනයට විශිෂ්ඨ විවරණයක් ලියන ලද විද්වතෙකු වන) ඉබුනු කසීර් (රහ්) තුමා
  • (ශුද්ධ වූ හදීස් ග්‍රන්ථයක් වන බුහාරී හදීස් ග්‍රන්ථයට විශිෂ්ඨ විවරණයක් ලියන ලද විද්වතෙකු වන) ඉබුනු හජර් (රහ්) තුමාණන්

වීමය. ඒ අනුව නබිතුමාණන්ගේ උපන්දිනය පිලිබදව පවතින අනාවැකි අතර 18 යන්න ප්‍රබල තැනක් හිමිවේ. එසේ නමුත් නබිතුමාණන්ගේ ජීවිතය ආරම්භයේ සිට අවසානය දක්වා සවිස්තරව ඉදිරිපත් කරන ලොව ප්‍රකට ග්‍රන්ථය වන “අර්රහීකුල් මකුතූම්” නම් ග්‍රන්ථයේ නබිතුමාණන්ගේ උපන්දිනය ලෙස පවසන්නේ 09 වන දිනයයි. මෙවැනි පරස්පර කරුණුවලට අනුව පැහැදිලි වන එකම කාරණය නම් නබිතුමාණන්ගේ උපන්දිනය මුස්ලීම් සමාජයේ නොවිසදුණු පැනයක් යන්න පමණි.

මෙම මාතෘකාවට සෘජුවම අදාල නොවුවත් මෙහිදී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් නබිතුමාණන්ගේ උපන්දිනය සදහා පැහැදිලි සාක්ෂි ඉතිහාසයේ නොපැවතුනද එතුමාණන්ගේ මරණය සිදු වූ දිනය ආගමික මූලාශ්‍රවල පැහැදිලිව සදහන් වී ඇත. ඒ රබියුල්අව්වල් මාස 12 වන දිනයේදීය. වෙනත් ආකාරයකට පවසනවා නම්, අද අප රටේ මුස්ලීම් සමාජය නබිතුමාණන් ඉපදුනු දිනය යයි උපකල්පනය කරගෙන උත්සවාකාරයෙන් සමරණ දිනයයි. මේ අනුව අපැහැදිලි තත්වයේ පවතින උපන් දිනය යයි සමරණ දවසේ ස්ථීරවම එතුමානන්ගේ මරණය සිදුවූ බව නම් කිසිදු මතභේදයකින් තොරව පැහැදිලි කාරණයකි. ඒ අනුව රබියුල්අව්වල් මාස 12 වන දින සැමරීම උපන්දින සැමරුමකට වඩා මියගිය දින සැමරුමක් බව පැහැදිලිය.

මෙහිදී සදහන් කලයුතු තවත් කාරණයක් ද ඇත. එනම් මනුෂ්‍යයෙකුගේ උපත ඒ පුද්ගලයාගේ සුවිශේෂි බවක් මතු කර පෙන්වන සාධකයක් නොවේ. වැදගත් වන්නේ ඔහු උපතේ සිට මරණය දක්වා කුමක් කරනවාද? යන්නයි. නමුත් අවාසනාව ලොව සෑම සමාජයක්ම සිදුකලේ එවැනි සුවිශේෂි පුද්ගල චරිත හා ඉගෙන්වීම් ආදර්ශයට ගන්නවා වෙනුවට ඔවුන් වෙනුවෙන් විවිධ දින නිර්ණය කරගෙන උත්සව සැමරීම පමණි. අද ක්‍රිස්තුස් වහස්සේ (ඊසා (අලෛ) තුමා)ගේ ඉගෙන්වීමන් කිතුණු සමාජය නොදනී, නමුත් ඔවුන් මහා බැතියෙන් යේසූස් උපන්දින සමරයි. ගෞතම බුදුන්ගේ ඉගෙන්වීමන් බෞද්ධ සමාජය නොදනී, නමුත් ඔවුන් මහා බැතියෙන් බුදුන්ගේ උපන්දිනය සමරයි… ඒ ආකාරයටම මුහම්මද් (සල්) තුමාණන්ගේ ඉගෙන්වීමන් මුස්ලීම් සමාජය නොදනී නමුත් මහා බැතියෙන් එතුමාණන්ගේ උපන්දිනය සමරයි. මෙය එතුමාණන්ට කරන ගෞරවයක් ලෙසද සලකයි. මෙය පුද්ගලයෙකු හට ගෞරවය දක්වන සැබෑ ක්‍රමයක් නොවේ. උදාහර්ණයකට කෙනෙකු තම සමාජයට බොරු කියන්න එපා, මත්පැන් පානය කරන්න එපා, කාමයේ වරදවා හැසිරෙන්න එපා… යනාදී දේශනා කරන විට ඒ කිසිවක් නොපිලිපැද පසුකාලීනව එසේ දේශනා කල තැනැත්තාගේ ගුණවර්ණනා කරමින් ඔහුගේ ආදර්ශමත් හා යහපත් ඉගෙන්වීමන් පිලිබදව පවසමින් ඔහුගේ උපන්දිනය මහා ඉහලින් සැමරීම ඔහුට දක්වන සැබෑ ගරු කිරීමක් නොවේ. එහි ‘අප ඔහුට ගරු කරනවා!, ආදරය දක්වනවා!’ යයි පවසා ගත්ත ද කම් නැත. දැන් මොහොතක් බුද්ධිමත්ව සිතා බලන්න.

ඉස්ලාම් දහම සම්බන්ධයෙන් සැලකා බැලුවද ඉහත තත්වයේ වෙනසක් නැත. මුහම්මද් (සල්) තුමාණන්ගේ හෝ වෙන කිසිවකුගේ උපන් දිනය සැමරීමට ඉස්ලාම් දහම තුල කිසිදු ආදර්ශයක් හෝ අවසරයක් නොමැති බව මෙම ලිපිය ආරම්භයේදීම මා පැවසුවෙමි. එසේ තිබිය දී, එපමණක් නොව විශේෂයෙන් ‘මරියම්ගේ පුත් ඊසා (අලෛ) තුමාව කිතුණු සමාජය සීමාව ඉක්මවා සැමරුවා සේ නුඹලා මාහට එසේ නොකරන්න’ යයි මුහම්මද් (සල්) තුමාණන් පවසා තිබියදී. කිතුණුවන් යේසුස් (ඊසා (අලෛ)) තුමාණන්ගේ උපන්දිනය සමරණවා සේ අපත් නබිතුමාණන්ගේ උපන්දින සැමරණවා යයි පවසා ගන්නා ආකාරයට මුස්ලීම් සමාජයත් එය සිදු කරමින් සිටීම මුස්ලීම් සමාජයේ ආගමික අනවබෝධය මනාව පිලිඹිබු කිරීමකි. මුස්ලීම් සමාජයේ මෙම අනවබෝධය අවස්ථාවක් කරගෙන (ඉස්ලාම්) ආගමික විද්වතුන් යයි පවසා ගන්නා සමහරක් පිරිස් එය ආදායම් මාර්ගයක් කර ගනිමින් සිටීම ද මෙහි සදහන් කලයුතු කාරණයකි. මෙහි සදහන් කලයුතු තවත් විශේෂ වූ කාරණයක් ඇත. ඒ මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන් දිනය සමරණ බවට පවසමින් අප රටේ මුස්ලීම් ප්‍රජාව මීට වසර කිහිපයකට පෙර කටයුතු කල ආකාරය අද වනවිට ප්‍රබල වෙනස්වීමන්ට භාජනය වී ඇත. ශ්‍රී ලාංකීය මූස්ලීම් සමාජය මීට වසර කිහිපයකට පෙර ඉතා සරල ලෙස එනම්, මුහම්මද් (සල්) එතුමාණන්ගේ ගුණ වර්ණනා කවි ගායනයන්ට පමණක් සීමා වී තිබූ මෙම උපන් දින සැමරුම අද වන විට අන්‍ය ආගමික සම්ප්‍රදායන් පවා ගලපාගෙන එය වෙනම සම්ප්‍රදායක් බවට පරිවර්ථනය කරමින් ඇත. එයට සරල නිදසුන් කිහිපයක් පවසනවා නම්,

  • අන්‍ය ආගමික පිරිස් විවිධ සැණකෙලි අංග එක්කර පෙරහැර පවත්වනවා වෙනුවට මුස්ලීම් සමාජයත් අද වනවිට නබිතුමාණන්ගේ උපන්දිනය වෙනුවෙන් විවිධ සැණකෙලි අංග එක්කොට පෙරහැර පැවැත්වීමට පෙළඹී ඇත.
  • බෞද්ධ සමාජය වෙසක් කූඩු යොදා ගන්නවා වෙනුවට අපත් විවිධ හැඩවලින් යුක්ත කූඩු නිර්මාණය කර එල්ලා තැබීමට (ඔවුන්ගේ අටපට්ටම් කූඩු වෙනුවට අප තරු හා අඩ සද කූඩු) පෙළඹී ඇත.
  • අන්‍ය සමාජය දන්සල් පවත්වනවා වෙනුවට ඊට සමානව විවිධ අංග අපත් සිදුකිරීමට පෙළඹි ඇත.
  • අන්‍ය සමාජය මඟදෙපස හා නිවැස් විදුලි ලාම්පූ හා කොඩිවැල්වලින් සරසනවා වෙනුවට අපත් ඒ ආකාරයටම සිදුකිරීමට පෙළඹී ඇත.
  • අන්‍ය සමාජය තම දහම සංකේතවත් කරන කොඩියක් ප්‍රදර්ශනය කරනවා සේ ඉස්ලාම් දහම වෙනුවෙන් මේ දිනය මුල්කරගෙන කොඩියක් නිර්මාණය කිරීමට පෙළඹී ඇත.

මා ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ අප රට තුල විශේෂයෙන් මා ජීවත් වන ප්‍රදේශය තුල දකින්න තිබෙන තත්වයන්ය. මාගේ මෙම කරුණූ ඉදිරිපත් කිරීම දකින විට හා මේ ලිපිය කියවන විට මුස්ලීම් සමාජයේ පිරිසකට සතුටක් මෙන්ම තවත් පිරිසකට දුකක් ඇති වීමට පුළුවන. එසේම කිසියම් පිරිසකට මා කෙරෙහි වෛරයක් ඇති වන්නට පූළුවන. එසේ වන්නේ නම් ඒ ගැන මා අවංකවම සතුටු වෙමි. මන්ද ඉහතින් මා කියූ කුමන ප්‍රතිචාරය ඔබේ හඳවත තුල ඇති වුවත් ඒ තුල මතු වෙන්නේ මුහම්මද් (සල්) තුමාණන් කෙරෙහි ඔබේ හඳවතේ තිබෙන ආදරය හා ගෞරවය පමණක් වන නිසාය. නමුත් මා පවසන කාරණය අන්තවාදී නොවී බුද්ධිමත් ලෙස විමසා බැලීම සමස්ථ මුස්ලිම් සමාජයේ කාලීන අවශ්‍යතාවයක් බව නැවතත් ඔබට මා දැඩිවම අවධාරණය කරමි. ඒ අද දවස හෝ හෙට දවස ගැන සිතා නොව. ඉස්ලාමීය දහම පෙන්වාදෙන අලංකාර ආදර්ශයන් පසෙක දමා ආදර්ශ භංග වූ ජන කොට්ඨාශයක් මෙන් අන්‍ය ආගමික ආදර්ශයන් තම දහමට ගලපා ගැනීමේ අවාසනාවන්ත ඉරණම මෙතැකින් හෝ නැවැත්වීමේ අවශ්‍යතාවය ඔබට අවධාරණය කිරීමටය. මෙහිදී මුහම්මද්(සල්) තුමාණන් පැවසූ ශුද්ධ වූ නබිවදනක් ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

කවුරුන් තවත් ජන සමූහයක සම්ප්‍රදායන් පිලිපදින්නේද, ඔහු එම සමාජය නියෝජනය කල තැනැත්තෙකු ම වන්නේය.

සහෝදරවරුණි!, මා ඉහත ඉදිරිපත් කර ඇති හදීසය දෙස බලන්න. අද අප ඉස්ලාමීය ඉගෙන්වීමන් පසෙක දමා අනිකුත් ආගම්වල සම්ප්‍රදායන් වැලද ගනිමින් සිටිනවා නොවේද?. මා මෙහි ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ වර්ථමාන මුස්ලීම් සමාජයේ පවතින සම්ප්‍රදායන් කිහිපයක් පමණි. මීට අමතරව ඒ ඒ ප්‍රදේශවලට ආවේණික සම්ප්‍රදායන් කොතරම් නම් තිබෙනවාද? එසේ නම් ඉහත හදීසයට අනුව අපගේ ඉරණම කුමක් වන්නට පුළුවන් ද? දැන්වත් මේ පිලිබදව බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතු නොවේද?.

මෙහි දී ඔබේ අවදානයට ගෙන ආයුතු තවත් කාරණයක් ඇත. එනම්, අතීතයේ දක්නට නොවු ආකාරයට මෙම ‘මීලාදුන් නබි’ සැමරීම අප රටේ මේ ආකාරයට සීඝ්‍ර ලෙස වර්ධනය වීමට බලපෑ හේතුන් කුමක්ද? යන්නයි. එහිදී පලමු චෝදනාව එල්ල වන්නේ ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හා ආදර්ශයන් පිලිබදව නිසි අවබෝධයක් ඇති ආගමික විද්වතුන්ටයි. විෂය පිලිබදව අවබෝධයක් ඇති ඔවුන් නිසි ආකාරව සමාජය දැනුවත් කිරීමට අපහොසත්වීම එයට මූලික හේතුවයි. ඕනෑම මතවාදයක් තුල අන්ධ භක්තිකව කටයුතු කරන පිරිස් සිටීම සාමාන්‍ය තත්වයකි. එවැනි පිරිසට ඉස්ලාමීය ස්ථාවරය කියාදීමේ දී (එය නිසි ආකාරව සිදු නොකිරීමත්, ඒ නිසාම එය නිසි ආකාරව අවබෝධකර නොගැනීමත් නිසා) ඔවුන් අතර ඇති වූ නොසතුට හා විරසකය මෙලෙස සීඝ්‍ර වර්ධනයක් ලබන්න බලපාන මූලික හේතුවකි. මනුෂ්‍යා තුල බොහෝ විට දකින්නට තිබෙන වැරදි ගුණාංගයක් ඇත. එනම්, තමන් පූර්ණ දැනුමකින් තොරව අන්ධභක්තිකව කිසියම් මතවාදයක් දරණ විට එයට එරෙහිව කිසිවකු ක්‍රියා කිරීමට පෙළඹෙන්නේ නම්, එවිට තමන්ගේ තම මතවාදය තුල ඔහු තව තවත් දැඩි වේ. (මෙය සමාජය තුල එදිනෙදා අත්විදන සරල වූ තත්වයකි) ඒ අනුව එදිරිවාදිකම් වැඩි වනවිට අන් කවරදාකටත් වඩා ඉහලින් එය ඉටුකිරීමට උත්සාහ කරයි. එහි ප්‍රථිපලයක් ලෙස වර්ථමාන මෙම තත්වය මුස්ලීම් සමාජය තුල නිර්මාණය වෙමින් ඇත. නමුත් කිසියම් පුද්ගලයෙකු හෝ ජන කොට්ඨාශයක් කෙරෙහි නිර්මාණය වූ නොසතුට හා වෛරය නිසා මෙවැනි ක්‍රියාවන් හි නිරතවීම තමන්ගේ විනාශය තමන් විසින්ම නිර්මාණය කරගන්නා බව ඔවුන් අවබෝධ කරගන්න උනන්දු නොවෙති.

ඉහත කාරණයම තවත් දෘෂ්ඨියකින් ද බැලීම අත්‍යඅවශ්‍යය. එනම් අතීතයේ නොදුටු නොවිරූ ආකාරයට ඉස්ලාම් දහම ද, මුහම්මද් (සල්) තුමාණන් ද අප රට තුල ඉස්ලාම් විරෝධීන් අතින් දැඩිව විවේචනය වීමක් වර්ථමානයේ දක්න‍ට ඇත. මේ තත්වය තුල ද ඉහත තත්වය නිර්මාණය වන්නට පුළුවන. කෙසේ වෙතත් මුස්ලීම් සමාජයට පවසන්නට ඇත්තේ තවත් ජන කොට්ඨාශයකට ඇඟිලි දිගු කරනවා හෝ ඔවුනට පෙනෙන්න මහා ඉහලින් මෙම උත්සවය සැමරීම සිදුකරනවා නොව අප සිදුකල යුතුව ඇත්තේ. අප කරන මෙම ක්‍රියාවලිය ඉස්ලාමීය ඉගෙන්වීමන්ට කොතරම් අනුකූලව පවතිනවාද? යන්න විමසා බැලීමයි. එසේ නොමැතිව අප වියරුවෙන් හා වෛරයෙන් ‘මීලාදුන් නබී’ උත්සවය සමරුවේ නම් ඒ තුලින් එක් පසෙකින් අප අපගේ ඉදිරි පරම්පරාවට වැරදි ආදර්ශයක් පෙන්වාදෙන අතර තවත් පසකින් ඉස්ලාම් දහම පිලිබදව වැරදි ප්‍රතිරූපයක් ලෝකයට ලබාදීමයි. මේ සියල්ල තුලින් අවසානයේ ඉතිරි වන්නේ අකුසල් පමණි.

මෙහිදී සදහන් කලයුතු තවත් කාරණයක් ද ඇත. එනම්, මෙම ‘මීලාදුන් නබී’ හෙවත් නබිතුමාණන්ගේ ජන්ම දිනය සැමරීම සමස්ථ මුස්ලීම් ලෝකයම සිදුකරන පොදු ක්‍රියාවලියක් නොවේ යන්නයි. නබිතුමාණන්ගේ උපන් බිම වන (වර්ථමාන) සවුදි අරාබියේ මෙවැනි දිනයක් කිසිදු ආකාරයකට නොසමරයි. (ඉස්ලාමීය ආදර්ශයන් 100% ක් පිලිපදින රට සවුදි අරාබිය යන්න මින් අදහස් නොකෙරේ) එම රටෙහි මෙම දිනය රජයේ නිවාඩු දිනයක් ලෙසද නොපවතී. මෙවන් තත්වයක ශ්‍රී ලාංකීය සමාජය තුල මේ සදහා සුවිශේෂි ස්ථානයක් එනම් රජයේ නිවාඩුවක් හා එම උත්සවය සදහා රාජ්‍ය අනුග්‍රහය ලැබීම දේශපාලනමය ක්‍රියාවලියක් මිස ඉස්ලාම් දහම කෙරෙහි දේශපාඥයින්ගේ තිබෙන අවබෝධය, ගෞරවය, පැහැදීම… යනාදී කාරණයන් නිසා සිදු කරන්නක් යන්න නොවේ. විවිධ දේශපාලන පක්ෂවල නායකයින් මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය නිමිත්තෙන් ජාතික පුවත්පත්වල විවිධ ප්‍රකාශනයන් සිදුකර තිබූ ආකාරය අප දුටුවෙමු. එම ප්‍රකාශන මුස්ලීම්වරුන් වන අපට සතුටට කාරණයක් වුවද එහි සදහන් කරැණු එම දේශපාලඥයින්ට හා ඔවුන් නියෝජනය කරන පක්ෂවලට කොතරම් ප්‍රායෝගිකව එක් වී තිබෙනවාද? යන්න විමසා බැලුවේ නම් ඉහතින් මා සදහන් තත්වය පහසුවෙන් අවබෝධ කරගත හැක. එපමණක් නොව රජයට පක්ෂ සමහරක් අන්තවාදී ආගම්වාදී දේශපාලන පක්ෂ ඉස්ලාම් දහමට හා මුස්ලීම්වරුන්ට එරෙහිව රට තුල ක්‍රියාත්මක වන ආකාරය දැක දැකත් ඉහත දේශපාලඥයින් මුනිවත රුකීමත් ඔවුනට අනුබලදීමත් තුල (මේ පිලිබදව මේ යහමඟ අඩවිය තුල මීට පෙර සවිස්තරව කථා කොට ඇත) මෙයත් එක්තරා ආකාරයක සුළු ජාතීන් ඇන්දීමක් පමණක් බව මුස්ලීම් සමාජය බුද්ධිමත්ව හා පැහැදිලිව අවබෝධ කරගත යුතුය.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ඉස්ලාම් දහම ‘වහී’ හෙවත් දිව්‍යමය වදන් මත පදනම් වූ පරිපූර්ණ දහමකි. එහි කිසිවක් එක් කිරීමට හෝ අඩු කිරීමට අවශ්‍යතාවයක් ද නැත. ඒ සදහා කිසිවකුටත් බලයක් ද නැත. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට හදීසයක් ඔබේ බුද්ධීමත් අවදානයට ගෙන එන්නේ නම්,

එක්තරා සහාභිවරයෙකු (නබිතුමාගේ කාලයේ ජීවත් වූ එතුමාගේ සමකාලීනයෙකු) හමුවට පැමැණි අන්‍ය ආගමිකයෙකු ‘මොකද ඔබලාගේ දහමේ කෙල ගසන ආකාරයත් පවසනවානේ!’, යනුවෙන් (අපහසාත්මකව) පවසන ලදී. එයට එම සහාභිවරයා ‘කෙල ගසන ආකාරය පමණක් නොව වැසිකිලි කැසිකිලි යන ආකාරයත් පැහැදිලිව හා සවිස්තරව අපේ ආගම පවසනවා’ යනුවෙන් (ආඩම්භරයෙන්) පිලිතුරු දෙන ලදී.

සහෝදරවරුණි! මේ හදීසය බුද්ධීමත්ව විමසා බලන්න ඉස්ලාම් කුමක් පිලිබදව ද කථා නොකලේ. මනුෂ්‍යා හට අත්‍යඅවශ්‍ය කිසිවක් ඉස්ලාම් අතපසු කලේ නැත. එවන් දහමක් තුල අප අපගේ ප්‍රාණයට වඩා උතුම් ලෙස සලකන නබිතුමාගේ උපන්දිනය සැමරීම යන්න වැදගත් සාදකයක් නම් එය ඉස්ලාම් නොපවසා තියේවිදද? එය ඔබ බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුය. අවසාන ම වශයෙන් නැවතත් පවසන්නේ වැදගත් වන්නේ එතුමාණන් වෙනුවෙන් උත්සව පැවැත්වීම හෝ ගුණ වර්ණනා කිරීම නොව එතුමාණන් හැකි පමණින් තම ජීවිතයට ගෙන එය අනුගමනය කිරීමයි. එය වර්ථමානයේ කාලීන වශයෙන් දැවෙන අවශ්‍යතාවයක් ද වන අතර එය තමා එතුමාණන්ට කරන සැබෑ ගෞරවය ද වන්නේ.

(මෙම ලිපිය බුද්ධිමත් සංවාදයට විවෘතය)

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. Ami 2012-04-25 at 14:25

    ඉතාමත් වටිනා ලිපියක් සහෝදරයා. මෙවැනි ලිපි තව තවත් ලියන්න .සොහොන් වන්දනාව ගැන ඔබ ලියපු ලිපියත් කියෙව්වා. එයත් ඉතාමත් විශිෂ්ඨ ලිපියක්. අවාසනාවකට වගේ අපේ රටේ මුස්ලිම්වරු බොහෝ පිරිසක් ඉස්ලාම් යය සිතාගනිමින් ඉන්දියාව වගේ රටවලි වලින් ආපු නව එකතුකෙරීම් ( බිදාහ් ) හා ශිර්ක් ක්‍රියාවලට මුල් තැනක් දෙනෙව. ඔවුන් එම ක්‍රියාවල බරපතලකම වටහාගෙන නැ. එම නිසා ඔබට හැකි තරමින් තව තවත් ඒවා ගැන ලියන්ඩ. අපගේ මුස්ලිම් සමාජය “ශිර්ක් හා බිදාහ්” වලින් ගැලව ගැනීම අප හැමගේ යුතුකමක් .

පිලිතුරු අවලංගු කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *