උපවාසයේ නීති හා රීති

0

තවත් නොබෝ දිනකින් අප වෙත එළඹෙන්නේ රමලාන් මාස යයි. ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස වන මෙයට වෙනත් කිසිඳු මසකට ලබා නොදුන් විශේශත්වයක් දෙවි ලබා දී ඇත. එවැනි සුවිශේෂී මසක් ලෙස මෙම මස පත්ව ඇත්තේ මුළු මහත් මිනිස් සංහතියට යහමග වූ අල්කුර්ආනය නම් වූ දේව පණිවිඩය දේව වක්තෘ මුහම්මද් නබි (සල්) තුමාණන් හට පහළ වීම ආරම්භ වූයේ මෙම මස තුල නිසාය. පාරිශුද්ධ වූ අල්-කුර්ආනය මෙසේ පවසයි.

“شَهْرُ رَمَضانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدىً لِلنَّاسِ وَبَيِّناتٍ مِنَ الْهُدى وَالْفُرْقانِ فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَنْ كانَ مَرِيضاً أَوْ عَلى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلا يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللَّهَ عَلى مَا هَداكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُون

 “මෙම කුර්ආනය පහළ වූයේ රමළාන් මාසයේ ය. (මෙම කුර්ආනය) මානව වර්ගයාට යහමග පෙන්වයි. සත්‍යයෙන් අසත්‍යය බෙදා වෙන්කර පෙන්වයි. එබැවින් ඔබෙන් කවරෙකු හට එම මස හිමිවේද, ඔහු එහි උපවාසය රකිත්වා”

ශුද්ධ වූ කුර්ආනය 2-185

ඉහත පාරිශුද්ධ වැකියහි රමළාන් මස අල් කුර්ආනය නම් අසත්‍ය මාර්ගයෙන් යහමග බෙදා වෙන් කර පෙන්වන මිණුම් දණ්ඩය පහළ වූ බව පවසන අතරම, එසේ දෙවි අපට මෙම මස තුල යහමග ප්‍රධා‍නය කළ නිසා ඔහුට කෘතඥ වීම සඳහා මාර්ගයක් ද පවසයි. එය උපවාසය රැකීම වේ. කුර්ආනයේ තවත් තැනක උපවාස අනිවාර්ය කිරීමට හේතුව පවසන විට අල්ලාහ් මෙසේ පවසයි.

 يا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيامُ كَما كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

“ඔබලා බියබැතිමත් වීම පිණිස ඔබලාට පෙර සිටී අය කෙරෙහි උපවාසය අනිවාර්ය කළ ආකාරයටම ඔබලා කෙරෙහි ද උපවාසය අනිවාර්ය කර ඇත.”

(2-183)

ඉහත වැකි දෙක අවධානය කිරීමේදී අපට වටහාගත හැකි කරුණ නම් ප්‍රධාන හේතුන් දෙකක් මත අල්ලාහ් අපට උපවාසය අනිවාර්ය කිරීම වේ. එනම්

  1. අල් කුර්ආනය නම් යහමග අපට ලබාදුන් නිසා ඔහුට කෘතඥ වීම සඳහා
  2. අප බියබැතිමත් අය වීම සඳහා

උපවාසයේ ප්‍රධාන අරමුණ බියබැතිමත් කම අත්කරගැනීම වේ. නබි (සල්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.

قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ لَمْ يَدَعْ قَوْلَ الزُّورِ وَالعَمَلَ بِهِ، فَلَيْسَ لِلَّهِ حَاجَةٌ فِي أَنْ يَدَعَ طَعَامَهُ وَشَرَابَهُ»

“යමෙක් බොරුකීම හා වැරදි ක්‍රියා අත නොහරින්නේ නම් ඔහු කුසගිනෙන් හා පිපාසයෙන් සිටීම අල්ලාහ්ට අවශ්‍ය නැතැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.”

ග්‍රන්ථය – බුහාරී 1903,6057

ඉහත නබිවදනට අනුව පැහැදිලි වන කරුණ නම් උපවාසය තුලින් මිනිසා ලබාගත යුතු අභ්‍යාසය වන්නනේ බොරු කීම හා අනිකුත් සියලු වැරදි ක්‍රියාවලින් ඈත් වී සැදැහැවතෙකු වීමය. මේ ආකාරයට අපගේ උපවාසය අපව වැරදි ක්‍රියාවලින් ඈත් කර බියබැතිමත් අය වීමට නම් නබි (සල්) තුමාණන් පෙන්වා දුන් ආකාරයට උපවාසයේ නීතිරීති අපි නිවරදිව ඉගෙන ගෙන ඒ අනුව කටයුතු කළ යුතු වේ. මෙතෙන් සිටි උපවාසයේ නීතිරීති කුර්ආනයට හා සහීහ් හදීසයට අනුව සලකා බලමු.

සඳ දැක උපවාසය ආරම්භ කිරීම

ඉස්ලාම් දහම තුල උපවාස වර්ග දෙකක් ඇත. එනම්

  1. අනිවාර්ය උපවාසය
  2. සුන්නත් උපවාය

අනිවාර්ය උපවාසය යනු වැඩි වියටපත් සියළු දෙනාම අනිවාර්ය‍යෙන් ඉටුකළ යුතු, පැහැර හැරීම මහා පාපයක් වන උපවාසය වේ. මෙය ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස වන රමලාන් මාය පුරා මුස්ලිම් වරු ඉටුකරන උපවාසය වේ. ඉස්ලාමීය දින දර්ශනය සැකසී ඇත්තේ වන්ද්‍ර මාසයට අනුවයි. එනම් අමාවක දිනයෙන් පසු උදාවන පළමු නව සඳ පියවි ඇසින් දැකීම තුලින් මාසය ආරම්භ වේ. මේ ආකාරයට ඉස්ලාමීය දින දර්ශනයේ අටවන මස වන  ෂ:බාන් මස අවසානයේ එළඹෙන අමාවක දිනයෙන් පසු උදාවන නව සඳ පියවි ඇසින් දැකීම තුලින් රමලාන් මස උදාවන අතර එම රාත්‍රියේ සිට අනිවාර්ය උපවාසය පටන් ගත යුතුය.

නබි (සල්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.

“قَالَ أَبُو القَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «صُومُوا لِرُؤْيَتِهِ وَأَفْطِرُوا لِرُؤْيَتِهِ، فَإِنْ غُبِّيَ عَلَيْكُمْ فَأَكْمِلُوا عِدَّةَ شَعْبَانَ ثَلاَثِينَ»

“ඔබලා සඳ දැක උපවාසය රකින්න. ඔබලා සඳ දැක උපවාසය රැකීම අත්හරින්න. වලාකුලු නිසා (සඳ දැකීමට) අපැහැදිලිතාවයක් ඇති වුවහොත් ෂ:බාන් මස දවස් තිහකට සම්පූර්ණ කරන්න.

බුහාරී – 1909

උපවාසයේ වේලාව

සුබහ් වේලාවේ සිට හිරු බැසයන වේලාව තෙක් උපවාසයේ වේලාව වේ.

“ අළුයම නැමැති සුදු කඹය රාත්‍රීය නැමැති කළු කඹයෙන් පැහැදිලි වන තුරු ඔබලා අනුභව කරන්න, පානය කරන්න…”

(අල්කුර්ආන – 2:187)

සුභහ් වේලාවේ සිට හිරු බැස යන වේලාව දක්වා වූ කාලය තුල

  1. අනුභව කිරීම
  2. පානය කිරීම
  3. සංසර්ගයේ යෙදීම

යන ක්‍රියාවලින් වැලකී සිටීම උපවාසය වේ.

සහර් කිරීම

උපවාසය රැකීම සඳහා ෆජ්ර් වේලාවට පෙර ගනු ලබන ආහාරය සහර් ආහාරය වේ. මෙසේ උපවාසය රැකීමේ අරමුණින් ආහාර අනුභව කර සහර් කිරීම නබි (සල්) තුමා‍ණන්ගේ වැදගත් සුන්නතයක් වේ. නබි (සල්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.

قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «تَسَحَّرُوا فَإِنَّ فِي السَّحُورِ بَرَكَةً»

“ඔබලා සහර් කරන්න. ඇත්තෙන්ම සහර්හි බරක්(අභිවෘද්ධයක්) ඇත.

රාත්‍රීයේ වේලාසනින්ම සහර් නොකර සහර් කාලය පමා කිරීම ද නබිමග වේ. නබි (සල්) තු‍මාණෝ මෙසේ ප්‍රකාශ කළහ.

21312قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لَا تَزَالُ أُمَّتِي بِخَيْرٍ مَا عَجَّلُوا الْإِفْطَارَ، وَأَخَّرُوا السُّحُورَ»

උපවාසය අවසන් කිරීම ඉක්මන් කර, සහරය පමා කරන තුර මාගේ උම්මතය නොකඩවා යහපතේම සිටින්නෝය යැයි නබි (සල්) තුමාණෝ පැවසූහ.

(මුස්නද් අහ්මද් – 21312)

සහර් නීයතය

ඇතැම් අය සහර් වේලාවේ හෝ රාත්‍රීයේ උපවාසය රැකීමට නීයත් නමින් නවයිතු සව්ම කදින් ලෙස කටුන් උච්චාරණය කිරීමට පුරුදු වී සිටිති. මෙසේ කිසිඳු නීයතයක් නබි (සල්) තුමාණෝ කටින් ප්‍රකාශ කළ බවට කිසිඳු සාක්ෂියක් නොමැත.

නීයත් යනු සිතින් සිතීම වේ. තමා උපවාසය රකින බවට සිතින් ඉටාගත යුතුය. හදීස් වල කිසිඳු සාක්ෂියක් නොමැති වදන් පෙළක් මෙසේ උච්චාරණය කිරීම බිද්අත් නම් මහා පාපය වේ.

උපවාසයෙන් මිදීම

උපවාසයෙන් මිදෙන වේලාව හිරු බැස යන වේලාවයි. එනම් මහ්රිබ් වේලාව යි. මහ්රිබ් වේලාව උදාවීමත් සමග උපවායෙන් මිදීමට ඉක්මන් විය යුතු බව අප ඉහත සහර් වේලාව ප්‍රමද කිරීමට ඉදිරිපත් කළ හදීසයෙන් පැහැදිලි වේ. එම නිසා මහ්රිබ් අදානයත් සමග උපවාසයෙන් ඉක්මනින්ම මිදීම මගින් නබි තුමාගේ සුන්නාව අනුගමනය කළ යුතු අතර පරක්කු කිරීම සුන්නාවට පටහැනි ක්‍රියාවකි.

උපවාසය අවසන් කළ පසු නබි (සල්) තුමාණන් පාරායණය කළ බවට ඇතැම් දුආ හදීස් ග්‍රන්ථවල සඳහන් වන නමුත් ඒවා සියල්ල දුර්වල හදීස් වේ.

උපවාසය නිෂ්පල වන කරුණු

උපවාසය රකින කාලය තුල එනම් සුබහ් වේලාවේ සිට මහ්රිබ් වේලාව අතරතුර අනුභව කරීම, පානය කිරීම, හා සංසර්ගයේ යෙදීම යන ක්‍රියාවලින් එකක් සිදු කළහොත් උපවාසය බි‍‍ෙඳෙනු ඇත.

“ අළුයම නැමැති සුදු කඹය රාත්‍රීය නැමැති කළු කඹයෙන් පැහැදිලි වන තුරු ඔබලා අනුභව කරන්න, පානය කරන්න…”

(අල්කුර්ආන – 2:187)

යන අල් කුර්ආන් වැකියෙන් උපවාසය රකින වේලාව තුල අනුභව කිරීමෙන් හා පානය කිරීමෙන් උපවාසය බිදෙන බව පැහැදිලි වේ. බුහාරී ග්‍රන්ථයේ 1936 හදීසයට අනුව උපවාසය රකින වේලාව තුල සංසර්ගයේ යෙදීම මගින් උපවාසය බි‍ෙඳෙන බව පැහැදිලිවේ.

උපවාසය නිෂ්පල වන කරුණක් අමතකවීමෙන් කළහොත්…

උපවාසය බිදෙන කරුණක් අමතක වීමෙන් කළහොත් උපවාසය නොබිදෙයි. එම නිසා යමෙක් උපවාසය රකිමින් සිටින විට අමතක වීමෙන් අනුභව කළහොත් නැත්නම් පානය කළහොත් මතක් වූ වහාම එය නතර ‍කර එම උපවාසයම මහ්රිබ් වේලාව දක්වා සම්පූර්ණ කළ යුතුය. නබි (සල්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: «إِذَا نَسِيَ فَأَكَلَ وَشَرِبَ، فَلْيُتِمَّ صَوْمَهُ، فَإِنَّمَا أَطْعَمَهُ اللَّهُ وَسَقَاهُ»

“යමෙක් අමතක වී අනුභව කළහොත් නැත්නම් පානය කළහොත්  ඔහු එම උපවාසයම සම්පූර්ණ කරත්වා! මන්දයත් ඔහුව අනුභව කිරීමටත් පානය කිරීමත් සැලැස් වූයේ අල්ලාහ් ය.”

(බුහාරී – 1933)

දත් මැදීම

උපවාසය රකින වේලාවේ දත් මැදීමට කිසිඳු තහනමක් හදීස්වල සඳහන්වී නොමැත. එම නිසා උපවාසය රකින්නා දත්මැදීමෙහි කිසිඳු වරදක් නොමැත. දත් මැදීම නබි (සල්) තුමාණෝ අවධාරණය කර ඇති එතුමාගේ ප්‍රධාන සුන්නාවක් වේ.

රුධිරය ගැනීම

ශාරීරික සෞඛ්‍ය සඳහා අං වැනි දෑ භාවිතා කරමි ශරීරයෙන් ලේ ඉවත් කිරීම එදා සිටී අරාබි වරුන්ගේ සිරිතක් විය. මෙයට අරාබියෙන් හිජාමත් යැයි කියනු ලැබේ. පහත හදීසයෙන් පැහැදිලිවන්නේ නබි (සල්) තුමාණෝ උපවාසය රකිමින් සිටින විට මෙසේ හිජාමත් කළ බවයි.

عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا: «أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ احْتَجَمَ وَهُوَ مُحْرِمٌ، وَاحْتَجَمَ وَهُوَ صَائِمٌ»

“නබි (සල්) තුමාණෝ ඉහ්රාම් ඇඳ සිටින විට හිජාමත් කළහ. එසේම උපවාසය රකිමින් සිටින විටත් හිජාමත් කළහ.”

(බුහාරී – 1938)

මෙම හදීසය මගින් අපට ලබාගත හැකි ආදර්ශය වන්නේ යමෙකුට ලේ දන්දීමට අවශ්‍ය වුවහොත් ඔහු උපවාසය රකින විටත් ලේ දන්දීමට හැකි බවයි. එසේ ලේ දන් දුන් විට ඔහුගේ උපවාසය බි‍ෙඳෙන්නේ නැත.

උපවාසය නිෂ්පල වන කරුණක් ඕනෑකමින්ම කළහොත්…

යමෙක් අනුභව කිරීම පානය කිරීම හෝ සංසර්ගයේ යෙදීම වැනි උපවාසය නිෂ්පල වන කරුණක් අමතක වීමෙන් කළහොත් එයින් උපවාසයට කිසිඳු බලපෑමක් නොමැති බව දැනගත්තෙමු. නමුත් යමෙක් ඕනෑකමින්ම උපවාසය බි‍ෙඳෙන කරුණක් කරයි නම් එය මහා පාපයකි. එසේ කළ පුද්ගලයා ඒ වෙනුවට පහත සඳහන් කරුණු තුනෙන් එකක් කළ යුතුවේ.

  1. වහලෙකු වහල් භාවයෙන් නිදහස් කිරීම
  2. නොකඩවා මාස දෙකක් එකදිගට උපවාසය රැකීම.
  3. දුප්පතුන් හැට දෙනෙකුට ආහාර සැපයීම

ඉහත සඳහන් කළ කරුණු තුනෙන් එකක් ඉටුකළ විටයි, ඔහුට එම පාපයෙන් මිදිය හැක්කේ. පළමු කරුණ වන වහලෙකු නිදහස් කිරීම වහල් ව්‍යාපාරය අද නොමැති නිසා ඉටුකළ නොහැකිය. එදා අරාබියේ වහල් වෙළදාම සර්ව සාධාරණ දෙයක් විය. වහල්භාවය නැතිකිරීමට ඉස්ලාම් දහම ගත් එක් පියවරකි, මෙය. දැන් වහල්භාවය සහමුලින්ම තුරන් වී ඇති නිසා ඉතිර කරුණු දෙනෙක් එකක් තෝරාගැනීමට සිදුවේ. මෙයට පහත් සඳහන් හදීසය සාක්ෂි වේ.

1936أَنَّ أَبَا هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: بَيْنَمَا نَحْنُ جُلُوسٌ عِنْدَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، إِذْ جَاءَهُ رَجُلٌ فَقَالَ: يَا رَسُولَ اللَّهِ هَلَكْتُ. قَالَ: «مَا لَكَ؟» قَالَ: وَقَعْتُ عَلَى امْرَأَتِي وَأَنَا صَائِمٌ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «هَلْ تَجِدُ رَقَبَةً تُعْتِقُهَا؟» قَالَ: لاَ، قَالَ: «فَهَلْ تَسْتَطِيعُ أَنْ تَصُومَ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ» ، قَالَ: لاَ، فَقَالَ: «فَهَلْ تَجِدُ إِطْعَامَ سِتِّينَ مِسْكِينًا» . قَالَ: لاَ، قَالَ: فَمَكَثَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَبَيْنَا نَحْنُ عَلَى ذَلِكَ أُتِيَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِعَرَقٍ فِيهَا تَمْرٌ – وَالعَرَقُ المِكْتَلُ – قَالَ: «أَيْنَ السَّائِلُ؟» فَقَالَ: أَنَا، قَالَ: «خُذْهَا، فَتَصَدَّقْ بِهِ» فَقَالَ الرَّجُلُ: أَعَلَى أَفْقَرَ مِنِّي يَا رَسُولَ اللَّهِ؟ فَوَاللَّهِ مَا بَيْنَ لاَبَتَيْهَا – يُرِيدُ الحَرَّتَيْنِ – أَهْلُ بَيْتٍ أَفْقَرُ مِنْ أَهْلِ بَيْتِي، فَضَحِكَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى بَدَتْ أَنْيَابُهُ، ثُمَّ قَالَ: «أَطْعِمْهُ أَهْلَكَ»

“අපි නබි (සල්) තුමාණන් සමග අසුන්ගෙන සිටින විට,  එතුමාණන් වෙත මිනිසෙක් පැමිණ ‘අල්ලාහ්ගේ වක්තෘවරයාණෙනී! මම විනාශ වූවෙමි’යි කීය. ඔබට සිදුවූයේ කුමක්ද? යැයි නබි (සල්) තුමාණෝ ඔහුගෙන් ඇසුහ. මම උපවාසය රකිමින් සිටින විට මාගේ භාර්යාව සමග සංසර්ගයේ යෙදුනෙමි’යි ඔහු පැවසුවේ ය. නබි (සල්) තුමාණෝ ඔහුගෙන් ‘නිදහස් කිරීමට ඔබ සතුව වහලෙක් සිටී දැයි විමසුවේ ය. එයට ඔහු නැතැයි කීය. ‘නොකඩවා දෙමසක් උපවාසය රැකීමට ඔබට හැකි දැයි ඇසූහ. නොහැකි යැයි ඔහු කීය. දුප්පතුන් හැටකට ආහාර සැපයීමට හැකියාවක් තිබේ දැයි අසූහ. එයටත් ඔහු නැතයි කීය. එවිට නබි (සල්) තුමාණෝ (මදක් නිශ්ශබ්දව) සිටියහ. අපි මෙසේ සිටින විට රටඉදි සහිත ‘අරක්’(ගෝනියට ආසන්න ප්‍රමාණයක්) එකක් නබි (සල්) තුමාණන් හට ගෙනෙ‍න ලදී. එවිට නබි (සල්) තුමාණෝ ප්‍රශ්ණ ඇසූ පුද්ගලයා කොහිදැයි විමසූහ. එයට ඔහු මම යැයි පිළිතුරු දුන්නේය. “මෙ(ම රට ඉඳි තොග)ය ලබාගෙන සදකා කරන්න( දන්දෙන්න) යැයි පවසූහ. අල්ලාහ්ගේ වක්තෘවරයාණෙනී! මට වඩා දුප්පත් අයටද මම සදකා කළ යුත්තේ? මදීනා නගරයේ (කඵ ගල් පිරුණු) කඳු දෙක අතරෙහි මාගේ නිවැසියන්ට වඩා දුප්පත් වෙන කවුරුත් නැත යැයි පිළිතුරු දුන්නේ ය. එවිට නබි (සල්) තුමාණෝ තම වැඩි දත් ප්‍රමාණයක් පෙනෙන තරමට සිනාසූහ. පසුව ‘මෙය තම නිවැසියන්ටම අනුභව කරන්නට දෙන්නැයි පැවසූහ.

(බුහාරී – 1936)

ඉහත හදීසය උපවාසය රකිමින් සංසර්ගයේ යෙදුනු කෙනෙක් ගැන කතා කළද, උපවාසය රකිමින් ඕනෑකමින්ම අනුභව කළ පුද්ගලයෙකුටත්, පානය කළ පුද්ගලයෙකුටත් නීතිය එයම වේ.

උපවාසය රකිමින් සිටින විට තම භාර්යාව තුරුලු කර ගැනීමට හා සිපගැනීමට අවසර…

උපවාසය රකිමින් සිටින විට භාර්යාව තුරුලු කර ගැනීමට හා සිප ගැනීමට අවසර ඇති නමුත් එසේ කිරීම සංසර්ගය දක්වා යොමුකරයි නම්, එයින් වැළකී සිටිය යුතුය.

1927 عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا، قَالَتْ: كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يُقَبِّلُ وَيُبَاشِرُ وَهُوَ صَائِمٌ، وَكَانَ أَمْلَكَكُمْ لِإِرْبِهِ» ، وَقَالَ: قَالَ ابْنُ عَبَّاسٍ {مَآرِبُ} [طه: 18] : «حَاجَةٌ» ، قَالَ طَاوُسٌ: {غَيْرِ أُولِي الإِرْبَةِ} [النور: 31] : «الأَحْمَقُ لاَ حَاجَةَ لَهُ فِي النِّسَاءِ»

“නබි (සල්) තුමාණෝ උපවාසය රකිමින් සිටින විට (තම භාර්යාව) තුරුලු කරගන්නෝ ය, සිප ගන්නෝය. ඔබ අතුරින් තම (ශාරීරික) හැඟීම් වැඩියෙන්ම පාලනය කරගන්නා හැටියට එතුමාණෝ සිටියහ.”

(බුහාරී – 1927)

2387حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ، حَدَّثَنَا أَبُو أَحْمَدَ يَعْنِي الزُّبَيْرِيَّ، أَخْبَرَنَا إِسْرَائِيلُ، عَنْ أَبِي الْعَنْبَسِ، عَنِ الْأَغَرِّ، عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ رَجُلً سَأَلَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ الْمُبَاشَرَةِ لِلصَّائِمِ، «فَرَخَّصَ لَهُ» ، وَأَتَاهُ آخَرُ، فَسَأَلَهُ، «فَنَهَاهُ» ، فَإِذَا الَّذِي رَخَّصَ لَهُ شَيْخٌ، وَالَّذِي نَهَاهُ شَابٌّ

“උපවාසය රකිමින් සිටින්නෙකු තම භාර්යාව තුරුලු කර ගැනීම සම්බන්ධයෙක් මිනිසෙක් නබි (සල්) තුමාණන්ගෙන් ඇසුවේය. ඔහුට නබි (සල්) තුමාණෝ අවසර දුන්හ. තවත් කෙනෙක් අසූ විට ඔහුට අවසර නොන්නේ නැත. අවසර ලත් පුද්ගලයා මහලු මිනිසෙකි. අවසරය නොලත් පුද්ගලයා තරුණයෙකි.

(අබූ දාවූද් – 2387)

උපවාසය රකිමින් සිටින විට ස්නානය කිරීම

උපවාසය රකිමින් සිටින විට ස්නානය කිරීම කිසිඳු තහනමක් නොමැත. උපවාසය රකින්නාට අභිමත පරිදි ස්නානය කළ හැකි බව පහත සඳහන් හදීසයෙන් වටහාගත හැකිය.

2365عَنْ بَعْضِ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَمَرَ النَّاسَ فِي سَفَرِهِ [ص:308] عَامَ الْفَتْحِ بِالْفِطْرِ، وَقَالَ: «تَقَوَّوْا لِعَدُوِّكُمْ» ، وَصَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ أَبُو بَكْرٍ: قَالَ: الَّذِي حَدَّثَنِي لَقَدْ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْعَرْجِ يَصُبُّ عَلَى رَأْسِهِ الْمَاءَ، وَهُوَ صَائِمٌ مِنَ الْعَطَشِ، أَوْ مِنَ الْحَرِّ

නබි (සල්) තුමාණෝ උපවාසය රකිමින් සිටින විට අධික උෂ්ණත්වය ‍නිසා තම හිසට ජලය වත්කර ගැනීම මම දැක්කෙමියි සහාබිවරයෙක් පවසයි…

(අබූ දාවූද් – 2365)

ස්නානය අනිවාර්ය වූ විට උපවාසය රැකීම….

රාත්‍රීයේදී ස්නානය අනිවාර්ය වූකෙනෙක් සහර් වේලාවට නැගිට ස්නානය නොකරම සහර් කළ හැකිය. ස්නානය කිරීම අනිවාර්ය වන්නේ සලාතය සඳහා ය. ස්නානය කිරීම උපවාසයට අදාල කොන්දේසියක් නොවේ. සුබහ් සලාත ඉටුකිරීමට ස්නානය කිරීම ප්‍රමාණවත් වේ.

1931 -حَدَّثَنَا إِسْمَاعِيلُ، قَالَ: حَدَّثَنِي مَالِكٌ، عَنْ سُمَيٍّ، مَوْلَى أَبِي بَكْرِ بنِ عَبْدِ الرَّحْمَنِ بنِ الحَارِثِ بْنِ هِشَامِ بْنِ المُغِيرَةِ، أَنَّهُ سَمِعَ أَبَا بَكْرِ بْنَ عَبْدِ الرَّحْمَنِ، كُنْتُ أَنَا وَأَبِي فَذَهَبْتُ مَعَهُ حَتَّى دَخَلْنَا عَلَى عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ: «أَشْهَدُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنْ كَانَ لَيُصْبِحُ جُنُبًا مِنْ جِمَاعٍ غَيْرِ احْتِلاَمٍ، ثُمَّ يَصُومُهُ» ،

…නබි (සල්) තුමාණෝ සිහිනයෙන් නොව සංසර්ගය මගින් නෑම අනිවාර්ය වූ තත්ත්වයෙන් සුබහ් කාලය(උදය වරුව) ලබන්නෝය.පසුව උපවාසය රකින්නෝය යැයි ආඉෂා (රලි) තුමිය ප්‍රකාශ කළා ය…

(බුහාරී – 1931)

උපවාසය අතහැරීමට අවසර ලත් අය

වැඩිවියට පත් ස්ත්‍රී පුරුෂ සියළු දෙනො හට උපවාසය රැකීම අනිවාර්ය නමුත් තාවකාලිකව උපවාසය රැකීම අතහැර දැමීමට ඇතැමුන්ට ඉස්ලාම් දහම අවසර ලබාදී ඇත. ඔවුන් නම්

  1. මගීන්
  2. මාස් ශුද්ධිය ඇතිවූ කාන්තාවන්
  3. ගර්භණී මාතාවන් හා කිරි පොවන මාතාවන්
  4. රෝගීන්
  5. වයෝවෘදයන්

මෙම කාරණය යහමග අඩවිය මීට පෙර උපවාසය කවුරුන් සඳහාද යන මාතෘකාව යටතේ කුර්ආන් හදීස් සාක්ෂි සහිතව දීර්ඝ ලෙස සාකච්චා කර ඇති නිසා මීට වඩා මෙය සාකච්ඡා නොකෙරේ.

අතහැරුණු උපවාසය කලා කිරීම සඳහා වූ කාලවකාශය…

මගහැරුනු උපවාසය කොපමණ කලක් ඇතුලත කලා කල යුතුය යන්න පිළිබඳ ඉස්ලාම් කාල සීමාවක් ලබාදී නොමැත.ඕනෑම දවසක එය කලා කළ හැකි නමුත් මරණය කොයිවෙලේත් ඇතිවිය හැකි නිසා හැකි ඉක්මනින් කලා කිරීම යෝග්‍ය වේ. පහත හදීසයට අනුව ආයිෂා රළි තුමිය මගහැරුණු උපවාසය ඉටුකර ඇත්තේ ෂ:බාන් (එනම් අවුරුද්දකට ආසන්න කාලයකට පසු )මාසයේ බව පැහැදිලි වේ.

1950- حَدَّثَنَا أَحْمَدُ بْنُ يُونُسَ، حَدَّثَنَا زُهَيْرٌ، حَدَّثَنَا يَحْيَى، عَنْ أَبِي سَلَمَةَ، قَالَ: سَمِعْتُ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا، تَقُولُ: «كَانَ يَكُونُ عَلَيَّ الصَّوْمُ مِنْ رَمَضَانَ، فَمَا أَسْتَطِيعُ أَنْ أَقْضِيَ إِلَّا فِي شَعْبَانَ» ، قَالَ يَحْيَى: الشُّغْلُ مِنَ النَّبِيِّ أَوْ بِالنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

රමලාන් මස උපවාස කිහිපයක් මට (ඔසප් වීම නිසා) මගහැරේ. එවා ෂ:බාන් මාසයේ හැර මට කලා කිරීමට නොහැකිය යයි ආයිෂා (රළි) තුමිය පවසනු මට ඇසිනි……

(බුහාරී – 1950)

වෙනත් කෙනෙකු වෙනුවෙන් උපවාසය රැකීම

මව පියා හෝ වෙනත් ලඟ ඥාතියෙක් උපවාසය මග හැර කලා වූ තත්ත්වයක මිය ගියේ නම්, ඔහු හො ඇය වෙනුවෙනු උපවාසය රැකිය යුතුය යන්නට පහත හදීසය සාක්ෂි වේ.

1953 -حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الرَّحِيمِ، حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ عَمْرٍو، حَدَّثَنَا زَائِدَةُ، عَنِ الأَعْمَشِ، عَنْ مُسْلِمٍ البَطِينِ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ، عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: يَا رَسُولَ اللَّهِ إِنَّ أُمِّي مَاتَتْ وَعَلَيْهَا صَوْمُ شَهْرٍ، أَفَأَقْضِيهِ عَنْهَا؟ قَالَ: ” نَعَمْ، قَالَ: فَدَيْنُ اللَّهِ أَحَقُّ أَنْ يُقْضَى “،

“මිනිසෙක් නබි (සල්) තුමාණන් වෙත පැමිණ, අල්ලාහ්ගේ වක්තෘවරයාණෙනී! මා‍ගේ මව මසක උපවාසය අනිවාර්ය වූ තත්ත්වයේ මිය ගියාය. ඇය වෙනුවෙන් මම එය කලා කරන්නදැයි ඇසුවේ ය. ඔව් (ඉටුකරන්න!) ඉටුකිරීමට අල්ලාහ්ගේ නණ ඉතා යෝග්‍ය යැයි පිළිතුරු දුන්නහ.”

බුහාරී – 1953

 

ඉබුනු ජෙමීල්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *