කුර්ආනීය සමාජයක් කරා නැවතත්

2

ඉස්ලාම් දහම පිලිබදව කථා කරන විට එහි දේව පුස්තකය වන ශූද්ධ වූ කුර්ආනයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. දෙවියන් විසින් මිනිස් වර්ගයා මවා ඔහු මෙලොව තුල අසරණ කර නොදමා සත්‍ය අසත්‍ය, හොද නරක, ජය පරාජය, යහපත අයහපත… යනාදී සියල්ල අවවාද අනුශාසනා නඟන දිව්‍යමය මඟපෙන්වීමක් ද ඔහුට ලබාදෙන ලදී. ආරම්භ මිනිසා වන ආදම් (අලෛ) තුමාගේ පටන් අවසාන දේව වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා වූ සෑම වක්තෘවරයෙකු මඟින්ම දෙවියන් විසින් මිනිස් සමාජයට නොයෙක් වූ අවවාද අනුශාසනා සිදුකලා යන්න ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමයි. ඒ අනුව අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට පහල කරන ලද දිව්‍යමය පුස්තකය වන්නේ ‘ශුද්ධ වූ කුර්ආනය’ යි. මේ අනුව මුස්ලීම් සමාජය සෑමවිටම මුහම්මද් (සල්) තුමාණන්ට පහල කල ඒ දේව පුස්තකය පදනම් කරගෙන තම ජීවිතය සකසා ගැනීම අනිවාර්‍ය වගකීමක් වේ. මේ හේතුව නිසාම ‘යහමඟ’ අඩවිය මීට ඉහත කිහිප අවස්ථාවකදීම ශුද්ධ වූ කුර්ආනය මූලික කරගෙන ලිපි ගණනාවක්ම මෙම අඩවිය තුල සාකච්චා කරන ලදී. එවැනි ලිපි කිහිපයක් මේ මාතෘකාවට අදාලව ඔබේ මතකයට ‍ගෙන එන්නේ නම්, ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය, සහා ලොව අනිකුත් දහම් පුස්තකයට සාපේක්ෂව ශුද්ධ වූ කුර්ආනය ආරක්ෂා වී ඇති ආකාරය යනාදිය සදහන් කලහැක. මෙලෙස ශුද්ධ වූ කුර්ආනය පදනම් කරගෙන විවිධ මාතෘකාවන් මීට පෙර සාකච්චාවට ගැණූනද අද දිනයේ ‘කුර්ආනීය සමාජයක් කර නැවතත්’ යන මාතෘකාව ඔස්සේ නැවතත් කථා කිරීමට යන්නේ ශුද්ධ වූ කුර්ආනය පිලිබදව නම් නොවේ. මෙහිදී කථා කිරීමට යන්නේ මේ ශුද්ධ වූ කුර්ආනය දරා සිටින මුස්ලීම් සමාජය පිලිබදවයි.

මුස්ලීම් සමාජය පදනම් කරගෙන ‘යහමඟ’ අඩවිය ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්‘ යනුවෙන් මාතෘකාවක් යෙදීම පිලිබදව මුස්ලීම් සමාජයේම විවිධ පාර්ශවයන්ට මේ වනවිටත් විවිධ වූ ගැටළු පැන නැඟී තිබෙන්නට පුළුවනි. එනම්,

  • එක් පාර්ශවයක් – මුස්ලීම්වරුන් වන අප ජීවත් වන්නේ ශුද්ධ වූ කුර්ආනය සමඟ නොවේද?, මුස්ලීම්වරුන් වන අප ශුද්ධ වූ කුර්ආනයට ඉහල ගෞරවයක් පිරිණාමා තිබෙනවා නොවේද?, සුභ කටයුතුවල දී එනම්, නිවසක් ගෙවැදීමක දී, එසේත් නැත්නම් ව්‍යාපාරික කටයුත්තක් ඇරඹීමකදී… යනාදී වශයෙන් යමක් ආරම්භ කිරීමේ දී මුස්ලීම්වරුන් වන අප ප්‍රමුඛස්ථානය ලබාදෙන්නේ මේ ශුද්ධ වූ කුර්ආනයට නොවේද?, එපමණක් නොවේ මියගිය අපේ ඥාති මිතුරන් සදහා අපි මේ කුර්ආනය කොතරම් නම් පාරයානය කොට පරිත්‍යග කොට තිබෙනවාද?, එපමණක් ද නොවේ නිවසේ කුඩා දරුවන් පටන් වැඩිහිටියන් දක්වා සියළු පාර්ශවයන් දිනපතා උදේ සවස මේ කුර්ආනය කොතරම් නම් පාරයනය කරනවාද?, එතැනින් ද නතර නොවූ අප නූතන තාක්ෂණය උපයෝගි කරගෙන අපේ නිවැස්වල උදේ සවස සී.ඩී යන්ත්‍ර, කැසැට් යන්ත්‍ර, පරිගණක යන්ත්‍ර… යානදී තුලින් පවා නිතර ශුද්ධ වූ කුර්ආනය පාරායනය කරන්න සලස්වනවාද?. එතැනින්ද නතර නොවී අපේ ජංගම දුරකථන පවා අද බොහෝ විට නාද නඟන්නේ කුර්ආන් පාඨයක් නොවේද?… මේ ආකාරයට ශුද්ධ වූ කුර්ආනයට ඉතා සමීප දිවියක් ගෙවන අපට ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්’ යනුවෙන් ආරාධනා කිරීමේ අවශ්‍යතාවය කුමක්ද?. මේ වර්ථමාන සමාජයේ සමහරක් පිරිසට ඇතිවිය හැකි සාධාර්ණ කුතුහලයකි.
  • තවත් පාර්ශවයක් – මේ කුර්ආනය සාමාන්‍ය ජනතාව වන අපට තේරෙන්නේ නැහැ. මේ ශුද්ධ වූ කුර්ආනයේ අරුත් පැවසීමටත්, එය අවබෝධ කරගැනීමටත් ඒ සදහා විශේෂිත වූ  කලාවන් ගණනාවක් ප්‍රගුණ කලයුතුයි. අඩුම තරමින් ආගමික පූජකවරයෙකු (මවුලවි) තත්වයට හෝ පත්විය යුතුයි. මෙයත් මුස්ලීම් සමාජයේ සැලකිය යුතු පිරිසක් නිරන්තරයෙන් මතුකරන කුතුහලයකි.
  • තවත් පාර්ශවයක් – ශුද්ධ වූ කුර්ආනය පාරායනය කලොත් ඇති, එහි මහිමය දැන සිටියොත් ඇති, එහි පැවසෙන කරුණු හා එහි අරුථ ගැඹූරින් අධ්‍යනය කිරීම සෑම කෙනෙකුටම අවශ්‍ය හෝ අදාල නොවේ. එසේ කිරීමට ද නොහැක. ඒ සදහා වූ සුවිශේෂි ඥානයන් අපට ඇත්තේද නැත. මෙයත් බහුතරයක් පවසන තවත් කාරණයකි.

මේ ආකාරයට මා ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ වර්ථමාන මුස්ලීම් සමාජය ශුද්ධ වූ කුර්ආනය සම්බන්ධයෙන් දරණ හා මතුකරන ජනප්‍රිය මෙන්ම ප්‍රබල මතවාද අතුරින් කිහිපයකි. මේ මතවාදයන් කොතරම් දුරකට සාධාර්ණ ද යන්නත්, බුද්ධිමත් මතවාදයන්ද යන්නත් මුස්ලීම් සමාජය පදනම් කරගෙන විමසා බැලීමට ප්‍රථම අවබෝධ කර ගතයුතු පොදු කාරණයක් ඇත. එනම් මේ පවසන සමාජ ආකල්පය දකින්නට ඇත්තේ ‘මුස්ලීම් සමාජය තුල පමණක් නොවේ’ යන්නයි. ලොව සෑම දහමකම මෙවැනි භක්තිය ඉහවහා ගිය ඒ තුල අන්ධ වූ භක්තික පිරිස් දක්නට ලැබේ. තමන් පිලිපදින දහම පූජකවරුන්ට සීමා කොට ඔවුන්ගේ වදන් අන්ධ භක්තික ලෙස ඇදහීම ලොව සෑම දහමකම දක්නට ඇති පොදු තත්වයකි. කවදත් ආගම දහම කෙරෙහි අසීමිත භක්තියක් හා ගෞරවයක් හඳ තුල නිර්මාණය කරගන්නා නූගත් පොදු ජනතාව දහම වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා ඒ ඒ ආගමික පූජකවරුන්ගේ පිහිට පැතීම අතීතයේ පටන් දක්නට තිබෙන පොදු සමාජ තත්වයකි. විශේෂයෙන් ආගමික කරුණූ ඉගෙනීමට ඇති අලසකමත්, ඒ සදහා අවශ්‍ය පහසුකම් නොමැතිවීමත්, මේ නිසාම දහමේ මූලික කරුණූ පිලිබදව පවා තිබෙන අනවබෝධයත්, දහම කෙරෙහි ඇති අන්ධ හා අසීමිත භක්තියත්, වැරදි මඟපෙන්වීමත් හේතු කොටගෙන මෙවැනි තත්වයක් ආගම් තුල නිර්මාණය වීම නොවැලැක්විය හැකි කාරණයකි.

ඉහත කාරණා හේතු කොටගෙන කිසියම් පුද්ගලයෙකු තමන් අදහන දහම තුල අන්ධ භක්තිකයෙකු බවට පත්වීමට වැඩි ඉඩක් ඇත. තමන් අදහන දහමේ මූලික ඉගෙන්වීමන් කුමක්ද?, එම දහම අවබෝධ කරගතයුත්තේ කෙසේද? වැනි කරුණූ දහම තුලින් අවබෝධ කර නොගෙන විවිධ පුද්ගල අදහස් තුල අවබෝධ කරගැනීමට යාම තුල සමහරක් අවස්ථාවල වැරදි මඟපෙන්වීමන්ට ගොදුරු වී සත්‍ය දහම වසන් වී ඒ වෙනුවට එම දහම තුල මිත්‍යාවන් නිර්මාණය වීමට පුළුවන. එවිට සමාජය තුල පිරිසිදු දහම වසන් වී යනු ඇත. මේ අවාසනාවන්ත ඉරණම අද ලොව සෑම දහමකටම උදාවී ඇති අතර ඉස්ලාම් දහමට අද එයින් මිදීමට හැකි වී නැත. මේ අවාසනාවන්ත ඉරණම මුස්ලීම් සමාජය තුලත් නිර්මාණය වීම හමුවේ ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්’ යනුවෙන් ඔවුනට නැවත ආරාධනා කිරීමේ කාලීන අවශ්‍යතාවයකි.

එසේම මීට වසර 1400 කට පෙර ආගම දහම එක්තරා ප්‍රභූ හා පූජක පැලැන්තියකට පමණක් සීමා වූ සමාජයක් හමුවේ ‘ඉස්ලාම්’ නම් දහම මුහම්මද් (සල්) තුමාණන් විසින් මුස්ලීම් සමාජයට ප්‍රකාශ කොට එය පොදු දේපලක් බවට පරිවර්ථනය කොට මුස්ලීම් සමාජයට භාරදී ගියද එය තවදුරටත් ආරක්ෂා කලයුතු වගකිවයුත්තන් සිදුකලේ මේ දහම තමන්ගේ බඩගෝස්තරය රුක ගැනීම සදහා යලි තමාට උරුම වූ භූදලයක් ලෙස පොදු ජනතාවගෙන් සින්නකරව ලියා ගැනීමයි. එහිදී ඔවුන් යොදන ලද පලමු සීමා කඩුල්ල වූයේ ‘මේ කුර්ආනය පොදු ජනතාව වන ඔබට තේරෙන්නේ නැහැ. එය අප විසින් තමා පැහැදිලි කලයුත්තේ‘ යන්නයි. එතැනින් නතර නොවූ ඔවුන් එය තවත් ජනතාවගේ සිත්තුල දැඩිව සටහන් කිරීම සදහා ‘මේ කුර්ආනයට අරුත් පැවසීම කල හැක්කේ ආගමික පූජකවරුන්ට පමණයි. මේ කුර්ආනයට අරුත් පැවසීමට කලාවන් ගණනාවක් ප්‍රගුණ කලයුතු’ යනුවෙන් පවසමින් එම වැට කඩුලු තව තවත් ශක්තිමක් කරන ලදී. මේ ආකාරයට ශුද්ධ වූ දහම කෙරෙහි ජනතා නැඹූරුවට වැට බැදීම තුල අවසානයේ ඉස්ලාම් නමින් මුස්ලීම් සමාජය හමුවේ බොහෝ විට ඉතිරි වුයේ පුද්ගල චරිත ඉස්මතු කරන හා පූජක පන්තියට ගරු භූහුමන් දක්වන, ඔවුනට දානමාන පිරිනමන ඔවුන්ගේ බඩගෝස්තර රුකෙන පටු අරමුණුවලට සීමාවූ විකෘති දහමක් පමණි. මෙවැනි සමාජයක් මධ්‍යයේ හිද ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්’ යනුවෙන් මස්ථ මුස්ලීම් සමාජයට ආරාධනා කිරීම සෑම මුස්ලීම්වරයෙකුගේම අනිවාර්‍ය වගකීමකි.

එපමණක් ද නොව නූතන යුගයේ ජීවත් වන මිනිසා වෙන කවරදාකටත් වඩා වැඩි වශයෙන් අධ්‍යාත්මික කරුණූ සම්බන්ධයෙන් වාද විවාදයන් සිදුකිරීමටත්, සංවාදයන් ගොඩනැඟීමටත්, තර්ක විතර්ක ඉදිරිපත් කිරීමටත්, ඒ පිලිබදව විමසා බැලීමටත් දැඩි උනන්දුවක් හා උද්යෝගයක් දක්වයි. නමුත් ඔවුන් අතුරින් බහුතරයක් කරන්නේ තමන් පිලිගෙන පිලිපදින දහම හැර අනිකුත් ආගම්වල කිසිදු හරයක් නැතැයි යන උපකල්පනයේ හිඳ එසේම ඒ කිසිවක් අධ්‍යනයකින් තොරව ප්‍රතික්ෂේප කරමින් තම ආගමික ‘වංශේ කබල් ගෑම‘ පමණි. එතැනින් ද නතර නොවන තවත් සමහරක් පිරිස් අනිකුත් දහමන් ට එරෙහිව විවිධ වූ වාද විවාදයන් ඉදිරිපත් කරමින් එම දහමන් විවේචනය කිරීමටත්, උපහාසයන්ට හා අපහසයන්ට ලක් කිරීමටත් ඉදිරිපත් වන්නේ එහි මූලික ඉගෙන්වීමන් පිලිබදව පවා අනවබෝධයෙනි. මෙම තත්වයන් අන්තර්ජාලය තුල සැරිසරන ඕනෑම කෙනෙකුහට විශේෂයෙන් සිංහල භාෂාමය බ්ලොග් අවකාශය තුල සැරිසරන ඕනෑම කෙනෙකු හට සුලභව දකින්නට ලැබෙන විශේෂයෙන් ‘යහමඟ’ අඩවිය තුලින් පවා බොහෝ අවස්ථාවල කථාබහට ලක්කල තත්වයකි. මෙවැනි පිරිසගේ වාද විවාදයන් දෙස බුද්ධිමත් ලෙස ඔබ විමසා බලන විට ඒවාට බොහෝ විට පදනම් වී ඇත්තේ ඉස්ලාම් නමින් මුස්ලීම් නම් බො‍ඩ් ලෑල්ල දරාගත් කිසියම් පුද්ගලයෙකුගේ හෝ කල්ලියකගේ ක්‍රියාකලාපයන් මිස ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් නොවන බවයි. මෙහිදී එම බ්ලොග්කරුවන්ගේ ක්‍රියාකලාපය හරිද? වැරදිද? යන්න මෙම අඩවිය තුල කිහිප අවස්ථාවක කථා කොට ඇති නිසා එම කාරණයට මෙහිදී යොමු නොවී මුස්ලීම්වරුන් වන අප සමාජය තුල ක්‍රියාකරන ආකාරයත් ඒ තුල සමාජය තුල මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් ඇතිවන  ආකල්පය හමුවේ ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්’ යනුවෙන් මුස්ලීම්වරුන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීම මුස්ලීම්වරයෙකුගේ යුතුකමකි.

ඉහත සදහන් ආකාරයට අවශ්‍යතාවය, වගකීම හා යුතුකම හොදින් අවබෝධ කරගත් ‘යහමඟ’ අඩවිය මෙම විෂය පිලිබදව තරමක් ගැඹුරින් කථා කිරීමට මත්තෙන් මීට වසර කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය හිටපු ආග්‍රාමාත්‍ය ග්ලෑඩ්ස්ටොන් පාර්ලිමේන්තුවේදී ශුද්ධ වූ කුර්ආනයක් ගෙන කෑලි කෑලිවලට ඉරාදමා ඉන් අනතුරුව පැවසූ කාරණයක් ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එය මෙසේය…

…මෙලෙස කුර්ආනය ඉරා දැමීමෙන් මෙම කුර්ආනය විනාශ වී යනු ඇතැයි මා විශ්වාස නොකරමි. එය මුස්ලීම්වරුන්ගේ හඳවත්වලින් ඉරා දැමිය යුතුයි…

ශුද්ධ වූ කුර්ආනයේ බලගතු බව විශේෂයෙන් ඒ ඔස්සේ මුස්ලීම් සමාජය තුල ගොඩනැ‍ඟෙන නොබි‍‍ඳෙන බැදීම පිලිබදව කලබලයට පත් මෙවැනි පිරිස් ඉතිහාසය පුරාවටම විටින් විට දක්නට ලැබේ. එවැනි චරිත අතර මේ ග්ලෑඩ්ස්ටෝන් තවත් එක් පුද්ගලයෙකු පමණි. මේ නිසා මෙහිදී ඔහුගේ ක්‍රියාකලාපය පිලිබදව කථා කිරීම අවශ්‍ය ‍නොවේ. නමුත් ඔහුගේ ඒකායන පැතුමට දැන හෝ නොදැන මුස්ලීම්වරුන් වන අප සෘජු දායකත්වයක් ලබාදෙමින් දිනෙන් දින ශුද්ධ වූ කුර්ආනයෙන් දුරස්වෙමින් සිටීම මෙහිදී කථා කලයුතුම කාරණයකි. අඥානය රජකල නූගත් සමාජයක් මධ්‍යයේ ශුද්ධ වූ කුර්ආනය ප්‍රකාශවීමත් සමඟ සහෝදරත්වයේ දෑත් එම සමාජය තුල දිගුවූයේ සමස්ථ සමාජයම ඒකීය පවුලක් බවට පරිවර්ථනය කරමිනි. එවකට පැවතී එම සමාජය, නූතන සමාජය මෙන් සාරධර්මවලින්, ඉහල අධ්‍යාපන හා දැනුම් මට්ටම්වලින් පොෂිත සමාජයක් නොවිය. එම සමාජයේ පැවතී එකම න්‍යාය ‘බලවතා ජයග්‍රාහකයා, දුබලයා පරාජිකයා’ යන්න පමණි. එවන් වූ සමාජයක් මධ්‍යයේ ශුද්ධ වූ කුර්ආනය ප්‍රකාශ වීමත් සමඟ සිදු වෙනස මොහොතක් විමසා බලන්න.

  • ‘හිජ්රත්’ නම් මක්කාවේ සිට මදීනාවට පලා ආ මුස්ලීම්වරුන් සමඟ මදීනාවාසීන් තම සමස්ථ දේපලම දෙකඩ කොට බෙදාගන්නා සහෝදරත්ව බැදීම,
  • දුගියා වෙනුවෙන් සමස්ථ ධනය කැපකිරීමට පෙළඹූනු ආදරණීය බැදීම,
  • ලෞකික සැප එකම අරමුණූ කොට ජීවත් වූ පිරිස ලෝකොත්ර විමුක්තිය එකම හා අවසාන අරමුණූ කොට ක්‍රියා කිරීමට ඇරඹීම,
  • වෛරය, ක්‍රෝධය පෙරටුකරගෙන ගෙවූ ජීවිතයට ආදරය ආදේශවීම,

යනාදී වශයෙන් එදා සමාජය ශුද්ධ වූ කුර්ආනය මඟින් උඩුයටිකුරු වීම ඉස්ලාමීය ඉතිහාසය පුරාවට කියාපාන සත්‍ය්‍යකි. එය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම සදහා නිදසුන් දෙකක් පවසනවා නම්,

  • ඉස්ලාමීය ඉතිහාසයේ සුවිශේෂි චරිතයක්, එසේම ඉස්ලාම් දහම තුල විශිෂ්ඨ වූ පුද්ගලයන් අතර සුවිශේෂි පුද්ගලයෙකු වන උමර් (රලි) තුමාගේ ඉස්ලාම් දහමට අවතීරණය වීමේ මොහොත ටිකක් විමසා බලන්න. මුහම්මද් (සල්) තුමාණන් පවා ‘අල්ලාහ් (දෙවි) උමර්ගේ මුවින් කථා කරනවා’ යයි පවසන තරමට විශිෂ්ඨ වූ චරිතයක් බවට පරිවර්ථනය වූ උමර්ගේ එදා ඒකායන පැතුම කෙසේ හෝ මුහම්මද් (සල්) තුමාණන් ඝාතනය කොට ඉස්ලාම් දහම විනාශ කිරීමයි. නමුත් හදිස්සියේ කන වැකුණූ ශූද්ධ වූ කුර්ආන් පාඨයක් ලෝක විනාශ දිනය දක්වාම එතුමා‍ගේ නම ඇසූ පමණින් සෑම මුස්ලීම්වරයෙකුම ‘රලියල්ලාහු අන්හු’ (අල්ලාහ් (දෙවි) ඔවුන් කෙරෙහි සෑහිමට පත්වේවා!) යයි පවසන උතුම් තැනකට පත්කලා නොවේද?
  • එදා මක්කා සමාජයේ ධනකුවේරයෙකු වන අබූ තල්හා (රලි) තුමා පිලිබදව මොහොතක් විමසා බලන්න. එතුමා ලඟ සේවය කල අනස් (රලි) පවසයි. මෙසේ පවසයි එක්තරා පුද්ලගයෙකු දිවවිත් ‘මත්පැන් තහනම් කරමින් ශූද්ධ වූ කුර්ආන් වාක්‍යයක් පහල වී ඇත.’ යයි පැවසුවා පමණි. එතෙක් මහා පරිමානයේ ගුදම් හිමිකරුවෙකු එතුමාණන් තමා සතු සියළු මත්පැන් විනාශ කරන්නට මට අණ කරන ලදී. එපමණක් නොව සමස්ථ සමාජයම සුරාවෙන් මත්ව පැවති අවදියක එම ශුද්ධ වූ කුර්ආන් පාඨය පහල වීමත් සමඟ මුළු මක්කාවේම මං මාවත්වල මත්පැන් ගංඟාවන් ගලන්නට වුයේ ඊලඟ මොහොතේ පටන් ජනයා මත්පැන් ප්‍රතික්ෂේප කිරීම නිසාම පමණි.

මේ ශුද්ධ වූ කුර්අනය එදා සමාජයට සිදුකල බලපෑම කියාපාන සරල කාරණා දෙකක් පමණි. වර්ථමාන මුස්ලීම් සමාජය පවසනවා සේ ‘ශුද්ධ වූ කුර්ආනය අපට තේරෙන්නේ නැහැ, ඒක තේරුම් ගැනීම අපට අදාලත් නැහැ…’ යනාදී වශයෙන් වැදිබණ දෙසන පිරිස් ඉහත කරුණූ නැවත නැවතත් බුද්ධිමත් ලෙස විමසා බැලීම අත්‍යඅවශ්‍ය වේ. ඒ නැතත් ඔවුන්ගෙන් සරල පැනයන් කිහිපයක් විමසන්නට කැමැත්තෙමි. එනම්,

  • ශුද්ධ වූ කුර්ආනය සාමාන්‍ය මුස්ලීම් ජනයාට නොතෙරෙන්නේ නම්, අතීතයේ ඉස්ලාම් විරෝධියෙකු වූ උමර් (රලි) තුමාණන්ට එය වැටහුණේ කෙසේද?
  • අඥාන සමාජයේ ජීවත් වූ උමර් (රලි), අබූතල්හා (රලි)… යනාදී සහාභාවරුන්ට අවබෝධ වන තරමින්වත් නූතන බුද්ධීමත් සමාජයට ශුද්ධ වූ කුර්ආනය තේරෙන්නේ නැතැයි ඔබට හඳවතට එකඟව පැවසිය හැකිද?
  • ශුද්ධ වූ කුර්ආනය අවබෝධ කර ගැනීමට නොහැකි නම්, අද ලොව සෑම භාෂාවකින්ම මෙම ශුද්ධ වූ කුර්ආනය පරිවර්ථනයන් සිදුකොට ඇත්තේ කෙසේද?
  • ශුද්ධ වූ කුර්ආනය තේරුම් ගන්න බැරිනම් අල්ලාහ් (දෙවියන්) මෙය පහල කොට ඇත්තේ කුමක් සදහාද?, කවුරුන් සදහාද?

ශුද්ධ වූ කුර්ආනය සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීමට නොහැකි බව පවසනමින් එයින් මුස්ලීම් ජනතාව දුරස්කොට ඇති බඩගොස්තරවාදී පිරිස් ඉහත පැනයන්ට පැහැදිලි පිලිතුරු ලබාදිය යුතුය. එසේම එම මිත්‍යාව තුල කොටු වී සිටින මුස්ලීම් සමාජය ද තවදුරටත් එවැනි මිත්‍යාවන් තුල කොටු නොවී මෙම කාරණය නැවත නැවතත් බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුය. ඒ සදහා පහත ශුද්ධ වූ කුර්ආන් පාඨයන් ඔබට පිටුවහලක් වනු ඇත.

මේ අල්ලාහ්‍ (දෙවි)ගේ දහමයි. මෙහි කිසිදු සැකයක් නැත. බියබැතියන් හට විශිෂ්ඨ වූ මඟපෙන්වීමකි

ශුද්ධ වූ කුර්ආනය 2-2

සත්‍යවශයෙන්ම මෙම කුර්ආනය සම්පූර්ණයෙන්ම යහමඟ පෙන්වන්නේය

ශූද්ධ වූ කුර්ආනය 17-9

(ශුද්ධ වූ කුර්ආනය වන) මෙය හඳවත් හි ඇති රෝග සුවකරන්නක්වද, තමාව අනුගමනය කරන්නන් හට මඟපෙන්වන්නක්වද, (ඔබලාට) භාග්‍යයක් ලෙසද පවතින්නේය

ශුද්ධ වූ කුර්ආනය 10-57

මිනිස් සමාජයට මඟපෙන්වන්නක් ලෙසද, යහමඟට පැහැදිලි අවවාදයන් පවසන්නක් ලෙසද, සත්‍ය හා අසත්‍යය වෙන්කොට පෙන්වන්නක් ලෙසද, කුර්ආනය පහල කරන ලදී.

ශුද්ධ වූ කුර්ආනය 2-185

මෙය ශුද්ධ වූ ග්‍රන්ථයකි, මෙය නුඹලා කෙරෙහි මා පහල කොට ඇත්තෙමු. නුඹලා අඳුරින් ආලෝකය වෙත ගෙන එනු පිණිසය.

ශුද්ධ වූ කුර්ආනය 14-1

ශුද්ධ වූ කුර්ආනය මුස්ලීම් සමාජය දෙස බලා මෙලෙස ආමන්ත්‍රණය කරද්දී මුස්ලීම්වරුන් වන අප ‘මෙය අපට තේරෙන්නේ නැහැ, මේක තේරුම් ගන්න අපට ශක්තියක් නැහැ’ යනුවෙන් පවසා එහි ඉගෙන්වීමන් කෙරෙහි අවධානය යොමු නොකොට සිටීම සමාජයක් ලෙස කොතරම් අවාසනාවන්ත තත්වයක්ද?. වර්ථමාන මුස්ලීම් සමාජය සැලකූවිට ශුද්ධ වූ කුර්ආන් පාඨයන් වනපොත් කිරීමට දැඩි උනන්දුවක් දැක්වුවත්, ‘කටුස්සා කර බැදි රන් මාලේ’ මෙන් එහි වටිනාකම අවබෝධ කර ගැනීමට උනන්දු නොවී කවුරු කවුරුන් හෝ පවසන දෑ දහමේ නමින් පිලිගෙන ඔවුන් දෝත් මුදුනින් තබා පුදමින් ශූද්ධ වූ කුර්අනයට දෙවැනි තැන ලබාදීමට කටයුතු කරමින් සිටී. ශුද්ධ වූ කුර්ආනය මුස්ලීම් සමාජය තුලින් අපේක්ෂා කල අරමුණ එය නොවේ. ශුද්ධ වූ කුර්ආනය 38-29 වාක්‍යය මඟින් එය මිනිස් සමාජය මධ්‍යයේ පහල වීම අරමුණ ඉතා පැහැදිලි ලෙස මෙසේ පවසයි. එනම්,

(ශුද්ධ වූ කුර්ආනය වන)‍මෙය නුඹලා කෙරෙහි පහල කර ඇත්තේ, ජනතාව මෙහි වචනයන් කෙරෙහි විමසා බැලීම සදහාත්, බුද්ධිමතුන් මේ තුලින් අවවාද ලැබීම සදහාත්ය!,

ඉස්ලාම් බුද්ධියට මුල්තැන දී අවබෝධය තුලින් ගොඩනඟා ගන්නා විශ්වාසයට මුල්තැන දෙන දහමක් බව මීට ඉහත ද චින්තන දිනහස හා වලහ්භාවය යන ලිපිය තුලින් කරුණූ සාකච්චා කලා ඔබට මතක ඇතැයි සිතමි. එවන් වූ දහම තුල ශුද්ධ වූ කුර්ආනයේ ඉහත ආකාරයට 38-29 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) කුර්ආනීය සමාජයක් කරා මුස්ලීම් සමාජයට ආරාධනා කරන්නේ එහි අසමසම දිව්‍යමය ආදර්ශය අන්තර්ගත නිසාම පමණි. නමුත් මේ කිසිවක් පිලිබදව කිසිදු තැකීමක් නොකරන නූතන මුස්ලීම් සමාජය ‘මේක අපට තේරෙන්නේ නැහැ, අපට තේරුම් ගන්න බැහැ’ යනාදී වශයෙන් වහසිබස් දොඩවමින් එය ප්‍රතික්ෂේප කිරීම ඉතා අවාසනාවන්ත තත්වයකි. මෙම තත්වය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට ශ්‍රී ලාංකීකයන් වන ඔබට සරල පරීක්ෂණයක් කර බැලීමට පුළුවන. එනම් ශ්‍රී ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහමට හා මුස්ලීම් සමාජයට එරෙහිව මුස්ලීම් නොවන සහෝදර ජනතාව ඉදිරිපත් කරන චොදනාවන් 50 පමණ (ඔබ කැමැති සංඛ්‍යාවක්) පෙලෙගසන්න. ඉන් අනතරුව එම චෝදනාවන්ට පදනම් වී ඇත්තේ ඉස්ලාම් දහමද? නොඑසේ නම් මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන්ද? යනාදී වශයෙන් එය වෙන් කරන්න. දැන් ප්‍රථිපලය බුද්ධිමත් ලෙස විමසා බලන්න. එවිට වර්ථමාන මුස්ලීම් සමාජය දැන් සිටින තැන කොතැනද? යන්නත්, මුස්ලීම් සමාජය ඉස්ලාම් දහමට උරුමකර දී ඇති ඉරණම කුමක්ද? යන්නත් ඔබට අවබෝධ වනු ඇත.

අතීතයේ පටන් අද දක්වා ලෝක ඉතිහාසය තුල ඉස්ලාම් දහම වැලදගත් ප්‍රබල චරිත පිලිබදව විටින් විට මහා උජාරුවෙන් මුස්ලීම්වරුන් වන අප කථා කරන්නෙමු. ඔවුන්ගේ ජීවිතයට ශුද්ධ වූ කුර්ආන් පාඨයන් ඇති කල බලපෑම පිලිබදව පිටුගණන් ලියන්නෙමු, මාධ්‍ය සාකච්චා පවත්වන්නෙමු, කථා කරන්නෙමු… ඊලඟ මොහොතේ ‘ශුද්ධ වූ කුර්ආනය සාමාන්‍ය ජනතාව වන (මුස්ලීම්වරුන් වන) අපට තේරෙන්නේ නැහැ‘ යනුවෙන් පවසා එය අවබෝධ කරගැනීමට මැලිවන්නෙමු. ඉස්ලාම් දහමේ මුලික අවබෝධයක් පවා නොමැති සමාජයන් මධ්‍යයේ විශේෂයෙන් ආසියාතික රටවල ඉස්ලාම් ආගමික දැනුම හා අවබෝධය ගොඩනැඟීම සදහා එවකට ජීවත් වූ ආගමික විද්වතුන් හා පූජකවරුන් තමන්ට ආවේනික විවිධ උපක්‍රම යොදාගත් ආකාරයක් ඉතිහාසය අධ්‍යනය කිරීමේ දී දක්නට ලැබේ. එම ක්‍රමවේදයන් හි අඩුපාඩු පැවතුනද එම පිරිසගේ ඡේතනාවන් ශුද්ධ වූ එකක් යන්නෙහි විරුද්ධ මතයක් ‘යහමඟ’ ට නැත. ඒ අනුව තවදුරටත් එවැනි ක්‍රමවේදයන් තුල අන්ධ භක්තිතයන් නොවී බුද්ධිමත් ලෙස ක්‍රියා කිරීම සැබෑ මුස්ලීම්වරයෙකුගේ කාලීන වගකීමකි. එම වගකීම මුස්ලීම් සමාජයට අවධාරණය කරමින් වර්ථමානයේ මෙම ශුද්ධ වූ කුර්ආනයට අත්ව ඇති ඉරණම විමසා බලන්නේ නම්,

මනුෂ්‍යා සදහා අවවාද අනුශාසනා නඟමින් සාර්ථක දිවියකට ආදර්ශ සපයන දිව්‍යමය මඟපෙන්වීම වන ශුද්ධ වූ කුර්ආනය අද අරුත් නොදැන පාරායනයට පමණක් සීමා වූ තවත් දහම් පුස්තකයක් බවට පත්ව ඇත. සරලව පවසනවා නම් වචන ගලපා කථා කරන ගිරා පැටියෙකුට නො‍දෙවැනි තත්වයට අද මුස්ලීම් සමාජයේ බහුතරය පත්ව ඇත. තමන් උදේ සවස පාරායනය කරන මේ දේව පුස්තකය තුල කොතරම් නම් අවවාද අනුශාසනා දෙවියන් අන්තර්ගත කොට තිබෙනවාද? යන්න සිතීමට පවා මැලිවන තත්වයකට අද මුස්ලීම් සමාජය අද පත්ව ඇත. මේ හේතුව නිසා එහි පැවසෙන කරුණූ ගැඹුරින් විමසා බැලීමත්, එය තම ජීවිතයට ගලපා ගැනීමත් අද ඔවුන් අතපසු කොට ඇත. වසර කිහිපයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහම පිලිබදව දැනුවත් කිරීමේ මෙහෙවරේ නිරතව සිටින ‘යහමඟ‘ අඩවිය මෙම මාතෘකාව කථා කලයුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙර වියයුතු යන්න දැන් මාගේ විශ්වාසයයි. මන්ද ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ පවා මුස්ලීම්වරුන් ශුද්ධ වූ කුර්ආනීය ඉගෙන්වීමන් පසෙකලා එයින් බැහැර වූ විවිධ මාර්ගයන් ඔස්සේ ඉස්ලාම් නමින් ක්‍රියා කිරීම හේතුවෙන් ඉස්ලාම් දහමත්, මුස්ලීම් සමාජයත් අද ලොව තුල ප්‍රබල විවේචනයන්ට ගොදුරු වෙමින් පවතී. මුස්ලීම්වරයෙකුගේ ජීවිත ගමන් මඟ අනෙකුත් සමාජයන් මෙන් ‘කාපන්ලා බීපල්ලා ජොලියේ ඉදින්ලා‘ යනුවෙන් එක් අන්තයකට හෝ ‘දහමක් කෙරෙහි ඇති වූ අසීමිත භක්තිය හේතු කොටගෙන ලෞකික දිවියත්, පවුල් දිවියත්, දරුදැරියන් පමණක් නොව අනිකුත් වගකීම් හා යුතුකම් සියල්ල පසෙකලා වනගතව, කඳු මුදුන්වල, ආරමවල හෝ වෙනයම් එවැනි ස්ථානවල හිඳ ජීවිතයේ විමුක්තිය සොයන තවත් අන්තයකට සීමා වූ දහමක් නොවේ. ඉස්ලාම් මේ අන්ත දෙකම දැඩිව ප්‍රතික්ෂේප කරන එසේම මේ දෙකට අතර මැදි වූ මාර්ගයක් ශුද්ධ වූ කුර්ආනය තුලින් උනන්දු කරවන ප්‍රායොගික දහමකි. සරලව පවසනවා නම් මුස්ලීම්වරයෙකුගේ දිවිය ශුද්ධ වූ කුර්ආනය සමඟ වූ, කුර්ආනය තුලින් වූ මෙන්ම කුර්ආනය කරා වූ ගමනක් වියයුතුය. තවත් සරලවම පවසනවා නම් සැබෑ මුස්ලීම්වරයෙකුගේ මුල, මැද හා අඟ යන සියල්ල කුර්ආනය වියයුතුය. මන්ද මේ මිහිමත ස්ථාපනය කල මිනිස් වර්ගයා සදහා දිව්‍යමය, පරිපූර්ණ හා නිවරුදි මඟපෙන්වීමක් (Guide book එකක්) ඇත්නම් ඒ මේ ශුද්ධ වූ කුර්ආනය පමණක් වන බැවිණි.

සාමාන්‍ය මනුෂ්‍යයකුගේ ආයු කාලය අවුරුදු 60-65 අතර පමණි. එයිනුත් සමහරක් ජීවිත 5, 10, 15, 30… යනාදී වශයෙන් අඩු වයස්වලට සීමාවීමත් තවත් සමහරක් ජීවිත 75,85,95… යනාදී වැඩි අයුකාලයක් දක්වා ඇදීයාමත් අප අවට සමාජය තුල නිතර දකින්නෙමු. සරලව පවසනවා නම් ‘මරණය‘ නම් නියත වූ නැවතීමේ තිත ජීවිත ගමනේ කොතනක සටහන්ව තිබෙනවාද? යන්න කිසිවකුටත් අනාවර්ණය කරගත නොහැකි ගුප්ත වූ කාරණයකි. කෙසේ නමුත් මරණය කරා වූ ඒ ගමන් මඟ තුල ඔබ හා මා සැලකියයුතු තරම් කොටසක් දැනටමත් අප ගෙවා අවසන් වන්නට පුළුවනි. ඒ ගෙවාදැමූ අතීතය ශුද්ධ වූ කුර්ආනයට කොතරම් අනුකූල වුවාද? අනුකූල නොවුවාද? යන්න ඔබ දැන්වත් විමසා බලන්නේ එය ඔබේ ඉදිරි පියවරයන්ට ප්‍රයෝජනවත් වනු ඇත. එය නිසි ආකාරයට අවබෝධ කරගැනීමට ඔබට හැකි වන්නේ නම්, නියත වශයෙන්ම ඔබේ අනාගතය ආලෝකමත් වීමට එය හේතුවක් වනු ඇත. මීට වසර 1400 කට පෙර ‘ජාහිලියා’ යනුවෙන් හදුන්වන මිලෙච්චත්වය සංස්කෘතියක් කරගත් සමාජයක් මධ්‍යයට ශුද්ධ වූ කුර්ආනය ප්‍රකාශ වීමත් සමඟ එම මිලෙඡ්ච සමාජය තුල සිදුවූ වෙනස්වීමන් අප ඉහතින් කෙටියෙන් හෝ විමසා බැලුවෙමු. එවන් බලපෑමක් ඇති කල ඒ අසමසම ශුද්ධ වූ කුර්ආනය අදටත් අප දෝතේ කිසිදු වෙනස්වීමකට නතු නොවී එලෙසම ඇත. එය අප උදේ සවස යනාදී වශයෙන් දිනපතා පාරායනය කරන්නෙමු. නමුත් එදා උමර් (රලි) තුමාණන්ට, තල්හා (රලි) තුමාණන්ට ඇති කල ඒ බලපෑම අද අප තුල ඇති නොවේ.

ඈත අතීතයේ පමණක් නොව මෑත භාගයේ දී පවා මුස්ලීම් සමාජය තුල ප්‍රබල චරිත බවට පත්වූ මුහම්මද් අසද්, සෙයියද් කුතුබ්, යූසුෆ් ඉස්ලාම්, යූසුෆ් ඊස්ටර්… වැනි පිරිසට ශුද්ධ වූ කුර්ආනය කල බලපෑම මුස්ලීම්වරුන් වන අපට අලුත් කාරණයක් නොවේ. විශේෂයෙන් චින්තනවාදීයකු වන සෙයියද් කුතුබ් තුමා පසුකාලීනව ශුද්ධ වූ කුර්ආනයට අර්ථ විවරණ ග්‍රන්ථයක් පවා මුස්ලීම් සමාජයට දායාද කරමින් ඉස්ලාම් දහමට ඉමහත් සේවයක් ඉටුකලේ ආගමික පූජකවරයෙකු ලෙස සුදුසුකම් සපුරා හෝ ශූද්ධ වූ කුර්ආනය අවබෝධ කරගැනීම‍ට අවශ්‍ය කලාවන් ප්‍රගුණ කිරීමෙන් ‍නොවේ. අද ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් පවසන විට ඔබ මවුලවිද?, ඔබ දහම අවබෝධය ලබාගත්තේ කුමන පාසලින්ද?, ඔබට ඒ සම්බන්ධයෙන් ඇති ගෞරවනාමයන් කුමක්ද? ඔබ ශුද්ධ වූ කුර්ආනයට අර්ථ පවසන්නට එහි සියළු කලාවන් ඉගෙන අවසන්ද?… යනාදී වශයෙන් ප්‍රශ්න වැලැක් මතු කරයි. මෙහිදී ශුද්ධ වූ කුර්ආනය අවබෝධ කරගැනීමට ඉන් පරිභාහිර විෂයන් පිලිබදව වූ දැනුමන් අවශ්‍ය නොවේ යයි මා නොපවසමි. ශුද්ධ වූ කුර්ආනය පැහැදිලිව අවබෝධ කරගැනීම සදහා එහි භාෂා ශෛල්‍යය, එහි වාක්‍යයන් පෙලගසා ඇති ආකාරය, එය පහල වූ සමාජ පසුබිම, එම වාක්‍යයන් සදහා නබිතුමාණන් ලබාදුන් විග්‍රහයන්… යනාදී කරුණූ රාශියක් පිලිබදව මූලික අවබෝධයක් පැවතීම අත්‍යඅවශ්‍යය. නමුත් එම කරුණූ අවබෝධ කරගැනීමට විශේෂිත වූ කලාවන් ප්‍රගුණ කිරීමට අවශ්‍ය ‍නොවේ. ඔබ මා වැනි සාමාන්‍ය ජනයාට පවා එය අවබෝධ කරගත හැක. මා මෙසේ පවසන විට සමහරක් පිරිස් මතු කරන ජනප්‍රිය වාදයක් තමා ‘හරි සෑම කෙනෙකුටම තේරුම් ගන්න බැරි වාක්‍යයනුත් ශුද්ධ වූ කුර්ආනයේ තිබෙන බව පිලිගන්නවා නේ?’ යන්නයි. මෙවැනි තර්ක ගෙන එන පිරිසගේ අවධානයට ප්‍රථමයෙන් පවසන්නට ඇත්තේ ශුද්ධ වූ කුර්ආනයේ මනුෂ්‍යා‍ට අවබෝධ කරගත නොහැකි කිසිදු කුර්ආන් වාක්‍යයක් ශුද්ධ වූ කුර්ආනයේ දෙවියන් අන්තර්ග කොට නොමැති බවයි. නමුත් සමහරක් අවස්ථාවල අල්ලාහ් (දෙවි) විසින් ගෙන එන ගැඹූරු විග්‍රහයන් හා උපමාවන් වැනි කරුණූ අවබෝධ කරගැනීමට භාහිර විෂය කරුණූ පිලිබදව මෙන්ම හදීසයේ (මුහම්මද් (සල්) තුමාණන්ගේ විග්‍රහයයන්ගේ) අවශ්‍යතාවය ඇති වනවා යන්නෙහි විවාදයක් නැත. කෙසේ වෙතත් මෙවැනි වාදයන් මතු කරන පිරිසගෙන් විමසිය යුතු සරල පැනය වන්නේ ‘තේරෙන්නේ නැති වාක්‍යයනුත් තිබෙනවානේ යන්න පැවසීම තුල එහි තේරෙන වාක්‍යයනුත් තිබෙනවානේ යන වාදය වක්‍ර ආකාරයට පිලිගන්නවානේ’ එසේනම් මේ තේරෙන ටිකවත් තේරුම් ගත්තේ අපේ සමාජයේ කීයෙන් කීදෙනාද?. තේරෙන්නේ නැහැ…තේරෙන්නේ නැහැ… යයි පවසමින් අප ජීවිතයේ කොතරම් නම් කාලයක් ගෙවා අවසන්ද?. ශුද්ධ වූ කුර්ආනයේ පහත වාක්‍යයන් මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බලන්න.

ඔවුන් මෙම කුර්ආනය කෙරෙහි (බුද්ධිමත්) අවධානය යොමු කලයුතු නොවේද?. (මෙය) අල්ලාහ් (දෙවි) හැර වෙනත් කෙනෙකුගෙන් පහල වුවාක් නම් එහි අධික ලෙස පරස්පරතාවයන් ඔවුන් දකිනු ඇත.

ශුද්ධ වූ කුර්ආනය – 4-82

ඔවුන්ගේ මුහුණූ අපා ගින්නෙහි දවාලන මොහොතේ ‘අප අල්ලාහ් (දෙවි)ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නට තිබුනා නොවේද!, අපගේ දෙවියනේ!, අපගේ ප්‍රධානීන්ට හා වැඩිහිටියන්ට අප අවනත වූයෙමු. ඔවුන් අපව වැරදි මඟක යොමු කොට විනාශ කර දමා ඇත. අපගේ දෙවියනේ!, ඔවුනට (අපට මෙන්) දෙගුණයක් දඬුවම ලබාදෙන්න’ යයි පවසනු ඇත.

ශුද්ධ වූ කුර්ආනය – 33-66 සිට 68 දක්වා

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් කිහිපය අවබෝධ කර ගැනීමට ඔබ ප්‍රගුණ කලයුතු කාලාව කුමක්ද?. මෙලෙස සරලව මිනිස් බුද්ධියට ආමන්ත්‍රණය කරන ශුද්ධ වූ කුර්ආන් පාඨයන් කොතරම් නම් එහි අන්තරගතව පවතිනවාද? මේ සියල්ල පිලිබදව කිසිදු අවධානයක් යොමු නොකොට ‘තේරෙන්නේ නැහැ…තේරෙන්නේ නැහැ…’ යනුවෙන් වහසිබස් දෙඩවීම එක් අතකින් ඉස්ලාම් දහමට කරන නිගාවක් වන අතර තවත් පසෙකින් මෙය පහල කල අල්ලාහ් (දෙවි) ‘(ශුද්ධ වූ කුර්ආනය වන) මෙය ඉතා පහසුකොට හා සරල ලෙස මා නුඹලාට පහල කොට ඇත්තෙමු’ (ශුද්ධ වූ කුර්ආනය 19-97, 20-2, 54-17, 44-58, 54-22…) යනුවෙන් පැවසීම අභියෝගයට ලක් කිරීමක් නොවේද?.

මුස්ලිම්වරුන් වන අප අදත් අතීතයේ පටන් වර්ථමානය දක්වා ඉස්ලාම් දහම වැලදගත් ප්‍රබල චරිත පිලිබදව ලෝකයා ඉදිරියේ මහා උජාරුවෙන් කථා කරන්නේමු. ඔවුන්ගේ ජීවිතයට ශුද්ධ වූ කුර්ආනය ඇති කල බලපෑම පිලිබදව වෙබ් අඩවිවලත්, පුවත්පත්වලත්, මාධ්‍යතුලත් පුරසාරම් දොඩන්නෙමු. නමුත් ඔවුනට ශුද්ධ වූ කුර්ආනය ඇති කල බලපෑම පාරම්පරික මුස්ලීම්වරුන් වන අප තුල ඇති නොකලේ මන්ද? යන්න විමසා බැලීමට තවම අප මැලි වන්නෙමු. එදා උමර් (රලි), තල්හා (රලි) තුමා, සෙයියද් කුතුබ් වැනි ප්‍රතාපවත් චරිතවලට ශුද්ධ වූ කුර්ආනය ඇති කල බලපෑම අද අප ජීවිත තුලද ඇතිවීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. එසේ නොවන්නේ නම් එය සමස්ථ මුස්ලීම් සමාජයම අවාසනාවන්ත ඉරණමකට ඇද දමනු ඇත. මේ පිලිබදව නබිතුමාණන් කල අනාවැකියක් ඔබේ බුද්ධිමත් විමසුමට ඉදිරිපත් කරන්නේ නම්,

අනාගතයේ දී ‘ඉස්ලාම්’ යන නමත්, ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයනුත් පමණක් ලොව තුල ඉතිරිව පවතිනු ඇත. සැකයක් නොමැතිව (එම කාලයේ) දේවස්ථානයන් ද (ජනතාවගෙන්) උතුරායනු ඇත. නමුත් එවා කිසිවක් ජනතාවට ‘යහමඟ’ පෙන්වන තැනක් නොවනු ඇත.

මුහම්මද් (සල්) තුමාණන් සහා එතුමාණන්ගේ අනුගාමික (සහාභාවරුන්) පිරිස වසර 23ක කාලයක් අපමණ දුක්ගැහැට විද විටෙක ජීවිත පවා කැපකොට විවිධ බාධක මධ්‍යයේ ශුද්ධ වූ කුර්ආනය වටා ඒකරාශී වූ ‘මුස්ලීම් උම්මා’ නම් ඒකීය සමාජයක් නිර්මාරණය කොට අනාගත පරම්පරාවට දායද කොට යන ලදී. නමුත් අප එය යලිත් කීතු කීතුවලට වෙන් කොට තම තමන්ගේ කුට්ටිය පිලිබදව පුරසාරම් දොඩමින් සතුටු වෙමින් සිටින්නෙමු. මෙවැනි සමාජ පසුබිමක ඉහත හදීසය තුලින් කියාපාන්නේ අනාගත සමාජ පැතිකඩක් නොව වර්ථමාන සමාජ පැතිකඩක් බව බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම් ඔබට අවබෝධ වනු ඇත. එනම් අද ලොව බැලූ බැලූ තැන මුස්ලීම් ජනතාවගේ අඩුවක් නැත. ශූද්ධ වූ කුර්ආන් වාක්‍යයන් කියවීමෙහි හා පාරායනය හිද අඩුවක් නැත. මුස්ලීම් දේවස්ථානයන් ඉඩකඩ නොමැතිව උතුරායාමෙහිද අඩුවක් නැත. නමුත් ශුද්ධ වූ කුර්ආනය මඟපෙන්වීම කරගත් සැබෑ මුස්ලීම්වරුන්ගේ නම් ප්‍රබල අඩුවක් දකිනු ඇත. මේ අඩුව සම්පුර්ණ නොකොට ඉස්ලාම් දහමට එරෙහිව චෝදනා නඟන පිරිසට මෙවැනි වෙබ් අඩවි තුලින් හෝ වෙනයම් ආකාරයට කොතරම් පිලිතුරු ලබාදුන්නද ඒ සියල්ල බොහෝ විට ‘ගඟට කැපූ ඉණි’ මෙන් නිශ්පල ‍වෙනවා යන්නෙහි සැකයක් නැත. එසේනම් සියල්ලට පෙර මුස්ලීම්වරුන් සැබෑ මුස්ලීම්වීමයි වියයුතුව ඇත්තේ. එය ශුද්ධ වූ කුර්ආනය නම් බැදීමෙන් මිදී ගොස් ලබාගත හැක්කක් නොවේ. ඒ හේතුව නිසා තමා මුස්ලීම් සමාජයේ බෙදීම පිලිබදව හුදෙයිෆා (රලි) තුමාණන් නබිතුමාණන්ගෙන් විවිධ ආකාරයට ප්‍රශ්න කිරීමේ දී පවා නබිතුමාණන් නැවන නැවතත් පැවසුවේ ‘…කුර්ආනය ඉගෙනගන්න!, ඒ අනුව ක්‍රියා කරන්න!,…’ යනුවෙන් මුස්ලීම් සමාජයට අවධාරණය කලේ. (මෙය දීර්ඝ හදීසයක් ලිපිය දීර්ඝවීම සැලකිල්ලට ගෙන මෙහි කොටසක් පමණක් ඉදිරිපත් කර ඇත) එසේනම් මේ මුස්ලීම් සමාජයේ විමුක්තිය කරා වූ යන එකම ගමන් මාර්ගය වැටී ඇත්තේ ශුද්ධ වූ කුර්ආනය තුලින් හා එය සමඟ යන ගමන තුල යන්න දැන් පැහැදිලිය.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මුස්ලීම්වරුන් අප සියළුදෙනා යලිත් කුර්ආනීය සමාජය කරා වූ ගමන අරඹීම කලයුතුව ඇත. එතැන් සිට කුර්ආනය තුලින් කුර්ආනය සමඟ ඔවුන් ගමනක් යලිත් ඇරඹිය යුතුව ඇත. මේ ක්‍රියාදාමය තුල ආගමික විද්වතුන් හා පූජකවරුන් අවංක මැදිහත්වීමක් සිදුකලයුතුව ඇත. විශේෂයෙන් වෙන කවරදාකටත් වඩා ආගම දහම කෙරෙහි උනන්දුවක් දක්වන තරුණ පිරිසක් දැන් දැන් මුස්ලීම් සමාජය තුල බිහිවෙමින් ඇත. මේ පිරිස් ද සම්ප්‍රදායක මුස්ලීම් කල්ලිවාදීන් තුල හෝ මතවාදයන් තුල කොටු නොවී සමස්ථ මුස්ලීම් සමාජයම කුර්ආනීය සමාජයක් කර නැවත මෙහෙයවීමේ මෙහෙවරට අවංක ලෙස දායක වියයුතුව ඇත. එය දහම වෙනුවෙන් ඔබ ඉටු වියයුතු යුතුකමක් වන බවද තරයේ මතකයේ තබා ගතයුතුය.

 

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. Marine Pina Urrútia 2012-04-19 at 17:52

    I won’t be able to thank you fully for the articles on your web-site. I know you’d put a lot of time and energy into all of them and hope you know how much I appreciate it. I hope I could do the same for someone else sometime.

  2. indika27 2012-04-18 at 21:51

    මා දන්නා බොදු දහමේ කිසිම තැනක අනෙක් ආගම් වලට තබා කුරා කූඹියෙකුටවත් වෛර කිරීම අනුමත කරන්නේ නෑ…ඒත් ඒ පදනම අවබෝධ කර නොගත් බහුතරය වෛරය ඇතිවන ආකාරයේ පැතිරෙන ආකාරයේ දේවල් කරනවා…
    හොඳ උත්සාහයක්..අන්තවාදී දෙපාර්ශවය විසින් පෙන්වන අහම්බෙන් සොයාගන්නා ලද කුරාණ පාඨ වලට වඩා සැබෑ කුරාණය කුමක්දැයි උගෙන ගන්න අපිත් ආසයි…හොඳ වැඩක් කරගෙන යන්න ශක්තිය ලැබේවා…

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *