මාපිය වගකීම දරුවා මොලොවට බිහි කිරීමෙන් අවසන්ද?

0

“විශ්වාසවන්තයණි ! නුඹ නුඹවද, නුඹ පවුලේ සාමාජිකයන් ද අපා ගින්නෙන් ආරක්‍ෂා කර ගනිව් !.”

ශුද්ධ වූ කුර්ආනය 66-6

රටක තිබෙන ස්වභාවික සම්පත් හැරුණු කල එම රටේ වටිනාම සම්පත වන්නේ මානව සම්පතයි. එහි ද සුවිශේෂි වන්නේ තරුණ ජවයයි. රටේ ස්වභාවික සම්පත රටකට කොතරම් වැදගත් වන්නේද? ඒ ආකාරයටම විටෙක ඊටත් වඩා වැදගත් සාධකයක් ලෙස මෙම තරුණ ජවය හෙවත් ශ‍්‍රම හමුදාව සැලකිය හැක. රටේ කොතරම් ස්වභාවික සම්පත් පැවතුන ද එය පලදායි ආකාරයට උපයෝගි කර ගැනීමේ හැකියාව හා ශක්තිය ඇත්තේ මෙම ශ‍්‍රම හමුදාව සතුව බැවිණි. ඒ අනුව මෙම මානව සම්පත් අතරින් තරුණ ජවය හෙවත් තාරුණ්‍යය සිටින්නේ ඉදිරියෙන්ම යන්නෙහි වාදයක් නැත. මෙම තාරුණ්‍ය පිලිබදව මෙම ලිපිය මගින් අවධානය යොමු කිරීමට අදහස් කරමි. මෙම ශ‍්‍රම හමුදාව එසේත් නැත්නම් හෙට දවසේ රටේ භාරකරුවන් වන මොවුන් අද ගමන් කරමින් සිටින ඉසව්ව හා ඒ ඔස්සේ දිනාගනිමින් සිටින පරිහානිය පිලිබදව සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම මෙහි අරමුණයි. මෙය වර්ථමානයේ කාලීන වගකීමක් වන අතර මෙම තරුණ පිරිසගේ භාරකරුවන්ට ද මේ සම්බන්ධයෙන් ප‍්‍රබල වූ වගකීම් කිහිපයක්ම පවතින බව අවබෝධ කරදීම මෙම ලිපියෙහි තවත් එක් අරමුණයි.

ඉස්ලාම් දහම මෙම තරුණ්‍යය පිලිබදව බොහෝ දෑ කථා කරයි. ඒ මා ඉහතින් සදහන් කලාසේ එම තරුණ අවධිය මිනිස් ජීවිතය තුල තීරණාත්මක අවදියක් වන බැවිණි. මෙම තරුණ අවධියේ වැදගත්කම පිලිබදව ඉස්ලාම් පැවසීමේ දී නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදි.

“සැබෑ ඥානවන්තයා මහළුවිය ලබන්නට පෙර තරුණ අවධිය ප‍්‍රයෝජනයට ගත් තැනැත්තාය.”

“නූඹලා තරුණ අවධිය කෙසේ ගතකලාද? යන ප‍්‍රශ්නයට විනිශ්චය දිනයේ දී (දෙවියන් ඉදිරියේ) පිලිතුරු ලබාදෙන තුරු නුඹලා සිටින තැනින් අඩියක් හෝ සෙලවීමට නොහැක.”

(ග‍්‍රන්ථය තිර්මිදි)

ඉහත නබි වදන් (හදීසයන්) අනුව තරුණ අවධියේ වැදගත්කමත්, එය නිසි අයුරින් ප‍්‍රයෝජනයට ගැනීමේ ඥානවන්ත කමත්, එය රටක් වශයෙන් පමණක් නොව ආගමික වශයෙන් ද කොතරම් වැදගත් සාධකයක් ද යන්න හොදින් පැහැදිලි වේ. එසේ නම් දිනෙන් දින අපෙන් ගිලිහෙන නැවත කිසිදු දිනක අප නොලබන මෙම තරුණ අවධිය පිලිබදව අප කොතරම් සැලකිලීමත් වියයුතු ද? මෙම තාරුණ්‍යය රටටත්, සමාජයටත් පුද්ගලිකව අපටත් නිෂ්පල ආකාරයට ගෙවා දැමීම කොතරම් අනුවනක්කාරී ක‍්‍රියාවක්ද? යන්න අවබෝධ කරගැනීම තවදුරටත් අපහසු නොවේ.

මෙවන් වූ ශ්‍රේෂඨ තරුණ්‍යය, තරුණ ජවය අද භාවිතා කරන්නේ කුමක් සදහාද? ඉහත සදහන් ආකාරයේ පලදායී තරුණ පිරිස් අප සමාජයේ කොතරම්ද? සමාජයට වැඩදායි තරුණ පිරිස් කොතරම්ද? මෙම කාරණයන් මොහොතක් සිතා බලන්න. “නූතන තරුණයා” යයි පැවසූ සැණින් අපගේ සිහියට නැ‍ඟෙන්නේ මත්පැන් හා මත්ද්‍රව්‍යවලට බිලිවෙමින් සිටින, නූතන සංසකෘතීන් යයි පවසමින් තමන්ට නොගැලපෙන සංස්කෘතීන් හා මෝස්තයන්වලට වහල් වී විනාශ හා විකෘති වෙමින් සිටින, පිවිතුරු ආදරයක් හෙවත් පේ‍්‍රමයක් නමින් තම ජීවිතය පවා කැප කරමින් ඔහුට දරාගත නොහැකි ගැටළුවල කොටු වී විනාශ වෙමින් සිටින. සිනමාව හා පුංචි තිරයේ රූකඩ චරිත තම ජීවිතයට ආදර්ශයන් ලෙස ගෙන එය තුල අසරණ වී බලා සිටින … තරුණ්‍යයක් නොවේද? හෙට දවසේ භාරකරුවා අද ජීවිතය විඳිනවා වෙනුවට ඔහු තම සුන්දර අවධියේ විඳවමින් සිටී.

මා මෙහි ඉහතින් සදහන් කල හා නොකල සෑම කාරණයක් පිලිබදව අද සමාජය ගැඹූරින් හා පූළුල් ලෙස අවධානය යොමු කලයුතු අවධියක් වර්ථමාන සමාජය ගෙවමින් පසුකරමින් සිටින්නේ. විශේෂයෙන්,

  • මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය.
  • නූතන සංස්තෘතිය හා මෝස්තර ඉවක්බවක් නොමැතිව වැලදගැනීම.
  • හැඟීම්වලට වහල් වූ පේ‍්‍රම සම්බන්ධතාවය.
  • සිනමාව, රූපවාහිණීය හා අන්තර්ජාලය භාවිතය.

ඉහත මුල් කාරණයන් දෙක එනම් මත්ද්‍රව්‍ය භාවිතය හා ශ‍්‍රී ලාංකීය අපට නොගැලපෙන සංස්කෘතික විප්ලවය තුල තාරුණ්‍යයේ බිදවැටීම අප නිරන්තරයෙන් දකින හා සමාජය තුල නිතර කථාබහට ලක්වන කාරණයකි. නමුත් ඉහත කාරණයන් දෙක මෙන්ම විටෙක ඊටත් වඩා ප‍්‍රබල හා ඉතා සූක්‍ෂම ආකාරයට තරුණ පිරිස බිලිගන්නා සාධකයන් දෙකක් ලෙස සිනමාව, රුපවාහිණීය හා අන්තර්ජාල භාවිතය හා ඒහා බද්ධ වූ පෙම් සම්බන්ධතාවයන් යන්න අපට කිසිසේත් ප‍්‍රතික්‍ෂෙප කල නොහැක.

මෙම මාතෘකාව කථා කිරීමට සුදුසුම කාලයක් මේ අප පසුකරමින් සිටින්නේ. ඒ එක් පසකින් මෙම තරුණ පිරිස් වින්දනය සදහා තාක්‍ෂණය උපරිමයෙන්ම භාවිතා කරන අවධියක් වීමත්, තවත් පසකින් අපගේ ප්‍රෞඩ සංස්කෘතිය පසෙකලා ලැජ්ජා, බයනැති නිරුවත් සංස්කෘතියක් කරා පියමනිමින් සිටීමත්, විශේෂයෙන් හොද හැදියාවන් යහපත් විනයක් ඇති පිරිස් සමාජයෙන් ප‍්‍රතික්‍ෂෙප කරන තැනට සමාජය යොමු වීමත්, පිවිතුරු ආදරය හා ප්‍රේමය වෙනුවට “ලෝක පෙම්වතුන් දින” (පෙබරවාරි 14) නමින් අනාචාරයන් සමරණ තරුණ්‍යයේ අභීමානවත් දිනය මේ පරිහානියන් විදහපාන තවත් සුවිශේෂි අවස්ථාවන් කිහිපයක් පමණි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ මේ උතුම් වූ තාරුණ්‍යයට මෙම ඉරණම එසේත් නැත්නම් මේ ප‍්‍රපාතයට තල්ලූකර දැමීමේ මූලික කොටස්කරුවන් බවට දැන හෝ නොදන එසේම සෘජුවම හෝ වක‍්‍ර ආකාරයට සම්බන්ධ වී සිටින්නේ වැඩිහිටි සමාජය වීමයි. ඔවුන් මේ සදහා විවිධ ක්‍ෂෙත‍්‍ර ඔස්සේ සම්බන්ධ වී සිටි. ඉන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • දරුවන් පිලිබදව නිසි පසුවිපරමක් නොකිරීම තුල.
  • දරුවන් කෙරෙහි නිසි ආදරයක් නොදැක්වීම තුල.
  • දරුවා හා ඔහු අවට පරිසරය පිලිබදව අවධියෙන් නොසිටීම තුල.
  • නිවස තුල ඔවුනට හොද පරිසරයක් නිර්මාණය කර නොදීම තුල.
  • දරුවන් හා දෙමාපියන් අතර අන්තර් සහයෝගයක් ගොඩනගා නොගැනීම තුල.
  • දරුවාගේ (තරුණ) හැගීම් තේරුම් නොගැනීම තුල.
  • මිල මුදල වෙනුවෙන් ඕනෑම පහත් ක්‍රියාවක් කිරීමටත් සමාජයට දායද කිරීමටත් පෙළඹීම තුල.

මේ ආකාරයේ හේතූන් ගනනාවක් නිසා මේ දරුවන් හා තරුණයන් විනාශ මුඛයට යොමුවී සිටී. අද බොහෝ මාපිය ක‍්‍රියාකලාපය දෙස බලන කල ඔවුන්ගේ වගකීම් දරුවා මොලොවට බිහි කිරීමෙන් අවසන් යයි සිතනවාදෝ? යන ප‍්‍රශ්නය අපට මතු වේ. තවත් සමහර දෙමාපියන් දෙස බලන කල බිහිකරපු දරුවා පෝෂණය කිරීමෙන් තම වගකීම් අවසන් යයි සිතනවාදෝ? යන ප‍්‍රශ්නය ද අපට මතු වේ. තවත් සමහර දෙමාපියන් දෙස බලන කල තම දරුවාට අළුත් මෝස්තර ඇදුම් හා නූතන තාක්‍ෂණික උපකරණ එනම් ජංගම දුරකථන, අන්තර්ජාල පහසුකම් සහිත පරිගනක, හොද වාහනයක්… යනාදී දෑ ලබාදීම තුලින් තම වගකීම් අවසන් යයි සිතනවාද? යන ප‍්‍රශ්නය ද ඇති වේ. නමුත් සැබැවින්ම දරුවන් කෙරෙහි දෙමාපියන්ට තිබෙන වගකීම මෙවන් පටු සීමාවන් තුල කොටුකල නොහැක. එය ඉස්ලාම් හොදින් අවබෝධ කරගෙන සිටී නිසයි නබි මුහම්මද් (සල්) තුමාණෝ තුලින් සමාජයට මෙසේ අවධාරණය කලේ,

“(දරුවෙකුට) ලස්සන නමක් තැබීමත් හොද විනයක් ඉගෙන්වීමත් දරුවන් කෙරෙහි දෙමාපියන්ට ඇති වගකීම් වේ.”

මූලාශ්‍ර ග‍්‍රන්ථය – බයිහකී

 

ඉබුනු සහීර්

 

 

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *