ඔබේ සිත ඔබට කුමක් පවසන්නේද?

0

ලෝකය සහ මනුෂ්‍යා පිළිබඳ කථාකරන විට එහි සිතට හිමිවන්නේ අතිශය වැදගත් ස්ථානයකි. මන්ද මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරිත්වයෙහි ලා මනස ප්‍රමුඛවන බැවිණි. මේ මනස පිලිබදව විවිධ ආගම් දර්ශන විවිධ වූ මත ප්‍රකාශ කරයි. එපමණක් නොව විද්‍යාවේ ඉනිපෙත්තෙහි සිටින වර්ථමානයේ පවා විද්‍යාඥයින් හට මේ මනස පිලිබදව තිබෙන්නේ නොවිසදුණූ පැනයකි. සෑම මනුෂ්‍යයෙකුටම උරුම ව පවතින නමුත් පැහැදිලි විවරණයක් කිරීමට මනුෂ්‍යා අසමත් මේ මනස පිලිබදව මා අද මෙම යහමඟ අඩවිය හරහා විග්‍රහයක් කරන්නට උත්සාහ නොදරමි. නමුත් මේ මනසෙහි ක්‍රියාකාරීත්වය හේතුකොට ගෙන මනුෂයා තුල සිදුවන වෙනස්වීම් පිලිබදව කථා කිරීමට මෙහෙදී අදහස් කරමි. ඒ අනුව “මිනිස් සිතේ ක්‍රියාකාරීත්වය හා ඉස්ලාම්” යන කාරණය වෙත අවධානය යොමු කරමු.

දෙවියන් විසින් මුළු විශ්වයේම ශ්‍රේෂඨතම නිර්මාණයක් වන මනුෂ්‍යා මවා ඔහු තුල “සිත” නැමැති අශ්චර්යමත් අංගයක් තැන්පත් කරන ලදී. ඒ ඔහුට නිදහසේ සිතීමේ අවස්ථාව සලසාදීම පිණිසය. එසේ චින්තන නිදහස උරුම ක‍රගෙන උපන් ඒ මිනිසා හමුවේ දෙවියන් අභියෝගාත්මක තෝරා ගැනීම් දෙකක් ද තබන ලදී. ඒ

  • ලෞකික ජීවිතයද? – මෙලොව තුල අද අප ගෙවන දිවිය
  • ලෝකොත්තර ජීවිතයද? – මරණින් මතු උදාවන දිවිය

මෙය තොරා ගැනීමේ සම්පූර්ණ නිදහස ඉස්ලාම් මනුෂ්‍යාට ලබාදී ඇත. එපමණක් නොවේ ඒ ඒ ක්ෂේත්‍ර තෝරා ගැනීමෙන් තමන්ට අත්වන ඉරණම ද වෙන වෙනම පැහැදලිවම පෙන්වා දී ඇත. එනමුත් මනුෂ්‍යාගේ තිබෙන කෙටිදුර දැක්ම හා ලෞකික කටයුතුවලට තිබෙන ඇබ්බැහිකම හේතු කොටගෙන තම සිත පටු සීමාවල කොට ඇත. එහි ප්‍රථිපලයක් ලෙස මිනිසා බොහෝ විට තම සිත මෙහෙයවීම ලෞකික කාරණයන් සදහා පමණක් සීමාකොට ඇත. නමුත් සෑම මනුෂ්‍යයෙකු ඉදිරියේම මෙතෙක් සැබෑ නොවූ නියත වශයෙන්ම සෑබෑ වන සත්‍යයක් ඇත ඒ මරණයයි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව මරණින් මතු ජීවිතයක් ඇත. එහි තීරණාත්මක සාධකය ඉහතින් සදහන් කලාසේ අද අප ලබා සිටින මේ සිතයි. අවසානයක් නොමැති ඒ ලෝකොත්තර දිවිය සදහා අවශ්‍ය පෙර සූදානම කරගත යුතුව ඇත්තේ මේ ලෞකික ජීවිතය තුලය. ඒ අනුව ලෞකික ජීවිතය සෑම මනුෂ්‍යයෙකුටම තීරණාත්මක සංධිස්ථානයක් වේ. එනම් මෙම ලෞකික දිවියේ එකම හා මුඛ්‍ය අරමුණ විය යුත්තේ ලෝකොත්තර දිවිය ජයගැනීම සදහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමය. මේ සදහා ඔහුට විවෘත වූ සිතක් දෙවියන් විසින් ලබා දී ඇත. එපමණක් නොව ඔහුගේ නිගමනයන් පහසුකරලීම සදහා විවිධ වු උපදෙස් හා අවවාදයන් ද ඔහුට ලබාදී ඇත. ඔහුට එළඹීමට ඇත්තේ සරල වූ නිගමන දෙකෙන් එකකට පමණි. එනම්,

  1. පූර්ණ ඥානයක් ඇති දෙවියන් සැලසුම් කල මාර්ගය අනුගමනය කරනවාද?
  2. ඉහත මාර්ගයට ප්‍රතිවිරැද්ධ වූ මාර්ගය ඔස්සේ ගමන් කරනවාද?

ඉහත මාර්ග දෙකෙන් එකක් තීරණය කිරීමේ සම්පූර්ණ නිදහස දෙවියන් විසින් බුද්ධිමත් මනුෂ්‍යාහට ලබාදී ඇත. මේ මනුෂ්‍යා ගනු ලබන තීන්දුව අනුව ඔවුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකට බෙදේ. මෙය අල්ලාහ් (දෙවියන්) විසින් ශුද්ධ වූ කුර්ආනයේ 11-24 වාක්‍යය මගින් මෙසේ වෙන්කොට පවසයි,

“මේ දෙපිරිසට උපමාව (එක් පාර්ශවයක්) අන්ධයන්, බිහිරන් ලෙස ද, (අනික් පාර්ශවය යහපත්) දැක්මක් හා (යහපත්) සවන් ශක්තියක් ඇති පිරිස් ලෙස ද වේ. මේ දෙපාර්ශවයම (මැවීමෙන්) සමානයන් වන්නේය. මේ පිලිබදව ඔබ නොසිතන්නේ ද?”

ඉහත කුර්ආන් වාක්‍යයට අනුව යහපත් දැක්මක් හා සවනක් ඇති පිරිස් හොද සිතක් පවතින පිරිස් ලෙස ඉස්ලාම් අවධාරනය කරයි. සිත නොමෙහෙයවා එනම් කිසිවක් බුද්ධිමත්ව නොදැක. කිසිවක් කෙරෙහි සවන් යොමු නොකොට ක්‍රියා කරන්නන් අන්ධයන්, බිහිරන් ලෙස ඉස්ලාම් දකී. නමුත් මේ දෙපාර්ශවයම මැවීමන්ගෙන් එක සමාන බව ඉහතින් ශුද්ධ වූ කුර්ආනය අවධාරනය කරන අතර ඔවුන්ගේ ක්‍රියාකලාපයන් අනුව කොටස් දෙකකට වෙන් වේ.

මෙය වඩාත් හොදින් වටහා ගැනීම පිණීස සරල උදාහර්ණයක් පවසනවා නම්, හොද අධ්‍යපනයක් ලද බොහෝ පිරිස් අද ලොව ඉහල ගෞරවණීය තන තුරු වල කටයුතු කරනවා යන්නත්, ඔවුන්ගේ ලෞකික දිවිය සාර්ථක එමෙන්ම සියළු සැප සම්පත්වලින් පිරි දිවියක් බවට පත්වෙනවා යන්නත් ප්‍රායෝගිකව සියළු දෙනා අවබෝධ කරගෙන සිටින සත්‍යයකි. ලොව එක්පාර්ශවයක් එසේ ක්‍රියා කරන විට තවත් පාර්ශවයක් ද ඇත. ඒ නිසි අධ්‍යාපනයක් නියමිත කාලයේ නොලබා, නිකරුණේ කාලය ගෙවා දමා අද තම දෛනික අවශ්‍යතාවයන් දුකසේ පිරිමසා ගන්නා පිරිස්ය. මේ දෙපිරිස අතර ඇති එකම වෙනස වන්නේ පලමු පාර්ශවය තම බුද්ධිය මෙහෙයවා අනාගතයට අවශ්‍ය පසුබිම සකසා ගැනීම හා දෙවන පාර්ශවය තම බුද්ධියට වඩා ලෞකික කාරණයන්ට වහල් වී ඒ අනුව ක්‍රියා කොට එම අවාසනාවන්ත ඉරණම උදාකර ගැනීමය.

ඉහතින් අධ්‍යාපනයේ මහිමය දැන දැන අලසව ක්‍රියා කලාසේ දිනක නියත වන මරණය හමුවේ ද අද මිනිසා අලසව ක්‍රියාකරමින් සිටී. ඒ මරණය කවර මෙ‍ාහොතක හෝ අපව ආක්‍රමණය කරනු ඇත. ඉන් මීදීමේ ශක්තිය මේ මිහිපිට කිසිවකුත් ලබා නැත. ඉහත දෙපිරිස අධ්‍යාපනයේ වැදගත්කම පසුකාලීනව අවබෝධ කරගත්තා සේ ලෞකික ජීවිතයේ මහිමය මරණින් පසු අවබෝධ කරගැනීම පලක් නොවේ. ලෞකික දිවියේ අධ්‍යාපනය නොලබා තම ධනය ශක්තිය තුලින් ජීවිතය යම් ප්‍රමාණයකින් හෝ ගොඩනගා ගත හැක. නමුත් මරණය තුලින් අහිමි වන තම ජීවිතය යලි එසේ ගොඩනගා ගැනීමේ අවස්ථාවක් කිසිවිටෙකත් මනුෂ්‍යා හට නොලැබේ. එසේ නම් ලෞකික ජීවිතය වෙනුවෙන් තම බුද්ධිය වෙහෙස වන මිනිසා ලෝකෝත්තර දිවිය වෙනුවෙන් ද බුද්ධිය යෙදවිය යුතු නොවේද? එහි අවශ්‍යතාවය, ඉන් ඇතිවන යහපත හා එසේ ක්‍රියා නොකිරීමෙන් සිදුවන අයහපත පිලිබදව අවධාරනය කරන දේව අනපනත් කෙරෙහි සිත් යොමු කලයුතු නොවේද? මේ අවවාද අනුශාසනා ලබාදෙන ශුද්ධ වූ කුර්ආනය කෙරෙහි සිත් යොමුකල යුතුනොවේද? අල්ලාහ් (දෙවියන්) විසින් ශුද්ධ වූ කුර්ආනයේ 4-82 වාක්‍යය මගින් ඔබෙන්, මෙසේ විමසයි,

“ඔවුන් මෙම කුර්ආනය කෙරෙහි සිත් යොමුකල යුතු නොවේද? මෙය අල්ලාහ් (දෙවියන්)ගෙන් හැර වෙන කිසිවකුගෙන් පහල වුවක් නම් මෙහි අප්‍රමාණ පරස්පරතාවයන් දකිනු ඇත.”

ලොව අනිකුත් ආගමික හා දාර්ශනික මූලාශ්‍රයන් මෙන් සදහන් වූ පමණින් පිලගැනීම යන්න ඉස්ලාමීය ස්ථාවරය නොවේ. එහි සදහන් කරුණු පිලිබදව බුද්ධිමත් ලෙස අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය ඉහත කුර්ආන් වාක්‍යය මනාව පිලිඹිමු කරයි. මුළු මනුෂ්‍ය වර්ගයා අල්ලාහ් (දෙවියන්)ට අන්ධ භක්තියෙන් නොව අවබෝධයෙන් වන්දනාමාන කලයුතු යන්න වටහාදීම පිණිස දෙවියන් තම ශක්තිය, එලිදක්වමින් අපගේ බුද්ධියට කථා කරයි. එසේ යොමු කිරීමෙන් නතර නොවී ශුද්ධ වු කුර්ආනයේ 13-3 වාක්‍යය මඟින් ඒ සදහා අපට මෙසේ ආරාධනයක් ද කරයි.

“තවද ඔහු (අල්ලාහ්) කවරෙක්ද යයි පවසන්නේ නම්, ඔහු තමා පොළොව අතුරණයක් කොට එහි ස්ථාවර වු කදු හා ගංගා නිර්මාණය කලේ. තවද එහි සෑම වර්ගයකම පළතුරක් (ශාකයක්)ම ජෝඩු ජෝඩු වශයෙන් මැව්වේ. ඔහු තමා රාත්‍රිය දහවලින් පොරවන්නේ නියත වශයෙන්ම මේවා කෙරෙහි සිත යොමු කරන කෙනෙකු හට (ඒ තුල) බොහෝ සාක්ෂීන් ඇත්තේය.”

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුල මනුෂ්‍යහට සිතන්නට බොහෝ දෑ ඇති බව අල්ලාහ් (දෙවියන්) අවධාරනය කරයි. ඉහත වාක්‍යය තුල විද්‍යාත්මක සත්‍යයන් බොහෝමයක් අන්තර්ගතව පවතින බව මුස්ලිම්වරුන් නොව මුස්ලීම් නොවන විද්‍යාඥයන් පවා මවිතයට පත්ව පවසා සිටී. (මෙය ඉදිරියේ දී මෙම අඩවිය තුල වෙනම කථා කරනු ලැබේ) එසේ අසම සම නිර්මාපකයා වන අල්ලාහ් (දෙවියන්) ඔබේ බුද්ධියට ආමන්ත්‍රණය කරන්නේ එහි ඔබව විශ්මය කරවන සත්‍යයන් අන්තර්ගතව පවතින නිසා ම පමණී. එවන් වූ නිර්මාපකයාගේ නිර්මාණයන් (මැවීමන්) හා ඒ තුලින් ඔහුගේ ශක්තීන් පිලිබදව හොදින් වටහා ගතයුතුය. මෙය ශුද්ධ වූ කුර්ආනයේ තවත් ස්ථානයක එනම් 16-17 වාක්‍යයෙන් මෙසේ ද පවසා සිටී.

“(සියල්ලම) මවන්නා වන ඔහු, (නුඹලා වන්දනා මාන කරන) කිසිවක් නොමැවු කෙනෙකු සේ වන්නේද? නුඹලා මේවා කෙරෙහි සිත් යොමු නොකරන්නේද?”

ඉහත සදහන් ආකාරයට අද මනුෂ්‍යා ඉදිරියේ බොහෝ සාක්ෂීන් තිබිය දී පවා මිත්‍යාවන් හා මනක්කල්පිතයන් පදනම් කරගෙන නොමඟ යන සමාජයට අල්ලාහ් (දෙවියන්) 13-3 හා 16-17 මගින් ඔබේ බුද්ධියට පැහැදිලි අභියෝගයන් ඉදිරිපත් කරයි. එපමණක් නොව සිත මෙහෙයවා ඒ තුලින් සත්‍ය අසත්‍ය අවබෝධ කරගෙන ඉන් යහපත් පුද්ගලයෙකු වනු පිණිස ඔහුට මේ පොළොව (සියල්ලෙන්ම) අලංකාර කොට එහි විවිධ වූ පරික්ෂණයන් ද නිර්මාණය කල බව අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 18-7 වාක්‍ය මඟින් මෙසේ පවසා සිටී.

“මනුෂ්‍යයන් අතුරින් අලංකාර ක්‍රියාවන් ඇති තැනැත්තා කව්රැන්ද? යන්න. නියතව ඔවුන් පිරික්සනු පිණිස පොළොවෙහි ඇති වස්තූන් ඔහුට අලංකාර කලෙමු.”

මේ ලොව තුල සිත පිනවන අලංකාර බොහෝ දෑ දක්නට ඇත. ඒවා තුලින් සතුට, විනොදය හා වින්දනය යන දෑ ලබන්නට, දකින්නට තිබුණ ද ඒවා බොහෝ විට තාවකාලිකය. කවර දෑ මේ ලොව තුල සුවය ගෙනදෙන්නාක් ලෙස හදුනාගෙන සිටින්නේද ඒවා තුලින්ද බොහෝ විට ලබාගත හැකි වන්නේ තාවකාලික සුවයක් පමණි. එහි හොද නරක සතුට අසතුට යන්න ඒ ඒ පුද්ගලයාගේ සිතුවිල්ල මත බොහෝ විට රදාපවතී. උදාහර්ණයකට දුම්වැටි භාවිතය, මත්පැන් පානය, කෙනෙකුහට වින්දනයක් විනොදයක් ලෙස පෙනෙන විට තවත් කෙනෙකු හට එය ශරීරයට හානි කරවන මාරාන්තිකයක් ලෙස පෙනෙනු ඇත. මේ ආකාරයට සමාජය තුල විනෝදාංශ, වින්දනය, සුවය, සතුට… ලෙස පවසන බොහෝ උදාහර්ණ ගෙනහැර දැක්විය හැක. නමුත් බුද්ධිමත් මිනිසා හැඟීමන් ට වහල් වී බුද්ධිය පසෙකලා කරන ක්‍රියාවන් තුලින් සිදුවන්නේ තමන්ට මෙන්ම සමාජයට ද හානියක් පමණි. මෙවන් පිරිසගේ එකම අරමුණ මේ ලෝකය පමණි. ඔවුනට මරණය හෝ ඉන් මතුවට උදාවන ඉරණම පිලිබදව හැඟීමක් නැත. ඔවුන් තම හැඟීමන්ට වහල් වූ දෙවියන්ගේ කැමැත්ත ප්‍රතික්ෂේප කල පිරිස වේ. ඔවුන් පිලිබදව ද ශුද්ධ වු කුර්ආනය 11-15 වාක්‍යය තුලින් මෙසේ පවසා සිටී.

“කිසිවකු මෙලොව ජිවිතයත්, එහි අලංකාරයත් (පමණක්) අපේක්ෂා කරන්නේ නම්, ඔවුන්ගේ ක්‍රියාවට අදාල පලය මෙලොවදීම ලබාදෙන්නෙමු. එහි කිසිවකු අඩු කරනු නොලැබේ.”

මේ අනුව මිනිසාගේ මෙහෙවර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. එනම්,

  • දෙවියන්ගේ කැමැත්ත දිනාගැනීම අරමුණු
  • මෙලොව ලබන තාවකාලික සතුට දිනාගැනීම අරමුණු

මෙය අද ලොව තුල නිරන්තරයෙන් දකින අවස්ථා දෙකකි. පිරිසක් දහමට අනුකූලව එයට අවනතව කටයුතු කරන විට තවත් පිරිසක් තම හැඟීමන්ට වහල්ව ජීවත් වෙති. අවසානයේ ආගමික රාමුවෙන් මිදී තම නැණ පමණින් ක්‍රියා කිරීමට පෙළඹේ. අවසානයේ මරණය, මරණින් මතු ජීවිතය යන කාරණයන් පවා ඔහුට අමතක වේ. නමුත් එය ඔවුන් වෙලා ගන්නා විට ඔවුන් එය අවබෝධ කරගනු ඇත. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 6-31 වාක්‍යය මඟින් අලංකාර ලෙස විස්තර කරයි,

“එමනිසා (විනිශ්චය දිනයේ) අල්ලාහ් (දෙවියන්) හමුවීම බොරුවක් යයි පැවසූ පිරිස් නියත වශයෙන්ම පාඩු ලැබූ පිරිස් බවට පත්විය. ඔවුන් හමුවට විනිශ්චය දිනය (හිටී හැටියේ) ක්ෂණයකින් පැමිණෙන විට ‘එලොව අප නොසැලකිලිමත්ව සිටී නිසා අපට ඇති වී තිබෙන්නේ විනාශයකි.’ යයි පවසනු ඇත. තවද ඔවුන් තම පාපයන් තම උරයේ දරාගෙන සිටී. ඔවුන් දරාගෙන සිටින්නේ ඉතා නරක දෑ බව අවබෝධ (ඔබ) කරගන්න”

එසේනම් දැන් අප ඉදිරියේ අභියෝගයක් ඇත. ඒ අප තවදුරටත් හැඟීමන්ට වහල් නොවී විවෘත මනසින් ලෝකය දැකීමයි. එහි දී දේව අනපනත් හා නියෝග අපට සත්‍යය දැකීමට අවබෝධ කරගැනීමට මහත් වූ පිටුවහලක් වනු ඇත. එසේ ක්‍රියා නොකොට නිශ්ඵල කාර්‍යයන් තුල තම වටිනා කාලය ගෙවා දමන්නේ නම් එවන් පිරිස් පිලිබදව ද ශුද්ධ වූ කුර්ආනයේ 9-126 න් මෙසේ අවවාද කරයි.

“සැම වර්ෂයකම වරක් හෝ දෙවරක් ඔවුන් පිරක්සනු බව ඔවුන් අවබෝධකර නොගන්නේද? එසේ තිබිය දී ඔවුන් කල වරදට කමා කොට (සමාව අයද) ඉන් මිදෙන්නේ ද නැත. ඒ පිලිබදව පසුතැවිලි වී යහමඟට පැමිණෙන්නේත් නැත.”

අල්ලාහ් අපට ලබා දී ඇති භාග්‍යයන් අතුරින් එකක් තමා බුද්ධිය. විනිශ්චය (මරණින් මතු උදාව) දිනයේ මනුෂ්‍යා තම බුද්ධිය කුමන අයුරින් භාවිතා කලේද? යන්නත් නියත වශයෙන්ම දෙවියන් විමසනු ඇත. එමනිසා අප මෙම බුද්ධිය නිසි අයුරින් භාවිතා කිරීම අනිවාර්ය වගකීමකි. එසේ නම් අප, අපගේ බුද්ධීය යහමඟ යොදවා අල්ලාහ් (දෙවියන්)ගේ කැමැත්ත ආශිර්වාදය ලද පිරිස් බවට පත්විය යුතුවේ. එසේ සෑම මනුෂ්‍යයෙකු ම ක්‍රියාකල යුතුය. එය කාලීන වගකීමකි. අප නිවරැදි මාර්ගයෙන් මේවන විටත් දුරස්ව සිටි නම් එය නිවැරදි කරගත යුතුය. මෙතුවක් කල වරද වෙනුවෙන් දෙවියන්ගෙන් සමාන අයද සිටිය යුතුය. මේ දහම පැහැදිලි ජීවන සැලැස්මකි. එහි යහපත් හා අයහපත් යන මාර්ග දෙකම ඉතා පැහැදිලිය. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 90-10 වාක්‍යය මෙසේ පවසයි.

“(යහපත, අයහපත යන) මාර්ග දෙකම අප ඔවුනට පෙන්වා දී ඇත.”

එසේ නම් යහක්‍රියාවන් නැමැති සුවර්ගයේ මාර්ගයත්, අයහපත් ක්‍රියා නැමැති අපායට පිවිසෙන මාර්ගයත් අල්ලාහ් (දෙවියන්) විසින් පැහැදිලිව ශුද්ධ වූ කුර්ආනය මඟින් වෙන්කොට පෙන්වා දී ඇත. එසේ නම්,

“දෙවියනි ! අපි හැඟීමන්ට වහල් නොවී බුද්ධිමත් ලෙස සිත මෙහෙයවා දෙලොව (මෙලොව හා පරලොව) ජය ලබන යමහඟ තොරාගත් පිරිස් බවට මනස විවෘත කර දෙත්වා!”

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *