ජාතික සිරකරු දිනය හා ඉස්ලාමීය නීති

1

ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන විවිධ චෝදනාවන් අතර ඉස්ලාමීය දණ්ඩ නීති වලට ද එල්ල වන්නේ ප්‍රබල චෝදනාවකි. මේ හේතුව නිසාම මෙම විෂය පිළිබඳව කරුණු කිහිපයක් ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. ඒ මෙම විෂය පිළිබඳව කථා කිරීමට සුදුසුම කාල වකවානුව මෙය වන නිසා ය. මන්ද සැප්තැම්බර් 12 දින “ජාතික සිරකරු (සොරුන්, ඝාතකයන් හා ස්ත්‍රී දූෂකයන්… ගේ) දිනය” වන නිසාත්, මේ දිනවල රට පවතින නීති මෙන්ම එහි ඇති කළ යුතු සංශෝධනයන් පිළිබඳව ප්‍රබල මතවාදයක් නිර්මාණය වෙමින් පවතින නිසාත්, කෲර අපරාධයන් කිහිපයක්ම අප රටේ පසුගිය දිනවල සිදු වූ නිසාත්, ඒ තුලින් ජනතාව තුල කිසියම් ආකාරයක කැලඹීමක් පවතින නිසාත් ය. මෙවැනි උණුසුම්කාරී තත්වයන් අප රට තුල නිර්මාණය වූ පලමු අවස්ථාව මෙය නොවන බව ප්‍රථමයෙන් පැවසිය යුතුම ය. කුමක් හෝ සංවේදී සිදුවීමක් පදනම් කරගෙන ආවේගයෙන් හා වියරුවෙන් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් රටේ නීති පිළිබඳව හා එය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව කථා කරන බොහෝ පිරිස් කාලයත් සමඟ අතුරුදහන් වී යන්නේ “හිරු දුටු පිණි බිඳු මෙනි” යළිත් ඔවුන් කරලියට එන්නේ එවැනිම තවත් ඛේදනීය හෝ සංවේදනීය සිදුවීමක් කරපින්නා ගෙනය. මෙවැනි පසුබිමක ඉස්ලාමීය නීතිය පිළිබඳව ශ්‍රී ලාංකීය සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම යහමඟ හි අරමුණ වන අතර එය කාලීන අවශ්‍යතාවයක් ද වේ.


නීති විද්වතුන් යයි පවසා ගන්නා සමහරක් පිරිස් ඉස්ලාම් මිනිස් සමාජ‍යට යෝජනා කරණ නීති රීති හා දඬුවම් කෙරෙහි පටු ලෙස හෝ අන්තවාදී ලෙස බලා විවේචනයන් සිදු කරමින් එය ඉතා අමානුෂීය නීති බව සමාජයට කියාපාන්න බොහෝ උත්සාහයන් ගනී. ඔවුන් ඒ සදහා ඉස්ලාමීය දඬුවම් නීති සම්බන්ධයෙන් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරයි. එනම්,

  • මරණයක් සිදු කළා යයි ඒ වෙනුවෙන් මරණ දඬුවම දීම අමානුෂික ක්‍රියාවක් නොවේ ද?
  • කිසිවකු‍ගේ අවයවයකට හානියක් සිදු කලේ නම් ඔහුටත් එම දඬුවම හිමි යන්න කොතරම් අසාධාරණ ද?
  • පරපුරුෂ සේවනය (අනියම් සම්බන්ධතා, ස්ත්‍රී දූෂණ… යන‍ාදී) සඳහා මරණ දඬුවම යන්නත් මේ 21 වන ශත වර්ෂයේ සාධාරණ ද?
  • හොරකමක් වෙනුවෙන් (සොරාගේ) අත කැපීම මිලේච්ඡ ක්‍රියාවක් නොවේ ද?

මේ ආකාරයට ඉස්ලාම් දහමට එරෙහිව චෝදනාවන් රාශියක් අප රට තුලත්, ජාත්‍යන්තරය තුලත් මතු කරනවා අපි දකින්නෙමු. මෙම විවේචනයන් හි කිසියම් සාධාරණයක් පවතින බව බැලූ බැල්මට ඔබට ද සමහරක් අවස්ථාවල හැ‍ඟෙනු ඇත. නමුත් මේ කරුණු දෙස තරමක් ගැඹුරින් හා බුද්ධිමත් අයුරින් විමසා බලන්නේ නම් එ්වා කොතරම් අනුවණ බො‍ළද වූ තර්කයන් ද යන්න ඔබට පහසුවෙන් අවබෝධ වනු ඇත. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස “රටක් තුල දඬුවම් නීති පැනවීමේ අරමුණ කුමක්ද?” යන්න කෙටියෙන් විමසා බලමු.

රටක් තුල දඬුවම් නීති පැනවීමේ අරමුණ කුමක්ද?

“වරදකරුවන් සදහා දඬුවම් ලබා දීම අවශ්‍යය” යන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ලොව සෑම පුද්ගලයෙක්ම, සමාජයක්ම, රටක්ම සිටින්නේ එකම ස්ථාවරකය. එම කාරණයේ දී ලොව කිසිවකුටත් “වරදකරුවන් සදහා දඬුවම් අවශ්‍ය නොවේ” යන විරුද්ධ මත පැවතිය නොහැක. එය ලොව සෑම රටකම පවතීන දණ්ඩ නීතිවලට එම රටේ පුරවැසියන් අවනත වීම හා එයට එකඟ වීම තුල සනාථ කොට ඇත. සෑම රටකම තිබෙන සිරමැදිරි ද එය සනාථ කොට ඇත. ඒ අනුව වරදකට දඬුවම් අවශ්‍යය යන්න සෑම සියලු සමාජයම ඒකමතිකව අනුමත කරන බව පැහැදිලි කාරණයකි. මේ ස්ථාවරයේ පැහැදිලිවම ඉස්ලාම් දහමත් සිටින බව ඉස්ලාමීය නීති රීති පිළිබඳව දළ අවබෝධයක් පවා ඇති කෙනෙකු හට පැහැදිලිව අවබෝධ කරගත හැකිවනු ඇත. දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් ලොව සෑම පුද්ගලයෙකුටම මේ ආකාරයේ වූ එකඟත‍ාවයන් පැවතුන ද එහි ලබාදෙන දඬුවම් පිළිබඳව යම් යම් විරුද්ධ මතවාද පවතී. ඒ දඬුවම් “අවශ්‍ය ද? නැද්ද?” යන කාරණයේ නොව එහි ලබාදෙන දඬුවම් “සාධාරණ ද? නැද්ද?” යන කාරණයේදී ය. එය තවත් පැහැදිලි ලෙස පවසනවා නම්, වරදට ලබාදෙන දඬුවම “සරල විය යුතුයි” යැයි එක් පාර්ශවයක් පවසන අතර තවත් පාර්ශවයක් පවසන්නේ එය “ඉතා දැඩි විය යුතු” යන්නයි. මෙය තමා මේ විෂය සම්බන්ධයෙන් ලොව තුල පවතින එකම මතභේදය. එම නිසා මෙම කාරණය පිළිබඳව ද තරමක් බුද්ධිමත් ලෙස දැන් විමසා බැලීම අත්‍යඅවශ්‍යය. ඊට ප්‍රථම සදහන් කළ යුතු තවත් ප්‍රධාන කාරණයක් ඇත. එනම්, ‘වදරකරුවා දඬුවම් ලැබිය යුතුයි’ යන නියමය ඇති කිරීමේ අරමුණ කුමක්ද? යන්නයි.

“වදරකරුවා දඬුවම් ලැබිය යුතුයි” යන නියමය ඇති කිරීමේ අරමුණ කුමක්ද?

ලොව සෑම රටකම පාහේ  “වරදට දඬුවම්” යන්න ක්‍රියාත්මක වේ. ඒ අකාරයටම ඉස්ලාම් දහම ද දඬුවම් අවධාරණය කරන බව මම ඉහතින් සඳහන් කළෙමි. නමුත් ලොව තුල ක්‍රියාත්මක අනිකුත් දණ්ඩ නීතිවලට සාපේක්ෂව ඉස්ලාම් පනවන දණ්ඩ නීති ප්‍රබල විවේචනයන්ට ලක්වන අතර එහි දී මතුකරන තර්කයන් කිහිපයක් පවසන්නේ නම්,

  • ඝාතකයෙකු ඝාතනය කිරීම නිසා ඔහු විසින් ඝාතනයට ලක් වූ කෙනාට තම ප්‍රාණය ලැබෙන්නේ නැහැ නේද?
  • (ස්ත්‍රී) දූෂණයක් සිදු කළ තැනැත්තාට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තුල දූෂණය නිසා ඇයට සිදු වූ හානිය යාථා තත්වයට පත්වන්නේ නැහැ නේද?
  • සොරකමක් වෙනුවෙන් (සොරාගේ) අත් කැපීම තුලින් බොහෝ විට නැති වූ භාණ්ඩ නැවත ලැබෙන්නේත් නැහැ නේද?… යනාදී වශයෙනි.

ඉහත තර්කයන් බැලූ බැල්මට සාධාරණ වූ එකක් ලෙස පෙනුණත් වර්තමානයේ ලොව තුල ක්‍රියාත්මක දණ්ඩ නීති හා ඉස්ලාම් අවධාරණය කරන ඉහත දණ්ඩ නීති තුල පැහැදිලි ලෙස අවබෝධ කරගත යුතු කාරණයක් ඇත. එය නම් “වරදක් සදහා දඬුවම් ක්‍රියාත්මක කරන්නේ කිසියම් සිදුවීම තුල බලපෑමට, හිංසනයට හෝ අසාධාරණයකට… ලක් වූ තැනැත්තාගේ එම වරද නිවරුදි කර ගැනීම (එය යථා තත්වයට පත් කිරීම) පිණිස නොවන” බවයි. දැන් ඔබට “එසේනම් මේ දඬුවම් කුමක් සදහා ද?” යන පැනය මතුවෙනු ඇත.

දඬුවම් කුමක් සදහා ද?

කිසියම් රටක, සමාජයක “වරදට දඬුවම්” යන්නෙන් ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණු ප්‍රධාන කොටස් 03 ක් ඔස්සේ පැහැදිලි කළහැක. එනම්,

  • වරදක් කළ පුද්ගලයෙකු හට ලබාදෙන දඬුවම් තුලින් ඔහු නැවත නැවත එම වරදට පෙළඹීමෙන් වැළැක්වීම.
  • වරදකරුවෙකු සදහා ලබා දෙන දඬුවම තුලින් සමාජයේ අනිකුත් පිරිසට අවවාදයක් ලබා දීම තුලින් ඔවුන් එම වරදට පෙළඹවීමෙන් වැළැක්වීම.
  • සිදු කරන වරද හේතුවෙන් අසාධාරණයට ලක් වූ පිරිසට කිසියම් සාධාරණයක් ඉටුකර දීම.

ඉහත හේතු තුනට පරිභාහිරව වෙනත් කිසිදු හේතුවක් පැවතිය නොහැකි අතර මෙම හේතු සම්බන්ධයෙන් විරුද්ධ මත ද කිසිවකුටත් පැවතීය නොහැක. ඉහත අරමුණු ළඟා කර ගැනීම සදහා ලොව පුරා විවිධ රටවල විවිධ ආයතන (අධිකරණ, මහා අධිකරණ… වැනි) පිහිටුවා ගෙන ඒ තුල විවිධ නීති රීති ද නිර්මාණය කරගෙන ක්‍රියාත්මක වන ආකාරය අප හොදින් දන්නෙමු. මෙහිදී ලොවපුරා බොහෝ රටවල් ක්‍රියාත්මක සම්ප්‍රදායික දඬුවම වන්නේ “සිර දඬුවම” යන්නයි. මේ හේතුව නිසා එම විෂය පිළිබඳව ද කෙටි අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන් මේ ආකාරයට ක්‍රියාත්මක දඬුවම් තුලින් ඉහතින් සඳහන් අරමුණු ළඟ‍ාකර ගන්නට හැකිවේ ද? යන්න මොහොතක් විමසා බැලිය යුතුම ය.

සිරකරුවන්ගේ තත්වය

මා මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළා සේ “ජාතික සිරකරු දිනයේ” විශේෂයෙන් හොදම සිරකරුවා සදහා විදේශ සංචාර පවා රජය යෝජනා කර ඇති මේ මොහොතේ රටේ බුද්ධිමත් ජනතාව මේ පිළිබඳව බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුම ය. ඒ අනුව ජාතික මට්ටමින් එම විෂය පිළිබඳව විමසා බැලීමට මත්තෙන් මෙහි සැබෑ ස්වරූපය වඩ‍ාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ජාත්‍යන්තරය වෙත කෙටි විමසුමක් සිදු කලේ නම්, අද වනවිට මෙම “සිර දඬුවම්” සමහරක් රටවල ක්‍රියාත්මක වන ආකාරය හාස්‍ය ජනකය. එය කොතරම් ද යන්න පවසනවා නම් අද සමහරක් රටවල පුද්ගලික සිර මැදරි පවා ක්‍රියාත්මක වේ. තමන්ගේ වත්කම් අනුව එවැනි සිරමැදිරි සඳහා මුදල් ගෙවා තමන්ගේ වත්කම් අනුව සුඛෝපභෝගී ද? අර්ධ සුඛෝපභෝගී ද? නොඑසේ නම් අධි සුඛෝපභෝගී ද?… යනාදී වශයෙන් තෝරා ගෙන එය තුල තම දඬුවම් කාල සීමාව ගෙවා දැමිය හැකි පහසුකම් ඒ ඒ රජයන් විසින් සලසා දී ඇත. මෙවැනි සිර දඬුවම් තුලින් අපේක්ෂිත ඉලක්ක ළඟා කරගත හැකිවේ ද?. ජාත්‍යන්තරය තුල එවැනි තත්වයක් පවතිද්දී අපේ රටේ සිර දඬුවම් ද ඊට දෙවැනි නොවේ. අද මත්ද්‍රව්‍ය අලෙවිය නිසා සිරගත වන සිරකරුවා තම ව්‍යාපරාය සදහ‍ා ඊළඟට තෝරාගන්නේ සිර මැදිරියයි. එපමණක් නොව ප්‍රබල අපරාධයන් රට තුල මෙහෙයවන ප්‍රධාන මොලකරුවන් බොහෝ අවස්ථාවල සිටින්නේ සිර මැදිරිවල බව මාධ්‍යයන් විවිධ අවස්ථාවල අනාවරණය කර ඇත. බොහෝ සිර කඳවුරු අපරාධකරුවන්නේ ‍තෝතැන්නක් වී ඇති බව පසුගිය කාලවල සිදු කළ මාධ්‍ය අනාවරණයන් මනාව පැහැදිලි කලේ ය. එසේ නම් මේ සිර දඬුවම් තුලින් අපේක්ෂිත අරමුණූ ඉටුවෙනවා ද? මෙය තවදුරටත් හොදින් අවබෝධ කර ගැනීම පිණිස පසුගිය 2011/09/09 දින ලංකාදීප පුවත්පතේ පල වී තිබූ පුවතක් වෙත ඔබගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.

මෙවැනි නීති හා දඬුවම් තුලින් අපේක්ෂිත අරමුණ ළඟා කර ගත හැකිවේ ද? මෙවැනි සිදුවීම් කොතෙක් නම් අප සමාජයේ තිබෙනවා ද? මෙය තවත් එක් සිදුවීමක් පමණක් නොවේ ද?. එක් පසෙකින් සිරකරුවන් සදහා විනෝදජනක ලෙස නීතිය ක්‍රියාත්මක වෙද්දී එම නීති ක්‍රියාත්මක කිරීම සඳහා රටේ පුරවැසියන් ලෙස අපගේ දායකත්වය ද මෙහිදී විමසා බැලිය යුතුම ය.

කෙනෙකු සිදුකරන සොරකමක්, දූෂණයක්, ස්ත්‍රී දූෂණයක්, වංචාවක්, ඝාතනයක්… යනාදී අපරාධකාරී ක්‍රියාවක් සදහා සිරගත වේ. ඔහු සඳහා නීතිය (අත්හිටවන ලද) මරණ දඩුවමේ සිට දින කිහිපයක්, මාස කිහිපයක් හෝ වසර කිහිපයක්… යනාදී වශයෙන් සිර දඬුවම් තීන්දු කරයි. එම සිර දඬුවම තුල ඔවුන්ගේ තත්වය මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බලන්න. එය දඬුවමකට වඩා “වගකීම්වලින් නිදහස් කළ නිදහස් ම ජීවිතයක්” වෙනසකට ඇත්තේ බාහිර සමාජයත් සමඟ ඇති අවම බැඳීම පමණි.  විටෙක සමාජයේ ජීවත් වන මධ්‍යස්ථ පුද්ගලයෙකුට වඩා ලස්සන නිදහස් ජීවිතයක්, අප සමාජයේ සාධාරණ ලෙස ජීවත් වීමට ජීවිත අරඟලවල පිරිසක් නියැලී ඉතා අමාරුවෙන් වේලක් ඇර වේලක් කුසගින්න නිවගන්නා විට මේ අපරාධකරුවන්ට වේල්  තුනටම නියමිත වේලාවට ම කුස පිරෙන්න ආහාර, අඩුවක් නොමැති මූලික පහසුකම්, එයින් ද නතර නොවී මෙම සිරකරුවන් සදහා සුභ සාධක වැඩසටහන් ඒ සදහා රාජ්‍ය නොවන විවිධ වූ සුභ සාධක සංගම්, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මානව හිතවාදී සංවිධාන… මේ සියල්ල බුද්ධිමත් ලෙස විමසා බැලුවේ නම් මෙම සිර දඬුවම් තුලින් වරදකරුවන් තවදුරටත් වරදට පොළොඹවනවා ද? එසේත් නැත්නම්  එයින් වළක්වනවා ද? යන්න දෙවරක් සිතා බැලීමට අවශ්‍ය වේ. මේ හේතුව නිසා තමා අද මෙම සිර දඬුවම ලබන පිරිස් එම සිර කූඩුව “මහ ගෙදර” එසේත් නැත්නම් “මහ උළුගෙදර” යනාදී සුන්දර නම්වලින් ආමන්ත්‍රණය කරන්නේ. මෙහි අවාසනාවන්තම කාරණය එය නොවේ. ඔහු (අපරාධකරුවා) විසින් අපරාධය සිදුකොට සිරගත වීම නිසා ඒ සිරකරුවන්ගේ පහසුකම් නිසි ලෙස සලසා දීම සදහා නඩත්තු වියදම අපරාධයට ලක් වූ ජනතාව වන අපෙන් (බදු ලෙස) අයකර ගැනීමයි. දැන් බලන්න ඉහත අපරාධකරුවා සිදුකළ වරද වෙනුවෙන් දඩුවම් ලබන්නේ කව්රුන්ද? මෙවැනි පසුබිමක් තුල ඉස්ලාම් යෝජනා කරන දණ්ඩ නීති පිළිබඳව කෙටි විග්‍රහයක් පහතින් ඉදිරිපත් කරමි. එය බුද්ධිමත් ලෙස විමසා බලන්න.

මිනිස් ජීවිත අහිමි කිරීම් සදහා මරණ දඬුවම යන්නත්, ස්ත්‍රී දූෂණයන් සදහා මරණ දඬුවම යන්නත්, සොරකමේ නියැලෙන පිරිමි හෝ කාන්තාවගේ දකුණු අතේ වළලු කරින් කැපීම සිදු කළ යුතු යන්නත්… ඉස්ලාම් යෝජනා කරන බව සැබෑවකි. මෙහි ඉස්ලාම් අවධාරණය කරන සරල දඬුවමක් වන “සොරකම” පදනම් කරගෙන විමසීමක් සිදු කලේ නම්, කිසියම් පුද්ගලයකු සොරකමක නිරත වී එය සාක්ෂි ඇතුව ඔප්පු වුයේ නම් ඔහුගේ හෝ ඇයගේ දකුණු අතේ වළලුකරින් කැපීම සිදු කළ යුතු ය. (ඉස්ලාමීය නීති ක්‍රියාත්මක කිරීමට සාක්ෂි මෙන්ම රාජ්‍ය පාලනය පැවැතීම අනිවාර්ය වන අතර පොදු ජනතාවට නීතිය ක්‍රියාත්මක කළ නොහැක) මෙලෙස දඬුවම් ක්‍රියාත්මක කලේ නම් ඔහුට තවදුරටත් එවැනි සොරකම්හි නිරතවීමට නොහැකි වී යයි. ඉහතින් සඳහන් ආකාරයට බයිසිකල් 1000ක් සොරකම් කළා සේ සොරකම් කිරීමට හෝ (අද අප සමාජයේ පවතිනවා සේ) වෘත්තීය සොරුන් බවට පත් වීමේ අවස්ථාව අහිමි වී යයි. එසේම නැවත සොරකම් සදහා පෙළඹීමට බියක් ද ඇති වේ. ඔහු පමණක් නොව ඔහුට ලබා දී ඇති දඬුවම දකින සමාජයේ කිසිවකුත් එම වරදට පෙ‍ළඹෙන්නට උත්සාහ කරන්නේ ද නැත. සොරකම පදනම් කරගෙන ඉහත කරුණු ඉදිරිපත් කළද මරණ දඬුවම තුලින් ද මෙම තත්වයෙහි වෙනසක් ඇති නොවේ. සොරෙක් නැවතත් එම වරදට පෙළඹුනත් මරණ දඬුවම නිසි ලෙස ක්‍රියාත්මක වේ නම් එවැනි වැරදි කිසිසේත් ඇති නොවේ. ඒ අනුව ඉස්ලාම් පමණක් නොව සමස්ථ සමාජයම දණ්ඩ නීති තුලින් අපේක්ෂිත අරමුණු පරිපූර්ණ ලෙස ඉටුවේ. එපමණක් නොව මේ අපරාධකරුවන් පෝෂණය කිරීම සදහා (පොදු ජනතාවගේ මුදල්) රජයේ මුදල් යෙදවීමේ අවශ්‍යතාවය ද ඇති නොවේ. එය රටක් වශයෙන් බොහෝ ආර්ථික වාසී ගෙන දෙන කාරණයකි.

මෙලෙස කරුණු දැක්වීම් කරන විට සමහරක් පිරිසට නීතිය හමුවේ සංවේදී ලෙස විටෙක තමන් “සංවේදී පුද්ගලයෙක්” යන්න නොකියා කියාපාමින් “අත කැපීම පව්නේ” යනුවෙන් පැවසීම දක්නට ලැබේ. මෙහිදී ප්‍රථමයෙන් අවබෝධ කරගත යුතු කාරණය නීතිය ක්‍රියාත්මක කිරීම හා සංවේදී ලෙස හා අනුකම්පා සහගත ලෙස බැලීම යන්න කිසිසේත් එකට බැදී පැවතිය නොහැකි කාරණයකි. තර්කයක් සදහා මනුෂ්‍යයන් වශයෙන් අනුකම්පාව නොවැළැක්විය හැකි සාධකයක් වුවත් එම අනුකම්පාව හිමි විය යුත්තේ කුමන පාර්ශවයට ද? යන්න බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතු අංගයකි. අහිංසක ලෙස හා සාධාරැණ ලෙස මුදල් උපයා ජීවත්වන්නට උත්සාහ කරන අසරණ දුප්පත් ජනතාවගේ පවා සුදල් සොරකම් කරගෙන අසාධාරණ ලෙස වැජඹෙන්නට හදන සොරාට අනුකම්පාව ලබා දී තවත් සොරකම් සදහා දොර විවර කරනවා ද? නොඑසේ නම් අපරාධයට අසාධාරණයට ලක් වූ පාර්ශවයට අනුකම්පාව හා සාධාරණය ලබා දීමට මෙන්ම සොරකමට තිත තබන්න සහාය වෙනවා ද? මෙය සරල වූ පැනයකි. මෙසේ ප්‍රශ්න නඟන විට තවත් සමහරක් විමසන්නේ “මෙලෙස දඬුවම් ක්‍රියාත්මක කරන්නට ගියේ නම් රටේ සියලු දෙනා අබාධිතයන් බවට පත් වෙනවා නොවේ ද?” යන්නයි. මෙය ද බැලූ බැල්මට සාධාරණ වූ පැනයක් ලෙස පෙනුණද තාර්කික ලෙස විමසා බලන්නේ එය කිසිදු පදනමක් නැති අන්තවාදී පැනයකි. මන්ද මේ දඬුවම ක්‍රියාත්මක කිරීම නිසා රටේ සිටින සියලු ජනතාව ආබාධිතයන් බවට පත්වන්නට නම් ඒ තුලින් වක්‍ර ආකාරයට කියාපාන්නේ “රටේ සියලු ජනයා සොරුන්” බවයි. වාදයකට එය එසේ යයි සැලකුවද ඉහත නීතිය නිසි ආකාරව ක්‍රියාවට නැංවෙන විට අනිකුත් සොරුන් එම වරදින් අනිවාර්‍යයෙන් වැළකෙනවා මිස ඔවුන් කිසිවිටෙකත් එම වරදට පෙලඹෙන්නේ නැති බව අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. නිදසුනක් ලෙස වර්තමානයේ ඉස්ලාමීය දණ්ඩ නීතිය තරමක් දුරකට හෝ ක්‍රියාත්මක වන සව්දි අරාබිය අද ලෝකයේ අපරාධයන් අඩුවෙන් සිදුවෙන රටක් ලෙස ජාත්‍යන්තරය තුල විශේෂ තැනක් හිමි කරගෙන සිටින්නේ රටේ සියලු ජනතාව අබාධිතයන් කර දමා හෝ (මරණ දඬුවම ක්‍රියාත්මක කොට) මරා දමා නොවේ. සොරකම් සම්බන්ධයෙන් ඉහත ආකාරයට එම සමාජය අවවාද ලබන විට ස්ත්‍රී දූෂණ, ඝාතන වැනි අපරාධ සදහා එම රට තුල ක්‍රියාත්මක නීති ඉතාම ප්‍රායෝගික බව අද වන විට බොහෝ රටවල් නිල නොවන ලෙස පිලිගෙන ඇති ආකාරය ඔවුන්ගේ යම් යම් ප්‍රකාශයන් තුලින් දැකගන්නට හැකි බවඔබට අලුත් කාරණයක් නොවේ.

අප රට පදනම් කර‍ෙගන එය විමසා බැලුව ද අප රටේ “එල්ලුම් ගහ” නීතිගත කොට තිබීම තුල මරණ දඬුවම නීත්‍යානූකූල වී ඇති බව නොරහසකි. නමුත් එය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීමට කිසිවකු ඉදිරිපත් නොවේ. මෙහි දී මා “…එය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීමට…” යනුවෙන් සඳහන් කිරීමට හේතුවක් ඇත. ඒ අප රටේ වුවද නඩු තීන්දු මත නොවුවත් අතීතයේ පටන් “මරණ දඬුවම” ක්‍රියාත්මකව පවතින නිසා ය. එයට සමීපතම නිදසුන් පවසනවා නම්.

  • අප රටේ පැවතී කොටි උවදුරට තිත තබන්නට හැකි වුයේ, මේ (නිල නොවන) මරණ දඬුවම නිසා නොවේ ද?
  • බොහෝ පාතාල කල්ලි විනාශ කිරීමට හැකි වී තිබෙන්නේ මේ (නිල නොවන) මරණ දඬුවම ක්‍රියාත්මක නිසා නොවේ ද?
  • විවිධ ආකාරයේ වූ අපරාධකරුවන් (ආයුධ පරීක්ෂාවට ගොස් එසේත් නැත්නම් පැන යාමට උත්සාහ කිරීම වැනි හේතු මත) ඝාතනයට ලක් වන්නේ මේ (නිල නොවන) මරණ දඬුවම ක්‍රියාත්මක නිසා නොවේ ද?

ඉහත ආකාරයට හෝ අප රටේ මරණ දඬවුම ක්‍රියාත්මක වීම පිළිබඳව රටේ පොදු ජනතාවට ඇත්තේ ඉමහත් සතුටකි. එය මෙතෙක් සිදු කළ එවැනි දඬුවම් සදහා යහපත් ප්‍රතිචාර දක්වමින් ප්‍රශංසාත්මක කථා කිරීම තුල මෙන්ම කිසිදු ආකාරයක විරෝධතාවයක් පල නොකිරීම තුල මනාව ඔප්පු කොට ඇත. එපමණක්ද නොවේ. අප රටේ සිදුවන සමහරක් සිදුවීම් පදනම් කරගෙන එම වරදකරුවන් සදහා “රජකාලේ දඬුවම්” එසේත් නැත්නම් “අරාබි රටේ දඬුවම්” ලබා දිය යුතු යයි ‍පොදු ජනතාව යෝජනා කිරීම තුල මෙවැනි දඬුවම් ජනතාව අනුමත කරන බව පැහැදිලිව පෙන්වා දී ඇත.

එසේනම් මේ වර්තමාන සමාජ අපරාධයන් හා එයට එරෙහිව ක්‍රියාත්මක නීති හා දඬුවම් පිළිබඳව මෙන්ම රටේ පොදු ජනතාවගේ අපේක්ෂාවන් හා ආයාචනයන් පිළිබඳව රටේ වගකිවයුත්තන් බුද්ධිමත් ලෙස නැවත විමසා බැලීම අත්‍යාවශ්‍ය මෙන්ම කාලීන අවශ්‍යතාවයකි. එහිදී ඉස්ලාම් යෝජනා කරන දණ්ඩ නීති ඉතාම සාර්ථක පරිපූර්ණ දිව්‍යමය සැලසුම් යන්න අන්තවාදීව හෝ පටු ලෙස නොබලන ඕනෑම කෙනෙකු හට පැහැදිලි වනු ඇත.

(ඉස්ලාමීය දණ්ඩ නීති ක්‍රියාත්මක කිරීමේ දී ඒ සදහා විවිධ කොන්දේසි ඉස්ලාම් යෝජනා කරන අතර ඒ පිළිබඳව මෙම අඩවිය තුල දීර්ඝ ලෙස ඉදිරියේ දී කථා කිරීමට අදහස් කරමි.)

අබූ අර්ෂද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *