අබායා සංස්කෘතිය හා ඉස්ලාමීය ඉගෙන්වීම

0

කාන්තා හිංසනය, අපයෝජනය හා දූෂණය වත්මන් ලෝකයේ උග්‍ර ගැටළුවක් ලෙස නිතර සාකච්චා කෙරේ. ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවර කුමක්ද? යන්න මෙහි කෙටි අවධානයක් යොමු කලේ නම්, ලොව අනිකුත් ආගම් මෙන්ම ඉස්ලාම් දහම ද මෙවැනි ක්‍රියාවන් දැඩිව හෙලාදකී. නමුත් ඉස්ලාම් එය හෙලාදැකීමට පමණක් සීමා නොවේ. වර්ථමානයේ විවිධ සංගම්, සමිති, ආගමික ආයතන විවිධ තේමාපාඨයන් පෙරදැරිව මෙවැනි කාන්තා හිංසනයන් හෙලාදැකීමත්, ඊට එරෙහිව උද්ගෝෂණ ක්‍රියාත්මක කිරීමත් සුලභ දකින්නට ඇත. නමුත් එතැනින් ඔවුන්ගේ කාර්‍යභාරය අවසන් වේ. නමුත් ඉස්ලාම් එලෙස හෙලාදැකීමෙන් පමණක් නතර නොවී ඉන් පියවර ගනනාවක් ඉදිරියට ගොස් මෙවැනි තත්වයන් සමාජය තුල ඇති නොවන්න කටයුතු කරන්නේ කෙසේද? යන්නත්, මානව වර්ගයා එහි ක්‍රියාකල යුත්තේ කෙසේද? යන්නත් පැහැදිලිවම පෙන්වාදෙයි.

මෙහිදී ඉස්ලාමීය කාන්තාව සදහා පමණක් නොව පිරිමියා සදහා ද විවිධ වූ නීතිරීති ඉස්ලාම් පනවයි. එය පහත දැක්වෙන 24-30 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයෙන් ඔබට වටහාගත හැකිවනු ඇත.

නබිතුමණි! විශ්වාසවන්ත (මූමීන්වරුන් වන) පිරිමීන්ට නුඹ පවසන්න, ඔවුන් ඔවුන්ගේ බැල්ම (කාන්තාවන් දෙස යොමු නොවී) පහත හෙලාගත යුතු බවත්. එසේම ඔවුන්ගේ රහස්‍ය (ලිංගික) පෙදෙස් (දුර්මාර්ගයන්ට යොමු නොවී) ආරක්ෂා කර ගතයුතු බවත්. එසේ කිරීමෙන් ඔවුන් බොහෝ පාරිශුද්ධත්වයට පත්වනු ඇති බවත්.

ඉහත වාක්‍යය මඟින් සෑම (වැඩිවියට පත්) පිරිමියෙකුම පිටස්තර (එනම්, මව, සහෝදරියන්, දැරියන් හෝ බිරිද හැර වෙනත්) කාන්තාවක් නෙත ගැටුනු විගස තම බැල්ම පහත හෙලා ගතයුතු යන්න අවධාරනය කරයි. මෙසේ මනුෂ්‍යා වරදට පොළඹවන මුල් පියවර “බැල්ම” පහත හෙලීමට අවවාද කිරීම තුලින් ඔහු වරදකට පෙළඹීමේ පලමු අවස්ථාව මඟහරවයි. ඉහත ආකාරයට පිරිමි පාර්ශවය සදහා නීති පනවමින් ඔහුව ආරක්ෂා කරන ඉස්ලාම් දහම එතැනින් නතර නොවී ඉහත වරදට පොළොඹ වන දෙවන අවස්ථාව වන කාන්තාවගේ ඇදුම් විලාසය පිලිබදව ඊළඟ වාක්‍යයෙන් එනම්, 24:31 මඟින් කථා කරයි.

(නබියේ!) විශ්වාසවන්ත කාන්තාවන්ටද ඔබ මෙසේ පවසනු: ඔවුන්ද තමන්ගේ බැල්ම පහතට යොමු කොට තමන්ගේ පතිවතද ආරක්ෂා කර ගනු. (තවද, තමන්ගේ ශරීරයේ වැඩි හරියක්) පිටතට දැකිය හැකි දැය හැර, තමන්ගේ අලංකාරයද, (ඇඳුම් ආයිත්තම්, ආභරණ වැනි) පිටතට නොපෙන්වා සඟවා ගනු. තමන්ගේ හිස් වස්නා සේලයෙන් ලැමදද සඟවා ගනු. කාන්තාවන් තමන්ගේ ස්වාමිපුරුෂයින්, තමන්ගේ පියවරුන්, තමන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්, තමන්ගේ පුතුන්, තමන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පුතුන්, තමන්ගේ සහෝදරයින්, තමන්ගේ සහෝදරයින්ගේ පුතුන්, තමන්ගේ සහෝදරියන්ගේ පුතුන්, නැතහොත් (මුස්ලීම්වරුන් වන) තමන් (සමග සම්බන්ධකම් ඇති) තමන්ගේ කාන්තාවන්, තමන්ගේ දකුණු අත් හිමි කර ගත් අය, නැතහොත් කාන්තාවන්ගෙන් කැමැත්තක් නැතිව තමන්ව බලාපොරොත්තුවෙන් ජීවත් වන පිරිමින්, කාන්තාවන්ගේ සැඟවුණු අවයවයන් (පිලිබදව අවබෝධයක්) දැන නොගත් කුඩා වයසේ සිටින (පිරිමි) දරුවන් ආදී මොවුන් හැර, (අන් අයටද තමන් හැඳ සිටින ඇඳුම් ආයිත්තම්, ආභරණ වැනි) තමන්ගේ අලංකාරයද, ලක්ෂණද නොපෙන්වනු. තවද තමන්ගේ අලංකාරයෙහි සඟවා ඇති දැය දැනුම් දීමට (භූමියෙහි) තමන්ගේ පාදයන් හප්පමින් ගමන් නොකරනු. විශ්වාසවන්තයිනි! (මෙහි ඔබගෙන් යම්කිසි වරදක් ඇති වුවහොත්) ඔබ සියල්ලන්ම ජයග්‍රහණය කිරීම පිණිස අල්ලාහ් දෙවින්ගෙම පව් සමාව ඉල්ලා (ඔබගේ මනස) හරවා ගනු.

කාන්තාව තම වස්ත්‍රය මඟින් තමන්ව ආවර්ණය කිරීමේ සීමාවන් ඉස්ලාම් ඉතා පැහැදිලිව ඉහත 24-31 වාක්‍යයෙන් පවසයි. ඉස්ලාම් මේ සම්බන්ධයෙන් පනවන නීති මඟින් දැඩි පිලිවෙතක් අනුගමනය කරන්නේ එය තනිපුද්ගල වශයෙන් සැලකුවද සමාජයක් ලෙස සැලකුවද මූලික අවශ්‍යතාවයක් වන නිසාම යන්න 20 වන සියවසයේ ජීවත් වන ඔබට අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. ඉහත වාක්‍ය තුලින් ඉස්ලාම් කථා කරන කාන්තා ඇදුම් විලාසය ‘හිජාබ් හා අබායා‘ යනුවෙන් සමාජය තුල කථා කරයි. එසේ ඉස්ලාම් කථා කරන “හිජාබ්” නැමැති ඇදුම් විලාසය වචනාර්ථයෙන් නොව ඉස්ලාම් ඒ තුලින් අපේක්ෂා කරන අරමුණූ අවබෝධ කරගැනීමයි මෙහි වැදගත් වන්නේ. ඉස්ලාම් පවසන මෙම “හිජාබ්” ක්‍රමය පිලිබදව ද ශ්‍රී ලාංකීය මුස්ලීම් මෙන්ම මුස්ලීම් නොවන සමාජයට ද පැහැදිලි අවබෝධයක් නොමැති බවක් යම් යම් සිද්ධීන් දෙස බැලීමේ දී පෙනීයයි. එමනිසා එම කාරණය පිලිබදව තරමක් ගැඹුරින් සමාජය තුල කථා කිරීම කාලීන අවශ්‍යතාවයකි.

ඉස්ලාම් පවසන “හිජාබ් හා අබායා” යනු කුමක්ද?

ඉස්ලාම් වතාවත්වලට පමණක් සීමා දහමක් නොවේ. එය දිව්‍යමය මඟපෙන්වීමක් සහිත වූ පරිපූර්ණ ජීවන රටාවකි. එහි මනුෂ්‍යාගේ මුලික අවශ්‍යතාවය වන වස්ත්‍ර පිලිබදව කථා නොකලේ නම්, එය දහමේ අඩුපාඩුවකි. නමුත් දිව්‍යමය මගපෙන්වීමක් පදනම් කරගත් ඉස්ලාම් එලෙස කිසිවක් අංශු මාත්‍රයකින්වත් අතපසු කොට නැති බව සනාථ කරමින් ඇදුම් විලාසය පිලිබදව ද ඉස්ලාම් කථා කරයි. වත්මන් සමාජය තුල කාන්තාවට මෙන්ම පිරිමීන් සදහා ද විවිධ වූ ඇදුම් විලාසිතාවන් දක්නට ඇත. මේවා අතුරින් ඉස්ලාම් පවසන “හිජාබ් හා අබායා” ක්‍රමය කුමක්ද? යන්න පිලිබදව නිසි අවබෝධය ශ්‍රී ලාංකීය මුස්ලීම් නොවන සමාජයට නොමැති නිසා මේ සම්බන්ධයෙන් විවිධ වූ විවේචන හා අපහස කිරීම් නිතර දක්නට ලැබේ. මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව බොහෝ මුස්ලීම්වරුන්ට ද මේ පිලිබදව ඇත්තේ අවම දැනුමකි. එපමණක් නොව මුස්ලීම් සමාජ භාවිතයේ (රූපයේ ඇති ආකාරයේ) විවිධ ආකාරයේ වූ ඇදුම් විලාසයන් විවිධ නම්වලින් ද මුස්ලීම් සමාජය තුල දක්නට ලැබේ. මෙයද මුස්ලීම් නොවන සමාජයට කුතුහලය ගෙනදෙන කාරණයකි. මෙවැනි හේතු කාරණා රාශියක් නිසා මේ කාරණය එනම් “ඇත්තෙන්ම මොකක්ද මේ හිජාබ් හා අබායා ක්‍රමය?” යන්න මෙහිදී පැහැදිලි කිරීමට අදහස් කරමි.

මෙහි දී ප්‍රථමයෙන් සියළුදෙනා අවබෝධ කර ගතයුතු මුඛ්‍ය කාරණය වන්නේ, “ඉස්ලාම් කාන්තාවන් සදහා ඇදුම් විලාසිතාවක් හදුන්වා දී නැත” යන්නයි. ඉස්ලාම් මෙහිදී හදුන්වාදෙන්නේ ඇදුමක තිබිය යුතු මූලික අවශ්‍යතාවයන් පමණි. මෙහිදී තවත් කාරණයක් පැවසිය යුතුව ඇත. එනම් අන්‍ය ආගමික පිරිස් අතර මෙන්ම සුළුතරයක් මුස්ලීම්වරුන් අතර ද පවතින අනවබෝධය නම් “ඇදුම් සම්බන්ධයෙන් ඉස්ලාම් නීති පනවන්නේ කාන්තාවට පමණක්” යන්නයි. මෙය අනවබෝධයකි. ඉස්ලාම් දහම ඇදුම් සම්බන්ධයෙන් නීති පැනවීමේ දී එය කාන්තාවට පමණක් සීමා කලේ නැත. කාන්තා හා පිරිමි දෙපාර්ශවය සදහාම විවිධ වෙනස්කම් සහිතව නීති පනවා ඇත. එය මෙසේය…

කාන්තාව ඇදුම් තෝරා ගැනීමේදී එය තම ශරීරයේ හැඩතලයන් පිටතට මතුකොට නොපෙන්වන ආකාරයට පැවතිය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. ශරීර අවයවයන්ගෙන් පිටතට නිරාවර්ණය වී පැවතිය යුත්තේ මුහුණ සහා අතේ මැනික්කටුව දක්වා වූ පෙදෙස පමණි. සම්පූර්ණයෙන් තම ශරීරය වසන් වන ආකාරයට ඇදුම් අදින ලෙස ඉස්ලාම් කිසිදු අවස්ථාවක නියෝග කොට නැත. නමුත් මුළු ශරීරයම වැසෙන ආකාරයට ඇදුම් අදින සමහරක් කාන්තාවන් ලාංකීය සමාජයේ මෙන්ම විදේශ රටවල ද දකින්නෙමු. එවැනි ක්‍රියාවන් ඉස්ලාම් නොවන අතර එය ඉස්ලාම් යයි කිසිවකු සිතන්නේ නම් එය අනවබෝධයක් පමණි. මෙය තහවුරු කිරීම සදහා ශුද්ධ වූ නබිවදනක් (හදීසයක්) ඔබගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. එනම්,

දිනක් නබිතුමාණන් සහා එතුමගේ බිරිද වන අයිෂා (රලි) තුමිය. නිවස තුල රුදී සිටින අවස්ථාවක එම ස්ථානයට අයිෂා (රලි) තුමියගේ සහෝදරිය වන අස්මා (රලි) තුමිය පැමිණෙන ලදී. එම අවස්ථාවේ අස්මා (රලි) තුමිය ඉතා සිනිදු (තම ශරීරයේ හැඩතල පිටතට මතු වී පෙනෙන ආකාරයේ) ඇදුමක් ඇද සිටියාය. මෙය දුටු නබිතුමානන් “අස්මා!, කාන්තාවක් වැඩිවියට පත්වුවා නම් තම ශරීරයේ මේ මේ ප්‍රදේශ හැර අනිකුත් ප්‍රදේශයන් පිටතට පෙනීම සුදුසු නැත.” යනුවෙන් පවසන ගමන් තම අතින් තම මුහුණ සහා අතේ මැනික්කටුව දක්වා පෙදෙස පෙන්වන ලදී.

දන්වන්නේ – අයිෂා (රලි), ග්‍රන්ථය – අබූදාවුද්, අබූහාතම්

ඉහත හදීසයට අනුව කාන්තා ඇදුමක සීමාව පහසුවෙන් අවබෝධ කරගත හැක. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා ආදර්ශයක් පවසනවා නම්, එය වර්ථමාන ශ්‍රී ලාංකීය බෞද්ධ සිල්මාතාවක් අදින ඇදුමට බොහෝදුරට සමාන වන අතර ඊට අමතරව මුස්ලීම් කාන්තාවගේ හිස සහා හිසකෙස් වැසී පැවතීමද අනිවාර්ය වේ. මීට අමතරව කාන්තාවගේ ඇදුම් විලාසය පිරිමින්ගේ ඇදුම් විලාසයට සමාන නොවීම ද අනිවාර්ය නීතියක් ලෙස ඉස්ලාම් පනවයි. මීට අමතරව ඉස්ලාම් ඇදුම් වර්ණ තෝරාගැනීමේ දී ද එක් කොන්දේසියක් පනවයි. එනම් දුඹුරු පාටට හුරු “කහ” වර්ණය සහිත ඇදුම් ඇදීම ඉස්ලාම් තහනම් කරයි. මේ හැර වෙන කිසිදු කොන්දේසියක් කාන්තාව සදහා ඉස්ලාම් පනවා නොමැත. ඒ අනුව ඉහත කොන්දේසිවලට යටත්ව ඕනෑම ඇදුමක්, ඕනෑම වර්ණයකින් ඇදීමේ නිදහස ඉස්ලාම් කාන්තාවට ලබාදී ඇත.

පිරිමි :- පිරිමින් ද තම ඇදුම් තෝරා ගැනීමේ දී එය තම ශරීර හැඩතලයන් පිටතට මතුකොට නොපෙන්වන ආකාරයට පැවතිය යුතුය යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. නමුත් එහි සීමාව කාන්තාවට සාපේක්ෂව බොහෝසෙයින් අඩුය. එහි සීමාව තම නාභියේ සිට කලව ප්‍රදේශය දක්වා වූ ප්‍රදේශයට සීමාවේ. අනිකුත් කොන්දේසි කාන්තාවට මෙන්ම වේ. එනම් කාන්තාවට සමාන වන ආකාරයට ඇදුම් තොරාගත නොහැක. එසේම ඉහතින් සදහන් කල කහ වර්ණයෙන් ඇදුම් ඇදීමට ඉස්ලාම් හි අවසර නැත. මේ කොන්දේසිවලට අනුකූලව ඕනෑම ඇදුමක් ඕනෑම වර්ණයකින් ඇදීමේ සම්පූර්ණ නිදහස පිරිමියාට ද ඉස්ලාම් ලබාදී ඇත.

මෙම ඉස්ලාමය කොන්දේසි දෙස මතුපිටින් බලන කෙනෙකුට, විශේෂයෙන් වර්ථමාන විලාසිතාවන් තුල ගිලී වල්මත් වී ගිය පිරිසට මෙම කොන්දේසි සාධාර්ණ නොවන 20 වන සියවසයට නොගැලපෙන කොන්දේසි ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් මේ තුල ඉස්ලාම් තහවුරු කර ඇත්තේ තනිපුද්ගල මෙන්ම සමස්ථ සමාජයක ආරක්ෂාව බව බුද්ධිය ඇති ඕනෑම කෙනෙකු හට පහසුවෙන් අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එය වත්මන් ලොව තුල විලාසිතා නමින් නිර්වත් වන සමාජය හා ඉස්ලාම් පවසන හිජාබ් ක්‍රමය තුල ජීවත් වන සමාජය තුල කාන්තාවන්ට සිදුවන අතවරයන් හා හිංසනයන් පිලිබදව සංසන්ධනාත්මකව බැලුවේ නම් මනාව අවබෝධ කරගත හැකි වනු ඇත. මෙම තත්වය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට අද ලොව දියුණු සංස්කෘතියක් හා ඇදුම් විලාසිතාවන් පවතින රටක් වෙත ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ඒ අද ලොව බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලාංකීය තාරුණ්‍යයටත් ආදර්ශමත් විලාසිතාලන්තයක් වූ ඇමරිකාව වෙතයි. ඇමරිකාවේ සංස්කෘතියට හා විලාසිතාවන්ට ආවඩන්නට කවදත් සැදීපැහැදී සිටින අප පහත විමර්ශන වාර්ථාව පිලිබදව වරක් නොව දෙවරක් සිතා බැලිය යුතු යන්න යහමග යෝජනාවයි.

ඇමරිකානු අභ්‍යන්තර විමර්ශන ඒකකය විසින් 1990 හා 1996 වර්ෂයට අදාලව නිකුත් කල වාර්තාවේ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් සදහන් වූ කරුණු සාරංශ කොට පහතින් ඔබගේ අවධානයට යොමු කරමි.

1990 වර්ෂයේ පමණක් ඇමරිකාව තුල ස්ත්‍රී දූෂණ 1,02,555 සිදුවූ බවට වාර්ථා වූ අතර එය මුළු සංඛ්‍යාවෙන් 16% ක වාර්ථාවීමකි.

  • එය සිදුවූ මූළු සිදුවීමන්ගෙන් වාර්තා වූ 16% ක් පමණක් වේ.
  • ඒ අනුව මුළු සිදුවීම් සංඛ්‍යාව ආසන්න වශයෙන් 6,41,000 පමණ වේ.
  • මේ අනුව දිනකට සිදුවන ප්‍රමාණය දළ වශයෙන් 1,756 කි.

1996 වර්ෂයේ පමණක් ඇමරිකාව තුල ස්ත්‍රී දූෂණ සිදුවීම් 9,90,322 ක් වේ.

  • ඒ අනුව දිනකට සිදුවූ ගනන 2,713 ක් පමණ වේ.
  • එසේ නම් පැයකට 113ක් සිදුවේ.
  • ඒ අනුව දළ වශයෙන් සෑම විනාඩියකටම ස්ත්‍රී දූෂණ 02 ක් සිදුවේ.

ඉහත සංඛ්‍යාලේඛන ඉදිරිපත් කල ඔවුන් තවදුරටත් පවසා සිටියේ “ඉහත වරදකරුවන්ගෙන් 10% ක පිරිසක් පමණයි නීතියේ රුහැනට හසු කරගෙන දඩුවම් කිරීමට හැකි වී ඇත්තේ.” යනුවෙනි.

මෙහි දී ඔබේ අවධානය යොමු වියයුතු විශේෂ කරුණක් ඇත. එනම් ඇමරිකානු දණ්ඩනීතිය අනුව ස්ත්‍රී දූෂකයෙකු හට දෙන උපරිම දඩුවම වසර 07 ක සිර දඩුවමකි. එනමුත් (ශ්‍රී ලංකාවේ මෙන්ම) රටේ විවිධ විශේෂ අවස්ථාවල් මෙන්ම විනිසුරුතුමාගේ අනුකම්පාව වැනි කාරණා පදනම් කරගෙන වසරක පමණ කාලයකින් ඔහුට ඉන් නිදහස් විය හැක. මෙහි දී මා මතුකරන ප්‍රශ්නය මෙලෙස නීති ක්‍රියාවට නැංවීම තුල ඉහත ආකාරයේ වැරදි සමාජයේ අඩුවෙනවාද? වැඩිවෙනවාද? එය මා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ යයි සිතමි. මන්ද එම ප්‍රශ්නයට පිලිතුර 1990 හි අගයට වඩා 1996 හි අගයෙහි සීඝ්‍ර වර්ධනයක් පෙන්වීම තුල මනාව පිළිඹිබු වේ.

දැන් ඉහත ඇමරිකාව තුල ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක වෙනවා යයි ද එම සමාජය ඉස්ලාමීය අනපනත්වලට අනුකූලව ජීවත් වෙනවා යයි උපකල්පනය කලේ නම්, එම සමාජයේ කාන්තාවක් පිරිමියෙකුගේ නෙතගැටුනේ නම් ඔහු තම බැල්ම පහත හෙලීම අනිවාර්‍ය වනු ඇත. ඒ තුලින් තම මනසෙහි ඇති වන වරදකාරී සිතුවිලිවලින් මෙන්ම වරදට පෙළඹවීමන්ගෙන් ද වැලකීයනු ඇත. එසේම ඉස්ලාමීය කාන්තාවක් ඉහතින් සදහන් කල ආකාරයේ “හිජාබ්” නැමැති ඇදුම් විලාසය අනුගමනය කිරීම මඟින් පිරිමීන් ඉහත අකාරයේ වැරදි මඟට පෙළඹවීමන්ද සමාජයෙන් තුරන් වී යයි. මේ සියල්ල අභිබවා සිදුවීමක් සිදුවුයේ නම් ඒ සදහා පැහැදිලිවම ඉස්ලාම් මරණ දඩුවම අන කිරීම තුල එයට නිසි දඩුවම ලැබෙන අතර මෙවැනි වරදකට පෙළඹෙන අවස්ථාව තවත් ඇහිරී යයි. මෙවන් තත්වයක් තුල මා ඉහතින් මතුකල ප්‍රශ්නය නැවතත් ඔබෙන් විමසමි. එනම් මේ ආකාරයට ඉස්ලාමීය නීති රටක (ඇමරිකාවම සලකමු) ක්‍රියාත්මක වන විට එම සමාජය තුල වැරදි අඩුවෙනවාද? වැඩිවෙනවාද?. රටක නීතියක් ක්‍රියාත්ම වියයුත්තේ එම සමාජය ඉන් ආරක්ෂා වන ආකාරයටය. (මේ පිලිබදව වැඩි විස්තර ඔබට “ජාතික සිරකරු දිනය” යන ලිපිය තුලින් කියවීමට හැක) නමුත් අද බොහෝ රටවල ක්‍රියාත්මක වන නීති දෙස බලන විට එහි ශුද්ධ වූ අරමුණ ඉටු වෙනවාද? යන සැකය මතුවේ. එපමණක් නොව වර්ථමාන දණ්ඩනීති දෙස බලන විට ඒවා මඟින් මෙවැනි සමාජ විරෝධි ක්‍රියාවන් සදහා සමාජය පොළොඹවනවාද? යන සැකය ද මතුවේ.

ඉහත කරුණූවලට අනුව කුමන දහමක් දර්ශනයක් අනුගමනය කලත් එය හුදෙක් වතාවත්වලට හා ඇදහිලිවලට පමණක් සීමා නොවියයුතු යන්න පැහැදිලිය. එය තනිපුද්ගල වශයෙන් ගත්තද සමාජයක් ලෙස ගත්තද එය යහපත් මෙන්ම ප්‍රායෝගික ආකාරයට පැවතිය යුතුය. එම අවශ්‍යතාවය ඉස්ලාම් මනාව සපුරා ඇති බව ඉහත සදහන් නිදසුන් දෙක තුලින්ම ඔබට හොදින් අවබෝධ වනු ඇත. ඉහත කරුණු කාරණා තුලින් ඉස්ලාම් කියාදෙන මූලික පාඩම “අකුසල්වලින් මීදි කුසල් ක්‍රියාවන් හි නිරතවීමටත්, වැරදි ක්‍රියාවන්ගෙන් මිදී යහපත් ජීවිතියක් ගොඩනැගීමටත්, ඇදහිලි හා වතාවත් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, සියළු ක්ෂේත්‍ර ආවර්ණය කල ජීවන මාර්ගයක් පැවතිය යුතු බවත්ය.” එවන් වූ ජීවන මගක් තුල සමස්ථ ලෝකයාටම ප්‍රායෝගික හා පලදායි ජීවන මාර්ගයක් නිර්මාණය කරදීමේ අභියෝගය ඉස්ලාම් දහමට ජයගැනීමට හැකි වී ඇත.

ඉබුනු සහීර්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *