උපවාසයේ නිමාව අභියස හිඳ ප්‍රාර්ථනාවක් එක් කරමු

2

අල්ලාහ් (දෙවි)ගේ අසීමිත භාග්‍යයන් රුගෙන අප හමුවට පැමිණි උතුම් වූ රමලාන් මාසයට සමුදෙමින් සමස්ථ මුස්ලීම් සමාජයට ම සතුට ගෙනදෙන ‘ඊදුල්ෆිතුර්‘ (අවුරුදු) උත්සව දිනයට පා නඟමින් සිටින්නෙමු. මාසයක් පුරාවට නිරාහාරව හිඳ එයින් අනතුරුව උදාවන ඒ සතුටුමත් දිනය ඉතාමත් උත්කර්ශවත් අන්දමින් සැමරීමට නන්අයුරින් සුදානම් වෙමින් හිඳින මේ මොහොතේ ‘යහමඟ‘ පාඨක ඔබේ අවධානයට කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. මාසයක් පුරාවට ආගමික විනයක් තුල ක්‍රියාකල අප ඉහත කාරණයට යොමුවීමට ප්‍රථම කලයුතු තවත් වැදගත් කාරණයක් ඇත. ඒ මාසයක් පුරාවට උපවාසයේ නිරත වූ අප ඒ තුල උගත් පාඩම් මොනවාද? යන්න හා එය අපේ ජීවිතවලට කොතරම් දුරකට ගලපාගෙන තිබෙනවාද? යන්නයි. තවත් සරලව පවසනවා නම් ‘ඒ උතුම් වූ මාසය පුරාවට අප නිරාහාරව සිටියාට වඩා යමක් ලඟා කරගෙන තිබෙනවාද? යන්න පිලිබදව ස්වයං අධ්‍යනයක සෑම මුස්ලීම්වරයෙකුම නිරතවීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් වී ඇත. උපවාසයක් තුලින් මුස්ලීම්වරයෙකු තම ජීවිතයට ලඟා කර ගතයුතු අංගයන් පිලිබදව මීට ඉහත ‘උගත් පාඩම් හා ඉදිරි ඉලක්ක‘ යන ලිපිය තුලින් හා ‘උපවාස සමයේ ජිහාදය සදහා පෙලගැසෙමු‘ යන ලිපිය තුලින් මෙම අඩවිය තුල ද කරුණූ සාකච්චා කොට ඇත. ඒ පිලිබදව ඔබේ බුද්ධිමත් අවධානය නැවත නැවතත් යොමු වියයුතු යන්න අවධාරණය කරන්නේ මේ ගෙවීයන දින කිහිපය එම අඩුපාඩු නිවරුදි කරගැනීමටත් එහි කිසියම් දුර්වලතාවයන් පැවතුනේ නම් එයට පිලියම් සෙවීමටත් සුදුසුම කාලය වන බැවිණී. විශේෂයෙන් තමන් දැන හෝ නොදැන සිදුවූ වැරදි හා අඩුපාඩු සදහා දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කිරීමත්, සදකා හා ෆිත්රා වැනි කටයුතුවල නිරතවීමත් ඉස්ලාම් අපට කියාදෙන විකල්ප ක්‍රමවේදයන් වේ. එම කාරණය ඔබේ අවධානයට තබමින් ඉහත මාතෘකාවට යොමු වන්නේ නම්,

මා ඉහතින් සදහන් කලාසේ ‘ඊදුල්ෆිතුර්‘ අවුරුදු උත්සවය මඟ බලමින් ඒ සදහා ලහිලහියේ හා ආඩම්භර ලීලාවෙන් සුදානම් වන විටෙක ඉස්ලාම් දහම අනුමත නොකරන ධනය නාස්ති වන සහෝදර සමාජවල උත්සව සංස්කෘතීන් ආදර්ශයට ගෙන රතිඥ්ඥා පිපිරවීම වැනි ක්‍රියාවන්ට පවා සූදානම් වන මේ මොහොතේ සෑම මුස්ලීම්වරයෙකුගේම දැඩි අවධානයට යොමු කලයුතු හා යොමු වියයුතු ක්ෂේත්‍රයක් පිලිබදව මෙහිදී ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. එනම් මේ ගෙවීයන්නේ ජාත්‍යන්තරය අභිබවා අප රට ද අප රට අභිබවා ජාත්‍යන්තරය ද මුස්ලීම්වරුන් එරෙහිව විවිධ එදිරිවාදීකම් දියත් කරමින් සිටින කාල වකවානුවකි. අප රට තුල මෙන්ම ලොව බොහෝ රටවල ජීවත් වන මුස්ලීම්වරුන්ට තමා ඉස්ලාමීය අනන්‍යතාවයෙන් පෙනිසිටීමට හෝ ‘තමා මුස්ලීම්වරයෙකු‘ යයි පවසා ගැනීමට පවා නොහැකි සමාජ තත්වයක් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ඇත. අප රට තුල දියත් වූ එවැනි කුමණ්ත්‍රන කිහිපයක් මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ඇත. (එවැනි ලිපි කිහිපයක් අප රටේ දියත් වන මුස්ලීම් විරෝධී කුමන්ත්‍රණ යන මාතෘකාව තුලින් කියවීමට හැක) රටේ සුළු ජාතීන් සම්බන්ධයෙන් මෙලෙස කුමණ්ත්‍රන ක්‍රියාත්මක වෙද්දී සහා සමාජ වගකිවයුත්තන් හා රටේ බලධාරීන් මේ සියල්ල ඉදිරියේ මරනින්දේ පසු වෙද්දී මුස්ලීම්වරුන් ලෙස අපට කලහැකි යමක් මෙහි ඉතිරි වී තිබෙනවාද? යන්න ඔබට විටෙක සිතෙනු ඇත. නමුත් එසේ සිතා මේ සියල්ල මඟහැර යා නොහැක. මන්ද සෑම මුස්ලීම්වරයෙකුටම සහෝදර මුස්ලීම් සමාජය කෙරෙහි යුතුකම් හා වගකීම් රාශියක් ඉස්ලාම් දහම තුලින් පැවරී ඇති බැවිණි. මෙය තමා නබිතුමාණන් ඉතා අලංකාර ලෙස පහත ආකාරයට පැවසුවේ.

‘සැබෑ මුස්ලීම්වරයෙකු කිසිදු විටෙක (මුස්ලීම්) සමාජය භේද කිරීමට හෝ සමාජයෙන් බෙදී වෙන්ව සිටීමට හෝ අදහස් කරන්නේ නැත. මන්ද එක් මූමීන්වරයෙකු තවත් මූමීන්වරයෙකුට කැඩපතක් බඳුය. එසේම එක් මූමීන්වරයෙකු තවත් මූමීන්වරයෙකුගේ ශරීරය බඳුය.’ යනුවෙන් නබිතුමාණන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත හදීසය හොදින් මතකයේ රදවාගෙන ‘වර්ථමාන මුස්ලීම්වරුන්ගේ ඉරණම හා එයට අපගේ මැදිහත්වීම‘ යන කාරණය වෙත අවධානය යොමු කරන්නේ නම්, එහිදී පලමු හා වැදගත්ම අවශ්‍යතාවය එසේම ඉහත හදීසය මඟින් ද අවධාරණය කරන අවශ්‍යතාවය මුස්ලීම්වරයෙකු තම සහෝදර මුස්ලීම් සමාජය ‘කැඩපතක්‘ ලෙස හෝ ‘එකම ශරීරයක්‘ ලෙස සාමුහික හා සහෝදරත්ව හැඟීමෙන් දැකීම යන්නයි. එම හැඟීම අප තුල ගොඩනඟා ගැනීම සදහා උපවාස මාසය අපට බොහෝ අත්වැලක් විය. උපවාස මාසය පුරාවට (කියාමුල්ලෙයිල් නම්) සාමූහික රාත්‍රී වන්දනය, සාමුහික ආගමික වැඩමුළු, සදකාවන්, ෆිත්රාවන්… වැනි ආගමික ක්‍රියාවලියන් ගණනාවක් සාමූහිකව හා සහෝදරත්වයේ දෑත් දිගු කොට ක්‍රියාවට නැංවීම එවැනි කිහිපයකි. මේ ආකාරයට ආගමික විනයක් තුල ආදර්ශ ලද මුස්ලීම්වරයෙකු හට ලොවපුරා වෙසෙන ඉහතින් සදහන් ආකාරයට හිංසා පිඩාවලට ගොදුරු වී තැවෙන මුස්ලීම් සමාජය දෙස සහෝදරත්වයේ දෑසින් බැලීම අපහසු කටයුත්තක් නම් නොවේ. විශේෂයෙන් මාසයක් පුරාවට උපවාසයේ නිරතව එහි නිමාවට පැමිණි සිටින මේ මොහොතේ වර්ෂය පුරාවට, සමහරක් රටවල ජීවිත කාලය පුරාවට උපවාසය පමණක් ජීවිතය කරගත් පිරිසක් මේ ලෝකය තුල ජීවත් වන බව අප අමතක කලයුතු නොවේ. එපමණක් නොව මාසයක් පුරාවට නිරාහාරව සිටී අපට එවැනි පිරිසගේ කුසගින්න කෙබඳු එකක් වේද? යන්න පිලිබදව වෙනම විග්‍රහයන් ද අවශ්‍ය නොවේ. එසේම ලොවපුරා විවිධ රටවල වෙසෙන මුස්ලීම් ජනතාවට එරෙහිව ඉස්ලාම් විරෝධීන්ගේ ක්‍රියාකාරීත්වයන් හමුවේ විවිධ වූ තාඩන පීඩන මධ්‍යයේ ජීවත් වන මුස්ලීම් සමාජයට හෙට දවස පිලිබදව ද ඇත්තේ අවිනිශ්චිත තත්වයකි. විශේෂයෙන් රටේ ලෝකේ මුස්ලීම්වරුන්ට එරෙහිව දියත් වූ හා දියත් වෙමින් තිබෙන ඛේදවාචකයන් හා අනවශ්‍ය අතපෙවීමන් දකින, අසන හා විටෙක අත්විදින අපට ඒ පිලිබදව ද වෙනම විග්‍රහයන් අවශ්‍ය නොවේ. මා ඉහතින් සදහන් කලාසේ මේ සියල්ල තවත් සිද්ධීන් මාලාවක් ලෙස සලකා අද කථා කොට හෙට අමතක කර දැමිය නොහැක. අපගේ ශක්තීන්ට හැකි පමණින් මෙවැනි තත්වයට එරෙහිව මුස්ලීම් සමාජය මැදිහත් වියයුතුය. මෙසේ මා පවසන විට මුස්ලීම් සමාජයේ සමහරක් පිරිසට ගැටළුවක් මතුවෙනු ඇත. එනම්, අප රට තුල සිදුවන සමහරක් සිද්ධීන් සදහාම අපට මැදිහත් වීමට නොහැකිව තිබිය දී අපේ රටින් පරිභාහිරව සිදුවන සිදුවීමන්ට අප මැදිහත් වන්නේ කෙසේද? යන්න එම ගැටළුවයි.

මෙහිදී බොහෝ මුස්ලීම්වරුන්ට අමතක වී ගිය විටෙක ඔවුන් නොසලකා හරින නමුත් මේ සියල්ලට විසදුම් ලබාදෙන බලගතු අවි දෙකක් මුස්ලීම්වරුන් සතුව ඇත. එහි ප්‍රබල බව ඉතිහාසය පුරාවට ඉස්ලාම් තහවුරැ කොට පෙන්වා ඇත. වර්ථමාන මුස්ලීම් සමාජය අමතක කොට ඇති එම අවි දෙක නම්,

  • සමූහික ලෙස කටයුතු කිරීම,
  • දෙවියන්ගෙන් කරන ප්‍රාර්ථනය

ඉස්ලාම් දිව්‍යමය ආදර්ශය තුල ලබාදුන් ඉහත විසදුම පසෙක දමා අපගේ මනස වෙහෙසමින් විකල්ප ක්‍රම සොයමින් ඒ තුල මුස්ලීම් සමාජය ව්‍යාකූල තත්වයන්ට පත්වෙමින් ඇත. මුස්ලීම් සමාජය දෙස සාමූහික හා සහෝදරත්ව හැඟීමෙන් බැලීම යන්න ඉස්ලාම් බව ඉහත හදීසයට අමතරව තවත් බොහෝ දිව්‍යමය වදන් දැඩිව අවධාරණය කරන කාරණයකි. එම සහෝදරත්ව හැඟීම් තවදුරටත් වැඩිදියුණු කරගැනිමට මේ උපවාස සමය අපට මහත් රුකුලක් වූ ආකාරය ඉහතින් සාකච්චා කලෙමු. එසේනම් මේ උපවාසයේ නිමාවේ සිටින අපට ඉස්ලාම් හා මුස්ලීම් විරෝධීන්ට එරෙහිව යොදවන පලමු අවිය ලෙස ‘සහෝදරත්වයේ දෑත් දිගුකොට සාමූහිකව ක්‍රියා කිරීම‘ අපහසු කටයුත්තක් නොවේ. එසේම මනුෂ්‍යයෙකු දෙවියන් හා සෘජුව සම්බන්ධ වන ඔහුගේ ප්‍රාර්ථනාවන් සදහා දෙවියන් සෘජුවම මැදිහත් වන උපවාස මාසයේ නිමාවේ හිඳින මුස්ලීම්වරයෙකුගේ ප්‍රාර්ථනාව අති ප්‍රබල දෙවන අවියයි.  එහි ප්‍රබල බව අවබෝධ කර ගැනීම සදහා ඉස්ලාමීය ඉතිහාසය පුරාවට ඕනෑ තරම් නිදසුන් ඇත. එහි විශ්මිත ප්‍රථිපලය මනාව කියාපාන ඉස්ලාමීය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන සිදුවීමක් ලෙස ‘මක්කා ජයග්‍රහණය‘ සදහන් කල හැක. එය ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ සදහන් වේ.

මාගේ දෙවියණේ !, මාව යහපත් අයුරින් මේ තුලට පිවිසෙන්ට සලස්වන්න!, තවද යහපත් අයුරින් එයින් පිටවීමට සලස්වන්න!, තවද ඔබ හමුවේ සිට මා වෙත සහයෝගය ලබාදෙන ශක්තියක් ද නිර්මාණය කර දෙන්න!,

ශුද්ධ වූ කුර්ආනය 17-80

දේශයක එසේත් නැත්නම් ප්‍රදේශයක දිනාගැනීම එසේත් නැත්නම් ජයග්‍රහණය  කිරීම පිලිබදව කථා කරන විට බොහෝ විට සිත්තුල මැවෙන්නේ ලේ වගුරවමින් ජීවිත හා දේපල හානි සිදුකරමින් කරන අත්පත් කර ගැනීමකි. නමුත් මක්කා ජයග්‍රහණය එවැනි එකක් නොවේ. එය ඉහත ප්‍රාර්ථනාවට අනුව මුස්ලීම්වරුන්ට හිමි වූ ත්‍යාගයකි. මෙහිදී මුස්ලීම් සමාජයේ අවධානයට ගෙන ආ යුතු වැදගත් කාරණයක් ඇත. එනම්, ඉහත වාක්‍යය මක්කා ජයග්‍රහණය පිලිබදව කථා කලාත් එය එම කාලයට පමණක් වලංගු එසේත් නැත්නම් අදට වලංගු නොවන වාක්‍යයක් නම් නොවේ. ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් සර්ව කාලීනය. ඒ අනුව ඉහත වාක්‍යය මඟින් දෙවියන්ගෙන් කරන ප්‍රාර්ථනාව සදහා දෙවියන්ගේ මැදිගත්වීම මක්කා ජයග්‍රහණය තුල මනාව කියාපෑමක් පමණි. එසේ නොමැතිව එම වාක්‍යය එම සිදුවීම සදහා පමණක් යයි වැරදි අවබෝධයක් ඇති කර ගතයුතු නොවේ. එදා ඉස්ලාම් විරෝධීන් අත පැවතී මක්කාව කිසිදු ලේ වැගිරීමකින් තොරව ජයග්‍රාහණය කිරීමත්, අති බහුතරයක් වන ඉස්ලාම් විරෝධීන් සියළු අවිආයුධවලින් සන්නද්ධව සුළුතරය වන මුස්ලීම්වරුන්ට එරෙහිව සටන මෙහෙයවද්දී නිසි ආයුධ පවා නොමැතිව එම ‘බදුර්‘සටන ජයගැනීමත් ඉහත සදහන් ‘ප්‍රාර්ථනාව‘ නම් ආයුධයේ ප්‍රථිපලය මුස්ලීම් සමාජයට මනාව කියාපායි. ඉස්ලාම් දහම තුල මෙම  ‘දුවා‘ (ප්‍රාර්ථනා)ව පිලිබදව දීර්ඝ ලෙස කරුණූ සාකච්චා කොට ඇත. (ඉදිරියේ දී මෙම අඩවිය තුල ඒ පිලිබදව දීර්ඝ ලෙස කථා කිරීමට අදහස් කරමි) එදා මුස්ලීම් සමාජය විජයග්‍රාහණය කරා මෙහෙය වූ අංගයන් අතර මෙම ‘දූවා‘ හෙවත් ප්‍රාර්ථනාවට හිමි වූයේ ප්‍රධාන තැනකි. එය ඒ ආකාරයටම බලගතු තත්වයේ හා වලංගු තත්වයේ අප හමුවේ ඇත. එම ප්‍රාර්ථනාවන් ඉදිරිපත් කිරීමට සුදුසුම වකවානුව අප දැන් පසුකරමින් ඇත. එසේනම් මෙම තත්වයන් හොදින් අවබෝධ කොටගෙන එසේම සමස්ථ මුස්ලීම් සමාජයම මාසයක් පුරාවට නිරත වූ උපාවසය පෙරටු කරගෙන එක්සිතින් හා සමාජීය හැඟීමකින් යුතුව අපගේ අවංක වූ ප්‍රාර්ථනාව ලොවපුරා දුක්විදින තාඩන පීඩනවලට ගොදුරු වන මුස්ලීම් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ නම්, මේ ඉස්ලාම් විරෝධී එදිරිවාදිකම්වලට හා කුමණ්ත්‍රනවලට තිත තබන කාලය වැඩි ඈතක නොවේ. එය ඉහත 17-80 ශුද්ධ වූ වාක්‍යයට පසු වාක්‍යය ඉතා සරලව හා පැහැදිලිව මෙසේ පවසයි. එනම්,

සත්‍යය පැමිණ ඇත. අසත්‍යය විනාශ වී යනු ඇත. නියත වශයෙන්ම අසත්‍යය විනාශ වන්නේමය.

ශුද්ධ වූ කුර්ආනය 17-81

අවසාන වශයෙන් අවධාරණය කරන්නේ උපවාසයේ නිමාවේ මෙන්ම ඊදුල්ෆිතුර් වන්දනයේ අපගේ ප්‍රාර්ථනා අතර ට ලෝකවාසී මුස්ලීම් ජනතාවගේ නිදහස හා අයිතීන් වෙනුවෙන් අප සෑම කෙනෙකුම ප්‍රාර්ථනාවක් එක් කරන්නට අමතක නොකරමු. ඒ සදහා යාඅල්ලාහ් (දෙවියනේ)!, අපට සමාජීය හැඟීම පිරී විවෘත මනසක් ලබාදෙත්වා!, ඒ තුලින් ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයාට සාමකාමී ජීවිතයක් උදාවෙත්වා!, යන ප්‍රාර්ථනාවත්, සමස්ථ ලෝකවාසී මුස්ලීම් ජනතාවට උදාවන  ‘ඊද්දුල්ෆිතුර්‘ උත්සවය වෙනුවෙන් සුභ පැතුමත් එක් කරමින් මෙම ලිපියට විරාමය තබමි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. Hazmath 2012-09-01 at 23:34

    Anchor piti kiri nishpadanaye dee uru thel(Pig Fat) yoda ganna bawa mahata nila nowana aranchiyak labuni…mepilibadawa aththa naththa ma soya baluwada e pilibadawa soya ganeemata nohaki uni…me pilibadawa niwaradi thathu soya ganna thathu danaganna thuru anchor kiri piti bawithayen walkee sitiya youthu bawai mage adahasa… me pilibadawa soya bala samajaya danuwath karana lesa oben karunikawa illa sitimi..

    • abuarshed 2012-09-02 at 03:09

      මෙය කාලෙන් කාලෙන මතු වෙන කාරණයක් අද වෙළද පොලේ තිබෙන තරඟකාරීත්වයත් සමඟ මෙවැනි රාවයන් සමාජය තුල දියත්වීම සුලභ කාරණයක්. කෙසේ වෙතත් ඔබ පවසන කාරණය නොසලකා හැරිය හැකි තරම් සරල කාරණයක් නොවේ. නමුත් ඉස්ලාම් පවසන ‘හරාම් හලාල්’ යන්න අපගේ ශක්තියට යටත්ව පමණී. අප දන්නා පමණින් අප රටේ මෙම විෂය පිලිබදව හොද අවධානයකින් හිඳ ජනතාව දැනුවත් කරන ‘ජම්මියතුල් උලමා’ නම් සංවිධානයක් ඇත. එම සංවිධානය මෙම පිටි වර්ගය සම්බන්ධයෙන් ‘හලාල්’ සහතිකයක් ලබාදී ඇත්නම් එය පිලිගෙන ක්‍රියා කිරීමේ වරදක් ඇතැයි මා නොසිතමි. මන්ද ඔවුන් එම සහතිකය ලබාදීමේ දී අනුගමනය කරන ක්‍රමවේදය තරමක් දුරකට යහපත් එකක් වන බැවිණී. කෙසේ වෙතත් මෙය හරාම් යන්න පිලිබදව ඔබට පැහැදිලි සාක්ෂී ඇතොත් එසේත් නැත්නම් සැකයන් පවතිනවා නම් එයින් ඉවත්වීම තමා ඉස්ලාමීය ඉගෙන්වීම වන්නේ (ඔබ පවසන කාරණය පිලිබදව යහමඟ අවධියෙන්)

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *