කතීජා (රලි) තුමිය

3

මුහම්මද් (සල්) තුමාණන්ගේ ප්‍රථම විවාහය සිදුවුයේ කුවෙයිලිද් නැමැත්තාගේ දුව වන කතීජා (රලි) තුමිය සමඟය. මෙය මුහම්මද් (සල්) තුමාණන් (නබිවරයෙකු හෙවත්) වක්තෘවරයෙකු වීමටත් පෙර කාලයේ සුදුවුවකි. එනම් මුහම්මද් (සල්) තුමාණන්ට දේව වක්තෘත්වය හිමිවුණේ වයස අවුරුදු 40 දී වන නමුත් එතුමාණන් විවාහ වුයේ තරුණ අවදියේ එනම් වයස අවුරුදු 23 දී පමණය. මෙම ස්ථානයේ සදහන් කලයුතු කරැණක් ඇත. එනම් එතුමාණන් වයස අවුරුදු 40 දක්වා සමාජය තුල කල කියු කිසිවක් ඉස්ලාම් නොවන බව පැහැදිලිවම සමාජය අවබෝධකර ගතයුතුය. මන්ද ඉස්ලාම් දහම දේව පණිවුඩ මූලික පදනම කරගත් දහමකි. ඒ අනුව දේව පණිවුඩ මුහම්මද් (සල්) තුමාණන්ට පහලවීම ඇරඹෙන්නේ එතුමාට වයස අවුරුදු 40 දී පටන් වන බැවින් ඉහත නිගමනයට එළඹීම අපහසු කාරණයක් නොවනු ඇත.

දැන් මාතෘකාව වෙත අවධානය යොමු කරමු. ප්‍රථමයෙන් මුහම්මද් (සල්) තුමාණන් තරුණ අවධිය ගතකල සමාජය පිලිබදව කෙටි අවධානයක් යොමු කලේ නම්, එය ඉතා අරාජිකව පැවැති සමාජයකි. එහි නීතියක්, සාරධර්මයක්, සාධාරණයක්, සභ්‍යත්වයක් හෝ සදාචාරයක් පැවතුනේ නැත. එය මෙම යහමඟ වෙබ් අඩවිය හරහා කිහිපවිටක් කථා කොට ඇත. ඉහත සදහන් තත්වය අවබෝධ කරගැනීම සදහා එම සමාජයෙන් එක් නිදසුනක් මාතෘකාවට අදාලව ගෙනහැර දක්වන්නේ නම්, එම සමාජයේ විවාහය සිදුවූ ආකාරය සදහන් කලහැක. එනම්,

“එදා එම (ඉස්ලාම් ප්‍රකාශවීමට පෙර (ජාහිලියා)) සමාජයේ කිසියම් කාන්තාවක් විවාහවීමට අපේක්ෂා කරන්නේ නම් ඇය තම නිවස ඉදිරිපස කොඩියක් ලෙලදෙනු ලැබේ. එවිට එම ප්‍රදේශයේ ජීවත්වන ඇය විවාහ කරගැනීමට අපේක්ෂා කරන සියළු පිරිමීන් පැමිණ ඇය හා ලිංගිකව එක්වනු ලැබේ. එසේ කාලයක් ගතවීමත් සමඟ ඇය ගැබ්ගෙන දරුවකු මෙලොවට බිහිකරයි. ඉන්පසු ඇයි විසින් හෝ ඒ සදහාම එදා සමාජයේ පත්කර තිබූ කාන්තාවක් විසින් බිහිවුනු දරුවා දෙස බලා මේ දරුවාගේ පියා මොහු තමා යයි නම්කරනු ලැබේ. එවිට එම පුද්ගලයා ඇයව විවාහ කරගතයුතු වේ.”

මෙවන් වූ අරාජික සමාජය තුල දුරාචාරය රජකල බව ඉහත කාරණයෙන් ඔබට මනාව පැහැදිලි වනු ඇත. මෙවන් වූ සමාජයක් තුල පිරිසිදු ජීවිතයක් ගතකරනවා යනු ඉතා දුලභ වූ කරුණක් විය. එවන් සමාජයක් තුල පිරිසිදු චරිතයකට උරුමකම් කියන්නට හැකිවුයේ ඉතාම සීමිත පිරිසකට පමණි. එවන් පිරිස් අතර මුහම්මද් (සල්) තුමාණන් ද කෙනෙකු බව ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව මෙන්ම එදා මෙදා තුර ඉස්ලාම් දහමට එරෙහිව මෙන්ම මුහම්මද් (සල්) තුමාණන්ට කල විවිධ අපහසයන් අතර මෙම චෝදනාව අඩංගු නොවීම තුල ද මනාව පැහැදිලි වේ. කුඩා කලසිටම දෙමාපිය සෙනෙහස අහිමිවී ගිය නබිතුමාණන්, වරදකට පෙළඹෙන්නට සියළු අවස්ථාවන් හොදින් පිහිටුනු මෙපමණ අරාජික සමාජයක් තුල නිසි මඟපෙන්වවීමක් නොමැතිව කාගෙත් ආකර්ශණය හා විශ්වාසය දිනාගෙන පාරිශුද්ධ ජීවිතයක් ගතකිරීම අද අපව පවා මවිත කරවන කාරණයකි. එතුමාණන්ගේ ඒ අසමසම ආදර්ශමත් ජීවිතය කියාපාන සාධක බොහෝමයක් ඉතිහාසයේ සදහන්ව ඇත. එදා එම සමාජය තුල දිනාගෙන සිටී ගෞරවය හා ආදරයට හොදම නිදසුන ලෙස පහත සිදුවීමන් සදහන්කල හැක.

  • එතුමාණන් ඉස්ලාම් දහම සමාජයට දේශනා කිරීමට පෙර එතුමාණන්ව එම සමාජය ආමන්ත්‍රණය කලේ “අස්සිද්ධික්” එනම් “සත්‍යවාදියා” යනුවෙනි.
  • එදා එම “ජාහිලියා” (ඉස්ලාමය ප්‍රකාශවීමට පෙර) සමාජයේ කිසියම් තීරණාත්මක හෝ ගැටළුකාරී අවස්ථාවල තීරණ ගැනීමේ ඒ අවස්ථාව හිමිවුයේ මුහම්මද් (සල්) තුමාණන්ටය. එයට නිදසුනක් ලෙස කව්බතුල්ලා නම් ශුද්ධ වූ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ දී එහි තිබූ “හජ්රුල් අස්වද්” නම් වූ ගල නැවත තිබූ තැන සවිකිරීමට එය කවුරුන් විසින් එම ස්ථානයේ තබනවාද යන්න පිලිබදව දරුණු මතභේදයක් එවකට සමාජයේ පැවතී කුල අතර ඇතිවිය. මේ මොහොතේ මුහම්මද් (සල්) තුමාණන්ට (වක්තෘවරයෙකු වීමට පෙර කාලයේ) මැදිහත් වී එම තත්වය සමතයකට පත්කිරීමට හැකි වුයේ එම සමාජයේ එතුමාණන්ට තිබූ ප්‍රසිද්ධිය හා ගෞරවය හේතුකොටගෙනය.
  • “එසේම එතුමාණන් දිනක් කන්දක් මුදුනට නැඟ එදා සමාජයේ ජීවත් වූ සියළු කුලයන් ඒ ඒ නම්වලින් ආමන්ත්‍රණය කොට මෙසේ විමසන ලදී. ‘මේ කන්ද පිටුපසින් ඔබලාට පහරදීමට සේනාවක් එනවා යයි මා පැවසුවේ නම් එය නුඹලා පිලිගන්නෙහිද?’ එයට එම පිරිස් එක හඩින් පවසා සිටියේ “ඔබ අප අතරේ විශ්වාසම පුද්ගලයා ඔබ කුමක් පැවසුවත් අප පිලිතනිමු” යනුවෙනි… (මෙය දීර්ඝ හදීසයක්)

ඉහත කරුණූ එතුමාණන් කෙරෙහි සමාජයේ තිබූ ආදරය ගෞරවය මනාව පිළිඹිබු කරනවා නොවේද?

මෙවන් වූ ආදරයත් ගෞරවයත් ඉහලින්ම දිනාගෙන සිටී මුහම්මද් (සල්) තුමාණන්ට එතුමාණන්ගේ බහුවිවාහය පදනම් කරගෙන වර්ථමාන සමාජය එල්ලකරන ප්‍රධාන චෝදනාව තමා “අධික කාම වියරුවකින් පෙළුණා” යන්න. මෙම චෝදනාව කොතරම් පදනම් විරහිත චෝදනාවක් ද යන්න මෙම ලිපි පෙල ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත. කෙසේ වෙතත් ඉහත චොදනාව පදනම් විරහිත චොදනාවක් යන්නට ගෙනහැර දක්වන පලමු කාරණය එතුමාගේ පිවිතුරු තරුණ දිවිය වන අතර දෙවන කාරණය තමා ප්‍රථම විවාහය ජීවිතය.

වයස අවුරුදු 25 දී එතුමාණන් විවාහ වන්නේ කතීජා නමු වූ වයස අවුරුදු 40 ක වැන්දඹු කාන්තාවක් සමඟය. එම කතීජා නම් වූ කාන්තාව පිලිබදව කෙටි විමසුමක් කරන්නේ නම්, ඇය මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගැනීමට පෙර දෙවරක්ම විවාහ වී වැන්දඹු වූ කාන්තාවකි. එපමණක් නොව ඇය දරුවන් කිහිපදෙනෙකුගේ මවක්ද වුවාය. නමුත් මේ කතීජා (රලි) තුමිය හා මුහම්මද් (සල්) තුමාණන් අතර විවාහය සිදුවන විට මුහම්මද් (සල්) තුමා සිටියේ ආකර්ශණීය කරුණ අවදියකය. මා ඉහතින් සදහන් කලාසේම එම සමාජයේ ඉහල ආදරය ගෞරවය දිනාගෙන ඉහල පෙළපතකට පවා උරුමකම් කියූ එතුමාණන් සිතුවේ නම් එම සමාජයේ සිටි සුන්දරතම කන්‍යාව ක්ෂණයකින් විවාහ කරගන්නට හැකියාව පැවතුණි. එසේ තිබිය දී පවා දරුවන් කිහිපදෙනෙකුගේ මවක් මෙන්ම දෙවරක්ම වැන්දඹු වූ මහළු විය අභියස සිටින කාන්තාවක් විවාහ කරගැනීම තුලින් ඉහතින් චෝදනා කරනවා සේ කාම වියරුවක් එතුමාණන්ට නොපැවතී බව පැහැදිලිය. වර්ථමාන සමාජය හා මෙම තත්වය මොහොතක් සිතා බලන්න අද තරුණයන් සොයන්නේ තමන්ට වඩා අවුරුදු 5ක් හෝ ඊටත් අඩු තරුණියන්ය. එවන් තත්වයක මුහම්මද් (සල්) තුමාණන් තම ප්‍රථම විවාහය වයස අවුරුදු 40 ක වැන්දඹු කාන්තාවක් හා ඇති කරගැනීම සාමාන්‍ය තත්වයට එහා ගිය සරල තත්වයක් යන්න අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එය කොතරම් සරල තත්වයක්ද යයි පවසනවා නම් මෙම තත්වය කෙනෙකුට “ඉස්ලාම් සමාජයට පෙන්වාදෙන වැරදි ආදර්ශයක්” යයි පවා සිතෙන්නට පුළුවනි. එසේ සිතුවේ නම් එහි වරදක් ද නැත මන්ද මුහම්මද් (සල්) තුමාණන් මුස්ලීම් සමාජයට ඇති එකම ආදර්ශය ලෙස මුස්ලීම්වරුන් සලකන බැවිණි. නමුත් මෙහි දී මා ඉහතින් පැවසූ කාරණය නැවත අවධාරණය කරමි. එනම් මුහම්මද් (සල්) තුමාණන් මුස්ලීම් සමාජයට අදර්ශයක් වන්නේ එතුමාණන් වක්තෘභාවය ලැබූ මොහොතේ පටන්ය. ඒ අනුව මෙම විවාහය මුස්ලීම් සමාජයට අදර්ශයක් වන්නේ නැත. එපමණක් නොව විවාහය සම්බන්ධයෙන් මුහම්මද් (සල්) තුමාණන් දේව වක්තෘවරයෙකු වශයෙන් මුස්ලීම් සමාජයට දේශනා කල කාරණය ඉහත ආදර්ශය අභිබවා යන්නකි. ඒ පිලිබදව සදහන් කරන්නේ නම්,

“දිනක් මුහම්මද් (සල්) තුමාණන් ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රලි) නැමැති කරුණායාගෙන් මෙසේ විමසන ලදී ‘නුඹ විවාහයක් කරගෙන ඇත්තේද?’ යයි විමසන ලදී. එයට ඔහු ‘ඔව්’ යයි පිලිතුරු දෙන ලදී. එයට මුහම්මද් (සල්) තුමාණන් ‘කන්‍යාවියක්ද? වැන්දඹුවක්ද?’ යයි විමසන ලදී. එයට ඔහුට ‘වැන්දඹු කාන්තාවක් තමා’ යයි පවසන ලදී. ඇයට මුහම්මද් (සල්) තුමාණන් ‘නුඹ කන්‍යාවියක් විවාහ කරගතයුතු නොවේද?, ඇය සමඟ නුඹ විනෝද වන්නටත්, නුඹ සමඟ ඇය විනෝදවන්නටත්, ඇය හා නුඹ සතුටින් සිටින්නටත්, නුඹ හා ඇය සතුටින් සිටින්නටත් කන්‍යාවියක් තමා සුදුසු වන්නේ’ යයි පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී හා මුස්ලීම්

මේ අනුව ඉස්ලාම් මුස්ලීම් සමාජයට විවාහය සම්බන්ධයෙන් මුස්ලීම්වරයෙකු අනුගමනය කලයුතු ක්‍රියා පිලිවෙත පැහැදිලිවම සදහන් කරයි. එය මා මීට වඩා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇත. දැන් කිසියම් කෙනෙකුට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම් මුහම්මද් (සල්) තුමාණන් මෙය “මුස්ලීම් සමාජයට එක් ආකාරයටත් තමන්ට තවත් ආකාරයටත් ගලපා ගත්තේ ඇයි?” මෙහි දී අවබෝධ කරගතයුතු කාරණය නම් මෙවැනි දිවියක් එතුමා අපේක්ෂා නොකල යන්න පමණි. ඒ කෙසේ වෙතත් මේ සියල්ල තුලින් නැවත නැවතත් තහවුරු කරන්නේ මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිතය තුල ඉහත පිරිස් චෝදනා කරනවා සේ කාමුක වියරුවක් හෝ ලොල් බවක් නොපැවතී බව පමණි. මෙම කාරණය වඩාත් හොදින් තහවුරු වන්නේ එතුමාණන් කතීජා (රලි) තුමිය සමඟ යුගදිවිය ගතකල කාලය පිලිබදව සැලකීමේදීය. මුහම්මද් (සල්) තුමාණන් තම වයස අවුරුදු 25 දී විවාහ වී වයස අවුරුදු 50 දක්වා කාලය වන අවුරුදු 25 ජීවත් වුයේ කතීජා තුමිය සමඟයි. මනුෂ්‍ය දිවියේ විශේෂයෙන් තරුණ දිවියක වයස අවුරුදු 25 සිට 45 පමණ කාලය යන්න ජීවිතයේ සුන්දරතම අවධියයි. ඒ පිලිබද කිසිවුකුටත් විග්‍රහයක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවනු ඇත. එසේම ඒ පිලිබදව කිසිවකුටත් වාදයක් පැවතීමට ද නොහැක. එවනු වූ සුන්දර කරුණ්‍යය විදින් ඕන අවදියේ මුහම්මද් (සල්) තුමාණන් තම ජීවිතය ගතකලේ මහළු කතීජා තුමිය සමඟයි. (මුහම්මද් (සල්) තුමාට වයස අවුරුදු 50 වන විට එතුමාගේ බිරිදගේ වයස අවුරුදු 65කි. මෙහි දී වටහා ගතයුතු තවත් වෛද්‍ය විද්‍යාත්ම කාරණයක් ඇත. එනම් සාමාන්‍යයෙන් කාන්තාවට ඇතිවන ලිංගික අවශ්‍යතාවයන් උපරිමයෙන් පවතින්නේ වයස අවුරුදු 20-40 ත් අතර යන්න වෛද්‍ය විද්‍යාව පවා අනාවරණය කරන කාරණයකි. මෙම කාරණයේ දී පිරිමයකුගේ දිවියේ සුන්දරතම අවධිය වන්නේ වයස අවුරුදු 30-35 ත් අතර කාලයයි. මේ පිරිමියකුගේ ලිංගික දිවියේ උච්චතම කාල පරාසයයි. දැන් මෙම කාරණය පිලිබදව තරමක් ගැඹුරින් විමසුමක් කලේනම්, මුහම්මද් (සල්) තුමාණන්ට වයස අවුරුදු 30-35 වයස ලබන විට එතුමාගේ ආදර බිරිදගේ වයස අවුරුදු 45-50 වේ. මේ දෙදෙනාගේ විවාහ දිවිය තුල ලිංගික සතුට උපරිමයෙන් පවතින්ට හැකියාවක් පවතිනවාද? යන්න ඔබම බුද්ධිමත් ලෙස විමසා බලන්න. එපමණක් නොව මුහම්මද් (සල්) තුමාණන් කතීජා තුමිය සමඟ වසර 25ක් ජීවත් වූ බව මා ඉහතින් සදහන් කලා ඒ අනුව කතීජා තුමිය වයස අවුරුදු 65 දක්වා ජීවත් වී ඇත. මුහම්මද් (සල්) තුමාණන් කාමුක වියරුවකින් පෙළුනා යයි චෝදනා කරන පිරිස මෙහි දී අවධානයට ගතයුතු කාරණය නම් එතුමාගේ බිරිදගේ වයස 50-65 දක්වා වසර 15ක කාලයක් මුහම්මද් (සල්) තුමාණන් තම හැඟීම් පාලනය කලේ කෙසේද? මුහම්මද් (සල්) තුමාණන්ට චෝදනා කරන පිරිස් මෙම කාරණය පිලිබදව දෙවරක් සිතා බැලිය යුතුය. එම චූදිතයන් පවසන ආකාරයට එතුමාණන්ට අධික කාමඅශාවන් පැවතුණා නම් කතීජා තුමියගේ අවසාන කාලයේ එතුමාණන්ට වෙනත් කාන්තාවක් විවාහ කරගන්නට තිබුණි. මන්ද එම සමාජය (ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර සිටම) බහු විවාහය සම්පූර්ණයෙන්ම අනුමත කල සමාජයක් වන බැවිණි. නමුත් එවැනි තත්වයකට එතුමාණන් යොමු නොවීම තුලද ඉහත චෝදනාව පදනම් විරහිත එකක් බව පැහැදිලි වේ.

මෙහි දී සමහරෙක් මතු කරණ තර්කයක් තමා “එවැනි අවශ්‍යතාවයක් පැවතුණත් සමාජ ගෞරවය තමන්ට අහිමි වේ යයි බියක් පවතින්න ඇති” යන්නයි. මෙය සම්පූර්ණයෙන්ම වැරදි තර්කයකි. මන්ද මා ඉහතින් සදහන් කලාසේ බහු විවාහය එම සමාජයේ සම්ප්‍රදායක්ව පැවතුණි. එක්කෙනෙකු විවාහ 10,15, 20 ක් යනාදී වශයෙන් එම සමාජයේ සම්ප්‍රදායන් පැවතුණි. එපමණක් නොව බහු විවාහයන් සිදුකොට තිබීම අඩම්භරයට කාරණයක් ලෙස එම සමාජය සලකන ලදී. එවන් සමාජයක “තම ගෞරවය ඒ නිසා අහිමි වේවි” යයි සිතුවා යන්න පැහැදිලිවම අනවබෝධයක් පමණි. වාදයකට ඉහත එම තර්කය සත්‍ය යයි උපකල්පනය කලත්, මුහම්මද් (සල්) තුමාණන් දහම් ප්‍රචාරයේ දී තම ගෞරවය පිලිබදව සැලකිලීමත් වුවාද යන්න එහි දී මතුවන ගැටළුවයි. එතුමාගේ දහම් ප්‍රචාරන වසර 23ක දිවිය තුල එතුමාණන් දිනාගත්තු දෑ අල්පය එතුමාණන් අහිමිකරගත් දෑ අපමණය. එතුමාණන්ට අවවාද කරන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් එතුමාණන් විසින් සමාජයට දේශනා කලේ සමාජ ගෞරවයට වඩා දේව නියෝග හා කැමැත්ත මුඛ්‍ය කොට සැලකූ නිසාය. එවැනි වාක්‍යයන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • “තම දෙවියන්ගේ සොමිනස පතා උදය සවස තම දෙවියන් හඩගසන ඔවුන් පලවා නොහරිව්. නුඔ එසේ කලේ නම් නුඔද අපරාධකරුවන්ගෙන් කෙනෙකු වන්නේය.”(6-52)
  • “…ඔවුනට සමාවදීම හෝ නොදීම නුඔට අයිති දෙයක් නොව…” (3-128)
  • “නුඔට (මුහම්මද්ට) සිතු කෙනෙකු හරි මඟට ගත නොහැක. අල්ලාහ් සිතු කෙනෙකුට පමණි නිවරුදි මාර්ගය පෙන්වන්නේය. “(28-56)

මීට අමතරව ශුද්ධ වු කුර්ආනයේ 8-68, 66-1, 28-56, 15-88, 20-131, 18-28 සහා 80-1 සිට 10 දක්වා ඇති වාක්‍යයන් ද ගෙනහැර දැක්විය හැක. ඉහත කුර්ආන් වාක්‍යයන්ට අමතරව තමාන් එවැනි විශේෂි ගෞරවයක් අපේක්ෂා නොකල බව සනාථ කරන හදීස් කිහිපයක්ද සදහන් කලහැක,

  • අන්‍ය ආගමිකයන් සේ දෙපා වැද නමස්කාර කිරීම නුඹලා මාහට නොකරන්න. එය මහා පාපයකි,
  • මා වෙනුවෙන් නුඹලා සිටී තැනින් නැඟිට ගෞරව නොකරන්න.
  • යේසුස් වහන්සේට (ඊසා (අලෛ) තුමාණන්ට) කිතුණුවන් සීමාව ඉක්මවා ගරුකරමින් වර්ණනා කලාසේ මාහට එසේ නොකරන්න,
  • මා ද නුඹලා මෙන්ම සාමාන්‍ය මනුෂ්‍යයෙකි. මා හට සැගවුණු කරුණු පිලිබදව විශේෂ ඥානයක් හෝ ශක්තියක් නොමැත විශේෂත්වය වන්නේ දෙවියන්ගේ පණිවුඩය මට ලැබෙනවා එපමණයි.

මේ කිසිවක් තුල එතුමාණන් සමාජ ගෞරවයක් අපේක්ෂා නොකල බව පැහැදිලිය. ඒ අනුව ඉහත වාදය කවර ආකාරයට සැලකුවද එය පදනම් විරහිත දෙඩවිල්ලක් පමණක් බව පැහැදලිවේ. මෙම තත්වය තවත් පැති ඔස්සේ තර්ක කරන පිරිස් ද අප සමාජයේ ඇත. ඒවා පිලිබදව ද මෙහි දී කෙටි අවධානයක් යොමු කලේනම්,

“ඉහත අකාරයේ අසම්පූර්ණ පවුල් ජීවිතයක් උරුම වූ මුහම්මද් අසාර්ථක පිලිකුල් මෙන්ම වියරු වූ ජීවිතයක් ගතකරන්නට ඇති” යන්න එක් වාදයකි. එතුමා ජීවත් වූ වකවානුව ලේඛන කලාව ඉහල මට්ටමක පැවතී ඉතිහාසයන් හොදින් ලියවුණූ වකවානුවකි. එසේම එතුමාණන්ගේ ජීවිතයේ සිදුවූ සියළුම සිදුවීම් ලේඛනගත වූ වකවානුවකි. එපමණක් නොව එතුමාණන්ගේ ක්‍රියාවන්, අනුමත කිරීමන් හා නියෝගයන් මුස්ලීම්වරුන් පැහැදිලිව සටහන් තබන ලද වකවානුවකි. අද ඉස්ලාමීය මූලාශ්‍රයන් දෙක අතුරින් හදීස් යනුවෙන් හදුන්වන්නේ ඉහත සදහන් ක්‍රියාවන්, අනුමත කිරීමන් හා නියෝගයන්ය. මේ අනුව එතුමාණන්ගේ ජීවිතයේ වර්ථමාන සමාජයට වසන් වූ කිසිවක් නැත. එසේ නම් ඉහත චෝදනාව සත්‍ය නම් ඒ පිලිබදව ආගමික මූලාශ්‍රයන් හි කොතැනක හෝ සදහන් වී තිබිය යුතුය. එසේ නම් කුමක්ද ඒ හදීසය එතුමාණන් අසාර්ථක පවුල් ජීවිතයක් නිසා කලකිරුණා යයි පවසන එසේත් නැත්නම් වියරුවෙන් ජීවත් වුවායයි පවසන ඒ හදීසය කොහිද? මේ ආකාරයට කිසිදු පදනමක් නොමැතිව දහමක් හෝ එහි ශාස්තෘවරයෙකු විවේචනය කිරීම වැරදි පූර්වාදර්ශයක් යන්න පමණක් මෙහි සදහන් කිරීමට කැමැත්තෙමි. කෙසේ වෙතත් පදනම් විරහිතව හෝ චෝදනාවක් සමාජය හමුවේ තබන නිසා මෙම කාරණය පිලිබදව ද කිසියම් අවධානයක් යොමුකිරීම අත්‍ය අවශ්‍ය වේ.

මුහම්මද් (සල්) තුමාණන් සහා එතුමාණන්ගේ ආදරණීය බිරිද අතර තිබූ බැදීම කෙබදුද යන්න කෙටි අවධානයක් යොමු කලේනම්, මුහම්මද් (සල්) තුමාණන් විවාහපත් වී වසර 15ක් පමණ ගෙවීගොස් වයස අවුරුදු 40 ක් වූ සමයේ එවකට එම සමාජයේ අරාජිකත්වය පිලිබදව කලකිරුණු නබිතුමාණන් මක්කාවේ තරමක් ඈතින් පිහිටා තිබූ “හීරා” නම් වූ ගල් ගුහාවක කාලය ගතකිරීම සිරිතක් කරගත්තේය. මෙම ගල්ගුහාවේ නබිතුමාණන් දිනගනන් කාලය ගතකල අතර එසේ නබිතුමාණන් යාමේදී එතුමාණන්ට අවශ්‍ය ආහාර පාන සකසාදීම මෙන්ම එතුමාට අවශ්‍ය ආහාර පාන එම ගල් ගුහාව වෙත රැගෙනයාම කතීජා තුමිය විසින් සිදුකරන ලදී. මක්කාවේ ධනකුවේර කාන්තාවක් වූ ඇයට බොහෝ සේවකයෝ ද සිටියේය. අවශ්‍ය නම් සේවකයකුගේ අතේ නබිතුමාණන්ට අවශ්‍ය ආහාරපාන යවන්නට තිබූණි. නමුත් එම ආහාර පාන ඇය විසින්ම රැගෙනයාම තුල ඒ දෙදෙනා අතර තිබූ බැදීම අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එපමණක් නොව මුහම්මද් (සල්) තුමාණන් වක්තෘභාවය ලබා සමාජයට එය දේශනා කරන විට සමස්ථ සමාජයම එක හඩින් පවසා සිටියේ “මේ මුහම්මද්ට පිස්සු හැදිලා” යනුවෙනි. නමුත් එතුමාණන්ගේ බිරිද කතීජා තුමිය එතුමාගේ ප්‍රකාශය පිලිගෙන එතුමාණන්ව සත්‍ය කලාය. මේ එතුමිය හා එතුමාණන් අතර පැවතී අවබෝධය පිලිඹිබු කරන තවත් අවස්ථාවකි. මේ දෙදෙනා අතර පැවතී බැදීම කෙබදුද යන්න වටහාගත හැකි තවත් කාරණයක් තමා කතීජා තුමියගේ මරණය. කතීජා තුමියගේ මරණය මුහම්මද් (සල්) තුමාණන්ට දැඩි දුකක් ගෙනදෙන එකක් විය. මේ නිසාම එම වර්ෂය පවා දුක්ක වර්ෂයක් ලෙස පැවතුණුබව ඉතිහාසඥයින් සදහන් කරයි. නබිතුමාණන්ගේ (පසුකාලීන) බිරින්දෑවරුන් අතුරින් එකම කන්‍යාවිය වන ආයිෂා (රලි) තුමිය වරක් මෙසේ පවසන ලදී,

“මට ඊර්ෂියාවක් ඇතිවන තරමට හැම විටම කතීජා (රලි) තුමියව මුහම්මද් (සල්) තුමාණන් සිහිකරයි, වර්ණනා කරයි.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අල් ඉසාෆා

ඉහතින් චෝදනා කරනවා සේ මුහම්මද් (සල්) තුමාණන් හා කතීජා (රලි) තුමිය අතර අසාර්ථක බැදීමක් හෝ කාමුක වියරුවක් නම් පැවතුණේ කතීජා (රලි) තුමියගේ මරණය නබිතුමාණන්ට සතුට ගෙනදෙන කාරණයක් වියයුතුය. එසේම කිසිවිටෙකත් ලාබාල කන්‍යාවියක් වූ ආයිෂා (රලි) තුමියට වඩා මහළු වයොවෘද්ධ කතීජා (රලි) තුමිය ශ්‍රේෂ්ඨ විය නොහැක. මේ සියල්ල තුලින් පැහැදිලි වන්නේ මේ දෙදෙනා අතර තිබුණු බැදීම කාමුක ආශාවන් ඉක්මවාගිය සුන්දර ආදර බැදීමක් යන්නයි. මෙය වඩ වඩාත් තහවුරු කරන තවත් කාරණයක් ලෙස කතීජා (රලි) තුමිය මියදෙන තෙක් මුහම්මද් (සල්) තුමාණන් තවත් විවාහයක් කර නොගෙන සිටීම ද නැවතත් සදහන් කලයුතුම වේ. ඊට අමතරව මුහම්මද් (සල්) තුමාණන් හා එතුමාණන්ගේ ආදරණීය ප්‍රථම බිරිද අතර පැවතී බැදීම කෙබදුද යන්න අවබෝධකර ගැනීමට ඉහත කරුණූ හොදටම ප්‍රමාණවත් වුවත්, අවසාන වශයෙන් මුහම්මද් (සල්) තුමාණන් කල ප්‍රකාශයක් (හදීසයක්) සදහන් කරන්නට කැමැත්තෙමි. එනම්,

“මෙලොව සිටින කාන්තාවන් අතුරින් ඉම්රාන්ගේ දූ මරියම් ((යේසුස් හෙවත්) ඊසා (අලෛ) තුමාගේ මව) සහා කුවෙයිලිද්ගේ දූ කතීජා ඉතාමත්ම ශ්‍රේෂ්ඨ කාන්තාවන් වන්නේය.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි, තිර්මිදි

ඉහත හදීසයන්ට අමතරව කතීජා (රලි) තුමියගේ මහිමය කියාපාන බොහෝ හදීසයන් ආගමික මූලාශ්‍රයන් හි දක්නට ඇත. නමුත් ඒවා එකින් එකට විස්තර කිරීමට අවශ්‍ය නොවනු ඇත. මන්ද මෙතෙක් ඉදිරිපත් කල කාරණයන් අන්තවාදී නොවී බුද්ධිමත් ලෙස අවධානය යොමු කලේනම් මුහම්මද් (සල්) තුමා සහා කතීජා (රලි) තුමිය අතර පැවතී බැදීම අන්තවාදී විවේචකයන් පවසනවා සේ කාමුක ජීවිතය එකම අරමුණුකරගත් බැදීමක් නොවන බවත්, ඒ දෙදෙනා අතර පැවතියේ සුන්දර හා ගෞරවණීය ආදරයක් යන්නත් මනාව පැහැදිලි වනු ඇත.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *