ජාතියේ හා ආගමේ නාමයෙන් රට රැගෙන යන්නේ කොයිබටද?

2

(මෙම ලිපිය ‘රාවය’ පුවත්පතින් උපුටා ගන්නා ලදී)

වාර්ගික හා ආගමික අර්ථයෙන් රටේ පවතින තත්වය 1915 මුස්ලිම් කෝලහලයට, 1958 දෙමළ කෝලහලයට හා 1983 කළු ජූලියට පෙර පැවති තත්ත්වයයන්ට සමනය. 1915 ඇති වූ සිංහල මුස්ලිම් කෝලහලය අනගාරික ධර්මපාල ඇති කළ සිංහල බෞද්ධ ප්‍රබෝධයේ තාර්කික ඵලයක් විය හැකිය. එම කෝලහලය කෙරෙහි බලපෑ වැදගත්ම සාධකයක් වූයේ වෙළෙඳාමේදී මුස්ලිම්වරුන් හිමි කරගෙන සිටී ප්‍රමුඛතාව සිංහල වෙළෙඳුන්ගේ විරෝධයට ලක්වීමය. එදාද අද මෙන් මුස්ලිම් කඩ වර්ජනය කරන ලෙස සිංහලයන්ගෙන් ඉල්ලා සිටින සංවිධානාත්මක හා ප්‍රබල ව්‍යාපාරයක් රටේ ක්‍රියාත්මක විය. සිංහල ජාතිය පත්‍රයේ කර්තෘ පියදස සිරිසේන “හම්බ මරක්කලයන්ද, කොච්චින්ද වෙනත් විදේශිකයන්ද සමග ගනුදෙනු කිරීමෙන් වළකින ලෙස” ඉල්ලා සිටියේය.

අනගාරික ධර්මපාල විසින් පළකරන ලද සිංහල බෞද්ධයා පත්‍රයද ක්‍රිස්තියානි ආගම හා ලංකාව යටත් කොටගෙන සිටි යුරෝපීයයන් ගැන පමණක් නොව ලංකාවේ ජීවත් වූ සුළු ජාතික කණ්ඩායම් ලෙස සැලකිය හැකි දමිළයන් හා මුස්ලිම්වරුන් (එකල මුස්ලිම්වරුන් සාමාන්‍යයෙන් හඳුන්වන ලද්දේ මරක්කලයන් ලෙසය.) වෙතද වෛරය දනවන ආකල්ප ඇති කරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය.‘විදේශික සුද්දා මෙරටට පාතැබූදා සිට සිංහලයන්ගේ කර්මාන්තද, ගතිපැවතුම් හා සිරිත් විරිත් ද අභාවයට යෑමට පටන් ගත්තේය. දැන් සිංහලයාට මරක්කලයන්ගේ හා දෙමළුන්ගේ පාමුල ඇද වැටීමට සිදුවී තිබේයැ’යි සිංහල බෞද්ධයා පත්‍රය කියා සිටියේය.

1915 සිංහල මුස්ලිම් කෝලාහලය

සිංහල ජනයා අතර මුස්ලිම් විරෝධී ආකල්ප පැසවමින් තිබුණු තත්ත්වයක් ඉදිරියේ ආරාවුල ආරම්භ වූයේ 1912දී ගම්පොළදීය. බෞද්ධ පෙරහැරක් මුස්ලිම් පල්ලියක් පසුකරමින් සිටියදී හේවිසි ආදී තුර්යවාදන පැවැත්වීම ගැන මුස්ලිම්වරු විරෝධය පළ කළහ. සම්ප්‍රදායික ක්‍රමයට පෙරහැර පැවැත්වීමට තමන්ට අයිතියක් ඇතැ’යි බෞද්ධයෝ තරයේ කියා සිටියහ. මෙම ආරාවුල විභාග කළ මහනුවර දිස්ත්‍රික් උසාවිය 1914දී බෞද්ධයන්ට පක්ෂව තීන්දුවක් දුන්නේය. එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනයක් සලකා බැලූ ශ්‍රේෂඨාධිකරණය 1915 පෙබරවාරි මාසයේදී මුස්ලිම්වරුන්ට පක්ෂව තීන්දුවක් දුන්නේය. 1915 මැයි මාසේ වෙසක් උත්සව කාලයේදී බෞද්ධ භක්ති ගීත ගායක කණ්ඩායමක් මහනුවර මුස්ලිම් පල්ලියක් පසුකරමින් සිටියදී තූර්ය වාදනය කිරීම ගැන විරෝධය පළ කළහ. නගරයට රැස්ව සිටී බෞද්ධයන් එයින් කුපිතවීම නිසා මැයි 29 වැනිදා 30 වැනිදා මහනුවර නගරයේ කෝලහල ඇතිවී එය ඉක්මනින් රට පුරා පැතිර ගියේය. බ්‍රිතාන්‍ය ආණ්ඩුව කෝලහලය තේරුම් ගත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන කෝලහලයක් ලෙසය. ආණ්ඩුව ජුනී 20 වැනිදා පලාත් හතකට බලපාන ලෙස යුද නීතිය ප්‍රකාශ කොට කෝලහලය මැඬලීමට දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.1915 අගෝස්තු මාසය දක්වා පැවැති යුද නීතිය බලපෑ කාලයේදී යුද හමුදාව හා පොලීසිය පමණක් නොව බ්‍රිතාන්‍ය වතුකාරයන් හා සිවිල් නිලධාරීන්ද කෝලහලය මැඬලීමට ක්‍රියාකාරී ලෙස සහභාගි වූ අතර එහිදී ඉවක් බවත් නැතිව සිංහල මිනිසුන් මරා දමන ලද බවට චෝදනා එල්ල විය. අමද්‍යප ව්‍යාපාරයේ බොහෝ නායකයෝද අත්අඩංගුවට ගන්නා ලදහ. කෝලහලය පැවැති කාලයේදී අනගාරික ධර්මපාල සිටියේ ඉන්දියාවේය. ඔහු ලංකාවට ඒම වළකන ලදී.

කෝලහලයේ තරම තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් දත්ත සමහරක් මෙසේය :

අලාභ හානි සිදුවූ මුස්ලිම් පල්ලි ගණන                                    86

පුළුසසනු ලැබුණු මුස්ලිම් පල්ලි ගණන                                   17

කොල්ලකනු ලැබූ මුස්ලිම් කඩ ගණන                                4075

මරා දමනු ලැබූ මුස්ලිම්වරුන් සංඛ්‍යාව                                    35

තුවාල කරනු ලැබූවන් ගණන                                                  189

දූෂණය කරනු ලැබූ ස්ත්‍රීන් ගණන                                            04

 

කෝලහලයට අදාළ නඩු පිළිබඳ සංඛ්‍යා ලේඛන මෙසේය :

 පොලිස් උසාවිවල පවරා තිබූ නඩු ගණන                                        9600

කොන්දේසි සහිතව හෝ රහිතව නිදහස් කරනු ලැබූ නඩු ගණන   4908

යුද්ධාධිකරණයේ පවරා තිබූ නඩු ගණන                                          358

මරණීය දණ්ඩනයට නියම කෙරුණු නඩු ගණන                                83

නිල සංඛ්‍යා අනුව කෝලාහලකරුවන් විසින් මරා දමනු ලැබූ අයගේ සංඛ්‍යාව                                                                                               39කි.

ලංකාවේ නිදහස් ව්‍යාපාරය ආරම්භවන්නේ සිංහල මුස්ලිම් කෝලාහලයත් සමගය. එදා ලංකාවේ ප්‍රමුඛ දේශපාලන නායකයන් බවට පත්වන්නෝද එම සිංහල මුස්ලිම් කෝලාහලයේදී අත්අඩංගුවට ගනු ලැබූ නායකයෝය. කෝලාහලයෙන් වැඩිම හානියක් සිදුවී තිබුණේ මුස්ලිම්වරුන්ට වුවත් පොදුවේ දෙමළ නායකයන්ගේ සේම සිංහල ක්‍රිස්තියානි නායකයන්ගේද අනුකම්පාව හිමිවූයේ සිංහලයන්ටය.

1911 ඩෙන්හැම් සංගණන වාර්තාවට අනුව එකල ලංකාවේ මුස්ලිම් ප්‍රභේද දෙකක් සිටියෝය. එලෙස සැලකුණෝ ලංකාවේ ඉපදුණු හා ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජනයාය. ඔවුන්ගේ සංඛ්‍යාව 2,33,901කි. අනෙක් අය සැලකුණෝ ඉන්දීය මරක්කල හෝ හම්බයෝ ලෙසය. ඔවුන් හම්බයන් ලෙස සැලකුණේ දකුණු ඉන්දියාවේ වෙරළබ‍ඩ ප්‍රදේශවලින් හම්බන් නමැති ඔරුවලින් වෙළෙඳාම පිණිස මෙහි යන එන අය වීම නිසාය. ඔවුන්ගේ සංඛ්‍යාව 23,600කි.

මෙම ලිපියේ-

දෙවන කොටස –  ජාති ආගම් නාමයෙන් කොයිබටද? 2 – මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය

තෙවන කොටස – ජාති ආගම් නාමයෙන් කොයිබටද? 3 – මෙය බුද්ධාගමට එකඟද?

 

උපුටා ගැනීම – රාවය 2013 අප්‍රේල් 14 වැනිදා ඉරිදා.

කතෘ – වික්ටර් අයිවන්

 

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *