දුක්වීම, කම්පාවීම යන්නට එහා යමක් කලයුතුව ඇත.

0

ඈත අතීතයේ පටන් මුස්ලීම් සමාජයේ පැවැත්මට හා ඔවුන්ගේ ඉදිරි ගමනට බාධා කරන එයට කුමණ්ත්‍රන කරන පිරිස් ඉතිහාසය පුරාවටම දක්නට ඇත. මෙය ශුද්ධ වූ කුර්ආනය ද අවස්ථා ගණනාවක දීම කියාපාන සත්‍යයකි. ඒ අනුව වත්මන් තත්වයන් දැක “ඇයි අනේ අපිට ම මෙහෙම වෙන්නේ ?“ යනුවෙන් දුක්වීමට හෝ කම්පාවීමට අවශ්‍ය නැත. එසේම මෙවැනි විනාශයන්ට තම දුක කණගාටුව ප්‍රකාශ කිරීමෙන්ද තම වගකීම් සියල්ල අවසන් නොවේ.  මේ මිහිමත වෙසෙන මුස්ලීම්වරුන් මෙවැනි ඛේදවාචකයන්ට අඩු වැඩි වශයෙන්  සම්මුඛ වනවා යන්න ඉස්ලාම් දැඩිව අවදාරනය කරන සත්‍යයකි. එසේනම් මෙහි වැදගත් වන්නේ මෙවන් පසුබිමක මුස්ලීම්වරයෙකු ක්‍රියා කලයුත්තේ කෙසේද? ඔහුගේ ප්‍රතිපදාව වියයුත්තේ කුමක්ද? යන්න පිලිබදව නිසි අවබෝධයෙන් කටයුතු කරනවාද යන්නයි. මෙවැනි අවස්ථාවල සැබෑ මුස්ලීම්වරයෙකුගේ ක්‍රියා කලාපය කෙබදු වේද? යන්න ශුද්ධ වූ කුර්ආනය එක්තරා ස්ථානයක මෙසේ පවසයි.

ඔවුන් කවරේද නම්, සැබැවින්ම ජනයා නුඹලාට විරුද්ධව රැස්ව සිටිති. එබැවින් ඔවුනට බියවෙන්නැයි, ජනයා කී විට එය ඔවුන්ගේ (දේව) විශ්වාසය වඩාත් ශක්තිමත් කළේය. හස්බුනල්ලාහු වනි‘මල් වකීල් (අල්ලාහ් අපට සර්වප්‍රකාරයෙන්ම ප්‍රමාණවත්ය). අනගිතම ආරක්ෂකයා ඔහු බව ඔවුහු කීහ.

ශුද්ධ වූ කුර්ආනය 3-173

පසුගිය දිනවල අප රටේ ජාතිවාදීන්ගෙන් එල්ල වූ ප්‍රහාරය මෙන්ම මීට පෙර මෙවැනි සිද්ධීන් තුල ද නිතර ඇසෙන හා පැවසෙන ප්‍රචාරයන් වන්නේ “ඔන්න එනවා… ඔවුන් සංවිධානය වෙනවා… මහා විනාශයක් කරන්න හදනවා… අපිව මරණ්න සැලසුම් කරනවා… අපේ දේපල ගිනිබත් කරන්න හදනවා…“ යනාදියයි. සමහරක් අවස්ථාවල ඔවුන් එය කල බව ද අප කිසිසේත් මෙහි අමතක නොකලයුතු අතර එවැනි අවස්ථාවල අප ක්‍රියා කලයුතු ආකාරය පිලිබදව මේ සමාජය තුල පුළුල් සංවාදයක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය දැන් මතුව ඇත. එසේම ‘ගහනවා… ගිනි තියනවා… මරණවා… යනාදී ලෙස බොරු ප්‍රචාරයන් මුස්ලීම්වරුන් අතර මුස්ලීම්වරුන්ම ප්‍රචාරයන් සිදුකිරීම අවාසනාවන්ත තත්වයක්ද මුස්ලීම් සමාජය තුල දක්නට ඇත. මෙය ඉස්ලාම් දහමට අනුව කොතරම් දුරට වලංගුද? යන්නත් සාකච්චා කිරීමේ අවශ්‍යතාවය මතුව ඇත. මේවා පිලිබදව ඉදිරියේ දී සාකච්චා කිරීමට ‘යහමග‘ අදහස් කරන අතර අද දිනයේ  ඉස්ලාම් හා මුස්ලීම් විරෝධී කුමන්ත්‍රණකරුවන්ගේ කුමන්ත්‍රණ හමුවේ සැබෑ මුස්ලීම්වරයෙකු ක්‍රියා කලයුතු ආකාරය විමසා බලමු.

ඉස්ලාම් හා මුස්ලීම් විරෝධීන් මුස්ලීම්වරුන් බියවැද්දීම් තැතිගැන්වීම් සිදුකරන විට සැබෑ මුස්ලීම්වරයෙකු තව තවත් දෙවියන්ට සමීප වනවා යන්නත්, ඔහුගේ දේව විශ්වාසය ද තව තවත් ඉහල නැංවෙනවා යන්නත් ඉස්ලාම් පවසන සත්‍යයි. මෙවැනි අවස්ථාවල මුස්ලීම්වරයෙකු කිසිවිටෙක කම්පා වී බියගුලුවෙකු ලෙස මුල්ගැන්වෙන්නේ නැති බවත් ධෛර්‍යයෙන් සතුරන් මුහුණට මුහුණ සම්මුඛ වන බවත් ඉස්ලාමීය ඉතිහාසය පුරාවට අපට පෙන්වාදෙන සත්‍යයි. සර්ව බලධාරී, අල්ලාහ් (දෙවි) පිලිගෙන ඔහුගෙන් පමණක් උපකාර අපෙක්ෂා කර සිටින සැබෑ මුස්ලීම්වරයෙකු කිසිදු විටෙක ඉස්ලාම් විරෝධීන්ගේ ක්‍රමන්ත්‍රණයන් දැක කම්පාවට පත්ව බියගුලුවන්ත ලෙස මුලුගැන්වෙන්නේ නැත.

වර්ථමානයට වඩා කෘෘර ලෙස මීට වසර දහස් ගණනකට පෙර ඉස්ලාම් විරෝධීන් (බයිබලයේ සදහන් ඒබ්බ්‍රහාම්) ඉබ්රාහීම් (සල්) වක්තෘවරයාණන්ව ගින්නට විසි කරන අවස්ථාව මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න. තමන්ව විසි කරන්නේ ගිනි ගොඩකට වූවත් දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයෙන් යුතුව එයට මුහුණදුන් ඉබ්රාහීම් තුමාණන්ට අල්ලාහ් (දෙවි) ඒ ගින්නම එතුමාට වසඟ කොට අධික උණුසුමක් හෝ සිසිලක් නොවී සුවය සලසා දුන් ආකාරය අප ශුද්ධ වූ කුර්ආනය තුල නොදුටුවෙමුද?.

(ඉබ්රාහීම් තමන්ගේ ජනතාවට දහම දේශනා කළ අවස්ථාවේදී) “මොහුව කපා දමනු! නැතහොත් (ගින්නෙහි) වීසි කර දමනු!” යයි පැවසීම ම එම ජනතාවගේ (එකම) පිළිතුර විය. (පසුව ඉබ්රාහීම්ව ගින්නෙහි වීසි කළහ). එබැවින් (එම) ගින්නෙන් අල්ලාහ් ඔහුව බේරා ගත්තේය. විශ්වාසය තැබූ ජනතාවට නියත වශයෙන්ම මෙහි සාධකයන් (බොහොමයක්) ඇත.

ශුද්ධ වූ කුර්ආනය 29-24

එදා එලෙස ඉස්ලාම් විරෝධීන් දේව වක්තෘ ඉබ්රාහීම් තුමාණන්ව ගින්නට විසි කරන විට තම දේව අවනත බව තව තවත් වර්ධනය වී කිසිදු එදිරිවාදිකමකට බිය නොවී අල්ලාහ් (දෙවි) කෙරෙහි දැඩි විශ්වාසයෙන් යුතුව සියල්ලට මුහුණදීමේ ප්‍රතිපලය අප දුටුවෙමු. එහිදී එතුමාණන් පැවසූ එකම වදන ‘හස්බුනල්ලාහු වනි‘මල් වකීල්‘ එනම් ‘මේ මොහොතේ මාහට අල්ලාහ් (දෙවි) සර්වප්‍රකාරයෙන්ම ප්‍රමාණවත්‘ යන්න පමණි. එම වදනේ ප්‍රබල බවත්, එතුමාට අල්ලාහ් (දෙවි)ගේ  උපකාරය පහල වූ ආකාරයත් අප ඉස්ලාමීය ඉගෙන්වීමන් තුල දකින්නෙමු. මෙහිදී මුස්ලීම් ලෝකය සිතා බැලිය යුත්තේ මෙම වදන ඉබ්රාහීම් (සල්) තුමාට පමණක් වලංගු වදනක්ද? නොඑසේනම් සමස්ථ මුස්ලීම් සමාජයට ම වලංගු වදනක්ද? යන්නයි. මෙය මීට වසර දහස් ගණනකට පෙර විසූ ඉබ්රාහීම් තුමාට පමණක් නොව ඊට පසුවද වලංගු බවට ඉස්ලාමීය ඉතිහාසය අවස්ථා ගණනාවකදීම මුස්ලීම් සමාජයට ඔප්පුකොට පෙන්වා ඇත. (ඒ පිලිබදව ද ඉදිරියේ දී මෙහි විමසා බලමු.)

එසේනම් පසුතැවීම කම්පාවීම පසෙක තබා යථාර්තයට ධෛර්‍යවන්ත ලෙස මුහුණදීමයි කලයුතුව ඇත්තේ. පටු ආවේගවලට වහල් වී වීර වදන් පවසන ෆේස්බුක්, වට්සඇප් වීරයෝ නොවී. මෙවැනි තත්වයන් හිදී බුද්ධීමත් හා සංවිධානාත්මක සැලැස්මකට කටයුතු කරන්නේ කෙසේද? යන්න දැන් පටන් සැලසුම් කලයුතුය. මුස්ලීම් සමාජයේ අවංක නායකයින් මේ සදහා සමස්ථ මුස්ලීම් සමාජය ම පෙලගැසීම ලහිලහියේ ආරම්භ කලයුතුව ඇත. එකම ජමාතයක් ලෙස එකාමෙන් නැඟීසිට අල්ලාහ් (දෙවි) කෙරෙහි පමණක් විශ්වාසය තබා ‘ඔහු අපට ප්‍රමාණවත්‘ යන විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම පමණයි දැන් අපට ඉතිරිව ඇති විකල්පය වන්නේ.

 

ඉබුනු සහීර්

 

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *