ජ්‍යෝතිෂය පිලිබදව ආගමික විග්‍රහය

0

මෙම ජ්‍යෝතිෂය පිලිබදව ආගමික ස්ථාවරය පිලිබදව කථා කරන විට ශ්‍රී ලංකීය බහුතර ප්‍රජාව පිලිපදින බුදුදහම ද කථා නොකරම බැරිය. මන්ද වර්ථමානයේ මෙම ජ්‍යෝතිෂ්‍ය විශ්වාසය ඉහලින්ම පවතින සමාජය බෞද්ධ සමාජයයි. එය වඩාත් හොදින් පිළඹිබු වන්නේ එහි ප්‍රමුඛත්වය භික්ෂූන් වහන්සේලා ගෙන තිබෙන බැවිණි. ඔබට එය වඩා හොදින් තහවුරු කරගැනීම සදහා අන්තර්ජාලය තුල වෙළද දැන්වීම් පලකරන ජනප්‍රිය වෙබ් අඩවීන් කිහිපයක් නැරඹීම ප්‍රමාණවත්ය. ඒවා තුල මෙම ජ්‍යෝතිෂයට අදාලව භික්ෂූන් වහන්සේලා පලකරන වෙලද දැන්වීම් බොහෝමයක් දැකගත හැක. එවැනි දැන්වීම් දකින විට සමහරක් වේලාවල්වල දී  ඔබට සැකයක් මතුවිය හැක. ඒ “මේ භික්ෂූන් වහන්සේලා මේවා කරන්නේ ඒ සදහා බුදුදහම තුල කිසියම් අනුබලයක් තිබෙන නිසා නොවේද?” යන්නයි. එම ප්‍රශ්නයට මා දෙන විග්‍රහයට වඩා සුදුසු වන්නේ ඒ පිලිබදව බුදුන්ගේ දේශන යයි පවසන ත්‍රපිටකයේ කුමක් සදහන් වෙනවාද? යන්නයි. මෙම ජ්‍යෝතිෂය පිලිබදව එහි කුමක් සදහන් වෙනවාද යයි අධ්‍යනය කරන විට බ්‍රහ්ම ජාල සූත්‍රයේ එය තිරශ්චීන විද්‍යාවක් ලෙස හදුන්වා දෙයි. තිරශ්චීන විද්‍යාව යනු “තිරිසන් විද්‍යාව” යන්නයි. ඇත්තෙන්ම මෙය තිරිසන් විද්‍යාව යන්න සුදුසුම වචන යෙදුමකි. මන්ද එක් පසකින් මා ඉහතින් සදහන් කලාසේ අනවශ්‍ය විදියට ජනතාවට බලාපොරොත්තු ගොඩනඟමින් ද තවත් පසෙකින් “අපලයි” යන්න පවසමින් ඔහුගේ උත්සාහය, උනන්දුව හා කැපවීම අඩාල කරමින් කිසියම් මානසික විකෘතිතාවයක් ඔවුන් තුල නිර්මාණය කිරීම වෙනුවෙන් එය තිරිසන් විද්‍යාව යන්න නම් කිරීම සුදුසුම වචන යෙදුමක් යන්න පැහැදිලිය. අද බෞද්ධ සමාජයේ කිසිදු සුබ කටයුත්තක් නැකතක් (සුභ වේලාවක්) නොමැතිව අරභන්නේ නැත. මෙහිදී මට ඇති ගැටළුව මේ පිරිස් බුද්ධ වාක්‍යය මෙසේ පැවතීම බෞද්ධ සමාජය නොදන්නවාද? එසේ නොවේ නම් දැන දැන එය ප්‍රතික්ෂේප කරනවාද? යන්නයි. කෙසේ වෙතත් මෙම ජ්‍යෝතිෂය පිලිබදව බුදුදහමේ ස්ථාවරය දැන් පැහැදිලිය. එය තවත් හොදින් වටහා ගැනීමට තවත් ත්‍රපිටක වාක්‍යයකට ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එනම්,

“අත්ථෝ අත්තස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා” – තමන්ගේ නැකත තමන්මයි තාරකා වලට මොනවාද කරන්න පුළුවන්

මේ ලිපිය පුරාවට මා පැහැදිලි කරන්න උත්සාහ කරන කාරණය මෙය තමා එනම් “මේ තාරකා වලට මොනවාද කරන්න පුළුවන්” එසේ නම් මිත්‍යා දෘෂ්ඨික අන්ධ විශ්වාසයෙන් බෞද්ධ සමාජය දැන්වත් මිදිය යුතු නොවේද? බුදුදහම දහම මෙලෙස ජ්‍යෝතිෂය පිලිබදව එහි ස්ථාවරය පවසන විට ඉස්ලාම් දහම මේ පිලිබදව කුමක් පවසනවාද? යන්න දැන් විමසා බලමු.

ජ්‍යෝතිෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය දැන ගැනීමට පෙර අවබෝධ කරගතයුතු මූලික කාරණයක් ඇත. එනම් ජ්‍යෝතිෂය පමණක් නොව ශාස්ත්‍රි ඇසීම, විවිධ සතුන් පදනම් කරගෙන පලාඅපල හා අනාවැකි විමසීම… වැනි ගුප්ත කරුණු කිසියම් ආකාරයක අනාවැකි ලෙස හෝ පලාඅපල ලෙස විමසීම ඉස්ලාම් දකින්නේ එකම ආකාරයේ වරදක් ලෙසය. එනම් ගුප්ත කාරණයන් අනාවර්ණය කිරීමක් ලෙසය. නමුත් ගුප්ත (සැඟවුණු) කරැණු පිලිබදව ඥානය ඇත්තේ අල්ලාහ් (දෙවියන්) පමණක් යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මේ පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ ස්ථානවල අල්ලාහ් (දෙවියන්) අවධාරනය කරයි. එවැනි වාක්‍ය කිහිපයක් වෙත ඔබේ අවධානය යොමු කරන්නේ නම්,

  • තවද (නබිතුමණි) ඔබ පවසන්න අල්ලාහ් (දෙවියන්) හැර අන් කිසිවකු අහස්හිද පොළොවෙහිද ඇති ගුප්ත දෑ නොදන්නේය (27-65)
  • ගුප්ත දෑ ඔහු (අල්ලාහ්) දන්නේය. ඔහු තොරාගත් රසූල්වරයෙකුට (වක්තෘවරයෙකුට) මිස අන් කිසිවකුට එය එළිදරව් නොකරන්නේය. (72-26 හා 27)

මේ අදහසින් බොහෝ වාක්‍යයන් ශුද්ධ වූ කුර්ආනයේ දක්නට ඇත. මේවා තුලින් පැහැදිලි වන කාරණය නම් සැඟවුණු (ගුප්ත) කරැණු පිලිබදව අනාවැකි පැවසීමේ හැකියාව දෙවියන් කිසිදු මනුෂ්‍යයකුට ලබාදී නැති බවයි. සුවිශේෂි අවස්ථාවන්වල දී පමණක් යම් යම් කරැණු වක්තෘවරයා (නබිවරයා) මඟින් එලිකලා ද අද සමාජයේ එවැනි අනාවැකි පැවසීමේ හැකියාව කිසිදු මනුෂ්‍ය යෙකුට නොමැත යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මේ අනුව කිසිවකු පලාඅපල හෝ අනාවැකි පවසනවා යයි පවසන්නේ නම් එය මුසාවක් පමණි. එපමණක් නොව අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනය මඟින් ගුප්ත කාරණයන් පිලිබදව ඥානය තමා සතු බව පවසද්දී කිසිවකු “නැහැ මටත් කියන්න පුළුවන්” යයි පවසයි නම් එයින් අදහස් කරන්නේ අල්ලාහ් (දෙවියන්) සතු ගුප්ත ඥානය තමන් සතුවද පවතිනවා යන්නයි. මෙය ඉස්ලාම් දහමේ “ෂිර්ක්” (අල්ලාහ් දෙවියන්ට සමාන කිරීම) යනුවෙන් හදුන්වයි, මෙය ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව අල්ලාහ් (දෙවියන්) සමාව නොදෙන මහා පාපයකි. මේ අනුව සැඟවුණු ඥානය යන්න අල්ලාහ් (දෙවියන්)ට පමණක් යන්න තීන්දු වුවායින් පසු මනුෂ්‍ය බුද්ධිය යොදවා පලාඅපල හෝ අනාවැකි පැවසීමට එහි කිසිදු ඉඩක් නැත යන්න පැහැදිලිය. එසේ පැහැදිලි ලෙස අවධාරනය කරන ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ තවත් වාක්‍යයකින් මෙසේ ද පවසයි,

“ඔබට දැනුමක් නොමැති කිසිවක් අනුගමනය නොකරන්න. මන්දයත් ඇස්, කන් හා සිත් ආදී මේ සෑම කොටසකින්ම (මරණින් මතු) ප්‍රශ්න කරන්නොමය”  (17-36)

ඉහත වාක්‍යය තරමක් බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. ඉස්ලාම් කිසිදු කාරණයක් අන්ධ භක්තිකව, අවබෝධයෙන් තොරව හෝ දැනුමක් නොමැතිව අනුගමනය කිරීමට ඉඩදෙන්නේ නැත. ඉහත වාක්‍යය තුලින්ද ඉස්ලාම් අවධාරණය කරන්නේ එම කාරණයයි. කිසිවකු කිසිවක් කියූ පමණින් එසේත් නැත්නම් කිසිවක් දුටු පමණින් එය පිලිගැනීමටත් විශ්වාස කිරීමටත් නොපෙළඹී බුද්ධිමත්ව එය විමසා බැලිය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එසේ නොකොට ඔබ තීන්දු තීරණවලට එළඹෙන්නේ නම් එය බරපතල වරදක් බවත් ඒ වෙනුවෙන් කියාමත් (මරණින් මතු උදාවන විනිශ්චය) දිනයේ ඇස් කන් හා සිත් යනාදියෙන් ප්‍රශ්න කරනවා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. උදාහර්ණයකට 2012 වර්ෂයේ ලෝක විනාශය සිදුවන බවට කිසියම් ජ්‍යෝතිෂඥයකු අනාවැකියක් පැවසූ විට ඒ පිලිබදව බුද්ධිමත් විමසුමක් නොකොට එනම් ඔහුගේ ප්‍රකාශයට පදනම් වූ කරැණු මොනවාද? එම කරැණු මත මෙවැනි විනාශයක් සිදුවීමට පුළුවන්ද? වැනි කරැණූ ඔහු පවසන දත්ත පදනම් කරගෙන බුද්ධිමත්ව මනසින් විමසා නොබලා එම අනාවැකි පිලිගන්නේ නම් එය ඉහත 17-36 වාක්‍යයට අනුව වරදක් බව අවබෝධ කරගත යුතුය. ඒ අනුව මිනිස් මනසට ගෝචර නොවන කරුණු සදහා ඉස්ලාම් දහම තුල ඉඩ නොමැති බවත් ඉහත කරැණු අනුව ජ්‍යෝතිෂය සැලකූවිට එහි බුද්ධිමත් විමසුමකට කිසිදු ඉඩක් නැති බවත් පැහැදිලිය.

ශුද්ධ වූ කුර්ආනය එලෙස කරුණු පවසන විට මෙවැනි කාරණයන් පිලිබදව හදීසයන් (මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන්) තුල කුමක් සදහන්ව තිබෙනවාද යන්නත් විමසා බැලීම මෙම විෂය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට පිටුවහලක් වන ඇත. ඒ අනුව හදීසයන් කිහිපයක් වෙත දැන් අවධානය යොමු කරමු.

  • “…අනාවැකි යනුවෙන් කිසිවක් නැත. බස්සා (ගේ ශබ්දය) මඟින් ඇති වන අපලයක් නැත. දුරභාග්‍යමත් මාස යනුවෙන් (කිසිදු මාසයක්) ද නැත.” දන්වන්නේ – අබූහුරෙයිරා (රලි) තුමා – මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී
  • “අනාවැකි විමසීම දෙවියන්ට කිසිවක් සාමාන කිරීමකි” (ශිර්ක්) යනුවෙන් නබිතුමාණන් තුන්වරක් පවසන ලදි. දන්වන්නේ – ඉබුනු මස්වූද් (රලි) තුමා – මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්
  • කව්රැන් අනාවැකි විමසා ඒ අනුව තම ජීවිතය සකසා ගන්නේද? ඔබ “ශිර්ක්” (දෙවියන්ට කිසිවක් සමාන කල) තැනැත්තෙකු බවට පත්වන්නේය. දන්වන්නේ – අබුනු අම්ර් (රලි) – මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද්
  • දිනක් නබිතුමාණන් සුබහ් සලාතය(පාන්ද ඉටුකරන ආගමික වාතාව) ඉටුකර අවසන් කොට අප දෙසට හැරී “නුඹලාගේ දෙවියන් කුමක් පවසනවාද යන්න දන්නෙහිද?” යනුවෙන් විමසල ලදී. එයට අප අල්ලාහ් (දෙවියන්) හා ඔහුගේ වක්තෘවරායා (මුහම්මද් (සල්) තුමාණන්) පමණයි එය දන්නේ යනුවෙන් පැවසුවෙමු. එයට නබිතුමානන් මෙසේ පවසන ලදි “මගේ ගැත්තන්ගෙන් සමහරෙක් කාෆිර් (ඉස්ලාම් අතහැර ගිය හෝ ප්‍රතික්ෂේප කල පිරිස්) ලෙසත්, තවත් සමහරෙක් මූමීන්වරැන් (ඉස්ලාම් දහම පිලිගෙන නිවරැදිව අනුගමනය කරන පිරිස්) ලෙසත් අද දවස ආරම්භ කොට ඇත. “කවුරුන් අල්ලාහ් (දෙවියන්)ගේ භාග්‍යය නිසා වැස්ස ලැබුණා” යයි පවසන්නේද ඔවුන් මාව විශ්වාස කල තැනැත්තෙකු (මූමීන්වරයෙකු) වන්නේය. කවුරැන් “මෙම තරුවල වෙනස්වීම නිසා තමා වරුෂාව ලැබුණේ” යයි පවසන්නේද ඔහු කාෆිර් බවට පත්විය යනුවෙන් අල්ලාහ් (දෙවියන්) පවසයි. යනුවෙන් පවසන ලදී. දන්වන්නේ – සෙයිද් ඉබුනු කාලිද් ජුහ්නි – මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී හා මුස්ලීම්

ඉහත අවසාන හදීසයෙන් ජ්‍යෝතිෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නත් එය විශ්වාස කිරීම කොතරම් බරපතල වරදක් ද යන්නත් මනාව  පිළිඹිබුවේ. ආරම්භයේ පටන් මෙතෙක් මේ ලිපිය කියවූ ඔබෙන් අවසාන වශයෙන් විමසන්නට ඇත්තේ ඉස්ලාම් දිව්‍යමය දහමක් යන්නට මීටත් වඩා සාක්ෂීන් අවශ්‍යද? යන්නයි. මිනිස් සමාජය අන්ධ විශ්වාසයන් හා මිත්‍යාවන් පසුපස නොයා ආරක්ෂා කරගැනීම සදහා ඉස්ලාම් කොතරම් සැලකිලිමත් වී තිබෙනවාද? ආගමක් වතාවත් පිලිබදව පමණක් කථා නොකොට සමාජ මිත්‍යාවන්ද මේ ආකාරයට බිඳ දමන්නේ එය දිව්‍යමය ජීවන සැලැස්මක් වූ නිසාම පමණි

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *