දරුවන් තුල යහපත් විනයක් ගොඩනැඟීමත් මාපිය වගකීමයි.

0

“(තම දරුවන් හට) ලස්සන නමක් තැබීමත්, යහපත් විනයක් ඉගෙන්වීමත් දරුවන් කෙරෙහි දෙමාපියන්ට ඇති වගකීම් වේ.”

(මූලාශ්‍ර ග‍්‍රන්ථය – බයිහකී)

වත්මන් සමාජය ඉහත නබිවදනින් පළමු කොට ඉතා හොදින් හා විශිෂ්ඨ අයුරින් ඉටුකරයි. ගැටළු ඇත්තේ දෙවන කොටස වන ‘යහපත් විනය‘ සම්බන්ධවයි. මෙම කාරණයේ දී බහුතරයක් දෙමාපියන් හා වැඩිහිටියන් අසාර්ථක වී ඇති බවක් පැහැදිලිව පෙනෙන්නට ඇත. ඒ අනුව මෙම ලිපිය සදහා මාතෘකා කරගන්නේ එම කාරණයයි. වත්මන් සමාජය හා ඒ තුල දුදරුවන්ගේ ක්‍රියාකලාපයන් හොදින් නිරීක්ෂණය කිරීමේ දී ඔවුන්ගේ විනය සම්බන්ධයෙන් යම් යම් ගැටළුකාරී තත්වයන් පෙනෙන්නට ඇත. එසේ නම් මෙහි අපට වැරදුනේ කොතැනද? යන්න සෑම දෙමාපියෙක් මෙන්ම වැඩිහිටියෙක්ම ස්වයං අධ්‍යනයන් සිදු කලයුතු කාලය දැන් එළඹ ඇත. එය සෑම කෙනෙකුගේම කාලීන් මෙන්ම අනිවාර්ය හා තීරණාත්මක වගකීමක් බවද අමතක නොකලයුතුය.

තම දරුවන් තුලින් සමාජට ඉටු වියයුතු වගකීම් සියල්ල පසෙක දැමුවත්, ඒවා සියල්ල අමතක කර හෝ නොසලකා හැරියත් වැඩිහිටියන් හා මාපියන් ලෙස තම දරුවන්ගෙන් තමන් අපේක්ෂා කරන යුතුකම් නම් කිසිසේත් නොසලකා හැරිය නොහැක. අප මහළුවිය ලබා තවත් කෙනෙකුගේ පිහිට හා සරණ අවශ්‍ය වන මොහොතේ එහි ඉරණම තීන්දු කරන තීරණාත්මක සාධකය අප ආදරයෙන් හදාවඩාගත් දරුවා යන්නෙහි සැකයක් නැත. ඒ සදහා…

  • අපේ දරුවන් සූදානම්ද?,
  • ඒ පිලිබදව යහපත් බලාපොරොත්තුවක් අප හදවත්වල තිබෙනවාද?,

අපේ දරුවන් ඔවුන් කුඩා අවධියේ අප කොතරම් ආදරයෙන් රැකබලා ගත්තාද? කුඩා අවධියේ ඔවුන් මළ/මූත‍්‍ර කල විට ඒ සැනින් ඒවා පිරිසිදු කොට සුවඳ විලවුන් හා පුයර යොදා මලක් මෙන් සුවඳවත්ව තැබුවාද?. හෙට දවසේ එදා ඒ දරුවන්ගේ තත්වයට (මහළු වියට) අප පත්වන්නට නියමිතය. ඒ තත්වයේ අපේ දරුවන් අප වෙනුවෙන් ඒ යුතුකම් නිසි ආකාරව ඉටුකරාවි ද?. මේ ප්‍රශ්නය මතු නොවන එම තත්වයට බිය නොවන දෙමාපියෙක් මේ මිහිමත සිටිනවාද?. අපට අපේ හෙට දවස පිලිබදව යහපත් බලාපොරොත්තුවක් තැබිය හැකිද?. දිනෙන් දින වර්ධනය වන මහළු නිවාසයන් හා ‘බැරි කාලයක් එන්න කලින් මැරිල යන්න ඕන‘ යන දෙමාපිය පැතුම තුල කියාපාන්නේ මෙහි විශ්වාස භංගත්වය නොවේද?. වර්ථමානයේ ‍දෙමාපියන් තුල පවතින මේ බිය සාපේක්ෂ ලෙස මීට දශක කිහිපයකට පෙර ජීවත් වූ සමාජය තුල පැවතුනේ නැත. එසේ නම් මේ වර්ධනය වන තැනට මේ තරුණ දුවාදරුවන් මෙහෙයවුයේ කවුරුන්ද?. මෙයට පිලිතුර සෙවිය යුත්තේ වැඩිහිටියන් වන අප තුලමය. මට සිතෙන්නේ ඔවුන්ට යහපත් සමාජ පරිසරයක් නිර්මාණය කර දී ආදර්ශමත් වියයුතු අප ඒ වගකීම පැහැර හැරීමේ විපාකය හා ප්‍රථීපලයම මේ තත්වයට හේතුව යන්නයි.

මොහොතක් සිතා බලන්න…

  • මත්ද්‍රව්‍යයේ ආදීනය හොදින් දන්න අප දරුවන් ඉදිරියේ ආදර්ශමත් වී එය කැපකලේ අපෙන් කීයෙන් කී දෙනාද?.
  • තමන් මහළුවියට පත්වීමත් සමඟ පිනක්දහමක් කරන්න සූදානම් වූ දෙමාපියන්ගෙන් කීයෙන් කීදෙනාද තම දරුවන් එම දැහැමි මාර්ගයට යොමු කරන්න කටයුතු කලේ?,
  • දරුවන් ඉදිරියේ අවිනීතිව හැසිරෙන දෙමාපියන්ගේ මඟපෙන්වීම ඔවුනට ආදර්ශයක් වන්නේ කෙසේද?,
  • දසමසක් කුසේ දරා දරුවකු බිහි කර නිදිවරාගෙන රැක බලාගෙන ලොකු මහත් කල ඒ අම්මටත්, දරුවා වෙනුවෙන් අනන්ත කැපවීම් කල පියාටත්, අද තම දරුවාගේ මනස විකෘති කරන විත්‍රපට, රූපවාහිණි නාට්‍යයන් හා එවැනි බොලඳ දර්ශන නැරඹීමෙන් වැලකී සිටීමට හැකි වුනේ ද?
  • ඒ නාට්‍යවල හෝ චිතත‍්‍රපටවල රඟපාන චරිතවල ජීවත් වෙමින් ඒ වෙනුවෙන් දුක්වුණු හඬා වැලපුණු අපේ දෙමාපියන් තම දරුවන්ගේ යහපත වෙනුවෙන් පසුවිපරම් කරමින් සොයා බලමින් ඔවුන්ගේ හැඟීම් අවබෝධ කර‍ ගනිමින් ඔවුගේ දියුණුව වෙනුවෙන් දුක් මහන්සි වුනේද?
  • රූපවාහිණී මාධ්‍යයන් ඔස්සේ පෙන්වන හා කුතුහලයන්, පහත් හැඟීමන් අවධි කරවන අසභ්‍ය දර්ශන පවා දරුවන් හා එකට හිද ඔබ නරඹන විට ඔවුන්ගේ තරුණ අවධියට ඉන් ඇති කරන බලපෑම පිලිබදව ඔබ මොහොතක් හෝ සිතුවාද?.

මා ඉහත සදහන් කරන්නේ ඉතා සංකීර්ණ එසේම මනුෂ්‍ය බුද්ධියට ගෝචර නොවන කාරණා නොවේ. දෛනික ජීවිතය තුල, ශ්‍රී ලාංකීය පවුලක් තුල සරලව නිතර දක්නට කාරණා කිහිපයක් පමණි. ඉතින් මෙවන් වූ පරිසරයක් තුල පැහැදිලි මනසක් ඇති යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීම යනු ප්‍රායෝගික කාරණයක් වේද?. වෙන කවරදාකටත් වඩා වැඩියෙන් අද ‘පියා තම දුව දූෂණය කරයි‘, ‘අයියා නංගිව දූෂණය කරයි‘, ‘සීයා මිණිබිරිය දූෂණය කරයි‘, ‘වැඩිහිටියන් කුඩා දැරියන් දූෂණය කරයි… යනාදී පුවත් දිනපතා අසන්නට ලැබේ. මෙවන් ප්‍රවෘත්තියක් නොදකින නොඅසන දිනයක් ඔබේ මතකයේ තිබෙනවාද?. එසේනම් අද අප සමාජය කොතරම් දුරකට විකෘති වී ඇද්ද යන්න තේරුම් ගැනීම තවදුරටත් අපහසු නොවේ. මේවාට මූලික වූ කාරණයන් පිලිබදව ඉතා ගැඹුරින් දැන්වත් අප සමාජය සිතා බැලිය යුතුය. අනික මාධ්‍යයන් තුලින් අප දකින ඉහත ප්‍රවෘත්ති ශ්‍රී ලාංකීය සමාජයේ සමස්ථ සිදුවීම නොවන බවත් මාධ්‍යයන් තුලින් අනාවරණය වන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් මෙහි මා පවසා ඔබ දැනගැනීමට අවශ්‍ය නොවේ. මෙය වඩාත් හොදින් තහවුරු කරන අවස්ථාවක් ලෙස මීට වසර කිහිපයකට පෙර ළමා ආරක්ෂණ අධිකාරිය මඟින් ඉදිරපත් කල ‘ශ්‍රී ලංකාව තුල දිනකට ළමුන් 200 කට වඩා අපයෝජනයට ලක්වේ‘ යන සංඛ්‍යාලේඛනය මෙහි සදහන් කල හැක. එසේ නම් මේ අවාසනාවන්ත තත්වය සමාජය තුල උදාකිරීමේ මහා කොටස්කරුවා දැන හෝ නොදැන දෙමාපියන් හා වැඩිහිටියන් වන අපම බව සනාථ වෙනවා ‍නොවේද?.

අනාගතයේ දී යහපත් විනයගරුක සමාජයක් මේ රට තුල නිර්මාණය වීමට නම්, එහි මුලික පියවර ගතයුතුව ඇත්තේ වැඩිහිටියන් වන අපටමය. අපට වැරදුනු තැන් අප නිවැරදිව හදුනාගෙන එම වැරද කඩිනමින් නිවැරදි කරගතයුතුව ඇත. අපගේ දූවා දරුවන්ට මෙන්ම ජවසම්පන්න තරුණ පරම්පරාවට ආදර්ශමත් ලෙස අප අපගේ ජීවන රටාව සකසාගත යුතුව ඇත. ඒ සදහා අපට ශක්තිය ධෛර්‍යය ලැබේවා! යන පැතුමෙන් මෙම ලිපිය අවසන් කරමි.

 

ඉබුනු සහීර්

 

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *