උපවාසය කවුරුන් සදහාද?

0

ඉස්ලාම්, මුස්ලීම් ජනතාව සදහා අන කරන උපවාසය දකින සමහරක් මුස්ලීම් නොවන ජනතාව ඉස්ලාම් දහම කෙරෙහි වැරදි අවබෝධයක් ඇති කරගන්නා ට හේතූ වී ඇත. ඉස්ලාමීය ඉගෙන්වීම් පිලිබදව නිසි අවබෝධයක් නැති ඔවුන් සිතන්නේ මෙම උපවාසය කුඩා දරැවන්, වයෝවෘද්ධ පිරිස්, රෝගීන්… යනාදී සියළු දෙන අනිවාර්‍ය කරමින් ඔවුන් විවිධ වූ අපහසුතාවයන්ට පත්කරන බවයි. මේ හේතුව නිසා මෙම කාරණය පිලිබදව ලාංකීය සමාජය දැනුවත් කිරීමේ අනිවාර්‍ය වගකීමක් ලාංකීය මුස්ලීම් ප්‍රජාවට ඇත. ඒ අනුව මෙම යහමඟ අඩවිය හරහා ඉහත කාරණය පිලිබදව කෙටි අවධානයක් යොමු කිරීමට මා අදහස් කරමි.

ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව නිසි අවබෝධයකින් තොරව ඉස්ලාමයට එරෙහිව විවිධ චෝදනාවන් ගොඩනැගීම යන්න ජාතිකතලයෙත් ජාත්‍යන්තරයේත් නිරන්තරයෙන් දකින කාරණයකි. එවැනි චූදිතයන් ඉස්ලාමයට එරෙහිව යොදාගන්නා එක් චෝදනාවක් තමා මේ “උපවාසය”. මේ හේතුව නිසා මෙම උපවාසය පිලිබදව ඉස්ලාමීය නිවරැදි ඉගෙන්වීම කුමක්ද?. යන්න දැන් අවධානය යොමු කරමු.

මා මීට පෙර උපවාසය සම්බන්ධයෙන් විවිධ පැතිකඩ ඔස්සේ කථා කලෙමි. එනම්,


ඉහත කාරණයන් පිලිබදව අප වෙන වෙනම කථා කලත් ඉස්ලාමයට එරෙහිව ප්‍රබල චෝදනාවන් ගොඩනැගෙන අවස්ථාවක් හැටියට සදහන් කලහැකි වන්නේ “උපවාසය කව්රුන් සදහාද?” යන්න පිලිබදව නිසි අවබෝධයක් නොමැති අවස්ථාවයි. එය මා ඉහතින් ද පැහැදිලි කලෙමි. ඒ අනුව මෙම ලිපිය හරහා ඉහත ප්‍රශ්නයට ඉස්ලාම් දෙන පිලිතුර පිලිබදව දැන් විමසා බලමු.

මෙහි දී ඉස්ලාම් පැහැදිලිවම මෙම උපවාසය කව්රුන් සදහා ද යන්න පැහැදිලිවම සදහන් කරයි. එහි දී ඉස්ලාම් පැහැදිලිවම මෙම උපවාසයෙන් වැලකී සිටිය යුතු පිරිස් සලකුණු කොට පෙන්වා දී ඇත. එම පිරිස් ප්‍රධාන වශයෙන් කොටස් 05 කට වෙන්කල හැක. එනම්,

  • කුඩා දරුවන්
  • වයෝවෘදයන්
  • මන්ද බුද්ධිකයන් හා රෝගීන්
  • මඟියන් (ගමන්බිමන් හි නරතවන්නන්)
  • විශේෂ අවස්ථාවල කාන්තාවන්

කුඩා දරුවන්

උපවාසය පමණක් නොව ඉස්ලාම් පවසන සියළු වතාවත් අනිවාර්ය වීමට වයස් සීමාවක් ඇත. කුඩා දරුවන් සදහා ඉස්ලාම් කිසිවක් අනිවාර්ය නොකරයි. උපවාසයත් එසේය. වැඩිවියට පත්නොවූ කුඩා දරුවන්ට උපවාසය අනිවාර්ය නොවේ. එනමුත් මෙම උපවාසය කෙරෙහි කුඩා දරුවන් වැඩි කැමැත්තක් දක්වන නිසාත්, සමහරක් දෙමාපියන් තම දරුවන් මේ කෙරෙහි පුරුදු පුහුණුව ඇති කිරිම සදහාත්, සමාජයේ කුඩා දරුවන් උපවාසයෙහි නිරතවීම දක්නට ලැබේ. නමුත් මෙය ඉස්ලාම් අවධාරනය නොකරන කාරනයක් බව පැහැදිලිවම අවබෝධ කරගතයුතුය.

වයෝවෘද පිරිස්

ඉස්ලාම් උපවාසය රැකීම අවධාරනය කිරීමේ දී කුඩා දරුවන්ට අමතරව වයොවෘද පිරිසට ද සහනයක් ලබාදී ඇත. මන්ද උපවාසයේ නිතරවීමට නම් අනිවාර්‍යයෙන්ම ශරීර ශක්තිය අත්‍යඅවශ්‍යය. නමුත් මනුෂ්‍යා වයෝවෘදයට පත්වීමත් සමඟ තම ශරීරයේ දුර්වලතාවයන් බොහෝමයක් ඇති වේ. මේ නිසා මෙවැනි දුර්වලතාවයන් සහිත පිරිසට උපවාසය රැකිම අනවශ්‍ය බව ශුද්ධ වූ කුර්ආනයේ 2-184 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවියන්) මෙ‍සේ අවධාරනය කරයි,

“උපවාසය රැකීමට තරම් ශක්තියක් නැති පිරිස් (එම උපවාසයට පිලියමක් ලෙස එක් උපවාසයක් වෙනුවට) එක් දුඟීයෙකුට ආහාර සැපයීය යුතුවේ.”

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව තමන්ට ඉටුකිරීමට නොහැකි වූ සෑම උපවාසයක් වෙනුවෙන්ම එක් උපවාසයක් වෙනුවෙන් එක් දුඟීයෙකුට ආහාර ලබාදීම ලෙස එම විකල්ප පිලියම ඉටුකලයුතුය. ඉස්ලාම් පවසන මෙම විකල්ප ක්‍රියාමාර්ගය පිලිබදව මනුෂ්‍යා හට සිතීමට බොහෝ දෑ ඉතිරි කොට ඇත. උපවසාය යනු මනුෂ්‍යා දෙවියන් වෙනුවෙන් කරන යුතුකමකි. නමුත් එහි කිසියම් ආකාරයක පැහැරීමක් සිදුකලේ නම් ඒ වෙනුවෙන් කලයුතු වන්නේ තවත් මනුෂ්‍ය යෙකුට උපකාර කිරීමයි. මෙය ඉස්ලාම් බොහෝ තැන්වල අවධාරනය කරන ක්‍රියා පිලිවෙතකි. (මේ පිලිබදව ඉදිරියේ දී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරනු ලැබේ) මේ අනුව වයෝවෘද පිරිස් උපවාසය රැකීමට වෙනුවට එම කුසල ලබාගත හැකි ඉහත පිලියම ඉස්ලාම් පවසන නමුත් කිසියම් කෙනෙකු හට ඒ සදහා වත්කමක් නොමැති නම් එය ද ඉටුකිරීම අවශ්‍ය නොවන බව ඉස්ලාමීය ඉගෙන්වීමයි.

රෝගීන් සම්බන්ධයෙන්

රෝගින් සම්බන්ධයෙන් කථා කිරීමේ දී එය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ කථා කිරීමට සිදුවේ. එනම්,

  • මන්ද බුද්ධිකයන්
  • සුවනොවන රෝග ඇති පිරිස
  • සුවවන රෝග ඇති පිරිස

මෙහි දී පලමු පාර්ශවය කෙරෙහි ප්‍රථමයෙන් අවධානය යොමු කලේ නම්, මානසික රෝගීන්ට උපවාසය අනිවාර්ය නොවන බව පැහැදිලිවම ඉස්ලාම් අවධාරනය කර සීටී. මන්ද ඔවුන් එම උපවාස ඉටුකල ද එම ක්‍රියාව පිලිබදව ඔවුනට අවබෝධයක් නැත. ඒ අනුව ඔවුන් කරන ක්‍රියාව හා ඔවුන්ගේ චේතනාව අතර කිසිදු සමබන්ධයක් නැත. ඉස්ලාම් හි මූලික ඉගෙන්වීම වන්නේ කිසියම් සත්ක්‍රියාවක නිරත වන්නේ නම්, එය තම හදවතට එකඟව හා අවබෝධයකින් යුක්තව ඉටුකිරීම අත්‍යඅවශ්‍ය බවයි. මෙය ඉස්ලාම් දැඩිව අවධාරනය කරන අතර ජනප්‍රිය හදීස් ග්‍රන්ථයක් (මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් අන්තර්ගත ලියවිල්ල) වන  බුහාරි ග්‍රන්ථයේ පලමු හදීසය ලෙස ද එය මෙසේ සදහන් වේ.

“සත්ක්‍රියාවන් සියල්ල චේතනාව මත පදනම් වේ.”

ඒ අනුව මානසික හෝ මන්ද බුද්ධික රෝගීන් සදහා උපවාසය රැකීම යන්න ඉස්ලාම් අවධාරනය නොකරයි.

උපවාසයේ නිරතවීමට අපහසු (උපවාසයේ නිරතවීම හේතුවෙන් එම රෝගි තත්වය වැඩිවන) රෝගීන් උපවාසය රැකීම සම්බන්ධයෙන් ඉස්ලාම් පැවසීමේ දී එය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කොට කථා කරයි. එනම්,

  • සුවනොවන රෝග
  • සුවකල හැකි රෝග

සුවනොවන රෝග

සුවනොවන රෝගයන්ගෙන් පෙලෙන (උපවාසයේ නිරතවීම නිසා තම රෝගී තත්වයට කිසියම් බලපෑමක් ඇති වේ යයි සිතන) පිරිස් උපවාසය රැකීම තහනම් වේ. එසේ ඔහු උපවාසයේ නිරත වී තම ජීවිතයට කිසියම් හානියක් සිදුවුයේ නම් එය දිවිනසා ගැනීම තරම් මහා පාපයක් බවට පත්වේ.

සුවකල හැකි රෝග

සුවකල හැකි රෝගයෙන් පෙලෙන පිරිස් උපවාසයේ නිරතවීම සම්බන්ධයෙන් පැවසීමේ දී අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 2-184 වාක්‍යයෙන් මෙසේ පවසයි,

“නුඹළාගෙන් (කවරෙකු) රෝගීන්, මගියන් (ගමනෙහි නිරතව සිටින්නන්) ව සිටින්නේ ද ඔවුනට (එම උපවාසයන්) වෙනත් දිනයන් හි ඉටුකල හැක.”

ඉහත කුර්ආන් වාක්‍යයට අනුව රෝගීන් සදහා උපවාසයෙන් වැලකීසිටීමට අවසරය ඇති නමුත් තම රෝගීත තත්වය සුවවුවාට පසුව තමා විසින් ඉටු නොකල උපවාසයන් ගනනය කොට සාමාන්‍ය (උපවාසය නැති) දිනවල එය ඉටුකලයුතුය.

මඟියන් සදහා

ඉස්ලාම් දහම මඟියෙක් (කිසියම් ගමනක නිරත වන්නෙක්) සම්බන්ධයෙන් බොහෝ වරප්‍රසාදයන් ලබාදෙයි. සියළු වත්පිලිවෙත් වල දී ඔවුන් සම්බන්ධයෙන් සහනදායි පිලිවෙතක් ඉස්ලාම් අනුගමනය කරයි. මෙය දීර්ඝ වශයෙන් කථා කලයුතු මාතෘකාවකි. කෙටියෙන්ම පවසනවා නම් මෙම ගමන් විඩාව පිලිබදව වරක් මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී,

“ගමන් විඩාව යනු නිරයෙහි දඩුවමින් එක කොටසකි.”

ඒ අනුව මඟියෙක් (ගමනක නිරතවන්නෙක්) උපවාසයේ නිරතවීම අනිවාර්‍ය නොවේ. නමුත් ඔවුන් විසින් අත්හල උපවාසයන් වෙනත් දිනයන් හි ඉටුකිරීම අනිවාර්‍ය වේ.

කාන්තාව සම්බන්ධයෙන්

උපවාසය සම්බන්ධයෙන් කථා කිරීමේ දී කාන්තාව සම්බන්ධයෙන් ද විශේෂයෙන් සදහන් කලයුතු කාරණා කිහිපයක් ඇත. ස්වභාවයෙන්ම පිරිමින් ට සාපේක්ෂව විවිධ අවස්ථාවල කිසියම් කායික දුර්වලතාවයන්වලට ගොදුරැ වන ඇය එනම්,

  • ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන විට අධික ශක්තියක් ශරීරයට අවශ්‍යවීම
  • ගැබිණිසමයේ අධික පෝෂණයන් ශරීරයට අවශ්‍යවීම
  • දරු ප්‍රසූකියේ දී හටගන්නා රුධිර වාහනය
  • දරුවන්ට කිරි පොවන සමයේ අධික පෝෂණයක් ශරිරයට අවශ්‍යවීම

ඉහත තත්වයන් හොදින් අවබෝධයට ගෙන හොදින් සැලසුම් කල අල්ලාහ් (දෙවියන්) මෙම අවධියන් හි කාන්තාව උපවාසය රැකීම අත්‍යඅවශ්‍ය නොවන බව අවධාරනය කරයි. විශේෂයෙන් මාස්ශුද්ධිය (ඔසප් චක්‍රය) ක්‍රියාත්මක වන අවධියේ උපවාසය රැකීම ඉස්ලාම් තහනම් කරයි. ඉහත පාර්ශවයන් 04 දෙනාම එම තත්වයන් පහවගියාට පසුව තමන් විසින් අත්හල උපවාසයන් සාමාන්‍ය දිනයන් හි ඉටුකිරීම කලයුතු වේ.

ඒ අනුව ඉහත පාර්ශව 05 ට අමතරව සියළු දෙනා සදහා උපවාසයෙහි නිරතවීම අනිවාර්‍ය යන්න ඉස්ලාමීය ඉගෙන්වීම බව පැහැදිලිවම වටහාගත යුතුවේ.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *