ජාතිකවාදය, ජාතිවාදය හා ගෝත්‍රවාදය

0

වත්මන් ශ්‍රී ලංකාව ගෝත්‍රවාදී යුගයක් කරා ආපසු හැරී ඇතැයි පැවසුවේ නම් එය කිසිසේත් අතිශයෝක්තියෙන් පැවසීමක් යයි කිව නොහැක. එදා ගෝත්‍රවාදී යුගයේ පැවතී බලවතා දුබලයා විනාශ කිරීමේ න්‍යය ඒ ආකාරයටම අද ශ්‍රී ලාංකීය සමාජය තුල දියත් වෙමින් හා ඊට අවශ්‍ය පිඹුරුපත් සකස් වෙමින් ඇත. එදාට වඩා අද වෙනසකට ඇත්තේ එදා මුහුණට මුහුණ පමණක් සිදුවූ ගෝත්‍ර සටන අද ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉතා සියුම්ව සැලසුම් කොට සිදුකිරීම පමණි. එනම්, පිරිසක් ඒ අතීත ගෝත්‍ර  සටන් ක්‍රමයම අනුකරණය කරමින් කඩු පොලු අරගෙන පහරදෙයි. තවත් පිරිසක් ගරිල්ලා ක්‍රමයට බෝම්බ, ගල්මුල්… යනාදියෙන් (සැඟව සිට) පහර දෙයි. තවත් පිරිසක් තාක්ෂණය උපයෝගි කරගෙන Facebook හා Whatsapp යනාදී සමාජ මාධ්‍ය තුලින් ප්‍රහාර දියත් කරයි. සමහරක් මාධ්‍ය ආයතන හා දේශපාලඥයින් සූක්ෂම සැලැස්මකට මේ සියලු ප්‍රහාරයන්ට අවශ්‍ය පසුබිම පිටිය සකසාදීමෙහි නියලෙයි. තවත් පිරිසක් මේ සියල්ල බලාහිඳ කාලකන්නි සතුටක් ලබමින් සියළු ක්ෂේත්‍රයන්ට ආශිර්වාද පල කරයි. මේ කුමන ක්ෂේත්‍රය නියෝජනය කලත් ඔවුන් සියල්ල ගෝත්‍රවාදී වියරුවෙන් පෙලෙනවා යන්නෙහි විවාදයක් නැත.

විවිධ කාලවල මේ රටේ පහල වූ ජාතියේ මහා වීරයන් යයි සැලකෙන සමහරක් පිරිස් ජනප්‍රිය චරිතයන් හා වීරයන් වූයේ මේ රටට හා සමාජයට ගෝත්‍රවාදය දේශනා කරමිනි. එම වැරදි පූර්වාදර්ශය ඔස්සේ ගමන් කරන වත්මන් සමාජය ඔන්න අපිව වඳ කරනවා, අපිට ශරීයා නීති ගේනවා, මේ රට ආක්‍රමණය කරන්න හදනවා… යනාදී කිසිදු පදනමක් නැති තර්ක විතර්ක තම ජාතිය හමුවේ තබමින් ඔවුන් ද ගෝත්‍රවාදී මානසිකත්වයකට ඇද දමමින් මේ රටේ මුස්ලීම් ප්‍රජාවට එරෙහි මිලෙඡ්ච වූ ක්‍රියාවන්ට සිංහල ජාතියේ සැලකිය යුතු පිරිසක් පෙලගස්වාගෙන හමාරය. එහි ප්‍රතිපලයක් ලෙස,

  • අද වනවිට පාසැල්වල කුඩා දරුවන් පවා මේ ජාතිවාදය වීරක්‍රියාවක් ලෙස දැකීමටත්, මුස්ලීම් දරුවන් හතුරන් ලෙස හෝ බියගුලුවන් ලෙස අපහසාත්මකව කථා කිරීමටත් පෙළඹෙන තරමට මේ ගෝත්‍රවාදය පාසැල්වලටත් ළමා මනසටත් ඔඩුදුවා  ඇත.
  • සමහරක් පාසැල්වල ගුරුවරුන්ද අද වනවිට පංති කාමරවල මේ ගෝත්‍රවාදය කථා කරන තැනට පත්ව ඇත.
  • බෞද්ධ ආගමික විද්වතුන් යයි පවසාගන්නා සමහරක් දහම නමින් මේ ගෝත්‍රවාදය බෞද්ධ සමාජයට දේශනා කරමින් ඇත.
  • සේව ස්ථානවල හා මිතුරන් අතර ජාතික සමඟිය බිඳී සැකය අවිශ්වාසය වර්ධනය කරන තැනට මෙම ගෝත්‍රවාදය ඔඩු දුවමින් ඇත.
  • සාමාන්‍ය සමාජ වූවත් එකින් එකා අතර මනුස්සකම වෙනුවට වෛරය වර්ධනය කරගන්නා තැනට මේ ගෝත්‍රවාදය ඔඩු දුවමින් ඇත.

මෙවන් පරිසරයක රටේ සුළුතරයක් වන මුස්ලීම් ජනතාව අද වනවිට මේ රටේ පවතින තත්වයන් හමුවේ ඉතා අසරණ වී ඇත. මේ රටේ ජීවත්වීමට සිදුවීම මහා කරුමයක් යයි සිතෙන තැනටත්, අපේ දරුවන් මේ රටේ ජීවත්වීමට සිදුවීම ඔවුන්ගේ අවාසනාවක් යයි සිතෙන තරමටත් දිනෙන් දින තත්වය නරක අතකට හැරෙමින් ඇත.

අතීතයේ පටන් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් සියළු ජාතීන් සමඟ ඉතා සමීපව හා හොඳහිත වර්ධනය කරගනිමින් ජීවත් වී ඇත. මේ රටේ වෙසෙන මුස්ලීම් ජනයාට විරුද්ධව ඔවුන් රටට එරෙහි වුණා, රටේ කුමණ්ත්‍රනයන් කලා, රට පාවාදුන්නා… යනාදී කිසිදු චෝදනාවක් අතීතයේ පටන් මේ දක්වා ම නැත. මේ ගෝත්‍රවාදීන්ගේ කෝණයෙන් අප කල එකම වරද මේ රටේ  මුස්ලීම්වරුන් වීම ම පමණි. එක්පසකින් මේ අපට අත්වෙමින් තිබෙන ඉරණ හමුවේ අප පුදුමයට පත්වියයුතු ද නැත. මා එසේ පවසන්නට හේතුව අවිහිංසාව හා නිර්මල බුදුදහම කට වචනයට මහා උජාරුවෙන් කථා කරමින් තම රටේ සුළුතරය වන මුස්ලීම්වරුන්ට වද හිංසා පමුණුවන එකම රට ශ්‍රී ලංකාව පමණක් නොවන බැවිණි.

  • අප ආසන්නතරම රටක් වන මියන්මාරයේ තත්වය මොහොතක් විමසා බලන්න. එහි මුස්ලීම් සුළුතරයක් වන අතර බහුතරය බෞද්ධයන්ය. එහි මුස්ලීම්වරුන්ගේ තත්වය අප රටේ තත්වයට දෙවැනි නැත.
  • අප ආසන්නතම රටක් වන ඉන්දියා සැලසුවත් එහි ද මුස්ලීම් සුළුතරය වන අතර එහි තත්වය ද මෙයට සමානය.

මුස්ලීම්වරුන්ට පදනම් විරහිතව ඇඟිලි දිගු කරමින් ඔවුන්ගේ විනාශයට පිඹූරුපත් සකසන පිරිස් මෙන්ම මේවාට දැන හෝ නොදැන ආවඩන පිරිස් මෙවැනි කරුණු පිලිබදව ද බුද්ධීමත්ව විමසා බැලිය යුතුය.  මෙහිදී අපට අසන්නට ඇත්තේ ‘සිංහලයනි!, ඔබලා මහාජාතිය නිසාද සුළුජාතිය වන අපට මෙහෙම කරන්නේ ?‘, යනුවෙනි. අප මහා ජාතිය වන රටවල් තුල ඔබලාට මුස්ලීම්වරුන් සලකන්නේ කොහොමද? යන්නත් ඔබලා විමසා බැලිය යුතු නොවේද?. එයටත් නිදසුන් කිහිපයක් ඔබලාගේ බුද්ධීමත් අවදානයට ඉදිරිපත් කරන්නම්.

  • අප ආසන්නතම රටක් වන බංගලාදේශය එහි මුස්ලීම් බහුතරය වන අතර බෞද්ධයන් සුළුතරයකි. බංගලාදේශ බෞද්ධයන් එහි ඉතා සාමකාමීව ජීවත් නොවන්නේද?. ලෝක බෞද්ධයන්ගේ උරුමයන් එම භූමිය තුල ඉතා සුරක්ෂිතව තිබෙනවා නොවේද?. ශ්‍රී ලාංකීය ඔබේ ‘වඳපෙති, ශරීයා, ආක්‍රමණ… සංකල්ප එතැන වලංගු වී නැත.
  • අප ආසන්නතම තවත් රටක් වන මලයාසියාව එහි ද මුස්ලීම් බහුතරය වන අතර බෞද්ධයන් සුළුතරයකි. එහිද ඔබේ පුහු ‘වඳපෙති, ශරීයා, ආක්‍රමණ… සංකල්ප වලංගු වී නැත.
  • අප ආසන්නතම තවත් රටක් වන ඉන්දුනීසියාව එහි ද මුස්ලීම් බහුතරය වන අතර බෞද්ධයන් සුළුතරයකි. එහිද ඔබේ ‘වඳපෙති, ශරීයා, ආක්‍රමණ… සංකල්ප වලංගු වී නැත.

එසේනම් මේ සියළු කරුණු තුලින් පැහැදිලිව පෙනෙන සත්‍ය කමක්ද ?. මෙතැන ඇති ගැටළුව “වඳපෙති, ශරීයා, ආක්‍රමණ…“ යන කිසිවක් නොව, ප්‍රබලයා දුබලයා පරාජ කිරීමේ මිලෙඡ්ච ගෝත්‍රවාදය පමණි. එහිදී තම ක්‍රියාවලිය සාධාර්ණීකරනය කිරීම සදහා මේ වඳපෙති, ශරීයා, මුස්ලීම් ආක්‍රමණ… යනාදී බෝඩ් ලෑලි යොදා ගැනීම පමණක් සිදුකරනවා යන්න ඔප්පු වෙනවා නොවේද?.

 

ඉබුනු සහීර්

 

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *