උපවාසයේ මහිමය හා රමලාන් මාසය

0

මේ උදාවී ඇත්තේ ලොවපුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ නිරත වන මාසයයි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උතුම් වූ මාසයක් වන මෙම ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හේතූ ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට සුවිශේෂි මාසයක් වේ. ඉතිහාසය දෙස හැරී බලන විට ඉස්ලාමීය ලෝකයට දැඩිව බලපාන සුවිශේෂි සිදුවීම් ගණනාවක් සිදුව ඇත්තේ මේ රමලාන් හෙවත් උපවාස මාසයේදීය. විශේෂයෙන් ලෝක වාසී ජනයා හට යහමග දේශනා කරනු පිණිසත්, ඔවුනට සත්‍ය අසත්‍ය වෙන්කොට පෙන්වාදෙනු පිණිසත් පහල වූ දිව්‍යමය දේව පුස්තකය වන ශුද්ධ වූ කුර්ආනය පහලවීම ඇරඹුයේ ද මෙම රමලාන් (නම් උපවාස) මාසයේදීය. මේ එක් හේතුවම මෙම මාසය උතුම් වූ මාසයක් ලෙස සැලකීමට මුස්ලීම්වරුන්ට ප්‍රමාණවත් සාධකයක් වුවත්, ඉතිහාසමය වශයෙන් මෙන්ම ආගමික වශයෙන් මෙම මාසය සුවිශේෂි වීමට තවත් හේතු ගණනාවක් ද ඇත. එවැනි කිහිපයක් විමසා බලන්නේ නම්,

ඉතිහාසමය වශයෙන් වැදගත් වීමට හේතු…

  • හිජ්රි 02 වර්ෂයේ දී රමලාන් මාස 10 දින – සකාතුල් ෆිතුර් නම් දානය මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්‍ය විය,
  • හිජ්රි 02 වර්ෂයේ දී රමලාන් මාස 17 දින – මුස්ලීම්වරුන්ට එරෙහි ප්‍රථම මෙන්ම තීර්ණාත්මක යුද්ධය වන බදුර් සටන සිදුවිය,
  • හිජ්රි 05 වර්ෂයේ දී රමලාන් මාස 09 දින – ‘අස්හාබ්‘ නම් යුද්ධයට අවශ්‍ය සංවිධාන කටයුතු සිදුවිය,
  • හිජ්රි 08 වර්ෂයේ දී රමලාන් මාස 07 දින – නබිතුමාණන්ගේ උපන්බිම වන මක්කා ජයග්‍රහණය සිදුවිය,
  • හිජ්රි 08 වර්ෂයේ දී රමලාන් මාස 21 දින – ‘තබූක්’ නම් යුද්ධය සිදුවිය,
  • හිජ්රි 09 වර්ෂයේ දී රමලාන් මාස 08 දින – ‘හිම්යර්’ නම් ගෝත්‍ර ජනයා ඉස්ලාම් දහම වැලද ගැනීම සිදුවිය,
  • හිජ්රි 10 වර්ෂයේ දී රමලාන් මාස 19 දින – අබූතාලිබ්ගේ මරණය සිදුවිය,
  • හිජ්රි 40 වර්ෂයේ දී රමලාන් මාස 10 දින – ‘හවාරිජ්වරුන්’ විසින් අලි (රලි) තුමාව ඝාතනය කිරීම සිදුවිය,
  • හිජ්රි 57 වර්ෂයේ දී රමලාන් මාස 10 දින – නබිතුමාණන්ගේ බිරිද වන ආයිෂා (රලි) මව්තුමිය මරණයට පත්වීම සිදුවිය.
  • හිජ්රි 91 වර්ෂයේ දී රමලාන් මාස 19 දින – උමයියාවරුන් විසින් ‘ස්පේන්’ භූමිය ජයග්‍රාහණය කිරීම සිදුවිය,
  • හිජ්රි 309 වර්ෂයේ රමලාන් මාසයේ  ඉදිකිරීම ඇරඹූ ‘අල්අස්හර්’ දේවස්ථානය පසුකාලීනව ලොව විශාලතම විශ්වවිද්‍යාලය ලෙස පරිවර්ථනය විය.
  • හිජ්රි 524 වර්ෂයේ රමලාන් මාස 29 වන දින පැවතී කුරුස යුද්ධයේ දී ඔවුන් පරාද ‘සලාහුදීන් අයියූබි’ නායකත්වය යටතේ මුස්ලීම්වරුන් ජයග්‍රාහණය කරන ලදී.
  • කිසිදු දිනෙක පරාජකල නොහැකි බව පවසමින් සිටී ‘තාත්තාරියන්වරුන්’ මුස්ලීම්වරුන් විසින් පරාජය කලේ ද මේ රමලාන් මාසයේදීය.

ඉතිහාසමය වශයෙන් මිහිරි මෙන්ම අමිහිරි මතකයන් රාශියක් සටහන් කොට ඇති මේ රමලාන් මාසය මුස්ලීම්වරුන්ට ඉතා වැදගත් වන්නේ ආගමික වශයෙන් එහි ඇති වැදගත්කම නිසාමය. උපවාසය මුස්ලීම්වරුන්ට වැදගත් වන්නේ කෙසේද? යන කාරණය පිලිබදව මෙම අඩවිය තුල ලිපි ගණනාවකින්ම මීට ඉහත ද සාකච්චා කොට ඇත. සමීපතම නිදසුනක් ගෙන එන්නේ නම්, ‘උතුම් වූ මාසයේ උතුම් වූ වගකීම‘ යන ලිපිය සදහන් කලහැක. මේ ආකාරයට උපවාසයේ විවිධ අදියරයන් කථා කල ‘යහමග’ අඩවිය ‘මෙම උපවාසයේ මහිමය හා මුස්ලීම්වරුන්ට එය වැදගත් වන්නේ ඇයිද?’ යන කාරණය පිලිබදව මෙහිදී කෙටි අවදානයක් යොමු කරන්නේ නම්,

‘උපවාසය‘ යන්න ඉස්ලාම් පවසන අනිකුත් වැඳුම්පිඳුම්වලට වඩා තරමක වෙනස් ස්වරූපයක් ගන්නා දේව නැමදුමකි. නිදසුනක් ලෙස මුස්ලීම්වරයෙකු දිනපතා පස්වතාවක් කරන දේව නැමදුම වන ‘සලාතය‘ සැලකූවිට එය සියළුදෙනාට පෙනෙන්නට ඉටුකරන දකින ඕනෑම කෙනෙකුට පහසුවෙන් වටහාගත හැකි ක්‍රියාකාරකම් කිහිපයක් සහිත කටයුත්තකි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා මෙම අඩවියෙහි සලාතය නම් ගොනුව කියවන්න) සාලාතය පමණක් නොව සzකාතය සැලකුවත්, හජ් වන්දනය සැලකුවත් එය එසේමය. නමුත් කෙනෙකු උපවාසයේ නිරතවීම එවැන්නක් නොවේ. ඔහු ඔහුගේ මූලික අවශ්‍යතාවය වන ආහාර පානවලින් වැලකී තම හැඟීමන් පවා තමා විසින්ම පාලනය කරගැනීම උපවාසයයි. ඒ අනුව කෙනෙකු උපවාසයේ නිරතව සිටිනවාද? නැද්ද? යන්න දන්නේ අල්ලාහ් (දෙවි) සහා එම උපවාසයේ නිරතවන තැනැත්තා පමණි. ලෝකයාට වසන් ව තමන්ට රිසිසේ ආහාර පාන ගැනීමට ඕනෑ තරම් අවස්ථාවන් තිබිය දී කිසිවකු එයින් වැලකී එපමණක් නොව ඉස්ලාම් අනුමත නොකරන අනිකුත් දුර්ගුණාංගවලින් වැලකී කිසිවකු උපවාසයේ නිරත වන්නේ නම්, ඒ ස්ථිරව ම අල්ලාහ් (දෙවි)ගේ කැමැත්ත හා භාග්‍ය දිනා ගැනීමේ අරමුණින් මිස අන්කිසිවක් නිසා නම් නොවේ. මෙය පහත හදීසය තුලින් අවබෝධ කරගත හැක.

අල්ලාහ් (දෙවි) පැවසූ බවට (හදීස් කුදිසි) මුහම්ම්ද් (සල්) තුමාණන් මෙසේ පවසයි.

‘මිනිසුන් කරනු ලබන යහකටයුතුවලට අදාල කුසල ඔවුනට ම හිමි එකකි. නමුත් උපවාසය එසේ නොවේ. එම කුසල ක්‍රියාවට අදලා කුසල ලබාදෙන්නේ (දෙවියන් වන) මා විසින්මය.’ උපවාසය යනු පලිහකි. එම නිසා නුඹලාගෙන් කිසිවකුත් උපවාසයේ නිරතව සිටිය දී නොසුදුසු (හා නිෂ්පල) වදන් නොපවසන්න. එමෙන්ම අධික ශබ්ද නඟා කථා නොකරන්න. තවද නුඹලා උපවාසයේ නිරතව සිටිය දී කිසිවකු විසින් නුඹලාට හිරිහැරයක් කරන්නට හෝ ගැටුමක් ඇති කරගන්නට සැරසුනේ නම්, ‘මම උපවාසයේ නිරතව සිටිමි‘ යයි පවසන්න.‘ යයි පැවසූ නබිතුමාණන් ‘මාගේ ප්‍රාණය කවුරු අත තිබෙන්නේ ද ඔහු (වන අල්ලාහ් (දෙවි)) මත දිවුරා පවසමි. උපවාසය රකින්නෙකුගේ මුවෙන් නික්මෙන් දුර්ඟදය අල්ලාහ් (දෙවි) හමුවේ කස්තූරි සුවදට වඩා ශ්‍රේෂ්ඨ වන්නේය. උපවාසයේ නිරත වන්නෙකු හට සතුටුමත් අවස්ථා දෙකක් උදා වන්නේය. එනම් උපවාසයේ නිරතවුවෙකු සවස් කාලයේ උපවාසයෙන් මිදෙන මොහොත හා ‘කියාමත්‘ (මරණින් මතු උදාවන හොද නරක විනිශ්චය කරන) දිනයේ උපවාසයේ නිරත වුවෙකු ලෙස අල්ලාහ් (දෙවි) මුණගැසෙන මොහොතය.‘

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී මුස්ලීම්

ඉහත හදීසය තුලින් උපවාසයේ මහිමය හා දෙවියන් හමුවේ එයට ඇති ඉහල පිලිගැනීම අවබෝධ කරගැනීම අපහසු නොවේ. විශේෂයෙන් දෙවියන් විසින් ම කුසල් ප්‍රදානය කරන දෙවියන් හමුවීමේ භාග්‍යය පිරී මේ උපවාසය සැබැවින්ම මිනිස් සමාජයට භාග්‍යයක් යන්න සැක නැත. මේ උපවාසය සදහා ලබාදෙන කුසල් පිලිබදව තවත් ස්ථානයක පැවසීමේ දී අල්ලාහ් (දෙවි) පැවසූ (හදීස් කුදිසි) බවට නබිතුමාණන් මෙසේ පවසයි,

මිනිසුන්ගේ යහක්‍රියාවන් සදහා කුසල් 10 ගුණයේ සිට 700 ගුණය දක්වා වැඩිකර ලබා දෙන්නෙමු. නමුත් උපවාසය රකින්නන්ගේ හැරය. මන්ද උපවාසය (අල්ලාහ් (දෙවි) වන) මා හට හිමි එකකි. (එමනිසා) එයට හිමි (කුසල නම්) කුලිය මා විසින්ම ලබාදෙමි. මන්ද උපවාසය රකින්නා ඔහු මාගේ කැමැත්ත (කරුණාව) දිනාගැනීමේ අරමුණින් තමා කැමැත්ත කැප කොට උපවාසය රකී.

මූලාශ්‍ර ග්‍රන්ථය – තිරමිදි

තම කැමැත්ත කැප කොට අල්ලාහ් (දෙවි)ගේ කැමැත්ත අපේක්ෂාවෙන් නිරාහාරව හා හැඟීමන් පාලනය කරගන්නා තැනැත්තා හට දේව කැමැත්ත හා භාග්‍යයන් හිමිවන බව ඉහත හදීසය තුලින් පහසුවෙන් අවබෝධ කරගත හැක. මේ ආකාරයට භාග්‍යයන් ලඟා කරන උපවාසය මනුෂ්‍යාහට තවත් භාග්‍යයක් ද ලඟාකර දේ. එය තවත් අවස්ථාවක නබිතුමාණන් පැවසීමේ දී,

(කිසියම් කෙනෙකු රමලාන් මාසයේ) උපවාසයේ නිරතව ඉස්ලාමයේ කුළුණූ 05 ක් (වන කලිමාව, සලාතය, උපවාසය, සකාතය, හජ්) අතුරින් උපවාසය ද එකක් ලෙස පිලිගන්නේ ද, තවද ක්‍රියාව වෙනුවෙන් කුසල් අපේකෂා කරන්නේද ඔහුගේ පෙර පාපයන් සියල්ල අල්ලාහ් (දෙවි) සමා කරන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි, මුස්ලීම්

මේ උපවාසය මනුෂ්‍යාහට ලඟා කරන ඉතා විශිෂ්ඨ භාග්‍යයක් වන්නේ පෙර පාපයන් සමා කිරීමයි. මේ මිහිමත වෙසෙන සියළු මිනිසුන් දැන හෝ නොදැන පාපයන් හි නිරත වනවා යන්න පොදු ලක්ෂණයකි. නමුත් මේ උපවාසය තුලින් එවන් පාපයන් සමාකරනු ලබන්නේ නම්, එය කොතරම් විශිෂ්ඨ වු භාග්‍යයක්ද?. මේ පිලිබදව නබිතුමාණන් තවත් අවස්ථාවක විග්‍රාහ කිරීමේ දී මෙසේ පවසන ලදී.

දිනපතා පස්වේල් වන්දන අතර කාලය තුලත්, එක් ‘ජුම්මා‘ (සිකුරාදා දින දහවලේ දී මුස්ලීම්වරුන් කරනු ලබන) වන්දනයක සිට මීලඟ (සතියේ සිකුරාදා) ‘ජුම්මා‘ වන්දනය දක්වා අතර කාලය තුලත්, එක් රමලාන් (උපවාස) මාසයක සිට මීළඟ (වර්ෂයේ) රමලාන් මාසය දක්වා කාලය තුලත් (මුස්ලීම්වරයෙකු) කරනු ලබන මහා පාපයන් හැර අනිකුත් සියළු පාපයන් (දෙවි) සමා කරන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත හදීසයන් තුලින් මේ උපවාසයේ මහිමය දැන් හොදින් අවබෝධ කරගත හැකි වනු ඇත. මේ ආකාරයට අසීමිත භාග්‍යයන් පිරි මාසයක් තමා මේ අද අපට උදා වී තිබෙන්නේ. එවන් වූ මේ මාසය තුල යහකම්වල නිරතවීමටත් දේව වැඳුම් පිදුම්වලට නිරතවීමටත් මුස්ලීම්වරුන් දැඩි උනන්දුවක් දැක්විය යුතුය. විශේෂයෙන් කුර්ආනය පහලවීමට මූලික වූ මේ මාසයේ ශුද්ධ වූ කුර්ආනය අධිකව පාරායනය කිරීමටත් එහි ඉගෙන්වීමන් අවබෝධ කරගැනීමටත් දැඩිව උනන්දු වියයුතුය. එහි වැදගත්කම ද පහත හදීසය තුලින් ඔබට අවබෝධ කරගත හැකිවනු ඇත. .

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී,

කිසිවකු උපවාසයේ නිරතව, කුර්ආනය තම ජීවිතයේ මඟපෙන්වීම කරගත්තේ ද, ඔහු(ගේ විමුක්තිය) වෙනුවෙන් (කියාමත් (මරණින් මතු උදාවන විනිශ්චය) දිනයේ) මේ (උපවාසය හා කුර්ආනය යන) දෙක අල්ලාහ් හමුවේ වාද කරනු ඇත. උපවාසය තම දෙවියන් හමුවේ ‘මාගේ දෙවියනේ!, මා ඔහු ආහාර ගැනීමෙන් වැලැක්වුයෙමි, ඔහුගේ හැඟීමන් පාලනය කලෙමි, එමනිසා ඔහු වෙනුවෙන් ඔබ හමුවේ වාද කරන්න මට අවසර ලබාදෙන්න්!,‘  යනුවෙන් විමසනු ඇත. එසේම ශුද්ධ වූ කුර්ආනය ද තම දෙවියන් හමුවේ ‘මාගේ දෙවියනේ!, ඔහු (මාව පාරායනය කිරීම තුලින්) නිදා ගැනීමෙන් වැලැක්වුයෙමි. එමනිසා ඔහු වෙනුවෙන් ඔබ හමුවේ වාද කරන්න මට අවසර ලබාදෙන්න!, යනුවෙන් විමසනු ඇත. යනුවෙන් පැවසූ නබිතුමාණන් ‘අවසානයේ මේ මනුෂ්‍යා වෙනුවෙන් වාද කිරීමට උපවාසයට හා කුර්ආනයට අල්ලාහ් (දෙවි) අවසර ලබාදෙනු ඇත.‘

මූලාශ්‍ර ග්‍රන්ථය – අහ්මද්

අසීමිත භාග්‍යයන් පිරි මේ උපවාස සමය ශුද්ධ වූ දහම ඒ ආකාරයෙන් අවබෝධ කරගැනීමට ද හොද අවස්ථාවකි. ඉස්ලාම් නමින් සමාජය තුල නොයෙක් මිත්‍යා ඇදහිලි හා විශ්වාසයන් පිරී පවතින මේ වකවානුවේ. ශුද්ධ වු කුර්ආනයේ ඉගෙන්වීමන් නිදහසේ අධ්‍යනය කිරීමටත්, එය අවබෝධ කර ගැනීමටත් උනන්දු වියයුතුය. එය කියාමත් දිනයේ අප වෙනුවෙන් අල්ලාහ් (දෙවි) හමුවේ ශුද්ධ වූ කුර්ආනය පෙනීසිටීමට තරම් හේතුවක් නම් එය අප ලබන ඉමහත් භාග්‍යයක් නොවේද?. එපමණක් නොව මේ ආකාරයට ක්‍රියා කිරීම තුල තමා ලොව ආදර්ශමත් කුර්ආනීය සමාජයක් යලිත් මේ මිහිතලය මත ස්ථාපනය කිරීමට හැකි වන්නේ. දේව මඟපෙන්වීමෙන් මිදී මුස්ලීම්වරයෙකුට දිනා ගතහැකි විමුක්තියක් නැත. එසේනම් මේ උතුම් වූ මාසය අල්ලාහ් (දෙවි)ගේ අසීමිත භාග්‍යයන් ලඟාකර ගැනීමටත්, ශුද්ධ වු කුර්ආනය තුලින් පිවිතුරු දහම අවබෝධ කර ගැනීමටත් අල්ලාහ් (දෙවි)ගේ අශිර්වාදය හිමිවේවා!, යනුවෙන් ප්‍රාර්ථනා එක් කරමින් මේ ලිපියට විරාමය තබමි.

 

අබූ අර්ෂද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *